Saturday, December 19, 2020

රටක සංචාරේ

 එදා හරි ලස්සනට ඉර පායලා තිබුනා. ගිනි පුළිඟුවක් වගේ ක්‍රම ක්‍රමයෙන් ඉහල නගින ඉර ඊලඟට කරන්නෙ තම රශ්මි ධාරාවෙන් මෙි රටෙි මහ පොළොව පුච්චල දාන එක.

 මෙි රට පවතින්නෙ භාගයක් කාන්තාරයක් විදියට. කාලෙකට ඉහතදී සදාහරිත සහ සොබා සෞන්දර්යාත්මක භාවයකින් යුක්ත වී තිබුනු බවට ලක්ෂන පෙන්වන ඈතින් සහ ලඟින් පේන කඳු මුදුන් වලින් මතුවී තිබුනේ  විශාල කලුගල් මුදුන්. ඒත් මෙි වෙද්දි මෙි ගල් කුළු රටෙි සංවර්ධන කටයුතු සඳහා යොදා ගන්න අන්තිම බිංදුවටම කඩල අරං තිබුනෙ. පොලවෙ පස ඉරිතලල ගිහිල්ලා. කිසිම ගුණාත්මක භාවයක් නැති මෙි පසේ වැවිල තිබුනෙ එහෙන් මෙහෙන් රට ඉඳි ගස් විතරයි. ඒව දැක්කම පපුව හෝස් ගාල දාල යනව. මිනිසා මුදල් වෙනුවෙන් නොකරන්නේ මොනවද කියල හිතෙනව. මෙි කලුගල් චීනෙට අපනයනය කරන අතර ඇමරිකාවෙන් මාස තුනකට සැරයක් නැවක් ඇවිත් තවත් ඉතුරු වෙලා තියෙන කළුගල් සහ වැලි ටික හූරගෙන අරන් යනව. විශාල යන්ත්‍රෝප කරන වලින් පොලව යටටත් පිහිටි කලු ගල් හාර හාර කඩ කඩා යන්නෙ හරියට දියමන්ති ආකරයක අන්තිම දියමන්ති කැටෙත් හොයන කුණු ලෝබයෙක් වගේ. මට එකපාරටම හිතුනා මෙි වට පිටාව චුට්ටක් බලල යන්න ඔින කියල. තවත් ගොඩක් වාහන මෙි හරියෙ නවත්තල තියෙනවා. ඒ නොනිමි ගමනක් යන අතර මැද හීතල මොනව හරි දේකින් උගුර තෙමා ගන්න. කඩවල් පේලියක් තිබුනත් මිනිස්සු අඩුයි. මෙි කාන්තාරය හරහා යන මිනිස්සු විතරයි මෙි කඩවල් වලට එන්නෙ. කෑම ටිකක් කන්න, ක්ලෝරීන් කලවම් කරපු තිත්ත රහ එන වතුර එකක් ගන්න ටිකක් විඩාව නිවාගන්න හෙම තමා මෙතන වාහන  නවත්තන්නෙ. වතුර ලීටර් පහේ බෝතල් තමා පොඩිම එකකට තියෙන්නෙ. ලීටර් 10,20,50 දක්වා කෑන් තියෙනව විකුනන්න. ලීටර් පහේ කෑන් එකක් ඩොලර් දොලහක් වෙනවා. ලීටර් පනහෙ කැන් එකට කෑන් එකේ වටිනාකමත් එකතු කරලා ඩොලර් 72ක් වෙනවා. කඩෙිකින් වතුර ජෝගු බාගයක් බොනවනං ඩොලර් කාලක් වෙනවා. ඒවා ශත වලින් ගෙවන්න තියෙන්නෙ. ඊට ලාභයි ලීටර් පහේ එකක් ගන්නවා. මෙහෙ තියෙන්නෙ ලවණ ගතිය ඉවත් කරපු මුහුදු වතුර. උගුරු තුන හතරකට වැඩිය එකපාරකට බොන්න බෑ. අප්පිරියයි. කොච්චර බිව්වත් තිබහ යන්නෑ.


මමත් වහාම රියදුරු හිටපු වයසක පහේ මනුස්සයට වාහනේ ටිකක් නවත්තන්න කිවුවම මහා නෝක්කාඩු බැල්මක් දාල අඩි සීයක් විශාල කාපට් පාරෙ විශාල රට ඉඳි ගහක් අයිනකට කරල වාහනේ නවත්තල ආයෙත් මගේ මූන බලල ඉංග්‍රීසියෙන්;

*ඇයි නවත්තන්න කිවුවෙි. 

