Sunday, July 26, 2020
අතීතයෙන් කතාවක් 08
අපි එදින වැලිකන්දට එනකොට ඇති හවස දෙකට විතර. දවල්ට කෑවෙිත් වැලිකන්දට ඇවිත් වැලිකන්දෙන් වම් පැත්තට තියෙන සිංහපුර පාරේ මාර ගස් සෙවන යට ඉඳන්. ඒ මාර ගස් සෙවන යටින් ඇරඹෙන කෙත්වතු යාය පෙනෙන තෙක් මානයේ විහිද ගිහින් තිබුනා. ඒ වෙල්යාය මැද තැනින් තැන ඉහලට එසවී තිබුනු බාගෙට වෙිලුනු තල් ගස් දෙක තුනක් නොකියා කීවෙි මෙි පලාතේ තියෙන දුෂ්කර බව. නමුත් මංනං ඒක දැක්කෙ කපුටො රැළක් මැද මොනරෙක් ඉන්නවා තරම් අලංකාරවත් විදියට. මට කොහොමත් මෙිව හැම එකක්ම පෙනෙන්නේ අනෙක් අයට පේනවට වඩා ටිකක් වෙනස් විදියට.
මාර ගස් සෙවන යට ට්‍රක් එක නවත්තලා "ඉක්මනින් කාල ඉතුරු ටික යන්න ලෑස්තිවෙන්න" කියල බනි 1 නිමල් සර් දුන්නු නියෝගය අපිට ඇහුනේ ජීවිතේටම ඇහිච්චි මීහිරි මීපැනි වාක්‍යයක් විදියට. මොකද අපිත් මෙි වෙද්දි හිටියෙ වාහන දුම් දූවිලි මැද ට්‍රක් එක වමට හරවනකොට දකුනටත් දකුනට හරවනකොට වමටත් බ්‍රෙික් ගහන කොට ඉස්සරහටත් අද්දනකොට පස්සටත් විසිවෙවී ඒ අඩම්තේට්ටම් මැද කෑ ගහ ගහ සිංදු කිය කිය ඇවිත් බාගෙට මැරිල වගේ. අපි දෙන්න දෙන්න එකතුවෙලා වාහනෙන් බැස්ස ගමන්ම මාර ගස් යට පේලියට ඉඳගෙන උදේම පනාගොඩ කඳවුරෙන් ඔතල දුන්නු කෑම එක දිගෑර ගත්තෙ මෙි වෙද්දි නහරයක් නහරයක් පාසා බඩගින්න ඉහවහා ගිහින් තිබුනු නිසා.
ඒ කෑම එකට විනාඩි දෙකෙන් වග කිව්ව අපි බඩෙි ඉතුරු බාගෙ පුරෝගත්තෙ බෝතල්වල අරන් ආපු වතුරවලින්. මෙි ඔතාදුන්නු කෑම එක අපි කාටත් මදි. ඒත් ඒක ජීවිතේ ලැබුනු අවසන් කෑම වෙිල නොවන හිංද හිත හදාගෙන අත් දෙකත් හෝදල තෙත අත් දෙක ඇදන් හිටපු කලිසම් සාක්කුව ඇතුලට දාගෙන හොඳට පිහදා ගත්තා. ඉක්මනින් කාල බීල ඉවරවුනු අපි එහෙ මෙහෙ ඇවිද ඇවිද හිටියෙ ජීවිතේ පලවෙනි වතාවට පය ගහපු වැලිකන්ද ටවුන් එකේ පේන පේන හරියෙවත් සිරි නරඹන්න.
