Tuesday, December 1, 2020

කුමාරගෙ කතාව

 මෙි වෙනකොට අපි 58 සේනාංකයත් එක්ක ඉදිරිපෙළ සටන්වල තමා නියැලී සිටියෙ. මෙි නච්චිකුඩාවලදි. එතකොට අපි අද මෙතන හෙට අතන.මෙික  වුනෙත් නිවාඩු ගිහින් ආපුම දවසක රෑ.


අපි මෙි නිවාඩු ගිහින් එන දවසෙ වැලපෙන හංදියෙ වැලපි වැලපි එන එන ආමි වාහනේට අත දදා තමා හිටියෙ. වැලපෙන හංදිය කිව්වෙ මැදවච්චියෙ වටරවුම ගාව.

කොහෙන් හරි කොලපාට ගාපු වාහනයක් ආවනං අතදාල අහන එක දෙයක් තියෙනව.

*කෝපල් කොහාටද යන්නෙ. අපිත් එන්නද.

*අපි අහවල් දිහාට..

ඒකෙ අපිට යන්න බැරිනම්;

*හා එහෙනං බුදු සරණයි. යන්න අපි වෙන එකක් බලන්නං.

ආයෙ කොලපාට ගාපු ටාටා හරි ලේලන්ඩ් හරි ලොරි තඩියක් එනකං බෙල්ලෙ පොට යනකං දෑස් රතු වෙලා වපර වෙනකං මැදවච්චිය ටවුන් එක පැත්තට ඇස් ගෙඩි දල්ලගෙන ඉන්නව. ආයෙ එකක් දුර තියා එනව දැක්කම හාර සීයක් පන්සීයක් දෙනා හුනස්නෙන් නැගිටලා ආචාර කරන්නා වගෙ ආයෙ පාරට ඇවිත් එකා වෙනුවට සීයක් විතර අත දාද්දි ඩැයිවර් කෝපල් ඒක නවත්තන්නෙ අපිවත් පහුකරගෙන ගිහින් මීටර් පන්සීයක් විතර දුරින්. ඒ වෙනකොට ඉදගන්නවත් තැනක් නැතුව "දැං එකක් එයි... දැං එකක් එයි" කියල හිතාගෙන පැය ගනන් දනහිස් දෙක ගාවට පුරුස ලක්සනේ පාත් වෙනකං හිටං ඉන්න අපිට ඒක පස්සෙ පන්නලා අල්ල ගන්න තරං හයියක් දනිස් වලට නැතත් ටිකක් හරි ප්‍රානවත් බාවයක් තියෙන සමහරෙක් දූවල ගිහින් අහනව

*කෝපල් කොහාටද යන්නෙ? කියල.

නැවතත් රිය ඇදුරා යන තැන කිව්වම ගැලපෙන වන්ඩියක් එහෙමනං ගැලපෙන එවුන් ඒ ඒ විදියට ගලප ගන්නවා. අපි තාමත් අතනමයි. දුවන්න පන නෑ. කොහොම හරි අපි එදා වැලපෙන හංදියෙන් එන්න විදියක් නැතුව හවස හය වෙනකං තිබහෙ බඩගින්නෙ ඉක්ක ගගහ බලං හිටියත් ආපු එක වාහනයක්වත්  ගැලපුනේ නෑ. 

පස්සෙ මගේ අට දෙනා වෙනුවෙන් මං දුරකතනෙන් කෝල් එකක් ගන්නවා ඔිසීට.

*සර්..කෝපල් ආරච්චි..

*ආ ආරච්චි හෙට ලැත්තං අලිද්දා ලයිල් එක කඩලවා (එහෙමත් නැත්තං) අලික් ටීම් එක ලිවාඩු යල්ල ඔිල, පුලුවල් තරං ඉක්කන්ට කට්ටියත් අලං  එල්ල.. කියල අ⁣පි පනිව්ඩෙි කියන්ඩත් කලින් ඔිසී ඉස්සර වෙනවා. 

මෙිවට ඉතින් මලත් පනිනවා. එන්න බැයිනං ඉගිල්ලිලා එන්නද.

*සර්. අපි ඔක්කොම මැදවච්චියෙ ඉන්නෙ. ලිබර්ටියට අපිව ගත්තෙත් නෑ. අද එන්න විදියකුත් නෑ, වාහන නෑ සර්.

