Monday, December 7, 2020

සිංහපුර 05

 සිංහපුර 05


කොහොඹ ගහේ කේස් එකෙන් පස්සෙ ආයෙ කවදාවත් සාජන් මෙිජර් තුමා මාව තනියෙන් පැටිග් වලට දැම්මෙ නෑ. දැම්මත් කව්රුවත් මා එක්ක පැටිග් කරන්න කැමති වුනෙත් නෑ. සීඑස්එම් කිව්වෙම "තොට කියනවට වඩා හොඳයි ඒක මංම කරගන්න එක" කියලා. කෝපල්ලා කියන්නේ "අනේ සර් අරූව මෙස් එකේ එලවලු කපන්න හරි දාල වෙන එකෙක් දෙන්න සර්" කියල. මෙිව සිරා සිද්ධි දොරේ. ආඩම්බරයි ඉතින්. මං එහෙම නෑ. මගේ ඒ දුර්වලතාවයට සිංහල භාෂාවෙ ලස්සන වචනයක් තියෙනවා. "ස්ථානෝචිත ප්‍රඥාව". මාත් ඔික පුරුදු වුනේ අම්බිලි මාමගෙ කතන්දර පොතක් කියෝලා.


විසි ගහන්න ගියොත් විසි කැත්ත දිගේ වෙියො නගිනවලු. එලවලු කපන්න දැම්මොත් ගෝරිලු. උදලු ගාන්න දැම්මොත් උදැල්ල මිසින්ලු. ගස් කපන්න දැම්මොත් දවස් හතරක් කපනවලු. බංකර් හදන්න දැම්මොත් වෘත්තීය සමිති ගහනවලු.  සර්ට වැඩකට දාන්න කව්රුවත්ම නැතිම වුනොත් විතරක් මගෙන් අහනවා "ආරච්චි උඹ කරන්න කැමති එක කියපන්,ඒකට දාන්නං" කියල. ඔිවගෙ සුලු සුලු චෝදනා තමා  මට ආවෙ. 


අපේ එවකට හිටපු සීඑස්එම් හරි හොඳයි. හෙන වයසයි. හමුදාවෙ පරණම බැච් එකක ඇබ්සන් කාල සීමාවක් අදින කෙනෙක්. අපියි එයාව නරක් කරගෙන තිබුනෙ. 


ඔහොම කරක් ගග ගගහ ඉන්නකොට තමා රේඩාර් පොයින්ට් එකේ රොටී පුච්චල කාපු දවසෙ, ස්ටොර්ස් එකට හරක් පැනල මාව වව්නතිවු වලට යැව්වෙ. ඒ ගිය පාර මං කැරකිල කැරකිල කැරකිල ඇවිත් නැවතුනේ කොහොමහරි කුරුණෑගලින්. 

1.වව්නතිව් (ඒ කතාව කලින් කිව්වා)

2. වවිනතිවු වලින් ආයෙ 233 බළසේනාව.(ඒකත් කිව්වා)

3.233 බළසේනාවෙන් නැවත කල්ලඩි.(මාසයයි)

4. කල්ලඩි වලින් කුරුණෑගල.(සතියයි)


බලන්න ඒකෙ කොච්චර සිරියාවන්ත කමක් තියෙනවද කියල. මෙි ට්‍රාන්ස්ෆර් ඔක්කොම ටික වෙන්න මටනං සෑහෙන්න කාලයක් ගියා. ඒ මාස 11ක් වගේ අති දීර්ඝ කාලයක්. කුරුණෑගල එද්දි එහෙ මගේ හයියට මටම කැපෙන සුපිරි බුලට් එකක් හිටියා. පොර කාලාන්තරයක් තිස්සේ අපේ ඒකකයේ වෛද්‍ය අංශයේ නර්ස් කෙනෙක් විදියට රාජකාරි කරපු වෛද්‍ය බළකායට අයත් කෙනෙක්. නම ලා/කෝ ගුණතිලක. එයා තමා මාව කුරුණෑගලට ඔරියන්ටෙිට් කලේ.  මෙහෙ ඉන්න ඔින විදිය, හැසිරෙන්න ඔින විදිය, කල සහ නොකල යුතු දෑ, වැනි ගොඩක් දේවලින් මාව දැනුම්වත් කලා. 


233 බළසේනාවෙන් කල්ලඩි වලට නැවත ආවෙ චූටි කේස් එකකට.


