Wednesday, July 29, 2020

අතීතයෙන් කතාවක් 09

අතීතයෙන් කතාවක් 09

අපි තේකත් බීල උදේටත් කාල නැවත ශාරීරික අභ්‍යාස ඇඳුමෙන් උදේ අටයි තිහට ඒකක කාර්යාලය ඉදිරියේ පෙල ගැසුනා.  අපි විසි දෙදෙනා හතරට පහට කඩල එදින එක එක වැඩවලට දැම්මා. මම අහුවුනේ විසිගහන්න. විසි ගහන එකනං මොකද්ද. මට මාස තුන හතරකම පලපුරුද්දක් තිබුනා ඒ වෙද්දි විසිගහල. ඒ විසි කැති උනත් ඇල්නිලම්  ග්‍රහ ලෝකෙන් ගෙන්නපුව කියල අඳුනගන්න අපිට වැඩි වෙලාවක් ගියේ නෑ. දෙපැත්තෙ කැපෙන තලේ විතරක් කකුලෙ මහපට ඇඟිල්ල වගේ මහතයි. ඒ මදිවට විසි ගහන්න උස්සද්දි තලේ මිට වටෙත් වටයක් කැරකිලා ඔලුව වටෙිත් වට කිහිපයක්ම කැරකිල තමා පල්ලෙහාට එන්නෙ.  බැරිම තැන ලී කෝට්ටක් හිරකරල තමා වැඩෙි කරගෙන ගියෙ. අපිව භාර හිටියෙ කෝප්‍රල් බංඩාර.(මෙයා OTHER RANKS  අධිකාරි ලබා පසු කලෙක අපේ ඒකකයේම වැඩ බලන අණදෙන නිළධාරිත් වෙලා තමා ගියෙ)
එයා කිව්වෙම අපි රෙස්ට් කලාට කමක් නෑ,විසි කැත්තට රෙස්ට් කරන්න දෙන්නම එපා කියල. ඒත් එදින දොලහ වෙනකන්ම අපිටවත් විසිකැත්තටවත් විවෙිකයක් ලැබුනෙ නෑ.

