කුරුණෑගල 04
යුද්ධය පැවති කාලේ අපේ හමුදාවට සිවිල් සමාජයෙන් සෑහෙන ඉල්ලුමක් තිබුනා. හැම ටවුමකමත් පාරකමත් ලොකු තඩි පොල් අකුරෙන් ගහපු බැනර් අම්බානකයි. ඒවා අතරින් මගේ හිත අරගත්තු ලස්සන එක වදනක් තිබුනා. ඒ "හදවතින් අපි යුධ බිමෙහි ඔබ තනිකලේ නැත කිසිදිනේ" කියල.
සුනිල් එදිරිසිංහ මාස්ටර්ගේ කටහඬත් එක්ක ඒ වදන් හරියට පපුවෙ ගැඹුරුම තැනට කතා කරනවා. ඒ කාලේ පිට පිටම අවුරුදු 12ක් (මා දැනුවත්ව. ඊට පස්සෙත් ඒ ගීතයම වෙන්න ඇති) ජනප්‍රියතම රණ ගීතය විදියට තේරුණු ඒ ගීතය ඇත්තටම අදටත් සැරින් සැරේ මතකෙට එනවා. ඒක මියුසික් එකත් එක්ක කන් දෙක පුරෝලා අඩ නින්දේ ඉන්නකොට ඇහෙද්දි ඇත්තටම ඇඟේ හීගඩු පිපෙනවා. ගීතයක අඩංගු වචනෙකින් උනත් රණබිමෙි සටන් වදින රණවිරුවෙක්ව කොච්චරක් දුරට දිරිමත් කරන්න පුලුවන්ද කියල හොඳටම තේරුම් කරල දුන්නු සිංදුවක් තමා ඒ.
ඒ දවස්වල රණ ගී නම් අම්බානකයි. මෙි බැනර් වලටත් අරන් තිබුනු වදන් ගොඩක්ම මෙි වගේ රණ ගී වලින් උපුටාගත්තු ඒවා. ඒ දවස්වල අපි පාරෙ ට්‍රක් එකක යනකොට උනත් කොච්චර කෙල්ලො කොල්ලො අත වනනවද?
එකපාරක් මට වාලච්චෙනෙදි සිදුවීමක් වෙලා තුවාල වෙලා ලේ නවත්තගන්න බැරුව ඇම්බියුලන්ස් එකේ ඔබාගෙන හැටට හැටෙි පොලොන්නරු රෝහලට අරන් එද්දි අපේ අයට මාව තියටර් එකට අරන් යන්න වුනේ නෑ. "කෑවෝ,කෑවෝ" ගාගෙන පොලවටත් අඩියක් විතර උඩින් එහෙම එන ඇම්බුයුලන්ස් එකක, නැත්තං උඩින් එන චොපර් එකකින් තුවාල වෙච්චි අපේ අයව අරගෙන එන අයට ඔවුන්ව තියටර් වලට අරන් යන්න වෙන්නෑ. ඒ සද්ද ඇහෙනකොට රෝහලේ ඉස්සරහට පිරෙන කොල්ලො තමා කඩියො වගේ වැඩ කරන්නෙ. අඩ සිහියෙන් උනත් යන්තමට සිදුවීම මං දැක්කා. එදා මාවත් ටොලියක දාගෙන අරන් ගියෙ සිවිල් කොල්ලො තුන්දෙනෙක්. මාත් එක්ක ආපු අනික් තුවාල වෙච්චි කෙනා ඇම්බියුලන්ස් එකෙන් බානකොට මට හිතෙන්නෙ මං තියටර් එක ගාවටත් ගෙනිහින්. ඇත්තටම ඒ අතින් පොලොන්නරුවෙ කොල්ලො හෙන භක්තියක් දැක්කුව අපිට. ඒක පොලොන්නරුවටම සීමා වෙන්නෑ. අපේ සිංහල කොල්ලො කෙල්ලො ඒ දවස්වල කොතනත් එහෙමයි. පොලොන්නරුවෙ කියල විතරක් කිව්වෙ අත්දැකීමක් තිබුනු නිසා.
