Sunday, December 20, 2020

කුරුණෑගල 03

 කුරුණෑගල 03


අබාධිත පොරත් පොලිසියට භාර දීල සති අන්තයෙත් ගෙදර ඉඳල සඳුදා ආව කඳවුරට. මෙි වැහැරවත්ත කඳවුරට තවත් නමක් කියනවා. ඒ අකුණුවත්ත.නැත්තං "හෙන පිටිය වත්ත" කොහේ හරි අකුණක් ගහපං,ඒක පාත් වෙන්නෙ මෙි කඳවුරට. ඒ දවස්වල කෑම්ප් එක පිටිපස්සෙ තිබ්බ පොල් ගස්වල කරටි එකක්වත් තිබුන්නෑ,ඔක්කොම හෙන ගහල කුඩු වෙලා  ගිහින්. යන්තම් ගොරෝගෙන වැස්සක් ආවොත් අපි ඔෆීස් එකේ බල්බ්  පවා නිවනව. ඒක ස්ථාවර නියෝග සහ කඳවුරු නියෝග වලත් ඇතුලත් කරල තිබුනෙ. ඒත් අපේ කඳවුර ඇතුලෙ දේපලවලට ඇරෙන්න කිසිම කෙනෙකුට හානියක් වෙලා තිබුනෙ නෑ. නමුත් පරිස්සම කෝකටත් හොඳයිනෙ.


එදා මහ අඳුරු දවසක්. වැහිබීරුමක් අතලඟ. මං බිලට් එකට යන්න ගියේ අහස දිහා බල බල "වැස්සට කලින්නං එන්න බැරිවෙයි" කියල හිත හිත. හිතුව වගේම ගිහින් දුන්තර්ලයිස් එකක් ගහල ආපහු එන්න බැරිවුනා, වැස්සට කොටුවුනා. ඒ සංඥා මැදිරිය කිට්ටුව. මාත් දඩස් ගාල සංඥා මැදිරියට පැන ගත්තා. පැනල ඩයිනමෝ දෙක අංසක එකසිය අසූවක් කරකවල බැලුව ඇතුලෙ මොකෝ වෙන්නෙ කියල. මී හරකවත් ඉන්නවනං වැස්ස පායනකං හීනි කයියක් ගහන එක තමා අරමුන වුනේ. ඒත් සැරයන් හිටියෙ නෑ. හැබැයි සෙට් එක ඔන් කරලා හදිසි මැසේජ් වගයක් යවනව. මට බය හිතුන. සෙබළෙක් වෙලා වෙඩි වැදිල මැරෙන්නැතුව හෙන ගහල මැරුනොත් දරුවෙක්වත් කටක් ඇරල කියන්නෙ කෝමද තාත්ත හමුදාවෙ, මැරුනෙ හෙන ගහල කියල. මං ඒත් කිව්වා පොරට;

*මල්ලි කරන වැඩෙි ඩෙින්ජර්...වහාම බෙිස් එක ඔිෆ් කරහං. 

