Saturday, June 6, 2020
අතීතයෙන් කතාවක් 05
ගයානි පුෂ්ප කුමාරි කියන නම අදටත් මට හරි ආදරණීය නමක්. එයා නැති කරපු මගෙ පාලුව ආපසු මටම සින්නක්කර ලියලම දීල ඉස්කෝලෙන් අස්වෙලා ගියාට පස්සෙ වෙච්චි දෙයක් හොයාගන්න බැරිවුනා.
එයා ආයෙ ඉස්කෝලෙ යන්නෙ කොහේටද මොකද කරන්නෙ කියලවත් හොයාගන්න බැරි තත්වෙට මං පත්වුනා කැඩෙට් එකේ පුහුණුවීම් වැඩයි එක එක තරඟයි විෂය බාහිර වැඩ කටයුතුයි හිංද එයා හොයන එක දිනෙන් දින කල් ගියා. එහෙම කාලෙ ගෙවී යනවත් එක්ක මනුෂ්‍ය සන්තානයෙහි උපදින සිතුවිලිත් අනිත්‍යයි කියල පසක් කරමින් මගේ හිතේ එයා ගැන තිබ්බ කැමැත්තත් ටිකෙන් ටික තුනීවෙලා ගියා. නමුත් හිතේ තිබුනු ඉපදුනු හැඟීම් එහෙම්මමයි. තාවකාලිකව හිතෙන් ඇයව යටපත් වීමක් විතරයි වෙන්න ඇත්තෙ. හිටපු ගමන් වතුරක යටට කර අල්ලන් ඉන්න රබර් බෝලයක් අතහැරියම ඒක පෙන බුබුළු දාගෙන වෙිගයෙන් දියෙන් උඩට මතුවෙන්නා වගේ එකපාරටම එයාගේ මතකයන් ඉස්මතු වෙලා ඇවිත් වද දෙන්න පටන් ගන්නවා. නමුත් ආයෙත් යටපත් වෙනවා.
මෙි කාල වකවානුව වෙද්දි තරමක් අධ්‍යාපන කටයුතු පසුගාමී උනත් ඒක ටික ටික යථාතත්වෙට පත්වෙමින් තිබුනෙ මෙි දිනවල පැවති කාර්‍යබහුලතාවයත් එක්ක. මට අපේ පංතියෙම සමහර ගැහැනු ලමයි පුදුම විදියට ඉරිසියා කලා. ඒ එක්කෙනෙක් වජිරා. අනිත් කෙනා මල්කාන්ති. ඒ ඉරිසියාව කොතෙක්ද කියනවනං අපේ ගෙවල් කිට්ටුවම වජිරගෙ ගෙවල් තිබුනත් උදේ හවස හම්බුනත් අදටවත් මාත් එක්ක කතාවක් නෑ. සමහරුන්ට තිබ්බෙ මං ගයානි එක්ක විතරක් හිටපු නිසා ඒකට තිබුනු වෙනම ඉරිසියාවක්. හේතු කාරණා අදටත් මං දන්නෙ නෑ.ඒ දවස්වල හෙව්වෙත් නෑ. ඒත් මාත් එක්ක තරහයි.
මෙි වෙද්දි අපේ ඉස්කෝලෙ මහා විද්‍යාලයත් එක්ක ඒකාබද්ධ කලා. අලුත් ඉස්කෝලෙට යන්න පටන්ගත්තම ආයෙ එක එක ගැටළු පැන නගින්න වුනා. නමුත් ඒවා යටපත්කරගෙන අපි ලෑස්තිවුනා සාමාන්‍යපෙළ විභාගයට.
සාමාන්‍ය පෙළ විභාගය මගේ ජීවිතේ වැදගත් හැරවුම් ලක්ෂ්‍යයක්. මං ඒ දවස්වල හරි මෝඩයි. ඒ විභාගෙට ලෑස්ති වුනේ මෙික පාස්වුනොත් ගෙදරින් ආමි යන්න දෙන එකක් නෑ කියල තිබුනු බයත් එක්ක.
ඒ විභාගය ලියල ප්‍රථිපල ආහම මටම අදහගන්න බැරිවුනා. විෂයයන් හතකුත් සම්මාන දෙකක් එක්ක පාස්වෙලා තිබුනා. ගණිතය විතරයි ෆේල්. ගණිතය ඔින හැටියට මට පාස්කරගන්න තිබුනා. ඒත් කොතනක හරි වැරදුනා. ඒ වැරදීමෙන් දුක් වෙනවට වඩා මං කලේ සතුටුවෙන එක.
අම්ම වැඳ වැද වගේ කිව්ව උසස්පෙළ කරන්නම කියල. මං එකඟවුනේම නෑ. නැවත පාරක් ගණිතය කරල පාස්වෙලා උසස්පෙල කරනවට වඩා හරි ණයට උසස්පෙල කරනවට වඩා හරි නිකන් ඉන්න එක හොඳයි කියල හිතිල මං එතනින් මගේ අධ්‍යාපන ගමනට තිත තිබ්බා. දැන්නං මට හිතෙනවා උසස්පෙල කරලා විෂයන් හතර ගොඩ දාගත්තනං ඊලඟට ජපානෙනෙ කියල. ඒත් වියයුතු දේ වියයුතු විදියට සිදුවුනා.
දෛවය අපිට වඩා ගොඩාක් ඉස්සරහින් ඉන්නවා. මෙි විශ්වය කියන්නේ මං තේරුම්ගත්තු විදියට මහා පුදුම දෙයක්. අපි දෙයක් මෙි විශ්වයෙන් ඉල්ලුවොත් පරක්කුවෙලා හරි ඉල්ලපු දේ ලබාදෙනවා. ඒ ඉල්ලන දේ හොඳ දෙයක්ද නරක දෙයක්ද කියල විශ්වය තීරණය කරන්නෑ. ඉල්ලන දේ ඒ විදියටම නැතත් තමන්ගෙ හිතේ තියෙන විශ්වාසය අනුව අඩු වැඩි කරල ලබා දෙනවා. නමුත් මෙි පුදුමාකාර විශ්වයත් එක්ක එකතුවෙන්න මට සෑහෙන කාලයක් ගියා. ඒ මං තේරුම් ගත්තෙ පහුවෙලා නිසා. පොඩි කාලෙ ඉඳලම හමුදාවට යන්න ආසාවෙන් හිටිය එක ඒ විදියටම මට කරල දුන්නා.
සාමාන්‍ය පෙළ රිසාල්ට් එක්ක කවදාවත් මං තරහ වුනේ නෑ. විභාගයත් ලියල ඉවරවෙලා හැමතැනම ඇවිද ඇවිද හිටියෙ කරන්න වෙන දෙයක් නැති නිසා. අම්මගෙන් බෙිරෙන්නත් නෑ. මං ඊට පස්සෙ කලේ චූටි චූටි බිස්නස් වගේකට අත ගහපු එක. ඒ පොලේ යන කෙනෙක් එක්ක එයාගෙ සහායට පොලේ යන එක. මට දවසකට රුපියල් පනහක් සීයක් හම්බවෙනවා. මං ඒව හරි ආසාවෙන් එකතුකර ගත්තා. එදිනෙදා හම්බවෙන සල්ලි මං අරන් ඇවිත් පොතක් අස්සෙ දාල තමා එකතු කලේ. ඊට පස්සෙ පොලේ තැනක් හම්බවුනාම මං පලාවර්ග අරන් ගිහින් විකුණුවා. වික්කෙ පලා උනාට ඒකෙන් හොඳ ආදායමක් මට ලැබුනා. ඒ සල්ලි සතයක් නෑර මං ඉතා පරිස්සමින් හංගල තියාගත්තෙ හමුදාවට යද්දි අවශ්‍ය බඩු ගන්න.
ඔහොම ඉද්දි හමුදාවට බැඳෙන අවස්ථාව එක්තරා දවසක උදාවුනා. මට අවුරුදු දහඅට සම්පූර්ණ වෙලා හරියටම මාසයයි දවස් දහඅටයි. සිළුමිණ පත්තරේ තඩි අකුරෙන් දාල තිබුනා "එන්න අප හා එක්වන්න" කියලා. සුදුසුකම් උස අඩි පහයි අඟල් දෙකයි, පපුව අඟල් තිස් දෙකයි(හුස්ම නාල්ලා) පෙනිම 6/6, අවම වශයෙන් 8ශ්‍රේණිය (9 වසර) සමත්.
