Tuesday, September 1, 2020

වව්නතිවු සටන

 සෙබළුන් නිසයි හැම බිම් අඟලම රැකුනේ

ඒ ලේ හැලුනු තැන්වල පොපි මල් පිපුනේ



ගිනියම් වූ අව්කාශ්ඨකෙත් අහස ගිගුම් දී ඇද හැලෙන අනෝරා වැහි මැදත් රැයක් දවාලක් කියා වෙනසක් නැතුව නෙතට නින්දක් කුසට අහරක් මහන්සියක් දුකක් වෙිදනාවක් ගැන නොසිතා පැය විසිහතරෙන් එක තත්පරයක්වත් තම වගකීමෙන් එපිටට නොයා හැම තිස්සෙම තමන් උපන් දේශය රැකගැනීමෙි පරම පවිත්‍ර චෙිතනාවෙන් අවසන් හුස්ම හෙලන තෙක් ඇප කැප වී සිටින්නේ සෙබළෙක් හැර අන් කවරෙක්ද? 


ගොදුරු සොයා වෙිගයෙන් පියාඹා යන උකුසු රංචුවක් මෙන් සතුරාගේ තුවක්කුවෙන් මුදවා හරින අඟලක් තරම් දිග වූත් ගිනියම් වූත්  ලේ පිපාසිත පොකුරු වෙඩි උණ්ඩ ඔිනෑම අවස්ථාවකදි මෙවන් වූ වීරයන් සදහටම නිහඬ කරවන්නට දක්වන්නේ මහත් වූ ඇල්මක්.  ගිම්හානයත් වසන්තයත් අතර පිබිදෙන හැඟුම් රාසී අවසන් හුස්මත් එක්ක වා තලයට මුදවා හරින මෙි සෙබළාගේ හෙට දවස ගැන තියා ඊලඟට උදාවෙන  මොහොත ගැනවත්, මාරයාටවත් නිශ්චය කල නොහැකියි. එතරම් අවිනිශ්චිත භාවයෙන් පිරුනු මෙි ජීවිත ඉතාම වෙිදනාකාරීයි.ඒ වගේම කටුකයි. එය මෙසේ යැයි කියා අකුරුවලින් කිසිවෙකුටවත් තේරුම් කල නොහැකියි. ඒක නිසියාකරවම හඳුනන්නේ තවත් සොල්දාදුවෙක්ම පමණයි. ඔවුන් කටු කොහොලින් පිරුණු, ගිනියම් වූ, මහ පොළව මත පය තබන්නේ ඊටත් වඩා දෙපයට රිදුම් දෙන අඩියේ කට්ටා විසිනවයක් තියෙන, ස්ලීව් විස්සකින් යුතුව ලේස් කල කලු පැහැති රළු බූට් සපත්තු යුගලයක් දෙපයට පැළැඳගෙන. තද අව්රශ්මියත්, එහිම ගිලී, එහෙත් නිමක් නැති ගමනකත් යෙදෙන ඔවුන්ව සරසන්නේ බොත්තම් තිස් දෙකක් ඇති වීරයන්ටම පමණක් ආවෙිණික වූ විශේෂ වූ නිළ ඇඳුමකින්. දහඩියෙන් මුළු ගතම නෑවුනත්, කොතරම් විඩා දැනුනත්, කුසගින්න,පිපාසය මැද රූරා හැලෙන දහඩිය කඳද එකසේ විඳ දරාගනිමින් එහෙත්, ඔිනෑම අවස්ථාවකදී මරණය ඉදිරියේදී මාරයාට වුව හිස නොනමන මහඟු එඩිතර භාවයකින් යුතු මෙි විශේෂ පුද්ගලයා,ගිනියම් වෙඩි උණ්ඩයකට හැර කා හටනම් නිහඬ කල හැක්කේද?. දවසේ ඔිනෑම කාල පරාසයකදී ඔබ අප වෙනුවෙන් අන්තරායකර ඔිනෑම අභියෝගයකට නිමෙිෂයක් තුල  මුහුන දෙන ඔවුන් මෙි පොලවෙිම ඉපදී මියයන ඔබගේත් මගේත් සහෝදරයන්මැයි. 