*නවත්තන්න කිව්වෙි උඹලගේ කාන්තාරෙ සිරි නරඹන්න. බලපන් මෙි කාන්තාරෙ හැටි. හයිටි රටෙත් මෙි වගෙ නෑ. ඇයි උඹලට මෙි රට හරියට බලාගන්න බැරිවුනේ. රැක ගන්න බැරිවුනේ? 

කියල අහපුවම මිනිහ බිම බලාගත්තා. අපේ වාහනය නවත්තපු තැනට විශාල භූමි ප්‍රමාණයක් පේනවා. වට පිටාවත් ටිකක් විතර ලස්සනයි.ගොඩක් ඉස්සර කාලෙ ගඟක් තිබුනු බවටත් පැත්තකින් සළකුණු තියෙනවා. මෙි රටට තියෙන්නෙ එකම එක කැලෑවක් විතරයි. මිනිස්සුන්ගේ පරිභෝජනයට අවශ්‍ය සෑම දෙයක්ම ගෙන්නන්නේ පිට රටින්. අවුරුද්දකට එකම එක සැරයක් වැස්ස පටන් ගන්නවා. ඒක තියෙන්නෙත් හරියටම සතියයි. ආයෙ සති පනස් එකක්ම මහා ඉඩෝරෙ. අඩු නැතුව තිබුනෙ යාචකයින්ගෙ අඳෝනා විතරයි. වාහනයක් නවත්තපු ගමන් අත උරුක් කරගෙන දුවගෙන එන්නෙ වෙන එකෙක් එන්න ඉස්සර ඌ ඇවිත් කීයක් හරි ඉල්ලගන්න. නුදුන්නොත් මුං බනිනවා. අනික මෙි රටෙි බාසාව හරියට තේරුම් ගන්නත් අමාරුයි. ඉංගිරිසුත් නෙමෙි. ඒත් ඉංගිරිස් වගේ. මමනං එන එන හිඟන්නට කීය කීය හරි දෙන්නෙ නුදුන්නොත් මුං නොතේරෙන බාසාවෙන් මොනවා කියල බනිනවද කියල දන්නැති හිංද. අම්මට බැන්නත් අපිට කියන්න තියෙන්නෙ "තෑන්ක් යු" කියල විතරයි. මොකද දන්නෙ එච්චරයි. මහා රාස්ස මිනිස්සු ජාතියක් මෙි හරියෙ ඉන්නෙ. මෙදත් වාහනේ නවත්තපු ගමන් අත් දිගට කලිසම ඇඳපු  ඒත් ටිකක් පිරිසිදු හිඟන මනුස්සයෙක් ඇවිත් උන්ගෙ බාසාවෙන් කීයක් හරි ඉල්ලුවා. මුගේ ටයි එක විතරයි අඩු. සමාජ අධ්‍යනය සර්ල වගේ තමා මෙහෙ හිඟන්නොත් ඉන්නෙ. 


තරුණ පහේ එක හිඟන්නෙක් මාත් එක්ක චුට්ටක් හිනාවුනාම මාත් කට සම්පූර්ණම අරින්නැතුව ඩිංගක් හිනාවුනා. ඌ ටික ටික මට කිට්ටු කලා. මාත් ඌ ලඟට ආවම නම ඇහුවා.

*කේන්ජ් රයිෆ් ආ??

*ඩික්ලෝ

*ආබුෂ් ඩික්ලෝ..අඩ්හු අක්බර් ඩිකාන් ශේ ක්වා?? (ලස්සනයි ඩික්ලෝ.උඹෙි වයස කීයද?)

*යේහ්.. වා ටුවෙන්ටි නායින්. බුෂුආ ඩික්ස් වෝ වෙහික්කෝල් ඩුවන් බ්‍රාක්??

*නෝ නෝ.. නතින්. 

*බුෂුආ..

හැකි ඉක්මනින් ඌව කපල දැම්මෙ වැඩි හිතවත්කමක් පෙන්නුවොත් ඩොලරෙන් ශේප් වෙන්න බෑ. මෙහෙ පලාත ගැන විස්තර කරල කියන්න ඩොලර් විස්සක් දෙන්න ඔින. මුං ඊලඟට පටන් ගන්නෙ ඔික. එපා කිව්වත් නොකිව්වත් කියවන්න පටන් ගන්නවා. 