ඌත් හදිසි මෙසේජ් එකක් යවන්නෙ කියල "ටක්ගාල ඒකත් යවලම ඔිෆ් කරනව කෝපල්" කිව්වා. මටත් මොකෑ. ඒත් මං එතන ආයෙ එක තප්පරයක් හිටියෙ නෑ. එච්එෆ් වෙිව්ස් වලට අකුනු අදිනව වැඩී.ඔන් කරල තිබුනෙත් එච්එෆ් බෙිස් ස්ටෙිෂන් එකක්. මාත් ඌට "එහෙනං බම්බු ගහගනිං ඔිං මං ගියා" කියල වැස්සෙම තෙමීගෙන දුවගෙන ආවා. මෙික පපුවට අත තියල කියන්නෙ හිතෝතුනි පැය කාලක් යන්ඩ හම්බුන්නෑ, සිග්නල් රූම් එකේන් එකයි දුං වළාව. බඩු ටිකත් ඉවරයි. කොල්ලට අවුලක් නෑ, හයිටෙන්ෂන් පවර් එකක් ඇවිත් පිච්චිච්චි හිංදා. ඔයිට කලින් තව වැහි දවසක ෆැක්ස් එකක් යව යව ඉද්දි ඒක ඔිෆ් කරපං කියල කිව්වට කෝප්‍රල් ජයසිංහ කියන එක ඇහුවෙ නෑ. අන්තිමෙිට කනෙක්ටින් බොක්ස් එක එහෙම ගලෝගෙන ගිහින් තිබුනෙ. එදා එක්ස්චෙින්ජ් එකත් පිච්චුනා.ෆැක්ස් එකත් පිච්චුනා. මෙිව තිබුනෙ අපේ ඔෆීස් එකට යාබදව. ඔපරේටර්ට තුවාල වෙලා තිබුනෙ බයට දුවන්ඩ ගිහින් හැප්පිලා වැටිල. ආයෙ දවසක් බීඑම්ගෙ කම්පියුටර් එක. ඒකෙත් ඇජෙන්ඩා එකක් හද හද ඉද්දි මං බීඑම්ට "සර්, අවුලක් වෙයිද්දන්නෑ කොම්පීටරේට, ගොරෝනවත් එක්ක" කියල කිව්වම "ඇනැප් පලෑම් යන්ඩ'ඒකට තමා උඹලගෙ රෙජිමෙින්තුව තියෙන්නෙ" කිව්වා. අපේ රෙජිමෙින්තුවෙන් කම්පියුටර් හැදුවට, අකුණු ගහල පිච්චුනොත් ඒව බාර අරන් තියෙන කෙනා ඒක ආයෙ හදන්ඩ දාන ඇනේට පවා ගෙවන්න ඔින. ඒකට කියන්නෙ "ඩීවී චාර්ජින්"  කියල. ඒ කියන්නෙ කදවුරු නියෝග වලට හා යුධ හමුදා දේපලවලට හිතා මතා හානි පැමිණවීම " කියල ඒ වරදට චාජ් එකෙත් ගිහින් වැටුපෙනුත් එකට තුනක් අඩු කරනව. 

හැබැයි මං ඔිව කියල ඔය තැන්වල කවදාවත් ඉන්නෑ. පරාන බයට කොහාට හරි මගෑරල යනව. එදාත් "දඩ්ඩෝං ජර බර ජර බර බරාස්" ගාල වැදිච්ච අකුණකින් බ්‍රිගේඩ් එකේ තිබ්බ එකම කොම්පීතරේත් පිච්චිලා ගියා. මං ඒක දැන ගත්තෙ බීඑම් එන්න කියල පනිවිඩයක් එව්වම එතුමා හම්බවෙන්න ගියාම.

*ආරච්චි උඹ අරක්කු බොනවද?

*ඩෙිලිනං බොන්නෙ නෑ සර්. ඒත් බොනවා ඉතින් වීකෙන්ඩ් එකේ වගේ සෙට්වුනොත්. වෙන මක් කරන්නද සර්.

*වෙන මක් කරන්නද?? හරි. උඹ විට කනවද?

*අම්මෙි නෑ සර්. ඔිව කාල යුනිෆෝම් අඳින්ඩ බෑනෙ සර් (ඒ දවස්වල ඇත්තටම විට කෑවෙනෑ)

*උදේට කට හෝදනවද? මටත් මෙයා අහන දේවල් හෙන අමුතුයි අමුතුයි වගේ හිංද;

* ඇයි සර් එහෙම අහන්නෙ?

*ආං කම්පියටරේ පිච්චුනා. තමුසෙ පිච්චෙයි කියල පැය බාගයක් ගියේ නෑ.

මීට පස්සෙ ඇස්වහ කටවහ යන්න මද රස්නෙ උණු වතුරට ලුණු කැටයක් දාල කට හෝදලා හක්ක පිරෙන්න විටක් කාපං ඈ.. එතකොට ඔය ගතිය පහවෙලා යයි කිව්වා. ඒකටනං මට දුකකුත් ඇතිවුනා. 