රණ බිම මැරුණේ සිංහලයෙකුනම් පපුවෙි වෙඩි සළකුණ ඇත්තේ....

සතුරට ළය දී මිස මැරුනේ නෑ, ලේ පැල්ලම් නෑ පිට පැත්තේ......

 

චන්ද්‍රිකා සිරිවර්ධන ගයන මෙි ගීතයට මා කිසිසේත්ම එකඟ නෑ. මොකද රණ බිමෙි මැරෙන්න සිංහලයා ඉපදුනේ නෑ. නොමැරී රණබිම ජයගන්නයි සිංහලයා ඉපදුනේ. මම කියන්නෙ සෙබළා මැරෙන කතාවයි ජයගන්න කතාවයි කතා දෙකක් කියල. 


සෙබළාණනේ නුඹ මැරුනා නොවෙි..

කුසුමක් වෙලා නුඹ පිපුනා ළයේ...

නීල් වර්ණකුලසූරිය ගයන මෙි ගීතය ඊට වඩා ගොඩාක් මන්දස්මිතයි.


ඒ වව්නතිව් රණභූමිය. අවුරුද්ද 1999. 

අපි ඒ වෙද්දි හිටියේ වව්නතිව්. මෙි කඳවුරට ඉදිරියෙන් සහ ආසන්නයෙන් පිහිටුවා තිබූ සතුරු බංකර් පේලිය දිහා එක මොහොතක් නෑර අපි ඇස් ඇ⁣රගෙන බලා ඉන්නේ මොනයම් වෙිලාවකදි හෝ අවස්ථාවක් පැමිණිවිට ඔවුන් සියල්ලෝම මරා දමා පරාජය කොට ජයග්‍රහණයම ලැබීමෙි මහත් වූ අභිලාශයෙන්. නිතරම නාසය ඉදිරියේ මාරයා අනග රැඟුම් රඟද්දීත් මාරයාවත් සත පහකට මායිම් නොකල අපේ සෙබළුන් මාරයාටත් විහිලු කලා. 


එදා මම හිටියේ කඳවුර ඇතුලේ. ඒ නැවත 233 බසේමු රාජකාරි සඳහා ස්ථාන මාරුවීමක් ලැබී යන්නට ආසන්න දවසක්. මෙදින තමා මාව එහෙ යවන්න සම්මුඛ පරීක්ෂණයට භාජනය කරන්නට නියමිතව තිබුනේ.


කෝප්‍රල් හේරත්ගේ නායකත්වයෙන් යුත් වල් එස්එෆ් වන්නිනායක,ඇතුලු පිරිස එදා හිටියේ රැකසිට පහරදීමෙි රාජකාරියේ කැලෑ මායිමක් සොයා යන ගමනක. වව්නතිව් කියන්නේ ඉතාමත්ම අනතුරුදායක තවත එක් කඳවුරක්. කොටින්ගේ ස්නයිපර් ප්‍රහාර, ආටි,මෝටාර්,මර උගුල්,බිම් බෝම්බ,රැකසිට පහරදීම් ඇතුළු සුළු අවි බර අවි ප්‍රහාරවලට අපි නිතරම ලක්වෙනවා. සමහර අවස්ථාවලදි එල්ලවෙන ප්‍රහාර දරාගන්නම අමාරු ඒවා. ඒත් අපි එකා වගේ මෙි සෑම ප්‍රහාරයකටම සාර්ථකව මුහුන දෙන්නේ මෙිවා අපේ ⁣ජීවිතයේ අංගයක් වෙලා තිබුනු නිසා.


එදාත් වෙනදා මෙන් දවස ආරම්භයේදී හාත්පස සුදුපාට රෙද්දක් ඇතිරූ විලාශයෙන් අඟලක් දෙකක් තුනක් තරම් උස ඇති තණකොල මතට අලංකාරවත් විදියට පිණි බිංදු වැටී තිබුනා. ඒක හරියට රටා වියපු සුදුපාට බුමුතුරුණුවක් වගේ.  අඟල් තුනක් හතරක් උස තණකොල මතට පිණි වැටුනාම පුදුම ලස්සනයි.  මම ආසම සෙරෙප්පු දෙකක්වත් නැතුව මෙි පිනි සහිත තණකොලේ ඇවිදින්න. එදත් උදේම නැගිටලා මූලස්ථානය බලායන්න මගේ බඩු ටික හදල මූන හෝදන්න ගියේ අද නැත්තං හෙට මෙි කඳවුරෙන් පිටවී යන බව දැනගෙන, ඒ වෙද්දි දවස් කීපයක් ඇඳල කිළුටු වෙලා ගොඩගහල තිබුනු දාඩිය ගඳ ගහන නිළ ඇඳුම් දෙකතුන හෝදල දාලා වෙිලගන්න තිබුන උවමනාව නිසා. ඒ යද්දි මගදි හම්බවුනු කෝප්‍රල් හේරත්ගේ ඇම්බුෂ් එකේ අය මට විහිලුවකුත් කලා. "එහෙ ගිහින්වත් පිස්සු කෙලින් නැතුව හිටාං" කියල. ආයෙ මෙහෙට එන්න හිතන්නවත් එපා කියලත් කිව්වා. එහෙම කිව්වෙ තරහකට නෙමෙි. මරණයෙන් බෙිරිලා එකෙක් හරි මෙි කඳවුරෙන් යන අවංක සතුටින් ඒ කිව්වෙ. මාත් විහිලුවක් කරලා විනාඩි කිහිපයක් එයාලව කයියට අල්ලගෙන හිනස්සලා තමා අතෑරියෙ. ඒ කරපු විහිලුවට කෝප්‍රල් හේරත්නං "තොගෙ අප්පට හුක්" කියල අතකුත් උළුක්කු කරගෙන මට එකක් අනින්න ඉස්සරහට පැන්නත් මං පැත්තකට පැනල ඒ පහර නිදැල්ලේ පාවෙලා යන්න ඇරියා. එතනින් නැවත ගමන ආරම්භ කල ඔහු කිව්වෙි "තෝ අහුවෙයන්කො ප&@%යා මට ආයෙ"  කියල විතරයි. 

එයාලා ගියා. මාත් ඒ වෙද්දි අතේ එල්ලං හිටපු  රෙදි ටිකත් බාස්කට් එකත් බිමින් තියල එතන ඉඳන්ම බුරුසුවට ටූත් පේස්ට් ටිකක් දාගෙන දත් ටිකත් මැද මැදම ටැංකියට යන්න ගියා. 