නිට්ටඹුවෙ පන්ති යද්දි වැලිකන්ද කොළඹ කියල බෝඩ් ගහපු බස් කනට ගහනව වගේ ගොරහැඩි සද්දෙට හයියෙන් තත්පරෙන් තත්පරේට හෝන් ගගහ දූවිලි වලාවන් නංවගෙන ගිය සතියෙ යන්න තිබුනු ගමනක් අනිද්දා යනව වගේ විදුලි වෙිගෙන් යනව කොතරම්නම් දැකල ඇද්ද. ඒ දවස්වල මං වැලිකන්ද ගැන හිතාගෙන හිටියෙ ගම්පහටත් වඩා ලොකු ටවුන් එකක් වෙන්න ඇති කියල. ඒ වුනාට අපිට පේන්නනං තිබුනෙ මිනිසුන් කීපදෙනෙකුත් මාලු ලෑල්ලකුත් කඩ කිහිපයකුත් විතරයි. මෙික කඩ දහයක් විතර තියෙන පුංචි ටවුන් එකක්නෙ. ටවුන් එකක් කියන්නත් බෑ. කඩමණ්ඩියක් වගේ.
අපි ටිකක් එහෙ මෙහෙ ඇවිද ඇවිද සිරි බල බල ඉද්දි අපිව භාරව ආව බනි 1 ඩබ්ඒ නිමල් ට්‍රක් එක ලඟට ඉක්මනින් එන්න කියල අතිනුත් සන් කරන ගමන් කටිනුත් කතාකරල කිව්වා. අපිත් ඒ අණට අනුව කඩිනමින් ඔහු අසලට ගියේ ඊලඟට කියන්න යන්නේ මොකද්ද කියල බලන්න.
*ළමයි. අපි මෙතනින් යන්නෙ තුනයි තිහට. එතකං මෙතනම ඉන්න කොහෙවත් යන්න එපා. මෙතනින් එහාට තියෙන්නෙ ටිකක් ඩෙින්ජර් ගමනක්. තව ටිකකින් ඔිගොල්ලන්ට පතුරම් එකසිය විස්ස ගානෙ හම්බෙනව.ඒක මැගසින් වලට පුරෝගෙන එකක් අවියට කවා ගන්න. රෙඩි කරන්න එපා. හදිසියක් වුනොත් හරි, රෙඩි කරන්න ඔිනවුනොත් හරි මෙි දෙන්න ඔයාලට කියයි. මෙච්චර දුරක් ආව වගේ මෙතනින් එහාට සිංදු කියන්න කෑගහන්න බෑ. ඊලඟ ගමන ගොඩක් පරිස්සමට යන්න ඔින ගමනක්. තේරුනාද? හැබැයි බැරිවෙලාවක්වත් අපේ වාහනයට කොටි ගැහුවොත් කලබල වෙන්නවත් කලබල කරන්නවත් එපා. ඒ වෙලාවට කරන්න තියෙන දේ අපි කරමු.ආයෙත් කියන්නෙ බය වෙන්න එපා. ඔිගොල්ලොත් දැන් පුහුණු වෙච්චි සොල්දාදුවොනෙ.පැහැදිලිද?
*පැහැදිලියි සර්.
*අනික තමා වාහනේ එක ගොඩෙි වැටිල යන්න එපා. විසිරිලා ඉන්න. කිසිම විදිහකින් වාහනේන් එළියට ඔලුව දාගෙන රිලව්වගේ එල්ලිලා යන්න එපා. පැහැදිලිද. අපේ ගමන මෙතන ඉඳල තව සෑහෙන දුරක් යන්න තියෙනව. පරිස්සමින් කිව්ව විදියට එන්න ඔින පැහැදිලිද? අනික තමා කොටි නෙමෙි දෙයියන් නාන්සෙ ගැහුවත් වාහනේ වෙඩි වැදිල හැප්පිලා පෙරලිලා කුඩුවෙලා ගියෙ නැත්තං ඇරෙන්න ඊලඟට වාහනේ නතර කරන්නෙ වාලච්චෙිනෙ. ඒ හිංද කල්පනාවෙන් හයියෙන් අල්ලගෙන ඉන්න ඔින. තේරුනානෙ.?.
*තේරුනා සර්.
ඒ කියන්නෙ මෙතනින් එහාට අනතුරුදායකයි. මං අහන්න ආසාවෙන් හිටියෙත් ඒ වගේ දෙයක්. මං දන්නෑ ඒක මොන වගේ බලාපොරොත්තුවක්ද කියල. හැබැයි මං දන්න කාලෙක ඉඳල ආසාවෙන් හිටියෙ මෙි වගේ අනතුරුදායක දේවල් අස්සෙන් ජීවිතේ ගෙනි යන්න. ඒක හරියට මැරෙනවාමයි කියල දැනගෙන හෙලකින් වැටෙන ගමන් ඒ අහු අස්සෙ තියෙන ගහක අත්තක හරි එල්ලිලා ජීවිතේ රැකගෙන ඒ හෙලෙන් ගොඩ ඇවිත් වීරයෙක් වගේ ඉද්දි ගොඩ ඉන්න මිනිස්සු මං වෙනුවෙන් චියර් කරනවා වගෙ වෙන්න. මගේ පොඩි කාලෙ ඉඳලම පුරුද්දක් වෙලා තිබුනෙ වෙන කව්රුත් නොකරන තියා කරන්න හිතන්නෙවත් නැති ජාතියෙ වැඩ කරන්න. ඒක හරියට මෙි වගේ.
සැඩ දිය පාරක වෙිගෙන් එගොඩ මෙගොඩ පීනන දක්ෂ පිහිණුම් කරුවෙක් අභිබවා, කවදාවත් දනිස්සෙන් උඩට තියෙන වතුර පාරක පිහිනා නොමැති කෙනෙක් අර පිහිනුම් කරු අභිබවා පීනා ගිහින් එක වෙන්න හදනවා වගෙ එකක්.
හොඳ ජැන්ඩියට ඇඳල පැලඳල මාසෙකට දාස්ගනන් පඩි ගන්න මිනිසුන් හරි ලක්ෂ ගණනින් ලාබ හොයන ව්‍යාපාරිකයන් ඉන්න සමාජයක මැද්දෙ හරි වටිනා නිල ඇඳුමක් ඇඳගෙන ඔවුන්ව මෙහෙයවන්න ලැබෙනවා වගේ.
නැතිනං ඔක්කෝම නිල ඇඳුම් අදිද්දි මං විතරක් වෙනස් ඇඳුමක්, ඒ කියන්නෙ වැරහැලි කිලුටු ඉරුනු ඇඳුම් ඇඳගෙන වෙස්වලාගෙන හරි වෙනස්ම වටිනා කාර්‍යයක් ඉටුකරන පුද්ගලයෙක් වගේ. ඒව තමා මට තිබුනු සරළ හීන. තව මෙතන නොකී ගොඩක් දේවල් තියෙනව. හැබැයි විශ්වාසයෙන් යුතුව මට කියන්න පුලුවන්, තිබුනු සමහර හීන ක්ෂිතිජයේන් මැකීයන්න ආසන්න ඉරු රාජයා එකවර දීප්තිමත් එලියක් විහිදලා ඊලඟ මොහොතේ අඳුරෙන් හාත්පස වෙලා ගන්නවා වගේ බලාපොරොත්තු ඇතිවී නැතිවී ඊලඟ මොහොතේ අර ඉරම මුහුදේ ගිලී යනව වගේම මගේ ඒ ගොඩක් හීනත් අඳුරේම කඳුලු සයුරේම ගිලී ගියා. නමුත් දහ අටෙි විස්සේ කොල්ලෙක්ගෙ හිතේ තියෙන වීරත්වය පිළිබඳව තිබුනු හැඟීම් හෝ අර ඉහතින් කියපු හීනනං මගේ හමුදා ජීවිතය තුල ඔිනවටත් වඩා එළිවුනා. ඒ සමහර අවස්තාවන්වලදී මටත් එපාම වෙන විදියට.
අපි නිමල් සර්ගේ කතාවත් අහගෙන මාර සෙවනේ එහෙ මෙහෙ ඇවිද ඇවිද අපි අතරෙම එක එක කසු කුසු නැගෙද්දී වැනට් වර්ගයේ සුදු පාට වෑන් එකක් වෙිගයෙන් ඇවිත් අපි ආව ට්‍රක් එක ගාව නැවැත්තුවා. ඉන් බැසගත්තෙත් ආමි එකේ දෙතුන් දෙනෙක්. ඒ බැහැල ඇවිත් කව්රුහරි බනි 1 නිමල් එක්ක යමක් කතා බහ කර කර ඉද්දි වෑන් එකේ ආපු ඔවුන්ගෙන් දෙදෙනෙක් පිටි පස්සෙ දොර ඇරල සුදුපාට අඹලෑලි පෙට්ටි කිහිපයක් අපි ආපු ට්‍රක් එකට දැම්මා. ඒ අපි ට්‍රෙිනින් වෙද්දි වරායෙ නැවෙන් බාපු ජාතියේ පතුරම් පෙට්ටි. ඒක අපිට හොඳට අඳුරගන්න පුලුවන්.
ඒත් එක්කම අපි හිටපු තැනට ආ නිමල් සර්
*ළමයි... ටක් ගාල එනවලා..
ඒ නියෝගයත් එක්ක අපි ඉකිමනින් නිමල් සර් ගාවට ගිහින් ඇයි ඇහුවා.
*අන්න ට්‍රක් එකේ තියෙනව ඔිගොල්ලන්ගෙ පතුරම්. හැකි ඉක්මනින් තම තමන්ගෙ මැගසින් හතරට පතුරම් ටික ගහගන්න.
*හා සර්
ඒ ඇවිත් තිබුනේ අපිට පතුරම් ගෙනාපු වෑන් එක. ඒකත් අපේ ඒකකයේම වෑන් එකක්. එයාලා ගෙනාපු පතුරම් පෙට්ටි ටික ට්‍රක් එකට දාල ආවටත් වඩා වෙිගයෙන් දූවිලි වලාවක් නංවගෙන පවනට බඳු වෙිගයෙන් කොළඹ පැත්තට ඉගිල්ලිලා ගියා. අපිත් ඉක්මනින්ම ට්‍රක් එකට නැගල පතුරම් පෙට්ටි ටික කඩල මැගසින් වලට පුරෝගත්තා. ඊලඟට ලැබුනු නියෝගයත් එක්ක පුහුණු කාලෙන් පස්සෙ ජීවිතේ පළවෙනි වතාවට පතුරම් තිහක්ම පුරවපු මැගසින් එකක් අවියට ගැහුවා. ඒක මහ ගරු ගාම්භීරකමත් ආඩම්බරකමත් වීරත්වයත් ඉස්මොල්ලෙ යන තරමෙි අමුතු හැඟීම් රාශියකින් සංකලනය වූ එක්තරා මහා අමුතු හැඟීමක්. ඒක මටනං දැනුනෙ බාගයක් පිරිල තිබුනු ජීවිතයක් එකපාරටම සම්පූර්ණ වුනා වගේ හැඟීමක්. ඒක අත්විඳින්න හැම සොල්දාදුවටමත් බෑ. මං ඔික දැනගත්තෙ පසුකාලෙක උපදේශකයෙක් විදියට රාජකාරි කරන්න පටන්ගත්තටත් පස්සෙ.
හරියටම තුනයි තිහට කෙසේ වෙතත් හතරට අපි වැලිකන්දෙන් ගමන් ඇරඹුවා. පනාගොඩ ඉඳල වැලිකන්දට ආවට වඩා වැඩි වෙිගයක් රියැදුරා විසින් ට්‍රක් එකට ලබාදී තිබුනා. මෙි ට්‍රක් එකත් අලුත්ම අලුත් තාම තීන්ත සුවඳ පවා නාස්පුඩු වලට දැනෙන කොලපාට ලේලන්ඩ් ට්‍රක් එකක්. සංසෙ ජයන්ත කිව්ව විදියට මෙික ලැබිලත් තාම මාස දෙකක් විතර වෙන්නෙ. සද්දෙත් අහං ඉන්න පුලුවන් ආසා හිතෙන ශබ්දයක්. හැබැයි මෙි වෙලාවෙ මගේ ශරීරය ගමන් ගත්තෙ ට්‍රක් එකේ වුනාට හිතේ තිබුනෙ හදිසියේවත් මෙි ට්‍රක් එකට කොටි ප්‍රහාරයක් එල්ලවුනොත් අපි මොකද කරන්නෙ කියල වටහාගන්න.