එදා මහ අඳුරු,මුස්පේන්තු, පජාත, පංජාර විජ්ජු නඩන්ද කුංජු නන්නු වෙච්චි දවසක්. කොහොමත් මට රසනිගෙ මතකයන් එක්ක මෙතන ඉන්න බැරි ලයින් එකක් තිබුනෙ. ඒ දවස්වල එවුන්දැට පාන් ඇදපුව,කෝචොක් කරපුවා, අවුස්සපුව, එයා ඩියුටි හිටපු බංකර් වලට පැනල නිදාගනිපුවා, බැනගනිපුවා, රණ්ඩු වෙච්චි ඒවා, එකේක කෝලිත්තං කරපුවා, ඒවා අස්සෙම ආදරය වගෙ එකකුත් කෙරුව වගෙ තිබුන එකී මෙකී නොකී  සිදුවීම් මොහොතින් මොහොත හදවතේ ගැඹුරෙ ඇනිල හදවත ඉල්පිලා "ලබ්-ඩබ්" වෙනුවට "ටොං ටොං" ගාද්දි, ඉවසගන්නම බැරි ගතියක් තිබුනා. එයාට පොරොන්දුවකුත් දීල ගියේ ආයෙ මඩකලපුවෙ හතර මායිමක පස් පාගන්නෑ කියල. ඒත් මෙික හමුදාවනෙ. අපිට ඔින විදියට හැසිරෙන්න බැරි හිංදා අකලට හරි ආයෙ පාරක් එන්නවුනා. 


හැබැයි මගෙ වාසනාව කියන්නෙ මෙි වෙද්දි රසනිත් එයාගෙ ඒකකයට ස්ථාන මාරුවීමක් ලබල ගිහින් හිටියෙ. ඒ ප්‍රමෝෂන් කෝස් එකට. මෙි වෙද්දි මමත් ප්‍රමෝෂන් කෝස් එක කරලා සාසෙ සිට ලා/කෝ දක්වා නිළ උසස් කිරීම් ලිස්ට් එකට මගේ නමත් ඇතුලත්ව අවුට් වෙලා තිබුනෙ. ඒ වෙද්දිත් යුනිට් එකෙන් මෙසේජ් එකක් මං හිටපු කඳවුරට ඇවිත් තිබුනා;


"අදාල නිළ ලාංඡන පළඳවා ඒකක අනි තුමා හමුවට පමුනුවා ලීම සඳහා තත් සෙනියා අහවල් දිනට පෙර මෙම ඒකකය වෙත රපෝර්තු කරවීමට කටයුතු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබෙි" කියල. ඒකට යන්න වැඩිය දැඟලුවෙ නෑ. කොහොමත් ඒ දවස් වෙනකොට මෙි යන රොටරිය අනුව එහෙට යැවෙයිම කියල හැඟීමක් මට තිබුනා.


මට මෙතන හුරු පුරුදු තැනක් නිසා අමුතුවෙන් හැඩ ⁣ගැහෙන්න උවමනාවක් තිබුනෙත් නෑ. ගොඩක්ම හිටියෙ; බජාර් එකේ මාත් එක්ක එකට බජාර් බැහැපු අය. උන්නං දෙවෙනි පාරත් ආව කිව්වම ඉහේ අත තියාගත්තා. සමහරු මම ලාන්ස් කෝපල් එක අඳිනවා කිව්වම තවත් පුදුම වුනා. කෝපල්ලනං ඇහුව "උඹලෑ සීඔි ගංජ ගහනවද බං, උඹට පටි දෙන්න" කියල. මටනං ඔය එකකවත් ගානක් තිබුනෙ නෑ. කපිතන් බණ්ඩාර දිව්රලා කියල තිබුනෙ මට ප්‍රමෝෂන් අඳින්න නිර්දේශ දෙල්ලෑමයි කියල. ඒ වුනාට එතුමාම නිර්දේශත් ඉදිරිපත් කරල අපේ ඒකකයෙනුත් ස්ථාන මාරුවිම් ලබා පනාගොඩ ගිහින් හිටියෙ. පව් අපේ සර්.

