Monday, July 6, 2020

කායංකේනි රොටී කාපු හැටි

කායංකේනි කඳවුරේදි තමා මෙි කතාව වුනේ.
මෙතන තිබුනා කලපුව හරහා පාලමක්. ඔය පාලම උඩ තිබුනා රෝඩ් බ්ලොක් එකක්. මෙතන ප්‍රධාන රාජකාරිය තමා වෙරුගල් කොටසට බැටරි,ඉලෙක්ට්‍රික් බඩු සහ ඉන්ධන වගේම ඉහල මූලස්ථානවලින් නම් කරල තියෙන තහනම් ද්‍රව්‍ය ගෙන යෑම වැළැක්වීම. භූමිතෙල් එක්කෙනෙකුට උපරිම ලීටර පහයි. බැටරි කොහොමත් තහනම්. එක්කෙනෙකුට ලොකු බැටරි කෑලි දෙකක් සතියකට සැරයක් ගෙනියන්න පුලුවන්. ඊට වඩා බෑ. ඒකත් පෙන්නල අරන් යන්න ඔින.

 ඔය මාර්ග බාධක රාජකාරි ඉන්නකොට මෙතනින් යන දෙමල මිනිස්සු මට මාර බයයි. මං ඉන්නවනං හරිම සීරුවට තමා ගමන් කරන්නෙ. ඒවටත් එක එක හේතු තිබුනා.  මෙතනින් යන එන අයගෙන් මාත් එක්ක යාලු මාන්කේනි මුස්ලිම් කඩෙි මුජිබර් මුදලාලියි පාං සුදා අංකලුයි විතරයි.
ඒ දෙන්න මං හිටියත් නොයින්න ගානට තමා වැ⁣ඩ. ඒ කියල එයාල තහනම් බඩු ගිනියන්නෑ. මුජිබර් මුදලාලි යන එන තැපැල් නයින්ටියත් හරියට කඩයක් වගේ. ඒකෙ කවදාවත් සිගරට්, ගිනිපෙට්ටි, විටක් දෙකක්, ලංකාබෙල් කාඩ්, වර්ග දෙක තුනකින් සබන් කැට කිහිපයක්, සර්ප්එක්සෙල් පැකට් කිහිපයක් වරදින්නෑ. මොකද හමුදාවෙ අයට සල්ලි දීල ගන්න පාරෙ යන එන ඔින වෙලාවක ඒ බඩු එයා ගාව තියෙනව.ඒව විකුනන්නෙත් ආමි, පොලිස් අයට විතරයි.ඒක කරන්නෙත් අපිට උදව්වක් හැටියට. පලාතකවත් කඩයක් නැති කෑම්ප් ලඟ හවසට යද්දි පැය බාගෙයක් පැයක් නැවතිලා ඉඳල තමා යන්නෙත්. එයාමත් කියනව ඇතුලෙ සිගරට් එහෙම ඔින අය ඉන්නවනං කතා කරන්න කියල.

අපේ කව්රුත් මෙි දෙන්නට මොකුත් කියන්නෙත් නෑ. හොරෙන් සැරබීම බෝතලයක් හෙම ගෙන්න ගන්නවනං මුජිබර් මුදලාලි තමා කාටත් පිහිට වෙන්නෙ. ඔතන ජනාදිපති සෙන්ට්‍රි ඉඳල චෙක්කරල අරක්කු බෝතලේ අහුවුනත් ආයෙ පාවාදීම් නෑ. එයාට බොන්න තමා ගෙනියන්නෙ. අපිටත් කිසි බයක් නෑ. එයා හිංදම කීප වරක්ම මංමත් බෙිරිල තියෙනව.
ආයෙ පාං සුදා. එයා ගේන පාංවලට වැඩි වටිනාකමක් දුන්නෙ පල්ලෙ තියෙන කලපුවෙි හිටපු මාලු. මටනං පාංපිටි, ඊස් ටිකක් වගේ දේවල්. ඊස්නං ගන්නෙ කරිඤ්ඤං ගහන්ඩ. (දැං ඉතින් පැන්සන් හින්ද කියන්න බයවෙන්න දේකුත් නෑනෙ.)
 අපේ කට්ටියත් තුනට විතර සෙනග අඩු වෙලාවට ඔතන බිලීබාල අල්ලන මාලුවලට ඔක්කොම සැන්ටින් වෙලා හැමදාම පාං අර ගන්නව. හැබැයි මෙිව කරන්නෙ හොරෙන්.

