Monday, June 8, 2020

අතීතයෙන් කතාවක් 04



එදා තාත්තගේ ඒ ක්‍රියාවත් එක්ක මට ගොඩක් දේවල් ඉගෙනගන්න මග පෑදුනා. මං අම්මගෙන් ඇහුවෙ ඇයි රුපියල් දහයකට මාව පොලිසි අරන් යන්න ගියේ කියල. අම්මා මාවත් තුරුල් කරගෙන ගොඩක් දේවල්  කියාදුන්නා. පන්සිල් පද පහේ තේරුම මට තේරෙන විදියට කියා දුන්නා. ඒවා මුලු හදවතින්ම වැලඳගත්තේ ඒවගේ තේරුම අම්මගෙන් අහගෙන දැනගත්තට පසුවයි. පන්සලකට ගියත් හැමදාම ඉස්කෝලෙදිත් ඉරිදට දහම් පාසලේදිත් ඒ හැරුනු කොට විවිධ ආගමික හා සංස්කෘතික උත්සව වලදීත් අපි නොවරදීම පංසිල් ගන්නව. ඒ ඒ තැන්වලදි රැල්ලට වැඳගෙන පන්සිල් ගත්තත් ඒ වාක්‍ය පහ කව්රුවත් කියන නිසායි මමත් හැමදාම කිව්වෙ. අම්ම කිව්ව විදියටනං ඒක හදවතින් අදහගන්න ඔින දෙයක්ලු. ඉස්කෝලෙ පංසිල් ගනිද්දිත් මමනං කලේ ලඟ ඉන්න එකාට ඇහැක් ගහන එක. විහිලු කරන එක. අපිට වඩා හයියෙන් පන්සිල් පද කියන්නේ කව්ද කියල බලාගෙන ඇවිත් පන්තියේ කව්රුහරි නම් හිනාවෙන එක. ලමයි දාහක් විතර ගැහැනු ළමයි පිරිමි ලමයි වශයෙන් පන්ති පිළිවෙලට පේලියට පේලියට හිටගෙන මෙින් හෝල් එක ඉස්සරහ උඩට නගින තැන පඩි පෙලේ ඉඳල එදිනට නියමිත කව්රු හරි පන්සිල් දෙන එක මටනං එපාවෙලා තිබුනෙ. පානාතිපාතා වෙිරමණී සික්ඛා පදං සමාධියාමි කියන පන්සිල් පදය  බිම බලාගෙන කියද්දිත් කලේ ලඟින් යන කූඹියෙකුටත් සපත්තුවෙි ඉස්සරහ උලෙන් ඇනල ඌ මැරෙයිද නැත්තං ආපහු යයිද කියලා බලන එක.

 අම්මා කියන විදියට ඒවා අපාගත වෙන මහ භයානක පව් වැඩලු. ඒ නිසා මං එදා හිතට ගත්තෙ ආයෙනං කවදාවත් ඔයවගේ වැඩ කරන්නෑ කියල. මං අම්මටත් ඔය කථාවම කීවාම "මගේ රටක් වටින රත්තරං පුතා" කියල ඔලුව අතගෑවම හිතට ආවෙ මහ අමුතු ගැම්මක්.ඒ හැඟීම,  ඒ වෙලාවෙ ආව ගැම්ම දැන් උනත් වචන වලට පෙරලන්න හැදුවොත් ඇස් දෙකේ කඳුලු පිරෙනවා නොඅනුමානයි. එදා අම්මගෙන් බණ කතාවකුත් අහල තමා මං රෑ නිදාගත්තෙ. අම්ම කියාදුන්නෙ මුතු කුමාරිගෙ කතාව. අපේ බුදු හාමුදුරුවො බුදුවෙන්න හිතලවත් නැති කාලෙක දීපංකර නමින් බුදු වෙන්න දුෂ්කරක්‍රියා කරමින් පිට දී  වැඩ සිටිය මී අඹගහේ හිටපු ලේනියක් ආයෙ  මුතු කුමාරි නමින් ඉපදිලා මතු බුදු වෙන්න පිරිමි ආත්මයක් පතාගෙන ගව්වෙන් ගව්වට අබ ඇට දම දම ගිය මුතු කුමාරිගේ කතාව. ඒ තමා අපේ ගෞතම බුදුන් වහන්සේගේ පන්සිය පනස් ජාතක කතාවෙි පලවෙනි ජාතකය. මට ඒ කතාව අකුරක් නෑරම අදටත් මතකයි.