එතැනින් අපි පිටත්වුනේ හවස හතරට විතර. ඉර මුදුන් වෙන වෙලාව. එපා වෙනව මෙි ගිනි රස්නෙ යන්න ගියාම. ගමන පටන් ගන්නකොටම කෙලවරේම තිබ්බ කඩෙි හෙන සයිස් ඇම්බුන් කෙසෙල් කැනක් එල්ලල තියෙනව දැකල මටත් හිතුන කෙසෙල් ගෙඩියක් කන්න. 

*හවු මච්චීස් දැට් බනානා?

*පයි ඩෝරු සෙවන්ටි සෙන්ට් ඔප් වන්..

හුටා කාල වරෙල්ලකො. ඇබ්බුං ගෙඩියක් විතරක් ඩොලර් පහයි සත හැත්තෑවයි. නවත්තපු මෝඩකමට ගෙඩි දෙකක් දෙන්නට ගත්තා. ඒක කාල මුහුදු වතුර ලීටරයක් විතර බිව්වා. ඊහ්ක්..සැක්.. හමුදාවෙ ඉන්න කාලෙ වෝටර් ටැබ්ලට් දාල තිබ්ල දවසකට පස්සෙ බොන කොටත් එන්නෙ මෙි අමි රහමයි. 

මං රියැදුරාට ඊලඟට වාහනේ නවත්තන්න ඔින තැන කියල චුට්ටක් ඇස් පියාගත්තා. කොච්චර වෙලාවක් එතෙන්ට එන්න ගියාදනම් දන්නෑ, නිදාගෙන විනාඩි පහකින් ඇහැරවනව වගේ මට දැනුනෙ. 


කපල් කපල් කොටට ඇඳන් කොහේ යනවද මං දන්නෑ. මුං ඇඳන් ඉන්න ශෝට් අස්සෙන් කලුපාටට එව්ව මෙව්වත් පේනවා. සමහරු බංකු බංකු උඩට වෙලා කටවල් කා ගන්නවා. සමහරු කෙල්ලංගෙ පපු තලනවා. හරියට ඉස්සර අපේ අම්මා ගෙයි බිම ගාන්න හුඹස් මැටි පොඩි කරනවා වගෙ. 

එකෙක් දෙන්නෙක් විතරක් පාඩුවෙි අඩියක් විතර දිග කංසා සුරුට්ටු අදිනවා. මෙි රටෙි කිසිම විනයක් නෑ. ⁣ජනාධිපති වරෙන්, ගෑනියෙකුට හිතුනොත් ඌත් එක්ක සංසර්ගයේ යෙදෙන්න ඔින කියල, අතින් ඇදගෙන ඊලඟට රිංගන්නෙ ලී මුඩුක්කුවක් ඇතුලට. මෙහෙ මෙි පළාතේ ප්‍රධාන ආදායම් මාර්ගයත් ගණිකා වෘත්තීය. කසාද මිනිහ ගෑනිව සේල් කරන්නෙ හරියට සල්පිලක මල්වට්ටි වෙන්දේසි කරන විදියට. පොත්තෙ පාට අනුව තමා මිළ තීරණය වෙන්නෙ. තාත්තල දුවල බැඳල,පුතාල අම්මලව බැඳලාත් මෙහෙ ඉන්නව. අපි උනත් හරි පරිස්සමෙන් හැසිරෙන්නෙ. පොඩ්ඩ මිස් උනොත් ඩෝං තමා. එහෙමත් එකෙක් ලඟ තමා රිවෝල්වරයක් පිස්තෝලයක් නැත්තෙ.


අපේ ක්‍රමෙිට කෑම වෙිලක් කන්න ඩොලර් එකසිය විස්සක් ඔින. ඒකට සම්බා බත් පරිප්පු, බැටලු මස් හරි ඔටු මස් හරි හරක් මස් හරි එක්ක තව එක එළවළුවක් ඒකට ලැබෙනව. 

