ඒ 1996 අවුරුද්ද. හරියටම දිනය කියනවනං දුරුතු පෝය දවසෙ උදේ.
මීයම්කුලම් කඳවුර කියන්නෙ අපේ ඒකකය ස්ථානගත කරල තිබුනු 232 බලසේනා සුලස්ථානය බළප්‍රදේශයට අයත් බටහිරෙන් තිබුනු අන්තිම කඳවුර. මෙතනින් එහාට, ඒ කියන්නේ පොලොන්නරුව පැත්තට වෙන්න අයිතිය තිබුනේ 231වන බළසේනා මූලස්ථානයට.
මෙි මීයන්කුලම් කඳවුර හැඳින්වූ තවත් නමක් තමා "කම්බෑට් කෑම්ප්" කියන්නෙ. කඳවුරටම තිබුනු ස්ථීර බිල්ඩින් දෙකෙන් එකක් අපි ප්‍රයෝජනයට අරන් තිබුනෙ කාර්යාලීය ප්‍රයෝජනය සඳහා. ඒක ආරක්ෂක හමුදාවන් විසින් අත්පත් කරගන්නට කලින් තිබුනු එල්ටීටීඊ කඳවුරක්.
කොළඹ මඩකලපුව ප්‍රධාන පාරේ පූනානි ඉඳල 116 සහ 117 කඳවුරුත් සහ ඊලඟට ටී හංදිය කඳවුර, ඊලඟට තමා මීයම්කුලම් කඳවුර පිහිටියේ. එවකට පැවති ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් හේතුවෙන් රටෙි මිනිස්සුන් මෙි පළාත වෙනම කොටසක් පළාතක් විදියට හිතන්න, දකින්න පටන් ගත්තත්, ඔවුන් නොදැකපු එක දෙයක් තිබුනා. ඒ තමා රට මැද්දත් එක්ක මඩකලපු දිස්ත්‍රික්කය සම්බන්ධ කරගෙන සිටීමටත් එහි සිවිල් පරිපාලන කටයුතු කරගෙන යෑමටත් ආරක්ෂක හමුදාවන් සහ පොලිසිය,පොලිස් විශේෂ කාර්‍ය බළකාය දරපු උත්සාහය. මෙිකට තැනින් තැන නේවි එක,එයා ෆෝස් එක සම්මාදන්වුනත් වැඩිම වගකීම තිබුනේ භූමි මෙහෙයුම් සිදුකරන යුධ හමුදාවට.
මෙය දේශපාලණික වශයෙන් අනාරක්ෂිත ප්‍රදේශයක් වුවත් එහි සිවිල් පරිපාලන කටයුතු පවත්වාගෙන යෑම වෙනුවෙන් මෙි සෑම අංශයක්ම මහත් පරිශ්‍රමයක් දැරුවා. මෙි තමා රට මැද්දත් එක්ක නැගෙනහිර සම්බන්ධ කරන ප්‍රධාන සැපයුම් මාර්ගය. (MAIN SUPPLY ROAD)
වැලිකන්දෙන් මඩකලපුව දෙසට එනකොට මඩකලපුව දක්වා පිහිටි මෙි මාර්ගය ආරක්ෂා කිරීම ඉහත කියූ සෑම අංශයකම ප්‍රධාන වගකීම වුනා. ඒ කාලෙ රාත්‍රී 10ට මෙි පාර වහනවා. ආයෙ උදේ කීයට හරි මාර්ග සෝදිසි රාජකාරියෙන් පසු තමා පාර අරින්නෙ. මීයම්කළම් කඳවුරට නිරන්තරයෙන් කොටින්ගේ ප්‍රධාන බලපෑම් එල්ලවුනා. ඒකට හේතුව මෙි කඳවුරට අයත් භූමියේ භූගත කොටසක එල්ටීටීඊ ආයුධ හා පතුරම් ගබඩාවක් තියෙනවා කියන කතාව. මං දන්නා විදියට ඒක ආරක්ෂක හමුදාවන්ටත් හොයාගන්න බැරිවුනා. 2004/5 කාලයෙන් පසු වෙච්චි දේවල්නම් හරියටම දන්නැහැ. නමුත් ඒ කාලෙ නැගෙනහිර කොටි නායකත්වය විසින් නිතරම මෙි කඳවුරට ප්‍රහාර එල්ලකලේ පැය දෙකකට උන්ට කඳවුර අල්ලගන්න තිබ්බනං ඇති කියල. ඒ අර අවි පතුරම් ගබඩාව ඇදගන්න. නමුත් ඒකම තමා කවදාකවත් වුනෙත් නැත්තෙ.
