Friday, July 3, 2020
පොළොන් සෙනග රෑ මැදියම
ඒ මට මහා එපා කරපු මාස කිහිපයක්. ඒක ගෙවාගන්න තිබ්බ මහන්සිය කොච්චරද කියනවානං මට වෙන කඳවුරකටත් ඉල්ලල යන්න හිතිල තිබුනෙ. නැත්තං පැනල ගිහින් ජීවිතේම වල්මත් කරගන්න හිතිල තිබුනෙ. දුවන්නෙත් නැතුව හැති වැටිල තිබුනෙ. මං කිව්වනෙ අර කක්ක බෙට්ටක කතාවක් නාවල්අඩි වල. ආන් ඒ කාලෙමයි හැබැයි චුට්ටක් පහුවෙලා මෙි.
මං මෙි දවස්වල චූටි අත්වැරදීමක් වෙලා යුධ හමුදා ජීවිතේ තුන හතර, සහ පස්වෙනි චෝදනාපත්‍ර දෙකම එකට විභාගකොට එයට හිමි දඬුවම්ද විඳ අවසාන වුනා විතරයි.
ඒ දවස් විසිඑකක් කඳවරට සීමා කිරීම.
හැබැයි මට උපරිම දවස් හතක් වගේ තමා ඒ දඬුවම නියම වෙන්න තිබුනෙ. නමුත් ආරච්චි ගාව පාවාදීම් වගෙ දෙකයි පනහෙ වැඩ නෑනෙ. මොන කුප්ප ගේමක් ගහල ගැස්සුනත් ජීවිත හානියක් නැත්තං භාරගන්නෙ තනියම තමා.
නමුත් ඒක චාජ් සීට් එකෙන් හරි දෙකෙන් හරි හොඳටම සේප් වෙලා දවස් හතක් පනිස්මන් කන්න තියෙච්ච එකක්. නමුත් තුනක් දක්වා ගනන් ඉස්සුව. ඒකට පුංචි සීන් එකකුත් බලපෑව. ඔය දඬුවමුත් විඳල දවස් විසි එකක්ම කට්ටකුත් කාල ආයෙ යකා වගේ ආවෙ පිටියට. (ඒ කතාව තව දවසකට තියමුකෝ) මෙි දඬුවම වැඩිවෙන්න තව හේතුවක් බලපෑවා කිව්වනේ.
අපේ නිළධාරි අණදෙන තුමත් එක්ක ඊට කලින් දවසක රාජකාරි වැඩකට පනාගොඩ ගියා. මම තමා වාහන ආරක්ෂක මුරයට හිටියෙ. අපිට නියම වෙලා තිබුනා පනාගොඩ ගිහින් එන ගමන් 23 සේනාංකයේ හදන්න දාල තිබ්බ ගුවන්විදුලි යන්ත්‍රයක හෑන් සෙට් දෙකක් සහ බැටරි කීපයකුත් අරන් එන්න කියල. ඒක තියෙන්නෙ වැලිකන්දෙ. අපි පනාගොඩින් පිටත්වුනේ උදේ එකොලහට විතර. වැලිකන්දට එනකොට තුනයි තුනහමාරයි. මටනං ඒ වෙද්දි ඉවස ගන්නම බැරි බඩගින්නක් තිබුනෙ.අනික බඩගින්න හංදම ලෑල්ලට තදවෙලා හිටියෙ. උදේ වැඩටික ඉවරවෙලා කෑමට පනාගොඩ මෙස් එකට යනකොට කෑම ඉවරයි. කරන්න දේකුත් නෑ. ඉවසගෙන හිටියා එද්දි මගින් හරි කනව කියල හිතාගෙන.
නමුත් මග කොහේවත් තේ එකක්වත් බොන්න වාහනේ නැවැත්තුවෙ නෑ. මමයි රියැදුරයි ඔිසීයි, තව කෝප්‍රල්ලා දෙන්නෙකුයි වෑන් එකේ හිටියෙ.