 තාත්තා සිංහලේ ගිහින් සතියක් විතර යනකං ඒක අපිට මහා දුකක් වුනා. එයා ගෙදර ඉද්දි එන වෙලාව ලං වෙනකොට පුදුම දුකක් හිතට එන්නෙ. ඒත් ඒක සතියක් දෙකක් යනකොට හීන් සැරේ ඇරිල ගිහින් ආයෙ පුරුදු වුනේ සෙල්ලමමයි. හැබැයි වැඩිය දුර යන්නෑ. පහ විතර වෙනකොට ගෙදර එන්න අම්ම නීතියක් දැම්මා. ඒ ආවෙ නැත්තං හනසු පාරකුත් කාල තනියම නාන්නත් ගිහින් රෙදිත් හෝදගන්නත් සිද්ද වෙනව. ඒ නිසා වෙලාවට එන්න ටික ටික මං පුරුදු වුනා. ඔය ඉන්න අතරෙදි තමා මගෙ ශිෂ්‍යත්ව ප්‍රථිපල ආවෙ. ලකුණු 174ක්. මං හිතුවටත් වඩා හොඳින් ශිෂ්‍යත්වය පාස්වෙලා තිබුනා. අම්ම තාත්තටත් ලියුමක ලියල යැව්වම සතියක් විතර යද්දි තාත්තත් ගෙදර ආවා. ඒ ආවෙ නිකන්මත් නෙමෙයි. මං සෙල්ලං තුවක්කුම ඉල්ලලා අම්මට කං කෙඳිරි ගගා අඬද්දි කවදාවත් පොඩි උන්ට තුවක්කු අරන්දෙන්න එපා කියල අම්මටත් සැර දාන තාත්තාම මට ලොකු, වෙඩි තියන කොට හයියෙන් සද්දෙ ඇහෙන මැෂින් තුවක්කුවකුත් අරගෙනම. ඒක තමා මං මෙතෙක් ජීවිත කාලෙටම ලබපු ඉහලම ඝණයේ තෑග්ග. ඒක සමකරන්න රැපියල් කෝටියක් ගොඩ ගැහුවත් බෑ. මොකද ඒ තාත්ත දුන්නු තෑග්ග හදවතේ ගැඹුරුම තැනින් සහ සම් මස් ලේ නහර ඇට මිදුලු දක්වාම කිඳා බැසගත් නියම දරු සෙනෙහසකින්, අනන්තෙටම ගිය හැඟීමකින් අරන්දුන්නු එකක්. අපිට මෙි ජීවිත කාලෙ  තෑගි කොතෙක්නම් ලැබෙිවි. ඒත් හිඟන්නෙකුට රුපියල් පහක් දෙන්න දෙපාරක් හිතන ලෝකෙක, අපිට  ඒ දෙන තෑගි වල එදා තාත්තගෙ පපුවෙ තිබ්බ තරම් පරිත්‍යාගශීලි හැඟිමක් ඇත්තෙන්ම නෑම තමයි.

මට මෙි වෙද්දි  හැමෝගෙන්ම පැසසුම්,සුභ පැතුම් පිරිලා. සමහරු ⁣මෙිකා ඉගෙන ගත්තොත් මූට කවදා හරි සර් කියන්න වෙයිද දන්නෙත් නෑ කියල ඉවසගෙනම හදපතුලෙන් සුභ පතන විදියට ඔලුවත් අතගාල ලොකු සර් කෙනෙක් වෙයන් පුතේ කියල  කිව්වා.
තවත් සමහරෙක් සුභ පතන්න ඔිනවට සුභ පැතුවා. කෝකත් එකයි කියල මැදුම් පිලිවෙතේ ඉන්න අයත් අවංකවම හදවතින්ම සතුටු වෙන අයත් ඔය අස්සෙ මට ආශිර්වාද කලා. ඉස්කෝලෙනුත් පුදුම සැලකිළි. අම්මෝ ඒ දවස්වලනං එපා වෙලා හිටියෙ. අපේ ඉස්කෝලෙන් ළමයි දහ අට දෙනෙක් විතරයි ශිෂ්‍යත්වය පාස් වෙලා තිබුනෙ. විදුහල්පතිතුමා අපි වෙනුවෙන් ලොකු උත්සවයක් සංවිධානය කලා. මට තෑගිත් හම්බුනා. අම්මෝ... අපේ නඩෙි සෙට් එක. මට කියන්න වචන නෑ. උන් කියන්නෙ මොනවා කලත් තුන වෙද්දි සෙල්ලං කරන්න තිප්පොලට වරෙන් කියල.
ගොඩක් සමහරු මට තෑගි දීල සුභ පැතුවත් එක්කෙනෙක් දෙන්නෙක් හිත යටින් ඉරිසියාත් නොකලාම නෙමෙි. ඒවනං වචනෙන්ම කියවුන තැන් බොහොමයි."අනේ අපේ එකාට  මෙච්චර කරලත් ඔය විබහගෙ ගොඩ දාගන්න බැරි උනානෙ,මූව නං මරලත් මදි ඈ" කියල ලඟ ඉන්න තමන්ගෙ දරුවට ටොකුත් ඇන්න අය ඔය අතරෙ හිටියා.