කතාවට යමුකො. මෙි බැනර්, කටවුට් වලට එහා ගියපු තව දේකුත් තිබුනා. ඒ තමා හමුදාවෙ කොල්ලන්ට කෙල්ලන් දක්වපු කැමැත්ත. ඉස්සර මුහුනු පොත තිබුන්නෑ. පත්තරවල මිතුරු හමු තිබුනෙ. සිත්තර, සත්සිරි,චිත්‍රකතා, දසුන, මධුර, හිතවත, සත්වරුණ, වරුණ, සඳරේණු බිරිඳ,පියාදරී, ආදී එකී මෙකී නොකී පත්තරවල වෙන්කරපු පිටුවක තමා ගොඩක් වෙලාවට එහෙම තියෙන්නෙ. ඒ මිතුරු හමුවල ගෑණු ලමයින්ගෙ පොටෝ යටින් අනිවාරයෙන්ම සඳහන් වෙන එක් කරුණක් තියෙනවා. ඒ "වරදට සමාව දෙන රණවිරු අයිය කෙනෙක් හඳුනගන්න කැමතියි" කියලා. වරදනම් මොකද්ද දන්නෑ. සමහර විට හොරෙන් කැන්ටිමෙන් කාල ටීචර්ලගෙන් ගුටි කාපු එකක් වෙන්න ඇති. එහෙමත් නැත්තං පව්ලෙ අයත් එක්ක රණ්ඩු වෙච්චි සීන් එකක් වෙන්න ඇති. ඒවා යාලුවෙච්චි කොල්ලට ආරන්චි වුනොත් එයාලව දාල යන්න යයි කියන හැඟීම ඒ අයට ඇතිවෙලා දාපුව වෙන්න ඇති. ඒත් පුංචි ගැටලුවක් තියෙන්නෙ ඒකට රණවිරු අයියලාවම තෝරගන්න එක ගැන. මට පෙන්නන්න බැරිත් ඒ වරදට සමාව දීල ඒව කරේ එල්ලගන්න තරම් නිහතමානී ආදරණීය හමුදාවෙ රණවිරු අයියලාව.
ඇයි යකෝ.
ඉස්සර අපිට ඔය පත්තර ලැබෙන්නෙ මඩකලපු යන කුරුණෑගල දිස්ත්‍රික්කෙ පොල් සහ පොල් අතු ගෙනියන ලොරිවලින්. එහෙ අපිට පත්තර සල්ලි වලට ගන්න ලැබෙන්නෑ. එකම රටෙි රටවල් දෙක තුනක් විදියටනෙ ඉස්සර ඔය පළාත් තිබුනෙ.
කුරුණෑගල ඉද්දිත් අපි පත්තර කියවනවා. මමනං කියවන්නෙ සඳරේණු පත්තරේ සහ බිංදු පත්තරේ. සඳරේණු පත්තරේ ඒ දවස්වල හරියට පවුඩර් ආදර කතා තිබුනා.බිංදු පත්තරෙත් එහෙමයි. මං ඒකෙ ආස අන්තිම පිටුවෙ දාන කතන්දරේට. වෙන මුකුත් හිංද නෙමෙි අපි බබ්බුනේ. ඒකයි. අනික ඒකාකාරී ජීවිතයෙන් චුට්ටකට හරි මිදෙන්නත් මොනවාහරි කරන්නෙපැයි. ඒ හිංද.
මෙහෙ හිටියා පියරත්න කියල කොල්ලෙක්. ලස්සනයි. සුදුයි. තොල් දෙක රෝසපාටයි. ටිකක් සුද්දෙකුත් වගේ. හැඩයි. ඒවුනත් බුවාට කෙල්ලෙක් නෑ. ටිකක් විතර ලැජ්ජකාරි චරිතයක්. ඒත් පොරටත් හෙන ඇම්මක් තිබුනා කෙල්ලෙක් යාලු කරගන්න. ඇත්තටම පොරට ඒ දවස්වල කෙල්ලෙක් හිටියෙ නෑ. ඒක විශාල අඩුපාඩුවක්. අපිට සිවිල් එකේ කෙල්ලෙක් යාලුකරගන්නවා කියන එක හෙන ගේමක් දෙන්න ඔින දෙයක්. මාස දෙක තුනකට සැරයක් නිවාඩු ගිහින් යන්තම් අයිටම් එකක් ඇහැදීල එක පාරක් හිනාවෙනකොට නිවාඩුව ඉවරයි. එකම ගමෙි උනත් සීන්එක ඔිකයි. ආයෙ මාස දෙකතුනක් ඒකි ගැන හීන මව මව ඉඳල නිවාඩු ගිහින් අයිටම් එක ටෝක් කරන්න යනකොට ඒක වෙන එකෙක් දාගෙන. ආයෙ හිත හදාගෙන අලුතින් එකකට බහින්න අදහස් කරනකොට නිවාඩුව ඉවරයි. නැවතත් ඌ මයි. ඉතින් කෙල්ලො සෙට් වෙයිද අපිට. ඒකට පිළියම් වශයෙන් ගොඩක් කොල්ලො තෝරගත්තෙ මෙි මිතුරු හමු. වරදට සමාව දීල හරි කරේ එල්ලගන්න තරම් හරක් ඔිනෑ තරම් ඉස්සර හමුදාවෙ හිටියා. ඒ අර ඉහත සිද්ධාන්තය නිසා. මංනං දැනුවත්ව එකෙකුට චාන්ස් දුන්නෑ ඒවට කරගහන්න. හැබැයි ඒවගෙන් හමුවෙලා දැන අඳුනගෙන වරදට සමාව දීල බැඳපු අයත් ඉන්නවා මම දැනුවත්වම. හමුදාවට කාන්තා රෙජිමෙින්තුවක් ඇතුලත් වෙන්නත් ඒ ඒකක ගාන වැඩිවෙන්නත් ප්‍රධාන එක් හේතුවක් වුනේ කොල්ලො පත්වෙන මෙි අපහසුතාවයන්ට පිළියමකුත් එක්ක.