වැලිකන්දට එනකොට එහෙ මෙස් එකේ ඩිකිසුත් හෝදලා. ආයෙ කොහෙන් කන්නද. හතර අතේ කරක් ගැහුවත් කන්න යමක් හොයාගන්නම බැරිවුනා. බඩගින්නෙ හිටපු කොල්ලො නෙමෙිනෙ දෙයියනේ ගහක පොත්තක් හරි කාල පිනිවතුර හරි බීල හැදිච්චිවුන්නේ. ඊලඟට අපි වැලිකන්දෙ පසුමූලයෙන් එලියට වාහනේ ගන්නකොට ඇති පහට විතර. වෑන් එක පාරට දැම්මා විතරයි මං දැක්කා පුත්තලම නිජ භූමිය කරගත් මහ තඩි වල් කුපාඩි මුස්පේන්තු ගොං මූසල බූරුවෙක් බූරු රාජෝත්තමයන් කෙනෙකුසේ වැලිකන්දේ සේනාංක කඳවුරේ යන එන පාරේ ඔලුවත් වන වනා පාරදිගේ ඉස්සරහට එනව. මට බඩගින්න අමතකවුනා. කටට නව පනක් ආව. ගොං කම ඉස්පේත්තු වුනා. ඔිසී වාහනේ ඉන්නව කියල මොහොතකට මුලු සරුවාංගෙම්ම අමතක වෙලා ගියා.ඔිව ඔක්කොමත් වෙලා හිනැස්සකුත් ගිහින්
අර බූරුව පෙන්නල, ඇස් දෙකත් ලොකු කරල,
*ආං කෝපල් අපේ ඔිසී..
*මොකක්???? ..මොකද්ධෝයි තමුසෙ ඒ කිව්වෙ.
හෑ..හ් යකෝ අපේ ඔිසීත් ඉඳලනෙ... ඩෝ.... වෑන්නෙකේ.
මයෙ අප්පේ ඉතින් කියන්නත් මහ මෙව්ව එකයි, සේර් ඉස්සෙල්ලම පටන් ගත්තෙ යමින් තිබ්බ වෑන් එක පාර අයිනටත් හේත්තුකරල නවත්තල..
මං සද්ද නැතුව හිටියා. කියපු දෙයක් ආයෙ ඇදල ගන්න පුලුවන්ද. (මාස්ක් එකත් දාගෙන විට කාල කෙල ගහපු අපිට සිහිකල්පනාව ගැන කියන්න එපා පෙන්ස්)
ආයෙ ගමන පටන් ගත්ත. තාම ඔිසී මට විට්ටෝරියා වෙිල්ල ඇරිය වගේ නොනවත්තාම බනිනවා, කෝප්‍රල් ගුණරත්න කේඑන් සීට් එක දිගේ අත එවල මගේ දකුනු තට්ටම කොනිත්තනවා.
කෝප්‍රල් පේමසිංහ පිටිපස්සෙ සීට් එකේ ඉඳන් යටින් පයින් අනිනවා.මං ඒව ඔක්කොම අහගෙන විඳගෙන ජනේලෙන් එලිය බලාගෙන තනියම හිනාවෙනවා. මරන්ඩදෝයි ගොනා කියල. හොඳවැඩෙි.
අන්තිමෙිට ඔිසී කියනව,
*යමන්කො අද ඇතුලට කියල.
මං නෙමෙි ගණන්ගත්තෙ. ගනන් ගත්තාය කියල දැං කරන්න දේකුත් නෑ. වෙච්චිදේ උනා. මං ඒ වෙලාවෙම හිතාගත්තා ආයෙ කවදාවත් කාටවත් ඇහෙන්න බූරුවෙක්ට අපහාසයක් කරන්නෑ කියල.
හැබැයි ඇතුලට ආවත් ඔිසී මුකුත්ම කිව්වෙ නෑ. හැබැයි එහෙම කිව්වෙ ඇයි කියල විතරක් මගෙන් ඇහුවා. මං කිව්වා
*අම්පාා සර්... මට ඇත්තටම සර් වෑන්නෙකේ ඉන්නව කියල අමතක වුනා.
*යනෝයි යන්ඩයිසෙ. ආයෙත් මගෙ යකාවුස්සන්නැතුව. එහෙම කිව්වෙ අතකුත් අහසට විසිකරන ගමන්.
මාත් වැඩිය ටැග් ගැහෙන්නැතුව සේප් එකේ කැපිල ආවා.
වෙන දඬුවමක්නං මට දුන්නෑ. හැබැයි ටික දවසක් යනකං මා එක්ක කතානොකර හිටිය විතරයි. දැං ඔිගොල්ලො හිතයි කැප්ටන් කෙනෙක් පයිවට්ටාරච්චි එක්ක මොන කතාද කියල. මෙහෙමනෙ මයෙ ආදරණීය යාලුවනේ. ආරච්චි ඉන්න තැනක ගස් ගල් වලටත් කතාකරන්න සිදුවෙනවා. ඉතින් ඒක ඔිසීටත් අදාලයි. මං උදේට
*ගුඩ්මෝනින් සර් (ඇහුනෙ දැක්කෙ නෑ වගේ යනව)
*ගුඩාප්ටනුන් සර් (ඒත් අරහෙමමයි)
*ගුඩීනිං සර් ( අතකුත් දික්කරල:යනෝයි යන්ඩ) ඒකෙන් තමා දැනගත්තෙ මා එක්ක ආයෙ කවදාවත් කතා කරන්නෑ කියල.
ඔිං ඔය වටපිටාවක තමයි මං චාජ් එකේ ගියේ.
හත්වලාමෙ කියන්නෙ ඔය චාජ් ශීට් තුන ඔිසී කියවද්දිත් මම කුප්පමෙිනියා ගිලපු බළලෙක් වගේ හිටියෙ. වෙන කරන්න දෙයක් නෑනෙ.
ඇති යාන්තං අතක් පයක් නොකැඩි දවස් විසි එකෙන් ගියා මාස තුනක් විතර නොදී.
මගෙ ආදරණීය යාලුවනේ මට ඔය දවස්වල ලෙඩක් තිබුනා තනියම හිනායන. කොයි වෙලේ කොහෙ මොනව කර කර හිටියත් තැන අදාල නෑ එක පාරටම හිනා යනව. එක දවසක් අපි පැටිග් කර කර ඉන්නකොටත් මට ඔය වගේ "බුකාස්" ගාල එකපාරටම හිනැස්සක් ගියා. ඒක දැකපු අපේ පැටිග් ඉන්චාජ් සීඑස්එම්
*ඈ බොල හු*@&$%තො. මොකෑ තෝ තනියෙන් හිනාවෙන්නෙ? පිස්සුද බොට??
* මොනාටද ඉතිං සර්. මං ඉස්සර කරපු ගොංකං ගහපු බුල් මතක් වෙලා මිසක් වෙන එහෙකටෑ..
*ඉස්සර කියන්නෙ දැං කියලත් වෙනසක් නෑනෙ. පිස්ස පිස්සමනෙ.
*ඔවු නේද සර්. ඒ සරුත් වැඩිය මයෙ එක්ක කතාවට එන්නෑ. මොකද ඒ කතාව පටන්ගන්නෙ ලංකාවෙ නාවල්අඩි වලින්. ඉවරවෙන්නෙ ලතින් ඇමරිකාවෙ මැචෙව්සෙට් පාන්තෙන්. නිකන්මත් නෙමෙි, ජෝජ් බුෂ්ටත් වෙඩි තියල පිදෙල් කැස්තෝ හොරෙක් කරල චෙිගුවෙිර බස් කොන්දොස්තර කෙනෙක් කරල නෙල්සන් මැන්ඩෙලා මෙිඩින් සිරි ලැංකන් කරල ගඩාපි ජැෆ්නවල ජනාදිපතිත් කරල. ඒකයි.
අනික ඒ වෙද්දි එයාටත් මගෙත් එක්ක පොඩි ඇරියස් එකක් තිබුනා. ඒ එතුමට කාඩ් එකක් ගහල මාට්ටු වෙලා.
ඒ සර් කලුම කලුයි. ඇස් ලොකුයි,රතුයි. ලබ්බට කූරට ගහල වගේමයි. (සාජන් මෙිජර් ලයනල් ඩබ්ඒ කිව්වම දන්න කට්ටියට හිනත් යයි) මං එක දවසක් ඔෆීස් එකට ගියා මෙතුමව හම්බ වෙන්න. නමුත් පේන්න හිටියෙ නෑ. මං ඉස්සරහ හිටපු ක්ලාක්ගෙන් ඇහුව
*ඒහ්..කෝ බං උඹලගෙ මිස්ටර් ගෝරිං සිංග්??
*කව්ද කෝපල් ඒ.
*කව්ද ඉතින්, උඹලගෙ සීඑස්එම් තමා
වෙන කව්ද මෙහෙ ගෝරිල්ලො වගේ ඉන්නෙ ....කියල කටගන්න හම්බුන්නෑ,කම්පියුටර් රූම් එකේ ඉඳල එලියට ආපු එතුම මට දමල ඇරියෙ මෙිසෙ උඩ ලියුං හුලඟෙ යනවට තියල තිබුනු කිලෝ එකක් විතර බර හෙන සයිස් වීදුරු බෝලෙකින්. ඒක වැදුනනං ඒම මැහුං දහයක්වත් දාන්න වෙනව වැදිච්චි තැනට. කටෙි එහෙම වැදුනනං තාම දත් කැක්කුම. ඒකත් මූන කෙලින්මයි ආවෙ. බෝම අමාරුවෙන් මූන බෙිරගෙන ලෝන් ඔින් කලාපය හරහා නිදැල්ලේ පාවෙලා යන්න ඉඩ ඇරිය හිංද වැඩි වගා හානියක් වුන්නෑ. පොර පැන්න පැනිල්ලට ඒක ආයෙ අහුලන් දමල ගහයිවත් කියල බයට මං ඒකත් අහුලගෙනම තමා දිව්වෙ.
ඔය දවස් විසිඑක ඉවරවෙච්චි ගමන් ඊට පහුවදා රෑ තමා මං සවන්දීමෙි මුරයකට දාල තිබුනේ. මටත් අවුරුදු වගේ ඉතින්. දවස් විසි එකක් දුක් විඳල විදල කට්ට කාල කාල ලේ හලල හලල ඉවරවෙලා ඉද්දි එලියෙ රාජකාරියක්. එපා වෙනවනෙ ඉතින්. එදා මං ඔය රාජකාරියෙ හිටියෙ බකට් හැරී සහ ජෙනි ජයසිංහ සමග. බකට් හැරී කියන්නෙත් මහ අමුතු චරිතයක්. කිව්වොත් කේලමක්,කැපුවොත් බෙල්ලක්, බින්දොත් මුට්ටියක්, ගැහුවොත් පුට්බෝලයක්,පෙරලුවොත් බාල්දියක්, ඇරියොත් පඩයක්, කැඩුවොත් පෙට්ටියක් තමා. පඩ උනත් මාර ගඳයි.පලාතෙ ඉන්න බෑ.
මෙහෙ අපි රෑට කැලේ ගියාම ඉන්න වෙන්නෙත් මදුරුවාගේ,නයි කූඹියාගේ පටන් කබරයා කියන තනි අලියා දක්වා වූ එකේක නානාප්‍රකාර සත්තු ගොඩක් මැද. හැබැයි අපිට කවදාවත් කූඹියෙක් කාල මුදුරුවෙක් ඇන්න ඇරෙන්න වෙන කිසිම හානියක් වෙලත් නෑ.
කබරය කියන්නෙ තනි අලිය. එක ඇහැයි පේන්නෙත්. අපේ මොකෙක් හරි අහුවුනොත් ඊට වැඩිය ආතල් එකක් නෑ ඌටත්.
ඒ පිඹල පිඹල පන්නන්න වගේ ඇවිත් පඳුරක් අස්සෙ හැංගෙන එක කරන්නෙ. අපිත් අරූට බයේ ගෙනාපු බඩුත් දාල තුවක්කුව විතරක් අරගෙන පන එපා කියල දුවනව. ඒත් පන්නපු අලියෙක් නෑ. ගෙනාපුව අකුල අකුල ඉන්න බෑනෙ තනියා පන්නද්දි.
ආයෙ හිමීට හිමීට අපි බඩුටික ගන්න ආහම එකපාරටම ආයෙ කොහෙ හරි ඉඳල පිඹල පිඹල වලිගෙත් කෙලින් කරල "ක්‍රෝස්ස්" ගාල කෑත් ගහල අඩි දෙක තුනක් ඉස්සරහට පනිනව. අපි ආයෙ පඳුරු බිඳගෙන කෙලින් කරගෙන දුවනව. ඒත් මූ කරන්නෙ පන්නන්නෙ නෑ. හැංගෙනව.උගේ ආතල් එක ඌ වෙනමම හිමීට හිමීට ගන්නව.
පස්සෙ පස්සෙ අපිටත් ඔික පුරුදු වෙලා ඌ ආවත් අපි ගනන් ගන්නෙත් නෑ. අපි ඉන්නව කියල ඌ ගනන් ගත්තෙත් නෑ. දෙගොඩතලා ගේම ගලා ගියා. හැබැයි මෙික තනියාය කිව්වට හරි අහිංසක බුවෙක්. ඔය සම්පූර්ණ කාලෙටම හේනකටවත් හානියක් කලා කියල ආරංචියක් නෑ. පස්සෙ ඔික නොදන්න පූනානි කෑම්ප් එකේ අපේ බුවෙක් මූට බයවෙලා වෙඩි තියල,කකුලකට වැදිල, පස්සෙ පේන්න නැතුව ඉද්දි හොයල බලද්දි කකුල් තුනෙන් ඉන්නවලු කැලයක් මැද්දෙ. පස්සෙ අපේ පූනානි නිළධාරි මහත්මයෙක් එදාම වනජීවි එකට කතාකරල මහ වනේ මැද්දෙ දාගෙන මූව හොඳකලා කොහොම හරි.පූනානි හිටපු ආමි කාරයොම තමා මුගේ ගාඩ් එකෙත් හිටියෙ.
කතාවට යමුකො. එදා රෑ එකොලහට විතර නිදාගෙන හිටපු කෝප්‍රල් අනගිරත්න(බකට් හැරී) සීතලට යමක් අතක පයක ගෑවෙනව දැනිල එකපාරටම යකා ගැහුව වගේ "බුදාම්මෝ,මා නැතෝ" කියාගෙන නැගිටල දුවන්ඩ තිබාගත්තා. ඒ වෙනකොට සමාදානයේ සැතපී හිටපු මෙලෝ හසරක් නොතේරුනු මාත් ඒ සද්දෙට බයවෙලා ඊට වඩා හයියෙන් තුවක්කුවත් දාලම දුවන්න තියාගත්තා.කව්ද්දන්නෙ කොටි ගහනවද කියල.
අපි දෙන්නම දැන් පඳුරු කීපයකුත් කෙලින් කරගෙන එරමිනියා ගාලකටත් හූරගෙන තව පඳුරකටත් උඩින් පැනල පාරට දුවන් ඇවිත් හති අරින්න හදනකොටම මෙන්න යකෝ සෙන්ට්‍රි හිටපු ජෙනි ජයසිංහයා හයිවෙි එකේ ඩි එස් ගුනසේකර එකක් කොලඹ එනව වගේ ඊටත් වඩා හයියෙන් අපිවත් පහුකරාගෙන කෙලින් බලාගෙන දුවනවා. බෝම අමාරුවෙන් එලෝලා ගිහින් කොලර් එකෙන් ඇදල අල්ලල නවත්ත ගත්තෙ. නැත්තං තාම දුවනව.
*මොකෑ මොකෑ කෝප්‍රල්. බෝදිලිම ඔලුවවත් අතගෑවද. මං ඇහුවා
*මගුලක් කියෝනව, මොකෙක් හරි මගේ අතට යටවුනා. සතෙක්.
*ඉඳකින් කොටි ආව නෙවෙයිද එතකොට??
*නෑ නෑ යකෝ. සරුපයෙක්.
*හුටා කෝ මගේ තුවක්කුව..
*තොපිටත් ආතක් පාතක් නෑ. බල්ලො ටික වගේ දුවනව.
*නැතුව කෝපල් දිව්ව කියන්නෙ අපිත් දිව්ව වගේ තමා..යකෝ සරුපයෙකුට ඔිම බයනං කොටි ආවනං ඒම මෙතන දෙකක් වෙයිනෙ. යං යං බලන්ඩ. කියල මාත් රෑ මැද්දෙම ගහක අත්තකුත් හූරගෙන හිටිපු තැනට ආවා.
හැබැයි ආවෙ පරිස්සමින්. තුවක්කුවත් නෑනෙ.
බුදු අම්මෝ... වයිරං වයිරං තඩි පොලඟයි ග්‍රවුන් සීට් එකේ මැද. කෑවනං ඒම බකටටත් බබා හම්බවෙලා, අපිටත් හම්බෙනවා. බකටට කාල පොරට හම්බෙනවා. පොර අපිට කාල අපිට බබා හම්බෙනවා.
දැං අර දෙන්නගෙ ට්‍රයි එක මූව රෑ මද්දහනෙම දාගෙන තලන්ඩ. මං ඉඩ දුන්නෙම නෑ. වාසනාව කියන්නෙ සතා දරුණු වුනත් හානියක් කරල නෑ. මං ඒත් ඇහුව බකට් ගෙන්
*කෝප්‍රල් ඇස් නිලංකාර වෙනව වගේද, වමනෙ යන්න වගේ එනවද,කලංතෙ වගේ දැනෙනවද. එහෙමනං කියන්ඩ. මෙහෙමම අවසාන කටයුතුත් කරලම දාන්ඩ.
*නෑ.නෑ. අවුලක් නෑ.කාල නෑ.
*ඉඳකින් වල් පෝසත් පොලඟා. ඌට ඒකවත් හරියට කරගන්න බෑනෙ.
*මොකක් හු&@%$තො කීවෙ.
*නෑ නෑ. මං කිව්වෙ කෝපල් පොලඟවුනත් සතා දරුණුයිනෙ.
*ඒක මිසක්.
දැං පොලඟත් ටික ටික ඇදී ඇදී ගියා. අපිත් තැන මාරුකරලා ආයෙ ලඟ තැනකට ගියා. හැබැයි බය හිංද කාටවත් නිද්ද ගියෙ නෑ. කොටි ගහල මැරුන වගේද පෙන්ස් පොලගෙක් කාල මැරුනොත්.
ටිකක් වෙලා ගියාම ඉඳගෙන ඉන්න කෝප්‍රල් අහනවා
*ඇත්තටම මට පොලඟ කාල තිබුනනං මොකෑ උඹල දෙන්න කරන්නෙ.
*මූත්‍රා එකක් චෙක් කරනවා කෝප්‍රල් සුවර් නෑනෙ. මං කිව්වා
*ඇයි??
*නෑ ඉතින් පොලගෙක් කාපුවම ඇස් නිලංකාර වෙනව.ඔක්කාරෙට එනව,කලංතෙ හැදෙනව.ඒව රෝග ලක්සනනෙ කෝපල්.
*ඉතින්
*ඉතින් ඒ ලෙඩ ලක්සන ඔක්කොම එන්නෙ බබ්බු හම්බෙන්න ඉන්න ගෑනුන්ටනේ කෝප්‍රල්. එහෙම උනාම කරන්නෙ මූත්‍රා එකක් චෙක්කරල බබෙක් හම්බෙන්න ඉන්නවාමද කියල බලන එකනෙ. අපිත් බලනව ඉතින් කෝපල්ටත් හිටලමද කියල..
ඒක ඇහිච්චි ගමන් උන්දැ අර කරුවලේ අත මිටි මෝලෝලා දිගෑරලා අතෑරපු එක මගේ වම් හක්කෙ යාන්තං ගෑවීගෙන ගිහින් පපුවෙ වැදුනෙ. මං අර කරුවලේ බුදිගැස්සුනා ඒක වැදිල.
ආයෙ ටික වෙලාවක් යනකොට ආයෙත් ලඟින්ම මකුනු ගඳක්.
අපි හොඳට විපරම් කලා. බිම ඩවුන් දාල ඉස්සරහ බැලුවා. මීටර් පහක විතර දුරින් ආයෙත් පොලඟෙක් හිමීට අපි දිහාවට ඇදෙනව. අපි ආයෙත් ලට්ට ලොට්ට ටික ඇදගෙන වෙන තැනකට මාරුවුනා. හැබැයි මටත් දැන්නං මෙි පොලොං තඩියත් එක්ක ඇරියස් වීගෙන එන්නෙ. පොලොංගු හතක් එනවලුනෙ පස්සෙන්.
අපි ආයෙ වෙනතැනකට ගිහින් ඉන්නකොට ආයෙත් පොලොන් ගඳ. අපිත් වැඩි ඈතක නෙමෙි ඔය අවස්තා දෙක තුනේම ගියෙ.ලඟ ලඟම දා ගත්තෙ.
පස්සෙ බැරිම තැන මහ පාරෙන් දා ගත්තා. ඊට පැයකට විතර පස්සෙ අපි දැක්කා අපිට ටිකක් දුරින් තව පොලඟෙක් පාර ක්‍රොස් කරනව. කොහොම හරි එදා එලිවෙනකොට පොලොංගු පස් දෙනයි.
පහුවදා උදේ.
*ඊයෙ රෑ එලිවෙද්දි පොලොංගු කීයක් ආවද බං.
*පහයිනෙ කෝප්‍රල්.
*අද මෙතනට එනවුන්ට කියමු වෙන තැනක දාගන්න කියල.
*ඔව් නේද කෝප්‍රල්.
කෝපල් අනගිට පොලොංගු පස්දෙනෙක් කිව්වම හීල්ලුනා. කෙලත් ඉස්පොල්ලෙ ගියා. පපුවත් අතගෑවුනා. කෑවනං පහක්නෙ කියල හිතෙන්න ඇති. අන්තිමෙි මමත් එකම පොලඟ පස් පාරක් ගනං කරල රෑ එලිවෙනකං ඇහැරලත් ඉඳල උදේ පාන්දරම කෑම්ප් එකටත් ගියා. අසරණ ජීවිත අප්පා මෙව්ව.
රුවින් පමුදිත යද්දෙහිආරච්චි
2020.07.03
Labels:
මගේ කතා
Subscribe to:
Post Comments (Atom)
ඔය කෝපල් අනගිරත්න අනුරාධපුරේ පැත්තෙද ? මොකද ඔය නම තියෙන මම දන්න කෙනෙක් එහෙ හිටියා ...
ReplyDeleteමේ සැබෑ විරුවන්ගේ කතාවයි. දිගටම ලියන්න.
ReplyDelete