Friday, June 5, 2020
බුදුවරුවන් දෙවිවරු
.
පැතුම් සුන්වුන රෝගි දනහට පිහිට සැලසෙන එකම මංපෙත
සිතුම් ලෙස දිවි සුවය සලසන පහදවාගෙන තමන් තුන් සිත
ගෙතුම් කල මල් දමක් සේමැයි මඩුල්ලම වෙද බැතින් නන්දිත
උතුම් වෙදවරු කියන සම්පත තමා මිහිමත මහා රන්කෙත
තිබෙි ඉති හාසයේ ලියැවී උතුම් සේවය පිදුම් දෙන්නේ
ලැබෙි මුල්තැන ලොවක් සනසන වෙදවරුන් බුදුවරුන් වැන්නේ
සබෙි වියතුන් අතර ඔබමයි එදත් අදටත් මුලට ඉන්නේ
ඔබෙි පින්බර දෑත තුල විය විමන් තුල නොව දෙවිඳු ඉන්නේ
රැයේ මෙන් දහවලද කැපවී රුදුරු වූ රෝ බිය නසාලන
ලයේ මෙත උතුරා ගලායයි දොලක් සේ දෙරණම වසාගෙන
නොයේ කිසිදා මැකී නාමය පිදුම් ලබතිය සිව් දිසාවෙන
දැයේ උතුමන් ඔබයි පුදලද වඳිති දෙව් බඹු දණ ගසාගෙන
කරන සැත්කම් හාස්කම් මෙන් මනා ලෙස තම ශිල්ප දැක්වී
දෙරණ පැතිරුණ එවැනි විස්කම් තිබෙි අභිමානයට ලක්වී
වැරුණ පැසසුම් ලබන උතුමන් සැම සතට පිළිසරණ යක්වී
පුරණ පෙරුමන් යතිවරුන් ලෙස සිටිති දන බැති පුදට ලක්වී
ලිඳක් සේ ඔබෙ ගැඹුරු හදතුල උනන කරුණා ජලය රන්දිත
සිදක් සේමැයි නොනිමි දැනුමෙන් සුව ලබයි අසරණුන් කම්පිත
සඳක් සේ මෙයි එකළු කරමින් ඇදුරු සිත් එහි අගය නිම්නැත
හදක් වැළපෙන සනසවාලන දෙවිඳ ඔබවෙි දැයේ සම්පත
දැනෙන රෝ ගිනි නිවාලන්නේ ඔබෙි කරුණා දියෙන් නාවා
ගැනෙන දෑතේ සුවය දෙන්නේ ඔබෙන් ඉටුවෙයි අනගි සේවා
පිනෙන මෙත් සිත අවදිවන්නේ එයින් අසරණ සරණ වූවා
යනෙන මග රැකවරණ දෙන්නේ ඔබට හැම දේවතා දේවා
රුවින් පමුදිත යද්දෙහිආරච්චි
2020.06.05
Labels:
මගේ කවි
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment