සිත සුව පතා කන් දීගෙන බුදු බණට
පැදුරෙහි වාඩිවී සිටියෙමි පෙර පිනට
මැසි මදුරුවන් ගී කියුවත් කර කනට
ඉවසා සිටිමි වැඩ විය යුතු යන තැනට
වියතක් කොටට ඇඳගත් සුදු සළු පිළියේ
සුසුවඳ වතුර තවරා ලූ සුරතලියේ
සුදු රතු කැකුලු බත් ගෙන එන විට හැලියේ
නොනැමෙනු මැනවි සඳ තරු ඔක්කොම එලියේ
දමනය කරන් සිත පන්සිල් පද පහට
බණ භාවනා කරනෙමියැයි ජය පහට
අවනත වෙලා ආ මුත් සමිඳුගෙ බහට
ගනිමැයි සිතුනි නුඹ දුටුවම පෙළවහට
පිළිගැන්නවෙන දානෙට පිළි ගෙන ආවත්
රණ හස යුවල මගෙ දුක සැප විමසූවත්
නොදියුනු මනස කම්පා වෙි හැමදාමත්
නිහඬව සිටිය හැකි වෙද මරඟන ගාවත්
රුපියල් ඩොලර් දේපල වාහන යාන
අනියත බව දුටිමි නිවනෙහි සැප ගේන
එනමුත් ලියක සිරි දුටුවෙමි නිදුකාන
ගිනිගත් සිත නිවන්නට කාලය ඔින
උවැසියො නොමැති කල සදහම් සයුර අමා
සිරි විඳගන්න එමි දිනයක් නොවෙමි පමා
ගරුතර සමිඳුනේ මට වෙනු මැනවි සමා
සිඹ සිරිපතුල පිටවෙන්නෙමි සිරස නමා
රුවින් පමුදිත යද්දෙහිආරච්චි
2020.09.21
No comments:
Post a Comment