මෙි රටෙි පාලක පන්තිය අමුහොරු. රටෙි සම්පත් හූරගෙන කාල කාල මිනිස්සු අන්ත දුගී බාවයට පත්කරල, ඒ වුනත් මිනිහ ගෑණිවත් පුතා අම්මවත්,තාත්තා දුවවත් ඩීල් කරල හම්බකරන එකෙනුත් බදු අය කරනව. රටෙි ප්‍රධාන ආදායම් මාර්ගය ඛණිජ සම්පත් අපනයනය කිරීම. ඒකට වැලි, කලුගල් පවා අයිතියි. පරම්පරා ගානක්ම රජකරන්නෙ අවුරුදු හාරසිය ගාණක් තිස්සේ පැවතගෙන එන රාජකීය පවුලක්. උන්දැලට රටෙි මිනිස්සු හිටියත් එකයි නැතත් එකයි. බදු වෙලාවට ඔින. යමක් කමක් තියෙන එකෙක් වුනත් කරන්නෙ හොරකමයි,මැරකමයි විතරයි. ස්ත්‍රී දූෂනය අතින් ඉහලින්මයි. පිරිමි ගණිකාවන් මුදලට යන්නෙ හොඳට සල්ලි බාගෙ තියෙන ව්‍යාපාරික පවුල්වල බිරින්දෑවන් සනසන්න. මගේ රියැදුරා අහිංසකයෙක්. මිනිහා තනිකඩයි. හැබැයි හම්බ කරන එකෙන් කරන්නෙ බාර්වල ලාච්චු පුරෝන එක. සමාජ ශාලා රෙස්ටෝරන්ට් එක්ක මාර ඇරියස්. හොය හොයා යන්නෙ සැප ගන්නෙ. මුන්දැලාට ඔින ශරීරයට සැප දෙන්න විතරයි. පරමායුෂ අවුරුදු 44යි. පනහක් හිටියොත් ඒකා හොඳම වැඩ්ඩෙක්. මිනිස්සු මිටියි. උපරිම උස අඩි පහයි. මටත් වඩා පොඩි හැම එකාම. මටත් අවුරුදු හතලිස් තුනයි. අවුරුදු 12,13 අම්මලා තමා ඉන්නෙ. අවුරුදු විස්ස වෙනකොට උපාධියකුත් අරන් හොඳ රස්සාවකුත් කරනවා. උගත්තුනං මෙහෙ ගොඩක් අඩුයි. උන් මෙි රටෙි සල්ලි දීල ඉගෙන ගෙන හොඳ හොඳ රටවල් වලට සංක්‍රමනය වෙනවා.

මං ඉගෙනගත්තු විදියට මෙි රට මීට අවුරුදු තුන්සීයකට තුන්සිය පනහකට කලින් සශ්‍රීක රටක්. ඇමරිකාවෙි චීන සමූහාන්ඩුවෙි දේශපාලන අතපෙවීම් මත තමා මෙි රට විනාශවෙලා ගිහින් තියෙන්නෙ. ඉස්සර කෘෂි ආර්ථික රටාවක් තිබුනු වසර පුරා වැසිවැටුනු දියුණු රටක්. සදාහරිත වනාන්තර රට හැමතැනම තිබිල තියෙනව. ඒත් දැන් එහෙම තිබ්බද කියල ලකුණක්වත් හොයාගන්න නෑ. රටම අඳුරු ආගාධයකට ගිහින්. උගත්තු රටෙන් පිටවෙලා නූගත්තු දේශපාලනයට ඇවිත්  කරපු හරියක් තමා ඒ. ගහක මලක් පිපෙනවා දකින්නත් ආසයි. හැබැයි නාගරිකව හැමතැනම තට්ටු ගෙවල්. හාල් කිලෝ එකක් විතරක් ඩොලර් විසි තුනයි. ඔක්කොම පිට රටින් ගෙන්නන්නෙ. ඒ ගෙන්නන්නෙත් ඒවගෙනුත් හොරා කන්න පුලුවන් හිංද. ඇමරිකාව කියන විදියට තමා ජනාධිපති නටන්නෙ. මාරුවෙන් මාරුවට චීනෙනුත් එනවා. රටෙිම තියෙන්නෙ එකම වැවයි. ඒ වැවත් මූද අයිනෙ තියෙන නිසා වතුර ටිකක් තියෙනවා. මාධ්‍ය සංස්කෘතියනම් අප්‍රසන්නයි. ටීවී පත්තර නෑ. පාරම්පරික පත්තර දෙකක් විතරයි රටටම තියෙන්නෙ. අනික් හැමදේම ජංගම කථනෙන්. එක පාරක් වසංගතයක් ඇවිත් රටෙන් භාගයක්ම මැරුණා. මිනී පාරවල් අයිනෙ හිටං. සල්ලිකාර උදවිය රටෙන් ගියා. කැනඩාව, නවසීලන්තය, ඇමරිකාව, ආදී යුරෝපීය රටවල්වලට. දේශපාලකයො රට කලේ වීඩියෝ තාක්ෂණය හරහා පිට රටක ඉඳගෙන. උනුත් එන්න බයයි. ජනාධිපතිගෙ නියෝජිතයෙක් විතරයි රටෙි හිටියෙ. ඒ මෙල්වා ගැබාපෙන්ටින්. ඌ,ඌට ඔින විදියට තමා රට කරන්නෙ. 