පැය භාගයක් යන්න ඇති. එක පාරටම කෝප්‍රල් හේරත්ලා ගියපු පැත්තෙන් අත් බෝම්බයක් පුපුරන සද්දෙකුත් එක්ක එක දිගටම වෙඩි තියන සද්දයක් ඇහුනා. මට හිතාගන්න බැරිවුනා. ඒත් එක්කම ඇතුලේ හිටපු අපේ අය කලබලයෙන් බිලට් එකට දුවනව දැකපු මාත්  ඒ වෙද්දි සර්ෆ්එක්සෙල් දාල පොඟන්න ඇරල තිබුනු බකට් එකෙන් තෙත පිටින්ම යුනිපෝම් කලිසමක් අරන් එතන ඉඳන්ම ඇඳගෙන අතට අහුවෙච්චි යුනිෆෝම් ෂර්ට් එකකුත් ඇඳ ඇඳ බිලට් එකට දිව්වෙි තත්පර ගානක් ඇතුලත. ඒ ගිහින් අනිත් අයත් එක්ක මගේ එල්එම්ජී අවියත් අරගෙන බෙල්ට් ඔිඩරයත් කරේ දාගෙන ඒ වෙඩි ප්‍රහාරය එල්ලවෙන දිහාට දිව්වා. නමුත් අපිට ගොඩක් දුරින් ඒ ෆයර් එක ඇහෙන්නෙ. මෙි හරියෙ තියෙන්නෙ ඔිපන් එක. ඒක පුරන් කුඹුරු යායක්. අපි එසේ කෝප්‍රල් හේරත්ගේ සහයට වෙිගයෙන් ඉස්සරහට දුවගෙන එද්දි මෙි කුඹුරු යාය මැද නියරවල් වලට මුවා වී අපි එනකම් රැකගෙන හිටපු කොටි රෑනක් එක පාරටම නැගිටල අපිට වෙඩි තියන්න පටන් ගත්තා. වෙන්නේ මොකද්ද කියල සැනෙකින් තේරුම්ගත් අපි හැකි වෙිගයෙන් නියරක් ආවරනය කරගෙන බිම දිගාවුනා. ඉන්පසු නියර උඩින් ඔලු උස්සල අපිට වෙඩි තියන කොටින්ට  එක දිගටම අපිත් වෙඩි තියන්න පටන් ගත්තා. ඒක නිමක් නැති සටනක්. හරියටම උන් සහ අපි අතර පරතරය ලියදි තුනක් පමණයි. මාත් මගේ අවියේ බයිපෝට් දෙකවත් දිග අරින්නැතුව නියර උඩ තිබුනු ලී කොට කෑල්ලක් උඩින් අවියේ බැරලය තියාගෙන තමා  එක දිගටම පළවෙනි ලින්ක්ස් එක උන්ව ඉලක්ක කරලා මුදා හැරියේ. නැවත අළුත් පතුරම් වැලක් දාගෙන අපි කතාවෙලා එකපාරටම ඔලුව උස්සල නැගිටලම උන්ට වෙඩි තියන්න පටන්ගත්තම උන්ගෙ එකා දෙන්නා දුවන්නත් සමහරු පොලව බදාගෙන ඇදගෙන වැටෙන්නත් උනා. නොනවත්වාම එක දිගටම එසේ විශ්මිත ප්‍රහාරයක් එල්ල කරද්දි  අපේ කීප දෙනෙක් අපේම වෙඩි වරුෂාව මැද දෙපැත්තෙන් එක ලියද්දක් ඉස්සරහට තරණය කලා. ඒ ගිහින් උන්ට කිට්ටුම කරල වෙඩි තියද්දි පස්සෙන් හිටපු අපිත් ඒ ලියද්ද තරණය කරල උන්ට තවත් කිට්ටු කලා. එතකොට උන් තිහක් හතලිහක් විතර හිටපු හිටපු තැන්වලින් නැගිටල සමහරු වෙඩි කාගෙනත් තව සමහරු වෙට්ටු දමදමාත් දුවන්න තියාගත්තා. අපි දුවන එවුන් පස්සේ ටිකදුරක් වෙඩි තිය තිය පන්නන්න පටන් ගත්තා. ඒ අස්සෙ වැල් සහ ඉලුක් ගාලකින් ආවරණය වෙලා තිබුනු මගේ උසට විතර ගැඹුර තඩි වලකට මාව අවියත් එක්කම  ඇදගෙන වැටුනෙ හකු පාඩා දෙකම එකට "හුටස්" ගාල වද්දමින්. ඒ වැටිච්චි පාරට යුනිෆෝම් කලිසමත් ඉරාගෙන දකුණු දනහිස්සත් තැරි ගහගෙන ගිහින් මාව අඩියෙ ඉන්දවුනා. ඊලඟ මොහොතේ මගේ අවිය මං පස්සෙන්ම ඇවිත් ඔලුව උඩට "ඩොක්" ගාල වැටුනා. එසැනින් ඔලුවත් අතගගා නැගිටපු මං කෑගහන්න හදනකොට සාජන් දිසානායක "කොයි අර හු%@$තා" කිය කිය මාව හොයනවා. මාත් වලේ ඉඳන්ම "මං වලේ හු&@%$තෝ..මාව ගොඩට ගනියාව්ව්" කියල කෑ ගහන්න පටන් ගත්තා. මොකද සාජන් කෙනෙක් ඉස්සරහ කුණු හරප කියන්න පුලුවන් මෙි වගේ වෙලාවල් වලට විතරයි.  දුවන එවුන්ට පන්න පන්න වෙඩි තියන එක නවත්තලා කට්ටිය උන්ට නැවතිලා වෙඩි තියන අතරේ සාජන් එක්ක දෙන්නෙක් ඇවිත් හිනාවෙවී මාව උඩට ඇදල ගත්තා. මටනං යකු නැගල හිටියෙ.