ඒ පත්තරෙත් අරගෙන කෙලින්ම ගෙදර ගිහින් අම්මගෙන් ඇහුවා හමුදාවට යන්න ඔිනෙ,කැමතිද කියල. අන්න එතනයි අවුල වුනේ. කැමතිවුනේම නෑ. අම්මා අඬන්න ගත්තා පුදුම විදියට. පස්සෙ හමුදාවට යන්නෑ කියල අම්මට පොරොන්දු වෙලා පාඩුවෙ හිටියා. මොකද ඉන්ටවිවි එකට තව මාසයක් කල් තියෙන නිසා.
කාටවත් නොදැනෙන්න මං මගේ සහතික ටික හදාගත්තා. ඉස්කෝලෙ පුස්තකාලෙට පොත් භාරදුන්නා කියල ලියුම ගන්න ගියාම ශ්‍රියානි ටීච මාව ලඟින් ඉන්දවගෙන ගොඩක් දේවල් කිව්වා. හමුදාවට පස්සෙ යන්න,දැන් උසස්පෙළ කරන්න කියලමයි කිව්වෙ. නමුත් මට හමුදාවට යන්න ඔිනමයි කිව්වම අකමැත්තෙන් උනත් ටීච ලියුම දුන්නා. ඒකත් අරන්ගිහින් ඔෆීස් එකට දීල අස්වීම් සහතිකය අරගෙන ගෙදර ආවා.
නියමිත දවස උදාවුනා. මං බෑග් එහෙම හදලා ලැහැස්තිවුනා. අම්ම ඇහුව "කොහෙ යන්නද පුතේ" කියල. මං කිව්ව හමුදාවට බැඳෙන්න යන්න යන්නෙ කියල. හැබැයි අම්ම මට ඒ වෙලාවෙ මුලු හදවතින්ම ආශිර්වාද කලා මිසක් වෙන මුකුත්ම කිව්වෙ නෑ. සමහරවිට අම්ම දැනගෙන ඉන්නැති කොහෙන් හරි කොහොමහරි මං හමුදාවට යන්නම ලෑස්තිවෙනව කියල. ඇස්දෙකේ කඳුලු පුරෝගෙන වෙව්ල වෙව්ල ඔලුව අතගාල ඉඹිද්දි මට මහා පුදුම හයියක් ලැබුනා වගෙ දැනුනා.
තාත්තානං අහක බලගෙන හිටියෙ. ඒත් වැඳල අවසර ගත්දි රත්නත්තරේ පිහිටයි කියල ඔලුව අතගෑවා.
එදා ඉන්ටවීවි තිබුනෙ හමුදා පංසල නොහොත් පනාගොඩ බෝධිරාජාරාමයේ.
හමුදාවට බැදෙන්න ඇවිත් හිටියා දෙදාහක් විතර එදා විතරක්. ඒ ඉන්ටවීව් කරන පලවෙනි දවස. තව විශේෂ පුද්ගලයො කීප දෙනෙකුත් ඉන්ටවීව් ඇවිත් හිටියා. ඒ ස්වාමීන් වහන්සේලා. එදා අපිව ඉන්ටවීව් කරලා තෝරගත්තු අය කාන්ඩෙ කාන්ඩෙ බෙදලා ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයක් පැවැත්වුවා. ඒ ඔවුන් ලබාදුන් සීමිත කාල වලදී සැතපුම් දෙකක් දිවීම,පුෂප්ස් හතලිහට වැඩියෙන් ගැසීම සහ බාර් එක්සයිසස් කිහිපයක්.
මම අහුවුනේ පලවෙනිම කාන්ඩෙට. මොකද මං ඉන්ටවීව් යනකොට මට කලින් ඇවිත් හිටියේ නව දෙනයි. ඒ නිසා කරපු හැම දෙයින්ම පලවෙනි කාන්ඩෙටම මාව ඇතුලත් වුනා.
පලමුව අපි විසිපස් දෙනෙක් ග්‍රවුන්ඩ් එකට අරං ගිහින් වට දහයක් දුවන්න නියම කලා. ඒ විනාඩි 23ක් ඇතුලත. එතන සැතපුම් දෙකක් දුර තිබුනෙ නෑ. නමුත් විනාඩි විසිතුනක් ලැබුනා. අපිත් එක්ක හාමුදුරුවරු දෙනමක් දුවන්න හිටියා.
සීසීඑම්පී කෝපල් කෙනෙක් ලඟට ඇවිත්
*හාමුදුරුවනේ සිවුර පිටින් බෑනෙ. මොකද කරන්නෙ.
*ඒකට කමක් නෑ. අපි දුවනවා සර් කිව්වා. ගැලෙව්ව සිව්ර,දැම්ම පේරගහක අත්තක් උඩින්,අඳිනකඩෙි කැහැපොට ගහල පිටියට ආව. අපිට ඔික එච්චර ඒ දවස්වල ගානක් නැතිවුනත් අදනම් හිනාත් යනව මතක් වෙද්දි.
අපි විසිපස් දෙනාම එක හුස්මට ගාල කඩපු හරක් වගේ දුවනවා. පට්ට බොරලුගොඩේ කකුල්වලට මුකුත්ම නැතුව. ඒක දුවල දුවල ඉවර කලා. ඒකෙන් අපි ඔක්කෝම පාස්වුනා. ඊලඟට පුෂප්ස්. ඒව නිවැරදිව කරන ආකාරය කියා දීල පෙල ගස්වලා ආරම්භ කලා. ඒකෙනුත් අපි පාස්. අනික් සෑම ටෙස්ට් එකකින්මත් අපි පාස් වුනා.
මගේ ක්‍රීඩා සහතික බලපු තරු තුනක් තිබුනු සර් කෙනෙක් කිව්වා "ඔයාට හමුදාවෙි ක්‍රීඩා අංශයෙන් ඉදිරියට යන්න හදල දෙන්නං" කියල. ඒත් මට ඔින වෙලා තිබුනෙ කෙලින්ම යුද්ධෙට යන්න. මං කිව්වා "මට යුද්ධෙටයි යන්න ඔින සර්.ඒ හිංද ඒ පුහුනුවක් දෙන්න දෙන්න" කියල. ඒ දවස්වල දන්න තරමනේ.
පස්සෙ මගෙ සහතික ටික ආපහු දීල අමුතු හිනාවක් දාපුවම මට එයා ගැන පව් කියල හිතුනා. වෙන මොකේටවත් නෙමෙයි. මගේ දැනුමෙ හැටිනෙ ඒ දවස්වල.
පස්සෙ ආයෙ අපේ සහතික ටික ඔක්කොම අතට දීල පහුවදාට මෙඩිකල් එන්න කිව්වා. අපිත් ආවා. හාමුදුරුවරු සිවුර පිටින්. මෙඩිකල් වලිනුත් අපි සමත්වුනා. එදානං අපිව නවත්තගෙන හාමුදුරුවරු පංසල්වලට යැව්වා සිවුරු හැරල පහුවදාට එන්න කියලා.
ඒ දෙන්නෙක් අපේ ප්ලැටූන් එකට ඇතුල්වෙලා හිටියා. එයාගෙ නම ධර්මසේන නොහොත් පාදුක්කේ ධම්මරතන පොඩිහාමුදුරුවෝ. තව කෙනෙක් මගේ හොඳයාලුවෙක්, ඒ වලපනේ ශිලාලංකාර පොඩි හාමුදුරුවො. නොහොත් ජයරත්න. මෙි දෙන්නම අඳුරගත්තෙ මෙතැනදි.