*ඇයි තමුල්ලට ලිබර්ටියට ලගිල්ල බැලිවුනේ. තමුල්ලට එල්ල උවමලාවක් ලෑලෙ. ඒකලෙ. කියල ඔිසි ඊලඟට පටන් ගන්නවා. එයාගෙ බාසාව එහෙමයි. සමහර අකුරු කියවෙන්නෑ.(ඒක හමුදාවෙදිම වෙච්චි දෙයක්. ඒ බ්‍රිගේඩියර් විජය විමලරත්න සර්ගෙ රේඩියෝ ඔපරේටර් ඉද්දි නාහෙ තුවාල වෙලා. ගොඩක් අය පසුගිය කතා කියවල අහපු නිසා කිව්වෙ)

එයා දවසක් සෙට් එකේ කතා කරනව මං අහගෙන.

*පේව්..කල්ලහ් ලෑ බොල්ලහ් ලෑ.වැලේ වැල් ලෑ පේව්.. එෆා වෙලා ඉල්ලෙ බං.කියල කියනව. ඒ නිසා එයා කියන දේ මොකද්ද කියල අපි ගලපගන්න විදිය අනුව තමා එතුමාගෙ යක්ක සේනාදිපතින් වහන්සේ ඉහට නගිනවද මගට නගිනවද නොනැග ඉන්නවද කියල තීරනේ වෙන්නෙ.

*සර් අපි තාම ටවුන් එකේ. වාහනයක් ආවොත් තමා එන්න වෙන්නෙ සර්. 

*ආ හලි හලි.කෝම හලි එල්ල බලල්ලකෝ.. කියල උත්තර දුන්න. දැං ඉතින් මෙතන හිටියත් එකයි නැතත් එකයි. ඒ දවසට අපි කරන්නෙ ඉසින්බැස්සගල පංසලට ගිහින් එකත්පස්ව ලොකු හාංදුරුවන්ට වැදල එදා රෑ පංසලේ නවතින්න  අවසර ගන්න  එක. කරුමෙ කියන්නෙ ඒ කිට්ටුව ගමක එකෙක්වත් මගේ ටීම් එකේ නෑ.හිටියනං කාලකින් බාගෙකින් දුක නිවාගෙන රැය වැව් පිටියක හරි ගතකරල උදේ වැවෙන්ම නාල එන්න තිබුනා. එහෙමවත් චාන්ස් එකක් නැති අපි කොහෙ හරි කඩපිලක හරි බන මඩුවක හරි ලැගල පහුවදාට ඉන්න තැනකට යනව.


අපි එදා හිටියෙ ඉසින් බැස්සගල පංසලේ බණ මඩුවෙි. ඉදල උදේ අට වෙද්දි ආව පාරට. ඒ ඇවිත් කීයට හරි කඳවුරට යනකම් ලැබෙන ඒකම කෑම වෙිල කඩෙිකින් ගත්තා. ඒක කෑවා මදි නොකියන්නම දවසටම හරියන්න.ආයෙ පාරට ඇවිත් පැය දෙක තුනක් යද්දි ආව කොලපාටට බට බට හයිකරපු ටැංකි ටැංකි තියපු වාහන වගයක්. ඒක දැකපු සිවිල් මනුස්සයෙක් අත් පුඩි ගගහ හරි සද්දෙන් සද්දා සම්පයුත්ත සතුටකින් කීවෙ...

ඔය යන්නෙ යුද්ද යැංකි රෑනක්ම....මෙි පාර තමා පිරබාහරන් පාඩමක් ඉගෙන ගන්නෙ අපේ කොල්ලංගෙන්. ඒ ආවෙ ගලි කියල ඔික ඇහිච්චි අපි කටක් ඇරල කොහොම කියන්නද හිතෝතුනි. නිකන්මත් නෙමෙි කිව්වෙ.. අවට ඉන්න කට්ටියටත් පෙන්නන ගමන් හිනාවෙලා. 

අපිත් ඉතින් නන්න වෙලා හිටපු වෙලාවෙ, මේ ආපු ගලි ටිකත් මාතලී දක්කන කරත්ත වගේ පෙනුනෙ. අපිත් අත දැම්ම ඉස්සරහින්ම ආපු ගලියට.

*කෝපල් කොහෙටැයි යන්නෙ.

අපි අහවල් තැනට යන්නෙ. ඔයා කව්ද?

