Wednesday, August 26, 2020

කල්කුඩා නාට්ටි තරඟ කරපු හැටි

 මෙි කතාව වෙන්නෙත් කල්කුඩාවලදි. කල්කුඩා කියන්නෙ අපිටනං හරි මෙව්ව එකක් තිබ්බ කඳවුරක්. මාසෙකට එක ඉරිදාවක් ගිනියම් පාටින් ඉර බැහැගෙන යන හවසක හීනියට අටයි අටක් යූස් කරල, ඒකත් කරගන්න බැරි වාතාවරණයක් තිබ්බොත් පහේ ටොපියක් කටෙි දාගෙන  සීනිත් එක්ක කොට්ට පොලයක් පලාගෙන  කාල මූදෙ නාල සිංදුවක් කියල ආතල් පිට ඉන්න පුලුවන් ජොලි පොට්ටෙකක්.


ඉස්සර හමුදාවෙ තිබුනා ඒ ඒ ඒකකවල ඒකාංගික නාට්‍ය කිරීමෙි කලාවක්. මෙික තරඟයක්. හුඟක් එව්ව විකට නාට්ටි. මෙිවා කරන්න තවත් හේතුවක් තමා යුද්ධය නිසා ඒකාකාරී ජීවිතයක් ගෙවන සෙබළාට යම් මානසික වින්දනයක් ලබාදී ඔවුන්ගේ මොරාල් එක අප් කිරීම. මෙි තරඟයෙන් දිනන අයට වටිනා නම්බු නාම වගේම වටිනා තෑගිත් හම්බවෙනවා. නම්බුනාම හම්බ වෙන්නෙ ඒව බලන එව්වොන්ගෙන්. ඒ තමා අවුරුදු විසි දෙකක් යනකනුත් මකන්න බැරි කාඩ්. අපේ ඒකක මූලස්ථානයේ මෙි කාඩ් සහ මඩ බලකායේ ප්‍රධානියා හිටියෙ කෝප්‍රල් කෙනෙක්. ඊලඟට ආරච්චි බුවා. නෙස්ට් සමරජීව පතිරන.  ඊට කලින් අවුරුද්දේ බරපතල ලෙස කාඩ් වගයක් ලියාපදිංචි වෙලා මෙි ⁣අවුරුද්දෙ තරඟයට ආරච්චිලාලගේත් නම් නැතිවෙන ලයින්නෙකක් තිබුනේ. ඒත් දෛවයේ සරදමකින්ද මන්ද ඒ අයිතිවාසිකම මෙි අවුරුද්දෙ ලැබුනත්, මිස්ටර් ගෝරිං සිංග්, ස්ටාෆ් මල් බංඩා, ජුලියස් සීසර්, ජීඑල් පීරිස් වැනි අපේ  ඒකකයේ නිළ කාඩ් ලද්දන්ගෙන් දරුණු අවවාද සහ අනතුරු ඇඟවීම් කීපයක් ලැබිල තිබුනා. ඒ "ආයෙ එහෙම ප%@&$යලා කාඩ් ගහල තිබුනොත් එහෙම කුකුලෙක්ගෙ වගේ බෙලිගෙඩි කරකලා මුහුදට විසික්ක කරනවා, දැනගනියවු"  කියන දරුණු තර්ජනයකුත් එක්ක. මෙි අස්සෙ කාඩ් එකක් වැදුනු සුදු සීයාත් අංගමාරෙ හැදිච්චි වල් අස්සයෙක් වගේ අපිත් එක්ක මද කිපිල හිටියෙ. මොකද අකලට කෙස් සුදුවිච්චි ඒ පොරට සුදු සීයා කාඩ් එක රෙජිට්ටර් කෙරේ මං. සමහරු පොර ඉන්න තැන සුදු සීයා කියල කතා කරාට බුවා දන්නෑ බුවාට මෙි කියන්නෙ කියල. සතියක් විතර ගිහින් ඒක තමන්ට කියන්නෙ කියල අලගිය මුලගිය තැන් හොයාගෙන ඇවිත් ඒ මං කියල දැනගෙන තරු පායපු එක් මූසල සැන්දෑවක තරු විසිවෙන්නම මගේ කං අඩියත් රත්කරල තිබුනෙ. 