ඇත්තම කතාව කොච්චර නම් එහෙම ආමි ආමි බැඳලා සාර්ථක යුගදිවි ගත කරන පවුල් ඉන්නවද. මගේ ගමෙත් පවුල් පහලොවක් විතර ඉන්නවා. ගෙට පල්ලැහැත් එකියෙකුයි එකෙකුයි ඉන්නවා. ඒ අස්සෙ හමුදාවෙ හොඳ යාලුවො බැජී බැජීල දෙමස්සිනාල වෙච්චි තැනුත් ඔිනෑතරම්.
නැවතත් කතාව. ඔහොම ඉද්දි තමා පියරත්නටත් සඳරේණුවකින් කෑල්ලක් සෙට්වෙන්නෙ රේණුකා දමයන්ති කියලා. ඒක හොයාගන්න මාත් එක හේතුවක් වුනා. අපිත් හෙන භක්තියකින් තමා පියාට සපෝර්ට් කලේ. මූත් හොඳයි කියන එකකට දැම්ම ලියුමක්. සති දෙකක් යනකොට රිප්ලයි ආවා. ආයෙ දැම්මා පිළිතුරු. ඒවටත් ආව. දැන් ගොනයි මීමයි වගේ ඇහැට නොදැකවුනත් දුරස්ථ පේම කතාව නැගල යනවා. ඔහොම ඉද්දි ආරාධනාවක් ආව කෙල්ලගෙ ගෙදර එන්න කියලා. මූත් සති අන්තයක් අල්ලල නිවාඩුවකුත් දාල කෙල්ලගෙ ගෙදර ගියා. හැබැයි මූ අහිංසකයෙක්. අපිව උනත් ආශ්‍රය කලේ හරි පරිස්සමින්. මූ ඒවුන්දැගෙ ගෙදර ගිහින් ආව. ඒ ආපු දා ඉඳන් මූන ඥොරොක් කරගෙන හිටියෙ. හේතුව ඇහුවට කිව්වෙම නෑ. උපදෙසක් දෙන්න උනත් හේතුව දැනං ඉන්ඩෙපැයි. මාත් මගෙ වහන්තරාව එක්ක බැඳලත් ලව් කරන කාලෙනෙ. මූ පස්සෙ පස්සෙ අපිව මගාරින ගතියකුත් තිබුනා. ඇහුවම කියන්නෙ "අවුලක් නෑ කෝපල් නැගල යනව" කියල. මෙිකට අපිත් වගකියන්න ඔින හිංද මොකද්ද සීන් එක කියල ටිකක් හොයල බැලුවා. මුගේ හොඳම යාලුවෙක් හිටියෙ බැජියෙක්. නම පේමදාස. ඌ අපිව තදින් ආශ්‍රය කරපු එකෙක්. දවසකට සැරයක් අපිත් එක්ක කතා කරන්න හම්බුන්නැත්තං බතුත් කන්නැති ඩෑල්ලෙකක්. මුගේ හේතුව හොයන්න අපි පේමට භාරදුන්නා. මූට කිව්වා ශේප් එකේ අහගෙන හේතු කරුණු සම්බන්ධව හොරෙන් අපිව දැනුම්වත් කරන්න කියලා. පේමත් ගේමට බැස්සා. දවස් දෙකක් යනකොට පූස මල්ලෙන් එලියට පැන්නා. වෙලා තියෙන්නෙ මූට එන්න කියල තියෙන්නෙ දවල් කෑමට. මූට තියෙන හදිස්සියට මූ උදේම එහෙ ගිහින්. ගේ හොයාගෙන හොයාගෙන ගෙදරට යද්දි අම්ම විතරයි ගෙයි ඉඳල තියෙන්නෙ. කෙල්ල නෑලු. මූත් විස්තරේ අහල කියල අන්තිමෙිට අහල කෝ භාන්ඩෙ කියලා. අම්මත් මූට ගෙට අඬගහල පුටුවක වාඩිවෙන්නත් කියල එලියට බැහැලා;
*ඩිංගියෝහ්හ්හ්හ්.. කියල හයියෙන් කෙල්ලට අඬගහලා.