එහෙම ඉද්දි තමා සෙට් එකේ අනාවැකියත් හරි ගියේ. ඒකට තව සීන් දෙක තුනකුත් හවුල් වුනා. දවසක් වාහනයක් රිවස් කරනකොට සාජන් මෙස් එක ඉස්සරහ තිබුනු වටිනා කියන ලොකු මල් පෝච්චියක් දැකල "කුඩු කරාංකො මහලු මඩමෙ මල්පෝච්චිය ඈ" කිව්ව විතරයි මෙි රෙද්ද ගිහින් මල් පෝච්චියෙත් හැප්පිලා ඒකයි මාලු බාන මාමයි දෙකම කුඩු. ඒක වුනේ මෙි ලොරිය රිවස් කලේ රියදුරා නෙමෙි වෙන එකෙක්. ඒකෙ බ්‍රෙික් මදි කියල මං දන්න නිසා කලින් ලොරිය නවත්ත ගන්න කිව්වෙ. මූ ගනන් ගන්නැතුව ගිහින් කිට්ටු කරල බ්‍රෙික් ගහපුවම බ්‍රෙික් නැති වාහනේ බ්‍රෙික් අහයිද?. හැබැයි ඔන්න ඔය සීන් වලින් පස්සෙ මං මොකක් හරි කාට හරි කිව්වොත් ඒක ටක් ගාල කරනවා. කරනවා නෙමෙි ඉබෙිට කෙරෙනවා. ඒ බයට. ඇයි දෙයක් කිව්වොත් වෙනවමනෙ. ඒව මං කියන්නෙ අත්දැකීම් වලින්. ඒ වුනාට උන් කියන්නෙ මොකක් හරි දෙයක් වුනාම;

*කෝපල් ආරච්චි ද කිව්වෙ? ආපෝ ඒනං ඔික වහාම නවත්තහං කියන ලෙවල් එකට පත්වෙලා තිබුනෙ. 

එක දවසක් බිලට් එකේදි (අපේ බිලට් එක තියෙන්නෙ උඩ තට්ටුවක) කට්ටිය බරාඳියට හේත්තු වෙලා කයිය ගග ගගහ ඉන්නකොට මං; "ඔතන වටවෙලා ඉඳලා වැටියල්ලකො පල්ලැහැට වැටෙයි " කිව්වා. කියල කෑම පැය ඉවරවෙන්න වුනේ නෑ, එකෙක් පල්ලෙහාටම වැටිල අතකුයි කකුලකුයි දෙකක් කඩාගත්තා.  මං ඒක කිව්වෙ එතන බරාඳිය බුරුලු වෙලා ගැලවෙන්න ලංවෙච්චි දතක් වගේ හෙල්ලෙනව කියල දන්න හිංද. කට්ටිය කයිය පිටින්ම ඉන්න කොට ඉන්න තැන අමතකයි, අරකත් අමතකයි,ගිහින් එකෙක් දෙන්නෙක් හේත්තු වෙච්චි ගමන් වැටත් ගලෝගෙන වැටෙන හිංද. ඒත් අන්තිමට එන්නෙ "ආරච්චිගෙ කටවහ" කියල. ඒ අනාවැකියෙන් පස්සෙ සමහරු මං එද්දි ෆෝන් එකත් ඔිෆ් කරන ලෙවල් එකට බයවුනා. සමහරු මං මෙහෙන් එනකොට අරහෙන් මගෑරල යන සයිස් එකකුත් තිබුනා. ඒ දවස්වල"දෙයියංගෙ නාමෙට මුකුත් කියන්න එපා කෝපල් ඈ" කියන එක මට ගොඩක් හුරු පුරුදු වාක්‍යයක්. 


උයිට කලින් වාලච්චෙිනෙදිත් ඔිකක් වුනා. මෙහෙ පේපර් මිල් එකේ කුණු කන්න එනව ඌරො. ඉංජිනේරු රෙජිමෙින්තුවෙ හිටියා පෙරේරා කියල කොල්ලෙක්. ඌ මස් වැද්දෙක්. කොහොමහරි මූ සතියකට සැරයක් පේපර් මිල් එක වටෙි රෑට කරක් ගහල හක්ක පටස් තියනවා ඌරන්ට. එහෙම තමා මරන්නෙ. එදා මං මෙින් බැරියර් එකේ සෙන්ට්‍රි. රෑ දහයට විතර ඇති. පෙරේරා ආව හක්ක පටස් තියන්න යන්න. මං;

*පෙර්රා. වැඩෙි හරියන් නෑ. වහාම නවත්තහං ඔික. ඔිකක් උඹටම පත්තු වෙච්චි දවසක තේරෙයි ඈ..

