Saturday, July 4, 2020
පැතුම
සිරි නැලවිල්ල නම් හිතටම වැදේ මය
නිතරම ඇසුනේ විහඟුන් ගී නදේ මය
ගොම මැටි පොලවෙ සුව සහනය සැදේ මය
කටු මැටි ගෙපැලෙ විමනක සිරි විඳේ මය
පොල් මණ්ඩියේ දඟකල සෙල්ලම් කාලේ
වෙල් ඉපනැල්ලෙ දුව පැන ඇවිදපු තාලේ
ඇල් හේනේ හැදෙන අල බතලෙට ආලේ
මල් පිපුනා හිතේ මගෙ සුන්දර බාලේ
කුඹුරෙන් හමා එන සීතල සුලං රැලේ
පහසට නතුව නෙත නිදිසුව ලබන වෙලේ
දුර ඈතකින් සීපද හඬ නැගෙන කලේ
මොන හිතකින්ද ඒ මිහිරිය ඉවත හලේ
කැකුලට පින ලැබුනවිට විකසිත වෙන්න
කුසුමට ඉඩ ලැබෙි සුවඳක් විහි දන්න
සුවිසල් පොලව මත දෙපයින් හිට ගන්න
සමහර විටදි වෙයි ගෙපැලට සමු දෙන්න
ගැමි සුවඳට වහල් වුන හිත රිදුම දිදී
ඉටිමල් පුදා නමදිමි බුදු මැදුර වැදී
ලැබුනොත් පියාපත් ඔිනම මොහොත කදී
දෙවරක් නොසිට පියඹන්නට සිටිමි රැඳී
පීදෙන දුකට හීනයි අද ලබපු පිනේ
වෙිසෙන හිතට සතුටක් නැත කිසිම තැනේ
ජීවන ගඟුලෙ සුලි කැරකෙන විටදි අනේ
මීතොටමුල්ලෙ කුණු කන්දෙහි සුවය ගෙනේ
රුවින් පමුදිත යද්දෙහිආරච්චි
2020.07.04
Labels:
මගේ කවි
Subscribe to:
Post Comments (Atom)
නැමේ තුරු මුදුන් නිති සිසිලසක් දැනේ
ReplyDeleteනිමේ විඩා සැමටම සතුටක්ම ගෙනේ
පෙමේ වඩන ගම්බඳ සිරි හිතක කොනේ
ගමේ විසුම නිබදව ගෙන දේවි ගුනේ .....
ලස්සනයි.
ජයවේවා !!!
බොහොමත්ම ස්තූතියි
Delete