හැමදාම ඔතනින් යන එන තව කෙනෙක් හිටියා. ඒ ඔිට්ටමාවඩි කලපුවෙ දැල් ගහන අංකල් කෙනෙක් විසි දැලකුත් අරං. එදා මං ඔිෆ් හිටියෙ. ඔිෆ් කිව්වට ඔිෆ් එකත් රාජකාරියක්. ඒ තමා  පාලමෙි ඩියුටි ඉන්න කට්ටියට බත් වතුර අදින එක. එදා හවස්ජාමෙ විසිදැලත් සයිකලේ ලැගිජ් එකේ ගැටගහගෙන මාලු වැලකුත් හැඬල් එකේ එල්ලගෙන තමා ඔය මනුස්සය ආවෙ. මාත් ඒ වෙද්දි නිකන්ම හිටපු හිංද එක පාරටම විසිදැලක් ගැසීමෙි දොලක් උපන්නා.  පස්සෙ අරුන්දැගෙ දැලත් අරගෙන විසි කරන්න හදාගන්න විදියට එයාටම කියල හදාගෙන ඇඳගෙන හිටපු යුනිපෝම් කලිසම පිටින්ම  බැස්ස කලපුවෙ අයිනෙ මතුවෙලා තිබ්බ ගලක් උඩට. මාලු ඇල්ලීම නෙමෙි පරමාර්තය. දැල විසිකිරීම පමණයි. කරුමක්කාරයො ඉදල පැටලුනාට ඉතින් මට කරන්න දෙයක් නෑ. මාත් පස්සෙ අරුන්දැ කියා දුන්නු විදියට පැද්දිල පැද්දිල ඔලුව වටෙත් රවුමක් කරකල දනිස් දෙකෙන් පොඩි කික් එක්කුත් අරං අවුරුදු විස්සක් දැල් ගහල පලපුරුද්දක් තියෙනව වගේ ආඩම්බරෙන් අල්ලල විසික්කොලා. හැමෝටම බෑ විසිදැල් ගහන්න. මට ඒ තියෙන හැකියාවන් අපේ ඔිසීත් දැනගන්න ඔින. අපි වගේ නැගී එන තරුවලට  තැනක් දෙන්නම ඔින. මාත් ඔහොම හිත හිතා තමා ඔික විසිකලේ.
අම්මටහුඩු කියාල්ලකො. දැලෙන් බාගයක් ගලේ. මං කලපුවෙ මැද. නිකන්මත් නෙමෙි,  වටෙිකුත් කැරකිල වැටුනෙ.

පස්සෙ දැලටයි දැල දුන්නු එකාටයි දැල විසික්කරපු එකාටයි බැන බැන අර මඩ ගොඩෙි බඩ ගාල බඩගාල ගොඩ ආව. අරුන්දැ හයියෙන් හිනාවෙනව. පාලම උඩ ඉඳන් මාව දැල විසිකරන්න අප් කරපු එවුන් අප්පුඩි ගග ගගහ හිනාවෙනව. එදයින් අදත් දැල් විසික්කරනව තියා විසික් කරන දැලක් තියෙන තැනකින්වත් මම නෙමෙි යන්නෙ.
කතාවට යමුකො. මෙි කඳවුරෙන් අපි යනව නිරීක්ෂණ මුර දෙකක්. ඒ යන්නෙ රෝඩ් බ්ලොක් එකේ ආරක්ෂාවටයි පාරෙ ඉන්න පිකට් එකේ ආරක්ෂාවටයි. මෙතනින් එහා පැත්ත තනිකරම කොටි ගමක්. අවදානම අදිකයි. ඒත් එහෙමයි කියල මෙි මොන රාජකාරිය ගියත් අපේ පිස්සුව අඩුවුනෙත් නෑ, ආතල් අඩුවුනෙත් නෑ. එදාත් හරි ආතල් දවසක්. ඒකට හේතුව අපේ ඔිසී නිවාඩු යෑම. එයා නිවාඩුවක් ගිහින් ආහම අපි ඇඟිලි ගැන ගැන ඉන්නේ ආයෙ කවද්ද එයා නිවාඩු යන්නෙ කියල බලාගෙන. හමුදාවෙ අයනං දන්නව ඒකකයක අණදෙන නිලධාරි සහ කන්ඩායමක ඔිසී කියන්නෙ හරියට තාත්ත කෙනෙක් වගේ කියල. අම්ම එක්ක කොච්චර සෙල්ලං දැම්මත් ඒ සෙල්ලං තාත්ත එක්ක බෑනෙ. ඒ වගේම තමා මෙිකත්.

වෙනසකට තිබුනෙ මෙි තාත්ත වගේ උන්දැට මගේ නොහොබිනා කියාකලාපය කීප වරක්ම නිරීක්ෂනය වෙලා අවවාද අනුසාසනා කෝටියක් විතර අහල තිබීම. හැබැයි ඉතින් අනික් අයයි මෙතුමයි අතර හොඳක් තිබ්බෙ මෙතුම අපිට බැනල බැනල බයකර ගන්න එක විතරයි. චාජ් ශීට් ගහල දඬුවම් දෙන්න තරං හිත දරුණුත් නෑ. ඒ හිංදමද මංද අපි කීප දෙනෙක් කවදාවත් හැදුනෙත් නෑ. (අද ලුතිතන් කර්නල් වරයෙක්)

මගේ බුද්ධි තොරතුරු අනුව එදා ඔිසී නිවාඩු යනව. මං දැක්ක උදේම බෝල බුබුලු සබන් ඇඟ හැමතැනම ගාල නාල එහෙම ලෑස්ති වෙනව. මාත් ඒ පැත්තෙ රබර් ඇහැ දාගෙන බලං හිටියෙ අද ඔිපී හිටපු නිසා. පස්සෙ ඒක ස්තිර කරගන්න හොරෙන් හොරෙන් සර්ගෙ හට් එක වටෙි කැරකි කැරකි ඉඳල බඩියගෙන් ඇහුව,
*අඩෝ මෙහෙ වරෙන් ටිකකට
*ඇයි කෝපුල් (මං සාසෙ උනත් ගොඩක් අය මට කතාකලේ කෝපල් කියල. ඒ චූටි බුලක් වැදිල කිරාන් වලදි ඇඳපු පටිය ගැලවිල තිබුනු නිසා)
*සර් අද නිවාඩු යන්නද අර ලෑස්ති වෙන්නෙ.
*කිව්වෙනං නෑ කෝප්‍රල්, හැබැයි ඊයෙ නිවාඩුනං දාල ආවෙ.
සර්ගෙ බඩිය දකුණු අප්‍රිකානු සම්බවයක් තියෙන අලුත් කොල්ලෙක්. කලුම කලුයි. අප්‍රිකානු පෙනුමක්මයි තියෙන්නෙ.

මාත් ඔික අහගෙන ගිහින් එදා නිරීක්ෂණ මුරයේ (OBSERVATION  PARTY)  හිටපු මගේ ඉන්චාජ් කෝප්‍රල්ට කිව්වම දෙන්නටම හක්ක පුරෝලාම හිනැස්සක් ගියා. ඇයි ඉතින් අවුරුදු වගේනෙ. සෙල්ලංද දවස් දහයක් කියන්නෙ. අනිත් නිළධාරින් හොඳයි. අපිත් එක්ක ෆන් එකට කියාපු බඩු ටික. දෙන්නයි හිටියෙ. දෙන්නම එහෙම තමා. ඔීසී නිවාඩු ගියාම වැඩබලන්නෙ ලුතිතන්  ගුණසේකර. ඔිසී එක්ක බැරි, එයා හිටපු ගමන් එනව මෙි පොයින්ට්වලට විසිට් එක. ඒකයි ඔිසී ඉද්දි වැඩි දේවල් වලට අත ගහන්නැත්තෙ.

එදා මං මෙස් එකට පැනල පොල්ගෙඩි දෙකක් මිරිස්කරල් කිහිපයක් ලුනු,ලූනු  අනංමනං රොටී පුච්චල මාලු හොද්දක් හදාගන්න ඔින කරන ඒව ඉල්ලගත්තා. ඒ ඌටත් රොටියි මාලු හොදියි එවීමෙි පොරොන්දුව මත. ඒවත් කරේ තියෙන පැක් එකට දාගෙන ඊට කලින් දවසක පාං සුදාගෙන් මිලදී ගෙනත් පෙට්ටියෙ දාල හංගගෙන හිටපු පාං පිටි ටිකත් දා ගත්තා.
පස්සෙ ගානක් නැතුව ගිහින් නියෝගත් අරගෙන අපි ගමනට පිටත්වුනා.
අපි මාලු ගන්නෙ පාරෙ යන බයිසිකල් වලින්. මාංකේනි වැල්ලෙ අල්ලන මාලු මෙි පාරෙන් තමා මාකට් එකට පුට් සයිකල් වලින් මෝටර් සයිකල් වලින් යන්නෙ. රුපියල් පනහක් දුන්නම මල්ලක් පුරෝලා දෙනව.
අපිත් පොයින්ට් එකට ගිහින් ගෙනාපු බඩු ටිකත් තියල මං  පාර අයිනට ආව. ඒ ආවෙ මාලු ගන්න. සයිකලයක් නවත්තල මාලුත් අරං මං ආයෙ පොයින්ට් එකට ගියා. ගිහින් අනිකා ගහක් උඩ නග්ගල සෙන්ට්‍රි තියල මායි කෝප්‍රල් පෙරේරයි යට ඉඳන් රොටී පුච්චන කියාංවිතයට බැස්සා.

දැන් දෙන්න දාඩිය පොල්ල දාගෙන බිම එරමිනිය ගොතාගෙන ඉඳගෙන පිටි අනනව. ඒකත් දෙන්න එක්කම  අනල අනල හට්ටියකට දාල දර ටිකකුත් එක්කාසු කරල ගොඩ ගහල කෝප්‍රල්ට රොටී පුච්චන්න කියල මං මාලු සුද්ද කරන්න පටන් ගත්තා. අපිට පිහි නෑ. ඔය මොන දේ කරන්නෙත් චීන්නු ලංකාවට  යුද්දෙ කරගනින් කියල හදල එවපු ටී පනස්හයේ කොටස්වලින්ම තමා. සැමන් ටින් චීස් ටින් කඩන්න, වෙනම පොට් එකක් තියෙනව. පොල් ටිකක් ගා ගාන්න, අලයක් කාරිය සුද්ද කරගන්න ,මාලු කෑල්ලක් මස් කෑල්ලක් කපාගන්න කියාපු බඩු කෑල්ල තමා රිසිවින් කවර් එක. ඔිගොල්ලො දැකල ඇති මෙි තුවක්කුවෙි බටි එක ගාවට තියෙන කඳ කොටස වහල තියෙන කවරය. ආං ඒකතමා ඒ.

මාත් මගේ අවියෙන් ඔික ගලෝගෙන මාලු ටිකත් සුද්ද කරලා කෑලිත් කපල සුපිරි හොද්දක් ගැහුවා. ඔිකට මං මෙස් එකෙන් උස්සපු අල ගෙඩි දෙක තුනකුත් කපල දාල හැදුවෙ. පිලිවෙලක් වැඩක් නෑ. ලඟ පරිප්පු වම්බටු කරවල තිබුනනං මාලු එකට ඔිවත් දානව ඉතිං. එහෙම තමා මගේ වැඩ.