අපි තව සතියක් ගෙදර නොගිහින් හමුදාවෙ කෝපල්ලාට සර් සර් කිය කිය කඳවුරේ උපරිම සතුටින් හිටියා. වෙලාවට කාල බීල ඇවිද ඇවිද ජොලියෙන්ම හිටියා. ඒ අතර අපිට පුහුණුවට අවශ්‍ය සියලුම දෑ කිසිම අඩුවක් නැතිව ලැබී තිබුනා. යුනිෆෝම් අඳින හැටිත් කියාදීල බූට් පොලිෂ් කරන විධි සහ අවශ්‍ය සෑම දෙයක්ම කියාදීල තිබුනෙ.
ඒත් එක දවසක රෑ ආපු සාජන් මහත්තයෙක් අපිට ඒ සතුට සදහටම නැතිකලා.
*ළමායි..පෝලිම් වෙන්න.
අපිත් පෝලිම් වුනා. පිලිවෙලක් නෑ.එකගොඩෙි.
*අනිද්දා උදේ නවයට දිවුරුම් දෙනවා. ඔයාලාට කියාදීල තියෙන විදියට ලස්සනට යුනිෆෝම් එක ඇඳලා උදේ අටට ග්‍රවුන්ඩ් එකෙන් පෝලිම් වෙන්න.පැහැදිලිද??
*පැහැදිලියි සාජන්ට්..
එයා තවත් පැයක් විතර ගොඩක් දේවල් කියල කියල යන්න ගියා. අපි එතැන ඉඳල එක පිම්මට වැඩ. යුනිෆෝම් අයන් කරනවා,බූට් පොලිෂ් කරනවා. බෙල්ට් හදනවා එක විකාරයයි. මට මෙි බූට් දාල ඇවිදින්න තිබ්බ උණ පුදුමාකාර එකක්. අපිට තහනම් කරල තිබුනෙ කියනකම් බූට් දාන්න සහ යුනිෆෝම් අඳින්න. ඒත් එදා රෑ මට ඇතිවුන දොලදුකක් අඩු කරගන්න කියල නිකමට බූට් දෙක දාල ඇවිද්දා. අපේ ප්ලැටූන් එක තිබ්බෙ උඩ තට්ටුවෙ.
මං බූට් දෙක දාගෙන පඩිපෙල බහින්න කියල හිතාගෙන පඩි දෙකක් බහින්න ඇති,වාරු නැතුව රෝල් වෙලා රෝල් වෙලා ගිහින් පඩිපෙල මැද නැවතුනේ.
ලැජ්ජාවටත් එක්ක සද්දෙ බලන්න ආපු අනෙක් අයටත් සද්දෙයක් දාගෙන මුකුත් නූන ගානට ඇවිත් හීන් සැරේ බූට් දෙක ගලෝල ලඟ හිටපු එක්කෙනෙකුට කියල කොන්ද පුරාම සිද්ධාලේප ගා ගත්තා. මාර සීන් එකක් මට වුනේ. උඩ තට්ටුවෙ ප්ලැටූන් දෙකේම කොල්ලො මට පල් එකටත් එක්ක හිනාවුනා.
ධම්මාලංකාර හාමුදුරුවො(සිවුරු ඇරල හිටියෙ) ඒ අස්සෙ ලඟට ඇවිත් මට මහ පල් ටෝක් එකක් දැම්ම.
*රිදුනද පිංවත, සංසාරෙ හරි බයානකයි පිංවත.පරිස්සමින් අඩිය තින්න. මෙික බියකරු සසරක්.
*එහෙනං සිද්දාලේප ටිකක් ගාහං කොන්දෙ සංසාරෙ හොදවෙන්න. ආව මෙතන මගුලක් කියන්න.
*හා හා එහෙම කියන්න එපා පිංවත, පඩිපෙලත් සංස්කාර උපදවනව. කෝප නොවන්න.සංසුං වෙන්න.
*මෙි, මට කියල තට්ටෙ පලාගන්නවද,පාඩුවෙ ඉන්නවද,
ආයෙ ආවෙ නෑ මට බණ කියන්න. ඒත් අපිට මෙයාත් එක්ක හැරෙන්නවත් බෑ. අපිට වඩා වැඩ වෙිගවත්. පුදුම හයියක් වගේම පුදුම හිතේ හයියක් තිබුනෙ.ඒ වගේම හැම විනාඩියම විනෝදෙන් හිටියෙ. හිනාවුනු ගමන්මයි. හරි සිරියාවන්ත පෙනුමකුත් නොතිබුනාම නෙමෙි.
ආධුනික පුහුණු පාඨමාලාවෙ මගේ බඩියා වුනේ අන්න එයා. ධර්මෙ උඩ ඇඳේ.මං යට ඇඳේ. මෙයා උඩ ඇඳට නගිනකොට පාගන්නැත්තෙ මගෙ බෙල්ල විතරයි. අනික්ව ඔක්කොම පාගගෙන පාගගෙන තමා උඩට නගින්නෙ. මං කීප වරක්ම එපා කිව්වත් ඒක සතපහකට ගනන්ගත්තෙ නෑ. හේතුව මාව අවුස්සන්න.
පස්සෙ බැරිම තැන කෝස් එකේ අපි දෙන්න රන්ඩුවුනා. බැනගත්තා ගහගත්තෙ නෑ. මං ගහන්නමයි ගියෙ.එතකොට ධර්මෙ දුවනව. මට එවුන්දැට ගහනව තියා හැරෙන්නවත් බෑ. මට දෙකට කැඩෙන්න ගහයි. ඒ වුනාට මං ගේම ඉල්ලුවා. පස්සෙ පස්සෙ මෙයා මාව ආතල් එකට ගන්නවා. ඔයින් මෙයින් ධර්මෙ නැති වෙලාවක් බලල, උඩ ඇදේ දාල තිබ්බ බෙඩ්ශිට් කොට්ට අනං මනං ඔක්කෝම ඇදල අරං මගේ ඇඳට තිබ්බ විදියටම ලස්සනට දාල මගේ ඒව අරං උඩ ඇඳෙන් දා ගත්තා. ඇඳන් දෙක මාරු කරගත්තා. මෙයත් කොහෙ හරි ගිහින් ඩබල් එකේ ඇවිත් ඇඳට නගින්න හදනකොට මං උඩ ඇඳේ.
*අඩෝ පිංවතා බැහැපං බිමට..
*ආ, මෙික දැන් මගේ.ඔබ වහන්සෙගෙ ඒව යට.
*අප්පටහුඩු සෝක් කොල්ලෙක්නෙ. මං අහන්ඩ හිටියෙ උඹෙන්. කමක්නෑ උඹම කරලනෙ.
*පව් හිංද කලේ.නැතුව බෙඩිශීට් පාගනවට බයේ එහෙම නෙමෙි හරිය. ඒකට හරියන්ඩ මට නින්ද යනකං බණ කතා කියපං යට ඉඳන් තට්ටයා.
*අඩෝ පිංවතා, තට්ටෙ ගෑවෙ උඹලට බණ කියන්ඩ තමා. නැතුව පැල හිටවන්ඩ නෙමෙි හරි..දැන් කොන්ඩෙ වැවෙන් නැත්තෙත් කිව්ව බණවලට තමා යකෝ..
ඔන්න ඔහොමයි මගේ බඩියා. මෙයා හැබැයි හරි හොඳ කෙනෙක්. අපි උපදේශකයින්ගෙන් ගුටිකාල හොරෙන් අඬන වෙලාවල් වලදිත් මෙයා එක එක ජෝක් කරල අපිව හිනැස්සුවා. හැම වැඩෙිකදිම පෙරමුනේ හිටියෙත් ධර්මෙම තමා. අපිත් නොතේරුන දෙයක් අහගත්තෙ මෙයාගෙන්.උපදේශකයින්නම් උපරිම පනිශ් කලෙත් මෙයාට. ඒත් මෙයා සැලුනෙ නෑ. අපිත් ඒ අනුසාරයෙන්ම පස්සෙන් ගියා.
මගේ බඩියා ධර්මෙ එක දවසක් මට මහ අමුතු කතාවක් කිව්වා.
*මචං.මටනං එපාවෙලා ඉන්නෙ.
*ඇයි.
*මං පැනල යනව බං. බලහංකො ඔිනම තැනකදි පොඩ්ඩ වැරදුනත් මට ගහනව,බනිනවා, උඹලට වඩා කොහොමත් මට ඒව වැඩී. මං මෙච්චර කාලයක් බලාගෙන හිටියා. හරියන්නෑ බං.
