Tuesday, September 29, 2020

නිල ඇදුමක අවභාවිතය

 මෙි දවස්වල මුහුනු පොත් සමාජ මධ්‍යයේ ප්‍රවෘත්ති මවන කතාවක් යනව දැක්කා. මෙි හැම පිංතූරයක් කෙරෙහිම අවධානයක් යොමු කිරීමෙිදී එම පුද්ගලයා පැළැඳි ලාංඡන හා පදක්කම් ගැනත්, ඔහු ගැනත් සමාජයේ විවිධ තරාතිරම්වල පුද්ගලයින් විසින් විවිධ අදහස් දක්වා තිබුනාත් දැක්කා. සමහර ඒවා අසභ්‍යයි. සමහර ඒවා මධ්‍යස්ථයි. තව සමහරක් වෛරී ස්වභාවයකුත් අරන් තිබුනා දැක්කා.

ගොඩක් ඒවා තමා නොදන්නා දෙයක් ගැන නොදන්නා විස්තර කිරීම් ආදිය බොහොමයක් තිබුනා. ඉතින් මටත් හිතුනා ඒ ගැන පුංචි කතාවක් කියන්න. වැරදි ඇතොත් සමා වෙන්න. මං ආසයි හදාගන්න. 

 

සාමාන්‍යයෙන් ආයතනයක් පිහිටුවීමෙිදී ඒ ආයතනයට ආවෙිනික විදියට ඇඳුමක්, නිළ ඇඳුමක් නිර්මාණය කිරීම ඒ ආයතනය ස්ථාපිත අරමුණු අනුව සාධාරණය විය හැකියි. ඒකේ අරමුණ වෙන්නේ දාහක් පුද්ගලයින් අතරින් එම ආයතනයට ආවෙිනිකයා පැහැදිලිව වෙන්කර හඳුනාගැනීමෙි හැකියාවක් ඇති කිරීම.


 අපි ගමුකෝ හමුදාව ගැන. හමුදාවෙි තියෙනවා ඇඳුම් පිළිවෙත කියල එකක්. ඒකට කියන්නෙ Dress Regulation එක කියල. හමුදාවෙ සාමාජිකයෙකුටවත් ආවාට ගියාට ඒ නිළ ඇඳුම් සහ ලාංඡන පළඳින්න බෑ. ඒවට නිසි අවසරයක් අනුමැතියක් සුදුසුකමක් අත්‍යවශ්‍යයි. මෙි අනුමැතිය ලබා දෙන්නෙ ඒ සාමාජිකයා හමුදාවට බැඳීමෙි පිළිවෙත අනුව. හමුදාවෙි ඉන්නවා සාමාජික කොටස් දෙකක්. එකක් කොමිෂන් ලත් නිළධාරි. අනෙක සෙසුනිළ. එහෙමත් නැතිනම් කොමිෂන් නොළත් නිළයන්.හැබැයි මං මෙිකෙන් කියන්න යන්නේ කොමිෂන් නොලත් නිළයින්ගේ නිළ ඇඳුම් පිළිබඳව පුංචි කතාවක්. ඒක ඔබට වටී කියල හිතෙන හන්දාත්, නිළධාරින්ගේ Dress Regulation පිළිබඳව සියයට සීයක් නිවැරදිව අදහස් දැක්වීමට අපහසු වුවත් ගොඩක් දේවල් දන්නවා වුනත්, යම් වැරැද්දක් වුනොත් ඒකෙන් කාටත් හොඳ නැති හිංද. ඒක තමා ලේසිම එක තෝරගත්තෙ. 


මම හිටපු හමුදා සාමාජිකයෙක්ලුනේ. ඉතින් මෙි කතාව මගෙන්ම පටන් ගන්නම්. 

1. ලාංචන රහිත නිළ ඇඳුම.

