Friday, July 17, 2020

වටගොඩගේ අභාවය

මෙි සීන් එක වෙන්නෙ කිරාන් වලදි.
අපි එස්එෆ් කෝස් එකක් කලානෙ මාදුරුඔය. ඒකෙ විස්තරයක් මං ඔයාලට කලින් කිව්වනෙ. මෙි ඒකෙ එපිසෝඩ් ටූ එක.

අපි ඒ පාඨමාලා දෙකම පිට පිට හදාරල දවස් දා හතරක් නිවාඩු ගිහින් ආවෙ මූලස්ථානෙටමයි. ඒ ඇවිත් ඉන්නකොට එක දවසක් අපේ ප්ලැටූන් එක පෝලින් කරල කෑලි පහකට කැඩුව. කඩල ඉවරවෙලා අපිව එක එක කම්පැනිවලට නම් කලා. මං වැටුනේ ඒ කණ්ඩායමට. ඒක කිරාන් තියෙන්නෙ.
මෙි කාලෙ කිරාන් කිව්වම හෙන භයානකයි. ඒකට හේතුව නැගෙනහිර කොට්න්ගෙන් වැඩිපුරම බලපෑමක් තිබුනු කෑම්ප් අතරිනුත් ඉස්සරහින්ම තිබුන කඳවුරක්.
කව්රුහරි මෙි ඒකකයේ දඬුවම් ලැබිය යුතු වරදක් කලොත් චෝදනාපත්‍ර විභාග කිරීමෙන් අනතුරුව පනිෂ්මන්ට් එක විදියට එවන්නෙ මෙි කඳවුරට. ඒකට හේතුව තමා මෙිකෙ තිබුනු නිමක් නැති අධික රාජකාරි. දවසකට පැය තුනයි හතරයි උපරිම නිදාගන්න පුලුවන්. මුලු කඳවුරම රෑ එකොලහේ ඉඳන් දෙක වෙනකං පැය තුනක් ඇහැරිලා. හේතුව කොටි ප්‍රහාරයක් එල්ලවෙයි කියල අනුමාන කරන ටයිම් එක නිසා.

රේල් පිකට් එකට අපේ යනව දොලොස් දෙනෙක්. ඒ යද්දි වතුර,කෑම,අමතර පතුරම්, සීනි ටිකක් ලුනු පැකට් එකක් එනමල් කෝප්ප දෙක තුනක් තේ සළාකය එහෙම අරන් කිලෝමීටර් දොලහක් පයින් යන්න ඔින. ඒ ගිහින් වටෙිම සෝදිසි කරල එහෙම තමා පිකට් එක ස්ථාන ගත වෙන්නෙ. ආයෙ රාත්‍රී හතට අන්තිම ට්‍රෙින් එක ගිහාම තමා කඳවුරට එන්නෙ.
ඊලඟ එක ප්‍රධාන මාර්ග ආරක්ෂක මුරය. ඒකට යනව හැටක්. තුන්දෙනා ගානෙ පොයින්ට් විස්සක් දානව. ඒකට කිලෝමීටර් පහක් විතර අඟලක් නෑර රේක්ක කර කර ආර්මඩ්ප්ලේට් ජැකට් සහ හෙල්මට් දාගෙන දාඩිය ඉහින් කනින් පෙරාගෙන ජීවිතේ විශාල අවදානමකුත් අරන් කරන්න ඔින රාජකාරියක්. අවදානමක් කිව්වෙ කොයි වෙලේ කොහෙන් සතුරා පහර දෙයිද කියන එක විතරක් නෙමෙි. මර උගුල්, බට්ටො, ස්නයිපර් ප්‍රහාර ඒවත් මෙි අවදානමට අයිතියි.