*පිස්සුද බං. පැනල යන්න. වෙන දෙයක් අපි ඔක්කොටමනෙ වෙන්නෙ.
*නෑ බං. ඊයෙ රෑ මට එන්න කියල පුදුම වදයක් දුන්නෙ.මං උඹට කිව්වෙ නෑ.
*මොකක්. යකෝ උඹ පැනල ගියොත් මාත් අමාරුවෙ. අනික පැනල ගියොත් අල්ලල හිරේ දානව කිව්වනෙ. පිස්සුද.අපි මොකක් හරි බලමු කරගන්න.
මෙි වෙද්දි අපේ පීටීඅයි කෝපල් නොහොත් ඉංජිනේරු සෙබළ නයනානන්ද අපිට ගොඩක් හිතවත් වෙලා හිටියෙ. ඒක යුධ හමුදාවෙ හැටියක්. වෙන කිසි කෙනෙකුට නැති කැමැත්තක් ආදරයක් පීටීඅයි එක්ක ගොඩනැගෙනවා. ඒක හරියට මවක්ගෙ භූමිකාවක් වගේ. රෑ දහයෙන් පස්සෙ අපේ භඨ නිවාසවලටත් එන්න අවසරයක් තිබුනෙ ඔහුට විතරයි. මෙි හිතවත් කමට එතුමාගෙ මනුෂ්‍යත්වයේ සංකේතත් ගොඩක් බලපෑවා. අනිත් කණ්ඩ දෙකටම ගොඩක් පනිශ්මන්ට් දෙද්දි ගහද්දි අපිට කිව්වෙ ඒව බලාගෙන හැදියව් කියල. පොදුවෙි දෙන දඬුවම් ඇරෙන්න අනවශ්‍ය කිසිම දෙයක් කලේ නෑ. හැමතිස්සෙම ඇඟිලි ගහ ගහ අපේ හැමදෙයක්ම හෙව්වා. මෙි වෙද්දි අපිටත් එයාව නොදැක ඉන්න බැරි තත්වයක් ගොඩනැගිල තිබුනෙ. ඉතින් මං ධර්මෙට කිව්වා
*ධර්මෙ අපි කෝපල් නයනානන්දට කියමු ද බං
*පිස්සුද බං.ආයෙ ප්‍රශ්ණයක්. ඒවටත් ආයෙ කන්න වෙන්නෙ මටමයි.
*හ්ම්.බලමුකො. මට උඹ නැතුවනං බෑ බං. පාලුයි. යනවනං මටත් කියහං මාත් එනව.
*පිස්සුද යකෝ. උඹ ඇයි එන්නෙ. මෙන්න මෙහෙ හිටහං. මමනං යනව.
*හරි බලමුකො.
එදා ඉඳන් මාත් හොඳට බලාගෙන හිටියා වෙන දේවල්. ඇත්ත තමා. කෝපල් ජෝශප් අපේ තුන්වෙනි පෙල අණදෙන්නා එක දවසක් අවි පුහුණු කාලයෙදි මහ පුදුම ගැහිල්ලක් ධර්මෙට ගැහුවා. ඒ ගැහුවෙ එක පාරක් පුෂප්ස් පොසිෂන් තියල තට්ටම් දෙකට. එහෙම ගහල ගහල දෙල් ගහක කඳට ඔලුවෙන් හිටවලා හේත්තු කලා. එහෙම පැය කාලක් විතර තිබ්බම මෙයා ඇදගෙන වැටුනා. ඒ වැටුනා කියල ආයෙ ගැහුවා.
ධර්මෙ පස්ස බදාගෙන කෑ ගැහුවා. මටනම් බලා ඉන්නත් බැරිඋනා. මගේ බඩියට ගහද්දි මට මහ පුදුම තරහක් කේන්තියක් ආවෙ. ඒක හරි අසාධාරණ වැඩක්. ඒත් එකම බෝට්ටුවෙ එකම ගමනක් යන අපිට ඒවට එදිරිවෙන්න තරම් හැකියාවක් ලැබුනෙ නෑ. එදා ධර්මෙට ඇවිදින්නත් අපහසු වුනා. ඌ හවස ඉකි ගගහ ඇඬුවා. නිකන්මත් නෙවෙයි ගැහුවෙ "පිනට බත් බුදල බුදල ඇවිත් මෙතන"කිය කිය ගැහුවෙ.සිව්රෙ හිටියනං සිව්රෙ හිටපිය කිය කියාත් ගැහුවා. බැන්නෙ සිවුරටමයි. මට ඒක මතක් වෙන මතක් වෙන වාරයක් පාසා කේන්තියක් ඇතිවුනා. ඒත් ආධුනික අපිට ඒකට කරන්න දෙයක් තිබුනෙම නෑ. අපිට කරන්න පුලුවන් වුනේ එයා වෙනුවෙන් දුක් වෙන එක විතරයි.
ධර්මෙ කොර ගහ ගහ කොහොමහරි එදා දවසෙ පුහුණු වීම් ඉවර කරා. පීටීඅයිගෙනුත් ගුටි කෑවා දුවන්නෑ කියල. දුවන්නෑ නෙමෙි දුවාගන්න බෑ.
මං මෙික අපේ සීනියර්ට කිව්වා. සීනියර් අපිට කලින්ම දැනගෙන හිටියත් එයත් අපේම තත්වෙ කෙනෙක් නිසා මොනවා කරන්නද.
රෑ නම් ලකුණු කිරීමෙි පෙරෙට්ටුවටත් හිටියෙ කෝප්‍රල් ජෝෂප්. ඒ වෙලාවෙත් අපිටයි විශේෂයෙන්ම ධර්මෙටයි බැනල බැනල ගියා. බබ්බු ඉන්න පුලවන්,ඒත් බබාල හමුදාවෙ නෑ කියල. බැන්නෙ ධර්මෙට. ධර්මෙ හොඳ උස මහතයි. හිත හයිය උනත් අසාධාරනය ඉවසන්න බැරිගතියක් තිබුනෙ.ඒත්කරන්න දෙයක් නැති නිසා බිම බලාගෙන කටපියාගෙන හිටියා.
මෙික අපිට ඉවසන්නම බැරි උනා. රෑ නම් ලකුණු කිරීමෙි පෙරෙට්ටුව අවසන්වෙලා කට්ටිය ගියාම මං හිමින් සැරේ ගිහින් සීනියර් හම්බුනා.
*සිල්වා. මචං පොඩි වැඩක් කරමුද.
*මොකද්ද.
*අපි පීටීඅයි කෝපල්ට කියමුද.ධර්මෙට ගහපු එක.
*මාත් කියන්න හිතුව බං. ඒත් මොනා කරන්නද.කෝපල් කෙනෙකුට විරුද්දව අපිට කියන්න පුලුවන්ද.
*පුලුවන්. කේලමක් උනත් කමක් නෑ.පාවාදීමක් උනත් කමක් නෑ.පව් බං අරූ බුදියගෙනත් අඬනව බං.
*අපි දෙන්නට අල්ලගෙන දෙයි බං.
*කමක් නෑ. වෙන දෙයක් වෙච්චාවෙ.ගුටි කෑවොත් අපි දෙන්න ඉදිරිපත් වෙලා කමු. ඒකට කමක් නෑ.මං කැමතියි. උඹත් කැමති වෙයන් සීනියර්නෙ.
වරෙන්කො යන්න.තාම නිදි නැතුව ඇති.
මං සිදුවෙන දෙයක් පස්සට දාල සීනියර්වත් ඇදගෙන පල්ලෙහා තට්ටුවෙ නැවතිලා ඉන්න පීටීඅයි හම්බවෙන්න ගියා. අපි යද්දි එයා පොතක් බල බල හිටියෙ. මෙි වෙලාවෙ මගේ හිතේ තිබුනෙම පීටීඅයිටත් කියල වැඩක් වුනේ නැතිනං මොන ප්‍රශ්ණයක් ආවත් මෙික පුලුවන් තරම් ඉහලට හරි අරන් යන්න. ගුටිකාල ගෙදරහරි යන්න බලාගෙන තමා මෙි තීරණයට ආවෙ.