*ඇනැප් ප්ලෑන් යන්ට, ඌරො ඉන්නෙ අපිට කන්ට බොල. කියල මට සත්තමකුත් දාගෙන ගියේ, ගිහින් පැය භාගයක් ගියේ නෑ, "ගිඩ්ඩීංංං" ගාල සද්දෙයක් ආව. අපිත් කලබල වුනා. විනාඩි දෙක තුනක් යද්දි මූත් එක්ක ගියපු අනිකා මූවත් උස්සගෙන දුවගෙන ආවා. අත් දෙකම වැලමිටෙන් ගලෝගෙන ගිහින්. අන්තිමෙි තුවාල හොඳවුනාම මූව අරං ගියපු ඇම්බියුලන්ස් එකේ ඩීසල් වලටත් පොරට ගෙවන්න වුනා. ඒව ඇස්වහ කටවහ නෙමෙි. හැමදාම අහිංසකයෙක් මරල මස් කන එකට සොබාදහම කැමතිවෙයිද? එහෙනං බුදු බණත් බොරු වෙන්න එපැයි. 


 එදා පිච්චිච්චි සෙට් ටික බලන්න ආපු සාජන් අමරසිංහත් හිටපු ඔපරේටර්ගෙන්  "මෙි හරියෙන් ආරච්චියා එහෙම ගියාද" කියල ඇහුවලු. අරුත් ඔව් කිව්වම සැරයන් පිච්චුනේ මොනවද කියලවත් බලන් නැතුවලු අළුත්වැඩියා කරන්න අරන් යන්ඩ බඩු ටික ඇහිරුවා කියල කෝපල් ජයසිංහමයි මා එක්ක කිව්වෙ. අනේ මංද ඉතින්. මුන්ට දෙයක් කියන්ඩවත් බෑනෙ අප්පා. හැබැයි ඒකනං අදටත් තියෙනවා ඈ. 


ඔහොම ඉද්දි තමා අත්අඩංගුවට ගත්තු හාමුදුරු කෙනෙක් කඳවුරට අරං ආවෙ. උන් වහන්සේ ආමි ඉඳලා ඇබ්සන් වෙලා මහණ වෙලා. ඒව අදාල නෑනෙ හමුදාවට. සීසීඑම්පී එකෙන් අපේ ඔෆීස් එකට එක්කන් ඇවිත් වාඩි කෙරෙව්වා. අපිත් සුදු බෙඩ් ෂීට් එකක් දාල වාඩිවෙන්න සලස්සල ආගිය තොරතුරු ඇහුවා. අවුරුදු දෙකහමාරක් ඇබ්සන්. උන් වහන්සේව බ්‍රිගේඩ් කමාන්ඩර්ට දාල පනාගොඩ එක්කන් යන්න තමා සීසීඑම්පී අරමුණ. මාත් පැත්තක ඉඳන් කිව්වා උන්වහන්සේට;

*කෝපල් බයවෙන්න එපා, පනාගොඩ අරන් යන්න වෙන්නෑ, බ්‍රිගේඩ් කමාන්ඩර් ඔබ වහන්සෙට දිනයක් දීල ආයෙ කැඳවයි. එතකොට ආපහු එන්න වෙයි කියල. ඒකට සීසීඑම්පී අය මට නෝන්ඩියට හිනාවුනා. "එහෙම කොහොමද වෙන්නෙ, පනාගොඩින් එක්ක යන්න ආවෙ නැත්තං අපිට එක්කන් යන්න වෙනවනෙ" කිව්වා. මාත් කට පියාගත්තා. අපිට ඒව අදාල නෑ.ඒව ඒ අයගෙ වැඩනෙ.


පැයකට විතර පස්සෙ රාජකාරි වැඩකට එළියට ගිහින් හිටපු බ්‍රිගේඩ් කමාන්ඩර් ආවා. මුන් වහන්සෙවත් එතුමාට දැම්මා. 

බ්‍රිගේඩ් කමාන්ඩර් කියල තිබුනා හරියට සතියකින් ආයෙ ඇවිත් භාරවෙන්න, හමුදාවෙන් අයින් වෙන්න හදල දෙන්නං කියල. නිකන්මත් නෙමෙි වැඳල කියල තියෙන්නෙ. මුන් වහන්සේට ඒ සතිය කරදරයක් නැතුව ඉන්න අවසරය දෙන ලියුම ගහගන්න ආවෙ අපේ ඔෆීස් එකට. 

*ඒකනෙ කියන්නෙ කෝපල්..මං කියන දේ තමා මෙහෙ වෙන්නෙ. 

