මෙි මම උදයාර්කට්ටුකුළම් කඳවුරේ ඉද්දි සිදුවුනු දෙයක්. මෙි කාලෙ අපේ ඒකකයටම තිබුනෙ කම්පියුටර් එකක් විතරයි. තිබ්බ රයිටර් ඔක්කොම කැඩිලා. සාමාන්‍යයෙන් මම රයිටරේ ලියුමක් ගහන්න අකුරු කී බලන්නෑ. ඒ තරම් මට රයිටරේ හුරුයි. හමුදාවට පිං සිද්දවෙන්න දාස් ගණන් වියදම් කරල ඒ දවස්වල කෙල්ලො කරපු රයිටර් කෝස් මං නොමිලේම හමුදාවෙන් ඉගෙන ගත්තා. මෙි රයිටර් අළුත් වැඩියා කරන්න උනත් මට හැකියාව තිබුනා. නමුත් ඒවට අවශ්‍ය අමතර කොටස් නැතිනිසා අතෑරල දාල තිබුනෙ. මෙි හේතුවෙන්ම ඒ කාලෙ මම ලියුම් සහ සංඥා පිළිබඳ ලේඛන කටයුතු කලේ අතින් ලිය ලිය.
මං නිවාඩුවක් ගිහින් ඇවිත් දවස් දෙකයි. දෙවෙනි දවසෙ හවස බංඩාර කියන අලුත් කොල්ලෙක්
*එස්කියුස් මී කෝප්‍රල්. කෝපල්ව චුට්ටක් හම්බවෙන්න පුලුවන්ද?
*පුලුවන්. දැන් බෑ. පැයකින් වරෙන්.
ලොකු වැඩක ඉන්නෙ. මම කිව්වා.
කව්රුත් දන්නවනෙ හමුදාව කියන්නෙ විනය අතින් අංක එකේ තියන ආයතනයක් කියල. ඔහොම තමා හමුදාවෙ හැටි. හැමදේම පිළිවෙලකට කරන්න පුරුදුකල ඒ හමුදාවෙ, යම් නිලයකට ගැටළුවක් ඉදිරිපත් කරනවා උනත් ඒක ඒ ආකාරයට සිදුවිය යුතුයි. මං ඒ වෙලාවෙ ලොකු වැඩකට අතගහල තිබුනු නිසා ඔහු කියන දේ තේරුම්ගන්න තරම් සුදුසු මානසිකත්වයක් ඇති කරගන්න සැලකිය යුතු වෙලාවක් යනව. ඒ නිසා තමයි පස්සෙ එන්න කිව්වෙ. මොකද මෙි වෙද්දි මං මූලස්ථාන කණ්ඩායමෙි ප්‍රධාන ලිපිකරු විදියට තමා වැඩකලේ. මෙතනින්නෙ මට මුතියන්කට්ටු යන්නත් පාර කැපුනෙ.
මම එහෙම කිව්වම ටික වෙලාවක් මගෙ මුහුන දිහා බලා හිටපු බණ්ඩාර "එහෙනං පස්සෙ එන්නං කෝපල්" කියල යන්න ගියා. මගේ සහායක ලිපිකරුගෙ නමත් බණ්ඩාර. එතකොට ඌ ලා/කෝපල්. බංඩාර ගියපසු ලා/කෝ බණ්ඩාර මට පොර ගැන කතාවක් කිව්වා.
*කෝපල්, බංඩා ඔය ආවෙ නිවාඩුවක් ඉල්ලගන්න. සීඑස්එම්ටත් මං දැම්ම. කෝපල් නිවාඩු හිටිය හිංද.
මං කර කර හිටපු වැඩෙි නවත්තලා ඒ විස්තරේ ඇහුවා.
*මොකද්ද හේතුව.
*ඌ නිවාඩු ගිහින් ඇවිත් දවස් හතලිස් අටක් වෙන්නෙ. මොකද්ද පෙරහැරකට නටන්න යන්න තියෙනව කියල තමා කිව්වෙ.
