Wednesday, July 1, 2020

අතීතයෙන් කතාවක් 07



අපේ ආධුනික පුහුණු පාඨමාලාවෙි විසිරයාමෙි පෙළපාලිය ඉතා අලංකාරවත් විදියට සංවිධානය කර තිබුනා. සරඹ භූමියේ සිදුවන සෑම දෙයක්ම හරි ලස්සනට සැලසුම් කලේ අපේ උපදේශක මඩුල්ල විසින්. අපිත් දිවා රෑ නොබලා ඒ කටයුතු සඳහා සහභාගි වුනා. අපිට මෙි වෙනකොට හතර වටෙන්ම ආරංචි ඇවිත් තිබුනෙ මෙි විසිරයාමෙි පෙළපාලියෙන් පසු  අපිව ඇතුලත් කල ඒකක වෙතින් එදිනම කැටුව යා⁣ම සඳහා කට්ටය පැමිනෙන බව. මාස හතරහමාරකට කලින් දවසක සිවිල් ඇඳුමින් සිවුරෙන් හමුදාවට බැඳෙන්න සම්මුකපරීක්ෂනය සඳහා ඇවිත් නොයෙක් බාධක දුක් කම් කටොලු වෙිදනාබර සිදුවීම් මැද මහත් ඉවසීමකින් හා සංයමයකින් සොල්දාදුවෙක් විදියට පුහුණුව ලබා ඒ පරිවර්තනයත් එක්ක නිළ ඇඳුමකින් විසිරගොස් ඒ නිළ ඇඳුමින්ම ආපසු යන මෙි ගමන අපි ආවෙි ඉමහත් වෙහෙසකර විදියට.

කලින් ජීවිතේටවත් නොදැක්ක හමුදා නිළයන් වෙතින් ලබාදුන් ඒ පුහුණුව අපිට ජීවිතය ගැන හොඳ ඉලක්කයක්, වටිනාකමක් වගේම අධිශ්ඨානයක් ලබාදුන්නා. එකසිය පනස් හත් දෙනෙක් පුහුනුවට ඇතුලත් වෙලා එයින් එකසිය තිස් හතර දෙනෙක් එකටම සෑම දුකක්ම විඳ ගනිමින් දුකකදී කරදරයකදී අමාරුම අවස්ථාවන් වලදී සතුටකදී එකා මෙන් ඒ සෑම දෙයකටම මුහුන දී අද ඒ එකිනෙකාගෙන් සමුගෙන විසිරී ගොස් අලුත්ම නවාතැනක් තුල අවුරුදු විසි දෙකක කාලයක් ගත කිරීමට ලැබීම හිතට කොතරම් නම් දුකක්ද. අපේ පාඨමාලාව කොච්චර වෙහෙසකර එකක්ද කියනවනම් ඒ එකසිය පනස් හත්දෙනාගෙන් අනාගතය හදාගත්තේ එකසිය තිසි හතර දෙනයි. ඉතිරි විසිතුන් දෙනාම පුහුණුව අතරතුර කාලයේදී පැන ගියා. තිදෙනෙක් අබාධවලට ලක්වුනා.

 ප්‍රියයන්ගෙන් වෙන්වී අද සවස්වන විට අපි යන මෙි ගමන කොහෙන් කොතැනකදී කෙලවර වෙිවිද කියා දන්නේ උඩ ඉන්න දෙවියෝ පමණයි.
නැවත අපි ආයේ මුන ගැසේවිද, රිවිරැස ක්‍රියාන්විතයට සහභාගිවීමෙන් පසු එය අවසන් වෙද්දි මෙි යන පිරිසෙනුත් කී දෙනෙක් ඉතුරු වෙිවිද? අපේ අවසානය කොහොම කොතැන සිදු වෙිවිද යන සිතුවිලි පවා අපිට ගෙන ආවෙි අප්‍රමාණ වූ දුකක්.
මෙි එකසිය තිස් හතර දෙනාගෙන්ම මා අයත් ඒකකයට ඇතුලත් වී තිබුනේ විසි දෙදෙනෙක් පමණයි. ඉතුරු එකසිය දෙලොස් දෙනා අතරින් 1 සහ 7 ශ්‍රිලංකා සිංහ රෙජිමෙින්තුවට වැඩි පිරිසකුත් ඉංජිනේරු බළකායට සහ ඉංජිනේරු සේවා බළකායට ස්වල්ප දෙනෙකුත් ඇතුලත් කර තිබුනා. මා අයත්වුනේ 5 වන ශ්‍රීලංකා සංඥා බළකායට.
අපේ ⁣විසිරයාමෙි පෙළපාලිය අවසන් වූවාට පසු එය නැරඹීමට පැමිණ සිටි මව්වරු පියවරු,නෑදෑ හිත මිත්‍රාදීන් සමග පැය දෙකක් පමණ කාලයක් නිදහසේ කතාබස් කර එකටම දිවා ආහාරයද ගෙන අවසානයේ  සියල්ලෝ විසිර ගියේ පපුවෙි කැකෑරෙන මහා වෙිදනාවකින් යුතුව.