*එක්ස්කියුස්මී කෝපල්.
*කව්ද?
*කෝපල් ආධුනික සෙබළ යද්දෙහිආරච්චියි ආධුනික සෙබළ සිල්වයි කෝපල්.
*ඇයි? එයා කියව කියව හිටපු පොතත් පෙට්ටියක් උඩින් තියල අපි ගාවට ආව. ඊට පස්සෙ පීටීඅයි කෝපල්ට අපි සම්පූර්ණ විස්තරේ කිව්වා. එයා අපි කිව්ව දේවල් සාවධානව අකුරක් නෑර අහගෙන හිටියා.
අන්තිමෙිදි අපිත් එක්ක භඨ නිවාසෙට ඇවිත් ධර්මෙ ගාවට ගිහින් ඇඳුම් ඔක්කෝම ගලවල මුළු ඇඟම හොඳට බැලුවා. තට්ටං ඉදිමිලා රතු වෙලා. තුනටියටත් පාරවල් දෙකක් වැදී තිබුනා. කකුල්වල බත් කෙන්ඩත් ඉදිමිලා. කෝපල් නයනානන්දට හොඳටම තරහ ගියා.ඇස්දෙක රතුවුනා. අත්දෙක වෙව්ලන්න වගේ වුනා.
පස්සෙ අපිට කිව්වා වතුර එකක් උණු කරන්න කියලා. ඒ අතරෙ අපේ එක්කෙනෙක් යවල පිටීඅයි කෝපල්ගෙ වින්ටජිනෝ ක්‍රීම් එක ගෙන්නගෙන උණු වතුරෙන් මුලු ඇඟම තවල එයාම වින්ටජිනෝත් ගාල මසාජ් කරල හොඳට නිදාගන්න කිව්වා. හෙට පීටී පෝලිම් වෙන්නත් එපා කියල එයා ගියා.
රෑ එකොලහට විතර අපිට හයියෙන් හයියෙන් කතාවක් ඇහුනා උපදේශක භඨ නිවාසයෙන්. අපි කන්දීල බලාගෙන හිටියෙ මොකද්ද කියලා. මොකද අපි කරපු වැඩෙිට අපිත් ඇත්තටම මෙි වෙද්දි බය වෙලා හිටියෙ.ගුටි කන්න වෙයි කියලා. ඒ දවස්වල අද කාලෙ වගෙ හමුදාවෙ ගහන එව්වට තහනමක් මොකුත් තිබුනෙ නෑ. තියෙන්න ඇති. ඒත් ඒව කව්රුත් පිලිපදින බවක් තිබුනෙ නෑ.
ඒ කතාව අතර මැද අපේ කණ්ඩ භාර සැරයන් බිලට් එකට ඇවිත් ධර්මෙව පරීක්ෂාකරල බැලුවම එයාටත් හොඳටම තරහ ගියා.
එදායින් එදත් ආයෙ කවදාවත් කෝප්‍රල් ජෝශප් අපේ උපදේශක නම් ලැයිස්තුවෙි හිටියෙ නෑ. එයාව අයින් කරල එයා හිටිපු රෙජිමෙින්තු පොලිස් අංශයෙනුත් අස් කරල තිබුනා. අපිට පුදුම සතුටක්.
පහුවදා රෑ කෝප්‍රල් නයනානන්ද අපිට ඇවිත් කිව්වා ආයෙ අසාධාරණ විදියට කව්රුහරි ගැහුවොත් කියන්න කියල. පනිශ්මන්ට් දුන්නත් කියන්න කිව්වා. අපි කරපු වැඩෙිට වෙනමම කතා කරල කිව්වෙ කෝප්‍රල් කෙනෙකුට විරුද්ධව කතාකරන්න පුරුදු වෙන්න එපා කියල. නමුත් අසාධාරණයක් වෙලා තියෙන තත්ත්වය උඩ අපිට හොඳයි කියල කිව්වා.
අපි එදා ඉඳන් නිදහසේ පාඨමාලාව කරගෙන ගියා. ඒ සිදුවීමෙන් පස්සෙ අපියි එයයි අතර පුදුම බැඳීමක් ඇතිවුනා. හැමදාම අපිට කිව්වෙ හොඳම ශාරීරික අභ්‍යාස කණ්ඩය අපි වෙන්න ඔින කියල. අපි ඒකට බැහැලම පුහුනුවීම් කටයුතු කලා. ධර්මෙත් අපි එක්ක පුදුම කැමැත්තකින් අපිට ආදරේකින් හිටියා. ඒ අපි එයා වෙනුවෙන් කතා කරපු නිසා.
ඒ අස්සෙ තමා අපේ තුන්වෙනි ප්ලැටූන් එකේ හිටපු ජයන්ත බණ්ඩාරයි තව කෙනෙකුයි සිගරට් බොන්න ගිහින් අහුවුනේ. රෑ දහයයි කාලෙන් පස්සෙ අපේ බිලට්වල ලයිට් නිවන්න නියෝග කරල තිබුනා. ඒත් අපිට දහයයි කාල වෙද්දි අත්‍යවශ්‍ය වැඩ ඉවරකර ගන්න බෑ. ඊට පස්සෙ අපි කරන්නෙ පේලියට ඉටිපන්දම් පත්තු කරගෙන අපේ වැඩ ටික ඉවර කරගන්න එක. එහෙම ලයිට් නිමුවට පස්සෙ තමා මෙි දෙන්න මාට්ටුවෙලා තියෙන්නෙ.
මෙයාලා කෝපල් කෙනෙකුට ගේන්න කිව්ව කියල කැන්ටිමෙන් සිගරට් දෙකක් අරන් ඇවිත් ලයිට් නිවුවට පස්සෙ අවි පුහුනු වෙන ඒරියා එකට හොරෙන් ගිහින් හැංගිලා සිගරට් එක පත්තු කරල බීල. මෙතන අද වෙනකොට තියෙන්නේ බනි/සැරයන් නිවස්නය. එදා එතන තිබුනෙ තනිකර ගල් ගොඩක්. මෙි ගල්වලට මුවාවෙලා තමා මෙි ක්‍රියාන්විතය කරල තිබුනෙ කට්ට කරුවලේ.
ගොඩක් වෙලාවට අපි ලයිට් නිවුවත් ඉටිපන්දම් එලියෙන් එකා දෙන්නා වැඩ කරන නිසා හොරෙන් පීටීඅයිල ඇවිත් අපිට කලවම් වෙලා හැංගිල බලං ඉන්නව අපි මොකද කරන්නෙ කියල. කතාවෙන ඒවත් අහං ඉන්නව. බිත්තිවලට කන් තියෙනව කිව්වට බිත්ති වලට කන් නෑ. අරවගේ අය ඇවිත් කන් තියාගෙන ඉන්නව.
ඔහොම වෙලාවක තමා ජයන්ත බංඩාරයි තවත් කෙනෙකුයි සිගරට් බොන්න ගිහින් තියෙන්නෙ.
හොරෙන් ඇවිත් අපේ අයට කලවම් වෙලා ඉඳගෙන හිටපු කෝප්‍රල් රත්නායක මෙි දෙන්න හොරෙන් හොරෙන් කට්ට කරුවලේ හොරගල් අහුලනව ඇහැ ගහගෙන බලාගෙන ඉඳල. පස්සෙදි මෙි ඩබල පස්සෙන්ම හොරෙන් වැට පැනල නාන ටැංකියත් පහුකරල මගට එනකං ඇවිත් මගින් කොහොමහරි නොතේරෙන්න පිටිපස්සෙන් ආපු අනිකා නවත්තල ඒ වෙනුවට කෝප්‍රල් රත්නායක ඇවිත්. ජයන්තත් "මචං,මචං" ගගා ගල් අල්ල අල්ල අවිපුහුණු පෙදෙසේ පිච් එකට ඇවිත් තවත් ලොකු ගලකට මුවාවෙලා ඉඳගෙන. දෙන්න රහසෙන්මලු කතාව.