ඊට අමතරව වලලුකරට විතර එරෙන වැල්ලක්. ඒ පිකට්  එක ආපහු එන්නෙත් රෑ හතට අටට විතර. පිකට් එක විශේෂයෙන්ම ඩෙින්ජර් ස්නයිපර් ගහන නිසා. කොහෙන් කොයිවෙලාවෙ "ටකොස්" ගාල සද්දෙයක් ඇහිල කව්රු කොතන මැරිල වැටෙයිද කියල කියන්නම බෑ. ඒ නිසා අපි උදේ දාගන්න හෙල්මට් එක කීයටවත් එලියට ගිහාම ගලවන්නෑ. එක තැනක එක විදිහට තත්පර දෙක තුනකට වඩා ඉන්නෙත් නෑ. නිකන් හරි හෙල්ලි හෙල්ලි පැද්දි පැද්දි තමා ඉන්නෙ. ඉඳගන්නෙම නෑ. කොතන හරි තියෙන ගහකට ගේක බිත්තියකට කවර වෙලා පාරත් බලාගෙන ජීවිතෙත් ආරක්ෂා කරගෙන ආපහු කඳවුරට පය ගහනව කියන්නෙ විශාල ජයග්‍රහනයක්. කඳවුරට ගිහිල්ලත් පැය භාගයක් විතර යනකම් යුනිෆෝම් එක ගලවන්නෑ. ඒ අපේ රෙල් පිකට් එක සහ ඒ එන අයගෙ ආරක්ෂාවට මග තැනින් තැන දාල තියෙන අපේ කොල්ලන්ට ප්‍රහාරයක් එල්ලවුනොත් ඉතාම ඉක්මනින් ඒ කියනනෙ විනාඩියෙන් දෙකෙන් තත්පරෙන් ඔවුන්ගේ සහායට යා යුතු නිසා.

 එහෙමත් ඉඳල නාල කාල පොයින්ට් එකට ගිහින් පැයක්, හමාරක් ඉන්නකොට රෑ එකොලහයි වෙලාව. ආයෙ නිදාගන්නෙ පාන්දර දෙක වෙනකං තුන්දෙනාම හරි දෙන්නෙක් හරි ඇහැරිලා ඉඳල, දෙකෙන් පස්සෙ එක්කෙනෙක් සෙන්ට්‍රී තියල දෙන්නෙක් විතරයි. දෙකේ ඉඳන් හය වෙනකං තියෙන පැය ගාන තුන්දෙනා බෙදාගෙන සෙන්ට්‍රි ඉන්නව. සමහර දිනවලට පොයින්ට් එකේ දෙන්නෙක් විතරක් ඉන්න දවසුත් තියෙනව. ඒ කව්රුහරි නිවාඩු ගිහින් එන්න බැරි උනාම එයාව දාල තියෙන පොයින්ට් එකේ දෙන්නා.

 අපි තුන්දෙනාම ඇහැරල  ඉන්නෙ කරුනා නැගෙනහිරට ආවහම. නැතිනං මාසෙ පෝය දවස් සහ හඳේ කලාව අනුව අව පස දවස්වලට. ඒ කොහොම හිටියත්  ආයෙ පහුවදා උදේ අටෙි ඉඳල ආයෙ පිකට්. එක්කො මෙින් පිකට්,නැතිනං රේල් පිකට්. ඊට අමතරව කඳවුරට කොහෙන් කොයි වෙලාවෙ පහර දෙයිද, කොයි වෙලාවෙ ආටි ගහයිද, කොයි වෙලාවෙ කොහෙන් ස්නයිපර් පහරක් එයිද දන්නෙ නෑ... නමුත් අපි රාජකාරියේ.
පිකට් දෙකටම එහෙම අවදානමක් තිබුනා.
ඉතින් ඔය පසුබිමක් තියෙද්දි තමා අපි සැරයනුත් එක්ක හය දෙනෙක් ඔය කඳවුරට ගියෙ. ඒ මම, වටගොඩ, ගුණසේකර, කණ්ඩභාර සැරයන්,රත්නායක සහ ගොත සමරතුංග.(සමරෙ ගැන කතාවක් කලින් මං කිව්වා)

අපි යන දවසෙ දවල් කිරාන් පිකට් එකට ගහල එක්කෙනෙක් තුවාල වෙලා තිබුන. ඒ ගියාට පස්සෙ අලුත් යාලුවො සහ මගේම බැච් එකේ අයත් නැවත හමුවුනා. රාජකාරි කරන හැටි කලයුතු නොකලයුතු දේවල් බට්ටෝ දාල තිබුනු තැන් ක්ලේමෝ දාපු තැන් අපිට පෙන්නුව. මෙිව සෙබලෙක් අනිවාරයෙන් දැනගත යුතුම දේවල්. ඊට පස්සෙ මෙි කඳවුරේ ස්වභාවය කිව්වා. ඒ කෑම්ප් විසිට් එක.

 මීට කලින් මෙහෙ හිටියෙ 4 ගැමුණු හේවා බළ ඇණියෙ සෙබළුන් සහ 4 සිංහ රෙජිමෙින්තුවට අයත් සෙබළුන්. මීට මාස දෙක තුනකට කලින් මෙි ඒකක දෙකේම අසූ හතර දෙනෙක් මැරිල තිබුනා පිකට් එකට ගහල. ඊට පස්සෙ ඉතුරු  භඨ සංස්ථාව මදි නිසා තමයි අපේ ඇල්ෆා කණ්ඩායම මෙි කඳවුර භාරගෙන තිබුනෙ.  මෙිව කියද්දි මට බය හිතෙනව වෙනුවට හිතුනෙ මං ඇවිත් තියෙන්නෙ හරිම තැනට කියල. මොකද තිබුනු ඇම්ම සහ උණේ හැටියට.
අපි එදා ඉඳන් නොයෙක්  බාධක දුක් කම්⁣කටොලු දුක් සීන් සතුටු සීන් අතරින් ජීවිතය සහ මරණය අතර කාලය ගත කලා.

 ඔය කඳවුරේදි තමා අපේ වලිග කැපුවෙ. අපි අලු ගසාදාල ආවෙ. ඇට්ටරවුනේ. ඇට්ටකුනා වෙච්චි  නසරානියො බිහිවුනෙත් මෙි කඳවුරෙන්. මතක සිහිවටන, ඇඬෙන, හිනායන, විනෝදාස්වාදය, බැරැක්ක ආතල් උපරිමම තිබුනු තැනක්.
ඔහොම ඉද්දි තමා අපේ බැච් එකටම සංග්‍රාමික නිළ ඇඳුම ඇඳීමෙි අවසරය ලැබුනෙත් සහ රෙජිමෙින්තු අංක ලැබුනෙත්.

අපි ඒ සංග්‍රාමික නිළ ඇඳුම අඳින්න  විතරක් පැය දෙකක විතර මහ අපා දුකක් වින්දා. ඔය යුනිෆෝම් එකට වැන්දා. හැමදාම ඔය කිට් එකෙන් රෑ නවයට ඉන්ස්පෙක්ෂන් තිබුනා. ඒ ඉන්ස්පෙක්ෂන් වලදි එක නූල් දශම කාලක් කොතනකින්වත් ඇදිල තියෙන්නත් බැහැ. හරියට තිතට අයන් වෙලා තියෙන්නත් ඔින. ඒක තිබුනා දවස් හතක්. ඒ කට්ටත් කෑවට පස්සෙ අපිට අවසරය ලැබුනා ඔින ඔින විදියට අඳින්න.
අපි මොන ඩියුටි ගිහින් ආවත් කීයට ආවත් රෑ නවයට පෝලින් කරනව ඔය කිට් එක පිටින් ඉන්ස්පෙක්ෂන් එකට. ටෝච් එළියෙන් අපිව චෙක් කරල ඉවරවුනාම ආයෙ ඒක ගලවල වෙන එකක් ඇඳගෙන ඩියුටි යන්න ඔින. චෙක් වුනොත් ඒවට වෙනම දඬුවම්.  හිතන්නකො කොහොමද ඒ සැප කියල.
 ඔිවත් පාස් කරල දින දින යද්දි  අපිට තිබුනු පලවෙනි බැච් එකේ  "තද" ගතිය ටික ටික ලිහිල් වෙන්න ගත්තා. පළවෙනි බැච් එක කියන්නෙත් ඒ වෙද්දි මහ ලොකු සර්විස් එකක් තිබුනු අය නෙමෙයි. අපිට වඩා අවුරුද්දයි සීනියර්. එහෙම ආයෙත් ටික දිනක්  ගතවෙලා යද්දි කෝපල් කෝපල් කියල කතා කරපු පලවෙනි බැච් එකේ සාමාන්‍ය සෙබළුන්ට නම කියල කතාකරන්න අවසරය ලැබුනා. ආයෙ ටික දවසක් යද්දි උන් මචං වෙලා ලා/කෝ ට කෝපල්ට බැජී කියන තත්වෙටත්, උන්දැල සමගම එක සිගරැට් එක බොන තත්වෙටත් පත්වුනා.
අපි එකම සහෝදර කැලක් බවට දිනෙන් දින පත්වීමත් එක්ක නාස්ලනුව ටික ටික බුරුල්වෙලා ලඟ පැලයි දුර පැලයි අල්ලපු කොටුවෙ පැලයි හතර වටෙිම පැලයි කන්න පුරුදු වුන අපට "කිරාන්" යනු ගෙදරක්ම උනා. මමත් ඇට්ටරයෙක්ම වෙලා ගුටි කන එකෙත් සීමාවක් නැතුව ගිහින් "තොට ඔින විදියකට හිටු" කියල බැරිම තැන මාව ලනුවෙනුත් අතෑරල දැම්මා.

මෙි වෙද්දි මං ලොකු බොකුටු පොල් කට්ටක් තුවක්කුවෙි බැරල් එකේ ගානට අඩියෙන් හිල් කරල සුද්ද කරල පිලිවෙලකට තියාගෙන හිටියෙ. ඒක මගේ කැටපත් පවුර වගේ.
කුරුටු ගී තිබුනා අම්බානක ලියල.
සමහර ඒවනං මතකත් නෑ. සමහරක් මතක ඒවත් තියෙනව.

පලවෙනි තිහ පොකුරු උන්ඩ
ඊලඟ ටික ඩබල්            උන්ඩ

සතුරා, සෙබළාගේ ඉලක්කය මිස සෙබළා සතුරාගේ ඉලක්කය නොවෙි.

කටුකොහොලින් පිරි මට හිමි ලෝකේ ඔබ සරණයි අම්මෙි..

ඒ පොල් කට්ට හිල් කරල තියන් හිටපු එකේ තේරුම තමා වෙඩි තියන කොට  පොල් ⁣කට්ටෙ ඇතුල් පැත්ත ඉස්සරහට තියෙන්න බැරල් එකට බස්සල වෙඩි තියන එක. එහෙම දැම්මම මාර සද්දෙයක් ඇහෙන්නෙ. ඒක හරියට මෝටාර් ආර්පීජී ගහනව වගේ කංඅඩි සලිතවෙන සද්දයක්. ඒ දවස්වල හැමදාම වගේ කොහෙ හරි වෙඩි තැබීමක් තියෙනවමනෙ.  එතකොට අවස්ථාවක් ආපු ගමන් මං කරන්නෙ ටක්ගාල බෙල්ට් ඔිඩර්යෙන් පොල් කට්ට අරං බැරල් එකට දානව.දාල තමා වෙඩි තියන්නෙ. ඔික මං හොරෙන් කර කර හිටියෙ. පස්සෙ කෝපල් කෙනෙකුට මාට්ටුවෙලා මං ගුටි කෑව. ඒත් මං නෙමෙි ඔික අයින් කලේ. පස්සෙ පස්සෙ ගුටි කාලම ඇතිවෙලා විසික්කරල දැම්මා.

එදා උදේ මං පිකට් හිටියෙ. වටගොඩයා උදේ හයට පොයින්ට් එකෙන් ඇවිත් තේ ගෙනල්ල අපිට පනිවිඩෙිකුත් ඒවිවා තේ බොන්න එන්න කියල. අපිත් කෝපල්ලට තේ කෝප්පවලට දාල වහල තේ බිල ගියා මූන හෝදන්න. අපි මූන හෝදන්න ගියත් කරන්නෙ නාන එක. කලපුවෙ නිකන් තියෙන වතුරනෙ. උදේටත් නානව, හවස ඇවිල්ලත් නානව.
අපි නාන්ඩ ගියාම හැමදාම  අල්ලන සෙල්ලම කරනව. ඒ සෙල්ලමෙිදි  අහුවෙන අහුවෙන එකාගෙ ඇඳන් ඉන්න ජොකා ගලෝල ගොඩට විසිකරනව. එතන ඉඳන් හෙලුවෙන් තමා ඉන්න වෙන්නෙ. කෝපල් කෙනෙක් අහුවුනත් එච්චරම තමා. අපි ගොඩට එනකොට පතෝල වැටකොලු මැස්සක් වගෙයි ගොඩ.
එදත් උදේ අපි කලපුවේ දන්න දන්න සෙල්ලං දාල නාගෙන එහෙම ඇවිත්  ලෑස්ති වෙලා ගියා පිකට්. ඊට කලින් දවසෙ තමා සංසෙ හේරත් ගෙ කකුල බට්ටෙකුට ගියෙ. ඒ කිරාන් ටවුමෙ කෝවිලට දකුණු පැත්තෙන් තියෙන තැපැල් මහත්තයගෙ ගෙදර මිදුලෙ දාල තිබ්බ බට්ටෙකුට. ඒකටත් අපිට මල පැනල හිටියෙ.

අපි මෙදා පිකට් එක  හතරට ඇකිලුවා. එදා නෝමල් පිකට් එක තිබුනෙ. මෙිකට යන්නෙ පහලොස් දෙනයි. හැට දෙනෙක් යන්නෙ මෙින් පිකට් එක දවසට. ඒ කියන්නෙ මඩකලපුව කොළඹ කොන්වොයි එකට. (CONVOY)

 එහෙම පිකට් එක ඇකිලුවම කිරාන් ටවුමට මීටර් හාරසීයක් විතර දුරින් කඳවුර පැත්තට වෙන්න තුන් දෙනෙක් නතර වෙනව. ඒ නතරවෙන අය රාත්‍රී හතට සවන්දීමෙි මුරය ආවම තමා  ඇතුලට එන්නෙ.
මෙදින ඒකට නම් කරල තිබුනෙ ලා/කෝ පේමජයන්ත,සාසෙ ප්‍රේමසිරි සහ වටගොඩ.

අපිත් ඇතුලට ඇවිත් හෙල්මට් ජැකට් ගලවල මහන්සියට කකුල් දෙකත් අල්ලගෙන ටංක පෙට්ටිය උඩින් ඉඳගත්තේ උදේ ඉඳන් තැමිබිල තැම්බිල තියෙන කකුල් දෙකට හුලං ටිකක් වද්දවාගැනීමෙි අරමුනෙන් බූට් දෙක ගලවන්න. පිකට් ගිහින් ආවම ඇත්තටම ගොඩක් මහන්සියි. සමහර වෙලාවල් වලට කතාකරගන්න බැරුව එන්නෙ. මහන්සියට කටෙන් එන කෙල, සෙම වෙලා, ඒ සෙම කට වටෙි මිදෙනකං පයින් ඇවිල්ල ඇවිල්ල ඉඳගෙන බූට් එකට අත තියන කොටම "ටකොස්-ඩුම්" ගාල සද්දයක් ඇහුන.

ඒ සද්දෙ මහ කරුමක්කාර සද්දයක්.  අපිත් අර මහන්සිය නොබලා ආයෙත් බෙල්ට් ඔිඩරෙයි හෙල්මට් එකයි අරං තුවක්කුවත් අරං  ඊලඟ තත්පරේ සද්දෙ ආව පැත්තට දිව්වෙ  ඇඟේ ඉතුරුවෙලා තිබුනු අන්තිම හයිය බිඳුවත් කකුල් දෙකට පවරල හැකි උපරිම වෙිගෙන්. ඒ දුවද්දි තමා බෙල්ට් ඔිඩරෙත් දාගත්තෙ. අපිත් විනාඩි දෙකක් යනකොට එතන. ඒ යද්දිත් කෝපල් ජයරත්නයි ප්‍රේමසිරියි එක සීරුවට වෙඩි තියනව. අපිත් ඒකට සහභාගි වෙලා කලපුවත් තරණය කරල ටවුන් එකටත් පැනල පුලුවන් හැම තැනකම හෙව්ව වෙඩි තියපු ස්නයිපර්ව. ඒත් අපිට හම්බුනේ නෑ. මොකද උන් වෙඩි තියනව,ඊලඟ තත්පරේ දුවනව. දන්නවනෙ අපි එතනට එනව කියල. එක දවසක් එහෙම ස්නයිපර් ගහල සපෝර්ට් එකට එන කෙනෙකුටත් වෙඩි තියල දුවල තිබුනා.

අපි ඒ පන්නල වැඩක් වුන්නැති තැන ආපහු පොයින්ට් එකට ඒද්දි වටගොඩ අපිව අතෑරල දාල ගිහින්.හරියටම නලල මැද්දට ස්නයිපර් පහර වැදිල තිබුනා. මෙයාල ඉඳගෙන හිටියෙත් වතුර ගිය පරන පොඩි ඇලක. ඒක වෙිලිලා තියෙන්නෙ.
එතන ඇලේ ඉඳගෙන හිටපු වටගොඩ මොකක් හරි දේකට හෙල්මට් එක ගැලෙව්ව.ගලවපු සැනින් තිබ්බා.
උදේ ඉඳන්ම ඔික දාගෙන ඉඳල ඉඳල එපාවෙලා හුලං චුට්ටක් වදින්න ගලවන්න ඇති සමහර විට. ඒත් ඒක කෙලවර වුනේ මරණයෙන්. සෙබළ ජීවිතයක් කියන්නෙ මහ පුදුමාකාර ජීවිතයක්. විශේෂයෙන්ම යුධ අවධියක.

අපි මාදුරුඔය කෝස් එක කරද්දි මෙස්එක ලඟදි කොඩැක් 110 කැමරාවකින් ගත්තු  වටගොඩගේ පොටෝ එක තමා මෙි යටින් තියෙන්නෙ.

රුවින් පමුදිත යද්දෙහිආරච්චි
2020.07.17

3 comments:

  1. හයියෝ... මනුස්ස ජීවිතයකට කොයිතරම් සිල්ලර ලංසුවක්ද යුද්ධෙදි හම්බුවෙන්නෙ... මහ ජරා වැඩක් යුද්ධය කියන්නෙ.

    රුවින් මේක බලල ඇති?
    https://www.youtube.com/watch?v=gh41Wxez9PE

    ReplyDelete
  2. පොල් කට්ටේ විස්තරේ කියනකොට පොඩි කාලේ පොල්කටුවෙන් වහලා රතිඤ්ඤා පත්තු කරපුවා මතක් උනා....ඇත්තටම ඩ්‍රැකී කියලා තියනවා වගේ ඒ කාලේ මනුස්ස ජීවිත මොනතරම් අස්තාවර තත්වයකින් ද ගෙවුනේ.....

    ReplyDelete
  3. මෙිිිහැම ජීවිතයක්ම මොකක් හරිම දේශපාලන හේතුවක් හින්ද නැතිවුනේ.

    ReplyDelete