අපි එකිනෙකාගෙන් සමුගත්තේ විසිරයාමෙි පෙළපාලිය අවසානයේදි ලබාදෙනවා යැයි කියා තිබූ නිවාඩුවද ස්ථිර වශයෙන්ම නොලැබෙන බව ඒවන විටත් දැනගෙන එයින් ඇතිවූ අප්‍රමානවූ දුකකින්.
හිරිමල් වයසේම දෙමාපියන්ගෙන් වෙන්වී නන්නාඳුනන පුද්ගලයින් ඉන්න නුහුරු නුපුරුදු කඳවුරු භූමියකට කොටුවී දුශ්කරවූත් අප්‍රමාන දුක් කම්කටොලු සහිත වෙිදනාබරවූත් යුධ පුහුණුවක්ද ලබා ඒ අවසානයේ ලබා දෙනවායැයි කියූ නිවාඩුවද අහිමිව එවකට රටෙි පැවති සිවිල් යුද්ධයේ උච්ඡතම අවස්ථාවක ඉදිරිපෙළ සංග්‍රාමයන්ට සහභාගි වීම සඳහා යෑමට සිදුවීම මෙතෙකැයි කියා වචනයෙන් කිව නොහැකි තරමෙි දුකක්,වෙිදනාවක්. ඒත් මා සිටියේ "මියෙත් නම් මියෙත්වා, ජීවත්වෙත්නම් එසේ වෙත්වා, මෙි ගමන අතරමැද නතර නොකරමි"  යන පරම අධිශ්ඨානයෙන්.

අපි ඒ ගැන වැඩිදුර නොසිතුවෙි ඒවන විටත් හමුදාව යනු ක්ෂණිකව තීරණ වෙනස්වන ආයතනයක් බව යන්තම් හරි ඉගෙන ගත්තේ පුහුණුවෙිදී  ඉගැන්වූ පාඩම් වලින්. නමුත් හිත් කොනක වූ පුංචි බලාපොරොත්තුවක් මෙි වනවිට අපේ හිත් වල තිබුනා. ඒ අපව කැටුව ගියපසු ඒ ඒ ඒකකයන් වෙතින් නිවාඩු ලබාදේවි යැයි උපදේශකයින් කියූ කතාවලින්.

මෙි වෙද්දි දවස් හරිගිය පසු මසට පටවන බ්‍රොයිලර් කුකුලන් මස් කිරීමට රැගෙන යාමට ෆාම් එකේ ගේට්ටුව ඉස්සරහ කම්පැනි කාරයන් බලා ඉන්න පරිද්දෙන් අපිව ඒ ඒ ඒකකයන් වෙත කැටුව යාමට ඒ වෙද්දිත් වාහන කිහිපයක් අවස්ථාව එනකම් බලා උන්න නිසා අපිට සිදුවුනේ ඉතාමත් දුක්බර විදියට එකිනෙකාගෙන් සමුගන්න.

ඉස්සෙල්ලම ඇවිත් තිබුනේ 1වන සිංහ රෙජිමෙින්තුවට අයත් ට්‍රක් දෙකක්.  එම ඒකකයට වැඩි භඨ පිරිසක් ඇතුලත් කර තිබුනු හෙයින් වාහන දෙකක්ම පැමිණ තිබුනා. දවල්ට ගත් ආහාරය දිරවන්නටත් ප්‍රථම ඒ ඒකකයට අයත් මගේ මිතුරන්ගේ නාම ලේඛනය කියවා ඔවුන්ව පෝලිම් කර සූදානම් කලේ කෝප්‍රල් ප්‍රේමසිංහ. මගේ බඩියා නොහොත් ධර්මසේන ඇතුලත් වෙලා තිබුනේ මේ රෙජිමෙින්තුවට.
ඔහු දාඩියත් පෙ⁣රාගෙන හතිදාගෙන මං ගාවට දුවගෙන දුවගෙන ඇවිත් "බැචා,මට යන්න වෙනවා" කියද්දි දැනුනු හැඟීම මට කොහෙත්ම ඉවසගන්නට බැරිවුනා. ඒක මහා සංවෙිදී අවස්ථාවක්. අදටත් මා මනසේ නොමැකී පවතින දුක්බර සිදුවීමක්. ඒ මාස හතර හමාරක් තිස්සේ අපිව හිනස්සමින් රණ්ඩුවෙමින් ගුටිකමින්  එකටම හිටපු චරිතය නිසා.
අනික ඔහුට එල්ලවූ පුද්ගලික තාඩන පීඩන හමුවෙි  කඳවුරෙන් පැන ගොස් ජීවිතයම කාලකන්නි කරගන්නට හිටපු එකා, අද මෙි සතුටින් නිලඇඳුමත් ඇඳගෙන විසිර යන්න තරම් දුරකට අරන් ආවෙි මම නිසා.

 ඒ වෙලාවෙි මගේ ඇස් දෙකට කඳුලු පිරුනේ මටත් නොදැනිම. අපි දෙන්නා බදාගෙන විනාඩි ගානක් ඇඬුවා. කරපු කියපු ගොඩක් දේවල් මතක්කර කර අපි ඇඬුවා. අපේ අනිත් එවුනුත් ඇඬුවා. පියයන්ගෙන් වෙන්වීම දුකක් කියල බුදුන් වහන්සේ දේශනා කරන්නට ඇත්තේ මෙි නිසා වෙන්න ඇති දෝ කියලත් සිතුනා.

නමුත් අපිට මෙි නියෝග වෙනස්කිරීමෙි කිසිම හැකියාවක් නෑ. කඳුලු අතරින් උනත් ඔහුට හා අනෙක් සගයන්ටත් සමුදෙන්න අපිට සිදුවුනා. ඔහු වෙන්වෙන්න මොහොතකට පෙර වාහනේටත් නැගල ආයෙ බැහැල දුවගෙන ඇවිත් මට ඔහුගේ ඔරලෝසුව මතක් වෙන්න තියාගන්න කියල දුන්නා. මට දෙන්න ඔරලෝසුවක් තිබුනෙ නැති තැන මං ඔහුට දුන්නේ මං ආසාවෙන් තියාගෙන හිටපු තීන්ත පෑන. ඒකෙන් මං කවදාවත් ලිවුවෙ නෑ. ඒ ඒකට තිබුනු ආසාව නිසා තීන්ත ඉවරවෙයි කියල. මං ඉක්මනින්ම කිට් බෑග් එක ඇදල ඒක අතට දුන්නම ධර්මෙ ඒකත් අතේ තියාගෙන ආයෙත් මගේ මුහුන දිහා මොහොතක් බලා ඉඳලා" අපි ආයෙ කොහොදි හරි මුනගැහෙනවාමයි මචං" කිව්වා. අපි ඒ මොහොතෙ ආයෙ සමුගත්තා. ධර්මෙලා රැගත් ට්‍රක් රථ දෙක සද්දෙ දාගෙන ඇදිල යද්දි අපි දෙගොල්ල නොපෙනී යනකම්ම අත වනාගත්තා.
ආයෙ පැයක් යද්දි ඉංජිනේරු රෙජිමෙින්තුවෙනුත් 7වන සිංහ රෙජිමෙින්තුවෙනුත් ඇවිත් ඒ ඒකකයන්වලට අයත් කට්ටිය කැටුව ගියා. ඔය අස්සෙ අපි දැක්කා අපේ පීටීඅයි කෝප්‍රල් නයනානන්ද අපේ පාඨමාලා බිලට් එකේ කෙරවලේම බිත්තියට හේත්තු වෙලා අපි දිහා මහත් දුකකින් බලා ඉන්නවා. එහෙ මෙහෙ දුවන අපි අපේ යාලුවන්ට ආපු වාහනවල⁣ට බඩු පටවගන්න උදව් කරද්දිත් ඔහු ඇසිපිය නොහෙලා අපි දිහා බලාගෙන හිටියා.
ඔවුනුත් පිටවෙලා ගියාට පස්සෙ අන්තිමට ඉතිරිවුනේ අපි විසි දෙදෙනා පමණයි. ඒ වෙද්දිවත් අපිව කැටුව යන්න කව්රුත් ඇවිත් හිටියෙ නෑ.

පස්සෙ අපි ගිහින් පීටීඅයි කෝප්‍රල්ව හමුවුනා. ඒත් ඔහුට කතාකරගන්න පුලුවන් කමක්නම් ඒ වෙලාවෙ තිබුනෙ නෑ. අපිට හිතුනෙ අපිට වඩා ඔහු අඬල කියල. අපි එක්ක කතාකලෙත් ඇස්වල කඳුලු පුරෝගෙන. අපිටත් ඒක ඒ වෙලාවෙ දරාගන්න අමාරුවුනා. අපි පීටීඅයි කෝප්‍රල්ව බදාගෙන ඇඬුවා. ඔහුත් අඬනවා,අපිත් අඬනව. ඉන් පැය භාගෙකට විතර පස්සෙ සැරයන් විජේසිංහ අපිව හොයාගෙන එතැනට එද්දි අපි ඉන්න ආකාරය දැකල එයාටත් ගොඩක් දුක හිතෙන්න ඇති. පස්සෙ සැරයන් විජේසිංහත් අපිට එකතුවෙලා ගොඩක් දේවල් කිව්වා. අපි ආයෙ කවදාහරි කොහොදි හරි මුනගැසෙනවාමයි කියල සපථ කලා. අපේ හිත හැදුවා. පස්සෙ කිව්වා අපිවත් අරන්යන්න වාහනේ ඇවිත් තියෙන්නෙ ඉක්මනින් ලෑස්ති වෙන්න කියලා. ඒ වෙද්දි වෙලාව සවස හතට විතර ඇති. අපිටත් ඉක්මනින්ම සමුගන්න කාලය ඇවිත්. අවසානෙටම යන්නෙත් අපි.
ඊලඟට අපිත් ඉක්මනින්ම අපිව එක්ක යන්න ආපු ට්‍රක් එකට බඩුටික පටවලා ආයෙ දුවගෙන ඇවිත් පීටීඅයි කෝප්‍රල් හමුවුනා. ඒ වෙනකොට ඔහු හිටියෙ ගොඩක් වෙිදනාවකින්,අපිත් යුධ හමුදා ජීවිතේ පලවෙනි සහ අවසාන වතාවට පීටීඅයි කෝප්‍රල්ටත් සැරයන් විජේසිංහටත් දණ ගහල වැන්දා. කාටවත් වඳින සිරිතක් හමුදාව තුල නැහැ. නමුත් බෞද්ධයෙකු ව⁣ශයෙන් කෙනෙකුට දෙන්න පුලුවන් උපරිම ගෞරවය දනගසා වැඳීම. අපි ඒ විදියට ඒ දෙදෙනාටම ⁣උපරිම ගෞරවය දීල ඇවිත් වාහනේට නැග්ගා. ජීවිතේ පළවෙනි වතාවට වෙන්වීමෙි දුක උපරිමයෙන්ම වින්දේ එදා. ඉන් පසු මාස හතරහමාරක් තිස්සේ අපිට සෙවන දුන් සහ දඟකාර යෞවන වියේ පසුවූ තරුණයන් රැසකට පුහුණුවක් ලබාදී සොල්දාදුවන් බවට පත් කර ජීවිතේ පළවෙනි වතාවට නිළ ඇඳුමක් ඇන්ඳවා ජීවත් වෙන්න ඉලක්කයක් ලබාදුන් ඉංජිනේරු සේවා බළකා පුහුණු පාසල් මාතාවට සමුදී අපිත් එන්න පිටත්වුනා.

මෙි පීටීඅයි කෝප්‍රල් නයනානන්ද සමග අදටත් මා කතාකරනවා. දැන්නම් ඔිව මතක් වෙද්දි එයා හිනාවෙනවා, නමුත් එදා අපි වෙන්වී ගියපු වෙලාවෙ දැනුනු දුක වෙිදනාව හැඟිම වචනෙකට උනත් පෙරලන්න බෑ. ඒ තරම් හැඟුම්බරයි.