මං ඒ හැඟීමට අනුගතව පිටිපස්සටම වෙලා බලාගෙන හිටියෙ අපිට පහුවෙන භූමිය දිහා. ටික දුරක් ගියාම පටන්ගත් තෙ පාර දෙපැත්තම ලඳු කැලෑවකින් ආවරණය වූ භූමියක්. ලඳු කැලෑවක් කිව්වට ගොඩක් පඳුරු මීටර් දෙකක්වත් උස නෑ. පාර දෙපැත්තෙන්ම මීටර් පනහක් වගේ ඇතුලට උදුලු ගාල වගේ එලි කරල තිබුනා. සංසෙ ජයන්තගෙන් අහපුවම කිව්වෙ කොටින්ට බිම්බෝම්බ තියන්න බැරිවෙන්නත් බැරිවෙලාවක්වත් තිබ්බොත් හොයාගන්න ලේසිවෙන්නත් කියල. අපේ ගමන් මාර්ගයේ සමහර තැන් වැටිල තිබුනෙ හරියට කුණාටු රැළි නැගෙන මුහුදක් මැදින් නැවක් යන්නා වගේ පාරක. මුහුද මැද්දෙ නැගෙන විශාල රැලිවල වැදෙන නැව ඉහල එසවී ඊලඟට පහල වැටෙනවා වගේ ට්‍රක් එකත් මහපාරෙ උස්සල හදපු බෝක්කු කඳුවලින් උඩට විසිවී ආයෙ බිම වැටෙමින් නොනවත්වාම එකම වෙිගෙකින් ඉදිරියට ඇදුනෙ. කිසිම තැනක ඇක්සලේටරේනං අඩුවුනේම නෑ. මොන වලක් ගොඩැල්ලක් බෝක්කු කන්දක් තිබුනත් එකම වෙිගෙකින් ට්‍රක් එක ගමන් ගත්තා. අපිටත් ඒ ඒ තැන්වල උඩ ගිහින් වහලෙ වැදී ආයෙත් බිම වැටෙන කොට "හිග්" ගෑවුනා. සංසෙ ජයන්තනං කිව්වෙ මෙි රියැදුරාලු අපි අයත් ඒකකයේ ඉන්න දක්ෂම රියැදුරා. එයාගෙත් බැචීලු. නම සංසෙ හේරත්. මෙයාට වඩා අංක කිහිපයකින් ජූනියර්ලු. ඒ කෙසේ වෙතත් අපිනං ඒ දුර ආවෙ හුඟක අමාරුවෙන්. සමහරුන්ට වමනෙත් ගියා. මටනං ආසාව වැඩි හිංදමද මංදා වමනෙනං ගියේ නෑ. හමුදාවට බැඳෙන්න කලින් මං ටවුමෙ හිටපු හැම දවසකම වගේ හමුදාවෙ අය පුරෝගත්තු බස් සහ ට්‍රක් පෝලිමට ගමන් කලා. මාත් පාරට පැනල ඔවුන්ට නොපෙනී යනකම්ම අතවැනුවෙ ගොඩක් ආසාවෙන්. ඔවුනුත් අපිට අතවනනවා. නමුත් අද ඒ තත්වෙ වෙනස් වෙලා. අද මමත් ඒ ට්‍රක් එකක ගමන් කරනවා. අපිටත් පනාගොඩ ඉඳල වැලිකන්ද දක්වා එන ගමනෙදි පහුවුනු හැම ටවුන් එකකම වගේ හිටපු කොල්ලො කෙල්ලො අතවැනුව. දෛවයේ හැටි කියන්නෙ ඒවට අත වන වනා හිටපු මටත් අවස්ථාවක් ලැබිල ඒ විදියට ගමන් කරන්න.
අපි ආපු පාරෙ සමහර තැන් වැටිල තිබුනෙ කඳවුරු මැදින්. වාහනේ වෙිගය ටිකක් හරි අඩුවුනේ ඒ තැන්වල විතරයි.
එතකොටනං ඇඟට මහ පුදුම සනීපයක් දැනුනෙ. පෝර මල්ලක දාල පොලවෙ ගහනව වගේ ට්‍රක් එකේ ගැස්සි ගැස්සි ආපු අපිට ඊලඟට වාලච්චෙින කඳවුර කිය කියා හිතුනු වාරනං අනන්තයි. ඒත් ඇත්තටම වාලච්චෙින කඳවුරට අපි ආවෙ හරියටම පැය දෙකකට එකහමාරකට විතර පස්සෙ.
*ඒයි, ඔක්කොම කැප්ස් දාගනිල්ලා. කෑම්ප් එකට ආව. දිගු ගමනකින් පස්සෙ වංගු වංගු හැරී ඒ තැන්වලත් වෙිගෙන් ආපු වාහනේ එක්තැනක නතර කලායින් පසු සංසෙ ජයන්ත අපිට කිව්වා. මං එදාතමා නිවන කියන එක අත්වින්ඳ පළවෙනි අවස්ථාව. හිතට පුදුම සැනසීමක් දැනුනෙ. පනාගොඩ ඉඳන් වැලිකන්දට ආවත් හරි මෙි ටිකත් හරි. මෙි ටික අපි ආවෙම මල්ලක දාල වෙිගෙන් ගලක ගහනව වගේ අමාරුවකින්.
වාහනේ නතර කරල විනාඩි පහක් විතර යනකොට සීසීඑම්පී කෝප්‍රල් කෙනෙක් ඇවිත් ට්‍රක් එකේ ෆුට් රැක් එකට ගොඩ වෙලා අපි දිහා බලල කට කොනකින් හිනාවුනා. අපි ගනන්ගත්තෙවත් නෑ. ගනන් නොගත්ත නෙමෙි එච්චර පැහැදිලි ශරීර සෞඛ්‍යයක් අපිට ඒ වෙලාවෙ තිබුනෙ නෑ.
එයා නැගල නිකන් හිටියෙත් නෑ. අපි හැමෝගෙන්ම ගම ඇහුවා. අපි හිටපු ඔක්කොම අය බස්නාහිර පළාතෙ. පාදුක්ක පානදුර ගම්පහ කලුතර හොරණ කිරිඳිවැල නිට්ටඹුව දිවුලපිටිය හංවැල්ල ආදී ප්‍රදේශවල අය. මං නිට්ටඹුවෙ කීවම ඔහු මගෙන් ප්‍රශ්ණ කිහිපයක්ම ඇහුවා. ඉස්කෝලෙ ගියෙ කොහේටද කියලත් ඇහුවා.
*ඌරාපොල ප්ලස් ගම්පහ බන්ඩාරනායක ප්ලස් නැවත ඌරාපොල සෙන්ට්‍රල් කෝප්‍රල් කියල මං උත්තර දුන්නා. ඒ වෙලාවෙ මං දිහා ටිකක් වෙලා බලා හිටපු ඔහු වෙලාවක් තිබුනොත් ඇවිත් හම්බවෙන්න කියලත් කිව්වා. මං පස්සෙ දවසක ගිහින් ඔහු හම්බුනාම කිව්වෙ එයා අත්තනගල්ලෙ කියල. බලනකොට එයාත් ඌරාපොල සෙන්ට්‍රල්. මට අඳුරගන්න බැරිවුනේ කාලෙකින් දැකපු නිසා හා ඔහු අපිට වඩා ගොඩක් වැඩිමල් නිසා ඉස්කෝලෙ හමුවී තිබුනු ප්‍රවනතාවය අඩු නිසා. ඒ කෝප්‍රල් මාත් එක්ක ගොඩක් හිතවත්වුනා පස්සෙ.