මෙිකිත් ඈත බැද්දක පඳුරක් පල්ලෙ ඉඳන්..හයියෙන්
*ඔිහ්හ්හ්... මං රෙනෝඔිඔිඔිහ්හ්හ් කියල හඬනගා කියල. මෙිකි දන්නෑ කොල්ලා ඇවිත් කියල. මූට හෙන අප්සට් වැඩෙිට. හද්දෙයියනේ සමාජෙකට ගන්න පුලුවන් ඩෑල්ලෙකක්ද ඒ?? හූවෙ දුරටනෙ ඔහෙ ඉඩම් දෙන්නෙත්. ඒ කිව්වෙ ඉඩමක් බෙදාගන්න ගිහින් රුපියල් පන්දාහක් විතර අයිතිකාරයට දුන්නම ඌ හුවක් කියනවලු. ඒ හූව ඇහෙන දුරම රුපියල් පන්දාහයි. ඉතින් අහල පහලත් ගෙවල් නැති හිංද බැද්දෙ හොදට රෙන්ඩ පුලුවන්.
මූ ආපහු යම්දෝ නොයම්දෝ කියල හිත හිත ඉන්නකොට ගේ පිටිපස්සෙන් බාල්දියක් අතාරින සද්දෙත් එක්ක කෙල්ල ගෙට ආවලු ඇදල පැදල
*අපෙ අම්මා මට රෙන්ඩවත් දෙන්නෑනේ කියාගෙන. සාලෙට ඇවිත් බලද්දි කොල්ල ගෙයි. ගිනිගත්තෙ ඊට පස්සෙලු. මූට මාරි කැට පැකට් එකකුයි ලොකුවැයිං ඇම්බුං ඇවරියකුයි දීල තේ බොන්න. තේත් බීල කොහොමහරි ඉවසගෙන දවල්ටත් කාල මූ ඇවිත්. හැබැයි කෙල්ල ජුංඩක් පෙනුමයි. සුදුයි. ටිකක් කොට ඩෑල්ලෙකක්. ටිකක් චබීයි.අපිට පොටෝවක් පෙන්නුව එද්දි අරං ආපු. පුංචි කාලෙ අලිය පිටෙි ගිහින් වගේ චූටිම චූටි බකල් ගතියකුත් පේන්න තියෙනවා. ඒ කියන්නෙ කකුල් දෙක දේදුන්නක් වගේ. අපිනං කිව්වෙ බැන්දම ඒකිගෙ කකුල් දෙකට ඉස්සර ඇඳන්වලට දාන ජාතියෙ තිරිංගයක් හරි දාල ලංකර ගන්න බැරියැ ඔන්නං රෑට විතරක් හරි කියල. පිං ඔඬෙිකුත් තියෙනවා. ඒක හරි වාසනාවන්ත දෙයක්ලුනේ. සල්ලයිට් පෙට්ටියකට ගවුමක් අන්දලා වගේ ගහල තිබුනු පොටෝ එකේ පේන්න තිබුනු වගතුග ගැන ඔහොම තමා අපි උපදෙස් දුන්නෙ. පෙනුමෙන් තනිකර මැද "ය යන්න" කපපුවම ගො"ය" ම් ගහක් වගේ. ඒ වුනත් මුගේ චොයිස් එක ඒක. ඒත් එහෙම වුනත් දෙයියනේ කෙල්ලගෙ හැසිරීම??.
මූට හෙන අප්සට්ලු වැඩෙිට. ඒකයි මුන හපුටු කරන් ඉඳල තියෙන්නෙ. ඔික පේමා අපිට කිව්වම ඉලඇදුනා හිනාවෙලා. බත් ඇට එක දෙක නාහෙන් පනිනවා අදටත් මතක් වෙද්දි. ඒත් මූ චුට්ටක් විතර ඒකිට කැමැත්තකුත් තියෙන ලයින් එකක් තියෙන්නෙ. අපිත් කිව්වෙ අනුරාදපුරෙන් බැදපං යකෝ. ආයෙ කේ 75 ලෑන්මාස්ටරයක් බැඳගත්තා වගේ තමා කියල. එවුන්දැලට වැඩ, කට්ට, දුක, සැප, කඳුල, සීතල, අව්ව වැස්ස ඔිවයෙ ලෙවල් එකක් නෑනෙ. අපේ පලාත්වල නිලියො වගේ නෙමෙි එවුන්දැලා. හොඳ හයිය පන තියෙන ඈයොනෙ.
ඔික පේමා අපිට කියල දවස් දෙකක් ගියේනෑ, කාටවත්ම කියන්නෑ කියල පොරොන්දු වුනාට දවස් දෙකෙන් මුලු බ්‍රිගේඩ් එකම දැනගෙන. හැබැයි ඔය එකෙක්වත් ඒකට මූන දුන්න කොල්ලා පියරත්නයාය කියල දන්නෑ. ඒක වෙනම ආතල් එකක් විදියට බිගේඩ් එකේ ගස්ගල් පවා දැනගත්තා. ඒක මූටත් ආරංචිවුනාට සැනසුම් සුසුම් හෙලන්න පුලුවන් ඒකට ඌගෙ නම ගෑවිලා නැති හිංද.