ඔය අස්සෙ මං දැක්කා කැප්ටන් කෙනෙක් අපි හිටපු පාරෙ  දෙතුන් විටක් එහෙට මෙහෙට ගියා. මට හොඳට දැකල හුරුපුරුදු මූනක්. ඒත් කපිතන් කෙනෙක් නිසයි, අපිට කා එක්කවත් කතාකරන්න තහනම් කරල තිබුනු නිසයි කතාකරන්න ගියේ නෑ. නමුත් කතා කරන්නම හිතුනා. මං කෝප්‍රල් බංඩාර හමුවෙලා ඇහුව ඒ කවුද කියල.
*එක්ස්කියුස්මී කෝප්‍රල්. අර කව්ද දැන් මෙතනින් ගිය සර්??
*ඇයි??
*නෑ. නිකන් ඇහුවෙ.
*නිකන්නං කමක් නෑ. ඒ අපේ විධායක අධිකාරි. (ඇජුටන්ට්) තමුන්ලට අද හවස ඒ ඔක්කොම කියාදෙයි පීටීඅයි තේරුනාද?
*තේරුණා කෝප්‍රල්.
*හ්ම්...වැඩ වැඩ වැඩ..
මං ආයෙත් අර පිටසක්වලින් ගෙන්නපු විසිකැත්තෙන් වැඩෙි පටන් ගත්තා. ඒත් මගේ හිතේ තිබුනේම අර සර් දැකල පුරුදු කොහොමද, කව්ද කින්ද මන්ද කියල දැනගන්න. හරියටම අඳුරගන්න බෑ නිල ඇඳුමයි දාල හිටපු කැප් එකයි නිසා.
එදින සවස පීටීඅයි විසින්  අපිට අපේ ඒකකයේ සෑම තනතුරක්ම හා ඒ තනතුරේ ඉන්න නිළධාරීන් /සෙසුනිළයින්ගේ නම් කියා දුන්නා. ලියාගන්නත් දුන්නා. ඒ තවත් නියෝගයක් එක්ක.
*තමුන්ලා මෙි නම් කට පාඩම් කර ගන්න ඔින. මං කොයි මොහොතේ හරි අහවලා කව්ද කියල අහපු ගමන් තමුන්ලාට ඒ නම කීමෙි හැකියාවක් තියෙන්නත් ඔින තේරුනාද?
*තේරුණා කෝප්‍රල්.
*දැන් මං තමුන්ලාට කියාදුන්නු  තනතුරක් බැගින් වෙනමම ලියල ඒ තනතුර යටින් තනතුරේ ඉන්න කෙනාගෙ නම දහය බැගින් ලියල පැය බාගයක් ඇතුලත මට පෙන්වන්න ඔින. පැහැදිලිද??
*පැහැදිලියි කෝප්‍රල්.
අපිත් ඒ කිව්ව විදියටම කලා. එදත් අපි කිසිම ඩියුටියක් නැතුව කාල බීල නිදාගත්තා. ඊට කලින් රෑ අටට විතර අපිට මහා භයානක පුවතක් පීටීඅයි කෝප්‍රල් කිව්වා.
*තමුන්ල ඊයෙනෙ  මෙහෙට ආවෙ. ඒත් ඊයෙ දවල් මෙහෙ තිබුනු තත්ත්වය දන්නවද?
*නෑ කෝප්‍රල්.
*තමුන්ල කොහොමද ට්‍රක් එකේ ආවෙ. හිමීටද,නැත්තං එන්න පුලුවන් උපරිම වෙිගෙන්ද.
*ඒකනං දන්නෑ කෝප්‍රල්, මල්ලක දාල පොලවෙ ගහනව වගේ උඩයි බිමයි දෙපැත්තෙයි වැදි වැදි තමා ආවෙ. ආවෙනං ඉතින් ඉගිල්ලෙනව වගේම තමා.
මං එහෙම කිව්වම පීටීඅයි කෝප්‍රලුත් අපේ කට්ටියත් හයියෙන් හිනාවුනා.
* ඒ හේතුව තමා මං මෙි කියන්න යන්නෙ. තමුන්ලා පහුකරගෙන ආව මෙි කඳවුරට කඳවුරු දෙකකට එහා තමා 126 කඳවුර තියෙන්නෙ. 126 කඳවුර කියන්නෙ ඒක හඳුන්වන නම. 126 කිලෝමීටර් කණුව ලඟ තියෙන හිංද තමා එහෙම කියන්නෙ. ඊයෙ දවල් දොලහට විතර ඔය කඳවුරේ අපේ හය දෙනෙක් නැතිවුනා. ඒ හය දෙනාම මගේ බැච් එකේ. එතන තමුන්ල වගේම මගේත් එකම ප්ලැටුන් එකේ දෙන්නෙක් මැරුණා. ඒ අස්සෙ තමා මට කිව්වෙ තමුන්ලා කට්ටියක් අද මෙහෙ එනවා, ඒ අයව භාරගන්න කියල. ඒ හිංදම මට මෙි බිලට් එක හදන්න කට්ටිය දාගෙන වැඩ කරපු නිසා ඒ මගේ බැචීලත් අවසන් වතාවට බලාගන්න යන්න බැරිවුනා.
ඔහු ඒක කිව්වම මට ඉබෙිටම බිලට් එකේ වහලෙ බිත්ති දිහා බැලුනා. ඇත්ත තමා. මෙි පරන බිලට් එකක්නෙ අලුත් කරල තියෙන්නෙ. තැනින් තැන අලුත්ම අලුත් ටකරන් දාල, මැටි ගහපු කොට බිත්ති කැඩුනු තැන්වලට අලුතින් මැටි ගහල ලස්සනට හදල තිබුනා. මං නැවත කෝප්‍රල් සිල්වගෙ මූන දිහා බැලුවම එච්චර දුකක් පේන්නනං තිබුන්නෑ. මට ඇත්තටම පුදුමත් හිතුනා. අපි මාස හතරහමාරක කෝස්එකක් කරල අවසානෙ විසිරයද්දි දැනුනු දුකවත් මෙයාට නෑනෙ, බැජීල මැරිලත්. මහ පුදුම මිනිස්සු කියල හිතුනා. මටත් නොදැනිම මගේ කට ඉස්සරවුනා.
*ඉතින් කෝප්‍රල් දුක නැද්ද? බැජීල මැරුනම??
*කොච්චරක් කියල දුක්වෙන්නද බං. ඒ ඊයෙ විතරනෙ. අනික ඔිවගේ මරනයක් කියන්නෙ සෙ⁣බලෙකුට තවත් මරණයක් විතරයි බං.
*තේරුන්නෑ කෝප්‍රල්
*ඒ උඹල දන්නෙ ඊයෙ සිදුවීමනෙ. ඒත්  දැන් ඔිව සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා තියෙන්නෙ බං.
අපිත් කට ඇරගෙන බලා හිටියෙ ඊයෙ වාලච්චෙිනට පය ගහපුම දවසෙත් ඒ එන පාරෙම කොටි ගහල ඒකටත් පැය කිහිපයකට පස්සෙ ඒ පාරෙම අපිත් ආව එක ගැන.
ඒ කියන්නෙ අපි මෙි අරං ඇවිත් තියෙන්නෙ හරි පලාතකට. බයනං පොඩ්ඩක්වත් දැනුනෙ නෑ. නමුත් පොඩි කුතුහලයක්නං හිතේ ගොඩ නැගුනා.