එදා අපිව අරං ගිහින් පෝලින් කරල දැම්මෙ පුහුණු ප්‍රදේශයට. අපිව භාරව හිටියෙ ලා/කෝ ද සිල්වා ඩබ් කියල පීටීඅයි කෙනෙක්. එදා රෑම අපිව අරං ගිහින් ඒ තිබුනු භඨ නිවාසෙකට දැම්මට පස්සෙ වෙනම නීති කිහිපයක් පැනවුනා. ඒ කඳවුරේ වෙනත් කිසි කෙනෙකු සමග කතා කිරීම තහනම්, තනිවම ගමන්බිමන් තහනම් හා කිසිම අවස්ථාවක පීටීඅයිට නොකියා වැසිකිලියටවත් යෑම වගේම පුහුණු ප්‍රදේශයෙන් පිටවීම තහනම් වගේ දේවල්. අපිත් එදා හවසම කඳවුරු සංචාරයත් ගිහින් නාල කාල නිදාගත්තා. මෙහෙ දේශගුණය නම් අපේ පලාතට වඩා හාත්පසින්ම වෙනස්. පුදුම රස්නයක් තිබුනෙ. රෑටත් ඉරක් පායල වගේ රස්නෙයි දාඩියයි.
පසුදා පහයි තිහට හූටරේ ශබ්දයෙන් අවදිවුනු අපි ලැබී තිබුනු උපදෙස් පරිදි නැගිටල මූන සොදාගත්තා. ඒ වෙද්දිත් පීටීඅයි කෝප්‍රල් සිල්වා අපේ දෙන්නෙක් එක්ක ගිහින් තේ එක ගෙනවිත් දුන්නා. අපි ඒ තේ එක බොන්න ගත්තෙ අපේ පුහුණු පාසලෙන් ලැබුනු තේ එක විදියට. මෙච්චර කාලයක් අපි පනාගොඩ බිව්ව තේ එකේ පිටියි සීනියි කහටයි විතරයි නොතිබුනේ. අනිත් සේරම ඔිනෑවටත් වඩා තිබුනා.ඒව කිරි තේ කියල අඳුනගන්නත් කෝප්ප කිහිපයක්ම බීල බලන්න උනා. නමුත් මෙහෙනං එහෙම නෑ. ගානට හැමදෙයක්ම ගැලපිලා තිබුනා. ඒකෙන්ම මගේ හිතටත් මෙි ඒකකය ගැන වැදගත්කමක් තේරුනා.
පස්සෙ තමයි මතක්වුනේ ඒ පුහුණු පාසලක්,මෙි කඳවුරක් කියල.
රුවින් පමුදිත යද්දෙහිආරච්චි
2020.07.25
Labels:
මගේ කතා
Subscribe to:
Post Comments (Atom)
ඔය කියන විදිහෙ මල්ලක දාලා පොළොවෙ ගහන විදිහට අපිත් දවසක් ගියා අත්ට්‍රැක්ටර් එහෙක ශ්‍රී පුර ඉඳන් පුල්මුඩේ වෙරළට. වෙරළෙදි ට්‍රැක්ටරෙන් බැහැලත් පැයක් විතකර යනකං අපි වරිං වර උඩ ගිහින් බිම වැටුණා, ට්‍රැක්ටරේ ගමනට හුරු වෙලා...
ReplyDeleteගෙවල් ශ්‍රීපුරද.? මටත් සමබන්ධකමක් තියෙනව ශ්‍රීපුර සමග
Deleteනෑ ආරච්චි, මං ගම්පහ. මගෙ යාළුවෙක්ගෙ මුල්ගම ශ්‍රී පුර. ඔයාගෙ සම්බන්ධෙ ගැන මොනව හරි ලියවෙයි නේ?
Deleteමාත් වයිෆ් හදන තේ එකට පස්සෙ ඉළඟට හොඳම තේ එක බිව්වෙ ඌව කුඩාඔය කෑම්ප් එකේදි.
ReplyDeleteපනාගොඩ තේ වගේම තමයි පනාගොඩ අදුනිකයන්ට සැලකීමත්..
ReplyDelete