ඔහොම ඉන්න අතරෙ තමා බිලට් එකේ කතිකාවක් ගියේ මෙි සම්බන්ධව. කතාව ඇදල ගත්තෙත් පේමාමයි. ඌත් ටිකක් මගේ ලඟින් යන මොඩල් එකේ බුවෙක්. පොලොවෙන් මතුවෙච්චි එකෙක් වරෙන්, ඌත් මූට බයිට් එකක් තමා.එක පාරටම මූ බිලට් එකේ හයියෙන් "ඩිංගියෝහ්හ්" කියල කෑ ගහන්න ගත්තා. ඒ "ඩිංගියෝ" කෑල්ල කොච්චර පේමස් උනාද කියනවනං ඒ වෙද්දි අපි කොල්ලන්ටත් අමතන්නෙ "ඩිංගියෝ" කියලා. "ඒහ් ඩිංගියො, දුන්තර්ලයිෂ් එකක් නැහ්??" අඩෙි ඩිංගියෝ මොනාද අද ඩියුටිහ්" අන්න ඒවගේ. සීන් එක දන්න බුවෙක්ට ඩිංගියෝ කියල කතාකලාම ඌත් උත්තර දෙන්නෙ "මං රෙනෝ" කියල. පේමා වසලයාටත් කට නිකන් තියන් ඉන්න බැරිකමට ඩිංගියෝහ් කියල කෑගහනකොට තෙත බෙිරි බෙිරි කෑම කාපු පිඟානත් එල්ලගෙන බිලට් එකට ගොඩවුනේ පියරත්න. ඌට මෙස් එකේදිත් මොකකට හරි මළ පැනල තමා ඇවිත් තියෙන්නෙ. ඩිංගියෝ කෑල්ල ඇහිච්චම එකපාරටම මූ පිඟනෙත් පොළවෙ ගහල පරලවෙලා පේමාටත් අමුතිත්ත කුණුහරපෙන් බනින්න පටන් ගත්තා. ඒත් පේමා සද්ද නැතුව හිටියා. වැරැද්ද උගේනෙ. මූ බනින විදියට පේමට විතරක් නෙමෙි අපිටත් හිනා ගිහින්,ඒකට ආයෙ අමුතුවෙන් මළපැන්න පියරත්න මූට අල්ලගෙන ඇඳේ ඔබාගෙනම කීපයක් ඇන්නා. හැබැයි පේමා ගුටි කෑව මිසක් එක පාරක් ගැහුවෙ නෑ. ඒ අතින් ඌ හෙන ග්‍රේට්. අපිත් බෝම අමාරුවෙන් දෙන්නව දෙපැත්තට කලේ. හැබැයි දෙන එක දීල තියෙනව පෙමාගෙ හොම්බ තැරි ගැහිල ඉදිමෙන්ඩම. මොනාද ආයෙ තොල් පුපුරන්න දීල හොම්බත් බලාඉද්දිමයි ඉදිමුනෙ. අපිට මොකෝ උං උං බැජීලනෙ.
කෙල්ලගෙ පෙනුමයි හැසිරීමයි කතාබහයි හිංද අපි කිව්ව පියරත්නට ඔික නවත්තහං කියල. ඊට වඩා ගැලපෙන ලස්සන කෙල්ලෙක් හොයල දෙන්නං කියල අපි පොරොන්දු උනා. ඒත් මූ අරක අතාරින්න එච්චර කැමැත්තක් නැති පාටයි. කෙලින්ම කතා කරන්න ලැබිච්චි හිංද හිතට අල්ලල ගිහින් වගේ. අපිටත් උඩහ කැලෑ ගානෙ ඉන්නකොට අටපට්ටං බැරල් වගේ ඉන්න ආමි කෙල්ලොත් පේන්නෙ සුරදූතියො වගේනෙ. ආං ඒවගෙ මූටත් වෙලා තිබුනෙ. පස්සෙ අපි කියල කියල ඔික කොහොම හරි නැවැත්තුවා. ඒත් ඔිසෙට මූට ලියුං එනවා. මූ අපිට හොරෙන් ඒවට පිළිතුරු දානවද දන්නෙත් නෑ, සතියකට ලියුම් දෙක තුනක්නං එනෝම තමා.
මෙිකට සම්බන්ධ වෙච්චි මමයි අපි ටික එක දවසක් එකතුවෙලා මූට ආපු ලියුමක් හොරෙන් කැඩුවා.
අයිනායක දෙවි පිටයි!
නිවසේදී.