එතකොට අපේ සීසී, සීසීඑම්පී කෝපල් ජනකට;

*අම්මෙි ඔව් කෝපල් ආරච්චියා දෙයක් කිව්වනං ආයෙ හොයන්ඩ යන්ඩ එපා.. කිව්වා.

මාත් ඒ ලියුම ගහන ගමන් සීසී කියන දේ දිහා ඇස් යටින් බලං හිටියෙ. ඒක දැකපු සීසී;

*ඇයි උඹ හොරෙන් බලන්නෙ. ඇත්තනෙ කිව්වෙ. ඇත්තටම මට කියහං ආරච්චි උඹ කොහොමද ඔව්ව හරියටම කියන්නේ??

මාත් රයිටරේ ගහන ගමන්;

*ඔිව ඇස්වහ කටවහ නෙමෙි සර්. සර්ලා ඒක ගැනනෙ කියන්නෙ??

*එහෙනං කොහොමද උඹ හරියටම කිව්වෙ??

*ඇයි ඇයි සර්ටත් මොනාහරි අහගන්න ඔිනද කියල අහපුවම සීසී ආයෙ වචනයක් කතාකලේ නෑ.

*ඉතින් සර්, ලෝක තුනක් වඳින චීවරේට, ⁣මෙි මුලු ලෝකෙම දණ ගහල වඳින චීවරේට, බ්‍රිගේඩ් කමාන්ඩර්රුත් වැඳපු චීවරේට, ඒ චීවරේ දරණ පුද්ගලයෙක් වැරැද්දක් නැතුව ශෙල් එකේ දායිද සර්. අනික සර් දැම්මත් අපේ ශෙල්එකේ දාන්න පුලුවන්ද? වැරැද්ද ඇබ්සන් වීම තමා. ඒත් මිනී මරල කෙල්ලො දූෂනය කරල නෑනෙ. අනික නියෝගයක් තියෙනවනෙ මාස තුනකට වැඩි ඇබ්සන් අය කැමතිනම් යුධ හමුදාවෙන් අයින් කරන්න කටයුතු කරන්න කියලා. ඒකයි මං කිව්වෙ. 

එතනින් එහාට ආයෙ කව්රුවත් වචනයක් කතාකලේ නෑ. ආරච්චිනෙ කියන්නෙ. ඌ "වහපියව් කට කිව්වොත්"

දතුත් හැලිල කටවල් පියවෙන්නෙ.


ඇත්තටම මං එහෙම නෑ. බය වෙන්න එපා. අත්දැකීමෙන් මං ඔය හැම එකක්ම කියන්නෙ.