 මමනං ඒ අයගෙ ආශ්‍රයට කොහොමත් ගිහින් නෑ. සමහරෙක් අපේම නෑදෑයෝ. ඊට වඩා අවංකවම සුභ පැතුවා පංතියේ අවුරුද්ද දෙක පේල් වෙලා ඒත් අම්මා කියලවත් කෙලින් රූලක ලියා ගන්න බැරුව හිටපු මගේ කොල්ලො නඩෙි. උං කිව්වෙත් "සිස්සත්තෙ තියා මොක පාස් උනත් තුනට තිප්පොලට වරෙන් ඈ" කියල. ඒව තමා අවංක සුභ පැතුම් කියන්නෙ. උන්ට බය තිබුනෙ මං පාස්වුනොත් ආපහු උං අතරට එන එකක් නෑ කියල මිසක් මං උන්ව පාස් කරගෙන ඉහලට යයි කියල නෙමෙි.

 මට ඒ දවස් ටිකේම පොත් බෑග් පැන්සල් සපත්තු ඇඳුම් හෙන ගොඩක් ලැබුනා. මං ඒව වෙනමම තියාගෙන හිටියෙ. නංගිටනං අල්ලන්නවත් දුන්නෑ. එයා හෙන ඉරිසියාකාරි. මගෙන් දෙයක් ගන්නම තමා බලන්නෙ.  හරියට ගෙයි ගෙම්බෙක් වගේ. ගෙයි කොහේ ඇවිද්දත් එකපාරටම හැරෙන්නෙ මගෙ තෑගි දාල තියෙන පෙට්ටිය පැත්තටමයි. අපේ ගෙදරටම තිබුනෙ අම්මගෙ පෙට්ටගමයි එක අල්මාරියයි. පස්සෙ මගේ දැඩි ඉල්ලීම මත තෑගි ලැබුනු ඒවා අම්මගේ පෙට්ටගමට දාල ලොක් කලා. නැත්තං අරයගෙන් බෙිරෙගන්නම බෑ. හැබැයි එදායින් අදත් මට ආයෙ කවදාවත් කිසිම දෙයක් හම්බුනෙත් නෑ. ආන්ඩුවෙ ශිෂ්‍යත්ව ආධාර,අරව මෙිව කිසිම දෙයක්.
අම්ම කොහොම හරි දත කාල කාල මාව ගම්පහ බණ්ඩාරනාය⁣ක ඉස්කෝලෙට දැම්මා. මං නං කැමති උනේම නෑ.
ඒකට හේතුව උදේ හුලු අතු පත්තුකරන් ගෙදරින් ගියාම ගෙදර එනකොටත් බිං කරුවල ඔන්න මෙන්න. අම්මත් මාත් එක්ක හැමදාම ඉස්කෝලෙ ගියා. ඉස්කෝලෙ ඇරෙනකං අම්ම කොහාටහරි වෙලා ඉඳල ඉස්කෝලෙ ඇරියම මාවත් අරන් එන බස් එකක නැගල ගෙදර එනවා. මට මෙික මහ වදයක් වෙලා තිබුනෙ. කව්රුවත් අදුරන්නෙත් නෑ. අඳුරන ගුරුවරයෙක්වත් නෑ. ඒ වුනාම හිතට හරි අමාරුයි. මට ඇත්තටම ඒ ඉස්කෝලෙට ගියාම ඉගෙන ගන්න එක එපා උනා. ඔිනවට එපාවට තමා හැම වැඩක්ම කලේ.අම්මට කොච්චර කිව්වත් ඇහුවෙත් නෑ. මට ඔින වෙලාම තිබුනෙ මාව හරකෙක් වගේ පිට ගමක ඉස්කෝලෙකට දක්කගෙන අරන් යන අම්මට හොඳ පාඩමක් උගන්වන්න.