ඇවිත් හොඳට වටපිට බලල බිමටම නැමිල ජයන්ත පළවෙනි සිගරට් එක පත්තු කරල. ඒකෙන් උගුරු කීපයක් ඇදල පිටිපස්සට දික්කරල. පිටිපස්සෙ හිටපු කෝප්‍රල් රත්නායකත් අරගෙන උගුරු කීපයක් ඇදල ආපහු දීල. මෙික විනෝදයක් කියල හිතෙන්න ඇති එයාටත්. ඔහොම ඔහොම පලවෙනි සිගරට් එක ඉවරවෙනකම් බීවට පස්සෙ කෝප්‍රල් රත්නායකත් රහසෙන් කියල අනිකත් පත්තු කරපං කියල. ජයන්ත බංඩාරත් බාගෙට නැගිටල සාක්කුවෙ තිබ්බ අනිත් සිගරට් එකයි ලයිටරෙයි අතට අරං සිගරට් එක කටෙි තියල ලයිටරේ ගහල. එතකොට දැකල බුරුසුවක් වගේ තඩි පොයින්ට් එකක් තියෙන පොරක් ජයන්තය දිහා බලං හිනාවෙවී ඉන්නව. මෙිකට බයවුනු ජයන්ත ගලුත් පෙරලගෙන දුවන්න හදනකොට අතින් අල්ලල නවත්තගෙන.
අපිට උඩ තට්ටුවට ඇහුන එක පාරටම හයියෙන් "ඔහිටපිය,ඔහිටපිය,වල් පරයා" කියනව. ඒත් ඒක්කම හයියෙන් කියනව ඇහුනා "ළමායි,,ලයිට් දානවලා" කියල නියෝගයක්. අපිත් මෙි මුකුත් දන්නැතුව ලයිට් දැම්මා. දාල සද්දෙ ආපු පැත්තට ජනෙල් වලින් ඔලුව දාද්දි දැක්කා කිඹුලෙකුට ගොදුරක් අහුවෙලා වගෙ ජයන්ත බංඩාරව ඇදගෙන පල්ලම් බහින කෝප්‍රල් රත්නායක. අපි තවත් හොඳට වටපිට බලද්දි දැක්කා පාර අයිනෙ කන්ඩිය උඩින් තිබුනු තවත් විශාල ගලක් අයිනෙ බිම දිගාවෙලා තවත් තුන් දෙනෙක් ඉන්නව. ඒත් කෝප්‍රල් දැකල නෑ. ඒ ඊට කලින්ම මෙි ක්‍රියාන්විතයට ගියපු තුන්දෙනෙක්.
අපේ බිල්ඩින් එකට වටෙන් ආපු කෝප්‍රල් නයනානන්ද මෙි තුන්දෙනාව දැකල අල්ල ගත්තා. වෙලාව ඇති එකොලහට විතර. කෝප්‍රල්ලගෙ අත් අඩංගුවට පත්වුනු පස්දෙනාම අල්ලගෙන පිට්ටනියට අරගෙන ඇවිත් මූනට දෙක දෙක ගහල පිට්ටනිය කෙලවරේ පාර අයිනෙ තිබුනු ඔිලු පොකුනට බැස්සුවා. ඒක මහ හිරිකිත පොකුනක්. නිළධාරි නිවස්නයේ ඉඳුල් වතුර පවා එන්නෙ ඔය පොකුනට. ඒකට බස්සල පස්දෙනාම හොඳට නෑව්වා. ටිකවෙලාවක් නෙමෙි පැයක් විතර සීතලේ වෙව්ලනකම්ම. මෙි සිදුවීමට අපිට මැරෙන්න හිනාගියත් උන් සිගරට් බීමනං කවදාවත් නැවැත්තුවෙ නෑ.
අපේ පාඨමාලාව පටන්ගෙන මාසයක් පමණ ගෙවීයාමෙන් අනතුරුව ඉරිදා උදේ 0900 පැයේ සිට 1400 පැය දක්වා තම තමන්ගේ නිවෙස්වලින් මව් පියන් යාලු හිතමිත්‍රාදීන් ගෙන්වා ගැනීමට අවසරය ලැබුනා. මාස හතරහමාරක් පුරාවට පැවතුනු පාඨමාලා සම්පූර්ණ කාලය තුල මගෙත් ධර්මෙගෙත් බස්නායකගෙත් නිවෙස්වලින් කව්රුවත් අපි ගෙන්නා ගත්තේ නැහැ. ඒ අපිට නිදහසේ පාඩුවෙි පාඨමාලාව කරගෙන යාමට උවමනාවූ නිසා. මමනං ගෙදරට කියල තිබුනේ කාටවත් බලන්න එන්න දෙන්නෑ කියල. අපි ඉරිදටත් බරවැඩ නොහොත් පැටිග් කරල රෙදි සෝදල ඒව අයන් කරල වෙිලාසන බූට් පොලිෂ් කරල අත්‍යවශ්‍ය වැඩ ටික කරගෙන රෑ නම් ලකුණු කිරීමෙි පෙරෙට්ටුව ඇවිත් ගියාට පසු ඇඳ යටට රිංගල හොඳට නිදාගන්නව.
ඒ අපිට රෑ දොලහ එක පමණ වූ පසු වෙනම ක්‍රියාන්විතයක් ඇරඹිමට තිබෙන නිසා. ඉරිදට ගෙවල්වලින් ගේන කෑම රසකැවිලි සමහරු කාටවත් නොදී අලිකකුලක් වගේ තියෙන කිට්බෑග් එකේ අඩියටම දාල හංගනව. ඒ තනියම කාටත් නොදී හොරෙන් කන්න. තව සමහරු හම්බවෙන රසකැවිලි එහෙම්මම පෙට්ටිය ලිහල කන එවුන් කාපියව් නොකන එවුන් ඒත් කාපියව් කියල මෙිසෙ උඩින් හායි ගාල ඇරල දාල තියෙනවා. පැය ගානක් ගිහිල්ලත් තමන්ගේ පෙට්ටියේ කෑම ඉතුරුවෙලා තිබුනොත් ඒව අරන් වහල කිටිබෑග් එකට දාල වහනව. ආයෙ ඒක එලියට එන්නෙ රෑ අපි හදාගන්න කහට එකට.නැත්තං පහුවදා උදේ කිරි තේ එකට. එහෙම වුන් කිසිගින්නක් නැතුව අපි ආසයි කියන කෑමත් ගෙවල් වලට කියල හදවල ගෙන්න ගන්නවා.
තව සමහරු කොට්ඨාශයක් ඉන්නව ඉන්න ගානට බෙදල ඉතුරුව දාල වහල තනියම කනව. මෙිව හැම එකක්ම කරන්නේ උපදේශකයින්ට අයින් කරල ඒව යවල. නැතිනං ගෙවල් වලින් ඒ ගොල්ලන්ට වෙනම හදවල පාර්සල් කරල ගෙන්න ගන්නව.
ඔහොම ගෙවල් වලින් දවසක් දෙකක් එන්න ගත්තම මමත් ධර්මෙත් විමසිලිමත් වුනේ බෙදාහදාගෙන නොකන එවුන් ගැන. ධර්මෙගෙ අම්ම තාත්ත දෙන්නම නෑ. හැදිල තියෙන්නෙ කිරිඅම්ම ගාව. එයාට වයස නිසයි ඇවිදින්න අමාරු නිසයි ගෙන්නන්නැත්තෙ. එකම එක දවසක් වෑන් එකක් අරගෙන ගමෙි කට්ටියක් ඇවිත් තිබුනා ලොකු හාමුදුරුවොත් එක්ක තමන්ගෙ පොඩි හාමුදුරුවො බලන්න. එච්චරයි ඇවිත් තිබුනේ. එදා මටනං සුපිරිම දවසක්. කැවිලි වර්ග පහකින් විතර හෙන තොගයක් ලොකු පෙට්ටි වලට අහුරගෙන. කදවල් කිව්වොත් තමා වඩාත්ම නිවැරදි. ලොකු නෙස්ටමෝල්ට් ඇංකර් පෙට්ටිවලට අහුරගෙන. කෙසෙල් අඹ මැංගුස් වගේ පලතුරු පෙට්ටි ගණන්. අපි ඒව දවස් ගානක් කෑව. කැවිලි කාල කාල මැංගුස් පලතුරුත් කාල අන්තිමට කන්නෙ කෙසෙලුයි අඹයි. පැය භාගයක් යනකොට බඩෙි මහා දරුණු සටන්. පැයෙන් බඩ සුද්දයි. ආයෙ කනව. ආයෙ බඩ යනව. ඔහොම අපි අප්පිරිය වෙනකං කෑව.