මෙහෙ මම ඉද්දි තවත් සුවිශේෂිී චරිතයක් හම්බවුනා. ඒ තමා කාන්තා සෙබළ සුනේත්‍රා. ඒ කියන්නෙ රසනිගෙ දකුනත් සවු. කලින් කතාවක කිව්වෙ සුනේත්‍රාගේ ගාත්‍රා දෙකේ මූත්‍රා පොල්ල යාත්‍රා කරවනවයි කියල. ආං ඒ භාණ්ඩෙ. ඒකිගෙනං උත්සාහය තිබුනෙ මට ටෝක් කරන්න. ඒත් මං ටෝක් වුනේ නෑ. කලේ ඒකිට කෝචොක් කරල කිච කරල කුරිරු සතුටක් ලැබීම. හැබැයි අළුත් මූනු කීපයකුත් එයාලගෙ අනුකණ්ඩයට අනුයුක්ත වෙලා තිබුනා. බක්කර කුමාරසිරිත් හිටියෙ නෑ. හිටියනං පාං රොටී කක කකා හරි ඉන්න තිබ්බා. ඒක කිව්වම මතක් වුනේ. අපේ මෙස් එකේ මස් මාලු කපන දවසක මං උගුලක් අටවල උකුස්සෙක් අල්ලගෙන ඌව දරු කමට හද හදා ඉද්දි ඒකටත් චූටි කේස් එකක් ගියානෙ. 


මම එහෙ හිටපු මාසෙම කලේ ඒකිව බයිට් කරන එක. එතකොට මෙවුන්දෑ මම කලින් පාර ඉද්දි හිටපු උපකරණ ගබඩාවෙි ලිපිකාරිනියක් විදියට රාජකාරි කලේ. 

ක්වාටර් මාස්ටරුත් කලින් එක්කෙනාමයි. එතුමාගෙන්නම් මට බෙිරෙන්නම බැරිවුනා ආයෙ ස්ටෝර්ස් එකට එන්නමයි කියල. මං බෑම කිව්වා. පස්සෙ බැරිම තැන නිකන් ඉන්න වෙලාවට ඇවිත් කලින් හිටපු කාලෙ වෙච්චි පෙන්ඩින් වැඩ වගයක් ක්ලියර් කරල දෙන්න කිව්වට පස්සෙ හවසට හවසට ගිහින් ඒවගේ අඩුපාඩු හදල දුන්නා. ඒකට අනුමැතිය අනුග්‍රහය දුන්නෙ මෙිජර් සිල්වා. ඒ මෙි බ්‍රිගේඩ් එකේ ⁣පාලන /භඨ කාර්‍ය සම්පාධක ප්‍රධානී.


මෙහෙ කලින් ඉද්දි නයිට් විෂන් දෙකක්,බයිනෝ කියූලර් එකක්, ටී 56අවි දෙකක් අස්ථාන ගත වෙලා තිබුනෙ. ඒ කොටිත් එක්ක කරපු සටන් වලදි එක්කො උන් අරගෙන,නැතිනං තාම ඒ යුද්ධ කරපු තැන්වල. යුද්ධ කරපු තැන් වල තියෙන්න විදියක් නෑ, මොකද සිදුවුන ඔිනෑම සටනකින් පස්සෙ ඒ ප්‍රදේශය සෝදිසි කරන නිසා. මට සතියක් විතර යද්දි තුවක්කු දෙකයි නයිට් විෂන් එකකටයි වෙච්චි දේ හොයාගන්න පුලුවන් වුනා. මෙිවා ක්ලියර් කරනකම් ක්වාටර් මාස්ටර්ට ට්‍රාන්ස්ෆර් යන්න බෑ. ඒ වෙද්දිත් දෙපාරක්ම ඇවිත් තිබුනෙ මෙයාට රෙජිමෙින්තුවට යන්න. නමුත් මෙිවා ක්ලියර් නැතුව යවල නෑ. ඒකෙන් භාගයක් හොයාගත්තට පස්සෙ කිව්එම්ගෙ කට කන් දෙක ගාවට ඇදෙන්න අහෝ ප්‍රීති හිනාවක් ගියා. දූවිලිත් එක්ක පරන ෆයිල් ඇදලා ඇදලා, කිඹුහුම් රාසි රාසි යද්දිත් පොත් පෙරලලා පෙරලලා තමා වෙච්චි දේවල් හොයාගත්තෙ. ඒ දවස්වල හිටපු (අපි එතනට යන්න කලින්) මිනිස්සු හරියට ජොබ් එක කරල තිබුනෙ නෑ. ඒ නැති වෙච්චි දේවල් හමුදාවෙම තැන් තැන් වලට ලියකියවිලි සහිතව නිකුත් කරල තිබුනත් ලෙජර්වල අඩු කරල නෑ. ඒකයි අවුල.

