Thursday, December 17, 2020

කුරුණෑගල 02

 කුරුණෑගල 02


මට කුරුණෑගලදි වැඩ කිහිපයක්ම කරන්න වුනා. ලිපිකරු, දේශණ, ක්ෂේත්‍ර රාජකාරි සහ රහස් පරීක්ෂක රාජකාරි. මුල් තුනනම් අවුලක් නෑ කියමුකො, ඒත් අන්තිම එක නාඩියෙන් මීටරෙන් පරිප්පු ඇටෙන් ගහන්න ඔින ගේමක්. මිස් වුනොත් ඔක්කොම ඉවරයි. රහස් පරීක්ෂක රාජකාරිය පටන් ගත්තේ අහම්බෙන්. ඒ අපේ කොල්ලෙක්ගේ පර්ස් එකක් නැතිවෙච්චි දවසක. ඒක සුපිරිම ගේමක්. මොලේ හිරිවැටෙන්නෙ ගොං අයිඩියාස් වලටම නෙමෙි කියල තේරුං ගත්තු එක දවසක් ඒ.


ඔහොම ඉන්න අතරෙ තමා දිගම්පතහ සීන් එක වුනේ.බීඑම් එක්ක අපිත් කුරුණෑගල හොස්පිටිල් එකට ගිහින් එහෙට ගෙනාව තුවාලවුනු නේවි කට්ටිය ගැන හොයල බැලුවා. පුලුපුලුවන් උදව් අපි අපේ පුද්ගලික මුදලින් කලා. හැබැයි අපරාදෙ කියන්න බෑ, කාර් වෑන් බස් වලින් කොල්ලො (ඔක්කොම සිවිල් අය) තුවාල වෙච්චි අය අරගෙන කෑ ගහගෙන කඩාගෙන ආවෙ. ඒ අතරේ සුපිරි වාහන තිබුනා. ඒත් සීට් පුරා, වාහනේ ඇතුලෙ පවා හැම තැනම ලේ.  පොලිසියත් එක්ක සිවිල් කොල්ලො කීප දෙනෙක් තමා දැන් කලර් ලයිට් තියන තැන්වල එදා වාහන හැසිරවෙව්වෙ. අපිත් පාරට පැනල පාරෙ ඉඩ අරන් දුන්නා. ඒවා දැකපු ගැහැණු උදවිය, ක්ලාස් ආපු ළමයි පාරෙ පොදි කකා අඬනව. වයසක පිරිමි කෙනෙක් අත් දෙකෙන් මූන වහගෙන බිම ඉඳගෙන පැයක් විතර ඇඬුවා. අපිත්, මමත් ඒවා දරා ගත්තේ ඇත්තටම හුඟක් අමාරුවෙන්. අනේ අපේ කොල්ලො නේද මෙි කියල හිතෙද්දි පපුව දණහිස් ගාවට පාත් වෙනවා. නේවි එයාෆෝස් ආමි පොලිස් හෝම් ගාඩ් කව්රුත් අපි මිනිස්සු. 99.5%ක්ම සිංහල කොල්ලො. ඒ කොල්ලන්ගෙ දරුවන්ගෙන්  ජනාධිපතිලා, ඇමතිවරු, රාජ්‍ය නායකයො ආදියෙන් පටන් අරගෙන රස්තියාදු කාරයා දක්වාම බිහිවෙන්න හිටපු දරුවො, එතෙක් මෙතෙක් මැරුණු හැම සොල්දාදුවෙක්ගෙන්ම ඒ විදියට හොඳ ජාන විලින් බිහිවෙන්න හිටපු ඔක්කොම දරුවො හිතක් පපුවක් නැති වෙඩි බෙහෙත් උණ්ඩියකට විනාශ වෙලා ගිය අපූරුව. ඒ මැරුණු අය අතර උනත් කොච්චර දක්ෂයින් සහ මෙි මහ පොලවට ආදරය කරපු අය ඉන්න ඇද්ද?. ජීවිතේ කියල පටන් ගද්දිම ජීවිතේ කියල ලියන්න පටන් ගන්න "ජ"යන්නෙ අකුරෙ පලවෙනි ඉරි කෑල්ලවත් ගහගන්න බැරිවෙච්චි අය කී දාහක් එහෙම ජීවිතේ අතරමගින් හැරිල යන්න ඇද්ද? ඒ අපි දකින එක පැතිකඩක් විතරයි. ඒකයි කව්රුත් යුද්දෙට ශාප කරන්නෙ. 