*මං දැනට කෝපල්ලාරච්චි..අපිත් ඒ කිට්ටුවට තමා යන්නෙ. අපිත් නගින්නද? 

ඉස්සරහ ගලිය නැවැත්තුවම පස්සෙන් ආව ගලි ටිකත් පේලියට පස්සෙන් නැවැත්තුවා. අපිත් දෙන්න ගානෙ ගලිවලට නැග්ග. අලුත්ම කිරි කිරි බඩු.තීන්ත සුවඳවත් ගිහින් තිබුනෙ නෑ. කොහෙ ඒව අදින්ඩ යනවද දන්නෑ අප්ප.

කොහෙ අදින්න ආවත්, අපිනං එදා නිදහසේ  ආව.. ඒ ආවත් තව කිලෝමීටර් පහලොවක් එතන ඉදල  යන්න ඔින. උන්න හැටියට මලා මදෑ කියල අපි ඒ ටික පයින් හරි යමු කියල කතා වෙලා නැගල දැං යනව.

*කෝපල් මෙි ගලි කොහාටද යන්නෙ.

*58 එකට එකක් යනව කෝපල්.

*අපිත් 58 ඩිව් යන්නෙ. මචං. අම්මෙි උඹල හරි ආව එකත් ලොකු දෙයක් මචං ඈ.  කියල අපිත් කතා කර කර ආව. ඒ අස්සෙ අර මනුස්සය කියපු එකත් කිව්වම එයාටත් හිනා ගියා. ඒක ඉතින් එයාගෙ දැනුම අනුව හිනාවෙන්න දේකුත් නෙමෙි. ඒත් අපිට හිනා වෙන්න බැරෑරුම් දෙයක් ඒකෙ තිබ්බ හින්දයි හිනාවුනේ.

එදා කොහොම කොහොම හරි 58 ඩිව් එකට එනකං අපි ආව. ඒ ඇවිත් පසුමූලෙට ගිහින් ලෑස්ති වෙලා තුවක්කුත් අරං ලයින් එකට ගියා. එදා අපි ගිය ගමන්ම නැවත ඩියුටි. ලයින් එකේ රෙකී. රෙකී යනව කියන්නෙ මහ එපා කරපු එකක්. අපි කොටින්ගෙ කකුල් දෙක පාමුලටම ගිහින් තමා රෙකී කරන්නෙ. (රෙකී කරනව කියන්නෙ ටිකක් විතර ලොකු විස්තරයක්. ඔත්තු හොයන්න යනව කියල හිතාගන්නකො) මෙි යන්න තියෙන්නෙත් මර උගුල් සහ බට්ටො දාපු තවාන්වල බඩගාගෙන. ඒක හරිම කල්පනාවෙන් කරන්න ඔින දෙයක්. පොඩි මිස්ටෙික් එකක් ඇති අපේ රෑනටම ජීවිත නැතිවෙන්න. ඒ ගිහින් කරන්නෙ  පහුවදාට උන්ට ගහන්න සෙට් කරගන්න ඔක්කොම බලාගෙන ප්ලෑන් එක ගහගෙන එන එක. මෙි ගමනෙදි උන්ගෙ හැම විස්තරයක්ම අපි හොයාගන්න ඔින. කන බොන වෙලාවල්,සෙන්ට්‍රි මාරුවෙන වෙලාවල් වල ඉඳන් බංකරේ පිහිටීම සහ අවට දේවල් සහ භූමිය ආදිය හැමදෙයක්ම.

එදා අපි පාන්දර එක විතර වෙනකොට උන්ගෙ ලයින් එකට මීටර් විස්සක් වගේ කිට්ටු කරල හිටියෙ. පාන්දර එක වෙද්දි ටැක්ටරයක් ආවා. දෙමලෙන් කෙල්ලොයි කොල්ලොයි කතා කරන සද්දෙ හොඳට ඇහෙනව.

*බඩු ආව කෝපල්. උඩටම නැගල ගහමුද. 

ඒ කියන්නෙ උන්ගෙ ලයින් එකේ පස් කන්ද උඩට නැගල උන්ටම ගහමුද කියල තමා මෙි අහන්නෙ. ඒක හරි ඩෙින්ජර්. ආවොත් සෙන්ට් ගියොත් ඔිඩි කොලොන්.  ඒවා ඉතා බයානක දේවල්. බෑ කියල කිව්වම කට්ටියම මීටර් දහයක් විතර පස්සට අරං තඩි කොහොඹ ගහකට ආවරණය වුනා. මොකද එතන කතාබහේ හැටියට කට්ටිය වැඩී. අපි හතර දෙනයි මෙතන ඉන්නෙත්. රෙකී යන්නෙ හතරයි.

අපි ඔහොම ඉද්දි උංගෙ ටෝච් එලියක් එනව  දැක්කා තව කීප දෙනෙකුත් එක්ක. දැං මට ගහන්නම ඔින වුනත් මෙතන ඉඳන් බෑ. උං ඇවිත් අපි ඉස්සරහ තියෙන බංකරේට බැස්සා. සොලාට කලුවරෙත් හොඳට ඇස් පේනව. 


අපි බලාගෙන හිටියෙ මුන්ගෙ ප්ලෑන මොකද්ද කියල දැනගන්න. වැලි කැටයක් තව වැලි කැටෙික නොවදින විදියට වෙිලිච්චි කොලයක් ඇඟට යටවෙලා සද්දෙ නෑහෙන තරමට ලයින් එකටම කිට්ටු කරල හිටපු අපි හතර දෙනා ඒ ගිය විදියටම බඩගාගෙන චූට්ටක් ආපස්සට ආවෙ "එනපොට හොඳනෑ අබරෝ" කියල හිතුන හංද. මොකද උං ඔහොම එකතු වුනොත් අපේ ලයින් එකටත් පට්ට ආතල් එකක් දෙනව. ඒක අපි අත්දැකීමෙන් දන්න නිසා ආයෙත් පුලුවන් තරම් ඉක්මනට පස්සට ඇවිත් ආවරණයක් අරගෙන හොඳට බලාගෙන හිටියා. මං හිතුව හරි. ඔන්නං විනාඩි පහක් යන්න ඇති. 


එකපාරටම අපේ ලයින් එකට උන් වෙඩි තියන්න ගත්තා. එක නිකන් ෆයර් එකක් නෙමෙි වෙඩි වැස්සක්. අපිට බය හිතුනෙ අපේ ලයින් එකෙන් උන්ට ගහයිද කියල. එහෙම ගැහුවනං අපි දෙගොල්ලන්ටම මැදි වෙනව. නමුත් අපි ඉස්සරහ ඉන්නව කියල අපි ආපු පොයින්ට් එකේ අයයි ඒ දෙපැත්තෙ ඉන්න අයයි දන්න නිසා  චුට්ටක් විතර බය ඇරිල තිබුනෙ. අපි ඒ වෙඩි සද්දෙන් උපරිම ප්‍රයෝජන අරගෙන පස්සට පස්සට ඇවිත් ලයින් එකට සෙට්වුනා. මෙි පොයින්ට් එකේ තියෙනව ආර්පිජී ගන් එකක්. අල්ලපු පොයින්ට් එකේ 40මිමි ග්‍රෙනේඩ් ලෝන්චර් එකක්. ආර්පීජී පොයින්ට් එකේ ඉන්චාජ් හිටියෙ කෝප්‍රල් සුසන්ත. විනාඩි දහයක් විතර යනකොට උන්ගෙ ෆයර් එක නැවතුනා.

*කෝප්‍රල් හොඳ වැඩක් කරමුද මුන්ට.

*මොකද්ද?

*අවුස්සමුද?

*අනේ බං නිකන් මැරෙන්නද හදන්නෙ.

*ආපෝ.. කෝප්‍රල් කෙනෙක් නේද.ඇයි මෙි බයවෙලා ෂයියෝ.. කියල හීනි නෝන්ඩියක් දැම්මම කෝප්‍රල් සුසන්ත.

*හරි, තොට ඔින හු&@%ක් කරගනින් කියල කිව්වම මං ගත්තා ආර්පීජී එක. බෝම්බෙකුත් දාගෙනම තියාගත්තා කරේ. එතකොට කෝප්‍රල් සුසන්ත එයාගෙ බංකරේට රිංගල, අනික් අය යුධ අගලට බහිද්දි මගේ අනික් තුන්දෙනා වෙන තැනකට දිරාමාර්වුනේ ඊලඟට වෙන්න යන සන්තෑසිය හීනෙන් වගේ දැනිච්ච නිසා වෙන්න ඇති.

මෙච්චරවෙලා ඉස්සරහ ඉඳල ඔලුවට ගත්තු මතකෙන් ඒක උන්ගෙ බංකරේ තිබ්බ තැනට එල්ලකරල ගැස්සුව කොකා.

අම්මටහුඩු ආයෙ උන් පටන් ගත්තා.

පෙරටත් වඩා සැරෙන් සද්දෙන් උන් වෙඩිතියන්න පටන් ගත්තම මං කරන්නෙ ට්‍රෙන්චස් එකට බහින එක. උන්ට ඇති වෙනකං වෙඩි තියල තියල නවත්තපුවම මම ආයෙත් උඩට ඇවිත් මොකක් හරි කරලා අවුස්සනවා. ආයෙත් කානුවට බහිනවා. ඔහොම පැයක් විතර ටුක්ක ටුක්ක ඉන්නකොට එක පාරටම 81මිමී මෝටාර් පාරක් පිකප් වුනා. ඒක එකම සද්දෙන් "චිකුම් බු;හ්ම්" ගාල පිකප් වෙලා "සල සල" සද්දෙන් ඉලක්කයට පතිත වෙන්න බලාගෙන ඊට කලින් ඉහල අහසට පියාඹාගෙන ගියා. අපි පොලවෙ පස් කාගෙන කානුවෙම ඩවුන් ගියා. 

ඒ මෝටාර් ටික වැටිල පුපුරල ගියත් හානියක් උනේ නෑ. 

ටික වෙලාවක් යද්දි මං ලඟට ආපු පේමතිලක, මං පැත්තකින් තියපු ආර්පීජී ගන් එක අරගෙන ආයෙත්  උන්ගෙ වැඩි වෙඩි බලයක් තිබුනු බංකරයක් ඉලක්ක කරගෙන රොකට්ටුවක් මුදා හැරියා. ඒක මතකෙන් කරන්න ඔින දෙයක්. රෑට පේන්නෑනෙ. කාගෙ වාසනාවද,කාගෙ අවාසනාවද නම් දන්නෑ, ඒක හරිම ඉලක්කය හොයාගෙන ගිහින් පිපිරුනා කියල දැනගත්තෙ ඊට පස්සෙ විනාඩි පහක් දහයක් යනකම් වටෙන්ම වෙඩි තියද්දි එතනින් කිසිම වෙඩිල්ලක් පත්තුවුනේ නැති නිසා. ඊලඟට ආවෙ සුළු අවි ප්‍රහාරයක්. අපි පැය කිහිපයක් යනකම් එතන නැවතිලා හිටියා. අපි කරන්නෙ උන් නවත්තපු තැනින් අපි පටන් ගන්න එක. වැලි කොට්ටෙත් යුධ අගලෙ මං බහින තැන තියල තිබුනෙ. උන් ගහද්දි මං කානුවට බහිනව. ඔහොම ඉඳල පහුවදාට එලිය වැටුනා. එදා රෑ තමා මට ලයින් එකට ගිහින් හොයාගත්තු විස්තර අනුව උන්ගෙ ලයින් එකට ගහන්න තිබුනෙ. නමුත් ඒක වුනේ නෑ. 


එදා රෑත් මට යන්න වුනා ⁣උන්ගෙ කේලම් හොයන්න. ඒ කිව්වෙ රෙකී කරන්න.ඒ වෙන තැනකින්.  එදා හවස පහට විතර අපිත් ලයින් එකට ඇවිත් පැහැදිලිව වටපිට බලාගෙන රෑ වෙනකම් හිටියා. ජයසිංහ,බංඩා,මම සහ කුමාර. කුමාර කියන්නෙ මගෙ ටීම් එකේ කොල්ලෙක්. සුපිරි බුලට් එකක්. වැඩකට බැස්සොත් වැඩෙි විතරයි. ලයින් එකේ කිලෝ මීටර් පනහක් බඩගාපන් කිව්වොත්, "හ්ම්" සද්දයක් නැතුව බඩගානව. 