ඉන්පසු ඈතටම අරුන්ව පන්නා දැමූ අපි ඒ වෙද්දිත් ප්‍රහාරයකට කොටුවෙලා හිටපු කෝප්‍රල් හේරත්ගේ ටීම් එක කිට්ටුවට යන්න පටන්ගත්තා. අපි උපරිම වෙිගයෙන් දුවන්න පටන් ගද්දිම  අපේ පෙළ අණදෙන්නාට එහා පැත්තෙන් හිටපු සාසෙ රන්තිලක වීසිවෙලා ගිහින් බිමට වැටෙනව විතරයි දැක්කෙ. ආයෙ කවමදාකවත් ඔහු නැගිට්ටෙ නෑ. අපිටත් පස්සෙන් ආපු තව ටීම් එකකට ඔහුවත් වැටී සිටි අපේ තව කෙනෙකුත් ගන්න කියල අපි ඉස්සරහට දුවගෙන ගියා. ඒ වෙද්දි කෝප්‍රල් හේරත්ගෙ ටීම්එක දෙකට කැඩිල හිටියෙ. අපිට ඔහු ඉන්න තැනට යන්න පැය භාගයක් විතර ගතවුනා. ඒ යන්න වුනෙත් අපිටත් එක්ක වෙඩි තියන කොටින්ගෙ ප්‍රහාරය මැද්දෙ. තාම ෆයර් එක ඉවර නෑ. අපේ ඉස්සරහත් පය පාමුලත්  පස් වැලි සීසීකඩ විසුරවා හරිමින් බිම වදින උන්ඩ දිහාත්, අපේ කන් ලඟින්ම  උන්ඩ "ස්රින් ස්රින්" ගාල පියාඹා යද්දිත් ඒවා කිසිත් නොතකා හැකි උපරිම වෙිගයෙන් කෝප්‍රල් හේරත්ට කිට්ටු කලා. නමුත් ඒ වෙද්දි දෙන්න දෙන්න දෙකට කැඩී තිබුනු ඒ ඇම්බුෂ් එකේ ඉස්සරහින්ම ගිය දෙන්නෙක් අඩුයි.මෙි ඇම්බුෂ් එකේ හිටියෙ හතර දෙනයි. ඒ වෙද්දි අපි දැක්කා අපිට මීටර්  එකසිය පනහක් දෙසීයක්  විතර දුරින් කොටි රෑනක් දුවනවා.නිකන්ම නෙමෙි. මොකක් හරි බිම දිගේ ඇදගෙන. අපි එතන ඉඳන් කෝප්‍රල් හේරත් එක්ක වෙඩි තියමින් ඉස්සරහට ඉස්සරහට ගියා. ඒ යද්දි වෙඩි උන්ඩ කිහිපයක් වැදී දෙකට කැඩී සිටි සාසෙ යුගානන්ද කෙඳිරිගාමින් බිම වැතිරිලා හිටියා. නමුත් එතන හිටපු ගාමිණී නෑ. අපි ඔක්කෝම ඒ වෙද්දි දුවන කොටින්ට ප්‍රහාරයක් එල්ල කරගෙන පස්සෙන් යද්දී ටීම් එකක් ගාමිණීව හෙව්වා. ඒ හොයන ටීම් එකට හුඹහක බෙණයක් අස්සෙ  ගාමිණීගේ කරේ තිබුනු ගුවන්විදුලි යන්ත්‍රයේ හෑන්සෙට් එක තිබී හමුවුනා.