ආරච්චිලා ඇතුළු ප්ලැටූන් එකටනං ඔව්ව හෙන මෙව්ව එකයි. හැබැයි ඊට වැඩිය ආතල් එකක් තියෙනව ගුලියක් දෙකක් කාල පට්ට ගිනි මද්දහනේ තල් ගහක් යට ග්‍රවුන් ශී⁣ට් එකක් එලාගෙන ඒකෙ වටෙිට ඉඳගෙන කයිය ගහන ගමන් එක එක චරිතවලට කාඩ් නිර්මානය කරන එක. අපි අවුරුදු විසි දෙකම නිවැරදිව හැමදාම කලෙත් ඔික විතරමයි. ඒත් කොච්චර කලත් ඉවරයකුත් නෑ. සමහර කෝපල්ලා සාජන්ලා ඇතුලු එක එක නිළවල චරිත හිටියා කෝපල් හේරත්ලා රත්නසිරිලා  පයිවට්ටාරච්චිලා එක්ක හැසිරෙද්දි උනත් ඒ ඉස්සරහ පොඩ්ඩක් සංවර වෙන්න උත්සාහ කරපු අය. ඒ අපිට තියෙන බයට නෙමෙයි. ඊලඟට තමාට මකන්න බැරි ආත්මගරුත්වය අමු අමුවෙ දූෂනය වන මොන ජාතියේ කාඩි එකක් වදීද කියල පරාන බයෙන් ජීවත් වෙන අය. ඒකට අපේ අණදෙන නිලධාරි තුමාත් ඇතුළුයි.

 අපේ ප්ලැටූන් එකට කියන්නෙ "බත් ප්ලැටූන් එක" කියල. ඒකට හේතුව උදේ ඉඳන් ගුලි කෙලල කෙලල ඇස් හීන් කරගෙන නලලෙන් උන් උන් දිහා බල බල සීමාවක් නැතුව බත් හට්ටි කරීස් හට්ටි ඔක්කෝටම වගකීම. අපි කුස්සියට යද්දි බත් හට්ටියයි කරීස් හට්ටියි "දඩ-දඩ" ගාල ගැහෙන්නෙ "අදත් ඉවරයි" කියල හිතෙන බයට. හැබැයි ඒ වගේම තමා සටනක්, බර වැඩක්, ඇතුලු ඔිනෑම වගකීමක් කර උඩට පාත් වුනොත් ඒක මොන සම්මජ්ජාතියෙන් හරි හිතුවටත් වඩා හොඳින් සාර්ථකව ඉටු කිරිම. අපි කොයි වෙලෙත් කඳවුරේ නෑ. දවසගානෙ කොටි බලපෑම් තියෙන කඳවුරු, ස්ථාන,මහපාර,කලපුව,වගේම මහ මුහුද වැනි හැමතැනම  කුඩා කණ්ඩායම් වශයෙන් රාජකාරි සඳහා ගොස් සිටීම. මෙි ගියපු ගොඩක් තැන් ඉතාම අනතුරුදායක තැන්. නමුත් ගේමකට බැස්සොත් අන්තිම හුස්ම වෙනකං ගේම අතාරින්නෑ. ඉතුරු වෙන තනි එකා තනියෙන් හරි ගේම ගහනව. ඒක කව්රුත් දන්න නිසා අපි කොච්චර බත් වලට වග කිව්වත් ඒ වෙනුවෙන් කිසිම විරෝධයක් කාගෙන්වත් එල්ලවුනෙත් නෑ.