පිටි කිලෝ දෙකකින් රොටී බර ගානක් හැදුව. කෝපල් පෙරේරා හෙන කලාකරය. රොටිය වුනත් පොරට කලාවට තියෙන්න ඔින. ඒක රවුමට හදන්න ගත්තෙ අපි වතුර බොන්න පොයින්ට් එකේ සුද්ද කරල තිබුනු පොල් කට්ට. එයාත් හරි කලාත්මක විදියට සහ කන්න දුක හිතෙන විදිහේ ලස්සනට රොටී ටික පිච්චුව. මාත් වෙනම පොලවෙ වලක් හාරල ලිපක් හදල පැත්තක ඉඳන් හොද්ද ගැහුව. සුවඳේ බෑ. පාංනං දහයකට රොටීනං පනහකට බය නැතුව වග කියන්න පුලුවන්. (මෙි හට්ටි මුට්ටි අපි පෝර උරයක දාල මග හංගල තියෙන්නෙ, පොයින්ට් එකට එනකොට තමා හංගපු තැනින් අරං එන්නෙ)

පිටි කිලෝ දෙකකින් රොටී පිච්චුවෙ ලඟ තියෙන පිකට් පොයින්ට් දෙකටයි කුස්සියෙ එකාටයි අපි තුන් දෙනාටයි.

අපේ වැඩෙි පැය දෙකක් යනකොට ඉවරෙටම ඉවරයි. ඊලඟට ආහාර අනුභවය. එපාම කරපු එක.

ඊට කලින් මෙික බෙදන්නත් එපෑයැ. මං කිව්ව ගහ උඩ ඉන්න එකාට පිකට් පොයින්ට් එකට කතා කරල එකෙක් ගෙන්න ගන්න කියල රොටී ටික යවන්න. ඒ පනිවිඩෙි දෙන්නෙ ඩබල් හූවකින්. මොකද මෙතන සෙට් එකක් නෑ. ඔය හූව ඇහිච්චම ඇහෙන එකා එක හූවක් දෙනව. ආයෙ මෙි පැත්තෙන් හූවක් දුන්නනං අරුන්දැල දන්නව මොකක් හරි ගේමක් තමා කියල. පස්සෙ කව්රු හරි එනව පලමුව හූ කිව්ව එකා ඉන්න තැනට ගේම බලන්න.

*හුහ්...හූඌඌඌඌඌඌ....
*හූඌඌඌඌඌඌ
*හූඌඌඌඌඌඌ ඌ

විනාඩි විස්සක් විතර යද්දි එකෙක් ⁣ආව. උගේ පොයින්ට් එකටයි අනිත් පොයින්ට් එකටයි ඇතිවෙන්න රොටියි හොදියි බෙදල තිබුනෙ මෙස්ටින් එකකට දාල.  ඒක අරන් යන්න කියන කොට ඌ මුනු මුනු ගාල මොන මොනවාදෝ පවසනව මට තේරුං ගියේම නෑ. මට මලත් පැනගෙන එනකොටම මූට පිටිපස්සෙ පඳුරක් අස්සෙන්  තව රුවක් හැංගිල ඉඳල එකපාරටම මතුවුනා.

*හද්දෙයියනේ ඔීසී ඔයාහ්????

කාලවරෙන්කො බඩු අතේ මාට්ටුනෙ.
*ආ මෙහෙ එන්ඩ මෙහෙ එන්ඩ දෙන්න තුන් දෙනාම මෙහෙ එන්ඩ. තමුන්ල එහෙනං ඔිපී ඇහිත් මෙිකයි කරන්නෙ ආ...
* නෑ සර් මෙි මෙි...
*නෑ නෑ... කතා ඔින නෑ. එන්න යන්න බබ්බු ටික. ඇයි දෙන කෑම මදිනෙ නේද. එන්න යන්න මගේ වෙනම කෑමක් තියෙනව දෙන්න. අකුල ගන්නකෝ හොඳ ලමයි වගේ බඩු ටික.

කෝප්‍රල්ගෙ ඇස් සුවිසල් වෙලා. මගේ කට ඇරිල,අනිකගෙ නාහෙ කබ පිරිල. පැත්තක ඉඳල රොටී කන්ඩ ආපු එකා උගුර පාදනව. දතේත් එක්ක හොටු. නාහෙන් කෙලත් ගලනව. කරන්න දෙයක් නෑ. පැනල දුවන්ඩයැ.

ඒ අස්සෙ කෝප්‍රල් පෙරේරා අහනව,
*සර් නිවාඩු ගියෙ නැද්ද? කියල. එක්කො කට පියාගෙන හිටුකො වැඩෙි මාට්ටු වෙච්චි එකේ.