*සීඑස්එම් මොකෑ කිව්වෙ?
*තව දවස් පනස් පහේ හැටෙි අය ඉන්න නිසා උගේ දවස්ගාන අඩු හිංද දෙන්න බෑ කිව්වා. පව් කෝපල්. පුලුවන්නං කෝපලුත් කතාකරල බලන්නකො.
මං මගේ වැඩෙි පැත්තකට දාල බංඩාරට එන්න පණිවිඩයක් යවල ආපහු ගෙන්න ගත්තා. ගෙන්නගෙන විස්තරේ ඇහුවා. මොකද අපේ කණ්ඩායමෙි සීඑස්එම් හැටියට වැඩ බැලුවෙ සරඹ උපදේශක තනතුරේ හිටපු සැරයන්. එයාට තියෙන වැඩත් එක්ක මෙිව හරියාකාරව කරගන්න බැරි නිසා කෙටි පිලිතුරු තමා දෙන්නෙ. එක්කො හා. නැත්තං බෑ. එච්චරයි. අනික්වා කරන්න ඔින ඊලඟට හිටපු මම. නමුත් මට ගැටලුවක් ඉදිරිපත් කලොත් ඒකට අනිවාරයෙන්ම පිලිතුරක් ලැබෙන බව හැමෝම දන්නවා. සාවදානව ගැටලුවක් අහන් ඉන්න මට පුලුවන්. මං වැඩ්ඩෙක් නෙමෙි. මොකද ඒක මගෙ රාජකාරිය නිසා.
බංඩාර ආව. පොර ආවගමන් මං නිවාඩු ලේඛණය දිගෑරගෙන දවස් ගැන්නා. මෙි වෙද්දි දවස් පනහයි. නමුත් මාස දෙකේ සහ බණ්ඩාරට කලින් නිවාඩු ගිහින් ආව අවිවාහක කෝපල් කෙනෙකුත් ලා/කෝ නිළයේ කිහිප දෙනෙකුත් සාසෙ නිළයේ දෙතුන් දෙනෙකුත් මෙි වෙද්දි කඳවුර තුළ හිටියා. ඒ නිසා මෙයාගෙ ඉල්ලීම සාධාරන එකක්ද බලන්න මට උවමනා වුනා. මං ලඟට ගෙන්නවගෙන විස්තරේ ඇහුවා.
බන්ඩාර කියන්නෙ ඌරුවරිගෙ පරම්පරාවෙ කොල්ලෙක්. රටෙි අවශ්‍යතාවය අනුව හමුදාවට බැඳිල තියෙන්නෙ. මෙි වෙද්දි යුද්ධය ඉවරවෙලා තිබුනත් ඒකෙ උණුසුම ගිහින් තිබුනෙ නෑ. මාස දෙකක් වගේ තමා ගෙවිල තිබුනෙ. නමුත් මෙි කාලෙ අපි කැලෑ සෝදිසි කරන ක්‍රියාන්විත සිදුකරමින් හිටියෙ. ඒ නිසයි නිවාඩු හිරවෙලා තිබුනෙත්. මෙයා නිවාඩු ඉල්ලන්නෙ කිරිකොරහ නටන්න යන්න. ඒක පාරම්පරිකව සිදුකරන දෙයක්. මෙයායි තාත්තයි බාප්පයි බෙරගහනව. ඒක සෙත් ශාන්ති තෝත්තරයක්ද මොකද්ද කියලත් කිව්වා. හැම අවුරුද්දකම මෙහෙම යනවලු. ගිය අවුරුද්දෙ යුද්දෙ නිසා යන්න බැරිවුනා කිව්වා. මිනිහා ඌරුවරිගේ උනත්,ආධුනිකයෙක් උනත්, යුද්ධය වෙනුවෙන් අපේ ඒකකයේ අපිත් එක්ක කාපු කට්ට අදටත් අමතක නෑ. ඒ වෙනුවෙන් හිච්චි කොල්ලො උනත් මෙයාලගෙන් ලැබිච්ච දායකත්වය සුලුපටු එකක් නෙමෙි. අනික කවදාවත් කේස් දාගෙන බොරු කියල නිවාඩු ගියපු එකෙකුත් නෙමෙයි. මෙතෙක් නිවාඩු දාපන් කිව්වම නිවාඩු දාල ගිය අය මෙි බැච්වලත් කොයි බැච්වලත් හිටියා.