එක දවසක් අම්මයි තාත්තයි දෙන්නම ඉන්න වෙලාවක රෑ ඔය කතාවක් ඇදිල ආව. මං කිව්ව ඉස්කෝලෙ යන්න බෑ කියල. ගියත් ආයෙ ප්‍රථිපලනං බලාපොරොත්තු වෙන්න එපාය කිව්වා. ඇයි අප්පා එපා වෙනවනෙ උදේ පහමාරට ඉස්කෝලෙට යන්න ගෙදරින් යන්න ඔින. ගෙදර එනකොට පහයි නැත්තං හයයි. එහෙමත් දවසක තමා හතර විතර වෙනකොටවත් එන්නෙ. ගම්පහ ඉඳල නිට්ටඹුවට එන්නම බස් එකට පැයක් එකහමාරක් යනවා. කොට කොට හිමීට හිමීටනෙ එන්නෙ. නිට්ටඹුවෙන් රුවන්වැල්ල බස් එකක නැග්ගහම අපි බහින තැනට එනකොට තුනහමාරයි නැත්තං හතරයි. එතන ඉඳනුත් හැතැප්ම එකහමාරක් විතර පයින් එන්න ඔින. සෙල්ලං කරන්නත් නෑ. යාලුවොත් නෑ.අපේ  තිප්පොලේත් කැලේ වැවිල. අඳුරන කුරුල්ලො දඬු ලේන්නු ලේන්නු අපිව අමතකම කරල ඈතට ඈතට ගිහිල්ල. ඒව මතක් වෙනකොට අර ඔක්කොටම වඩා හිතට අමාරුයි.
මං ඉතින් තාත්තටත් ඇත්තම කිව්වා. අම්මනං කිව්වෙම එහෙම බෑ ඒ ඉස්කෝලෙට ගිහින් දොස්තර මහත්තයෙක් වෙන්නම ඔින  කියල. මං කිව්වෙ ඒ ඉස්කෝලෙට ගිහින් කොන්දොස්තර මහත්තයෙක්වත් උනොත් ඇති කියල.
කියන ඒව තේරුං ගන්නෑනෙ. ඒ මදිවට ගණිතයට අපේ ඉස්කෝලෙ මං ගත්තු ලකුනු අසූව අනූව වෙනුවට බණ්ඩාරනායකේ  අර්ධ වාර්ෂික පරීක්ෂණයට මට තිබුනෙ ලකුනු තිස් තුනයි. සිංහල වලට ඊටත් අඩුද මන්දා. පුලුවන්කම තිබ්බත් මං ලිව්වෙ නෑ. සමාජ අධ්‍යානය සහ ඉතිහාසයට විතරක් ලකුනු ටිකක් වැඩිපුර තිබ්බද කොහෙද.
මං අම්මට කිව්ව "ඔයිට වැඩියනං ලකුණු බලාපොරොත්තු වෙන්න එපා අම්මෙ" කියල. මට තියෙන්න ඔින නිදහසේ ඉගෙන ගන්න. ඒකට වෙලාවල් නෑ. සීමා නෑ. සෙල්ලං කරද්දි ඉගෙන ගන්න තියෙන්න ඔින. මටනං බෑ වෙනකවුරුත් වගේ ඔහොම හිර වෙන්න. එහෙම කරලනෙ ශිෂ්‍යත්වයටත් ලකුනු 174ක් ගත්තෙ.
තාත්ත ඇහුව මගෙන් ඔය කතාව යද්දි.
*දැං තමුසෙ කියන්නෙ මොකද්ද
*මට ආයෙ ඌරාපොල ඉස්කෝලෙට යන්න ඔින.
*අනේ පේමෝති මාත් කිව්වනෙ තමුසෙට ඔික හරියන මගුලක් නෙමෙි කියල.ඔන්නොහෙ තමුසෙ හෙටම හරි කමක් නෑ ගිහින් පින්සිපල් හම්බෙලා කතාකරගන්නව. මෙි මනුස්සයව ආපහු දාන්න. මරන්ඩැයැ ආයෙ.

මට ඉහේ මලක් පිපුන වගේවුනා. අම්මටත් නක්කලේට හිනාවක් දාල ඔලුවත් දෙපැත්තට  හෙල්ලුවෙ "ඇද්ද ඔයාට" කියන්න වගේ.
කොහොම කොහොම හරි ඒ අවුරුද්ද බොහොම අමාරුවෙන් ගම්පහ ගිහින් නැවත ආයෙ ඌරාපොල කණිෂ්ඨ විද්‍යාලය. ඒ දවස්වල මහා විද්‍යාලයට ගන්න බෑ කිව්වා. ඒක මගෙත් වාසනාවක්. මොකද කණිෂ්ඨෙම තමා මගෙ ඉස්කෝලෙ. හිටපු ගුරුවරුත් එක්කම ආයෙ අමුතුවෙන් ද්වීතියික අධ්‍යාපනයට අත්පොත් තිබ්බම අර යට ගිහින් තිබ්බ ලකුණු ආයෙ ටික ටික මතුවෙන්න ගත්තා. හත වසර බී පන්තියෙ පලවෙනි⁣ම අර්ධවාර්ශික පරීක්ෂණයෙන් මං හතර. අවසාන විභාගෙන් එක. එදා ඒ පලවෙනියා වෙච්චි පාර මං සාමාන්‍යපෙළ විභාගය කරද්දිත් පළවෙනියම තමා. මධ්‍යස්ථය 63.% 75% ත් අතරෙ ඉන්න මට හැම අවුරුද්දකම පුලුවන් වුනා.
හතවසරෙදි ආයෙ මං නිප්පොන් ශිෂ්‍යත්ව විභාගයෙන් තේරුනා. රචනා තරඟයකින් කලාපයෙන්ම "එක" වුනා. ඉංග්‍රීසි අත්අකුරු තරඟයකින් එක වුනා. ඊට වඩා කියන්නම වැදගත් දේ තමා මීටර් 100,200,400 තරඟවලින්නම් කාටවත් එක දුන්නේම නෑ. ක්‍රිඩා උත්සව වලට බැහැලම වැඩකලා. මට අභියෝගයකට හිටියෙ මගෙම පන්තියෙ හිටපු රුවන් කුමාර සහ රොශාන් ගලප්පත්ති. ඒත් මං කොහොම හරි දුවල එක ගන්නවම තමා. සහාය දිවීම් ඒවත් අපි එක ගන්නවම තමා. මමයි රොශානුයි එකම නිවාසෙ. රුවන් කුමාර තිසර නිවාසෙ.
පස්සෙ පාඨශාලාන්තර දුවන තරඟවලට ගියෙ හේනෙගම මධ්‍ය මහා විද්‍යාලයට. ඒවගෙනුත් එක පාරක් එක වෙලා අනික් පාර දෙක වෙලා තියෙනව. ඒත් වැඩිදුර යන්න හම්බුනේ නෑ මට. ඒකට බලපෑවෙ අපේ තිබුනු ආර්ථික තත්ත්වය. මං එකවරක් හේනෙගම මී⁣ටර් සීයයි දෙසීයයි දෙකම දිව්වෙ උදේ ඉඳන් බඩ ගින්නෙ ඉඳලා මාලුපාං ගෙඩි දෙකක් කාල. අනිත් ඔක්කොම ස්පයිස් සපත්තු දාල දුවද්දි මං නිකන්ම දුවල මීටර් සීයෙන් එක වෙලා දෙසීයෙන් දෙක වුනා.මට තිබුනෙ ලේ වලම තිබුනු දඩබ්බරකමයි තිප්පොලේ නටල නටල බඩගින්නට කාපු වෑවර සහ වැල වරකා වල හයියයි ගෙදර ඉඳල හැමදාම උදේටයි හවසටයි ඉස්කෝලෙ යද්දි එද්දි හැතැම්ම එක හමාරක් දෙකක් කඳු පල්ලංවල දුවපු කකුල් දෙකේ හයියයි විතරයි.
පාඨශාලාන්තර තරඟවලට යන්න ලේස්ති වෙන්න කිව්වම නංගි අතේ ඉස්කෝලෙ බෑග් එක යවල ගෙදර ඉඳල ඉස්කෝලෙට කිලෝමීටර් පහක් එක දිගටම දුවනව. ඒ දිවිල්ල නවතින්නෙ ආයෙ ඉස්කෝලෙන්.

 එදා දුවල එක වෙච්චි දවසෙ විනිශ්චය මණ්ඩලේ හිටපු ටීච කෙනෙක් ඉස්කෝලෙ අහල මට ගොඩක් සුභ පතල අනෙක් අයටත් මාව පෙන්නුව. ඒ වෙලාවෙනං මට ලැජ්ජාවක් ඇතිවුනත් ඒ ගැනම හිත හිත ඉද්දි එකපාරටම හිතට දැනුනා ඒක ඉතාම සද්භාවයෙන් කරපු සහ මාව අගයපු කාරණාවක් කියල. කොහොමහරි මං මගේ ක්‍රීඩා දිවිය දහය වසරෙදි නවත්තලම දාද්දි සහතික තිබුනා මිටියක්ම එකතුවෙලා. චැම්පියන් කප් දෙකක් තිබුනා. මං ක්‍රීඩා දිවිය නතර කලේ ඒකෙන් ඉහලට යන්න හැකියාවක් නැති හිංදයි මාත් එක්ක දුවන්න අහල ගං හතකවත් එකෙක් හිටපු නැති හිංදයි ක්‍රීඩාවෙන් ඉස්සරහට යන්න පුලුවන් කෙනෙක් ඉන්නවනං යන්න ඇරලයි. මොකද මට ඒක කරල තේරුමක් නෑ. දිස්ත්‍රික් මට්ටමින් යන්න ආවත් අඩුපාඩු ගොඩක් හින්ද නවත්තල දැම්මා. අනිත් එක ඉස්කෝලෙ හිටපු ටීචර්ලා සර්ලා සල්ලි එකතු කරලා මට බඩු අරන් දෙන්න හදපු එකට මට ගොඩක් තරහ ගිහින් හිටියෙ. අදනං හිතෙනවා ඒ මහන්තත්ත කම මට මොකට පිහිටියාද කියල.

ඒ වෙද්දි මං ටිකක් මෝරලා. සෙල්ලං කරන ඒව කැලේටම ගියා. යාලුවො හැලිලම ගියා. නිප්පොන් ශිෂ්‍යත්වයෙන් පස්සෙ සෙල්ලම නවත්තලම දැම්මා. ඒ ශිෂ්‍යත්වය පහ වසරෙ එක වගේ නෙවෙයි. මට අවුරුද්දකට පිටු 120 පොත් හම්බුනා හැත්තැ දෙකක්.  අලුත් බෑග්,ඇඳුම්, සපත්තු පවා මකන කෑල්ලෙ ඉඳල බස් එකේ සීසන් එකත් මට හම්බුනා. ටියුෂන් පීස් කියල වෙනම රුපියල් දෙසිය පනහක් හම්බුනා. අපි ළමයි විසිපහයි තේරිල හිටියෙ. ගරු සිරිමාවෝ ආර්ඩී බණ්ඩාරනායක මැතිනිය තමා අපිට හැම අවුරුද්දෙම ඒ ශිෂ්‍යත්වය ප්‍රධානය කලේ. රට වටෙි දවස් දෙකක හෝ තුනක ට්‍රිප් එකක් ගිහින් අන්තිම දවසෙ සුගතදාස ක්‍රීඩාංගනේ හවස ලොකු උත්සවයක් එක්ක ශිෂ්‍යත්ව ප්‍රධානය. එක අවුරුද්දක් හොරගොල්ලෙ වලව්වෙ උත්සවය තිබුනා. ඒකට ගරු චන්ද්‍රිකා බණ්ඩාරණායක මැඩම් ගරු අනුර බණ්ඩාරනායක මැතිතුමා පවා ආවා.
අපි ගැන හැම දෙයක්ම පස්සෙන් ඇන ඇන හෙව්වා. ඒකට හිටියෙ රණසිංහ කියල මහත්තයෙක්. එයා මාසෙකට සැරයක්නං ගෙදර එනවාම තමා. ඒකෙ එපාම කරපු දේ තමා ඉංග්‍රීසියෙන් ලියුම් ලියන එක. ඒකට මට උදව් කලේ අපේ ඉස්කෝලෙ ඉංග්‍රීසි ආචාර්‍යතුමා විජේසේන සර්. ඒ හැම එකකටම අමතරව ජපන් භාෂාවත් හොඳට ඉගෙන ගත්තා. ඒ හෝඩි තුනම අදටත් එහෙන් මෙහෙන් මතකයි. මට ඒ දවස්වල ජපන් භාෂාව හොඳට කතාකරන්න පුලුවන්.
එක වරක් අපි සීගිරියෙ ට්‍රිප් එකක් ගිය දවසක ජපන් නඩයක් මුන ගැහුනා. ඒ ට්‍රිප් එක ගියෙ ජපන් ශිෂ්‍යත්ව ලාභී  අපියි අම්මලයි. මායි නන්දිකා කියල ගර්ල් කෙනෙකුයි තවත් ගර්ල් කෙනෙකුයි නිකහැටිකන්ද කනිටු විදුහලේ ඉන්දිකයි ජපන් අයත් එක්ක හොඳට කතා කලා. එයාලටත් මාර සතුටුයි. අපිව දාල ගියේම නෑ. අපිට කන්න බොන්න හැමදේමත් එයාලා ගානෙ අරන්දුන්නා. සල්ලිත් දෙන්න හදනකොට අපි එපාම කියල දෙන්නම ඔිනනං ජපන් සල්ලි කොලය කොලය ගානෙ ඉල්ල ගත්තා ආසාවට. ලොකු වටිනාකමක් තියෙන ඒවද නැද්ද දන්නෙ නෑ.ඒත් ඒ ඔක්කෝම දෙනා ඒ කොලේ කොලේ දීල අපේ ඔලුවත් අතගෑව. ඒක මං පර්ස් එකේ කාලයක් යනකං දාගෙන හිටියෙ.