මගේම ආදර මගේම ජයතුට. (මුගේ මුල්නම ජයතු ඈ) උත්‍ත එවාන්ඩ පක්කු වුනේ ගොම් වැඩ හංදා. අපේ කූඹුර මඩ කනවා මෙි දවාස්වල. එකයි. ඔයා සනීපෙං ඇත කයා මං හිතමි. ඔන්න ඔිවගේ මහා හෑල්ලක් ලියල ලියල අන්තිමෙිට, ඔටත් යලුවන්ටත් සිලු දෙවි පිහිටයි. මීට ඔයාගෙම ආදර රෙනූ
කියල අවසන් කරල තිබ්බා. මෙික බලපුවම කෙල ඉස්පොල්ලෙ ගිහින් අපිට හෙම්බිරිස්සාවකුත් හැදුනා. පෙමාට පට්ට ආතල් වැඩක් වෙලා මෙික. ඌ අහනවා "උගේ පෙට්ටියේ තව බඩු තියෙනවා,උස්සමුද" කියලා. ඒ කියන්නෙ තව ලියුම් පෙට්ටියෙන් හොරෙන් අරන් කියවමුද කියල අහන්නෙ. ඒක සදාචාර සම්පන්න නැති හිංද ඒ වැඩෙි කැන්සල් කරලා දාලා එවුන්දැ එවන විදියට අපි සුවඳ ගහන ලියුම් කොලයක් අරන් ඒකි ලියන විදියටම අකුරු අඩු කරල ලියුමක් ලිව්වා. ලිව්වෙත් තනිකර කුණුහරප වගේ එව්වා. අන්තිමෙිටම ලිව්වා "ඔයා එවන ලියුං වැඩි හිංදාද මංදා මට මෙි මාසෙ මෙව්ව එක වුනෙත් නෑ රත්තං" කියලා. ඒක ඒ ලියුම් කරවරෙටම දාල අලවල ලියුම් පෙට්ටියට දැම්මා.
දවස් දෙක තුනක් ගතවුනා. මෙිකට සහභාගි වෙච්චි අපේ එවුන්, අපි ලිව්ව ලිවුමෙ තියෙන දේවලුයි, අපි බලපු ලිව්මෙ තිබ්බ දේවලුයි කෑල්ල කෑල්ල අරං පියා ඉන්න ඉන්න තැන්වල කියවන්න ගිහින්,ඒක පියාට මාට්ටුවෙලා, ඌ අපෙන් ගේම ඉල්ලලා, හෙන ගිනි විජ්ජුම්බරයක් වෙලා, ඒක කොච්චර දුරදිග ගියාද කියනවනං අන්තිමෙි පියා නැවතුනේ ඉස්පිරි තාලෙ. සිගරට් බොනවා තියා බොන තැනකවත් ඉන්නැති පියා, අරක්කුවල ගඳ සුවඳවත් අඳුරන්නැති පියා පෙනඩෝල් කාඩ් දෙකක්ම අපි ඉස්සරහ බිව්ව කිහාල්ලකො. මෙිකත් අපිට හොරෙන් කාඩ් දෙකම කඩල පෙති අරන් තියෙන්නෙ. ඒක දැක්ක අපි පැනලා ඇදල දාන්න හදනකොට මූ බීල ඉවරයි.ඒත් බාගෙකට වැඩිය ගිලිලා. අපිත් එසැනින් මූව එම්අයි රූම් එකට අරං ගිහින්, එතනින් ඉස්පිරිතාලෙට අරන් ගියා. දවස් දෙකක් ඉස්පිරිතාලෙ හිටියා. ඒ දවස් දෙකට මූට හිතෙන්න ඇති මාසයක් ඉන්න තිබුනනං කියලා. ඒ තරං සැප ඌට. අපි මාරුවෙන් මාරුවට කෑම බීම පලතුරු අරව මෙව්වා දෑත පුරෝලා ගිහින් දුන්නෙ කාපිය කියල. ඒත් ඌ අපි කා එක්කවත් කතා කලේ නෑ. (කොල්ලොනේ. කොලු කාලෙනේ). මෙික කෑම්ප් එකෙත් දුරදිග ගියා. හැබැයි මුට අමාරුවක් නැති නිසා බීඑම්ගෙන් නැවතුනා. ඒක බීඑම්ගෙන් නවත්ත ගන්න අපිට එක්ස්පනේෂන් පවා දෙන්න වුනා. මාත් එක්ක පෙමාත් රූපවංශත් ඒකට බීඑම් සර් හම්බවෙලා සත්‍යම විස්තරේ කිව්වා. එයාලා ලොකු අයියල වගේ හැඟීමක් ඒ දවස්වල අපි අතර තිබුනෙ. පාබල ඒකකයක නිළධාරියෙක්නේ.
පස්සෙ අපි තීරණය කලා ආයෙ කවදාවත් මූට විහිලු නොකර ඉන්න. බීඑම් කිව්වෙත් එහෙම. ආයෙ ඒවගේ දේවල් නොකරන්න අපිටත් ඒක හොඳ පාඩමක්වුනා.