දවසක් උදේක කුඹුරුමුල්ල කඳවුරේ මාර්ග ආරක්ෂක මුරයට ප්‍රහාරයක් එල්ලවුනා. ඒකට මූන දීම සඳහා විනාඩියකටත් අඩු කාලයක් තුල ලෑස්තිවෙලා බ්‍රවුනින් වර්ගයේ   මැෂින්ගන් දෙකක් හයිකරපු, අපිට වෙන්කරලා තිබුනු යුනි බෆල් එකේ නැගල ඒ ප්‍රහාරය වෙන ඉසව්ව බලා කඳවුරේ බැරියර් එකත් අරගෙනම ඉගිල්ලිලා ගියා. බැරියර් එකත් අරන්ම ගියා කිව්වෙ සෙන්ට්‍රි හිටපු එකා බැරියර් එක බාගෙට ඇරියෙ. අරිනකං හිටියෙ නෑ හදිස්සියට.  ඒක බෆල් එකේ වැදිල දෙකටම කැඩුන. ඒ ගිහින් හෙන ගේමක් දීලා ප්‍රහාරයට කොටුවුනු අපේ අයව  නිරුපද්‍රිතව කඳවුරට එක්ක එන්න අපි කටයුතු කලා. නිකන්මත් නෙමෙි

කොටින්ගේ ඩෙත් බොඩිත් පහක්ම අත්පත් කර ගනිමින්. නමුත් අපේ කිසිම එකෙකුට හීරීමක්වත් වුනේ නෑ. 


අපි එහෙම ගියේ උදේ කෑම කන්න පිඟනුත් අතේ අරගෙන කාටත් කලින් මෙස් එකේ පෝලිමට යනින් ගමන් ඉද්දි. 

අපේ ප්ලැටූන් කමාන්ඩර් හිටියෙ සුද්දෙක් වගේ හරි ලස්සන සර් කෙනෙක්. එයාත් අපි එක්කමයි කරක් ගහන්නෙ. එතුමා දැන් කර්නල් කෙනෙක් හිංද නම කියන්න යන්නෑ. 

අපි ඒ ගිහින් එද්දි  නවය හමාර දහය විතර වුනා. පැයක එකහමාරක විතර සටනක් ඒක. ඒ එද්දි බත් නෑ. ඒකට හේතුව අපි නැති හිංද එදා උදේට අනික් එවුන් බඩ පිරෙන්න කාල. අපේ ප්ලැටූන් එකම කඳවුරේ හිටියොත් දෙපාරක් නොඋයපු දවසක් නෑ. 

කතාවට යමුකො. 

අපේ හිටියා කෝප්‍රල් චන්ද්‍රලාල් බීඒ කියල කෙනෙක්. කට ඔිදිරිස් හිරමනයක් වගේ. මූන පොල් උලක් වගේ. ගමනත් නිකන් හරී මෙව්ව එකයි. මෙයා දුක්ගැනවිල්ලක් දාල පනාගොඩට අවුරුද්දකට ස්ථානමාරුවක් ඉල්ලල තිබුනෙ. අපේ සීඔි හරී හොඳයි. ඒ දවස්වල හිටපු සීසීත් හරී හොඳයි. 

මමයි අපේ ප්ලැටූන් එකේ කෝප්‍රල් කෙනෙකුයි වැය වෙච්චි පතුරම් වගයක් ආපහු ගබඩාවෙන් ගන්න ලියුම් වගයක් හදාගෙන ඒක සීඔීගේන් අත්සන් කරගන්න ඔෆීස් එකට ගිහින් හිටියෙ. 

සීසීත් අරයගෙ ලියුමත් එක්ක සීඔි ගාවට දාන්න එක්ක ඇවිත් හිටියෙ. අපිත් එතනමයි. 


සීඔි;

*මොකද්ද පුතා පස්නේහ්?

කෝප්‍රල් චන්ද්‍රලාල් විස්තරේ දිගෑරියා. 

*හරි ඔයා ක්ලියරන්ස් අරගෙන සතියකින් යන්න ලෑස්ති වෙන්න. සීඔි කිව්වා.

අපිටත් හෙන සතුටුයි. මොකද සීඔි ඔින ප්‍රශ්ණෙකට බලනවනෙ.