බන්ඩාර ලැජ්ජාවක්වත් නැතුව ඇත්ත තත්ත්වය ඒ විදියටම කියල අවශ්‍යතාවයත් කිව්වාම මට පව් කියල හිතුනා. මං ඒ වෙලාවෙ එයාට කියල නිවාඩුවක් ඉල්ලුම්පත්‍රයක් පුරව ගත්තේ බලාපොරොත්තු තියාගන්න එපා. පුලුවන් උනොත් අනිවාරයෙන් දෙනව කියන පොරොන්දුව පිට. ඒත් මෙි වෙද්දි මං තීරණය කරල ඉවරයි කොහොමහරි නිවාඩුවක් අරන් දෙනවාමයි කියල. මිනිහා අයදුම්පත්‍රයත් පුරවල කටපුරා ස්තූති කරල රාජකාරියට ගියා. මං යද්දි කිව්වා හවසට ඇවිත් අනුමත වෙලාද බලන්න කියල.
සරඹ උපදේශක, සරඹ ඉගැන්වුවත් ඒ කාලෙ අපේ සෑම නිළයකටම පැවරිලා තිබුනෙ කැලෑ සුද්ද කරන එක. ඒ කියන්නෙ කැලෑ සෝදිසි කිරීමෙි මෙහෙයුම්. එදත් අඛණ්ඩව පස්වෙනි දවසටත් ඩීඅයි සාජන් මෙි රාජකාරි සඳහා කැලෑ වැදිලා හිටියෙ. එයා ඩීඅයි වුනත් සාජන් කෙනෙක්. අපේ ගොඩක් අය යුද්ධය නිසා මැරිල තුවාල වෙලා හිටිය නිසා ඒකකයේ පිරිස් බලය අඩු හේතුවෙන් ඉන්න අයගෙන් තමා හැම වැඩක්ම කරගත්තෙ. මාත් තවත් රාජකාරියක ඉදන් තමා කාර්‍යාලීය වැඩකටයුතු කරන්නෙ. ඒකත් ඔිෆ් ටයිම් වල. මාත් එදා මුරපති ඉන්නගමන් තමා ඔෆීස් එකේ වැඩ කර කර හිටියෙ.
හවස දෙකට විතර ඩීඅයි සාජන් ඔෆීස් එකට එන්නෙ. ඒ දවල් කෑම ටයිම් එකට කැලේ ඉඳන් කඳවුරට එන ගමන්.
ඒ ඇවිත් මෙතනත් කරන්න තියෙන දේවල් කරල තමා කෑමට යන්නෙ. ඒකට හේතුව ඔවුන්ගේ භෝජනාගාරය ටිකක් දුරින් තියෙන නිසා.
ඔහු ආ විගස බංඩාරගේ ගැටලුව සවිස්තරව කිව්වම එයාම කිව්වා ඔිසීගෙන් අහලා ඔිසි දෙනවනම් දීපන්, මුකුත් ප්‍රශ්ණයක් ආවොත් එයා බලාගන්නම් කියල. මටත් සතුටුයි. හවස හතරට පහුවදා යන නිවාඩු අත්සනට දාන්න ඔින. මං බන්ඩාරගෙ නිවාඩුවත් පුරවගෙන ගියා දෙවන අණදෙන නිළධාරිතුමා හම්බවෙන්න. එයා තමා අපේ ඔිසී විදියටත් වැඩ බැලුවෙ.(එහෙම කාලයක් හමුදාවෙ තිබුනා) සර්ට විස්තරේ කීවාම නිවාඩු දෙන්න බෑ කීවා. නමුත් මං තව පාරක් සර්ට කන්නලව් කරල විස්තරේ තවත් පැහැදිලි කරලා "පවු සර්,යුද්දෙත් ඉවරයිනෙ" කිව්වම.
*කෝ දියං. තෝ කෝපලය හිංද තමා මටත් දවසක හිරේ යන්න වෙන්නෙ..තොගෙන්නෙ මෙතන බෙිරෙන්ඩ බැරි. කියල නිවාඩුව අත්සන් කලා. ඒ, ඒ සර්ගෙ හැටි. එතකොට අණදෙන නිළධාරි හිටියෙ මගේ හැම ලිපියක්ම කියවන මනෝජ් ඩොක්ටර්ගෙ පියා ලුති/කර්නල් ඩයස්.
ඔය විදියට බණ්ඩාරට නිවාඩු ලබාදුන්නා. ඒ වෙලාවෙ මං දැක්කා බණ්ඩාරගෙ මූනෙ තිබ්බ එළිය. ඇස්දෙක ලොකු කරගෙන තමා අනුමත නිවාඩු ස්ලිප් එක අත් දෙකෙන්ම ගත්තෙ.
ඒ නිවාඩුව ඉවරවෙලා එද්දි ඌ ගෙනාපු දේවල් අපි සතියක් විතර කෑවා. කැවුම් වර්ග, තව තව කැවිලි වර්ග හෙන ගොඩක් ගෙනත් තිබුනා. අදටත් මෙිව මතක් වෙනකොට හදවතේ සියුම් තැන් අළුත් අළුත් වෙලා ප්‍රබෝධමත් වෙනවා.
එක දවසක් මෙි බැජ් එකේම කොල්ලෙකුට හරි වැඩක්වුනා. උගේ නම හේරත්. උස අඩි 5'11"ක්. හෙනට කෙට්ටුයි. බඩට ටුක්කැව්වත් දෙකට කැඩෙන සයිස්. එදා මං බිලට් එකේ තේ බොන්න ඇවිත් හිටියෙ. ඒ වෙලාවෙ ආධුනිකයො ඉන්න පැත්තෙන් හයියෙන් හයියෙන් කසුකුසුවක් ඇහෙනව. ආයෙ හයියෙන් කිහිප දෙනෙක් හිනාවෙන සද්දයක් ඇහෙනවා. එකෙක් හිමීට පිටට නෑහෙන තරමට කුණු හරප කියනවා උනත් මගේ කන්වලට ඒව හොඳට ඇහෙනව. එකම බිලට් එකේ කෝපල්ල ඉන්න පැත්තයි සාමාන්‍ය සෙබළු ඉන්න පැත්තයි ගණ කළු ඉටිරෙද්දකින් වහල වෙන් කරල තිබුනෙ. යන්නෙ එන්නෙ ඒ ඉටි රෙද්දෙම දොරක් විදියට කපල තියෙන තැනකින්.
මම හිටියෙ මගේ ඇඳ උඩ ඉඳගෙන තේ එක බිබී. ඒ ඉන්න ඉරියව්වෙන්ම උන්ගෙ කොටස පැත්තට හැරිලා හයියෙන්..