පස්සෙ ඒවට වෙච්චි දෙයක් නැතිවුනා. සහතික ටිකනං කාවොම බඩගින්නට වලඳල තිබුනා. ඉස්කෝලෙ පොදු වැඩවලදිත් බැහැලම වැඩකලා. මං හත වසරේ ඉඳලම පංති නායකයා. එක අවුරුද්දයි අපේ ඉස්කෝලෙ හිටියෙ නැත්තෙ. ඒ අර ගම්පහ ගියපු අවුරුද්ද. කොහොමහරි මගේ වාසනාව ආපහු කැරකිලා ආවා.
මෙි වෙද්දි අපේ පන්තියේ හිටියා ගයානි පුෂ්ප කුමාරි කියල ගර්ල් කෙනෙක්. මුහුන හඳක් වාගෙ. කතා කරනකොට නිකන් සීනුවක් හොල්ලනව වගෙ.සුදුම සුදුයි.පිලිවෙලයි. අපේ පන්තියට ආවෙ දෙකේදි. ගොඩක් අහිංසකයි. ගෙවල් හුණුපොල වල්පොල.මාත් එක්ක මාර එකතුයි. අපි ආදරයක් කියල එකක්  නොකලත් සුපිරිම යාලුවො දෙන්නෙක් වෙලා හිටියා. ඉස්කෝලෙ සමහර ටීචර්ස්ල අපි දෙන්න යාලුයි කියල හිතුවත් අපේ පන්ති භාර චන්ද්‍රිකා ටීච දැනගෙන හිටිය එහෙම එකක් නෑ කියල. හැමදාම ඉන්ටර්වල් එකට එයාගෙන් කෑම ලැබුනා. මට ගණන් හදන හැටි කියාදුන්නා. ඒ දවස්වල තිබුනා පත්තරයක් සම්මාන කියල. ඒ පත්තරේ අධ්‍යන වැඩ කලෙත් ඉස්කෝලෙදි අපි දෙන්නම.
මට එයා ඉන්න ඔිනම තැනක ආසාවෙන් ඉන්න පුලුවන් ගතියක් තිබුනා. එයා නැතිනං මහ මූසල මුස්පේන්තු ගතියක් හිතට දැනුනා. කොටින්ම මං ආසාවෙන් එයත් එක්ක හිටියා.
එයා මං කරන කරන හැමදේටම  හිනාවුනා. සෞන්දර්යට කලේ නැටුම්. මෙයා නටනකොට මාර ලස්සනයි.බලා ඉන්න ආසාවෙ බෑ.මාත් නැටුම් තෝරගත්තෙ ඒ හිංද.  අපි දෙන්න ඉතින් හොඳ යාලුවො විතරයි. මං හැමදේම එයාට කියනව. එයත් හැමදේම මට කියනව. ඒ ෆිට් එක ඇතිවුනේ ශිෂ්‍යත්ව විභාගෙන් පාස්වෙලා ඉද්දි. මට ඉස්සරලාම රුපියල් පනහක තෑග්ගක් දීල සුභ පැතුවෙ එයා. මං ලැජ්ජාවට සල්ලි ගත්තෙ නැතත් මට බලෙන්ම දුන්නා. මටත් මොකද ඉතින්. මාත් පස්සෙ අරගත්තා. ඒ හිතවත්කම තමා ආරම්භය. මෙයා මට සෑහෙන අභියෝගයක් වෙලා හිටියෙ විෂයන්වලට ගන්න ලකුණුවලට. මමත් සෙකන්ඩ් වෙන්න කැමති නෑ. මෙයත් කැමති නෑ. එතන අපි දෙන්න අතර  තරඟයක් තිබුනෙ. මං ආසම විෂය සමාජ අධ්‍යනය සහ ඉතිහාසය. හැම විභාගෙකටම ලකුනු හැත්තැ පහට ඉහලින්. එයා විද්‍යාව. අපි දෙන්නගෙන් පන්තියෙ එක ⁣දෙක වෙන්නෙ කව්ද කියල තීරණය කලේ ඔය විෂයන් දෙක තමා. මොකද මට විද්‍යාව අමාරුයි. එයාට සමාජ අධ්‍යනය සහ ඉතිහාසය අමාරුයි. අනික්වා ගොඩක් ලකුණු දෙකෙන් තුනෙන් තමා අඩු වැඩි උනේ.

මෙි වෙද්දි මට පොඩි කාලෙ ඉඳලම තිබුනු යුධ හමුදාවට බැඳෙන ආශාව එන්න එන්නම වැඩිවුනා. කා එක්ක හරි කතා කලොත් ඒ හමුදාව ගැන.සිංදුවක් කිව්වොත් රණ ගීයක්. කොන්ඩෙ කැපුවොත් "ආමි කට්" එක. ටවුමෙ ඉද්දි ආමි වාහනයක් ගියොත් ඒක නොපෙනී යනකං අත වනනවා. එයාලත් අපිට අත වනනවා. ඒක උච්ඡතම අවස්ථාවට ලංවුනාම  කැඩෙට් එකට බැඳුනා.ඒ නවය වසරෙදි. අපේ හිත් වලට එක එක හීන ඇතුල් වෙන්නෙ ඔය වයසෙදි කියලයි මංනං අදටත් විශ්වාස කරන්නෙ. ඒත් පොඩි කාලෙ ඉඳලමයි ආශාව තිබුනෙ හමුදාවට බැදෙන්න. හමුදාව කිව්වොත් මැරෙන්න උනත් පුලුවන්. ඒක සංසාරෙත් එක්ක බැඳුනු ආත්මීය ආශාවක් කියල අදටත් මට දැනෙනවා. උදේ පහයි හතලිස් පහට හුලු අත්තක් බැඳගෙන එලිය වැටෙනකං කැලේ මැද්දෙන් පයින්ම ගිහින් හයයි කාලට පීටී පෝලින් වෙනවා. හවස ලෙක්චර්ස්. ලෙක්චර්ස්නම් හැමදාම තිබුන්නෑ. ඒත් කැඩෙට් රූම් එකට වෙලා හරි ඉන්නව. එක ගැම්මට තිස් ගානක් පෝලිම් වෙලා කලු බොටමයි සුදු ජර්සියයි ඇඳල පාර දිගේ පීටී යනකොට එන ගැම්ම මෙි කිසිවකට සමකරන්න බැරිඋනා.  මඩ දූවිලි දාඩිය නාගෙන ආපහු ඉස්කෝලෙට එද්දි ඉස්කෝලෙ එක එක පන්ති වල ඉන්න ගෑණු ලමයි ඇස් කොනෙන් බලද්දි හොරාට අපිත් එක්ක හිනා වෙද්දි තව තවත් උනන්දු උනේ කැඩෙට් වලටම තමා. මලල ක්‍රීඩාත් නවත්තල දාල මෙිකට ඇබ්බැහි වුනේත් ආමි උණ නියුමෝනියා තත්වෙට පත්වුන නිසා. ගයානිනං කිව්වෙ ආමි යන්න එපා මැරෙයි කියලමයි. ඒව කියද්දි එයාත් මගෙන් බැනුම් අහපු අවස්ථාත් එමටයි.
ඒත් මං ඒ වෙලාවට මොනා කියල කෑ ගැහුවත් ගයානි ඒවා ගනන් ගත්තෙ නෑ.

ඔහොම ඉන්න අතරෙ තමා  ජීවිතේම පලවෙනි වතාවට කල කිරෙන වැඩෙි වෙන්නෙ. ඒ ගයානිව වෙනත් ඉස්කෝලෙකට දාන්න අපේ ඉස්කෝලෙන් අස්කරගෙන ගියපු එක. එදානං මට පිස්සුම හැදුනා. පැත්තකට වෙලා ඇස් දෙක රතු කරගෙන ඇඬුවා. අපි වැන්දෙ නැති ටික විතරයි ගයානිලගෙ අම්මට එයාව අස්කරගෙන යන්න එපා කියලා. ඒත් කිව්ව දේ ඇහුවෙම නෑ. ගයානිත් අඬනව.මාත් අඬනව. අපි දෙන්න අඬනව දැකපු අනික් ලමයි අපිට වැඩිය හයියෙන් අඬනව. ඒත් ඒ ඉරනම අපිට ඔින විදියට ප්‍රශ්නෙ විසඳුවෙ නෑ. ගයානි ගියා.
මට ආයෙ ඉස්කෝලෙ එපාවුනා. ඒ හැඟීම මොකද්ද කියන්නත් ඒ දැනුනු දුකට නමක් තියන්නත් මට පුලුවන් උනේ නෑ. ඒ කලබල අස්සෙ ගයානි ආයෙ යන්නෙ මොන ඉස්කෝලෙටද කියලත් අහගන්න බැරිවුනා.
ඔහොමත් කාලෙ ගිහින් මං කැඩෙට් එකේ ලා/ කෝප්‍රල් තනතුරටත් ආවා. ඒ කිට්ටුවෙන්ම සාමාන්‍ය පෙළ විභාගයත් ආවා.
මට පුදුම බයක් තිබුනෙ සාමාන්‍යපෙළ පාස් උනොත් ආමි එකට යන්න බැරිවෙයි කියල. අම්මත් කියන්නෙම උසස්පෙළ කරන්නමයි කියල. ඒ දවස්වල අපේ හැටි කියන්නෙ කිසි දේක ඉදිරිය බැලීමක් තිබුනෙම නෑනෙ. දන්න කෙනෙක් කියා දුන්නෙත් නෑ.කියා දෙන්න කෙනෙක් හිටියෙත් නෑ. හැමදේම මට හොඳයි කියල හිතෙන විදියට කෙරුනා. ගයානි හිටියනං අනිවාරයෙන්ම මෙිව මෙි විදියට සිද්දවෙන එකක් නෑ කියල අදටත් හිතෙන කාරණයක්. ඒත් නොහිතපු විදියට සංසාරෙන් ගෙනාපු පින් පව් කුසල් අකුසල් අනුව සෑම⁣ දෙයක්ම විසඳුනා.


රුවින් පමුදිත යද්දෙහිආරච්චි.
2020.05.31

No comments:

Post a Comment