දැන් කෝප්‍රලුයි සීසීයි එළියට ආව. සර් මෙිල් එක බලන්න පටන් ගත්තා. ආයෙ ගැහුව බෙල් එක. සීසී දුවගෙන දුවගෙන ඇවිත් සීඔිගෙ ඔෆීස් එකේ දොරත් ඇරගෙන ඇතුලට ගියා.

අපිත් එතන ඉන්න නිසා කියන දේවල් හිමීට ඒත් පැහැදිලිව ඇහෙනව.

සීඔි;

*අයිසේ සීසී.. තමුසෙට පිස්සුදෝයි.. මෙහෙම දවස ගානෙ එකා එකා ටාන්සර් ඉල්ලගෙන එන පලියට මා ගාවට දාන්නෙ, මුං ගියාම තමුසෙයි මමයිද මෙිකෙ රාජකාරි කරන්නෙ. පොඩ්ඩක් හිතනවා අයිසෙ. මොකක් හරි බොරුවක් කියල ඒක ශේප් කරනවා.... හ්ම් දැන් යනවා..

*සර්, ඒ එන ප්‍රශ්ණ සර් ගාවට දාන්නැතුව,මගෙ මට්ටමින් ඉවර කරන්න බෑනෙ. 

*හරි අයිසෙ හරි, තමුසෙ කියනව පනාගොඩින් අනුමැතිය ඉල්ලලා තියෙන්නෙ, ඒත් එහෙන් අනුමැතිය දෙන්නෑ කියනව, යනව යනව...

අපේ ඇස් උඩ ගියා. කෙල තලියක් ස්පොල්ලෙ ගියා. කට ඇදවුනා. තරහක් ආව. හැබැයි සර් කියන්නෙත් ඇත්ත. ඒ එන පලියට යැව්වොත් යුනිට් එකම මෙි වෙද්දි පනාගොඩ තමා.


මං කෝප්‍රල් හේරත්ගෙ මූන බැලුවා. පොර කට කොනින් හිනාවුනා.

"දෙන්නං දෙයාර්" තත්පර දහයක් ගියෙනෑ.. කාඩ් එකක් එතැනම නිර්මානය උනා. කාලෙ ගියා. නාට්ටි තරඟ පටන් ගත්තා.

ප්ලැටූන් සාජන් අපේ නාට්ටියෙ පොලිසියෙ එච්ඔිඅයි. කෝප්‍රල් බන්ඩාර ඇඩ්මින් බ්‍රාන්ච් එකේ ඔිඅයිසී. සංසෙ රත්නසිරි කොස්තාපල් කෑමදාස (උගේ කාඩ්එකත් ඒකම තමා. කෑමක් කිව්වොත් සිහියත් නැතිවෙලා ඇදන් වැටෙන්නෙ). මිනිහ තමා ට්‍රාන්සර් එක ඉල්ලන්නෙ. ආරච්චි එච්ඔිඅයිගෙ ඔිඩ්ලි කෝස්තාපල්. ආරච්චි තමා එච්ඔිඅයිට කේලම් කියන්නෙ,බෙලි කපන්නෙ, කකුලෙන් අදින්නෙ. ඇද කියන්නෙ. හැමදේකින්ම ලකුණු දාගන්නෙ.


නාට්ටිය පටන් ගත්තා;

එච්ඔිඅයි පුටුවෙ ඉඳගෙන ඉද්දි කෑමදාසත් ඉස්සර කරගෙන ඇඩ්මින් ඔිඅයිසී;

* ආරච්චි සර් ඉන්නවද?

*සර්නං ඉන්නව, ඒත් දැම්ම කාවවත් දාන්න එපා කිව්වා,මැඩම් එක්ක කෝල් එකක ඉන්නෙ. (පසු බිමින් ටීවී එකක රිමෝට් එකකින් එච්ඔිඅයි වයිෆ් එක්ක කතාකරන සද්දෙ ඇහෙනව.තනිකර වල් කතා ඒවනං.)

කෝල් එක අරං ඉවරයි.

*එස්කුස්මී සර්,ඇඩ්ඩිං ඔිඅයිසී ඇවිත්තින්නවා.එන්න කියන්නද?