ඒක කටින් ඇදල හපල කඩල හුඹහ අස්සෙ ගහල තිබුනෙ ගාමීනීමයි. ඒක දැකපු ඔවුන් යමක් තේරුම් ගෙන කෑගහද්දි  වියරු වැටුනු අපි  වෙඩි තිය තිය දුවන කොටි පස්සේ පන්නන්න පටන් ගත්තා. මගක් යද්දි එක පාරටම අපි එන්නටත් කලින් ගිහින් සිටි කොටි පිරිසක් නැවත ප්‍රථිසංවිධානය වී මුහුදේ රැල්ලක් නගින ආකාරයට නැගිටලා වෙඩි තබමින් අපි ඉස්සරහට එන්න පටන් ගත්තා. එයින් කට උත්තර නැතිවුනු අපි නියරවල් පල්ලෙ මහ පොලව බදාගෙන බිම වැතිරැනා. ඒ අස්සෙ පිටිපස්සෙන් ආපු  සාජන් නෑ. අණදුන්නෙ කෝප්‍රල් කෙනෙක්. එයා කිව්වා තව ටිකක් ලඟට එන්න ඇරල නැගිටිමු කියල. එල්එම්ජී එක තිබුනු මටත් එම්පීඑම්ජී එකේ හිටපු වන්නිනායකටත් නැගිටින් නැතුව නියර උඩින් අවි දෙක දාගෙන සපෝට් එක දෙන්න කිව්වා. බඩු ලඟට ආව ගමන් අනික් අය නැගිටලා පහර දෙමු කියල කතාවුනා. විනාඩියක් දෙකක් ගතවෙන්න ඇති.  උන්ට ලගට එන්න ඇරලා එකපාරටම වෙඩි වැස්ස මැදින් නැගිටපු අපේ අනිත් අය එක දිගටම නොනවත්වාම උන්ට වෙඩි තියන්න පටන් ගත්තා. සහතික වශයෙන්ම ඒක ආවොත් සෙන්ට් ගියොත් ඔිඩිකොලෝන් අවස්ථාවක්. මාත් වන්නිනායකත් පුලුවන් ආකාරයට ඔවුන්ට හයියක් වුනා. අන්තිම හරියෙ වන්නිනායකත් නැගිට්ටා. මට නැගිටින්න බැරිවුනා. ඒක හරියටම කියනවනම්  මියෙන කෙනෙක් මියෙම්වා පරමාර්ථයෙන් වෙච්චි සටනක්. නැත්තං ඔක්කොටම බඩු හම්බු වෙනවා.  අපේ ඒ ප්‍රහාරයට මුහුන දීගන්න බැරිවුනු කොටි ඊලඟට ආයෙ දුවන්න තියාගත්තා.නමුත් වෙඩි තිය තිය. අපිට මෙතනින් එහාට යන්න බෑ. ගියොත් ගිය එකා එනව බොරු. 

