Saturday, August 29, 2020

කුඹුරුමුල්ල රණබිම

 මෙි 1996 අවුරුද්දේ අග භාගයේදී සිදුවෙච්චි කතාවක්. මෙි වෙද්දි මම කිරාන් හිටියෙ. නමුත් මෙි සිදුවීමට පාදක වුනේ කුඹුරුමුල්ල කඳවුර.


නැගෙනහිරෙන් අහසට නගින හිරු රාජයා තමන්ගේ පළමු රැස් කදම්භය නැගෙන හිර බිම දිගේ පිළිවෙලින් එළාගෙන එළාගෙන එන්නේ ඒ වෙද්දි නැගෙනහිර රණ භූමි මත අතොරක් නැතිව ලේ හෙළූ සෙබළුන්ට කරන ගෞරවයක් විදිහට. ඒ රණබිම් මතම සතුරාගේ මිලේච්ඡ වෙඩි උණ්ඩ වලට එරෙහිව වීර වික්‍රම වික්‍රමාන්විත සටන් පා අවසන උණ්ඩයකට ළය දී තමන්ගේ අවසන් හුස්ම වා තලයට මුසුකල අපේ කාලයේ වීරයන් මෙි පොළවෙි අනන්තවත් මිහිදන් වෙලා තිබුනා. 1993 වස⁣රට පෙර වසරවලදී සතුරු සේනා විසින් පොලිසියේ පොකුරු ගණන් රණ විරුවන් මරා වළ දැමූයේත් මෙි නැගෙනහිර භූමියේ. 


"මෙි භූමියේ ශබ්ධ නොනැගෙන සේ පය තබන්න.මන්ද යත්, ඔබගේ හෙට දවස වෙනුවෙන්, රණවිරුවන් ඔවුන්ගේ අද දවස කැපකර මෙි පොළවෙි මිහිදන්ව නිදන බැවිනි."


මෙි කාලෙ තමා උතුරේ  රිවිරැස ක්‍රියාන්විතය පැවැත්වුනේ. යාපනය අර්ධද්වීපය සතුරු ග්‍රහණයෙන් මුදවාගැනීම පිණිස ක්‍රියාත්මක වූ එම ක්‍රියාන්විතයට එල්ටීටීඊ ත්‍රස්තවාදීන් ගොඩක් බයවෙලා හිටියේ. දවසෙන් දවස අඩියෙන් අඩිය ඔවුන්ගේ බළකොටු මහ පොලවට සමතලා කර දමමින් ඉදිරියට ගියේ ලක් ධරණී තලය වෙලාගත් ත්‍රස්තවාදය නම් වූ  පිළිකාවෙන් මාතෘ භූමිය මුදවාගැනීමෙි ඒකායන පරමාර්ථයෙන්. මෙසේ සටන් පැවතෙද්දී ඒ රණ වික්‍රමය කඩාකප්පල් කිරීමෙි අරමුණෙන් නැගෙනහිර මෙි වෙද්දි උන් ප්‍රහාර මාලාවක් සංවිධානය කරල තිබුනේ. මොවුන්ගේ ප්‍රහාරවලට නිතරම ලක්වුනේ වැලිකන්දෙන් මෙහාට පිහිටි කඳවුරු. මීයන්කුළමි,126, නාවල්අඩි, 233 බළසේනාවට අයත් භූමිය,කුඹුරුමුල්ල,කිරාන්,සන්දිවෙිලි,

වව්නතිවු,පුලුකුණාව වැනි කඳවුරු තමා ඔවුන්ගේ ප්‍රධානම ඉල්ලකයන් වූයේ. මෙි වෙද්දි අපේ ඒකකය ස්ථානගත වෙලා හිටියේ 233බළසේනාව ඇතුලේ. ඒ අනුව මෙි ප්‍රධාන කඳවුර වටා ආරක්ෂක වළල්ලක් ආකාරයට සතුරාට සුපිරි ඝණයේ යුධ පාඩම් උගන්වමින් ස්ථානගතවී සිටි අප ඒකකයේ අපි, මෙි වෙද්දි තවත් කරුණකින් උද්දාමයට පත්වෙලයි සිටියේ. ඒ චෙංකලඩි කලුපාලමෙිදී කොටින්ගේ ප්‍රහාරයකට ලක්ව කොටුවී සිටි විශේෂ බළකායේ කණ්ඩායම් දෙකක්, නිරිභීතව ඉදිරිපත්වී ඔවුන්ව බෙිරාගැනීම වෙනුවෙන් දැක්වු වික්‍රමාන්විතයට  අප ඒකකය විශේෂ බළකායේ ඒකකයක් විදියට පරිවර්ථනය කිරීමට හමුදා ඉහලම මූලස්ථාන විසින් කර තිබූ නිර්දේශයක් නිසා. මෙි වෙද්දි කිසිවෙකුත් විවාහ වී නොසිටි අප ඒකකයේ සියළුම සෙබළුන් පළමුවත්, දෙවනුවත්,තෙවනුවත් මව් බිම යන අධිශ්ඨානයෙන් ඔදවැඩී සිටියේ. 1996 වසරේ අගෝස්තු මස අපව විශේෂ බළකායට බඳවාගැනීම පිණිස සම්මුඛ පරීක්ෂණ පවා සිදුකරමින් සිටියත් කුමක් හෝ හේතුවක් මත එය වැළකී ගියා. 


ඒ අතරතුර තමා මෙි සිදුවීම වුනේ. මෙි වෙද්දි කිරාන් ස්ථානගතව සිටියේ සී කණ්ඩායම. කුඹුරුමුල්ල ස්ථානගතව සිටියේ ඒ කණ්ඩායම. උතුරේ පැවැතිවෙන රිවිරැස ක්‍රියාන්විතයේ අරමුණු කඩාකප්පල් කර දැමීමටනම් කලයුතු වන්නේ නැගෙනහිර අස්ථාවර කිරීම විතරයි යනුවෙන් සතුරු නායකත්වය අවබෝධ කරගෙන සිටියෙන්, නිතරම නැගෙනහිර පිහිටි කඳවුරුවලට ප්‍රහාර එල්ල කිරීම ඔවුන් පුරුද්දක් කොට ගත්තා. ඒ වෙද්දි මීයන්කුළම්,126 කඳවුර,නාවල්අඩි, කිරාන් මාර්ග ආරක්ෂක මුරයට වගේම කින්නිඅඩි සහ වව්නතිව් පුලුකුණාව කඳවුරුවලට ඔව්න් නොසිතූ අවස්ථාවලදී ප්‍රහාර එල්ල කරලයි තිබුනේ. මෙි කතාවෙිදී  කුඹුරුමුල්ල කඳවුරට ප්‍රහාර එල්ල කරද්දි අපි කිරාන් කඳවුරේ සීරුවෙන් සිටියා. ඒ අපේ කඳවුරටත් ප්‍රහාරයක් එල්ල වෙියැයි කියන අදහසින් හා කුඹුරුමුල්ල කඳවුරට සහායක කණ්ඩායමක් හැටියට උදව් ඉල්ලුවොත් යන්න බලාගෙන. 


මම හිටියේ කිරාන් පාළම දෙසට මුහුනලා තිබුනු බංකරේක. වෙලාව ඇති පාන්දර එකට හෝ දෙකට විතර. එක්වරම කුඹුරුමුල්ල කඳවුර අත්පත්කර ගැනීම උදෙසා සතුරන්ගේම මෝටාර් ප්‍රහාරයකින් ඇරඹුනු එම සටන පුරා පැය ගානක් පැවතුනා. නොනවත්වාම ඇද වැටෙන මොටාර්, කාලතුවක්කු උණ්ඩ පුපුරා යන හඬත් ඒ සමග ඇරඹුනු සුළු අවි පොකුරු උණ්ඩ  ප්‍රහාරයත් ඒ කඳවුරට හෙල්ලෙන්නවත් ඉඩක් තැබුවෙි නැහැ. එක දිගටම වෙඩි තබමින් ලේ පිපාසිතව ඉදිරියට ඇදෙන සතුරු හමුදාවට හොඳ පාඩමක් කියාදීමෙි නොනිත් අරමුණකින් පෙර සූදානමකින් සිටි අපේ කොල්ලෝ ඔවුන්ට නොදෙවෙනි විදියට මුහුනට මුහුන සටනකට අවතීර්ණ වි තිබුනා. මෙි කඳවුර තුන් පැත්තකින් වටකර තිබූ නිසා උපරිම වෙඩි බලයක් ඒ තුන් පැත්තටම සැපයිය නොහැකි බැවින් අපේ කඳවුරෙනුත් ඔවුන් මෝටාර් සහාය ඉල්ලුවා. අපේ කඳවුරේ ස්ථානගත 120 මිමී කාතු දෙකත්, එතෙක් සීතල පින්නේ අහසට ලම්බාකාරව  නිදා සිටි අපේ  81මිමී.60 මිමී මොටාර් සියල්ලමත් එක්වරම නින්දෙන් පිබිද කඳවුරේ තිබූ නිහඬ තාවය දරුණු ලෙස බිඳිමින්  තත්පරයෙන් තත්පරේ පළාතම ගිගුම් දෙමින් කාර්‍ය බහුල වෙන්න පටන් ගත්තා. ගුවන් සැතපුම් තුනක් පමණ දුරකින් පිහිටි කුඹුරුමුල්ල රණබිමට නියමම ඉලක්කපත් වලට ඒවා පතිත කරවීමටත් අපේ අයට හැකිවුනා. මල්වෙඩි සංදර්ශණයක් මෙන් මුලු අහසම ඒකාලෝක කරමින් විහිද යන ට්‍රෙිසර් උන්ඩ අපේ ඔලු උඩිනුත් පියාඹා ගියේ "කිසිස්-කිසිස්" හඬ නංවමින්. වාලච්චෙනෙන් සහ අපේ කඳවුරෙන් ආටි මොටාර් පිකප් වෙද්දී අහසට නංවන ගිනි දළුත්, දෙගොල්ලන්ගෙම ඒවා ගුවනේ පාවී ඇවිත් විදුලි කොටන්නාක් මෙන් ඉලක්කයන් වලට වැටී පුපුරා යන හඬත් එක්ක අහසට විහිදුවන කළුම කළු දුමාරයන් සහ ගිනි දළුත් පැරා එළියෙන් අපි පැහැදිලිව දුටුවා.  ආධාරක භඨ පිරිසක්ද නොමැතිව තමන්ට හැකි උපරිමයෙන් මෙි ප්‍රහාරය මැඩපැවැත්වීමට ඔවුන් තමන්ට හැකි උපරිම උත්සාහය දරමින් හිටියා. අසල්වැසි කඳවුරකට ප්‍රහාරයක් එල්ලවීමෙිදී ඔවුන්ගේ සහයට යෑම පිණිස දහ අට දෙනෙකුගෙන් සමන්විත දිනපතා නම් කරණු ලබන ආධාරක කණ්ඩයක් මෙි වෙද්දි කිරාන් කඳවුරේ සූදානම්ව හිටියා. ඒ අතර මාත් එක් සාමාජිකයෙක්. අපේ අමතර භඨ පිරිසක් නොසිටියත් යොදවා තිබූ රාජකාරියට අමතරව තමා මෙි කණ්ඩයටත් නම ඇතුලත් කරන්නෙ. එසේ නම් කරනු ලබන අයවළුන්, පිටත ප්‍රහාරයක් එල්ලවන සෑම අවස්ථාවකදිම තමා සිටින රාජකාරිය අනෙකාට භාරදී කලින් නම් කරනු ලබන  තැනකට එක් වී ඔිනෑම අවස්ථාවක පිටත්ව යෑම සඳහා සූදානම්ව සිටිය යුතුයි. අපි ප්‍රධාන ගේට්ටුව අසල එහාට මෙහාට ඉවසීමකින් තොරව ඇවිද ඇවිද බලා සිටියේ "දැන් යන්න කියයි දැන් යන්න කියයි"  යන නියෝගය අපේක්ෂාවෙන්. 


තව තවත් වාලචිචෙන කඳවුරෙන් ගුවනට මුදාහරින පැරා එළි හාත්පස ඒකාලෝක කරමින් රැය "දවාලක්" බවට පරිවර්ථනය කරන්නට පටන් අරන් තිබුනා. නොනවත්වාම එක දිගටම කෙරෙන  සටනට මෙි වෙද්දි පැයකටත් ආසන්න කාලයක් ගතවී තිබුනා. අපේ කඳවුරෙන්ද එක දිගටම වෙඩිතියන මෝටාර් "සිලින්න්-සිලින්න්" යනුවෙන් හුලං කපාගෙන ඉලක්කපත් හොයා යද්දි අපේ ලේ නලියමින් තිබුනේ. තවමත් අපිට අණ නිකුත්වී තිබුනෙ නෑ. කුඹුරුමුල්ල කඳවුර පිහිටි දෙස බලාගෙන අපි සුසුම් ලෑවා. 


තවත් විනාඩිය විනාඩිය ගතවෙද්දී අපේ හිත්වලට මහ භයංකාර සිතුවිලි ඇතුල් වෙමින් තිබුනා. ඒ අර කඳවුරේ අපේ එවුන්ට මොනවා වෙලා ඇද්දැයි යන සිතිවිල්ලෙන්. එක දිගටම වැස්සක් වහින ආකාරයට පට පට ගගා පුපුරන පොකුරු වෙඩි උන්ඩත් ඒ මැද්දට දිඩීං ගා පිකප් වෙන ආටි මෝටාර් දඩෝං දඩෝං ගා පුපුරා යද්දිත්, ඒ ශබ්දය ඇසෙන ඔිනෑම සෙබලෙක් මෙසේ කුලප්පු වෙන එක සාධාරනයි. අපේ කණ්ඩභාර නිළධාරි තුමා එවකට 2/ලුතිතන් වන්නිනායකත් අපිත් එක්ක බිම ඉඳගෙන වචනයක්වත් කතා නොකර  ප්‍රහාරයට කන්දීගෙන හිටියේ. ඒ සතුරාගේ වෙඩි ශබ්දයත් අපේ අයගේ වෙඩි ශබ්දයත් වෙන් වෙන්ව අඳුනාගන්න උත්සාහ කරමින් සතුරු වෙඩි ශබ්දය මෙි වෙද්දි කොතනින්ද ඇහෙන්නේ යන්න නිශ්චය කරන්න. 


පැය දෙකක් ගතවුනා. ඒත් තවම යුද්ධය ඉවර නෑ. පටන්ගත් ආකාරයටම හිටපු ගමන් එකපාරටම ප්‍රහාරයක් එල්ලවෙනවා. ආයෙ විනාඩි දෙකතුනක් කිහිපයක් නිහඬව ගෙවෙනවා. ඒ අතරතුර නොනවත්වා ආටි බ්ලාස්ට් වෙනවා. ආයෙ එකපාරටම සටන මහ දරුණු විදියටම ඇවිලී යනවා. නැවත කිසිම ශබ්දයක් නැතිව විනාඩි දෙකතුනක් ගතවෙනවා. ආයෙත් සටන ඇවිලී යනවා. ඔය ආකාරයට පාන්දර හතර හතරහමාර විතර වෙනකම් සටන පැවතුනා. මෙි කඳවුරට වුනු හානියක් ගැන තාම සඳහනක් නෑ. මෙසේ පැවති සටන එක් අවස්ථාවක මහා බරටම ඇවිලී ගිහින් එක් තැනකදි නිහඬ වුනා. ඉන්පසු වරින් වර සුලු සුලු ප්‍රහාර කීපයක ශබ්දය පමණක් අපිට ඇසුනා. 


වෙිලාව උදෑසන පහයි තිහයි. අපේ බිලට් එක ගාව ආරක්ෂිතව නවතා තිබූ යුනිකෝන් බෆලය ස්ටාර්ට් වෙන සද්දෙට අපි එක්වරම ඉඳගෙන සිටි තැන්වලින් නැගිටලා පස්සේ තිබුනු වැලි ගසා දැමුවෙි දැන්වත් යන්න ලැබෙයි කියන අදහසින්. ඒත් එක්කම ලුතිතන් වන්නිනායක අත තිබූ ගුවන් විදුලි යන්ත්‍රයට නියෝගයක් ආවෙි හැකි ඉක්මනින් එහෙත් ඉතාමත් කල්පනාවෙන් කුඹුරුමුල්ල කඳවුර බලා පිටත්වන ලෙසට. අපිත් යුනි බෆලය ලඟටත් එන්න කලින් මගට දුව දුවා ඒකේ එල්ලුනේ පිටත් වෙන්න ගතවෙන කාලය තත්පරේකින් හරි අඩු කරගන්න බලාපොරොත්තුවෙන්. අන්තිමට ගොඩවුනු ලුතිතන් වන්නිනායක රථයේ විදුලි ලාම්පු නිවා පදවන ලෙස රියැදුරාට දැන්වූවා. 

අපේ දැනුම හැටියට මෙි වෙද්දි කුඹුරුමුල්ල කඳවුර සතුරන් අතට පත්වෙලා. අපේ අය මෙි වෙද්දි එළියට පැනල ජීවිතේ ගැටගහගෙන ඇති. කුමන හෝ අයුරකින් ඔවුන්ව එකතුකරගෙන අපි නැවත කඳවුර අත්පත් කරගත යුතුමයි. නැතිනම් ඔවුන් කඳවුරට ඇතුල්වී ඇතුල ජෑම්වී අපේ කඳවුර මංකොල්ල කාල ඇති. මෙි සිතුවිලි හිතට එද්දි ලේ ගමනා ගමනය වඩ වඩාත් තීව්‍ර වුනා. අපේ ඔිසී ගැන පුදුම තරහක් ඇතිවුනා. ඇයි අපිට කලින්ම යන්න නුදුන්නේ. ඒ ගියානං අපිත් ඒකට එකතුවෙලා කඳවුර කොහොමහරි බෙිරගන්නවනේ.


මෙසේ සිතමින් එකදු වචනයක් කතා නොකර අපි යුනිබෆලයේ ගමන් කලා. ඒත් වාහනේ යන්නේ කඳවුරටමයි. ප්‍රධාන ලාම්පු නොදල්වා උනත් අඳුරේ ඉතා වෙිගයෙන් ඉගිලී ගිය යුනි බෆලය කුඹුරුමුල්ල කඳවුර ඉදිරිපිට නැවතුවා. 

වහ වහා එයින් බැහැගත් අපි දුටු දසුනකින් මහා ප්‍රීතියක් නහර දිගේ ඇදී ගියා. ඒ වෙද්දි කුඹුරුමුල්ල කඳවුරේ අපේ එවුන් ට්‍රැක්ටරේකට මළ කඳන් වගයක් පටවනවා. ජයන්ත බංඩාර කියන හාදයා තනියම මළකඳන් උස්සන් ඇවිත් ට්‍රැක්ටරේට දානවා. වෙන්නේ මොකද්ද උනේ මොකක්ද කියල අකුරක් නෑර අපි මුල ඉඳන්ම දැනගෙන හිටියේ. අපිට උවමනා වෙලා තිබුනේ මෙි ඇත්ත ඇස් දෙකෙන් දකින්න. එසේ එල්ටීටීඊ මළසිරුරු විසිහතක් අපේ ලොරියකටයි ට්‍රැක්ටරේකටයි පැටෙව්වා. සමහර මළ සිරුරු කාන්තා ඒවා. ඒවා හයක් තිබුනා. විසි එකක් පිරිමි ඒවා.  සමහර මළ සිරුරු අපේ ඩිෆෙන්ස් එක ආසන්නයේම වැටී තිබුනා. ඒ කියන්නේ පැය තුනක් විතර මහා දරුණු සටනක් මුහුනට මුහුණ තිබිලා. මං ජයන්ත⁣ගෙන් විස්තර ඇහුවා.

ඌ කිව්වෙ තුන්සීයක් විතර හිටියලු බං කියල. උපරිම උත්සාහය දරල තියෙන්නෙ කඳවුරට රිංගන්න. ඒත් අපේ කොල්ලො උන්ව ඩිෆෙන්ස් ලයින් එක පාමුලදිම පිලිවෙලින් නිහඬ කරවලා තිබුනා. ජයන්තගෙ ඇඟ හැමතැනම ලේ. අත්වල පවා වැක්කෙරෙනවා. මෙදින කොයි මට්ටමෙි සතුරු ප්‍රහාරයක් කඳවුරට එල්ලවී තිබුනත් අපේ එක්කෙනෙක් ජීවිතක්ෂයට පත්වී එක්කෙනෙක් සුලු තුවාල පමණක් ලබා තිබුනා. අපිත් එදා වරුවක්ම වැයකලේ භූමිය සෝදිසි කරන්න. තුවක්කු, අත් බෝම්බ,ආර්පීජී අවි,40මිමී අවි,බැංගල්ටෝපිඩෝ,සටන් භූමිය පුරාම විසිරිලා තිබුනා. කාතු බෝම්බ පුපුරා යාමෙන් ඉතිරිවෙන ටෙිල් පමණක් හැත්තැ එකක් මං ඇවිදල ඇවිදල  එකතු කර ගත්තා. ඒ  කිරාන් අපේ බිලට් එක වටෙි අලංකරණය සඳහා සකස්කරන මල්පාත්ති සහ ප්ලැටූන් එකේ බංකරය ලස්සන කරගන්න.


ජයන්ත බංඩාර කියන්නේ මගේ එක්කුසේපන් බැචෙක්. ඌ විසිහතර,මං විසිනවය. මෙයා කුංග්ෆූ මාස්ටර් කෙනෙක්. සමස්ත ලංකා තරඟවලින් තුන් වෙනි ස්ථානය ලබාගත් කෙනෙක්. මෙිකා මටත් කුම්පු ගහල තියෙනව. තව එවුන්ටත් ගහල තියෙනව. මං පෙන්ෂන් එනකනුත් මුගෙන් බෙිරිලා හිටියෙ පුදුම අමාරුවකින්. මං විතරක් නෙමෙි අපේ අනෙක් බැචාලත්. කිවයුතුම දේ වෙන්නේ ඒ මාර්ගයෙන් තවත් ඉදිරියට ගිහින් සැපවත් ජීවිතයක් ගත කරන්නට තිබූ අවස්ථාවන් සියල්ලම පසෙකලා රට වෙනුවෙන් හමුදාවට බැඳී අමු කට්ටක් කෑමයි. ඒක තමා සිංහල කම කියන්නේ. කාලයාගේ ඇවෑමෙන් මිනිසුන්ගේ හිත්වලින් මෙි සෙබළුන් කල කැපකිරීම් අමතක කර දැමීමත් සිංහල කමක්. මෙි සටනේ ජීවමාන සාක්ෂියක් ඔහු.



රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2020.08.28

No comments:

Post a Comment