-------------------------------------------

 වයස අවුරුදු දහ අටෙි විස්සේ නිකන්ම නිකන්  සිවිල් පුද්ගලයෙකු සොල්දාදුවෙකු කිරීමෙි වගවීම වෙනුවෙන් රජය විසින් විශාල පිරිවැයක් දරණවා. ඒක රුපියල් ලක්ෂ ගණනක්. ඒක එදත් අදත් හෙටත් එහෙම්මමයි. ඒක අතාරිමුකෝ. හමුදා සම්මුඛපරීක්ෂණයට සහභාගිවී එයින් තෝරාගැනීමෙන් පසු යොමුකරන ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයකින්ද, වෛද්‍ය පරීක්ෂණයකින්ද මෙි සෑම කෙනෙක්ම සමත්විය යුතුයි. ඊලඟට සිද්දවෙන සියලු කටයුතුවල නිමාවෙන් පසු ඔහුව මාස කිහිපයක පුහුණුවකට යොමු කරවනවා. ඒ සඳහා තෝරාගන්නෙ හමුදා පුහුණු පාසැල්. හමුදා පනත අනුව සෙසුනිළයෙකුගේ පුහුණු කාලය අවුරුද්දක්. නමුත් යුගයේ අවශ්‍යතාවය මත එය අවුරුද්දේ සිට මාස තුන දක්වාත් යුධ සමයේ නම් මෙික මාස එක හමාරක් දක්වාත් කෙටිවුනා. නමුත් ඉගැන්වූයේ ඒ වසරක පාඨමාලාවෙි අඩංගු සෑම දෙයක්ම මාස තුනකදි. නැතිනම් එකහමාරක කාලයකදි. ඒ හේතුවෙන්ම මෙි පාඨමාලා බොහොමත්ම දුෂ්කර ස්වභාවයක් ගන්නවා. පුද්ගලික විනය,හමුදාමය විනය, දැනුම,හැකියාව,පලපුරුද්ද  ඇතුලු සියලු කාරණා සියයට සියයක්ම හොඳින් හෝ අපහසුනම් නරකින් හරි ලබා දෙනවා. කෙටියෙන්ම කියනවනම් මෙිකට කියන්නෙ "මකල හදනවා" කියල. පාන්දර හතරට අවදිවෙලා රෑ 10.15ට විදුලි ලාම්පු නිවන වෙලාව තෙක් හා ඉන් පසුවත් යන්තරයක් වගේ පුහුණුව ලබන කොල්ලො උනත් අඬන සහ ඇඬෙන අවස්ථා එමට තියෙනවා. මොන මගුලකට හමුදාවට බැඳුනාද කියලා තමන්ටම හිතෙන්න ගන්නවා. හිතෙන්න ගන්නවා නෙවෙයි වෙන්නෙ ඇත්තටම, හිතන්න සල්වනවා. ඒ තරමට පුහුණුවෙි තියෙන වෙිදනා සහිත දුෂ්කර  හා දරුණු බව නිසා. ඉතාම සුළු වැරැද්දකට වුනත් ගණ පිහිටෝලා දෙන එසැන දඬුවම්, සහ සමූහ දඬුවම් මගින් ඔවුන් කලින් හිටිය මානසිකත්වය සහ මාන්නය  බිංදුවටම වට්ටලා, පුහුණුවෙිදී ලබන වෙිදනාවත් එක්ක ඔවුන් සෑම කෙනෙක්ම මානසික වශයෙන් බිංදුවටම වට්ටනවා. ඒක හරියට කෝවකට වානේ කැබැල්ලක් දානවා වගේ වැඩක්.  මුල් සති කිහිපයේම කරන්නේ මෙි පුද්ගලයා තමන් කව්ද, කොහෙන් ආවද, තමාගේ වටිනාකම, තියෙන උගත්කම්, හැකියාවන් බිංදුවටම දැමීම. පස්සෙ මෙයා ඒකෙන් වටහා ගන්නවා තමා මෙි සමාජයේ තවත් එක් කෙනෙක් විතරමයි කියල.  අන්න ඊට පස්සෙ පටන් ගන්නවා පිළිවෙලින් ලෙසටම ඔහුගේ ඔලුවට, හමුදාව කියන්නෙ මොකද්ද, සෙබලෙක් කියන්නෙ කව්ද, සෙබළෙකු සතුවිය යුතු ගුණාංග මොනවද, ඔහුට පැවරෙන වගකීම් සහ රාජකාරිය මොකද්ද, තමන්ට කරන්න පුලුවන් සහ බැරි මොනාද ඔහුගෙන් හමුදාවට සහ රටට ඇති ප්‍රයෝජනය මොකද්ද ආදී පුළුල් පරාසයක විහිද ගිය හැමදෙයක්ම පිළිවෙලින් අඩුක් කරන්න. මෙික හරියට අර කෝවෙි දමාපු වානේ කැබැල්ල පිළිවෙලින් පන පොවලා ශක්තිමත් ආයුධයක් නිර්මාණය කරනවා වගේ දෙයක්. ඒත් හරි පරිස්සමට කලයුතු දෙයක්.


මෙික දවසකදි සතියකදි මාසයකදි කරන්න පුලුවන් දෙයක් නෙමෙි. අද හමුදාවෙ මෙි සෙසුනිළ කොටසෙ ඉන්නෙ අවුරුද්දක දේවල් ඒ විදියට මාස තුනකදි ඔළුවට දාගත්තු අය. ඒ පුහුණුව අවසානයේ නිර්මාණය වෙන්නේ  වෙනස්ම පුද්ගලයෙක්.  කෙටියෙන්ම කියනවනම් තමන්ගේ මව පියා සහෝදරයා ඥාතියා වුනත් රටට රජයට සමාජයට එරෙහි වැරැද්දක් කලොත් අත්අඩංගුවට ගැනීමට, ඒ ඥාති සම්බන්ධතා පසෙකලා මරා දැමීමට වුවත් පුලුවන් තරමෙි මානසිකත්වයකින් යුතු ශක්තිමත් විශේෂ පුද්ගලයෙකු බවට මෙයා පත්වෙනවා. මෙිකට පාන්දර හතරේ සිට තමා ලබන පුහුණුව තමයි මූලික  වෙන්නෙ. අනිවාරයෙන්ම පාන්දර හතරට අවදිවී මුහුන සෝදා භඨ නිවාසය වෙනත් කිසිම පුද්ගලයෙකුට සැකසිය නොහැකි ආකාරයේ පිලිවෙලකට හරි ලස්සනට සකසා උදේ 06.15ට ශාරීරික අභ්‍යාස පුහුණූවීම් සදහා යොමුවී, උදෑසන ආහාරයෙන් පසු නැවත භඨ නිවාස සකසා උදේ 0800ට පා සරඹ පුහුණුව සඳහා පිටත්ව යනවා. ඒකාලය පැය දෙකක්. ඉන්පසු දේශණ. හමුදාවට ආවෙිනික විවිද පැතිකඩයන් ඔස්සේ උගන්වෙන දේශණ හරියට විශ්ව විද්‍යාලයක වගේම තමා කෙරෙන්නෙ. නමුත් ඊටත් ගොඩක් එහා ගිය පිලිවෙලක් ලස්සනක් හැදියාවක් මෙි හැම වැඩකම තියෙනවා.


ගොඩක් පාඩම් තියෙන්නෙ දේශණ වලින් ඉගෙන ගෙන ඉන්පසු ඒවා ප්‍රායෝගිකව සිදු කිරීම. නින්ද ගියොත් ගුටි සහ එසැණ දඬුවම්.  ඒක ඉවර වෙන්නෙ හරියටම 1300 පැයට. ඊට පස්සෙ කෑම පැය. නැවත මළත් නොමළත් දෙකට අවි පුහුණුව. ඒක තියෙනව හවස හතරයි කාල වෙනකම්. ඊලඟට සන්ධ්‍යා ක්‍රීඩා. සන්ධ්‍යා ක්‍රීඩා කියල සිලබස් එකේ තිබුනට හැමදාම කෙරෙන්නෙ 1630 පැයේ ඉඳන් 1730 නැතිනම් 1800 පැය වෙනකම් ශාරීරික අභ්‍යාස පුහුණුවීම්. මෙිකට එක එක විෂයයන් ඇතුලත් වෙනවා. කඳ තැලීම, කඳ පොලවෙ ගැසීම ඒ අතරින් විශේෂයි. මෙි අතර තුර කාලයේදී ලැබෙන පුද්ගලික සහ පොදු වැරදි වෙනුවෙන් ලැබෙන දඬුවම් එමටයි. විවිධ ඉරියව් මත පිහිටුවා ලබාදෙන දඬුවම් ඉතාමත්ම වෙිදනාකාරීයි. මෙි හැම දෙයක්ම කෙරෙන්නේ සහ කරන්න පුරුදු කරන්නේ නියමිත කාල සටහනකට අනුවයි. හරිම තත්පරේට වැඩ කිරීම අනිවාර්යයි.