සීගිරිය වගේම එකක් අපේ වාහනය නවත්තපු තැන ඉස්සරහ තියෙනවා. ඒකත් ගල්වලට කඩලා. ගලක් තිබුනා කියල හොයාගන්න විතරක් චුට්ටක් ඉතුරු කරලා. මෙතනින් එහාට යන්න ඩොලර් හැටක ටිකට් එකක් ගන්න ඔින. 

මාත් රියැදුරාට වාහනේම ඉන්න කියලා ගියේ, දෙන්නම ගියොත් එනකොට වාහනේ නෑ. වාහනේ තිබුනොත් එක්කො ටයර් නෑ නැත්තං ඇංජිම නෑ. එහෙමත් නැත්තං ඔය දෙකම නෑ. කිලෝමීටරයක් විතර පයින් යන්න ඔින. මෙි යන්නෙ අපේ වැඩවලට අවශ්‍ය ගඩොල් ගේන්න. මෙි ඉස්සර බෞද්ධ රාජ්‍යයක්. දැන් වෙන විදියකට පරිවර්ථනය වෙලා. ප්‍රධාන ආගම ඉස්ලාම්. කාලක් විතර ක්‍රිස්තියානි. ක්‍රිස්තියානි කට්ටිය කිසිම හේතුවකට මුස්ලිම් ඉන්න පලාතට එන්නෑ. ආවොත් බඩුම තමා. මෙි ගඩොල් කපන්නෙත් ඉස්සර ලොකු චෛත්‍යයක් තිබුනු තැන. ගල්කණු වලින්  වැටවල් ගහගෙන තමා ඉඩම් සීමා කරගෙන තියෙන්නෙ. 

මාත් පුලුවන් ඉක්මනින් ගිහින් ගල් පන්දාහකට ඔිඩරේ දීල ආවා. ඊලඟට යන්න ඔින තව වැඩකට තව නගරයකට. අවුරුදු හාරසීයකට විතර කලින් ඉතාම දියුණු සශ්‍රීකව තිබුනු ඉතා අලංකාර සහ හොඳ නගර සැලැස්මක් තිබුනු ප්‍රධාන නගරයකට. එහෙ යන්නෙ අපේ ප්‍රධාන සයිට් එකට. අද පඩි දවස. ඩොලර් තිස්දාහක වෙිතනයකට විසිටින් ඔෆිසර් රැකියාවක් මං කරන්නෙ. මං අයත් කම්පැනියෙ සයිට්වල සිකුරුටිල චෙක් කිරීම තමා මගේ රාජකාරිය. ෆුල් එයාකන්ඩිෂන් ෆෝවීල් ඩබල් කැබ් එකක් තමා රියෙදුරෙකුත් එක්ක මට දීල තියෙන්නෙ. මෙි වාහනේ මගේමයි. මෙිකටත් ඩොලර් විසිදාහක් කම්පැණි එකෙන් මට ගෙවනවා. රියැදුරාට පඩිය ඩොලර් හත්දාහයි. ඌ ඒකෙන් දකින දකින බාර් එකෙන් අරක්කු ගන්නවා. 

හයිස්පීඩ් ට්‍රැෆික්ල ඉන්න පාරක අපි යන්න ඔින පරිස්සමට. නැත්තං උන්ටත් ඩොලර් පහ දහයක් ජරාව දෙන්න ඔින.උං ජරාවටම හුරුවෙලා ඉන්නෙ. කොයිවෙලෙත් අරක්කු බීල ඉන්නෙ. හමුදාවක් ඉස්සර ඉඳල තියෙනව. ඒත්දැන් නෑ. හමුදාව නිසා මුකුත් කරන්න බෑ කියල අවිත් එක්කම හමුදාව විසුරවල. උන්තමා මංකොල්ල කාරයො හොරු වෙලා ඉන්නෙ. පාං බාගයක් ඩොලර් කාලයි. පාං බාගයක් දීලා පාරෙ යන ගෑණියෙක් එක්ක ඔන්නං පැයක් ඉන්න පුලුවන්. ලෙඩ වකාරෙ. හැම එකීටම එකාටම ඒඩ්ස්. තවත් වෛරස් ලෙඩ තුනක් තියෙනවා. ඒවගෙන් මෙි මිනිස්සු ඉක්මනට මැරෙනවා. ඒක පාලක පන්තියට හොඳයි. 