අපි කලින් දවසෙ වගේම මෙදිනත් පාන්දර පහමාරට නැගිටල මුහුන හෝ දල තේ බීල ශාරිරික අභ්‍යාස ඇඳුම දාගෙන උදේ හයයි තියට කාර්යාලය ඉදිරියෙන් පෙළ හැදුවා. ඒ වෙලාවෙ අපිව දැම්මෙ කඳවුර පිරිසිදු කිරීමෙි කටයුතු වලට. අපිත් ඉදල් අරගෙන අපිට භාරදුන්නු කොටස් හොඳට අතුගාල පිරිසිදු කරල ගොඩ ගහපු කුණුත් අරන් දැම්මා. එහෙම වැඩෙි කරගෙන යනකොට ආයෙත් ඊයෙ දැකපු කපිතන් වරයා ශාරීරික අභ්‍යාස ඇඳුමෙන්  ලෑස්ති වෙලා කාර්යාලය පැත්තට එනව දැකල මං හිමින් සැරේ ඒ පැත්තට කිට්ටු කලා. හැබැයි ඒ වතාවෙනං මම සර්ව දුරතියාම අඳුර ගත්තා.
*මගෙ අම්මෝ.. ප්‍රසාද් අයියා. මෙයා කොහොමද ආමි එකේ කැප්ටන් කෙනෙක් වුනේ.  මෙි සර් එහෙමත් නැත්තං මං අයිති ඒකකයේ විධායක අධිකාරි තුමා අපේ ඉස්කෝලෙ හිටපු ප්‍රධාන ශිෂ්‍ය නායකයෙක්. ඊයෙ යුනිෆෝම් හිටපු නිසා අඳුරගන්න බැරිවුනා. අද පීටී කිට් එක නිසා පුලුවන්වුනා. මට එකපාරටම ගිහින් කතාකරන්න හිතුනත් ලඟ හිටපු උපදේශක කෝප්‍රල් කෙනෙක් නිසා කතා කරන්න ගියේනෑ. හැබැයි මගේ වාසනාව කියන්නෙ සර් මාව දැක්ක ගමන් අඳුර ගත්තා. සර් ලඟටම ආවට පස්සෙ මං සීරුවට ඇවිත්
*ගුඩ් මෝනින් සර්..
*ගුඩ් මෝනින්.. අම්මටසිරි උඹ... සර්රුත් මාව අඳුරගත්තා.
*උඹ මොකටද ආමි ආවෙ. ඒත් මෙහෙම.
උඹ හොඳට ඉගෙන ගත්තනෙ බං. සර්ම කතාව ආරම්භ කලා.
*ඉගෙනනං ගත්තා සර්. ඒ වුනාට ගණං එෆ්නෙ.  ඊට පස්සෙ ආමි එකට ආව සර්.
*උඹ මාර පොරක්නෙ බං. හරි හරි. මට හදිසි පොඩි වැඩක් තියෙනව. මං පස්සෙ කතා කරන්නංකො. කියල සර් ගියා.
*හොඳයි සර්.
දැන්නං බය නෑ. මෙහෙ අඳුරන කව්රු හරි ඉන්නවනෙ කියල පුංචි ෆිට් එකකුත් හිතට ආව. අපිත් කඳවුර පිරිසිදු කරන වැඩ අවසන් කරලා ගිහින් කෑමට ආව. කාල ආයෙත් අටයි තිහට බර වැඩ සඳහා පෝලිම් උනා.
එදා මාව වැටුනෙ කඳවුරේ සෙක්ටර් තුනේ විසිට් පාත් එක සුද්ද කරන්න. මෙි පලාත මාර ලස්සනයි. පේපර් මිල් එකෙන් එන කුණු ගඳ නැත්තං ජීවත් වෙන්න උනත් හොඳ පලාතක්. මං වැඩ කරන අස්සෙත් ආරක්ෂිත පස් බැම්මට බාහිරින් පේන ලෝකය ගැන හැම තිස්සෙම ඉස්සි ඉස්සි බැලුවා. ඒ බලන ගමන් තමා වැඩ කලේ. පේන තෙක්මානෙම ඔිපන් එක. තැනින් තැන පතාක යෝධයන් වගේ ඉහලට එසවුනු තල් මංඩි පුදුමාකර අලංකාරයක් මෙි පරිසරයට එකතු කලේ. දුරින් දුරින් පේන ගෙවල්, කුඹුරුවලට මිනිස්සු එහෙ මෙහෙ යන හැටි මට පෙනුනෙ කූඹි රැලක් වගේ. ඒ තරං පොඩියට.