ඒත් ඉතින් ආරේ ගති නෑරේ කියනවනෙ. ඌ ඉස්පිරිතාලෙන් එන්න කලින්ම තව කාඩ් එකක් වැදුනා. නිර්මාතෘත් මමම තමා.
අසම්මතයේ ලඳකට පෙම්කර ජීවිතයම වල්මත් කරගත් අපේ කාලයේ දුක හිතෙන කොල්ලෙක්ගේ කතාවයි, "පෙම්බැඳි හිච්චියා". දිවයිනේ සියලු ආදායම් වාර්ථා බිඳහෙලමින් දැන් සම්භාව්‍ය පස්වෙනි මණ්ඩලයේ සිනමාහල්වල තිරගත වෙි පෙම්බැඳි හිච්චියා.
රොක්සි වැල්ලවත්ත,මානෙල් දෙමට ගොඩ, කොන්කෝඩ් දෙහිවල, මිහිර මීරිගම,සිනෙක්ස්පෝ කුරුණෑගල,ජීවනි අලව්ව, එමෙක්ස් මොරටුව , රත්නාවලී කැකුනවෙල ගැමුනු විජේසූරිය, යන සිනමාහල්වල දැන් තිරගත වෙි පෙම්බැඳි හිච්චියා.....
ඒ තමා අවසන්ම අවසන් කාඩ් එක. මෙිකත් සෑහෙන්න පෙතිචාර තිබුනු එකක්.
ඔහොම මාසයක් දෙකක් ගෙවිල යනකොට මටත් මාවිල්ආරු ක්‍රියාන්විතයට කැඳවල ලියුමක් ආවා යුනිට් එකෙන්. ක්‍රියාන්විතයක් පටන් ගන්නකොට ඒකට සහභාගිවෙන ඒකකවල රටවටෙි විසිරී සිටින ඒ ඒකකයේ සාමාජිකයන් කැඳවල එකතු කරගන්න එක හමුදාවෙි සිරිතක්. මටත් හෙන දිග ලියුමක් ආවෙ ඒ විස්තරේ කියල. "පවතින භඨපිරිස් හිඟතාවය මත මෙම ඒකකයට අයත් පහත නම සඳහන් කොනොනි කඩිනමින් මෙම ඒකකය වෙත මුදා හැරීමට කටයුතු කරනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.. කියල. අනික අපි නැතුව යුනිට් එක වහන්නම වෙන ලයින් එකක්ලුනෙ තිබුනෙ. හැබැයි ඒකට එක හේතුවක් වුනෙත් මං හදාරපු ප්‍රගුණ වෙඩික්කරු පාඨමාලා දෙක. ඒ අය එකතුකරල වෙනම ටීම් තුනක් හදන්න ඒකකයේ සූදානමක් තියෙනව කියල තමා විස්තරේ දැනගන්න කෝල් එකක් ගත්තම කිව්වෙ. මාත් ඉත සිතින් අකුලගෙන යුනිට් එකට යන්න සූදානම්වුනා. ඒ යන්න සති දෙකකට විතර කලින් තමා මට පොලොන්නරු යන්න ආරාධනාවක් ආවෙ. (අපේ පිරිස් පාලන අධ්‍යක්ෂගේ අනුමැතිය එනතෙක් ටික දවසක් මට ඉන්න උනා.) ඒ පෙමාගෙන් උගේ ගමෙි යන්න. ගිහින් ෆන් එකක් අරගෙන ආතල් එකක් අරන් එමු කියල ඌමයි කිව්වෙ. මොකද පෙමාටත් යුනිට් එකට යන්න මට වගේම ලියුමක් ඇවිත් තිබුනෙ. ඌ සිංහ රෙජිමෙින්තුවෙ එකෙක්. අපි දෙන්නගෙම ඒකක පාබල හිංද ආයෙ කවදා අපි හම්බවෙයිද දන්නෙත් නෑ. අපෙන් කව්රු ඉතුරුවෙයිද,කව්රු යන්නම යයිද කව්රු ඉස්සර වෙයිද කියල දන්නෙත් උඩ හිටපු දෙයියො විතරයි. ඒක අපේ ඒ දවස්වල ජීවිතේ ස්වභාවයනේ. අපේ උන්දැ එක්ක යාලුවුනාමත් එවුන්දැලගෙ ගෙදරින් මට කේස් දැම්මෙත් ඒකනෙ. (අන්තිමෙිට පන්නං ගිහින්නෙ බැන්දෙ.) ඒ ටුවර් එකට ආරාධනා ලද මාත්, පියාත්, කෝපල් රූපවංශත්, සිරිකුමාරත් තනි පයින් සෙට්වුනා.