ඒකට මට හොඳ නාම,ගෞරව නාම,නම්බුනාමෙ  ආරච්චි වෙනුවට ලාන්ස්/ කෝප්‍රල් එක අඳින්නෙත් නැතුවම කෝපල් කියල අමතන්න කිව්එම් ප්‍රමුඛ ස්ටාෆ් එක පුරුදු වුනා. කොහොම හරි ඒ මාසෙ ඇතුලත කිසිම අවුලක් නැතුව කිව්එම්ට තමන්ගෙ රෙජිමෙින්තුවට ට්‍රාන්ස්ෆර් යන්න පුලුවන් ආකාරයට ගැටළු සියල්ල විසඳලා දුන්නා. මෙි වෙනකොටත් මං ප්‍රමෝෂන් අඳින්න යුනිට් එකට ගියේ නෑ.


ඒත් අහෝ..කරුමෙක මහත. එක රැයකින් ඒ සියළු ගෞරවයන්, ගෞරව නම්බු නාමයන් අහෝසිවෙන්න තරම් මා කල පාපය කුමක්ද?


සුනේත්‍රා ගැන කිව්වනෙ. මෙිකි නානවා හොරයි. ඒ වෙනුවට සැන් පවුඩර් නම් තට්ටු පිටින් නානවා. ආයෙ හිටියා අම්මණ්ඩි කෙනෙක් කාසෙ බර්තොලමියුස්. මට මෙිකිගෙ නම කියවෙන්නෙම බතලමිස් කියල. ඇත්තටම ඒ බතලයක්. බතලයක් කිව්වට ජිම් බතලියක්. නැත්තං පිපිඤ්ඤාවක්. මෙවුන්දැල දෙන්න තමා ගබඩාවෙ ලිපිකරු හිටියෙ. 


බතල මිස් සුනේත්‍රාට හොරෙන් මට ටෝක්. සුනේත්‍රා බතලිට හොරෙන් මට ටෝක්. ඒත් මං දෙන්නටම ටෝක් වෙන්නැතුව උන් දෙන්නට ⁣අමුතු එකක් ටෝක් කරනවා. ඒ කිව්වෙ බයිට් කරනවා. උං එක්ක යාලුවෙනවට වඩා මට මගේ ආත්ම ගෞරවෙි වටිනවා පෙන්ස්. නාන්නෙම නැතිවුන් දෙන්නෙක්ට එකට ලව් කියල කොල්ලො දැනගත්තොත් මාත් නොනාන තත්වෙට වැටෙනවා. මං නං දවසට දෙපාරක් නානවා. සමහරු කියන්නෙ "තෝ නං මහ දියකාවෙක් වගෙ යකෝ,අපිටත් වතුර ඉතුරු කරපිය" කියල. මෙහෙ කලපුව අයිනෙ වුනාට නාන්න වතුර ගහන්නෙ බවුසරෙන් ටැංකි වලට.


මෙි අම්බානක වහින කාලෙ. වැස්ස කොච්චරද කියනවනං කදවුර ඇතුලෙත් වතුර දණ හිසටත් උඩින් තිබුනෙ. නිදියන කාමරේ ඇඳන් යටින් ලූල්ලු, පොල් කාවයියො, අංගුට්ටො තව තව කූරියං මාලු බස බස ගගා එහෙට්ට මෙහෙට්ට පීනලා යද්දි කොල්ලොනං මදුරු දැලෙනුත් මාලු ඇල්ලුවා. මගේ ආසාව තිබ්බෙ වෙනම එකක්. ඒ වතුරෙ ඇවිදින්න. ඒ වතුර දවස් ගානක් තිබුනා, කල්ලඩිවලින් මෝය කට කපනකන්ම. 

ඒත් අපි වැඩ. කාර්යාල උපකරණ උස තැන්වල වතුර නැති තැන්වලට ගෙනත් වැඩ කලේ. අපි ඒ දවස්ටිකේම ඇන්දේ ශෝට්. කෙල්ලොත් කොට ඇඳුම්. නැත්තං බොටම් වලට සෙරෙප්පු දාලා. මෙි කියන දවසෙත් සුනේත්‍රා ඇවිත් තිබුනේ පතරංග ශෝටක් ඇඳලා. ඉඳගත්තම චොකලට් පාටට කකුල් දෙක දිලිස්සෙනවා. ඇස් දෙක ඇද්ද්ද්දුංං කනවා. බතලමිසුත් එහෙමයි. මටත් රයිටරේ ලියුමක් ගග ගගහ ඉන්න ගමන් මෙිකිගෙ පොතු කබර හැදිල වගේ තිබ්බ තුවාල කැළලි පිරුනු අජරාමර කකුල් දෙක දැකල මහ පජාත අදහසක් ආවා. ඒ අදහස අමුතුම තාලේ නව පන්නයේ එකක්. ඒ ඇම්ම කොතෙක්ද කියනවනම් ගගහ හිටපු ලියුම ගලෝලා වෙනම හාප්ෂීට් දෙකක් කාබන් කොපියකුත් එක්ක දාලා අදහස ක්‍රියාත්මක කලා. 


යෝනි මුඛ ආවරණ ගෙන්වා ගැනීම - කාන්තා සෙබළියන් සඳහා(.)  මෙම බළසේනා මූලස්ථානය ස්ථාපිත කඳවුර මෙි වන විට ගංවතුරෙන් යටවී ඇති අතර, මෙම කඳවුරේ රාජකාරි කරනු ලබන ඔබ ඒකකයට අයත් නිළධාරිනියන්/කාන්තා ⁣සෙබළියන්ගේ සනීපාරක්ෂක කටයුතු ඉටුකිරීම මහත් ගැටළුවක්ව ඇත(.)කරුණු එසේ හෙයින් ඔවුන්ගේ මාස් ශුද්ධිය වෙනුවෙන් අවශ්‍ය යෝනි මුඛ ආවරණ (ඊවා/ෆෙම්ස් ආදී) ගණනින් 500ක් ලබා දීමට ඇවැසි කටයුතු කරනමෙන් දන්වා සිටිමි(.)


                                     ආර්පීජී කැටගොඩ

                                     ලුතිතන් කර්නල්

                                     පිටත්කර හරින                     නිළධාරි.

ගැහුවෙ උංගෙ මූලස්ථානෙට. ඔව්ව හමුදාවෙන් දෙන්නෑ. මුන් දෙන්නව චූන් කරන්න ගැහුවා.


මාත් ඔික ගලවල අරං අරකි දිහාත් හොරෙන්  බලල ඇහැකුත් ගහල තොල් දෙක උන්ඩි කරල උම්ම එකක් දෙන විදියට ඉඟියකුත් කරලා  මමම පෑනක් අරන් අත්සනකුත් ගැහුවා.ගහල හීන් සැරේ එවුන්දැලට ටික වෙලාවකින් පේන්න වගේ මෙිල් ෆෝල්ඩරේටත් දාල මං ගියා වතුර පාගන්න. අත්සන ගැහුවට එහෙම නිළධාරියෙක් මෙහෙ නෑ. ඒ වෙලාවෙ කටට ආපු නමක් ගැහුවෙ. 


මහ කෙළියම සිද්ධ වුනේ ඊට පස්සෙ කිහාල්ලකො. මං හිතුවෙ නෑ මුං දෙන්නම මට ටෝක් කරන හිංද මෙික ඉහලට අරං යයි කියල. ජෝක් එකටනෙ කලේ. ඒත් බතලමිස් මෙික දැකල අරං ගිහින් උන්ගෙ ඔිසීට දීලා. මෙහෙ ඔිසී හිටියෙ ලුතිතන් ජයසිංහ කියල මෑම් කෙනෙක්. හෙන වසයි. එවුන්දැ මෙික අරන් ගිහින් පාලන භකාස තුමාට දීල. කාල වරෙල්ලකො.

හවස මට පණිවිඩයක් පාලන භකාස තුමාගෙන්. මාත් ගියා. යද්දි මෑමුත් ඉඳගෙන ඉන්නව සර්ගෙ  ඉස්සරහ පුටුවෙ.

*කව්ද අයිසෙ මෙික ගැහුවෙ?

මාත් ඔලුව උස්සල විමර්ශණ දෑසින් බැලුවෙ ගහපු ලියුමක්වත් වැරදිලාද කියල. කෙළියා. කියවනකොටනෙ මෙි රෙද්ද කියල දැක්කෙ. එතකන්වත් මට ඔික ගානක් තියා මතකයක්වත් තිබුනෙ නෑ. 

*කව්ද අයිසෙ ගැහුවෙ?

නිහඬයි. (බොරුවක් හිතන ගමන්)

*බලනව අයිසෙ තමුසෙට ලැජ්ජාවක් කියල එකක්  නැද්ද මෙි වගෙ වැඩ කරන්නෙ. ඒ මදිවට කර්නල් කෙනෙක්ගෙ අත්සනකුත් ගහල. කව්ද මෙි කර්නල් ආර්පීජී කැට ගොඩ කියන්නෙ.?

*මං ඔික ජෝක් එකකට කලේ සර්. සමාවෙන්න සර්..