හොඳ වැඩක් කරන්න එක පැත්තකින් පටන් ගත්තොත් ඒකට අකුල් හෙලලා නවත්තන එක මෙි රටෙි සංස්කෘතියක්. බාෂාව උනත් අප්පිරියයි. සීයට හැත්තැ පහකටම ඉස්කෝල අධ්‍යාපනයක් නෑ. කණ අත්සන ගහන්නෙ. කුඩු,ගංජා,දුම්කොල, හෂීස්,අයිස් වැනි මත්ද්‍රව්‍ය ඔිනෑ තරම්. ඒ බිස්නස් කරනවුන්ට පුද්ගලික ගුවන්යානා හෙලිකොප්ටර් පවා තියෙනවා. 


ඉර අවුව දෙවෙනිවුනේ ගින්දරට විතරයි. ගස් හෙවනක සිසිල විඳින්න පෙරුම් පුරන්න ඔින. නැත්තං පෝලිම්වල ඉන්න ඔින. හැතිය ඇදුම පිළිකා මෙි රටෙි සාමාන්‍ය ලෙඩ. පිලිකාවක් හැදුනොත් ඉංජෙක්සන් දෙකයි, ලෙඩෙි සුවයි. හැතිය ඇදුමනං මළාට හොඳ වෙන්නෑ. ඒ වාහන දුම් නිසා හා දවල්ට අවුවට පිච්චිල පිච්චිල රෑට පිණි බාන නිසා. මාත් හැම තිස්සෙම මාස්ක් එකක් දාං ඉන්නෙ. ඒක ගලවන්නෙ බෝඩිමට ගියොත් විතරයි.

මුංගෙ කටවල්වලින් පුදුම වෛරස් ගොඩක් පිටවෙන්නෙ. පියෝ ඔක්සිජන් පැකට් එකක් අරගෙන ගහ ගත්තම ඔය ලෙඩ ඔක්කෝම සුවයි. මං හැමදාම ඇනවුමක් විදියට බෝඩිම ඉස්සරහ සුපර්මාකට් එකෙන් ඔක්සිජන් කිලෝ එකක් ගන්නවා. ඒක මට දවස් දෙකකට ඇති. රෑට විතරයි ඔක්සිජන් ගන්නෙ. ඒකට කියන්නෙ "ඔක්සෆන්" කරනව කියල. මගේ මෙහෙ රැකිියාව  ඉවරවෙලා ලබන සතියෙ ආයෙ මගේ රටට එනවා. අම්මෝ..මට ඇති වෙලා ඉන්නෙ මෙහෙ. ආයෙ යන්නෙ කවද්ද කිය කිය බලන් ඉන්නෙ. 

එකෙකුට එකෙක් නැති රටක් එක්ක බැලුවම මගේ රට දිවිය ලෝකයක්.

මගේ කාලයත් ඉවරයි. ඒකත් ඉවර වෙන්න ඔන්න මෙන්න කියල තමා නව ජනාධිපති කෙනෙක් තෝරගන්න ජනාධිපතිවරනය තිබුනෙ. ඒක මහා දූෂිත චන්දයක්. ඉතිහාසයේ තිබුනු දූෂිතම එක කියල තමා පත්තර දෙකේම තිබුනෙ. ආයෙ මෙහෙට එන්නවුනොත් කියල හිතිල  තමා මතක්වුනේ මෙි රටෙි අලුතින් පත්වුන ජනාධිපතිගෙ නම අහගන්න. මාව මෙතනට එක්ක ආපු රියැදුරාගෙන් ජනාධිපතිගෙ නම ඇහුවා.

"ස්ටෙෆන් ෆීලික්ස් රැජාපක්ෂා, ප්‍රොම් මැදාමුලානජා" කියල මිනිහ නම කිව්වා. මං ඒක ඇහුනු ගමන් පස්ස නොබලා දුවං ඇවිත් හැකි ඉක්මනින්  කාල යාත්‍රාවට නැගල අවුරුදු හාරසිය පනහම ආපහු ආපස්සට ආවා. 


රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2020.12.18

No comments:

Post a Comment