අපි ගියා. ගිහින් වැවෙන් නාල වැව්මාලුත් එක්ක නෙලුම්කොලේ ඔිලු බත් කාල,රෑ හීන් අඩියකින් සන්තර්පනය වෙලා පට්ටම පට්ට ෆන් එකක් ගත්තා. ඒ ෆන් එක කොහොමද කියනවානං ඇත්තටම වචනවලට පෙරලන්න අමාරුයි. මගේ මෙි ජීවිත කාලෙටම එදා පෙමාගෙ ගෙදර ගිහින් ගත්ත වගේ ෆන් එකක් මෙි වනතෙක් අරන් නෑ. ආයෙ ගන්න ලැබෙන්නෙත් නෑ. (පෙමා වන්නි මානුෂීය මෙහෙයුමෙිදී පරන්තන් වලදි ජීවිතේට ආයුබෝවන් කිව්වා. එතෙක් අපේ සම්බන්ධතාවය තිබුනා) රෑ සිංදු කියලා කෑගහල හූ කියල ගමම පිස්සු වට්ටල හිතේ හැටියට නටල පිස්සු විකාරයක් කලා. ඒ දවස්වල ආමි එකට තිබ්බ භක්තිය කියන්නෙ අහල පහල ගෙවල්වල අයත් පෙමාලගෙ ගෙදරට ඇවිත් පිරිල හිටියෙ. එහෙ යාලුවො කීප දෙනෙකුත් අපිට සෙට්වුනා. රෑ තමා හරියටම මෙි පාටියේ අරමුණ දැන ගත්තෙ. එතකං ඌ කිව්වෙ නෑ. පියයි පෙමයි දෙමස්සිනාල වෙන්න අත්තිවාරම වැටිල මීට මාසෙකට විතර කලින්. ආං කෙල්ලොනං කෙල්ලො. අපේ එකීලට ගගහ එලවන්න හිතෙනවා දෙයියො. කොල්ලනං කොහොමත් අවුලක් නෑ. අහිංසකයෙක්. බොක්ක හොඳ බුවෙක්. ගෙදරින් කැමැත්තත් දීල පෙමාගෙ ඉල්ලීමට. ඒව අපිට රහසින් වෙච්චි දේවල්. පෙමාම අපිට හොරෙන් පියාට නංගි ගැන කියල වරෙන් යන්න කියල. මෙි වෙද්දි පියාත් තුන් පාරක් විතර මෙහෙ ඇවිත් ගිහින්. (පෙමා සෙට් කරල තියෙන්නෙ පියා ඉස්පිරිතාලෙ ඉඳන් ආපු අලුත ඉඳන්)කුරුණෑගල ඉතින් සතියකට සැරයක් එලියට යන්න පුලුවන්නෙ. ඒත් පේම අපිට කියල නැත්තෙ අපේ ගැන්ග් එකේ හැටි ඌ දන්න නිසා පෙමාටත් පෙනඩෝල් බොන්න වෙයි කියල බය හිතිල වෙන්න ඇති. මෙික මස්සිනාලා දාමයක් කියල දැනගත්තෙ ඊටත් පස්සෙ. බැලින්නං පේමගෙ පෙම්වතිය කෝපල් රෑපවංශගෙ නංගි. මං විතරයි පිට එකෙක්ට ඉඳල තියෙන්නෙ. සිරි කුමාරයා පෙමාගේ ලේ ඥාතියෙක්. ඒක අපි කලින්ම දැනං හිටියෙ. මාත් බඳින්න කලින්වත් මෙික උනානං අම්මප පේමගෙ මාමගෙ දුවව වත් ටෝක් කර ගෙන පෙමාගෙ මස්සිනා වෙන්න තිබුනා. ඒකිත් හෙන කෑල්ල. නර්ස් කෙනෙක්. නර්ස් කෙනෙක් කිව්වම මතක්වුනේ, මාත් ඉස්සර හෙන ආසාවෙන් හිටියෙ නර්ස් කෙනෙක් බඳින්න. ඒ කටු විදින ඒවැං බෙිරෙන්න. කලින් එයා කට්ටෙන් විදිනවා මං කෙඳිරි ගානවා. දැං මං කට්ටෙන් විදිනවා එවුන්දෑ කෙඳිරිගානවා. හැබැයි කෝක වෙතත් ඇස් දෙකෙන් දැකපු දේවල් ඇස් දෙකෙන්ම ඉවර කරන මගේ ප්‍රතිපත්තියත්, මිත්‍රකමට එහා ගිය සහෝදරකමත් නිසා ඒ ඇසු දුටු හැම දෙයක්ම පෙමාගෙ ගේ ඉස්සරහ තිබුනු හතරෙ ඇලේ බැම්ම උඩින් තියල මං ගමෙි ආව.
ඉවර නෑ.
ඔය පල්ලැහෑ පොටෝවෙ ඉන්නෙ මා නම් නෙවෙයි. පියරත්නයා
රුවින් පමුදිත යද්දෙහිආරච්චි
2020.12.23
No comments:
Post a Comment