 එහෙම වැ⁣ඩවල යෙදී ඉද්දි දහයට විතර පීටී අයි කෝප්‍රල් ඇවිත්
*කව්ද මෙතනින් අමිල කියන්නෙ??
*කෝප්‍රල් මං. මං සීරුවට ඇවිත් අත ඉස්සුවා.
*ආං උඹට ඇජුටන් කතාකරා. ටක්ගාල ගිහින් අතපය හෝදගෙන යුනිෆෝම් එක දාගෙන ඔෆීස් එක ඉස්සරහට වරෙන්. මං ඉන්නව එතන.
මාත් උදැල්ල වෙන කෙනෙකුට දීල ඉක්මනින්ම භඨ නිවාසෙට දුවල ගිහින් මූන අතපය හෝදගෙන නිළ ඇඳුම දාගත්තා. පස්සෙ කාර්යාලය ඉස්සරහට එනකොට එතන පීටීඅයි කෝප්‍රල් හිටියා. මං එයාව හම්බුනාම මගේ නිළ ඇඳුමෙ අඩුපාඩු බලල සකස් කරල විධායක අධිකාරි තුමා හමුවට පමුණුවන්න ප්‍රධාන ලිපිකරු තුමාට භාර දුන්නා.
*උඹ ඇජුටන්ව අඳුරනවද? සීසී ඇහුවා.
*ඔව් සර්.
*උඹෙි ගම කොහෙද?
*නිට්ටඹුවෙ සර්.
*ආ සර්රුත් එහෙ තමා. වරෙන් යන්න.
මාත් සීසී එහෙමත් නැත්තං චීෆ් ක්ලාක් පස්සෙන් වැටී විධායක අධිකාරි තුමාගේ කාර්යාලයට යන්න ගියා. ඒ යද්දි සර් රාජකාරි ලියුං වගයක් බල බල හිටියෙ. ඒක ඉවරවෙනකං මට පැත්තකට වෙලා ඉන්න කියලා සහ, සර් ඒක ඉවරවුන ගමන් සීසීට කතාකරන්න කියල එයා ආයෙ තමන්ගෙ මෙිසෙට ගියා.
 පැයක් විතර යද්දි සර් මෙිල් එක බලල ඉවරවුනාම මං සීසීට කතා කලා.
*මං උඹව ඇතුලට එක්ක යනකොට හයියෙන් හෝල්ට් එකක් ගහල සැලියුට් කරපං හොඳද.
*හා සර්.
එහෙම කියල සීසී තනියම ගිහින් ඇජුටන් හමුවෙලා මට "මල්ලී" කියල සර්ගෙ ඔෆීස් එක ඇතුලට කතාකලා. මාත් හයියෙන් හෝල්ට් එකක් ගහල සැලියුට් කරල "ගුඩ් මෝනින් සර්" කිව්වා. සර්රුත් මට ගුඩ් මෝනින් කිව්වා.
*ඇයි අයිසෙ තමුන් ආමි එකට ආවෙ.
*ආසාවට සර්.
*හරි ඒකට කමක් නෑ, රිසාල්ට්ස් කොහොමද තමුන්ගෙ.
*ඩී දෙකයි සී එකයි එස් හතරයි එෆ් එකයි සර්.
*මොනාටද සම්මාන තියෙන්නෙ?
*සිංහලයි සමාජ අධ්‍යානය ඩී.ඉංග්‍රිසි සී සර්.
*අපරාදෙ අයිසෙ.තමුසෙ තනිකර පිස්සෙක්නෙ. තව වතාවක් එක්සෑම් එක කරල ඊට පස්සෙ ආමි එන්න තිබුනනෙ ආසනං. හරි කමක් නෑ දැං කරන්න දෙයක් නෑනෙ. තමුසෙට මොනාම හරි ප්‍රශ්ණයක්, උවමනාවක් වුනොත් කෙලින්ම මට කතාකරනව තේරුනාද.
*ඔව් සර්.
*නිවාඩු ගියාද?
*නෑ සර්. අපේ කෝස් එකේ කාටවත් නිවාඩු හම්බුන්නෑ. අපි යන තැන්වලින් නිවාඩු දෙයි කියල තමා එව්වෙ.
*ඒකටනං මටත් කරන්න දෙයක් නෑ. මොකද ඔිගොල්ලන්ට මෙහෙත් දවස් දාහතරක කෝස් එකක් තියෙනව. ඒක අනිද්ද පටන් ගන්නව. ඒක ඉවරවුනාම නිවාඩු යන්න පුලුවන්. තේරුනාද?
*ඔව් සර්.
*සර්, මෙයා ගමෙිද? සීසීත් පැත්තක ඉඳන් ඇහුවා.
*ඔව්. අපේ ගමෙි අපේ ඉස්කෝලෙ.
*හරි. මොනවද අඩු පාඩු තියෙන්නෙ.
*මුකුත් නෑ සර්.
*වියදමට සල්ලි එහෙම තියෙනවද?
*ඔව් සර්. සල්ලි තියෙනව.
*හා.දැන් යනව. මොනවහරි උවමනාවක් වුනොත් මට බැයිනං මෙි සීසීට හරි ඇවිත් කියනව. සීසී මට කියයි තේරුනාද? සීසී මෙයා මොනව හරි කිව්වොත් මට ඇවිත් කියන්න ඔින තේරුනාද. සර් ඒක සීසීටත් එහෙම්මම දැනුම්දුන්නා.
*හොඳයි සර්.
*හරි දැන් මෙයාව එක්ක යන්න.
මාත් ආයෙ සැලියුට් එකක් ගහල සීසීත් එක්කම එලියට ආව. ඒ ඇවිත් සීසීගෙ ඉන්ටවීව් එක.
*මල්ලි සර් කිව්ව මතකනෙ. සර් හොඳ මහත්මයෙක්. මොනම හරි දෙයක් තිබුනොත් සර්ට කලින් මට කියන්න ඔින තේරුනාද. ඊට පස්සෙ මං සර්ට කියල උවමනාව කරල දෙන්නං. ඒක නෙමෙි, මෙහෙට එනව පොඩ්ඩක්.
මාත් ආයෙත් සීසී සර් ගාවට ගියා. සර් කොල කෑල්ලකුත් දීල එයාගෙම පෑනත් දීල මගේ සම්පූර්ණ නම ලියන්න කීවා. මාත් ලීවා. තව තව වාක්‍ය කීපයකුත් ලියන්න කිව්වා. ඒ කිව්ව හැමදෙයක්ම මාත් ලීවා. ඉංග්‍රීසි පත්තරේක ඡේදයකින් භාගයක්මත් ලිව්වා.
*උඹෙි අකුරු ලස්සනයිනෙ බං. මෙතන ක්ලාක් ජොබ් එක කරන්න කැමතිද?.
*පුලුවන් සර්. මං එහෙම කිව්වෙ ප්‍රසාද් අයියත් එක්ක වැඩ කරන්න තිබ්බ ආසාවට මිසක් ක්ලාක් ජොබ් එකට ආසාවෙ නෙමෙි.
*හරි. සර් කිව්ව වගේ තමුසෙලගෙ කෝස් එක පටන් ගන්නව අනිද්දා, ඒක ඉවරවුනාම ලෑස්තිවෙනවා ක්ලාක් මහත්තයෙක් වෙන්න. තේරුනානෙ.
*ඔව් සර්. ඒත් මොකද්ද කෝස් එක සර්.
*තරු වර්ග කිරීමෙි පාඨමාලාව. ඒක හැම කෙනෙක්ම අනිවාරෙන් කරන්න ඔින කෝස් එකක්. ඒකෙ වැඩි විස්තර පස්සෙ දැනගන්න පුලුවන්. දැන් බිලට් එකට පලයං.
මාත් පීටීඅයි කෝප්‍රල් එක්ක නැවත භඨ නිවාසෙට ඇවිත් යුනිෆෝම් පිටින්ම හිටියා. ඒ දවල් කෑමටත් වෙලාව ලංවෙලා තිබුනු නිසා. ඒ එන ගමනෙදි පීටීඅයි කෝප්‍රල් මගෙන් විස්තර ගොඩක් ඇහුවා. ඇජුටන් අඳුරනවද කියලත් ඇහුවා. මං විස්තරේ සම්පූර්ණයෙන්ම කිව්වා. එයානං මුකුත් කිව්වෙ නෑ. කිව්වෙ මොන දේ තිබුනත් අපිට තාම කෙලින්ම ගිහින් සර්ලව හම්බවෙන්න බෑ කියල විතරයි. ඊට කලින් ඒක පීටීඅයිට කියන්න කියලත් කිව්වා.