අපි දෙන්න රෑ දොලහට විතර නැගිටල කලින් කතාකරගත්තු විදියට කෑම හංගපු අයගෙ කිට්බෑග් පලමුව සුද්ද කලා. අපි ඒවගෙන් ටික ටික කාල නිදාගෙන ඉන්න කොල්ලන්ගේ කොට්ට උඩින් ගානට බෙදල අපි නිදාගන්නව. අයිතිකාරයගෙ කොටසත් උගේ කොට්ටෙ උඩින් තියනව.නැත්තං පවුනෙ.
එක දවසක් ඔය ක්‍රියාන්විතයට අපි දෙන්න ඇඳෙන් බැහැල යද්දි තට්ට කලුවරේ බස්නායක අපිටත් කලින් ක්‍රියාන්විතයට ගිහින් කිට් බෑග් එකක් සුද්ද කරල මුල්ලක ඉඳගෙන බරස් බරස් ගගා කැවුම් වගයක් බිම දාගෙන පෙට්ටියත් දිගෑරගෙන හොඳට කනව. ඒකෙන් පස්සෙ තමා බස්නායකත් අපිට සෙට්වුනේ.
පහුවදාට ඒ කැවිලි වල අයිති කාරයින්ගෙන් අලි ගිනිවිජ්ජුම්බරයයි භඨ නිවාසෙ ඇතුලෙ. ඒ කොච්චර සද්දෙ දැම්මත් අපි නැවැත්තුවෙත් නෑ, කරපු කෙනෙක් හොයාගන්නත් බැරිවුනා. මෙහෙම තුන් හතර පාරක් කරනකොට කට්ටිය ගානට හැදිලා අනෙක් අයටත් කලින්ම ගෙනාපුව බෙදුවා.
ධර්මෙ මහණ වෙලා හිටියට හරි ජොලි පොර.
අපේ ප්ලැටූන් එකට පෝය දවසක අමුතු අදහසක් පහලවුනා. ඒ බෝධි පූජාවක් තියන්න. අපි ඒ අදහස ආපු ගමන් කෝප්‍රල් නයනානන්දගෙන් අහල අවසරයත් ගත්තා. එදා පෝය දවසෙ දෙකට විතර අපි මුලු කඳවුරේම ඇවිදල ඇවිදල අරලිය කහ අත්තන කටරොළු සමන්පිච්ච මල් ගොඩක් උරවලට කඩාගෙන ඇවිත් කාඩ්බෝඩ් පෙට්ටි කපල වට්ටි හදලා ලස්සනට මල් අහුරල හැදුව. කැන්ටිමෙන් හඳුන්කූරු අරන් කෝප්‍රල්ටම කියල එලියෙන් පොල්තෙල් පහන්තිර සහ අවශ්‍ය කරන අනෙක් සෑම දෙයක්ම ගෙන්නගෙන ලස්සන මල් පූජාවක් කලා. ඒකට උපදේශක මඩුල්ල ඇතුලු කඳවුරේ හිටපු ගොඩක් අය සහභාගිවුනා. කණ්ඩ භාර සැරයන්වරුත් ඇවිත් හිටියා. අපි අපිට ලැබිල තිබුනු අත්දිග සුදු ජර්සි ඇඳල යුනිෆෝම් කලිසම ඇඳල. එතන හාමුදුරුවන්ගෙ භූමිකාව කලේ ධර්මසේන. ඒක හරි ලස්සනට කරල අන්තිමෙි මහ පිරිතත් කියල කෝස් එකට ආශිර්වාදත් කලා.
මං ධර්මෙට නම සහ බැචා කියල කතා කෙරුවට මට කතාකලේම "පිංවතා" කියල. "අඩෝ පිංවතා, අයිසෙ පිංවතා,
ඔියි සුපිංවතා" කියන වචනම තමා කටෙි තිබුනෙ. ආයෙ කටෙි තිබුනෙම මොකක් හරි නස්කූනි වැඩක් හරි මොකක් හරි වැඩක් කරල "මට වැඳපියව් තොපි" කියන එක.
අපිනං ඒ වෙලාවට කියන්නෙ "ඇනැප් පැලයැං ඩෝ යන්ඩ වල් හීරලු තට්ට ගෙඩියා,තොට වඳින්ඩ අපිහ්"
අනෙක් අයට "පිංවතුනි, සුපිංවතුනි". කියල කතාකරන්නෙ.
අපි දෙන්න සෙට්වුනු මුල් දවස්වල මගෙ වැඩෙිම ධර්මෙට හිනාවෙන එක.
මං පටන් ගන්නෙම ඉන්ටවීව් ආපු දවසෙ සිවුර ගලවල පේර ගහේ දාල අඳනකඩෙි කැහැපොට ගහගෙන අපිත් එක්ක පිටී ටෙස්ට් එක කරපු එක ගැන. එතකොට ධර්මෙත් ඒකටම හරි යන්න එක එක ජෝක් කරනව.
එක දවසක් දවල් දොලහයි හතලිස් පහට අපේ විනය මදි කියල දඬුවම් සරඹ දුන්නා. ඒක තිබුනේ ඊට කලින් දවසෙ භඨ නිවාස පරීක්ෂණයක් එක්ක. එදා රෑත් අපිට පනිෂ්මන්ට් දීල දීල කිට් චෙින්ජ් දීල දීල තමා පහුවදාටත් ගත්තෙ. අපේ පාඨමාලාව පුරාවට දඩුවම් සරඹ හයක් දුන්නා. අපේ විනය නෑ කියල අරව මෙිව කියල ඒ දඬුවම් දුන්නට පස්සෙ කාලෙක තමා දැනගත්තෙ ඒවත් සිලබස් එකේම තියෙන දේවල් කියල.
මෙහෙම කෝස් එක යන අතරේ අපිට කොන්ත්‍රාත්තුවක් ආව වරායට ආපු නැව් තුනක යුධෝපකරණ බාන්ඩ. ඒකට අපිව භාරව ගියෙ කෝපල් නයනානන්ද.අපි හරියටම සතියක් කොළඹ වරායේ හිටියා. ඒ නැව් තුන ඇවිත් තිබුනෙ චීනෙන්. පතුරම් වෙඩිද්‍රවය නිළඇඳුම්,කාලතුවක්කු යුධ යැංකි ටී පනස් හය අලුත්ම අලුත් තුවක්කු ආදී සෑම දෙයක්ම.
අපි මෙි වෙද්දි පුහුණු වෙවී හිටියෙ ජී3ඒ3 අවියකින්. ඒක අපිට පුහුණු වෙන්න අමාරු අවියක්. හසුරවන්නත් අමාරුයි. දිගත් වැඩී. අපේ ටී 56 අවි ඇවිත් තිබුනෙත් මෙි නැවකින්.
පලවෙනි දවසෙ පීටීඅයි කෝප්‍රල් අපිව කාණ්ඩ තුනකට කඩල පැය දෙක ගානෙ පතුරම් බාන්න හදල දුන්නා. අපිට තිබුනෙ ලැබෙන පැය දෙක උපරිම මහන්සිවෙලා වැඩ කරන්න. එහෙම කලාම පැය හතරක් විවෙිකය ලැබෙනව.
අලුත් තීන්ත සුවඳ, තුවක්කු පතුරම් දැමූ පෙට්ටිවලින් හමා එන සුවඳ නැහැපුඩු සිසාරා ගියාම අපිට වැඩ කරනවා, වෙලාව යනවා තේරෙන්නෑ. වරායෙන් හමා එන ලවණ මිශ්‍රිත සුලඟත් එක්ක අර සුවඳත් මුසු උනාම අපිට හිතුනෙ අපි වෙනමම ලෝකෙක ඉන්නව වගේ. අපි වගේ තවත් පුහුණු පාසැල් වලින් ගොඩක් අය ඇවිත් හිටියා. පළවෙනි දවසෙ සම්පූර්ණම තිබුනෙ තුවක්කුවල පතුරම් බාන්න විතරයි.