*එන්ඩ කියනෝයි. මුංගෙන් බෙිරෙන්ඩ නෑනෙ.

දෙන්නම ඇතුල් වුනා. දැන් ඉන්ටවීව් එක. කෑම දාස කියන්නෙ තනිකර දෙපිට කැපෙන වල් කතා. ට්‍රාන්සර් එකට හේතුව ඇදලගත්තෙ බිරිඳව. එදා සීඔිගෙ ඔෆීස් එකේදි අපේ කනට ඇහුනු දේවල් පොලිසියේ වචනයි ජෝක් කෑලියි,වල් කතායි අරවයි මෙිවයි කලවම් කරල දාල ඉන්ටව් එක යන අතරේ,නරඹන්නන් සිනාසාගරයක ගිල්ලෙව්වා.

*අයිසේ කෑමදාස,තමුසෙට දැන් මුකද්ද වෙන්ඩෝනෙ?

*සර් පොලිස් හෙක්වාටරේට ටාන්සර්රෙකක් අවුරුද්දකට විතර,

එච්ඔිඅයි අතකුත් අහසට විසික්කරන ගමන්,

*දෙන්නං දෙයා, ඔහොමදෝයි මං ටාන්සර් දුන්නෙ? තමුසෙ හෙට යන්ඩ ලෑස්ති වෙනව. හෙටම. 


මගේ ආදරණීය යාලුවනි, අපිට නාට්ටිය අවසන් කරන්න උනේනෑ.

නාට්ටි තරඟෙ බල බලා හිටපු සීඔි පුටුවත් පෙරලගෙනම මොන මොනවාදෝ හිමීට මුමුණ මුමුණ නැගිටලා යන්ඩ ගියා. නරඹන්නන් සිනා සාගරයක ගිල්වමින් නාට්ටියේ ඉතුරු ටික ඉවරකලා.

හරියටම සතියකින් කෝප්‍රල් චන්ද්‍රලාල් පනාගොඩ ට්‍රාන්සර් එක ගියා. බත් ප්ලැටූන් එක මාසෙකට ආයෙ කිරාන් බලා පිටත්ව ගියා. ඒ ගිහින් මාසෙම එහෙ සෝදිසි මෙහෙයුම් ක්‍රියාන්විත කිහිපයක්ම සිදුකරන්න වුනා.

සීසී " සී "කන්ඩායමට ට්‍රාන්සර් ගිය අතර, සී කන්ඩායමෙි සාජන් මෙිජර්ට සීසී පත්වීම ලැබුනා. ඇජුටන් එදා හවසම ඩී කණ්ඩායම බලා  ගිය අතර ඩී කණ්ඩායමෙි ඔෆිසර් කෙනෙක් විධායක අධිකාරි තනතුරේ වැඩ භාරගත්තා.

අපිත් කිරාන් කඳවුරේ සතුටින් මාසයක්ම සෝදිසි මෙහෙයුම් ක්‍රියාන්විත සිදුකරල කල්කුඩා වලට ආපු ගමන් පහුවදා ඉඳන්ම ආයෙ කින්නිඅඩිත්, ප්‍රේතාලේ, කල්මාඩු, කුඹුරුමුල්ල යන කඳවුරුවල දිනපතා රාත්‍රිය ගත කරන්නත් සිදුවුනා.

එදායින් එදත් ආයෙ කවමදාකවත් නාට්ටි තරඟ තිබ්බෙත් නෑ, සීසීත් එයාගෙ ඒකකයට ට්‍රාන්සර් වෙලා යනකම්ම කවදාවත් අපිත් එක්ක කතා කලේත් නෑ. 


අපිත් ඒ අස්සෙ ගුටි නොකා බෙිරිලා හිටියෙ හරීම අමාරුවෙන්.



රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2020.08.26

2 comments:

  1. අම්මප යකෝ බෙලි ගෙඩි කරකවල කළපුවට විසි කරන්ඩම තමා තියෙන්නෙ...

    ReplyDelete

  2. ඔලුව අතගාල ටොක්ක ඇනල .....

    ReplyDelete