*සමාවෙන්න?? බලනව අයිසෙ මෙික ගහල තියෙන කැත. කවද ඉදන්ද තමුසෙ කෙල්ලන්ගෙ මාසෙ මාරුවෙන එක ගැන හොයන්න ගත්තෙ??

ඊයා හලෝ.. සර් එහෙමමයි ඇහුවෙ. මෑම් හිනාවෙනවා. ඉඳකින්වත්. මට අරුන් දෙන්නව කන්න නෙමෙි කාගෙන කාගෙන යන්න හිතුනේ. හිටපියව්කො තොපි දෙන්නට කියල සර් බනිද්දිත් මං කල්පනා කලේ අරුන් දෙන්නට දෙන රිටන් මොකක්ද කියල තීරණය කරන්න.

සර් වැඩිපුරම බැන්නෙ කර්නල් කෙනෙක්ගෙ අත්සන ගැහුවට. මෑම් අනම් මනං කිව්වෙ යෝනි මුඛ ආවරණ වලට. සැක්. මෙි වගේ දෙයක්නං මෙි ලෝකෙ කුරා කුහුඹුවෙක්ටවත් වෙන්න එපා දෙයියනේ....

 සර් ඒක රතුපෑනෙන් ඉරි දෙකකින් කපලා ඉංග්‍රීසියෙන් අකුරු තුනක් විතරයි ලිව්වෙ. කේස් එක සර්ගෙන් සෝල්වුන නිසා මාත් යන්න කිව්වට පස්සෙ දත්මිටි කක කකා ආවෙ අරුන් දෙන්නාව අල්ලගන්න. ඒ ලිව්වෙ RTU කියල. හැබැයි ඒක දැක්කම මං කල්පනා කලේ කොහොමද මෙි වැස්සෙ ආයෙත් බඩුටික උස්සන් යුනිට් එකට යන්නෙ කියලා. ආර්ටීයූ කියන්නෙ RETURN TO UNIT කියන එක. 


ඒ අකුරු තුන තමා මට  කුරුණෑගලට එන්න හේතු පාදක වුනේ. 


ඊට දවස් දෙකකට විතර පස්සෙ තිබුනා මෙි බ්‍රිගේඩ් එකේ කොන්ෆරන්ස් එකක්. ඒකට අණදෙන නිළධාරිලත් එනවා. ඒ කොන්ෆරන්ස් එකේදි පාලන භකාස සර් අපේ සීඔිව මෙි කරුණ සම්බන්ධයෙන් හරි අපූරුවට දැනුම්වත් කරල තිබුනා. ඒ දැනුම්වත් කිරීම කොච්චර අපූරුද කියනවනම් සර් එතන ඉඳන්මයි සීසීටයි ඇජුටන්ටයි කෝල් අරන් කියල තිබුනෙ,

"මෙන්න මෙි ආරච්චි කියන තකතීරුවව වහාම කෝපල් විතානගේ රිලීව් කරන්න හෙටම කුරුණෑගල යවන්න ලෑස්ති කරන්න කියල. ආයෙත් කියල තිබුනා එතුමා කෑම්ප් එකට එනකොට මට කුරුණෑගලට යන්න ගමන් නියෝගය ගහල අත්සනට මෙිසෙ උඩ තියෙන්නත් ඔින" කියල. සර්ගෙ බඩියනං කිව්වෙ මං ඒ වෙලාවෙ අහලක පහලක හිටියනං "දෙකේ දෙකේ සැටලිං පරාලවලට ඉරන සයිස්සෙකක් තිබ්බෙ බං" කියල.

මට කොන්ෆරන්ස් එක පටන් ගන්නත් කලින්මයි එතුමාගෙ වාහනේම යන්න බඩුටික අහුරගන්න කියල පණිවිඩෙි ආවෙ. මොනා කරන්නද. හමුදාවෙ එක තැනක ඉන්න පිනක් නැති මං ආයෙත් මාසෙකින් කල්ලඩිවලට.

යාලුවන්ට කිය කිය ඉන්න වෙලාවක් තිබුනෙ නෑ.අරුන්දැලට ගේමක් අදින්න චාන්ස් එකක් ලැබුනෙත් නෑ දවල් කෑම බ්‍රිගේඩ් එකෙන්, රෑ කෑම  කල්ලඩි වලින්. 