මාත් කට්ටියම බිලට් එකට ආවට පස්සෙ ආයෙ කෝස් එකක් තියෙනව කියල කිව්වා. ඒක අහපු අහපු අයගෙ කන් කඩා පාත්වුනා. කටවල් ඇදවුනා. ඒක හරියට ඇඬුම් ස්වරයක් වගේ.
*ඒ කියන්නෙ නිවාඩු නැද්ද බං.
*නෑ. ඇජුටන් කිව්වෙ මෙි කෝස් එකත් ඉවරවුනාම නිවාඩු දෙනව කියල. මෙිකත් කරලම තමා බං යන්න වෙන්නෙ. අනේ මංදා. එපා වෙනවනෙ.සික්. මාත් ඒක කිව්වෙ ඇත්තටම දුකෙන්.

කෝස් එකත් පටන් ගත්තා. ඒක ආධුනික පුහුණු පාඨමාලාවට වඩා වෙනස් එකක්. සිලබස් එක ⁣ටිකක් සමානයි. නමුත් වැඩිපුර තිබුනෙ ලියන්න විතරයි. සරඹ පීටී එහෙම තිබුනෙ නෑ. ඒ වෙනුවට අපිට හවස කැමති ක්‍රීඩාවක් කරන්න අවස්ථාවක් තිබුනා. ක්‍රිකට්,වොලිබෝල්,බැඩිමින්ටන්,ෆුට්බෝල් සහ බාස්කට් බෝල්, ක්‍රිඩා පහම හැන්දෑවට මෙි කඳවුරේ සෙල්ලං කරනවා. හවස හතර වෙද්දි මුලු බ්‍රිගේඩ් එකමයි අපේ යුනිට් එකමයි  ග්‍රවුන්ඩ් එකේ. මං ආසම ක්‍රිඩාව ෆුට්බෝල්. ඒකෙ ෂට්ල් රන් ටිකට තමා වැඩිපුරම ආස. ඉක්මනින්ම හතිවැටෙනව වගේම කකුලෙ මසල්ස්වල ෆයිබර් එහෙම ගොඩක් හයිවෙනව. පපුවත් එහෙමයි. ඒ නිසාමයි මං වැඩිපුරම ෆුට්බෝල් වලට ආස. ප්‍රසාද් අයිය නොහොත්  කපිතන් රාමනායක සෙල්ලම් කලේ ක්‍රිකට් විතරයි.

එක දවසක් හවස ග්‍රවුන්ඩ් එකේදි ප්‍රසාද් අයිය ආයෙ මට කතා කලා. ඒ කිව්වෙ ඊලඟ අවුරුද්දෙ  ගණිතය විතරක් හරි බාහිර අපේක්ෂකයෙක් විදියට ලියල සාමාන්‍යපෙළ ගොඩ දාගනින් කියල. ඒත් එක්කම නිවාඩු ගියාම ඒකට අවශ්‍ය පොත් පත් අරගෙන එන්නත් කිව්වා. එයා කිවවෙම ආමි ආවට කමක් නෑ,කොහොමහරි ගණිතය ගොඩ දාගනින් කියලමයි.
මාත් ඒ හැමදේකටම හා කියල සර්ගෙ උපදෙස් ඒ ආකාරයෙන්ම පිළිපදින්න ඉටාගත්තා. ඒ කිව්ව වගේම මට පහසුකමුත් ලැබුනා.