ඔහොම ඉද්දි තමා මට බුවෙක් සෙට්වෙන්නෙ බිලට් එකේදි. එක දවසක් මං දවල්ට කාල තව කෝපල්ලා දෙන්නෙකුත් එක්ක බිලට් එකට යද්දි ⁣ආධුනිකයො කීප දෙනෙක් වට කරගෙන සුළු වැරැද්දකට උන්ට පහර දීමට ලෑස්තිවෙන සාමාන්‍ය සෙබළෙක් ඒ. නම අධිකාරි කේඒ. හේතුව තේ ගෙනාපු බකට් නොසේදීම. අපි හිතුවෙ දේශණයක් දීල ආයෙ එහෙම කරන්න එපා කියලා අතහරී කියලා. ඒත් නෑ. මූ මූ ගැන හෙන පම්පෝරියක් ගහල මං අරහෙමයි, මෙහෙමයි කිය කිය හෙන කේස් එක. අන්තිමෙිට ආධුනිකයන්ගෙන් එකෙකුට විධානය කලා හොඳ පොල්ලක් අරන් වර තෝ ගිහින් කියලා. හමුදාවෙ එහෙම බෑ. තමන්ට වඩා ජ්‍යෙශ්ඨයො ඉන්න තැනක ජූනියර් කෙනෙක් විසින් කාටවත් දඬුවම් දෙන්න බෑ. දඬුවම් කරන්න පුළුවන් සීනියර්ට කියලා ඔහු අවසර දුන්නොත් විතරයි. ඔහුත් ඒ වැරැද්ද පිළිබඳව හොඳට විමර්ෂණය කරල දඬුවම් දිය යුතුම එකක්නම් සුදුසුනම් විතරක් අනුමත කරනවා.  අවසරය දෙනවා. ඒකට හේතුව ඒ දඬුවමෙි වගකීම එතනින් එහාට පැවරෙන්නෙ ඔටෝම සීනියර් එකාට. නැත්තං අවසරය දුන්නු කෙනාට. මෙයා සාමාන්‍ය සෙබළෙක් ලා/කෝ ආරච්චි සහ තව කෝපල්ලා දෙන්නෙක් ඉස්සරහ තමා දඬුවම් දෙන්න හදන්නෙ. කෝපල් කෙනෙකුට විශේෂයෙන් ආරච්චිට (බිලට් එකේ හිටපු නිසා)  හේතුව නොදන්වා ඔහු ඉදිරියේ ඔහුව කෙයාර් කරන් නැතුව කොහොමත් බෑ. මොකද "උන්ට ගහල මොකක් හරි වුනොත් උඹට තමා කේස් එක" කිව්වොත් ඉතින් කට හෝදලා කිව්වා වගෙ තමා. "උඹ අහිංසකයින්ට ගහල අත පය කඩාගන්නද හදන්නෙ"  කියල ඇහුවොත් ඒත් බඩුම තමා. අනික අපිත් රෙක්කා කාලෙ ඔිනෑ තරම් ඔහොම අමානුෂික වද හිංසා වින්දා. අපිටත් එහෙමයි කියල අපිත් ඒකම කරන්න ඔිනැයැ කියල එකක් නෑ. මගේ ප්‍රථිපත්තිය වෙනස්. අවම රිදීමකින් මතක හිටින්න පාඩම් ඉගැන්වීම තමා මගේ සිස්ටම් එක. මෙික ආරච්චිට අනුව ඉතා වැරදි දෙයක්. ⁣පොර අරුන්දැලට පම්පෝරිය දුන්නෙත් අධිකාරි කේ ඒ කියන්නෙ අධිකාරි කැ%@$යන්ටත් ඇරියා කියන එක කිය කිය. අපිත් ඇඳන් උඩට වෙලා බලං හිටියේ දැන් නවත්තයි දැන් නවත්තයි කියල. ඒත් නවත්තන පාටක් නෑ. හැබැයි පොර අපි ඉන්නවද දැක්කද දන්නෑ. වැඩමන්ට් එක බිලට් එකේ කෙරවලේ ජයට නැගල යනවා. අන්තිමෙිට තමා  කිව්වෙ හොඳ පොල්ලක් අරන් වරෙන් කියල. මූ හයියෙන් කියන නිසා බිලට් එකටම ඇහෙනවා.  පොල්ල ගේන්න යන ආධුනිකයා අපි ගාවින් යද්දි මං මගින් නවත්තගෙන "කොහෙත් තෝ යන්නෙ" කියල ඇහුවා. ඌත් සීරුවෙන් හිටගෙන "පොල්ලක් ගේන්න කෝපල්" කිව්වා. අරුන්දෑගෙ මුලකුරු කේඒ. ඒ කියන්නෙ කැ&@%යන්ටත් ඇරියා කියන එක. මටත් හැටහුටාමාරක් මුලකුරු තිබ්බට හමුදාවෙි භාවිතාකලේ වයිඒඩීඒ කියලා. මාත් ආධුනිකයට කිව්වා කැ%@$යන්ටත් ඇරියා කියන එකාට ඔහොම්මම ආපහු ගිහින් කියපං යක්කුන්ටත් ඇරපු දෙයියන්ටත් ඇරපු ආරච්චි කියල අම්බ කැ%@$යෙක් බිලට් එකේ කෙරවලේ ඉන්නවා, ඌ ඔික වහාම නවත්තන්ඩ කිව්ව කියල. හ්ම් පලයන්"  කියලා ආපහු යැව්වා. ඌත් ගිහින් අරුන්දැට කිව්වා. එතකොට තමා මූ වටපිට බැලුවෙ. බලල අපි තුන්දෙනා ඉන්නව දැකල මස්කට්ටකට හීලෑවුනු දඩෝරියෙක් වගේ හිනාවීගෙන අපි ලඟට ආවා. පස්සෙ ඌට ඌ කරන්න ගියපු වැරැද්ද තේරුම්කරල දීල අතෑරියා.


ඉවර නෑ....


රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2020.12.20


No comments:

Post a Comment