පහුවදා අපි ආයෙත් රෑ නවයට විතර උන්ගෙ ලයින් එකට බඩගාන්න පටන් ගත්තා. ටික දුරක් එද්දි මගේ හිතට හෙන අමුත්තක් දැනෙන්න පටන් ගත්තා.තව ඉස්සරහට යන්න එපා කියලමයි හිත කිව්වෙ. ඒත් එහෙම කියල මෙිව නිමිති බල බල කරන්න පුලුවන් දේවල් නෙමෙි. හමුදාවෙ සුභ දේවල් නෑ. තියෙන්නෙ අසුභ දේවල් විතරමයි. හිත කොච්චර යන්න එපා කිව්වත්, ආයෙ ඒක නවත්තන්න මටවත් සක්කරායටවත් බෑ. යන්නම වෙනව.සක්කරයාටත් වඩා ඉහලින් තමයි හමුදාවෙ "අණ" කියන එක තියෙන්නෙ. එදා කුමාරයා ආවෙ අන්තිමට. මෙි ලයින් එකේ මර උගුල්,බට්ටො, වැහි වැහැල තියෙන්නෙ.ට්‍රැපින් වලට දාල තිබුනෙ 60 මිමී බෝම්බ. මෙි ඔක්කොම අරුන් දාපුවා. මෙි යන්නෙත් ඒවා මැද්දෙන් ඒවා මගහැරගෙන උන්ගෙ පස් බැම්ම පා මුලට. නැත්තං උන්ගෙ කකුල් දෙක ගාවට. ඉස්සෙල්ලම ගියෙ ජයසිංහ,ඊලඟට මම,ඊලඟට බණ්ඩා,ඊලඟට කුමාර. ඉස්සරලාම ආව අපි, කොටින්ගෙ ලයින් එක පාමුල නැවතිලා වටපිට බල බල ඉද්දි එක පාරටම පිටිපස්සෙන් කන් බිහිරිකරවන තරමෙි පිපිරුම් සද්දයක් ආවා. ඒ සද්දෙත් එක්ක පිටවුන දුම් වළාව විහිදෙන්නත් පෙරම උන් අපිට එක හුස්මක් ගන්න ඉඩ නොතියා එකදිගටම වෙඩි තියන්න පටන්ගත්තා.ඒ වෙඩි වරුෂාව කන් බිහිරි කරවන තරමෙි සැර එකක්. ඒත් නැගිටලා දුවන්න තියා හිතන්නවත් බෑ. මොකද උන් දන්නවා අපි රෑට මෙහෙම එනවා කියලා. ඒ එනවා කියල බලාපොරොත්තුවෙන් ඉන්න සහ අපි කොතනින්ද එන්නෙ කියල හැමතිස්සෙම හොයන තවත් මිනිස්සු කොට්ඨාශයකගෙ ඇස් වහල උන් ලඟටම මෙහෙම එනව කියන්නෙ මරුවා කිහිලිගන්නගෙන එන ගමනක්. එක අතකින් අතිදක්ෂ  සංචරණයක්. ඒකට තමා කියන්නෙ "මරුවා පෙනි පෙනී" කියල. 


ඒ පිපිරුම් සද්දයත් එක්ක තප්පර දෙක තුනකදි  මට පිටි පස්සෙන් පණිවිඩෙි ආව කුමාර ට්‍රැපින් එකකට අහුවෙලා කියල.ඒ නාවත් මං දන්නවා සන්තෑසිය.  දෙන්නෙක් අතර දුර ටිකක් තියාගෙන ආව නිසා වෙන කාටවත් තුවාල නෑ. ඒ පිපිරුමත් එක්ක කුමාරසිරි ගෙන් කිසිම ශබ්දයක් ආවෙ නෑ. ඌ මැරිලා. මහා  අනෝරා වැස්සක් කඩා හැලෙනව වගේ එකපාරට එක දිගටම බංකර් පේලියකින් අපිව ඉලක්ක කරගෙන එන වෙඩි උණ්ඩ කන ගාවින් පියාඹලා යද්දිත්,අපි ඉන්න ආසන්නයේ පොලවෙ වදිද්දිත්, අපිට පිටුපසින් තිබ්බ ගස්වල "චට,චට" ගාල වැදිල නවතිද්දි ,ඒ වෙඩි වරුෂාව මැද්දෙ එක උන්ඩයක් වෙඩි නොතියා සීරුවට අපි පස්සට ආවා. මොකද අපි වෙඩි තිබ්බනං අපි ඉන්න තැන් දකින උන් අපිව ලඟටම ඇවිත් වෙඩි තියනවා. නැත්තං "ආවනං,යමන්" කියල වඩාගෙන උනත් යන්න පුලුවන්. 