ඔහොම ඉද්දි තමා සර් එකපාරටම ට්‍රාන්ස්ෆර් ගියෙ. ඒ යාපනේ ක්‍රියාන්විත රාජකාරි වලට. සර් ස්ථානමාරුවීම් ලබල ගියාම මට ගොඩක් දුක හිතුනත් මෙි වෙනතෙක්ම  අපි කාටවත් නිවාඩු නොදුන් එකට ටිකක් තරහෙන් හිටියෙ. මගෙ අධ්‍යාපන කටයුතු වලටත් ඒ එක්කම නැවතීමෙි තිත තියන්න වුනා. 

ඒකට හේතුව මීයන්කුලම් කඳවුරට කොටි පහරදීල අපේ කීප දෙනෙක් මියගිහින් තුවාල වෙලා නිසා ඒ පුරප්පාඩුවලට අපි කීපදෙනෙකුට   මීයන්කුලම් කඳවුරට යන්න සිදුවීම.

 මමත් මීයන් කුලම් හිටපු කාලයේදී ඒ කඳවුරට  පහර දෙන්න ආපු කොටිත් එක්ක දරුණු සටන් දෙකක් ඇවිලී ගියා. ඒ සටන් දෙකේම පෙරමුනටම මාව මැදිවීම මගින් එතෙක් මගේ හිතේ තිබුනු "මරණ බය" පලවා හැර මගේ හිතේම මා වීරයෙක් බවට පරිවර්තනය වෙමින් තිබුනා. මෙි ප්‍රහාර දෙකම අපේ මාර්ග ආරක්ෂක මුරයට තමා එල්ලවුනේ. දෙවෙනි සටනෙන් පස්සෙනං මට හිතුනෙ මං තාම ජීවත්වෙනව උනත් ඇති කියල. ඒක නං පුදුමම අත්දැකීමක්.

 ඔහොම ටික දවසක් ගියාම තමා මීයම්කුලම් රාජකාරි කරපු අපේ කණ්ඩයට මාදුරුඔය යුදහමුදා පුහුණු පාසලේ සටන් පාඨමාලාවක් හා විශේෂ බළකා පුහුණු පාසලෙත් පාඨමාලාවක් එක්ක පාඨමාලා දෙකක්ම එක පිට හදාරන්න සිදුවුනේ.
ඒ පාඨමාලා දෙකත් හදාරල නැවත මූලස්ථානෙටත් ආවට පස්සෙ  එහෙන් තමා මගේ යුධහමුදා ජීවිතේ පළවෙනි නිවාඩුව යන්න ලැබුනෙ.  ඒ මාස නවයයි දවස් විසිතුනකට පස්සෙ. එදා තමා මං ජීවිතේ වැඩියෙන්ම සතුටුවුන දවස. මෙි වෙද්දි මගේ බැජ්එකේම දෙන්නෙක් ජීවිතක්ෂයට පත්වෙලා, එක්කෙනෙක් බට්ටෙක් පෑගිලා පූර්ණාබාධිතයෙක් බවට පත්වෙලා තිබුනා.  එයාලාට නම් එයාලා ගියපු කණ්ඩායම් වලින් නිවාඩු ලැබී  තිබුනා.

මගේ පළවෙනි ඒ නිවාඩුව දවස් දා හතරක්. ඒ පාඨමාලා දෙකෙන්ම අපි පළවෙනි ස්ථානය ගත්තා කියල සතුටට තමා දවස් දා හතරක්ම නිවාඩු ලැබුනෙ. ඒ නිවාඩු කාලෙ ගෙවුනෙත් මහ අපූරු විදියකට. මොකද මෙි වෙද්දි මගේ පෙනුම වගේම ශබ්ද කෝෂයත් සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තිබුනෙ. තාත්තට සර් කියල බැනුම් අහපු වාර කිහිපයක්ම තිබුනා. නංගිට කෝප්‍රල් කියල එයා අඩි ගානක් උඩ ගිහින් එයාගෙ රෙදිත් මට හෝදන්න වෙන හැඩයක් එතන තිබුනෙ. යාලුවන්ටත් එයාලගෙ නම් වෙනුවට කෝප්‍රල් කියල කතා කරලා සමහරුන්ට සර් කියල කතා කරල එයාල මට හිනාවෙලා මගෙන් ගුටිත් කාල හිටියෙ දෙතුන් දෙනෙක්.