සීඔිගෙ බොලේරෝ රථය හරි තාලෙට හිමින් සැරේ ප්‍රවෙිශමෙන් කල්ලඩි වලට යනකන්ම සීඔි මට අරව මෙිව කිය කිය බනිනවා. අන්තිමෙිටම බහින්න ලංවෙද්දි කිව්වෙ "එහෙ ගිහිංවත් තකතීරු වැඩ කරන්නෙපායිසෙ, ලෙන්යාර්ඩ් එක කන්නැතුව ඒකත් බෙිරගෙන පරිස්සමින් ගිහින් එනවා" කියලා. ඒක කියල නිකා හිටාංකො. ඒත් නෑ. සීඔි ඒක අජුටන්ට කියල ඇජුටන් ආර්එස්එම්ට කියල,ආර්එස්එම් මාව මරන්ඩමයි කියල සීඑස්එම්ට කියල,සිඑස්එම් ප්ලැටූන් සාජන්ට කියල, ප්ලැටූන් සාජන් සීනියර් කෝපල්ට කියල, සීනියර් කෝපල් මාව ගෙන්නල මෙික අහල, එතන මලගිනිවිජ්ජුම්බරයක් වෙලා මගෙන් ඩෙිට් එක කවද්ද අහල, අම්පාරෙ පිරිමින්ටත් ඩෙිට් වෙනවද කියල මං කෝපල්ගෙන් අහල කෝපල්ට මල පැනල මට කාඩ් එකක් ගහල, ඔික හෙන වටයක් ගිහිල්ල පස්සෙ කොල්ලො මගෙන් අහන්න පටන් ගත්තා කිහාල්ලකො "ඩෙිට් කවද්ද බං" කියල.


හැබැයි පහුවදාම මට යන්න කියල කිව්වට සීසී සීඔිට කියල තිබුනා "ඌට ප්‍රමෝෂන් එක අන්දලම යවමු සර්,ඒ ඔිකගෙ හැටිනෙ සර්" කියල. ඒ හිංදාම හෙට නියමිත ගමන සතියකින් කල් දැමුනා. නමුත් තීරණයනම් වෙනස්වුනේ නෑ. ඊට දවස් දෙකකට පස්සෙ අපි විසිහත් දෙනෙක් සාසෙ සිට ලා/කෝ නිළය දක්වා උසස්වීම් ලබල ආර්එස්එම් හමුවට ඉස්සෙල්ලාම යොමුකලා. එතුමාගෙ දේශණයට අඩංගු වුනේ තනිකර මං වෙනුවෙන් කරන අවවාද අනුශාසනා. මං ඒව ඇහෙන නෑහෙන ගානට බරටම කල්පනාකර කර හිටියෙ කුරුණෑගල නොයා ඉන්නනම් අදින්න ඔින අංචිය මොකද්ද කියල. ආර්එස්එම්;


*බලනායිසෙ තමුසෙ දෙවෙනි පාරටත් ඔික ඇන්දෙ අවුරුදු ගානක් දුක්විඳල නේද?

ඒක අමතක කරන්නෙපා..ඔික මෙි පාරවත් පරිස්සම් කරගන්නවා. තමුසෙටැහෙනවද මං කියන දේ?

*ඔ..ඔව්..ස්..සර්.. ඇහුන ඇහුන.

*බලනව. මං මෙච්චර වෙලා පෙත්තෙක් වගේ  කියෝනවා,තමුසෙ වෙන කල්පනාවක. මොනා ගැනද ඔියි කල්පනා කරන්නෙ??

*කල්පනා කරන්නනම් මොනාද නැත්තෙ සර්..අඩවන් දෑසින් මද සිනහවකින් මං කිව්වා.

*මොකක් ගැනද. නිවාඩුද? නිවාඩු නෑ. තමුසෙ කුරුණෑගල ගිහින් එහෙන් යනවා නිවාඩු.

*නෑ.නෑ සර් මං කල්පනා කලේ මෙිකත් පරිස්සම් කරගන්නෙ කොහොමද කියල.