වැලිකන්දෙන් මෙහාට නාවල්අඩි දක්වා පිහිටි මාර්ගය පුදුම ලස්සනක් තියෙන්නෙ. සමහර තැන් ක්ෂිතිජයත් එක්ක ක්ෂිතිජය කැඩී පේන කොට හිතෙන්නෙ අහසට යන්න තියෙන පාරක් වගේ. පූනානි ඉඳන් මීයම්කුළම් කිට්ටු වෙනකන්ම දෙපැත්තම සම්පූර්ණ විවෘත භූමියක්. පුංචි පුංචි කඳුගැට දෙක තුනක් වටා සහ තව සමහර කඳුගැට මැද්දෙන් වැටී තිබුනු පාරේ, සමහර තැන්වලට කිලෝ මීටර් ගාණක් දුරකින් යන වාහන වුනත් හොඳට පේනව. මෙි ඒරියා එකේ මාර්ගය ටිකක් උස්කරල බෝක්කු දාල තියෙන හිංද ලඟ ලඟ බෝක්කු දාල තියෙන තැන්වලින් වාහනයක් යද්දි හිතට එන්නෙ නැවක ගමන් කරනවා වගෙ ෆීලින් එකක්. මෙි පාරෙ දෙපැත්තෙන්ම ඇතුලට මීටර් 50ක් විතර හොඳට එළි කරල තිබුනෙ. ඒ අපේ සහ පාරේ යන එන අයගේ ආරක්ෂාවට. මඩකලපුව පැත්තට එනකොට දකුණුපැත්තෙන් ඈතින් පෙනෙන තල්මංඩි සහ කුඹුරු යායවල්,වාකනේරි වැව ඇත්තටම ඇසට රසඳුනක්. අපේ උසටත් වඩා වැවී තියෙන මාන ඉලුක් කැලේ දැක්කහම බඩ දනවා. ඒ අපි ඒවා හරහා දවස ගානෙම එහෙ මෙහෙ ඇවිදන් යද්දි ඒවා ගෑවිලා කහන හිංද. නැතිනං කැපෙන හිංද. වම්පැත්තට තියෙන්නෙ ලඳු කැලෑව. දකුණු පැත්තෙත් ටිකක් විතර ලඳු කැලෑව තිබුනත් ඒක මහා ලොකු කැලයක් නෙමෙි. ඈතින් පේන තල්මංඩි අස්සෙන් රතුපාටට පොඩිවට පේන පොඩි පොඩි ගෙවල්වල වහලවල්වලට හෙවිල්ලා තියෙන උළු, මෙි පරිසරයට අමතර ලස්සනක් එකතු කලා. මම ඒ වෙද්දි ආධුනිකයෙක් වීම නිසාත් තවමත් එකදු නිවාඩුවක් හෝ ගොස් නොතිබීමත් නිසා ඒ ගෙවල් දකිද්දි හිතට පුදුම දුකක් දැනුනා. ඒ "මට වඩා ඒ ගෙවල්වල මිනිස්සුන්ට නිදහසක් තියෙනවනෙ දෙයියනේ" කියල නිතරම හිතෙන හිංද. ඒ පැත්ත බලාගෙන හූල්ලපු වාර ගණන නම් මෙතෙකැයි කියා කියන්න බැහැ. ඒ තරමට දුක හිතෙනවා. අකුරුවලට නොපෙරලෙන හැඟීම් සමුදායක් අදටත් හදවතේ කොනක තිබිල ඒ ගැන සිහිවෙනකොට එලියට ඇදිල එනව.
