Wednesday, September 23, 2020

වීථි දරුවා



ගිලෙමින් පිහිනමින් නිතරම කඳුළු             දියේ

අහරක් කුසට වැටෙනා තෙක් ඇවිද           ගියේ

සැතපී සිටින්නට වහලක් නොමැත            රැයේ

සුපිපේ නමුත් සුවඳින් මල් ළපටි                  ළයේ


සොය සොය කුසට අහරක් මහ මැදුරු        බලා 

එහෙ මෙහෙ ඇවිදමින් සිත ගත වෙහෙස කලා

සෙනෙහස කියන තනි වචනෙට  තුරුළු   වෙලා

වැහි මංදාරමට කඳුලක් එකතු                    කලා 


දැලි කුණු වැකුණු කමිසය පැහැයෙන්        අඳුරූ

සිහිතල වැඩි කරයි අඩු වැඩියෙන්              සිදුරූ 

නොහඬන බව දනිමි, මා වෙනුවෙන්        මැදුරූ

කුසගිනි අහෝ! කිම!! මෙි විලසින්              රුදුරූ


මසවුලු සුවඳ උතුරාගෙන ගුවන                    පුරා

පවනේ ගලා විත් සිත ගත ඔකඳ                  කරා

එසවෙි දෙපා මගෙ එදෙසට නොසිතු            යුරා

නොලදත් අහර සැනසෙමි ඒ සුවඳ                උරා


ලොකු පොඩි දොර පියන් ඇත පිට ලොවට වසා

පැවසිය නොහැක කිසිවිට කිසිවෙකුට     දොසා

හිත හිරි වැටෙන මුත් පිටවන වචන            අසා

නොසිතමි එගැන මම තව පොඩි එකෙකු  නිසා


සිඟමන් පතා ගම් පියසෙහි දොරින්           දොර

යන හැම දිනම පිළිගෙන දොර පියන්         හැර

කුස පිරෙනාතෙක්ම අදරින් අරුත්                බර

සැළකුව මව්නිි නුඹ වැඩියද නිවන්               පුර


එදවස පටන් අද වනතුරු කුස               පිරෙනා

අහරක් නොලැබ පා යුග ආපසු             හැරුනා

නගරේ වීදි කොන අතහැර පිය               නගනා

සිහිනය දකින රැය ලඟදිත් මග             හැරුනා


වටවැසි වලට අහසත් ඇත වියරු              වැටී

සිහිතල පවන් රුලි යයි සියොලඟෙහි        ගැටී

කඩ අගුපිලට යන්නට කාලයකි                 කෙටී

පුදුමයි කාලයත් පිළිකෙව් කරන                 හැටී


රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2020.09.23

No comments:

Post a Comment