ඒක කිව්ව ගමන් ආර්එස්එම් අත් දෙකත් මෙිසය දිගේ තියාගෙන පුටුවටත් හේත්තු වෙලා විනාඩියක් විතර මං දිහා බලං ඉඳලා ඉඳලා;

* පලයව් යන්න මගෙ දෑහැට නොපෙනි ප%@යල ටික ඔක්කොම..කිව්වා. අපි පෝල් අවුට් වෙලා ආව. ඒ එනකං  අනික්වුන් සේරම මට බනිනවා. උන් මහ පනිස්මන්වලට බය පරාන ටිකක්. මෙලෝ රහක් නෑ. උන් බයේ ක්ලබ් එකට ගනිද්දි පනිස්මන් වැඩිපුර හම්බෙයි කියල. මට ක්ලබ් එකට යන්න නෑ.මං ඉස්සෙල්ල පාර ගියානෙ. ඒකත් මහ අමරවැඩක් වුනේ. ඒ කතාව පස්සෙ කියන්නංකො. අනික්වුන් මෙස් එකට ගද්දි මං එදා හොඳට නිදියල දවස් තුනක් අංක 6 නිළ ඇඳුම ඇඳලා හිත අසතුටින් කුරුණෑගල එන්න ආව. හැබැයි ඒකත් මට ලේසියක් වුනා.  කලින් තුවාල වෙච්චි එකකට මාස තුනකට සැරයක් හමුදා රෝහලේ ක්ලිනික් ගිය එක මාසෙ ගානෙ ක්ලිනික් දාල තිබුන නිසා ඒකත් ලේසියෙන්ම කරගන්න පුලුවන් වුනා. 


එදා මං කුරුණෑගල එද්දි අඩිය අඟලට තැලිච්චි අටපට්ටමක් වගෙ වෙච්චි ට්‍රංක පෙට්ටියයි දඩාර් බෑග් එකකුයි අරන් කුරුණෑගල කෑම්ප් එකට එන්න ආවත්, මීට කලින් කුරුණෑගල තියා ඒ හරහා කොච්චර ගියත්, ඒ යන බස් එකකින්වත් කුරුණැගලින් බැහැල තිබුන්නෑ. ඊලඟට අහගෙන අහගෙන යන්තම් ඉසව්ව හොයාගෙන ආවත් තැන දන්නෙ නෑ. මෙහෙ කඳවුරු දෙකක් තියෙනව. බ්‍රිගේඩ් එක කිව්වට සිවිල් මිනිස්සු දන්නවෑ. මාත් හරි අමාරුවෙන් වැහැරවත්තෙන් බස් එකෙන් බැහැලා කෑම්ප් එකට යන පාර අයිනෙ කෑම්ප් එකට යන්න හමුදා වාහනයක් එනකං පැය දෙකක් විතර කට්ටක් කෑවා. මට පැය දෙකක් කියන්නෙ තේ දෙපාරක් බීල  ප්‍රධාන ආහාර වෙිලක් කනවා වගෙ ටයිම් එකක්. ඒත් ඉවසගෙන හිටියෙ සෑහෙන්න දුරක් පයින් යන්න තියෙන නිසා වාහනයක් මග ඇරුනොත් ආයෙ කොච්චර වෙලාවක් ඉන්න වෙිවිද කියල දන්නැති නිසා. පැය දෙකකට විතර පස්සෙ "SL ARMY" කියල ගහපු ලදරං ඊඑන් නම්බර් ජාතියේ පරන ලේලන්ඩ් හුචක්කුවක් එනව දැකල අත දැම්මම ඒකත්  "ක්‍රාස්" ගාල ඇවිත් නැවැත්තුවෙ එයිටීන් වීල් එකක් ඇවිත් නවත්තන ආකාරෙට.

*කොහාටද? කෑම්ප් එකටද?

*අනේ ඔව් කෝපල්..

*හා හා නගින්න නගින්න.

මාත් බොහොම අමාරුවෙන් නැග්ගා ඒකෙ බරාඳිවල ගෑවෙන්නැති වෙන්න. ගෑවුනානං සර්පෙක්සල් ග්‍රෑම් පන්සීයෙ පැකට් එකක්ම යනව ඇඳන් උන්නු කිට් එක හෝදන්න. ඒ තරං මළකඩ. මෙි අහන්ඩලාකො දෛවය මට සරදම් කරන හැටි. ඔය රෙද්දට නැගල නගින්න නගින්න කිව්ව කෝප්‍රල් ගෙන් "කෑම්ප් එකට ගොඩක් දුර යන්න ඔිනද" කියල අහන්න හදනකොට මෙි රෙද්ද කෑම්ප් එකේ බැරියර් එක ගාව කිහාල්ලකො.

වංගු වංගු පාරෙ මීටර් එකසිය පනහක් දෙසීයක් බස් එකක යන්න කාපු කට්ටක්. ෂිකේ..පැය දෙකක් විතරනෙ. ඒකත් හරියට දනක් වතුරෙ පන එපා කියල පීනුවා වගෙ නෝන්ඩි සීන් එකක්.


ඉවර නෑ....


රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2020.12.06

No comments:

Post a Comment