හමුදාවට බැඳෙද්දී මගේ ස්කන්ධ බර කිලෝ පනස් හතරයි. පාඨමාලාව අවසානයේ බර කිලෝ හතලිස් දෙකයි. පාඨමාලාව මාස තුනයි. රෑ දහයයි කාලට ලයිට් ඔිෆ් කරන්න නියෝග ලබා දී තිබුනත් අපි ඒ සම්පූර්ණ පුහුණු කාලය තුල කවදාවත් දහයයි කාලට නිදාගත්තේ නෑ. හැමදාම පාන්දර එකයි දෙකයි. ඒ පහුවදාට අඳින්න තියෙන නිළ ඇඳුම් සැකසීම, බූට් සපත්තු පොලිෂ් කිරීම, පාඩම් කිරීම, අවි පුහුණුවෙිදී ලැබෙන ක්‍රියාකාරකම් ඉරියව්, පුද්ගලිකව හෝ සාමූහිකව පුහුණුවීම, උගන්වන සෑම අවියකම පාඩම් සහ කොටස් කටපාඩම් කිරීම,  රූප සටහන් ඇඳීම, සටහන් පොත් සකස්කිරීම, ඊ ලඟට පොදුවැඩ කිරීම. මෙි හැම දෙයක්ම අපි රෑ ලයිට් නිව්වට පස්සෙ ඉටිපන්දම් එළියෙන් තමා කරන්නෙ. නමුත් ඒ කොච්චර කලත් කොච්චරක් නිවැරදිව කලත් පහුවදා උදේ ඒවා නිරීක්ෂණයට ලක්කරන උපදේශකයින්, ඒවා වැරදියි කියල අල්ලල විසිකරද්දි නැත්තං මූනටම දමල ගහද්දි,එහෙමත් කරලා හක්කටත් තුන හතරක් අතාරිද්දි ඇතිවන හැඟීම මොන වගේ එකක්ද කියලා දන්නේ තවත් ඒ පුහුණුව ලද්දෙක්  විතරයි. ඊට පස්සෙ පහුවදාට ඒවා කරන්න දෙන්නෙ ඩබල් කරලා. එතකොට නින්දක් ඇත්තෙම නෑ. එක තත්පරයක් ඇස් දෙක නොපියපු රැයවල් ඔින තරම් ඒ පුහුණු කාලයේ තිබුනා.

ඒත් අමාරුයි අපහසුයි කියලා මෙිව කිසි දෙයක් මග හරින්න බෑ. පහුවදාට කරල පෙන්නන්න කියන විනාඩියේ ඒවා අපි ඉදිරිපත් කල යුතුමයි. ඊට අමතරව ලැබෙන ශාරීරික වදහිංසා, දඬුවම් කොච්චරක්ද. නමුත් ඒවා බෑ කියල පැනල යන්නද? බෑ කියල අයින් වෙන්නද? ඔවුන්ව බෙිරගන්න ගෙදරින් අම්මා තාත්තා ඉදිරිපත් වෙයි කියලද?. නෑ. මෙි හැමදෙයක්ම නැවත නැවත වැරදියි කිය කිය කරවන්නේ පළපුරුද්දක් ඇතිකිරීමට. අහම්බෙන් හරියට කරල පාස්වෙනවට වඩා හමුදාවෙි තියෙන්නේ පළපුරුද්දෙන් පාස් කරන එක. අපි හරියටම ඒව කරල තිබුනත් වැරදියි කියා විසි කිරීම, සහ වැරදියට කලා කියල ලැබෙන ගුටි අනන්තයි අප්‍රමානයි. තැනක් නොතැනක් වෙලාවක් කලාවක් නැති මෙි ආධුනිකයා යන්තරයක් බවට පත්වෙන්නේ ඒ නිසයි. රැයකට පැය තුනකටත් වඩා අඩු කාලයක් නිදියන ආධුනිකයාට පසුවදාට එක විනාඩි පහක් ඇස්දෙක පියාගන්න දෙන්නෑ. කව්රුත් පව් කියන්නෙත් නෑ. එච්චර දුශ්කරව ලබාගන්නා  පුහුණුවකින් පස්සෙ ඔහුට ලැබෙන්නෙ මොකද්ද. කිසිම ලාංඡනයක් නැති ලෙන්යාර්ඩ් එකක් බෙරේට්ස් එකක්වත් නැති නිකන්ම නිකන් නිළ ඇඳුමක් විතරයි. 


2. ලාංඡන ලැබීම.

---------------------------


මෙි නිකන්ම තියෙන, එහෙමත් නැත්තම් ලාංඡන නැතුව පළඳින නිල ඇඳුමට ඒ ලාංඡන පැලඳීමට නම් මීටත් එහා ගිය අති දුෂ්කර පාඨමාලාවක් හැදෑරිය යුතුයි. අපේ රෙජිමෙින්තුවෙිනම් මෙි පාඨමාලාවට කියන්නෙ OWL COURSE (OPERATOR WIRELESS LINEMEN) කියල. නැතිනම් මූලික සංඥා පුහුණු පාඨමාලාව කියල. ඒකත් තනිකරම වෙිදනාබරිත දුෂ්කර අමාරු පාඨමාලාවක්. ඒ පාඨමාලාව හැදෑරීමෙන් පසු තමා ලාංඡන පැලඳීමට අවසර ලැබෙන්නෙ. මෙිකත් මාස තුනක් හෝ තුනහමාරක් හැදෑරිය යුතු පාඨමාලාවක්. ඒ කියන්නෙ මෙි පුද්ගලයාගේ කමිසෙ කොලරයේ ගහල තියෙන ලාංඡන දෙක වගේ තමන්ගේ රෙජිමෙින්තුවට අදාල දෑ. ඒ දෙකත් එක්ක බෙරේට්ස්,ලෙන්යාර්ඩ් පැළඳිය හැකියි.


ඔබ දැන් චුට්ටක් මෙිකෙන් ඇස් දෙක ඉවතට අරන් මොහොතක් කල්පනා කරල බලන්න  ලාංඡන රහිත නිකන්ම නිකන් නිළ ඇඳුමක් අඳින්නත්, ඒකට ලාංඡන පැළඳීමටත් සෙබළෙකු කොතරම් වෙිදනාවක් දුකක් විඳිය යුතුද කියල. ලේ කඳුළු දහඩිය කොතරම් හැලිය යුතුද කියල.

අනික අපි හිතමු මෙයා ඇඳන් ඉන්නේ MESS DRESS එකක් කියල. මෙික මොකද්ද කියල අඳුරගන්නත් අමාරුයි විගඩම් කරල තියෙන නිසා. නමුත් අපි හිතමුකො මෙහෙම. සෙසුනිළයෙකුට මෙි ඇඳුම අඳින්න ලැබෙන්නෙ සැරයන් නිළය ලැබුනට පස්සෙ හා ඉන් එහාට විතරයි. සැරයන් කෙනෙක් වෙන්න අර ඉහත කිව්ව වගේ පාඨමාලා පහක් අනිවාරයෙන්ම කල යුතුයි. ආධුනික පුහුණු පාඨමාලාව, තමා අයත් රෙජිමෙින්තුවට ආවෙිනික මූලික පාඨමාලාව, නිළ උසස් කිරීමෙි පාඨමාලා තුනක්. ඊලඟට විභාග හතරක් සමත් විය යුතුයි. ඒ වෘත්තීය පරීක්ෂණ 3,2,1, ශ්‍රේණි (අපේ රෙජිමෙින්තුවෙිනම් පළවෙනි ශ්‍රේණිය සමත් වෙන්න මාස දෙකකට එහා ගිය පාඨමාලාවක් තියෙනව). සහ භෝජනාගාර ගිණුම් තැබීමෙි පරීක්ෂණය. අර පාඨමාලා පහත් හදාරල සමත්වෙලා, මෙි විභාග හතරත් සමත් වෙලා ජ්‍යෙශ්ඨතාවයත් ආවට පස්සෙ තමා සැරයන් නිළය ලැබෙන්නෙ. අන්න එතකොට මෙි මෙස් කිට් එක අඳින්න පුළුවන්. මගේ අවුරුදු විසි දෙකක සේවාකාලය තුල උනත් ඔය නිළ ඇඳුම අඳින්න වාසනාව ලැබුනේ අවස්ථා තුනකදී විතරමයි. කොමිෂන්ලත් නිළධාරියෙකුනම් මෙිවා එකවර අවුරුදු දෙකක් හෝ තුනක් හැදෑරිය යුතුයි. සිලබස් එක සහ ක්‍රමය වෙනස් වෙන්න පුලුවන්. නමුත් එක දිගටම හැදෑරිය යුතුයි.

