වැන්ද මුනි පා සිතින් සිප සිප කඳුළු පිරි නෙත් බිමට හරවා
වින්ද අපමන ගැහැට සිහිකර ගෙයි බුදුන්ගෙත් දෙයැස පුරවා
ගෙන්දගම් බිම බලා ආ මුත් සකල සිතිවිලි එනව ගොරවා
නින්ද තවමත් අහංකාරයි හිතට හැදිලද මන්ද බරවා
කැලේ ඉනිමිටි රහින අප්පට,හේනෙ වල් පැල කොටන අම්මට
පැලේ තනිවුන බාල නංගිගෙ වයස හරිනෑ තෝඩු දැම්මට
යලේ වෙිලුන හිංද කාසිත් ලැබෙන්නෑ කිසි දිනක සම්මෙට
හැලේ කඳුලැල් ගෙදර සිහිවෙන විටදි යන්නට හිතුනි පිම්මට
පිපුණු අරලිය ඉද්ද අත්තන සඳුන් සුවඳයි ගමම එ දවස
කැපුණු අස්වැනි හිංද කාගෙත් මුවින්මුව උතුරනව මදහස
පහුණු කාලේ ගෙවීගිය හැටි සිහිකරන්නෙමි නොවෙමි උදහස
වැවුනු රැව්ලත් වැව්නු කොන්ඩෙත් ගැට ගසා දැන් සොයමි නිදහස
ගෙදර සිහිවී දිවා රැයෙහිදි කිවුල් දිය රස කඳුලු බීවට
නිතර සීතල පෙට්ටියේ ඇති කෑම රත්කර වෙිල කෑවට
පහර පිට මට පහර දෙනවා නගරයත්,ගම අතැර ආවට
එතෙර වන්නට කරදරෙන් මෙි,කාසි දෙන්නං ගෙදර ආවිට
රුවින් පමුදිත යද්දෙහිආරච්චි
2020.09.10
No comments:
Post a Comment