 ඔය නිවාඩුව ඉවරවෙලා ආපුදාට පහුවදා අදටත් මතක් වෙද්දි ඇස්වලට කඳුලු උනන මහා දුක්බර සිදුවීමක් වුනා. එදා උදේ අටෙි විතර ඉඳල  කඳවුරකට එක දිගටම කොටි ගහනව. තුවක්කු හඬ,කාලතුවක්කු සහ මෝටාර් පිකප් වෙන හඬ, ඒව බිම වැටිල පුපුරණ සද්දෙත් එක්ක මෙි වෙද්දි අපේ ශරීර පවා වෙව්ලන තත්වෙකට පත්වෙලා තිබුනෙ. බයකට නෙමෙයි. ඒ, ඒසටනට මැදිහත් වෙන්න අවස්ථාවක් නොලැබීම නිසා. කඳවුරේ සමහරු කතාවුනේ සිංහ රෙජිමෙින්තුවට තමා ඒ පහර දෙන්නෙ කියල.  දවල් දොලහ එක විතර වෙනකම් තිබුනු ඒ සටනෙන් තුවාල ලැබූ හා මියගියවුන් ගුවන් මගින් රෝහල් කරා ගෙනයන්න ඒ වෙද්දි හෙලිකොප්ටර් දෙකක්ද පැමිණ තිබුනා. මාව දාල තිබුනෙ චොපර් වලට තුවාල හා මියගිය අය දාන කොටසට. මිය ගිහින් ගේන අය ඉටි කවරවලට දැමීමත් අපේ රාජකාරියක්. මාත් නිළ ඇඳුම දාගෙන අපේම වාහන මගින් ගෙනෙන අය පැටවීමට සූදානමින් හිටියෙ. ඒ චොපර් දෙක එකපාරක් ගිහින් ඊලඟ පාර එද්දි මෙතන තුවාලකරුවන් ගොඩ ගැහිල තිබුනා. මාත් චොපර් එනකං මෙතනට ගේන අය අතරින් දන්න කියන කව්රු හරි ඉන්නවද කියල බල බල තමා හිටියෙ. ඒ වෙද්දි කිරාන් ස්ථානගත වෙලා හිටියෙ 4වන සිංහ රෙජිමෙින්තුව සහ 4 වෙනි ගැමුණු හේවා බළඇණිය.

4 වන සිංහ රෙජිමෙින්තුවට අයත් භඨ පිරිස් අතරින් මට එක් සුපුරුදු රුවක් දිස්වුනා. ඒ මියගිය අය හිටපු ගොඩෙන්. මට ඔහුව පිලිබඳව තිබුනෙ සැකයක්. ඒ මං හිතා ඉන්න කෙනාමද මෙි කියල. ඊලඟට ඔවුන්ව පරීක්ෂා කර කර හිටපු හමුදා වෛද්‍යවරයා එතනින් ඉවතට  ගියපසු මං ඔහුට කිට්ටු කරල සැකය හරිද කියල තහවුරු කරගන්න ලඟටම ගිහින් බැලුවා.
හද්දෙයියනේ.. ධර්මෙයා..මගේ බැජියා. රෙකෲට් කෝස් එකේ මගේ බඩියා... රත්තරනේ..උඹට මෙි මොකදවුනේ.?.

මට මගේ ඇස් අදහගන්න බැරි උනා. ඉන්න තැන අමතකවුනා. ඔහුගේ ඔලුවත් අතගාල බැලුව. මට කියාගන්න බැරි මහා පුදුම දුකක් වෙිදනාවක් දැනුනා. පපුව හෙල්ලුම් කාල ගියා. කකුල් දෙක පනනැති වෙලා ගියා. මුලු ඇඟම වෙව්ලන්න ගත්තා.

දෙයියනේ... ධර්මෙගෙ ඔලුවෙන් කෑල්ලක් තිබුනෙත් නෑ. ඒ මදිවට ඇඟෙත් තැනින් තැන උන්ඩ වැදිල තුවාල වෙලා. රෙකෲට් යුනිෆෝම් එකත් එක්කම මුළු ශරීරයම රක්තවරණ ලේ වලින් පෙඟිල කැටි ගැසිල. මෙික දරාගන්නම අමාරු සිදුවීමක් නිසා මම ඉක්මනින්ම එතනින් ඉවත්වුනා.

එදා පනාගොඩදි මහත් දුකෙන් මට එයාගෙ ඔරලොසුවත් දීල වෙන්වෙලා ආපු ධර්මෙ. මං ආසාවෙන් තියාගෙන හිටපු තීන්ත පෑන අත් දෙකෙන්ම අරගෙන මුහුනත් බලා ඉඳලා "අපි කවදාහරි කොහේදි හරි අනිවාරයෙන්ම මුන ගැහෙනවාමයි මචං" කියපු ධර්මෙ. අද මළ මිණියක් වෙලා මගේම ඇස් ඉදිරිපිට වැටිල. මට මෙිකනං ඉවස ගන්නම බැරිවුනා. මටත් නොදැනිම උණු කඳුලු ගංගාවක් ඇස්දෙකෙන්ම ගලා ගියා. ආයෙ එතන වැඩක් කරගන්න තියා හිටගෙන ඉන්නවත් බැරි තත්වෙට මාව පත්වුනා. මං පැත්තක තිබුනු කොටයක් උඩට වෙලා අතීතය සිහිකර කර කාටත් හොරෙන් කැප් එකෙන් මුහුන වහගෙන අඬද්දි එතනට ආපු කපිතන් කෙනෙක් මාව එතනින් ඉවත්කරල ඇයි ඇහුව. මං විස්තරේ කිව්වම ඒ සර්ටත් කතාකරගන්න බැරිවුනා. 
 හමුදාවෙ ඉන්නෙ ඇත්තටම ගොඩක් සංවෙිදී මිනිස්සු. එතන හිටපු ගොඩක් අය මෙි තුවාල සහ මියගිය අය දැකල හිතේ වෙිදනාව තදකරගෙන අමාරුවෙන් ඉවසගෙන හිටියත් මගේ ඒ සිදුවීම දැකල නං කීප දෙනෙකුටම ඒ ඉවසීම කඩා බිඳගෙන ගියා මං දැක්කා.විශේෂයෙන්ම හමුදාවෙ කාන්තා බළකායෙ කිහිප දෙනෙක්.
 මාව එතනින් ඉවත් කරපු කපිතන්ම දෙතුන් පාරක්ම ලේන්සුව අරන් මුහුන පිසදානවත් මං දැක්කා. මට මෙික ඉවසගන්නම බැරි තැන පැත්තකට ගිහින් ඉඳගෙන ධර්මෙට නිවන්සුව ප්‍රාර්ථනා කලා. නැවත උපදින කිසිම ආත්මෙක මෙච්චර වෙිදනාබර සිදුවීමක් හෝ අකල් මරණයක් හෝ නොවෙිවා කියල මුලු හදවතින්ම ප්‍රාර්ථනා කලා.
"අපි අනිවාර්යෙන්ම කොහෙදි හරි කවදාහරි මුනගැහෙනවාමයි මචං" කියල එදා පනාගොඩ පුහුණු පාසලෙන් මගෙන් සමුගත් ධර්මෙ මෙි විදියට හමුවෙන්නනං මං කවදාවත් හිතුවෙ නෑ. එදා කිරාන්වල අසූ පස් දෙනෙක් සදහටම අපව අතහැර දමා ගොස් තිබුනා. තවත් විශාල සංඛ්‍යාවක් තුවාල ලබා තිබුනා. නමුත් ඒ සේරටම හරියන්න මටම විශේෂ කෙනෙක්වූ ධර්මෙත් සදහටම ඇස් පියාගෙන තිබුනා.

ඇත්තමයි ධර්මෙ, උඹ සිවුරෙ හිටියනං අදටත් ජීවතුන් අතර ඉන්නව. එක බඩවැල කඩාගෙන නාවත් උඹයි මායි අතර තිබුනු බැඳීම ෆිට් එක අදටත් එහෙමමයි මචං. ඒත් උඹ කිව්ව විදියට අපි මෙි ආත්මෙ හමුවුනේ නෑ. අපි ආයෙත් කවර හරි ආත්මෙකදි හමුවෙමු. හැබැයි ඒ සහෝදරයො විදියට.  උඹට නිවන් සුව ලැබෙිවා. ඒ තමා මගේ ජීවිතේ මං තියපු සංවෙිදීම සටහන. එදා පිටු එකසිය විස්සෙ පොතක් අරන් ඒ අවුරුද්ද ඉවරවෙනකං ඉරි ගහ ගහ දින පොතක් විදියට පාවිච්චි කරල 1997 අවුරුද්දෙ ඉඳන් තමා දිගටම දින පොත් නඩත්තු කරන්න පටන් ගත්තෙ. ඒ දිනපොත් තාමත් සුරක්ෂිතයි. ඒ සිදුවීම  මගේ යටි හිතේ කොච්චරක් දුරට තැන්පත් වෙලා තියෙනවාද කිවහොත් අදටත් සමහර දවස්වලට ධර්මෙවත් හමුදාවත් හීනෙන් පේනවා. මට මතකයි මීට මාස හය හතකට කලින් දවසකත් ධර්මෙව හීනෙන් දැකපු සිදුවීමක්.

තවත් එකක්. ඒකත්  මහා දෛවෝපගත සිදුවීමක් කියන්නෙ මගේ ඊලඟ නැවතුම උනේත් කිරාන් කඳවුර. ඒ එහෙදි ප්‍රහාරයට ලක්වුනු ඒකක දෙකේම අය වෙනුවට අපේ ඒකකයේ ඒ කණ්ඩායම කිරාන් කඳවුර භාරගැනීමත් හා ඒ යටතේ මටද පහුවදාම කිරාන්වලට රාජකාරි සඳහා යෑමටත් සිදුවීම.



රුවින් පමුදිත යද්දෙහිආරච්චි
2020.07.29

4 comments:

  1. අතීතයෙන් කතාවක් 07

    ReplyDelete
  2. හ්ම්... ධර්මෙ ගැන මම කලින් පෝස්ට් එකක අහපු ප්‍රශ්නෙකට උත්තර ලැබුණා.

    ඇත්තට ආරච්චි, ඔබ යහතින් ඉන්න එකම ඇති අපට මේව කියවලා යුද්ධය ගැන හරිහමං දෙයක් ඉගෙනගන්න.

    ReplyDelete
  3. අපරාදේ ගණන් පාස් වෙලා තිබුන නම් කමිසන් ගිහින් අඩුම ගානෙ කැප්ටන් කෙනෙක් වෙලා පැන්සන් යන්න තිබුණ , ඉට පස්සේ ඒ සර් සපෝට් කරේ නැද්ද, බැජිය ගැන කණගාටුයි. මෙතමයි යුද වීරයෝ, හැබැයි පොලිටික්කොයි යුද ජයට තාත්තල උනේ හා එකෙන් හම්බරකගෙන කෑවේ හා තවමත් කන්නේ, ජයවේවා ආරච්චි.

    ReplyDelete
  4. ආරච්චිලා විඳපු පුහුණුව දිනපතා දෑහිං දකින අපි.

    ReplyDelete