*ආ.. තමුන්ල බලං ඉන්නෙ මං නිවාඩු යනකං මෙිව කරන්න නේ??
*අනේ නෑ සර්, මං දැක්ක සර් සර් නිවාඩු යන්න වගේ හිටිය. එයා ඒ අස්සෙ ඔිසී බැලන්ස් කරන්න ට්‍රයි කරනව.
*නෑ. නෑ. යන්න වගේ හිටියට යන්න උනේ නෑනෙ.වෙිලිල තියෙන්නෙ මෙි දවස්වල. ගන්නකො බඩු ටික.

චික්!! කිව්ව කැත කතාවෙ මහත..

දැන් මගේ අතේ මාලු හට්ටිය,කෝප්‍රල් අතේ රොටී ටික. සෙනා අතේ හට්ටි ටික. කොහොම හරි අමාරුවෙන් හදාගත්තු ටික හලාගන්නෙ නැතුව අපිත් පඳුරු පඳුරු අස්සෙන් අමාරුවෙන් අමාරුවෙන් පාරටත් ආව. එතකොට ඔිසී
*කෝප්‍රල් පෙරේරා හා හා රොටි මල්ල ඔලුවෙ. හ්ම් හ්ම්.. ආරච්චි තමුසෙ තියාගන්නව මාලු හට්ටිය. සේනාරත්න තමුසෙ අනික් හට්ටි ටික ඔලුවෙ තියාගන්නවා.
අපිත් සුවච කීකරු දරුවො වගේ ඒ අණ සරණ ගියා.

දැන් කෑම්ප් එකට යනකං කෑ ගහන්න ඔින. මෙහෙම. කෝපල් පෙරේරා රොටී රොටී කියල කෑ ගහනවා. ආරච්චි මාලු මාලු කියල කෑ ගහනව,සේනාරත්න තමුසෙ හට්ටි ලාබායි කියල කෑ ගහනව. තේරුනානෙ?? හා පටන් ගන්නව.
*සර් මෙි මහපාරෙ???
*⁣ඔව්. මහපාරෙ. සිවිල් මිනිස්සු එනකොට නවත්තනව ගියාම ආයෙ පටන් ගන්නව. හ්ම් දැන් පටන් ගන්නවා,

කෝප්‍රල් පෙරේරා...
*රොටී රොටීඊඊඊ  රොටී...රොටීඊ ඊඊඊඊඊඊඊඊඊ
එයා රොටී කිව්වම මං,
*මාලෝ මාලෝඔිඔි මාලෝ...මාලෝ ඕඕඔිඔි . මට තමා අමාරුම එක හම්බුනේ.
ඊලඟට සෙනා.
*හට්ටි මුට්ටි හට්ටි මුටිටීඊඊඊඊඊඊ ලාබායීඊඊඊ ලාබායිඊඊඊඊඊඊඊ
අපි ඔහොම කෑ ගහන්ඩ කෑ ගහන්ඩ ඔිසී චූන් වෙනව. චූන් වෙලා හිනා වෙනව. ආයෙ හිනා වෙනව ආයෙ චුන් වෙනව. අපි තුන් දෙනා ඔිසී චූන් වෙනව බලං ඉඳල වෙනම එකක් චූන් වෙනව. හත්තිකේ ඉයරයිනෙ ලංසු ජීවිතේ. අනික තරුන කොල්ලො. තාත්ත හෙම දැක්කනං මොනා නොකියයිද.

ඔහොම විලිසංගෙයක් නැතුව අපිත් කෑ ගග ගගහ ගියා පාලමට යනකං. පාලමෙන් ඔක්කොම බිමින් තියල, එතන ඉන්න වුන්ට රොටී කැල්ලයි මාලු කෑල්ලයි හොදි සුට්ටයි. රොටී කෑල්ලයි මාලු කෑල්ලයි හොදි සුට්ටයි බෙදුව.
ඊ ලඟට මෙින් ගේට් එක ගාව. එතනත් එහෙමයි. ඔහොම හම්බෙන හම්බෙන එකාට බෙද බෙදා ගිහින් ඇතුලටත් ගියා.
මොනදේ උනත් කාට බෙදුවත් මං කෝපල් පෙරේරට කිව්ව අපි තුන්දෙනාට රොටී ටිකක් ඉතුරු කරගන්න කියල. පස්සෙ අඬ අඬා කන්න.  පොර අරක ඔලුවෙ තියාගෙන යන ගමන්ම හිමින් සැරේ මල්ලට අතදාල අතට අහුවෙච්චි තරමක් රොටී අරං සාක්කුවට ඔබාගත්තා. මාත් හොදි ටික ටික දුන්නෙ. අපිට කන්නත් ඉතුරු කරගන්ඩෙපෑ හිංද.