අපිත් පුලුවන් තරම් මෙච්චර වලිකෑවෙ ගාමිනිව බෙිරගන්න. නමුත් ඒ වෙද්දි එයා අපෙන් ගොඩක් ඈතට අරන් ගිහින් තිබුනේ.

අපේ ඇම්බුෂ් එක එනකම් ඒජී ඔෆීස්එකේ ගොඩනැගිල්ලේ හැංගිලා හිටපු කොටි කෝප්‍රල් හේරත්ගෙ ටීම් එක යද්දි ලඟටම අරන් තමා ග්‍රෙනේඩ් ප්‍රහාරය එල්ල කරල තිබුනෙ.  පලවෙනි  ප්‍රහාරයෙන්ම තුවාලවුනු ගාමිණීව ජීවග්‍රහයෙන් අල්ලගෙන.  යුගානන්දටත් වෙඩි වැදිල වැටිල. අපි එන්නත් කලින්ම ගාමිණිව අරන් දුවන්න පටන්ගෙන තිබුනු කොටි අපි එද්දිත්  සෑහෙන්න දුරක් ගිහින් තිබුනා. උන් තමා ඊට පස්සෙ දුවපු කොටින්ට ගාමිණීව දීල ප්‍රථිසංවිධානය වෙලා අපිට රැල්ලක් විදියට පහර දීගෙන ආවෙ.  ගාමිණීව ඇදන් ගියපු පාර පැහැදිලිව පොලව මත සටහන් වෙලා තිබුනා. අපි ගාමිණීව බෙිරගන්න  නැවත නැවත කොච්චර උත්සාහ කලත් එතනින් එහාට යන්න උන් ඉඩක් තිබ්බෙිම නෑ. ගාමිණී කියන්නෙ අපේ බැජ්එකේ කොල්ලෙක්. අහිංසක දාමරිකයෙක්.  මෙි වෙද්දි අපේ තව සහෝදරයෙක් මෙතන ජීවිතය අතහැර ගිහින් තිබුනා. මෙතනම තව කෙනෙක් තුවාල වෙලා තිබුනා. ඒ වෙද්දි අපිට පිටුපස්සෙන් පැමිණි අපේ ඒකකයේ රයිඩර් ටීම් එක යුගානන්දව බයික් එකේ දාගෙන මඩකලපුව රෝහලට අරන් ගිහින් තිබුනා. ඒ අපේ ජයන්ත බණ්ඩාර. මං ඒක දැනගත්තෙ පස්සෙ කාලෙක.


ඊට හරියටම දවස් තුනකට පස්සෙ ගාමිණීගේ ඩෙත් බොඩි එක පෝර උරවල ඔතා අපේ පාරක මගට ගෙනවිත් දාලා තිබුනා. ගාමිණීව ඇදන් ගියපු පාරට පිට කොන්දේ ඇටත් පෑදී තිබුනා. වද දීල තිබුනා. අන්තිමට මරල තිබුනා. පළවෙනියටම අපිව අතහැර ගිය රන්තිලකගෙ ඉනෙන් පල්ලෙහා කොටස කුඩුම වෙලා තිබුනා. දෙකට කැඩී සිටි යුගානන්ද ජයන්ත බණ්ඩාර ගෙ පිහිටෙන් අදටත් ආබාධිතයෙක් වෙලා හරි ජීවත් වෙනව. මෙි සටනින් අපේ ඔක්කොම හතර දෙනෙක් මියගොස් හතර දෙනෙක් බරපතල තුවාල ලබා තිබුනා. ගාමිණී අතුරුදහන් වෙලා තිබුනා. වලක් පල්ලෙ තැරි ගහගෙන වැටුනු මං කඳවුරට ගිහින් තුවක්කුව වැටිල පැලිච්චි ඔලුවටත් වැටුනු පාරට තුවාලවුනු කකුලටත් බෙිත් දාගෙන කොර ගගහ ඉන්ටවීව් එකටත් ගිහින් ඒකෙනුත් පාස් වෙලා පහුවදාම 233 බසේමු බලා පිටත්වුනා.  එදිනම 233 බසේමු මෙිජර් (A/Q) තුමා හමුවට පැමිණවූ මා තුවාල වෙච්චි හේතුව අහල විස්තරේ කීවම බළසේනාධිපති තුමාගේ අනුදැනුම ඇතුව තුවාල වෙිලෙනකම් කියල දින දාහතරක නිවාඩුවක් ලබාදුන්නා. 


  ⁣  




රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2020.09.01

1 comment: