Thursday, July 23, 2020

නච්චිකුඩා බුල්ගැසීම

අපි යුධ සෙබළු වශයෙන් යුධ බිමෙි අත්දැකීම් ගොඩක් තියෙනව. ඒ අත්දැකීම් අතර සමහර ඒව තියෙනව කිව්වම ඔබටවත් කෙරුව මටවත් සමහර වෙලාවල්වලට විශ්වාස නොකල හැකි හිතාගන්න බැරි දේවල්. මටවත් කියල මං මෙතනට දැම්මෙ ඒවා ඒ ඒ වෙලාවල් තුළ ලද මානසිකත්වය මැද මුහුන දී සාර්ථකව සිදුකලත් ඒවා පස්සෙ ආවර්ජනය කිරීමෙිදී  "ඒ මමමද යකෝ ඒක කලේ" කියල මටම හිතෙන දේවල්.  ඒකත් හරියට බයික් එකක පැ.කි.මී.80 විතර වෙිගයෙන් වාහන අතරින් බාධක දිගහැරගෙන ගෙදර ආ පසු කල්පනාවෙන "ඇති මං ඒ විදියට ගෙදරටවත් ආවා" කියල ඇතිවෙන හැඟීම වගේ. නැතිනං "උන්න විදියට මළා මදෑ" වගෙ වෙච්චි සිදුවීම්.
සටන් බිමෙි තව සමහර අත්දැකීම් තියෙනව කාටවත් කියන්න බැරි ඒව. ඒ එක්කො අපි ගහපු දාර බුලක්,නැතිනං උඩ බලාගෙන කෙල ගහන්න බැරුව කියන්න බැරි දෙයක්.

ඔිනෑම සොල්දාදුවෙකුට යුධ පිටියෙත් බුල් වදින අවස්ථා ඔින තරම් තියෙනව. සමහර ඒව ජීවිතෙන් යන්න තරම් දුරදිග යන දේවල් වුනත්, ගොඩක් එව්වා තියෙනව පස්සෙ යාලුවොත් එක්ක කිය කිය හකු බහිනකං හිනාවෙන්න පුලුවන් තරමට වෙච්චි වැරදීම්. (බුල යනු සෙබළ භාෂා සංස්කෘතියේ වැරදීම, අතපසුවීම, වැරැද්ද, අත්වැරැද්ද හඟවයි. ඒවා එක ලඟින් යන වචන වුනත් ඒ ඒ සිදුවීමට අනුව තේරුම් වෙනස් වෙනව).
මටත් කියල ඔිවා අනන්ත වෙලා තියෙනව. සටනක් යන අතරතුර ඔය එකක් වුනොත් ඉතින් බොහෝදුරට  ජීවිතෙන් තමා වන්දි ගෙවන්න වෙන්නෙ.
ඔයාලට විශ්වාස කරන්න බැරි කතාවක් කියලම මගේ කතාව පටන් ගන්නංකො. ඒ දවස්වල අපේ හෙල්මට් අපි හදාගෙන තිබුනේ අව් කාස්ටකේ නිසා රත්වෙන එක ටිකක් හරි අඩුවෙන්න කියල රෙදිපටි දාල කොන්ඩයක්වගේ දාල හදාගෙන. ඒක දාගත්තම තනිකර කොන්ඩයක් දැම්ම වගේමයි. දුරට පේන්නෙ කාන්තාවක් වගේ. මෙිකෙ උපක්‍රමිකව යම් වාසියක් තිබුනත් වැඩිපුර තියෙන්නෙ අවාසිය.
මෙි ආලංකුලම ගමෙිදි වෙච්චි දෙයක්. මෙි ගමෙි අපි පැය 72ක රැකසිට පහරදීමෙි රාජකාරියක් යනව. සම්පූර්ණම එල්ටීටීඊ එක යටතේ තියෙන ගමක්. ඉන්නෙත් උන්ටම උදව් කරන ඈයො.ඒ එල්ටීටීඊ එකේ ඉහල පෙලේ මධ්‍යම තරාතිරමෙි නායකයෙකුගේ ගමක්. ඌ ගමට එන එක නැවැත්වීම තමා මෙි රාජකාරියේ අරමුණ. එක දවසක් හවස තුනට විතර අපිට මෙි ගමෙිදී උන් ගැහුවා. ගම්මන්ඩියකයි කැලේකයි කරන සටන් එකිනෙකට වෙනස්. මෙතන කරන්න තිබුනෙ ඒ දෙකම එකතු කරල වෙනම එකක්. මෙි ඇම්බුෂ් එකේ අපේ එල්එම්ජියක් දාල තිබුනු තැනකට උන් පැල් බැඳගෙන දෙන්න තියාගත්තා. ඊට ටිකක් ඉස්සරහින් හිටපු අපේ එකෙකුට ඒ ගහන කොටි ඉන්න තැනට ග්‍රෙනේඩ් එකක් ගහන්න අවස්ථාවක් ආව. ඌ K400 වර්ගයේ බෝම්බයක් ගහන්න ඇදල ගත්තත් පද්දල වීසි කරන්න හදනකොට උගේ කොන්ඩෙ වගේ දිගට දාල තිබ්බ හෙල්මට් එකේ රෙදි පටි වල මෙික පැටලුනා. මූ ක්ෂණිකව කලේ හෙල්මට් එකත් බෝම්බෙ එක්කම ගලෝල විසිකරන එක. ඒ විසිකරලත් මූ මීටර් පනහක් විතර පස්සට දුවල තමා බෙිරුනේ. මෙි සිදුවීම අපි ඇතුලට ඇවිත් කිව්වත් හරි එදායින් පස්සෙ අපි කවුරුත්ම හෙල්මට් එකේ දාරෙන් පල්ලෙහාට රෙදිපටි එල්ලෙන්න දැම්මෙ නෑ.
මෙි මට වෙච්චි දෙයක්.
මෙික නච්චිකුඩා ඩිෆෙන්ස් ලයින් එකේදි මට වෙච්චි හරි ආතල් වැඩක්.
මම එතකොට ඇම්බුෂ් ටීම් එකකට අණදෙන්නෙක්. ඒ කියන්නෙ පෙළ භාර කෝප්‍රල් වරයෙක්.
එදින සවස හතරට පමණ  පණිවිඩයක් එනව වහාම ඇවිත් නිළධාරි අණදෙන තුමා හම්බවෙන්න කියල. මාත් ගියා.
*ආරච්චි උන්නැහේ, හෙට රෑට ඔයාගෙ ටීම් එකෙන් අරුන්දැලගෙ අහවල් කලාපයෙන් ලයින් එකට ප්‍රහාරයක් එල්ල කරන්න ඔින. ඒකට අදාල වෙන ඒ ඒරියා එකම රෙකී කරන්න ඔින අද රෑටම. තේරුනානේ.??.
*ඔව් සර්.
*ඔක්කොම යන්න එපා.හතර දෙනෙක් ගියානං ඇති. හැබැයි පුතා ඔයයි හෙට උන්ගෙ ලයින් එකට ගහන්නෙ, ඒ නිසා ජොබ්එක හන්ඩප්පසන්ට් කරගන්න ඔින ඈ.
*හරි සර්.

මාත් එතුමාගෙන්ම අවශ්‍ය අනිත් විස්තරත් අහගෙන ඇවිත් රෑ නවයට විතර ලයින් එකට යන්න පිටත්වුනා. අපි ගියේ හතර දෙනයි. අරමුන රෙකී කිරීම.
 රෑ දොලහ එක වෙනකොට බඩ ගාල බඩගාල අදාල තැනට ගිහින් හොඳට උන්ගෙ ලයින් එකේ වෙනදේවල් බලාගෙන අහගෙන හිටියා. බංකරවල පිහිටීම,සෙන්ට්‍රි ඉන්න තැන්,සෙන්ට්‍රි මාරුවෙන වෙලාවල් සහ අනෙක් වැදගත් තොරතුරු ඔක්කොම මීටරේට දාගත්තා. අපි ගිහින් හිටපු තැන ඉඳන් කොටින්ගෙ ලයින් එකට මීටර් විස්සක්,උපරිම තිහක් දුර ඇති. මෙතනට උන් කතාවෙන දේවල් පවා හොඳට ඇහෙනව.

අපි හතර දෙනාම ගියේ පොල් ඉරට්ටක්වත් කැඩෙන තරම් සද්දයක් අපෙන් ඇති නොවන ආකාරයට. ඒ තරම් සූක්ෂ්ම විදියට එතනට ගිහින් පාන්දර තුන හතර විතර වෙනකං මට අවශ්‍යවෙන විස්තර ඔක්කොම එක්රැස් කරගත්තා.
ඒ වෙද්දි උන්ගෙ ලයින් එකේ ඈතින් ලයිට් ඔිප් කරමු වාහනයක් එන සද්දයක් ඇහුනා.
අපි බලාගෙන හිටියෙ මෙි වෙලාවට මොකා මෙි හරියෙ කරක් ගහන්න එනවද කියල. අපේ වැඩෙි ඉවරවුනාට පස්සෙ ගියපු විදියටම ආපහු එන්නත් ඔින. අපි කතාවුනා හිටිය ඇති පස්සට යමු කියල.
අපි පස්සට පස්සට එනකොට අපේ එකෙක් අඩුයි. ඒ මට දකුණෙන් කෙලවරේම හිටපු එකා. මීටර් පනහක් විතර පස්සට ආහම තමා මං බැලුවෙ කට්ටිය හරිද කියල. මොකද ටෙරා ඔයවගේ වාහනයක් එනකොට ඒ ශබ්දය වහගන්න අපිට ප්‍රහාර එල්ල කරනවා. එතකොට අපිත් ප්‍රහාර එල්ල කරනවා. ඒවා ආටි මෝටාර් ගහන්න තරම් දුර යන ඒව නෙමෙි වුනත් සුවර් නැති බව දන්න නිසා තමා  පස්සට ආවෙ. ඇවිත් එක තැනක නැවතුනා.

*කෝපල් ආරච්චි, කෝ වීර නෑනෙ.
*දැන්ද කියන්නෙ හුක්.මොකාද ඌ ලඟ හිටිය එකා.
*මං හිටියෙ කෝප්‍රල්, කියල සංජීවයා ඉදිරිපත්උනා.
*ඒනං තෝම ගිහින් එක්කවර. ගොං ප&@%$යා කියල මාත් සද්දයක් දැම්මා.(මෙිව කතාකරන්නෙ රහසින්.)
මූ ආයෙ අර විදියටම බඩගාගෙන ගාගෙන වීරසේකර හිටපු තැනට ගිහින් බලද්දි මූ සැපට නිදිලු. කොහොම හරි මූවත් ඇහැරවගෙන ආපහු එද්දි ටෙරාට දැනිල අපි ඉන්න දිහාට වෙඩි තියන්න පටන්ගත්තා.
ඒ වෙද්දි අපි හිටියෙ කැඩිච්චි ගේක ඉතුරුවෙලා තිබ්බ බිත්තියකට කවර් වෙලා.
කොහොම හරි අරුන් දෙන්න නොමැරී අපි ඉන්න තැනට ආව. ආයෙ මුල ඉඳන් අපි පස්සට එන්න හදනකොට ඒක එච්චර අපේ සරීර සවුක්කියට හොඳ නැති බව හැඟුනු නිසා ඇති තරමක් වෙඩි තියපියව්කො කියල අපි හැංගිලා බලා හිටියා.
ඔය අස්සෙ එතනට තවත් කොටි කීප දෙනෙක් එන බව තේරිල අපි ලෑස්තිවුනා අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන්න. මෙිව රෙකී පාටියකින් නොකරන දේවල් වුනත් දැං කොහොමත් අපේ වැඩෙි මාට්ටු නිසා වෙන දෙයක් වෙච්චාවෙ කියල තමා ඒ තීරණේ ගත්තෙ.
වෙඩි සද්දෙ ඇහුනු ගමන් සෙට් එකේ අපිට කතාකරල ඇහුව මොකද්ද අවුල කියල. අපි කිව්වා අපිට අවුලක් නෑ, උන් සැකේට ගහන්නෙ කියල. එතනින් ඒ ප්‍රශ්නෙ ඉවරවුනත් අපි පස්සටත් යායුතුයි. මටත් එකපාරටම මොලේ දකුණු පැත්තෙන් විදුලි කොටන්නාක් මෙන් මරි මෝඩ අදහසක් ආව.
මං මගේ ඉස්සරහ හිටපු එවුන් දෙන්නට
*ඒ.තොපි දෙන්නා ගහපියව් ග්‍රෙනේඩ් දෙකක්. දැං කෝමත් එකයිනෙ.
*අවුලක් යයිද කෝප්‍රල්.
*අවුලක් ගියොත් දැනගන්න පුලුවන්. ඊට කලින් ගහපල්ලකො.
මුං දෙන්නත් නැගිටල ග්‍රෙනේඩ් දෙකක් අරන් පින් පන්නල උන්ගෙ ලයින් එකට විසිකලා. එකක් සද්දයක් නැතුව අභ්‍යවකාශෙ පාවෙලා ටාගට් එක හොයාගෙන  ගියාට එක ගෙනේඩ් එකක අමුතු සද්දයක් ආව. ඒක නිකන් "ගිඩිස්" ගානව වගේ සද්දයක්. ඒ සද්දෙ ඇහිච්චි සැනින් මාත් බස්සත් හැකි ඉක්මනින් උන්නු තැනින් නැගිටලා
*දුවපියාව්... කියාගෙන කකුල් දෙකට උපරිම හයිය අරන් දිව්වා. එහෙම දුවන්න පටන් ගන්නකොටම "සලං ටොක්,ටරං,ටරං" සද්දෙකුත් ⁣ඇහිලා අපි තවත් වෙිගෙ වැඩි කලා. අඩි දහයක් විස්සක් එහෙම දුවද්දි බෝම්බ ගහපු එවුන් දෙන්න එක එල්ලේ කෙලින් බලාගෙන අපිවත් ඉස්සර කරගෙන  දුවනව. ඒ පිම්ම නැවතුනේ අපේ ලයින් එකේ.
අපේ ලයින් එකත් උන්ගෙ ලයින් එකත් අතර ඒ හරියෙ දුර මීටර් සීයක් එකසිය පනහක් වගේ තිබ්බෙ. වීරසේකරය ගහපු ග්‍රෙනේඩ් එක අපි හිටපු තැන කොහොඹ ගහෙත් වැදිල අතුවලත් වැදිල බිමට වැටෙන සද්දෙ තමා අර ඇහුනෙ. එතන හිටියනං හතර දෙනාටම බඩුම තමා.අපි හිටපු තැනමයි පුපුරල ගියෙ.

 ඔහොම දුවගෙන ලයින් එකට එනකොට ඒ අහුඅස්සෙ එතන හිටපු සැරයන් පේමලාල් ආර්පීජී ගන් එක අරගෙන අපිට වෙඩි තිබ්බ උන්ට එක එක සෙල්ලං දාන්න පටන් ගත්තා. එයා අපි බලා ඉද්දිම ආර්පීජී දෙකක් ගැහුවා. ගැහුවෙ අරුන්දැල ගෝනි දාල  ලයින් එක වහල තියෙන තැනකට.එතැන තමා උන්ගෙ බංකරේ තියෙන්නෙ. ඒත් දෙකම ටාගට් ගියේනෑ. පට්ට කලුවරේනෙ. ඒක එච්චර ඇඟට ගුණදායක නෑ කියල හැඟුනු මම;

*සැරයන් ඔය වැඩෙි හරියන්නෑ. වහාම නවත්තන්ඩ. ඔයාගෙ හොඳටයි කිව්වෙ ඈ..
*ඇනැප්පැලයැන් යැන්ඩ. මුන්ට දෙන්ඩම ඔින සොට්ටෙක. කියල ආයෙ ගන් එකට බෝම්බයක් දැම්මා.
මාත් වැඩි යමක් කියන්න ගියේනෑ. එයා සාජන් කෙනෙක්නෙ. මං කෝකටත් කියල වම්පැත්තෙ පොයින්ට් එකට දෙ⁣න්නෙක් යවල,මායි සංජීවයි දකුණු පැත්තෙ පොයින්ට් එකට ගිහින් ට්‍රෙන්චස් එකට බැහැගත්තා.
විනාඩි පහක් යන්න ඇති. ගිනි දැල් විහිදුවාගෙන ආපු කොටින්ගෙ ආර්පීජී එකක් සැරයන් පේමලාල් හිටපු තැන තිබුනු කොහොඹ ගහේ වැදී පුපුරා ගියා. ඒකෙන් එයා සුළු තුවාල ලැබුවා. අනෙක් අයට අවුලක් වෙලා නෑ. මාත් දඩිබිඩි ගාල සැරයක්ට මොකද බලන්න දුවගෙන එද්දි පොර අතින් මූන වහගෙන අපි ඉන්න පැත්තට එනවා.
"කෙලවුනා බං" කියාගෙන.
*කොහොමද සාජන් සැප හොඳයිනේ. ඔික තමා මං කිව්වෙ. කියන කොට
*තොගේ කටහිංද තමයි මෙික වුනේ ප*@&$යො.
*කට හිංද නෙමෙි උනේ. පාඩුවෙ හිටියනං ඉවරනෙ. දන්න හිංද තමා කිව්වෙ. මොකද මාත් ඔහොම උන්ට ටුක්කන්ඩ ගිහින් දෙතුන් පාරක් මට්ටු වෙලා හිටියෙ.
පස්සෙ එයාව පස්සට අරං ප්‍රථිකාරවලට යොමුකරල අපිත් එන්න ආව.

පහුවදා මොන ලයින් එකට ගැහිල්ලක්ද. ඔිසීගෙන් බැනුනුත් අහල ආයෙ පහුවදා රෑ, අමුතුවෙන් මුල ඉඳන් රෙකී එකක් ගියා.

රුවින් පමුදිත යද්දෙහිආරච්චි.
2020.07.23

1 comment:

  1. ඇඟ කිළිපොලායන හාස්‍ය රසය. මේක අලුත් කැටගරියක්.

    ReplyDelete