ඔිසීගෙ හට් එක ගාවට ගියාට පස්සෙ ඔක්කොම පැත්තකින් තියන්න කිව්වා.
අපිත් තිබ්බා.
පැය බාගෙයක් විතර චූටි දේශණයක් තියල අවසානයේ.
*අයිසේ මමත් කොල්ලෙක්. ආතල් කියන එක මාත් හොඳට දන්නව. ඒත් කොතනක හරි එක චුට්ටක් වැරදුනොත් තමුසෙලාගෙ ජීවිත වලට වග කියන්නෙ කව්ද??  හමුදාවෙන් ලියුමක් ගහයි මලා කියල එච්චරනෙ. තමුසෙලගෙ ගෙවල්වල මිනිස්සු පව් අයිසෙ.
ඇත්ත තමා නේ......
අපි නිහඬව හිටියා.
*තමුන්ලට කන්න ඔින දෙයක් තියෙනවනං මෙි කඳවුර ඇතුලේ ඇති තරං පිනුම් ගගහ කරගන්නවල. එලියෙ කරන්න යන්නැතුව.
 ඇත්ත තමා නේ?......
සර් ඔය මොනදේ කිව්වත් මගේ හිතටනං ආවෙම නෑ. හිතට ආවෙම නිවාඩු යන්න ලැහැස්ති වෙච්චි මනුස්සයා කෝමද  ඔිපී එකෙන් මතුවුනේ කියල.
අනික් සර්ල දෙන්න එහෙන් හක හක ගගා හිනාවෙනව.එහෙං මගේ ඔලුවෙන් එකයි දැලි. ඒව දාඩියත් එක්ක පෙරිල ඇවිත් දාර දාර  මූනෙ හිටං.

අන්තිමෙිදි සර්ගෙ පලවෙනි වතාවට ලැබෙන සුපුරුදු සමාව සිය දෙසිය වෙනි වතාවටත් අපිට ලැබුනා. අපි සතුටින් විසිර ගියා.

හැබැයි එදා ඉඳන් අපි රොටී පුච්චන එක නැවැත්තුවද. නෑ. පිච්චුව. හැබැයි  උපරිම කල්පනාවෙන්. ඒ කොටි එයි කියල නෙමෙි ආයෙ ඔිසී පඳුරක් පල්ලෙන් මතුවෙයි කියල.
පස්සෙ තමා දැනගත්තෙ එදා ඔිසීගෙ නිවාඩුව අනුමත වෙලා නෑ කියල.

රුවින් පමුදිත යද්දෙහිආරච්චි
2020.07.04

5 comments:

  1. අම්මප රුවීන් මහත්තෙය, මම පුළුවං ඉක්මණින් තමුන්නැහැ හම්බෙන්ඩ එනව. නියම ලිවිල්ලක්නෙ අප්ප මේක. මැවිල පේනව. අනික ඒ ගත්තු ආතල්...

    මං මේ දවස් තුනක් තිස්සෙ ඔපිස්සෙකේ වැඩ නවත්තල මේ බ්ලොග් එක කියෝනව නන්ස්ටොප්.

    ReplyDelete
  2. මමත් ආරච්චිගේ ලිවීමේ හැකියාව ඉහලින්ම අගය කරනවා ...මම නම් ආසම ඔබගේ යුද්ධේ ගැන ලියන කතා කියවන්නයි ....ඉදලා හිටලා කොටි එක්ක කරපු සටන් ගැනත් කතාවක් දෙකක් ලියන්න හොදේ..

    ReplyDelete
  3. niyamai..dhihatama liyanna

    ReplyDelete