අපිව එදා ලොරියෙ දාගෙන අරං ආවෙ සංඥා රෙජිමෙින්තු මධ්‍යස්ථානයට. ඒක තිබුනෙත් පනාගොඩ කඳවුර ඇතුලෙමයි. ඒ කඳවුරේ මුරහලේ අපේ අවි ඉබි යතුරු දමා ලොක්කල පසුව නැවත එක්කගෙන ගිහින් කන්න බොන්න දීලා නාගන්න තැන් පෙන්වල රෑට නිදාගන්නත් ගොඩනැගිල්ලක් වෙන් කරල දුන්නා. ඒ අපේ ඒකකයේ පසුමූල ගොඩනැගිල්ල.
නමුත් අපිට හදිසිය තිබුනේ ඒව නෙමෙයි. දැනගන්න උවමනාවී තිබුනේ අපේ ගමනාන්තය කොතනද කියලයි. අපි අපිව එක්ක යන්න ආව ආරක්ෂක මුරයේ සංඥා සෙබළ ජයන්ත කේජී ගෙන් ඇහුවා අපිව කොහෙටද එක්ක යන්නෙ කියල. එයා කිව්වෙ වාලච්චෙිනට කියල. එයා එහෙම කිව්වම අපේ කුතුහලය වුනේ එහෙ තත්වය දැනගැනීම.
නමුත් අපිට වැඩි විස්තර කියන්න ඔහු කැමතිවුනේ නෑ.
අපිත් එදා ඔවුන්ගේ මග පෙන්වීම අනුව කාල බීල රෑ නිදාගත්තා. ඒ පසුවදා පාන්දර පහට නැවත අවදිවී හය වෙද්දි ගමන් ආරම්භ කරන්නට තියෙනවා කියල ලැබුනු නියෝගයත් එක්ක.
සංසෙ ජයන්තම පැමිණ අපි නිදාගන්නට පෙර පැවසුවෙි පාන්දර හතරට අවදි වී මුහුන සොදා පහ වෙද්දි මුරහල අසල නැවත පෙළ හදන්න කියල. ඒ මුරහලේ තැබූ අපේ අවිටික නැවත ගන්න. ඒ වැඩෙත් ඉවර වෙලා හය වෙද්දි ගමන් අරඹන බවත් අපට කීවා.
නුහුරු නුපුරුදු තැනක අපි අපේ අවශ්‍යතාවයන් සියල්ල ඉටුකරගෙන නිදාගත්තේ අළුයම හතරට අවදිවෙන බලාපොරොත්තුවෙන්.

අපේ ගමන නැවත ඇරඹුනා. වාලච්චෙිනට යන පාර වැටී තිබුනේ අපේ ගම මැදින්. මාත් යුහ 6993 අංක දරණ ට්‍රක් රථයේ පිටුපසටම වී සිටියේ ගම මැදින් යද්දි පාරේ හෝ නගරයේ හෝ අඳුරන කිසිවෙකුවත් සිටීදැයි බලාපොරොත්තුවෙන්. එදා ඌරාපොල ටවුමෙිදි එක් අයෙකු මුන ගැසුනා. ඒ අපේ තාත්තාව අපි පොඩි කාලේ සිංහලේ එක්ක යන්න එන ගුණේ මාමා. මා ඔහුව දකිද්දිම නම කෑගසා අතවැනුවා. ඔහුත් මාව අඳුරගෙන අත වැනුවා. එදාම ගුණේ මාමා අපේ ගෙදර ගිහින් මං අතවැනූ හැටි කිව්වා කියල අම්ම මං නිවාඩු ආව පලවෙනි දවසේම කිව්වා.



රුවින් පමුදිත යද්දෙහිආරච්චි
2020.07.01

4 comments:

  1. දාපු ගමන්ම ඇවිල්ලා කියවනවා. කියවල හොර බළල්ලු වගේ ලුහුටල යන එක හරි නෑ නෙව?

    සෙබලෙක්ගෙ ජීවිතේ අපි නොදකින පැත්තක්. ස්තූතියි.

    ReplyDelete
  2. ධර්මෙ ආපහු හම්බුණාද?

    ReplyDelete
  3. නිලධාරි උනත් මිනිස්සුනෙ

    ReplyDelete
  4. බොහොමත්ම ස්තුතියි..ඔබ තුමන්ලාට..

    ReplyDelete