අපිට මෙි වෙලාවෙ ඔලුව උස්සන්න බෑ කීයටවත්. ඉස්සරහට බඩ ගාපු විදියටම එක දිගටම ගියපු පාර දිගේම ආයෙ ආ පස්සට බඩගෑව. ඒ පිටුපස්සට හැරල නෙමෙි. ඉස්සරහට යන විදියට ආපස්සට. එහෙම කුමාර ලඟට ඇවිත් බලද්දි ඌ අඬනව. දෙයියනේ ඌ මැරිල නෑ. ඌ කියන්නෙම ඌව දාල පස්සට යන්න කියල. පිස්සුවක් ඇතෑ. එහෙනම් තනියෙන් එනවනෙ. මට පිටිපස්සෙ හිටපු එකා උගේ කකුලට ලණුව දාල ගැට ගැහුවා. වටෙි අතගාල බලල තව ට්‍රැපින් හරි මොනාහරි තියෙනවද කියල බලල ක්ලියර් කරාට පස්සෙ උන්ගෙ ප්‍රහාරය ටිකක් අඩුවෙනකම් ගස් මුල් වලට මුවාවෙලා  බලාගෙන හිටියා. ටික වෙලාවක් යද්දි ෆයර් එක ටිකක් අඩුවුනා. පස්සෙ ඌව ටික ටික පස්සට බිම දිගේ ලනුවෙන් ඇද ඇද අපිත් බඩ ගාන ගමන් ඇදගෙන ආව. ඒත් ඌ "හ්ම්"  කිව්වෙ නෑ. වෙිදනාවට කෑ ගැහුවනම් අපි හතර දෙනාම අනිවාර්යයෙන්ම එකතැන  මැරෙනව. හැබැයි අපි මෙි සේරම දේවල් කලේ අර වෙඩිවරුසාව මැද්දෙ හිමීට ඒත් පරිස්සමට. වෙඩි සද්දෙ ටිකක් අඩුවෙනකොට බඩගානවා, ආයෙ නවතිනවා. ආයෙ බඩ ගානවා. ආයෙ නවතිනවා. පැයකට ආසන්න කාලයක් ගතවෙද්දි ඔය විදියට අපි අපේ ලයින් එකට ආවා. කුමාරයා ලේ නාල. උගේ ලඟට පළමුවෙන්ම ආපු වෙලාවෙ අතගාල බලද්දි තේරුනා කකුලක ගන්නම දෙයක් නෑ කියල. ඒත් කොහොමහරි උගේ ජීවිතේ බෙිරගෙන අරන් ආවා. හැබැයි ඊටත් පස්සෙ තමා දන්නෙ උගෙ ඇහැකුත් එක්කමයි කකුලකුත් නැත්තෙ කියල. අතකුත් හදන්න බැරි තරමට ඩැමෙිජ් වෙලා. ඒ බ්ලාස්ට් එකෙන් ඇඟ හැමතැනම තුවාල වෙලා  හිල් වෙලා තිබුනත් අදටත් කුමාර ජීවත් වෙනව. ඌ රණවිරු සෙවනෙ ඉද්දි එක දවසක් අපේ ඒකකයට වැඩකට ආපු වෙලාවෙ මට වඳින්න හැදුවා. ඒ උගේ ජීවිතේ බෙිරල දුන්නු හින්ද වෙන්න ඇති. එක දශම අරික්කාලක අත් වැරදීමකින් ඒ වෙලාවෙ අපිට කුමාරටත් වඩා දුර ගමනක් යන්න ඔින තරම් අවස්ථාව තිබුනා. ඒත් එහෙම වුනේ නෑ. ඒ, අර වෙලාවෙ මුලින්ම කලබල වුනානං. 


රුවින් පමුදිත යද්දෙහිආරච්චි

2020.05.26

4 comments:

  1. මේන කියවද්දි ෆොරස්ට් ගම්ප් ලුටෑනන්ට් ඩෑන් ගෙ ජීවි‌තේ බේරපු හැටි මතක් වුණා...

    ReplyDelete
  2. මෙිකෙ කමෙන්ට්ස් දාන්අන බැරුව වුල් වෙලා තිබුනද.

    ReplyDelete
  3. තවම අවුල් ආරච්චි...

    ReplyDelete
  4. තවම අවුල තියෙනව ආරච්චි. කමෙන්ට් කරන්න වෙනම තැනකට යැවෙනව

    ReplyDelete