එදා නැවෙන් භාගයක් විතර පතුරම් බාද්දි රෑ පැවරුනේ නිළ ඇඳුම් බාන්න. මෙිස් පූචස් අළුත්ම අලුත් නිළ ඇඳුම් බූට්ස්, ගොඩවල් ගොඩවල් දාපු මළු ගෙනවිත් එක පිට එක ගොඩ ගහද්දි පීටී අයි කෝපල් පැත්තක සීරුවෙන් ඉඳල බලාගෙන හිටියා. එයා එක පාරටම ඇවිත් එක බෑගයක් පලුදු කරල බලද්දි ඒකෙ තිබුනේ හමුදාව පලඳින කොලපාට මෙිස්. එයා ජෝඩුවක් අතට අරන් බලල ඉඹල ආපහු දැම්මා.
ආයෙ ටික වෙලාවක් ගියාම අපේ මුරයේ පැය දෙක අවසන් වීගෙන එද්දි එයා නැවතත් ඇවිත් අපිව ඒ ගබඩාවෙන් එලියට අරන් යන්න පෝලිම් කලා. ඊට පස්සෙ අර එයාම පළුදු කරපු උරේ අරන් ඇවිත් මෙිස් ජෝඩුව ජෝඩුව අපිට දීල කිව්වා "තත්පර දහයක් ඇතුලත මෙික බෙදාගෙන දාන් ඉන්න මෙිස් වලට උඩින් දාගන්න" කියල. ඒ අණට අපි ඔිනෑවට වඩා කීකරුවෙලා හැකි උපරිම වෙිගයෙන් කැන්වර්ස් සපත්තු ගලවලා පැලඳ හිටපු මෙිස් වලට උඩින් අලුත්ම අලුත් මෙිස් දාගෙන ආයෙත් කැන්වර්ස් සපත්තු දා ගත්තා.
*ඉන්න තැනට ගියපු ගමන් මෙිව ගලවල ගෙනාපු පැක්වල හංගපල්ල හරිද?
අපිත් ඒව දාගෙන ඇවිත් කඩිනමින් ඒ අලුත් මෙිස් ගලවල අපේ පැක්වල අඩියටම දාල හංග ගත්තා. අපිට එක දිගටම වැඩ කරන්න සිදුවුනා සතියම. නිදාගන්නෙ කන්නෙ බොන්නෙ ඔිෆ් වෙන පැය හතරෙ. කෑම අරක්කු නැව්වලිනුත් හම්බු උනා. අරක්කු කිව්වට අපි එදාමයි ඒ වර්ග දැක්කෙ. ඒව ලංකාවෙ නෑ. නැවෙි තියෙන චීන එව්ව හරි වෙන රටක එව්ව හරි. අපිට ලැබෙන හැම අරක්කු බෝතලයක්ම හොරෙන් හංගගෙන ඇවිත් පීටීඅයි කෝපල්ට දුන්නා. එක දවසයි හම්බුනේ. ඒ අරක්කු බෝතල් මට මතක විදියට විස්සක් විතර. ඒව පේන්න ගෙනියන්න එපා කියල නැවෙි හිටපු චීන්නුම කිවිවා. බාශාවක් තේරුන්නෑ.එයාලා ටීෂර්ට් එක අස්සෙ ගහගන්න කියල අපිට ගොලු බාසාවෙන් කිව්වා.
එදා සෑන්විච් පාං,නූඩ්ල්ස්,පෙර පිසින ලද බත්,(පකිස්ථාන් රෙෂන් පැකට්)මස් පැකට් චීස් ටින් හෙන තොගයක් හම්බුනා. අපිත් දෙන දෙන හැම එකම උස්සගෙන ඇවිත් කූඹියො ගුල්වල පස්සෙ කන්න කෑම හංගනව වගේ අරං ඇවිත් පතුරම් පෙට්ටි අස්සෙ හැංගුවා. අරක්කු බෝතල් පීටීඅයි කෝප්‍රල් මොනාද කලාද දන්නෑ.ඒව අපි එයාට දුන්නෙ.
හැබැයි එදා රෑ මරු වැඩකුත් උනා. පීටීඅයි කෝප්‍රල් අර අරක්කු බෝතලයක් දෙකක් අරං ඇවිත් රෑ හොරෙන් ප්ලාස්ටික් කෝප්පෙකින් කාල කාල වගේ දාල දුන්නා අපි ඔක්කෝටම බීපියව් කියල. මමත් බිව්වා. ධර්මෙත් බිව්වා.මුලු ප්ලැටූන් එකම බිව්වා. වෙරි වුන්නෑ. අමුතු කහට රහක් ආවෙ. මාර සුවඳ අරක්කු ජාතියක්.
අපි ඔිප්වෙන පැය හතර නිදාගත්තෙ පත්තර කොල එලාගෙන. බිල්ඩිමක පේමන්ට් එකේ. ඒ දවස් හතේම අපි නෑවෙ නෑ.ඇඟ හේදුව විතරයි. නාන්න වෙලාවක් තිබ්බෙම නෑ. දත් මැද්දෙත් දවසකට දෙකකට සැරයක්. ඒ තරම් අපි වැඩ කලා.
ආයෙ අපිව නිදහස් කරන්න ආවෙ ශ්‍රීලපාහ රෙජිමෙින්තුව යටතේ පුහුණු වෙමින් සිටි සෙබළු. ඒ අයත් අපි එක්කම සම්මුඛපරීක්ෂණයට හිටපු අය. ඒ අතරිනුත් කිහිප දෙනෙක් මං අඳුරනව. ඒ ඉන්ටවීව් දවසෙ පෝලිමෙි ඉද්දි කතාබහ කරල. එදා අපි වරායෙන් නිදහස් වෙලා ආහම දවස් දෙකක් විවෙිකය හම්බුනා. නිදාගන්න විතරයි. කනව බොනව නිදියනව විතරයි.
නැවත අපේ පුහුණු වීම් පටන් ගත්තා. ආයෙ වරායට ගියා..ඔය විදියට අපි මාස හතර හමාරක් ආධුනික පුහුණුපාඨමාලාව හැදෑරුවා. මාස හතරහමාරක් ගියේ පතුරම් බාන්න ගිය කාලෙත් එක්ක. ඔය මාස හතරහමාර පුරාවටම මං එක දවසක්වත් අම්මලව ගෙන්නගත්තෙ නෑ. ඒකට හේතුව එයාලා ආවහම මට දුකවැඩී. හමුදාවට තියෙන ආසාවට ආවා මිසක් ඒ ආපු මුල් සතියෙ දෙකේ පුදුම දුකක් කාංසියක් දැනුනෙ. පාලුව තනිකම ඉවසන්නම බැරිවුනා. ඒ සංතාපය වෙිදනාව මං දරාගත්තෙ පුදුම අමාරුවකින්. ඒ නිසා කවදාවත් මං අම්මලව ගෙන්න ගත්තෙ නෑ. ලියුම් වලින් හැමදේම අම්මලට කිව්වත් මං කිව්වෙ අපිව බලන්න දෙන්නෑ කියල. අම්මලත් විශ්වාස කරල ආවෙත් නෑ.
මෙි පුහුණු වුනු කාල සීමාවෙත් හරි රසවත් කතා කීපයක්ම සිදුවුනා. මෙි අපේ ජීවිතවල ඉතා වැදගත් සන්ධිස්ථානයක්. ඒ අවුරුදු දහ අටක හා සම වයසෙ හිටපු සිවිල් කොල්ලො සොල්දාදුවන් බවට පරිවර්තනය වීම.
ඇත්තටම ඒක හරි අපූරු විනෝදාශ්වාදයක් වුනත් හරි අමාරු කාල පරිච්ඡේදයක්.
රුවින් පමුදිත යද්දෙහිආරච්චි
2020.06.06
Labels:
මගේ කතා
Subscribe to:
Post Comments (Atom)
Ado pinwatha, kathawa lassnai.
ReplyDelete