ඔහොම ඉද්දි අපිට ඉහලින් නියෝගයක් ආවා උතුරු නැගෙනහිර දෙපළාතටම පතුරම් වෙඩිද්‍රව්‍ය අරන් යන්න ලොරි පහක් අවශ්‍යයි, ඒක පැය 24ක් තුල හමුදාවට පවරාගෙන ලබා දෙන්න කියල. ඒ අපේ කොටස ලොරි පහ. තව මූලස්ථාන වලටත් එහෙම පහ පහ දෙන්න ඇති.

බීඑම් විසින් මටත් පාලන කණ්ඩායමෙි සීඑස්එම්ටත්,රෙජිමෙින්තු උපකරණ පාලක සැරයන් මෙිජර්ටත් තවත් කෝප්‍රල්ලා කීප දෙනෙකුටත් මෙි වගකීම පැවරුවෙි "දන්න කියන ලොරි තියෙන හැමෝගෙන්ම අහල, ලොරි අරන් එන්න.මෙික අත්‍යවශ්‍ය කාරණයක්"  කියල. අපිත් ගමක් ගමක් ගානෙ ගියා. කියන්න සන්තෝශයි, අපි ලොරි තියෙන අය හොයාගෙන ගිහින් විස්තරේ කියපුවම මහව ප්‍රදේශයේ මඩකලපු අරන් යන්න වියපු පොල් අතු පටවලා තිබුනු වාහනයක් හිස් කරලා අපිට දුන්නා. මෙි අරන් එන්නෙ එයාලගෙ රියැදුරා එක්කමයි. මෙිවට රජයෙන් ගෙවීම් කරනවා. නිකන්මත් නෙමෙයි.

ඒ මෙහෙයුම ඉවර කරලා එදාම නියමිත වෙලාවටත් කලින්ම ලොරිටික කොස්ගම අවි පතුරොම් ගබඩාවටත් යවන්න අපට පුලුවන් වුනා. 


ඒ ඉන්න අතරෙදි තමා තවත් සිදුවීමක් වුනේ. මං 16.15ට ඔිෆ් වෙලා එදා සතියකින් ගෙදර යන්න පාරට ආවා. ඇවිත් "සුදු මැණිකෙ" (අ/පුර-කොළඹ) බස් එකට නැග්ගා. (හැමදාම මං මෙි බස් එකේ තමා යන්නෙ. ඒක යනව නෙමෙි ඉගිල්ලෙනව) එදා කොන්දා හිටියෙ පාලිත නෙමෙි. අවුරුදු 25ක් විතර වෙච්චි වෙන බුවෙක්. ඒ කාලෙ රු:35ක් දීල ටිකට් එකකුත් අරගෙන ⁣සීට් එකකත් වාඩිවෙලා යාන්තමට කුකුල් නින්දක් දාගන්න හදද්දිම පොල්ගහවෙලින් බුවෙක් නැග්ගා. සාමාන්‍ය මට්ටමින් ඇඳ පැළැඳ ගෙන ආබාධිත වෙච්චි කකුලකුත් අතකුත් පෙන්න පෙන්න  බස් එකේ හැමෝටම ඇහෙන්න දුක් කතාවක් කිය කිය කීය කීය හරි ඉල්ලගන්න සීට් එකක් ගානෙ ආවා. මට පොර කීප දවසක්ම මීටර්. 


"මහත්තයා,නෝනා, මං හමුදාවෙි කමාන්ඩෝ රෙජිමෙින්තුවෙි රට වෙනුවෙන් යුද්ධ කරපු කෙනෙක්. ඉස්සරහා ලයින් එකේ කොටිත් එක්ක ගහ ගනිද්දි මට එකපාරක් සතුරාගේ ඉස්සරහටම යන්න උනා. අණදෙන නිළධාරි කිව්වෙ යන්න එපා කියලා. ඒත් මට එපා කියද්දිම ඉස්සරහට යන්නවුනා. ඒ ගිහින් තමා මට මෙික සිද්දවුනේ. මගේ අතකුයි කකුලකුයි නැවත හදන්න බැරි විදියටම ඩැමෙිජ්වුනා, ඒත් එපා කියද්දිම ඉස්සරහට ගියපු නිසා මාව හමුදාවෙන් අයින් කලා. දැන් මට ජීවත් වෙන්න විදියක් නෑ.හමුදාවෙන්වත් ආන්ඩුවෙන්වත් කිසිම පිහිටක් නෑ, කියාගෙන තවත් හමුදා සංස්කෘතියට අයත් ඔවුන් විතරක් පාවිච්චි කරන වචන දාලා මහා හෑල්ලක් කියාගෙන කියාගෙන ගියා. අඩනින්දෙ හිටපු මං ඒ කියපු දේවල් ගැන සාවධානව අහගෙන හිටියෙ. පොර පළවෙනි විස්තරේම කියද්දි මට හිතුනා මූ අදින්නෙම නයෙක් නෙමෙි, කොබෝනයි රාජයෙක් කියලා. (බොරු නෙමෙි,මෙහෙම බුවෙක් හිටියා හොඳේ, මෙි බස්වල ආව ගිය අයට බුවාව හමුවෙලත් ඇති, පවුනෙ කියල හමුදාවටත් බැන බැන සල්ලිත් කීය කීය හරි දීලත් ඇති).