එවකට අපේ කණ්ඩ භාර නිළධාරි හිටියෙ ලුතිතන් එල්එච්බී රංජන්.(මට අවසන් වරට හමුවෙනකොට මෙිජර්/දැන් විශ්‍රාමික. මෙිජර් බැසිල් ළමාහේවගේ). මෙි සිදුවීමට පාදක වුනු දිනය හරියටම කියනවනම් ඒ අවුරුද්දේ පළවෙනි පෝය දවස. අපි හිටියෙ මාර්ග සෝදිසි කිරීමෙි රාජකාරියේ සහ ඉන්පසු ස්ථානගත කරන මාර්ග ආරක්ෂක මුර රාජකාරියේ. උදේ අටට විතර අපිව පෝලින් කරල පිකට් පොයින්ට් වලට දාන අය නම් කරන්නෙ කණ්ඩ භාර සැරයන් විසින්. එදා කණ්ඩ භාර සැරයන් විදියට කටයුතු කලේ කෝප්‍රල් කෙනෙක්. එයා මාවත් ලා/කෝ බණ්ඩාරත්, සාසෙ විමලානන්ද දසනායකත් ෆ්ලෑන්ක් එකට නම් කලා. මෙි ෆ්ලෑන්ක් එක කියන්නේ ඒකේ ඉදිරියට යද්දි මාර්ග ආරක්ෂක මුරයට පැති ප්‍රහාරයක්, ඉදිරියෙන් ප්‍රහාරයක් එල්ල වුවහොත් එයට ප්‍රථමයෙන් මුහුන දෙන කණ්ඩය. ගොඩක්ම ඩෙින්ජර්. කඳවුරේ ඉඳන් වාලච්චෙින පැත්තට තියෙන පාර සෝදිසි කිරීම තමා අරමුණ.
කණ්ඩ භාර නිළධාරි තුමා නියමිත වෙිලාවට අණකලේ "හරි පටන් ගන්න" කියන නියෝගයෙන්. ඉස්සෙල්ලාම සාසෙ විමලානන්දත් ඊලඟට මමත්,අන්තිමට එල්එම්ජී අවියකින් සන්නද්ධ ලාකෝ බණ්ඩාරත් එලියට බැහැලා ෆ්ලෑන්ක් එක දාගත්තා. ඊලඟට වමෙි ෆ්ලෑන්ක් එකත් පිලිවෙලින් මාර්ගය සෝදිසි කරන හරස් පෙළත් එලියට බැස්සා. එහෙම බැහැලා ලයින් එක හදාගෙන අපි මීටර් සීයක් එකසිය පනහක් විතර දුරක් යනකොට කණ්ඩ භාර නිළධාරි තුමාගෙන් අණක් ආවා "වහාම නවතින්න" කියල. අපි හිටපු හිටපු තැන්වල නැවතුනා. ඊලඟ පණ්වුඩය ආවෙ " අද අවුරුද්දෙ පළවෙනි පෝය දවස නිසා කට්ටියම ආපසු ඇවිත් කඳවුරේ තිබුනු කුඩා බුදු මැදුරේ මල් පහන් පූජා කරල ආපහු යමු" කියන නියෝගය. ඒ කාලෙ අපි මාර්ග සෝදිසි මෙහෙයුමෙි යනකොට සැක සහිත පඳුරු වලට,ස්ථානවලට වෙඩි තිය තිය තමා යන්නෙ. ඒකට කාගෙන්වත් තහනමක් තිබුනෙ නෑ. අනික ඒක අපේ ආරක්ෂාවටත් හොඳයි. මාත් මෙි වෙද්දි පතුරම් දෙකක් තුනක් වෙඩි තියල තිබුනෙ පාරෙ වම්පැත්තෙ තිබුනු වලවල් සහිත භූමියේ පඳුරු කිහිපයක් ඉලක්ක කරගෙන. නමුත් පිටුපසින් ආපු නියෝගය අනුව අපි ආපසු හැරුනා. හැරිල මීටර් පනහක් එන්න ඇති. එකපාරටම අපිට පිටුපසින් ඒ කියන්නේ 126 කඳවුර පැත්තෙන් එක්වරම එල්ලවූ කොටි ප්‍රහාරයකින් අපි තුශ්නිම්භූත වෙලා ගියා. ඒත් එහෙමයි කියල දුවන්න බෑ. ඒ වෙලාවෙි ගත් ක්ෂණික තීරණයක් අනුව අපි කලේ නැවත ඒ පැත්තට හැරිල එල්ලවෙන ප්‍රහාරයට ප්‍රථි ප්‍රහාර එල්ලකරන එක. මෙි ප්‍රහාරයට කෙලින්ම ඉස්සරලාම අහුවුනේ මමත් එක්ක හිටපු වම් පැත්තෙ ෆ්ලෑන්ක් එක සහ මාර්ගය සෝදිසි කරන කණ්ඩයේ හරස්පෙලේ වම් පැත්තේම ටීම් එක.
එසැනින් වෙන දේ වටහාගත්තු ලාකෝ බණ්ඩාර භූමියේ අණදීම පටන් ගත්තේ ඉදිරියට කණ්ඩ භාර නිළධාරි එන තෙක් එල්එම්ජී අවියත් ඉස්සරහට දාගෙන වෙඩි තියන ගමන්. ලුතිතන් ළමාහේවගේ කියන්නේ මගේ හමුදා ජීවිතේ දැකපු පළවෙනි වීරයා. මොකද ඒ වෙද්දි එතුමා සමග වැඩි ඇයි හොඳයියක් නැතිවුනත්, අහල තිබුනු "යකෙකුටවත් බය නැති මනුස්සයෙක්" කියන දේ දැනන් හිටපු නිසා. ඒකට හේතුව කොතනක හරි ප්‍රහාරයක් එල්ලවෙනවනම් කඩාගෙන බිඳගෙන ඉස්සරහටම එන ගතියක් එතුමාගේ තිබුනු නිසා.
ලා/කෝ බණ්ඩාර ලඟම තිබුනු කෝන් ගහකටත් ඒකටම ඈඳිලා වගේ තිබුනු පලු ගහකටත් මුවාවෙලා එක දිගටම ඉස්සරහට වෙඩි තියන්න පටන් ගත්තා. මටත් කිව්වෙ "එල්එම්ජිය ලඟින් හිටහං එහෙ මෙහෙ දුවන්නැතුව" කියල. මොකද මං පුල් අන්දොස්වෙලා හිටියෙ ඒ වෙච්චි වැඩෙන්. ඒ ගමන්ම විමලානන්දත් බෝක්කුවක් පල්ලට රිංගගෙන දණ ගහගෙන ටී පනස් හයේ මැගසින් මාරු කර කර ඒ ගේමට සහභාගි වුනා. මෙයින් බය ඇරුනු මම ඒ දෙන්නටම මැද්දෙන් දාගෙන දෙපැත්තෙන් ඉන්න දෙන්නා කියන විදියට ඉස්සරහට වෙඩි තියන්න පටන් ගත්තා. ඒ වෙද්දි බැකප් එක කඩාගෙන බිඳගෙන ඉස්සරහට එන්න පටන් ගත්තා. ඒ සියල්ල ක්ෂණිකව එසේ සිදුවෙද්දී කොටි අපිට ඉස්සරහින් දරුණු ප්‍රහාරයක් එල්ල කරන්න පටන් ගත්තා. ඒ ප්‍රහාරය දරුණු වෙද්දි විමලානන්ද කලේ තමන්ගෙ ටී පනස් හය බිමින් තියල අමු තිත්ත කුණුහරප වැලකුත් එක්ක කරේ දාගෙන හිටපු 40මිමී ග්‍රෙනේඩ් ලෝන්චරය අරන් උන් වෙඩි තියන ඉසව් බල බල එක දිගටම බෝම්බ වෙඩි තියන්න පටන් ගත්තු එක.
ඒ වෙනකොට අපේ ප්ලැටූන් කමාන්ඩර් අපේ ලඟට ඇවිත්. මමත් ලාකෝ බණ්ඩාරත් ඒ වෙද්දි හිටියෙ කැලේ ඇතුලේ. මටනම් ඇහෙන්නෙ කෑ ගහනව විතරයි. කරන්න ඔිනදේ කියන්නෙ කෝප්‍රල් බණ්ඩාර. මං එයා කියපු විදියට බඩ ගාගෙන මට ඉදිරියෙන් තිබූ හුඹහකට මුවාවුනා. ඒ මුවාවෙලා එයා කිව්ව පැත්තට එක දිගටම වෙඩි තියන්න පටන් ගත්තා. ඒ එල්එම්ජිය තිබුනු තැනට උන්ගේ ප්‍රහාරයේ වැඩි බලපෑමක් තිබුනු නිසා, ඔහුට එය තනියෙන් ආවරණය කරගත නොහැකි නිසා හා එන්න එන්නම ඒ ප්‍රහාරය ඔහුට දරාගත නොහැකි මට්ටමට පැමිණ තිබුනු නිසා.
ඒත් එක්කම මට මතකයි අපිටත් එක්කම 126 කඳවුරේ මාර්ග ආරක්ෂක මුරයටත් ප්‍රහාරයක් එල්ලවෙනවා. මෙි දෙකම පටන් ගත්තේ එකට. 126 කඳවුර කියන්නෙ අපෙ අසල්වාසී අපේම ඒකකයේ සී කණ්ඩායම ස්ථානගත කඳවුර. ඒ වෙද්දි අපේ සීමාව ඉක්මවා යන්න පටන් ගත්තත්, එතනින් එහාට යෑමට අපට අණ නිකුත් වී තිබුනෙ නෑ. අපිට එක දිගටම දැඩි ප්‍රහාරයක් එල්ලවෙද්දි වාලච්චෙිනෙ කාලතුවක්කුවලටත් කැහිල්ල හැදිල ගීඩීංං ගිඩීංං ගාල තැන තැන වැටී පුපුරා යන්න වුනා. ඒවා වැටුනේ අපිට ඉස්සරහින් පාරෙන් දකුණු පැත්තට. එක්වරම උන්ගේ වෙඩි ප්‍රහාරය එන්න එන්නම දරුණු වුනා. පිටිපස්සෙ හිටපු සියලුම දෙනා අපේ සහයට ඉස්සරහට ඇවිත් මෙිකට සම්බන්ධ වුනා. එයින් ශක්තිමත්වුනු අපි කොටින්ට එක්වරටම පුලුවන්තරමි වෙඩි බලයක් දීල උන්ව එළවා දමන්න උත්සාහ කලා. ඒ 126 කඳවුරේ සහයට අපි යා යුතුම නිසා. අපේ ඒ ප්‍රහාරයෙන් අඩපනවුනු කොටි විනාඩි කිහිපයකින් පසු බසින්න පටන් ගත්තා.ඒත් ඒ වෙද්දි 126 කඳවුරට පහර දෙන එක නැවතිලා තිබුනෙ නෑ. අපිට මෙතනින් ඉස්සරහට යන්නත් බෑ. අපි අපට එල්ලවුනු ඒ ප්‍රහාරය මැඩ පවත්වලා ටික ටික පිටුපසට ඇවිත් ප්‍රථිසංවිධානය වුනා. අපේ දෙදෙනෙක් තුවාල වෙලා තිබුනත් මරණ කිසිවක් නැහැ. පසුව දැනගත්තා 126 කඳවුරට එල්ලවුනු ප්‍රහාරයෙන් අපේ සීකණ්ඩායමෙි නිළධාරි අණදෙනතුමා ඇතුළු හයදෙනෙක් මෙලොව අතහැර ගිය බව. අපිටනම් එදා මුළු කඳවුරම මළගෙයක් වෙලා තිබුනේ.
එදා උන්ගෙ ප්‍රහාරය එල්ලවුනේ 126 කඳවුරට. ඒ කඳවුරට පහර දෙනකොට සහයට අපි එනබව කොටි දන්න නිසා අපිව CUTOFF කරල තිබුනෙ. 126 කඳවුරට කලින් අපට ප්‍රහාරය එල්ලවෙන්න හේතුව වුනේ කණ්ඩ භාර නිළධාරි තුමා මල් පූජා කරන්න කියල පණිවිඩෙි එවීමෙන් අපි ආපසු හැරිල එන්න පටන් ගත්තම උන් හිතල තියෙන්නෙ අපි උන් ඉන්න බව දැනගෙන ආපහු හැරිල උන්ව වටකරන හෝ වෙනම ක්‍රියාන්විතයක් කරයි කියන බය. එදා එතුමා එහෙම පණිවිඩයක් නොඑවන්න අද මෙි කතාව කීයටවත් ඔයාලට කියවන්න වෙන්නෑ. ඒක කාගෙ හරි වාසනාව. මොකද උන් සහ අපි අතර තිබුනු දුර, හිටපු භූමිය අනුව අනිවාරයෙන්ම අපි ඊලඟට නවතින්නෙ උන්ගෙ බෙලිත් පාගගෙන ගිහින් උන්ගෙ ලඟමයි. එහෙම උනානං අපිට ටොකු දෙක දෙක ඇනල උන් එක්කම එක්කන් යන්නත් උන්ට හැකියාව තිබුනා.
රුවින් පමුදිත යද්දෙහිආරච්චි
2020.09.14
Basil Lamahewage
එවකට මගේ කණ්ඩ භාර නිළධාරි තුමා.
ඒ වෙනකොට ආරච්චිගෙ රෑන්ක් එක මොකද්ද?
ReplyDeleteඔක්කොමත් හරි අර අන්තිමට කියල තිබුණු වගන්ති දෙකෙන් මුලු කතාවෙම තිබුණු සීරියස් ගතිය සැැල්ලු වුණා. පට්ට ශෛලියක් ආරච්චි තුමනි...
මට එතකොට පැන්ෂන් එන්න අවුරුදු විසි එකයි මාස දෙක තුනක් වගේ තිබුනේ..
ReplyDeleteඩ්‍රැකී.....