*මොකද්ද හුක්.. තොපේ සද්දෙ. දන්නැද්ද කෝපල්ලා ඉන්නවා කියල.හයියෙන්
අහපුවම ඒ පැත්ත මීයට පිම්ඹාක් මෙන් නිශ්ශබ්ද උනා. විනාඩි කීපයකින් ආයෙත් අර සද්දෙ පටන් ගත්තා. මාත් කොල්ලොනේ කියල නිහඬව පාඩුවෙි හිටියත්, හිටපු ගමන් එකෙක් දුවගෙන ඇවිත් මට ලියුමක් දුන්නා. ඌට එන්න නොදී හේරත් පස්සෙ ඉඳන් ඌව ඇද්දත් ලඟ හිටපු එවුන් හයියෙන් හිනාවෙනවා. කොහොම හරි උන්ගෙන් බෙිරිලා ජයසිංහ මට ලියුම ගෙනත් දුන්නා. ජයසිංහ කියන්නෙ මගෙ ඔෆීස් එකේ ලිපිකරුවෙක්.මගේ ගෝලයෙක්. ඌත් හයියෙන් හිනාවෙවී තමා මෙික ගෙනත් දුන්නෙ. මාත් තේ එක බොන ගමන් ඒ ලියුම තනි අතකින් දිගෑරගෙන කියෙව්වා. කිව්වට විස්වාස කරන්න මගෙ ආදරණීය යාලුවනේ ඒ මං මගේ ජීවිතේට කියෙව්ව හොඳම ලියුම. ඒක කොච්චර හොඳ ලියුමක්ද කියනවනම් තේ එක ඉස්පොල්ලෙ ගිහින් කැස්සකුත් හැදුනා හොටුයි කඳුලුයි බෙිරෙන්නම. මම හිතුවෙත් මාව ඒ වෙලාවෙ මැරෙයි කියල.
ගෙදරදී.
අයියනායක දෙයි පිහිටයි.
මයේ ආදර දිගංචි කොලූ වෙත.
මයේ පුතේ,
ඊයේ හැංදෑකොරේ උඹලෑ ලොකු නංගීගේ පුක මල පීදුනා. ඒකිත් දැං ඉංනේ ගේ මුල්ලේ. තාත්තානං කියෝ කියෝ ඉන්නවා මිසක් මුකුත් කරන පාටක් නෑ. ඒකි කියනව දම්පාට අලුත් ගවුමක් ඔිනෑමයි කියාලා.
ඒක මතක් කරාලාම උඹට කියන්ඩ කිව්වා. තව ඒකි අහනවා, උඹෙි අර අකුරුතුනේ යන්තරේ ඒකි ඉන්න කාබරේට අරගන්නේද කියාලා. හා කියන්ටද? ඒකි කොහොමත් පිචැර්වලට ආසයි නොවැ මයෙ පුතේ. ඔන්නොහෙ ගත්තාවැයි . උඹ ගිය මාසෙ එවපු සල්ලිත් ටිකයි තියෙන්නෙ. තාත්තාගේ බෙිත්හේත් ඔලටත් සල්ලි අහුරුගණන් ගියේ.
කෙලීගේ උස්සවෙිගැන කියව ගන්ඩත් යන්ඩ ඔිනෑ. උඹටත් ඇහැක්නං මෙි අහ ඇහිත් පලයන්. මං දිනේ කියාලා එවන්නං.
මයෙ දිගංචට දළදා හාංදුරුවන්ගේ පිහිටයි.
මීට
අම්මා
මෙි ඒකෙ තිබ්බ ටිකක් විතරයි. මෙික ලියල තිබුනු විදියට බොහොම අමාරුවෙන් කියවගෙන හිනාගියත් දෙවෙනි පාර ලියුම තේරුම් ගන්න කියෝපුවම මට මූ ගැන පව් කියල හිතිල, හිනාවුනාට මට මා ගැනම තරහක් ආවා. හේරත් ලැජ්ජාවෙන් බිම බලාගෙන හිටියත් උගේ හිත හදලා දවස් විසිතුනකට දවස් හතක නිවාඩුවක් දෙවන අණදෙන නිළධාරිතුමාට කියල අනුමත කරල දුන්නා. අකුරුතුනේ යන්තරේ කියන්නෙ වීසීඩී එක කියල උගෙන්ම තමා අහල දැනගත්තෙ. එදා ඉඳන් හේරත් දිගංච වෙලා.. දිගංචා පතෝලයා වෙලා...අන්තිමෙිට පතෝල හේරත් බවට පත්වුනා.
රුවින් පමුදිත යද්දෙහිආරච්චි
2020.09.19
ඒ ලියුම පුරා තියෙන්නෙ අම්මගෙ ආදරෙයි, මනුස්සයංගෙ දුප්පත්කමයි...
ReplyDelete