බස් එකේ සීට් ගානට සෙනග හිටපු නිසා කරදරයක් නැතුව පොර මං ලඟටත් ඇවිත් අත දික්කලා. සල්ලි කීයක් හරි දෙන එක නෙමෙි වැඩෙි. මට උවමනාවුනේ පොර කියන්නෙම ඇත්තද කියල දැනගන්න. 

*මෙි ඔයා ආමි හිටිය කිව්ව නේද?

*ඔව්

*එහෙ ඉද්දිද මෙිකවු⁣නා කිව්වෙ?

*ඔවු සර්

*ඔයා කමාන්ඩෝ කිව්ව නේද?මොකද්ද බැජ් එක? ඔයාගෙ සෙබළ අංකය කියන්න පුලුවන්ද? මොකද මමත් වන් කමාන්ඩෝ ඩෙල්ටා ගෘප් ඔිසී ලෙෆ්ටිනන්ට් ආරච්චි. ඔයා කීය කමාන්ඩෝද? කව්ද සීඔි හිටියෙ සීන් එක වෙද්දි? මමත් බොරුවට නිළධාරියෙක් විදිහට හඳුන්වල දීල මිනිහගෙන් ප්‍රශ්ණ කීපයක් ඇහුව. එක පාරටම පොර ලොක්වුනා. පස්සෙ පොර ගැමුණු හේවා බළඇණියෙ කිව්වා. 

මාත්

*එහෙමද, මගෙත් ඉන්ටෙික් එකේ ජීඩබ් ගිය අය ගොඩක් ඉන්නවා. දැන් රෙම ඉන්න ඉන්ට් ඔිසී මගෙ ඉන්ටෙික් එකේ. තමුන් කීය ගැමුනුද?  මිනිහත්;

*සර්...ස්ස්සර්.. කිය කිය ඉන්නව මිසක් උත්තර දෙන්නෑ. මං එක පාරටම ඇහුවා "තමුසෙ ඇයි බොරුවට හමුදාව පාවා දීල හිඟා කන්නෙ,? තමුන් ඇත්ත නොකිව්වොත් පොලිසියට භාර දෙනවා. ඇත්ත කියනවා, තමුසෙ කව්ද? මොකද්ද තමුසෙගෙ මෙි අබාදෙ? කොහොමද මෙික වුනේ??

 මිනිහ ලොක්වුන පාර කිසි දෙයක් කතා කරගන්න බැරිවුනා.

ඔහොම මගේ කතාව යද්දි තවත් හමුදා සේප් කට් එක තියෙන වයසක පහේ පොරක් මගේ ගාවට ආවා. ඇවිත්;

*සර් මෙි මනුස්සයා බොරු කරන්නෙ. මමත් කීප පාරක්ම සල්ලි දීල තියෙනවා මොකා උනත් අබාධිතයෙක්නෙ කියලා.  හැබැයි සර් වගෙ අහන්න ගියෙනෑ. මාත් අහගෙන හිටියෙ සර් අහපු කියපු දේවල්. මූව පොලිසියට භාරදෙමු සර්. මූ කරන්නෙ හමුදාව පාවල දීල හිඟා කන එක. ඒක අහන මිනිස්සුත් කිසිම දෙයක් අහන්නැතුව දන්නැතුව සල්ලි දෙනවා. තනිකරම හමුදාවෙ ප්‍රථිරූපය මෙි මනුස්සයා විනාශ කරන්නෙ?


මාත් ඇහුව ඒ ආපු කෙනාගෙන්  "ඔයා කව්ද" කියල. හුටා 6 විපාරෙ ආර්එස්එම්. W1 හේරත් බණ්ඩා. යකෝ මං ලාස් කෝපල්, ආර්එස්එම් මට සර් කියනවා.මං පොරට මිස්ටර් කියනවා. කාලා වරෙල්ලකො. මට බය හිතුනෙ මං කව්ද කියල දැනගෙන හිඟන්න පැත්තකින් තියල පොර මගේ හක්ක අතගායිද කියල. මාත් හොඳ හුස්මක් අරන්

නිළධාරියෙක් කතාකරන විදියට,

*ඔව් මිස්ටර්,එහෙම කරමු. බලමුකො තව විස්තරේ අහල.

බස්එකේ හිටපු ඔක්කෝම අපි තුන්දෙනා දිහා ඩයිනමෝ දෙක දාගෙන "ඊලඟට මක් වෙයිද?" කියල බලනවා. 

හොඳින් පොරගෙ විස්තරේ අහපුවම බලද්දි මල්ලි ආමි. ඌ තාම ආමි එකේ ඉන්නවා. මූ බයික් ඇක්සිඩන්ට් එකකින් තමා අත් කකුල් කඩාගෙන තියෙන්නෙ. බස් එකේ හිටපු තව ෆෝසස් කියල හිතෙන කොල්ලෙක් මූට කනට ගහන්න මයි ට්‍රයි එක. පස්සෙ මං උරහිසේ තරුවල ඌෂ්ණෙ අරගෙන ඌව පැත්තකට කලා. දැන් මිනිහව වරකපොල පොලිසියට භාරදෙන්න ඔන්න මෙන්න. මිනිහ දැන් අපිට වඳිනවා. ආර්එස්එම්ටත් මළ පැනල. මොනාවුනත් ආබාධිතයෙක්නෙ කියල මල්ලිගෙ තත්වෙ ගැනත් හමුදාව ගැනත් ටිකක් විතර පහදල දීල බැස්ස වරකපොලින්. ඒ පොලීසිය ඉස්සරහින්. ගමන පරක්කු වුනාට මට අවුලක් නෑ. ඒත් ඒවගේ දේවල් නොවිය යුතුමයි. යුධ හමුදාවෙි කීර්තිනාමය අමු අමුවෙ ඝාතනය කිරීමක්. 

බස් එකේ රියැදුරත් මිනිස්සුත් අපි කීයට හරි එනකම් ඉන්නව කියල කිව්ව,ගිහින් පොලිසියට භාරදීල එන්න කිව්වා.

මමත් ආර්එස්එම්මුත් මූව අරගෙන ඇතුලට ගියා. ඒ යද්දි මං ආර්එස්එම්ට මං කව්ද කියල හඳුන්වල දුන්නා. නැත්තං මහ විනාශයක් පොලිසිය ඇතුලෙදි මට වෙන්නෙ. ඇයි ඇන්ට්‍රියක් දාන්නවුනොත් අයිඩෙන්ටිය බලනවනෙ. ඊට කලින් මං එයාට මං කව්ද,කොහෙද වැඩ කරන්නෙ කියල විස්තරේ කිව්ව. මෙච්චර වෙලා පොර මට සර් කිව්වා, දැං මං පොරට සර් කියනකොට පොර මට "මචං" කියනවා.

ඇත්තට හමුදාවෙ හැටි නේද?  හැබැයි කිව්වා මං තනියෙන් හිටපු නිසා පොරව සැරෙන්ඩර් කරගන්න එහෙම කිව්වෙ කියල.පොරත් මගේ කොන්දට තට්ටුවක් දාල"උඹ මාර හු&@%තෙක්නි බං" කිව්වා. හැබැයි ඒ සර් මට උපරිම භක්තිය දුන්නා. 

අපි දෙන්නත් එතන එච්ඔිඅයි හම්බ වෙලා විස්තරේ කීවම පොරටත් මළ පැන්නා. අපෙන් ඇහුවා දැන් මොකද්ද වෙන්න ඔින කියල. 

*නීති කටයුතු අවශ්‍ය නෑ සර්,මිනිහට ආයෙ කරන්න එපා කියල තදින් අවවාද කලානං ඇති කිව්වා. ඒ කිව්වෙ ආර්එස්එම්.

පස්සෙ පොතේ පැමිණිල්ලකුත් ලියල මිනිහගෙන්  ප්‍රකාශයකුත් අරගෙන පොරොන්දුවකුත් අරගෙන ආපහු යැව්වා. මෙික නඩු දෙකක කේස් එකක්. හමුදාවෙනුත් නඩු දාන්න පුලුවන්,පොලිසියට සිවිල් උසාවියෙ නඩු දාන්නත් පුලුවන්. ඒක කිව්වෙ එච්ඔිඅයි. පස්සෙ එයාම අපිට ස්තුති කරල ආපහු එව්වා. ආබාධිත පොර ටිකක් වෙලා තියාගත්තා ඒ බස් එකේ යවන්න බෑ ඒක සුදුසු නෑ කියල. 

හැබැයි එදා ඉඳන් අද වෙනකනුත් ආයෙ කිසිම දිනක පොර කොහේදිවත් දැක්කෙ නෑ. 




රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2020.12.17

No comments:

Post a Comment