එතකොට අපි හිතමු මෙහෙම. මෙච්චර දුක් වෙිදනා විඳලා අති දුශ්කර පාඨමාලා කිහිපයක්ම හදාරල, විභාග පාස්කරලා දහඩිය කඳුළු වෙිදනා දුක් මැද්දෙන් අයිතිකර ගන්න ඒ නිළ ඇඳුම සහ ලාංඡන කිසිම සුදුසුකමක් නැති පුද්ගලයෙකු ලාබෙට පැළඳීම සෙබලෙකු කෙසේ අනුමත කරයිද කියලා. 


4. පදක්කම්

------------------

 ඒ ගැනනම් ඔයාලා ටිකක් දන්නවානේ. මෙයා පළඳල තියෙන එක් පදක්කමක් පළඳින්න අවුරුදු තුනක් උතුරු නැගෙනහිර ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටිය යුතුමයි. මෙිකට රටෙි කොහේ හිටියත් බෑ. ක්‍රියාන්විතයේම ඉන්න ඔින. එක දවසක් අඩුනම් ඒත් ලැබෙන්නෑ. ඒ අවුරුදු තුනක කාලය තුල රුදුරු ත්‍රස්තවාදීන් එක්ක ඇතිවූ සටනකදි පැරදුනොත්, ඒත් ඒ පදක්කම ලැබෙයිද? නෑ. ඒකටත් ජීවත්වෙලා ඉන්න වාසනාව තියෙන්න ඔින. ඉතින් මං කියන්නේ මෙච්චර අමාරුවෙන් අඳින නිළ ඇඳුමක් මෙි වගේ පුද්ගලයෙකු පැලඳීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ කියල. එයා එයාගේ උත්සාහයෙන් දියුනුවෙලා ලංකාවෙ අංක එකේ කෝටිපතියා උනත් සෙබළෙක් නෙමෙිනං මෙිව අඳින්න බැහැ. 


ඒ කොච්චර කලත් මෙි සෙබළාට තමන්ට හිමි නිළ ඇඳුමක් නිවසක තියාගන්න අවසර නෑ. කොටින්ම තමන්ගේ මංගල උත්සවයට අඳින ඒ නිළ අඅඳුමටත්, දෙවෙනි මනමාලයා මල්කුමාරයාට පවා අන්දන නිල ඇඳුමටත් විශේෂ අවසරයක් ලබාගත යුතුමයි. තමා නිල ඇඳුම අඳිනවානම් දෙවෙනි මනමාලයත් සෙබළෙකු විය යුතුමයි. ආයෙ ඒකට සිවිල් යාලුවෙක් යොදාගන්න බෑ. 

අවසානයට කියන්නේ මෙි වගේ ක්‍රියාවන් වලට විරුද්ධ වීමත් ඔබගේ සහ මගේ වගකීමක්. තමන්, තමන්ගේ සහෝදරයා,පියා,මිතුරා, ඥාතියා එතරම් අමාරුවෙන් අඳින ඒක පල්ලෙහාට වැටෙන්න නොදී ඒකට නිසි ගරුත්වය ලබාදීම ඔබගේ වගකීමක්. මොකද ඔය නිළ ඇඳුම හරියට තියෙනකම් ඔබත් ආරක්ෂිතයි.මමත් ආරක්ෂිතයි. 

අනික ලෝකයේ හොඳම මානුෂීය හමුදාව, ත්‍රස්තවාදයක් යුධමය වශයෙන් පරාජය කර මුලිනුපුටා දැමූ වගේම හමුදා ලෝකයේ දරුණු වෙිදානාබරිත දුෂ්කර පුහුණුවීම් ලබන ලෝකයේ තුන්වැනි තැන වැජඹෙන ශ්‍රේෂ්ඨ හමුදාවක නිළ ඇඳුමක් මෙසේ හෑල්ලුවට ලක් කිරීම ඇත්ත වශයෙන්ම ඔබගේත් මගේත් දුර්වලතාවයක්මයි. මං එහෙම කිව්වෙ හැමෝටම නෙමෙි. තමන්ගේ කෙනෙක් එහෙම ඇඳල "ලස්සනයිද" අහපුවම ලස්සනයි කියල අනුමත කරන අය ගැන.

හැමෝටම සෙබළෙක් වෙන්න බෑ. ඒකට පෞරුෂයක් තිබිය යුතුයි. නිකන්ම නිකන් ඒක අඳින කෙනාට, හමුදාවෙි ඉන්ටවීව් එකකට ගියපු කෙනෙකු ලඟවත් තියෙන හැඟීමක් පෙනුමක් පෞරුෂයක් ගන්න බෑ. කාටවත් බනින්න යන්න එපා. ඔබ නිවැරදි වෙන්න. මතු මෙි නිළ ඇඳුම අඳින්නේ ඔබ,ඔබගේ පුතා,මුනුබුරා වෙන්න පුලුවන්. එයාලට ඒ ආඩම්බරය ඉතුරු කරන්න. එතකොට එයාලා තව කල්පයක් හැකි උපරිමයෙන් මෙි රත්තරන් දේශයත් ඉන්නකන් අපවත් රැකගනීවි. 


රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2020.09.28


.

7 comments:

  1. මට ඔබගේ වේදනාව තේරුම් ගත හැකියි. සමාජයක් වශයෙන් අපි කුහකයි. සැමවිටම එකඟ නොවෙන නමුත්, මාතලංගේ අද පෝස්ට් එක සමඟ එකඟයි.

    ReplyDelete
  2. මම ඔය උත්සවයේ, සමාජගත කෙරුණු පින්තූර හැම එකක් ම බැලුවා. චන්දිමාල් පහුගිය වතාවකත් ඔය වගේ ඇදුමක් ඇන්දා කියලත් මතකයි. ඔතන මට නම් පේන්න තියෙන්නෙ, චන්දිමාල්ගෙ හීනමානය එළියට දැමීමක් විතරමයි. සිංහාසනය, තමන්ගෙ රෑපය ප්‍රින්ට් කරපු කේක් ගෙඩිය, තමන්ගෙ රූපය දැවැන්ත තිරයේ ප්‍රදර්ශනය කිරීම ආදී දේවලින් ඉස්මතු වෙන්නෙ හීනමානය විතරමයි...

    හමුදාවට අත්විඳින්න වෙන වේදනාත්මක කෝපය මැඩගනිමින්, මම ආරච්චිට ආරාධනා කරනව එයාට අනුකම්පා කරන්න කියලා. මන්ද, එදිරිවාදියාගේ අනුකම්පාව තරම් පළිගැනීමක් තවත් නෑ...

    ReplyDelete
  3. මගේ අදහසත් ඩ්‍රැකීගෙ අදහසමයි. ඒ uniform එක ඇඳලා ඔහු දාල තියෙන photos වල ඔහුගේ ඇස් දෙක දිහා බලන්න. මටනම් පෙනෙන්නේ ඒ ඇස්වල ආත්මානුකම්පාව, insecurity පිරිලා. අපි හැමෝටම මේවා අඩු,වැඩි වශයෙන් තියෙනව. සමහර අයට වැඩියි. ආත්ම විශ්වාසය, class, self-esteem වගේ දේවල් සල්ලි, බලය වගේම උගත් කම වුනත් තිබුනු පලියට සමහර අයට ලබා ගන්න බැහැ. ඒ නිසා ඒගොල්ලන්ට compassion තමයි සමාජයෙන් අවශ්‍යම දෙය.
    (ඔබගෙ posts ඉතාම රසවත් කියලත් කියන්න ඕනේ)

    ReplyDelete
  4. ප්‍රා ජේ...

    මාත් හිතුවෙ එහෙමයි. ලස්සන ඇඳුම් ටිකක් තිබුණා සමහර කොල්ලන්ගෙ.

    ReplyDelete
  5. ඇත්තටම මගේ අදහස උනේ චන්දිමාල් විවෙිචනය කිරිමවත් එයාගෙ නිළ ඇඳුම ගැන කීමවත් නෙමෙයි. මට ඔිනවුනේ ඒ පොටෝ එක උදාහරණයකට ගන්න විතරමයි. නමුත් ෆේස්බුක් එකේ සෑහෙන්න විවෙිචන ආව. මං කොහොමත් මොනාහරි ලියනවනේ. ඔබතුමන්ලා දක්වපු අදහස්වලට මාත් එකඟයි. ඒක නිළ ඇඳුමක් වගේ ඇන්ද අච්චාරුවක්. බොහොමත්ම ස්තුතියි අදහස් දැක්වුවට.

    ReplyDelete
  6. මම නං ඕක මොකක්ද කියලවත් දැනං උන්නෙ නෑ. ඒ ඇඳුම හොරකං කරන්න පුළුවං වෙයි හැබැයි ඒ ගරුත්වය ගන්න සල්ලිවලට බෑ.

    ReplyDelete