Sunday, June 7, 2020

සෙනෙහසක මහිමය

එදා හරි ලස්සන සවසක්.  මුළු බටහිර අහසම රත්තරන් පාටයි. රත්තරන් පාට කිව්වට ඒක වැඩිපුර තැඹිලි පාටට හුරු රත්තරන් පාටක්.ඒ අහසේ රැඳුනු දම්පාටට හුරු වළාකුළු අස්සෙන් විහිදි  රාස්සිගේ අව්ව  තල්ගස් අතරින් බිමට පතිත වෙද්දී මැවෙන්නේ කියාගන්න බැරිතරං ලස්සන මනනන්දනීය දර්ශනයක්. මොහොතින් මොහොත ගෙවී ගිහින්  අන්තිමටම ක්ෂය වෙමින් තිබුනු තම හිරු කිරණත් පොලවට විහිදූ හිරු රාජයා අන්තිමෙිදී ක්ෂිතයෙන් මැකී නොපෙනී ගියා.


 තමන්ගේ මෙහෙය මිහිතලයේ කොටසක ජීවයක් වෙනුවෙන් ඉටුකරල  ආයෙ පැය දොලහකට විතර අඳුරක් උරුම කරමින් හා තවත් නිළ ඇඳුම් අඳින මිනිස් කොට්ඨාශයකට මරණයේ දෝංකාරයන් ඇසෙන්නට සලස්වමින් සැඟවී මෙි මිහිතලේම තවත් පැත්තකට ඊලඟ මෙහෙය ඉටුකිරීම වස්  මාන බලමින් සිටි ලේම ලේ පාටින් දිස්වෙන හිරු මඬල හරි අපූරු චමත්කාර දර්ශණයක් මවාගෙන හිටියෙ හරියට එයා කරපු මෙහෙය පැත්තක තියල අපි වෙනුවෙන් වැලපෙන්න හදනවා වාගෙ. තැඹිලි පාටත් රත්තරන් පාටත් මිශ්‍රවුනු වලාකුළු කැටි එක එක රටා මවමින් හිමීට හිමීට දම්පාටට හුරු පැහැයක් ගිනිමින්  පාවී ගියේ මන:කල්පිත රූප සමුදායක් චිත්ත සන්තානය තුල පහල කරවමින්. ඒ වෙලාවෙි බටහිර අහසේ පාතින්ම තිබුනු සාමාන්‍යයෙන් ලොකු වළාකුලක් එක්තරා හැඩයකින් ආරම්භ වෙලා තවත් හැඩයක් ගනිමින් සිටියේ හැම දෙයක්ම අනිත්‍යයි කියල වටහා දෙන්නට දඟලනව වගේ. එදා වෙනදාටත් වඩා ලොකුවට  ඉරබටු තරුව පෙනුනේ ඇයි දැයි කියානම් මා දන්නෙ නෑ.

ඈතින් පෙනෙන කලපුවෙි තැනින් තැන දැල්වෙන ඉස්සොකොටු වල ලාම්පු එලිය පේන්නෙ හරියට අහස බිමට පාත්වෙලා වගේ. අහසේ පාටත් තරුවල එලියත් අරන් මවාපාන මෙි දර්ශනය හරියට අහසෙ තනියට හඬා වැටෙන තවත් අහසක් වගේ. ඒ  කලපුව  අයිනෙන්ම පිහිටි ප්‍රධාන පාර දිගේ වැලිකන්ද පැත්තෙන් එන වාහන වල විදුලි ලාම්පු එලි සමහරක් කලපු වතුරේ වැටී දිලිසුනේ ඒ වාහනය ඊලඟට කලපුවට ඇද වැටෙයිවද්දෝ කියන හැඟීමක් උද්දීපනය කරමින්.


ඈතින් පෙනෙන තල්මංඩියත් මහ කැලයත් අඳුරෙන් වැසීයන්නට ගත් කැලේ අවසාන බෝඩරයත් දිහා මං බලාගෙන හිටියෙ කලපු මට්ටමින් ඇස් තියාගෙන. ඒ නිශ්චල භූමියේ කිසිවෙක් චංචල ස්වාභාවක් ගන්නවාදැයි පරීක්ෂා කරමින්.


මෙච්චර ලස්සන සුන්දර දර්ශනයන් ස්වභාව ධර්මයා විසින් මවල දෙන්නේ හිතේ තියෙන දුක්ඛ දෝමනස්සයන් මොහොතකට අමතක කරල හිත නැවුම් සිතිවිලි වලින් පුරෝගෙන ඒ තුලින් යතාර්ථය බලල හිත හදා ගන්න. ඒත් හුඟක් අය කරන්නෙ ඒක තේරුම් ගන්නැතිව ඒ දිහා ඇස්දෙක ලොකු කරගෙන බලාගෙන උණුසුම් කඳුලු කැට පෙරමින් ජීවිතයේ ලද පරාජයන් හා කඩාවැටුනු පැති  සිහිකර කර ලතවෙන එක. හරියට මංවගේ.


තව සමහරෙක් මං වගේම මෙි අලංකාර අහස දිහා බලාගෙන තමන්ට හිමිවෙච්චි දේවල් ගැන සතුටු වෙනවත් ඇති. ඒත් මෙි පෘථිවි තලයේ ජීවත් වෙන අය අතරින් තමන්  ප්‍රාර්ථනා කරපු හැම දෙයක්ම ඒ ආකාරයෙන්ම ලැබිච්ච පිරිස හරියට තනි අතකට ගන්න පුලුවන් දිය බිඳු කිහිපයක් වගේ. ඒ දිය ස්වල්පය උගුරක් තෙමන්නත් මදි. නමුත් ප්‍රාර්ථනා කරපු දේවල් දෙක තුනක් එක්ක හරි ජීවිතේ පිලිවෙලකට ගස්ස ගත්තු අය ජෝගුවකට හරි කෝප්පයකට හරි අල්ලන වතුර වගේ. බිව්වට ඒ වෙලාවට තිබහ ඇරුනත් ආයෙ ඉක්මනින් තිබහ වෙනවා.

හැබැයි ප්‍රාර්ථනා නොකර උත්සාහයෙන් ලෝකය දිනපු අය සහ දිනන අය මහා ජලාශයකට වැටෙන ගංගාවක් වගේ. නිමක් නෑ. හැම තිස්සෙම උත්සාහය නැමැති ගමන් මාර්ගයෙදි ලැබෙන ප්‍රථිපලය නැමැති ජලකඳෙන්  සාර්ථකත්වය නැමැති ජලාශය පුරවන ගමනුත් ඒ බොහෝ උත්තමයන් කරන්නෙ තනියම වැව පුරෝගන්නැතුව එයිනුත් ගොවිතැනට බීමට නෑමට ජීවයේ පැවැත්මට දියවර ටික ටික හරි මුදාහරින එක.තමා හා  තවත් පිරිසක් වෙනුවෙන් බාධක හෙල් තැනිතලා ගල්කඳු කටු පඳුරු රුදුරු වනාන්තර පසු කරගෙන ඇවිත් හරි අමාරුවෙන්  ඒ වැව පිරෙව්වට වැව පිරුනෙ කොහොමද කියල අපි නොදන්නවාක් මෙන්ම අපි හොයන්න යන්නෙත් නෑ. අපිට වැඩක් නෑ ඒක. ලැබෙනවනම් මදෑ.


ජීවිතේ යමක් ප්‍රාර්ථනා කරන්නා මම දකින්නේ පරාජිතයෙක් විදියට වගේම උත්සාහවන්තයා දකින්නෙ ජයග්‍රාහකයෙක් විදිහට. ප්‍රාර්තනා කරන්නා ප්‍රාර්තනාවෙන්ම ලැබෙනකං බලා ඉන්නව මිසක් ලැබිය යුතුදේ ලබාගන්න ඒකට නොනිත් ආශාවෙන් උත්සාහය නැමැති මාවතේ අරමුණ නැමැති ජවයෙන් ප්‍රථිපලය නැමැති  ජයකනුව හඹායන්නේ නෑ.  නමුත් මෙි මිහිතලයේ වෙසෙන අර ස්වල්ප දෙනා හැරුනු කොට  සීයයට අනූගානක්ම ඉන්නෙ මෙි වගේ අය.

ඒ කියන්නෙ අහස බලාගෙන හූල්ලන අය.

මම මෙි වෙද්දි හිටියෙ උත්සාහ කරලත් ප්‍රාර්ථනා කරලත් දහ වැඳුම් වැඳලවත් දෙයක් නොලැබෙන ගොඩෙි. එතකොට අපිට අපි ගැන ආත්මානුකම්පාවක් ඇති වෙනව. අසරණ කමක් දුකක් වෙිදනාවක් අනෙක් අයට වඩා අපි ඉන්න තත්ත්වය අනුව අපේ පපු කැවුතු වලට හොඳින් දැනෙනව.  මොකද අපි හැමතිස්සෙම බලාගෙන ඉන්නෙ ඊලඟ මොහොතේ තවකෙක්ව මරන්න,නැතිනම් මැරෙන්න. නිතරම හිතෙනුත් සැලසුම් කරන්නෙ ඒක. අපි අපේ ප්‍රියයන්ගෙන් ආදරණීයයන්ගෙන් වෙන්වෙලා සැතපුම් සිය ගණන් දුරකට ඇවිත් කොහේහරි කැලේකට,තැනකට කොටුවෙලා ඉන්නෙ.

මරන මංචකය නාසය ඉදිරියේ තියන් ඉන්නැද්දි මෙහෙම දැනෙන ආත්මානුකම්පාවක් අසරණ කමක් දුකක් වෙිදනාවක් ඉවසගන්න හරි අමාරුයි. අපේ හිත් හදන්න කව්රුත් නෑ. ඊලඟට මොකද්ද කරන්න ඔින කියල කියාදෙන්න කව්රුත් නෑ.අඩුම ගානෙ කාට හරි  කියල හිත නිදහස් කර ගන්නවත් ⁣විදියක් නෑ,ඒකට සුදුසු කෙනෙක් නෑ.

ඒක දරුණුවට හිතට වධ දෙන්න පටන්ගත්තොත් දුර්වලයා කරන්නේ ඒ දැනෙන වෙිදනාවට ක්ෂණික පිලිතුරක් හොයන එක. ඒක ජීවිතෙන්ම යන එකක් වෙන්නත් පුලුවන්.

 මං මෙි අහස දිහා බලාගෙන කල්පනා කලේ  ලැබෙන්නට වගේ ඇවිත්  නොලැබී ගිය විශේෂ දේවල් සහ විශේෂම වගේ වුනත් අනෙක් දේවල් ගැන.

අහසේ පන ඇද ඇද හිටපු ඉර ක්ෂිතිජයෙන් මැකී ගියාම අවටම අඳුරෙන් වෙලාගත් මෙි බිමෙි දාඩියෙන් පිරුනු ගතකින් සිටි මම  හැඳසිටි යුනිෆෝම් කමිසයේ බොත්තම් සියල්ල ගලවා දෙපැත්තට ඇද දමා යටට ඇඳගෙන හිටපු ටීෂර්ටයත් උඩට යනතෙක්ම රෝල්කර උස්සා දැමුවෙි ඉදිරියෙන් හමා එන වියලි හුලං රැළි පපුවෙි හැම රෝම කූපයකම ⁣වැදෙන්න සලස්වල ඒ තුල දැල්වී අවසන අඟුරු බවට පත්වෙලත් තාමත් නොනිමී වද දෙන රසනිගෙත් එතැනින් ඇවිස්සුනු සුගන්දිනීගෙත් මතක වෙිදනාවන්  මොහොතකට හරි සිසිල් කරල නිවල දායි කියන බලාපොරොත්තුවෙන්.

නිවී නොනිවී නිවී දැල්වෙන පැතුම් දස දහසක්
ඒත් තාමත් හිතට වදදෙයි ඇගේ රස රහසක්

නිතරම එල්ටීටීඊ ත්‍රස්ථවාදීන්ගේ ප්‍රහාරයන්ට නතුවන වව්නතිව් කඳවුර මටනං පෙනුනේම තනිකර සොහොන් පිට්ටනියක් වගේ. ඒකට කියන්න හේතු ගණනාවක් තිබුනත් ඒව කියන්නට මං මෙතන කට අරින්නෙ නෑ. මොකද හමුදාවෙි මගේ පියතමයින් බොහෝ දෙනෙක් මෙි භූමියේ වැලි පොලව බදාගෙන අවසන් හුස්ම හෙලුවෙි තමන් මව්බිම වෙනුවෙන් කල අපමණ මෙහෙය අවසන් හුස්මත් එක්කම පොලවෙි මිහිදන් කරමින්.  ඔවුන් බාහිර ලෝකයට නොදී, සැඟවී රට දැය වෙනුවෙන් කල අපමන මෙහෙය විස්තර කරන්නට ගිහින් ඒක සීයට සීයක්ම හරියට නූනොත්  ඔවුන්ට ඒකෙන් වෙන්නෙ අසාධාරණයක්. ඒ නිසයි මං ඒව පසුවට දැම්මේ. ඒත් මං මෙි හවස්‍ යාමෙ නැගපු තල් මැස්ස ගැනනම් වචනයක් කියන්නම ඔින කියල හිතනව.

ඒ මගේ බැච් එකේ කුමාරරත්න.එයා සුදු ලස්සන කොල්ලෙක්. කතාවත් ටිකක් හිමින්. ගම රත්න පුරේ කලවානෙ. මං කොච්චර කා එක්ක විහිලු කලත් රන්ඩුවුනත් ඒ කලේ තෝරාගත් පිරිසක් එක්ක විතරයි. ඒ තෝරාගත්තු පිරිස අතර නිළධාරිතුමන්ලත්  දෙතුන් දෙනෙක් හිටියා. සාජන් මෙිජර්ගෙන් පටන් ගත්තම හැම නිළයක්ම මගේ කතාවලට සම්බන්ධවුනා. සමහරු මාව හරියට අඳුරන්නැතුව මුලින් කොකු දාගත්තත් පස්සෙ වටින් පිටින් හරි මා ගැන දැනගෙන "ෆිට්වුනු"  කිසි කෙනෙක් කවදාවත් මාව අතහැරියෙත් නෑ.දාල ගියෙත් නෑ. ඒ තෝරා නොගත්තු කොටසේ තමා කුමාරරත්න හිටියෙ. කිරාන්,මාංකේනි,කල්කුඩා,වාලච්චෙින, කුඹුරුමුල්ල මඩකලපුව ආදි හැම කඳවුරකම මං රාජකාරි කරද්දි  සතියකට සැරයක්වත් මෙයා මට හමුවුනා. කිරාන් කඳවුරේ අපි හිටියෙ එකටමයි. වරින් වර මා දඬුවම් ස්ථාන මාරු ලබා ගිය කඳවුරුවලදි මෙයාව හමුවුනත් ඉඳල හිටල "බයිට්" පාරකට ඇදල ගත්තොත් මිසක් එතනින් එහාට වැඩිය එයා එක්ක ගියේනෑ. හේතුව මෙයා අහිංසකයෙක්. අපේ සමහර වැඩ "ඔරොත්තු" නොදෙන මට්ටමක තමා හිටියෙ. ඒ වගේම කේන්ති කාරයෙක්.


මීට හරියටම සතියකට කලින් පීආර්සී 1077 වර්ගයේ රේඩියෝ සෙට් එකක් මෙි තල්ගස් පහක් එකතුකරල හදපු මැස්ස උඩ තියාගෙන ඒකටත් ඇහුම්කං දීගෙන ඉස්සරහ විමසිලිමත්ව බලාගෙන හිටියෙ සතුරා කොහෙන් මතුවුනත් ඒක ඇස් දෙකට හොරා පොඩියක් හෝ එහෙ මෙහෙ වෙන්නට නොදෙන අරමුණෙන්.


නමුත් කොතන හෝ වැරදීමකින් මෙයාට සැඟවුන වෙඩිකරුවෙකුගේ ප්‍රහාරයක් එල්ලවෙලා කියල දැනගන්නකොටත් පැයක් හෝ දෙකක් ගතවෙලා ගිහින්.  ඒ ගිනියම් වූ මූනිස්සම ඉදිරියෙන් හරියටම නලල මැදින් පසාරු කරගෙන හිස පිටුපසින් පදාසයක්ම ගලවාගෙන ගිහින් තිබුනේ අපිට තවත් එක් වටිනා ජීවිතයක් සොයුරෙක් වගේම මිතුරෙක් බැජියෙක් අහිමි කරමින්. එයා අපිව අතහැරල ගිහිනුත් පැයක් හෝ දෙකක් වෙනව කියල දැනගත්තෙ දොලහට විතර හදපු තේ කහට එක බොන්න "බිමට බැහැපන්" කියන්න  අනිකා කතාකරපු වෙලාවෙ ශරීරයෙන් ගලාගෙන ගොස් බිමට නොවැටී නිලඇඳුමෙි මිදී තිබුනු ලේ දහරාවෙන්. ඒ ස්නයිපර් ප්‍රහාරය එල්ලවුනත් හැම තත්පරේම  ඇහෙන වෙඩි හඬ අස්සෙ ඒ දිහා අවධානයෙන් බලනව මිසක් වෙන අවධානයක් එතන යොදවන්නෙ නෑ. ඒ කියන්නෙ කුමාරරත්න "හ්ම්" සද්දයක්වත් නොනගාමයි අවසන් හුස්ම හෙලල තිබුනෙ.
තුන් දෙනෙක් හිටපු පොයින්ට් එකේ එක්කෙනෙක් කඳවුර ඇතුලට ගිහින් හිටියෙ අත්‍යවශ්‍ය පාලන කටයුත්තකට. අනෙකා බිමට ග්‍රවුන්ඩ්ශීට් එකක් එලාගෙන හෙවන මැද්දෙ හිටියෙ දවල් කෑමෙන් පස්සෙ එන තමන්ගෙ වාරයට මැස්සට නගින්න බලාගෙන. ඒත් නොසිතුව දේකින් වික්ෂිප්ත වුනු අනෙකා ගහට නැගල ගුවන්විදුලි යන්ත්‍රයෙන් වෙච්චි දේ කඳවුරට දැනුම් දෙද්දි අපි හැකි උපරිම වෙිගෙන් මෙතනට දුවගෙන ආවෙ තව පන චුට්ටක් හරි කොහේ හරි රැඳිල තියෙනවනං ඒක රැකගන්න අරමුණින්. නමුත් ඒ වෙද්දි පැයකට හෝ දෙකකට කලින් තමා මෙයා අපි විතරක් නොව මුලු ලෝකයම අත්හැරදාල ගිහින් තිබුනෙ.
දැන් මම මෙි ඉඳගෙන ඉන්නෙත් මීට සතියකට කලින් කුමාරරත්න ඉදගෙන හිටපු තැනමයි.

ඒක අපිට පුරුදුවෙලා. පාඨමාලා තුන හතරක්ම එකට හදාරලා අවුරුදු අටක් විතර එකටම  රාජකාරිත් කරලා එකටම සතුරා එක්ක සටන් වැදිලා කෑකෝ ගහල බැන අඬගහගෙන, දුකට සැපට එකට ඉඳල මෙහෙම නොකියාම යන්න ගියාම හරි වෙිදනයි.

නමුත් යුධ සෙබළුන් වූ අපිට එවැනි  සදාතනික මතක සිහිවටන පමණක්  ඉතුරුකොට කොයි මොහොතක හෝ යන්න ගියත් ඒ වෙනුවෙන් දුක් වෙනවා හැරෙන්න ඒ විපත කරපු කෙනා හොයාගෙන දඬුවම් දීලා හිත සනසගන්න පුලුවන් හැකියාවක් අපි කාටවත් නෑ. ඒත් ඒ වෙනුවෙන් කලහැකි එකම එකදේ අපි ඔවුන් වෙනුවෙන් හිතුවටත් වඩා සාධාරණව ඉටුකලා නේද කියල අද මෙි මොහොතෙදිත් හිතෙනකොට  යම් සැනසීමක් හිතේ ඇතිවෙනවා.


මෙි මැස්සෙ ඉඳගෙන ඉහලින් අහසත් පහලින් විවෘත භූමියක්වූ ඉදිරියත් දෙස මා බලාගෙන කල්පනා කලේ මගේ ජීවිතේ ගැන. නැතිනම් ගෙවුනු වසර දෙකක පමණ කාල පරාසයක් ගැන. ඒ මා අවසන් වරට නිවාඩු ගොස් සිටි කාල වකවානුවෙි සිදුවුනු තවත් එක් පරාජිත සිදුවීමක් නිසා.

මට වාරණ පන්සලේදි මුනගැසුනු රසනි එදා අවසන් මොහොතෙ කිව්වෙ  මට  කතාවක් කියන්න තියෙනවා කියල.

මම රසනිට ගොඩක් ආදරය කලා. ඒක අදවන විට සමස්ථයක් වශයෙන් සිදුවෙන හෝටල් කාමරයකට කොටුවෙලා හෝ කොටුවෙන්න හෝ බලාගෙන කරපු ආදරයක් නෙමෙි. ඒක හරි ගෞරවනීය ආදරයක්. මට එයාගෙ මූන දිහා කල්පයක් වුනත් බලාගෙන ඉන්න පුලුවන්. එයා ඉන්න තැනක හරි ආඩම්බරෙන් ඉන්න පුලුවන්. යුනිෆෝම් එකක් ඇන්දත් ඒ තුලින් දැක්කෙත් එයාගෙ ගෑණු කමෙි හුඟක් වටින අලංකාරත්වයක්. වචනෙකට පෙරලන්න හරි අමාරු සංසාරගත බැඳීමක් ඒක. මං එයාව බලාගත්තෙ පුදුම ආදර බැඳීමකින්. හිනැස්සුවා, විහිලු කලා, හිත රිදෙව්වා, තරහ ගැස්සුවා,ඇඬෙව්වා,ආයෙ හිනැස්සුවා, කවිත් ලිව්වා. එයාව කලාතුරකින් එක දවසක් හමුවීම මගහැරුනත් අනිවාරයෙන්ම පසුදාහරි හමුවුනා. ඔහොමත් ජීවිතේ ගලාගෙන ගියා.

  මං හරියටම අවුරුදු එකහමාරක් තිස්සේ රසනිත් එක්ක ගොඩක් දේවල් කතාකලා. මට පිස්සු තියෙන එක ඇත්ත. නමුත් ඒ පිස්සුවෙන් කල් ගතකරනවට වඩා ඉතා වැඩි කාලයක් හොඳ සිහියෙන් වැදගත් විදියට සිහිබුද්ධියෙන් මං කල් ගතකලා. විහිලුව ජීවිතේ වුනාට ජීවිතේ විහිලුවක් කරගත්තෙ නැහැ. හැම දෙයක් ගැනම සාධාරනව බැලීමෙි කතාකිරීමෙි වැඩ කිරීමෙි හොඳ හැකියාවක් ප්‍රවනතාවයක් මට තිබුනා.

ඒක එහෙම නෙමෙි කියනවනං කව්රු හරි, මට ඔහුට බය නැතුව කියන්න පුලුවන් අද මං ජීවත් වෙලා ඉන්නෙ ඒ සීරියස් පුද්ගලයෙක් මා තුල හිටපු නිසාය කියල. මොකද මිලිතත්පර අරික්කාලක වරදින් ජීවිතයක් පවා නැතිවෙන්න පුලුවන් රස්සාවක් අපි කලේ.

ඒත් අපි කොච්චර දේවල් කතාකලත් රසනි මට හංගපු එක දෙයක් තිබුනා. ඒක කවදාවත් මට කලින් කිව්වෙ නෑ. අඩුමගානෙ එහෙම කතාවක් තියෙනව කියල ඇඟවූවෙත් නෑ.

ඒකට හේතු වශයෙන් මට කිව්වෙ එයා මට තිබුනු කැමැත්ත සහ මාව ආශ්‍රය කරන්න තිබුනු කැමැත්ත. හැබැයි මට රසනි කිව්ව දේවල් බොරුයි කියන්නෑ. බොලඳයි කියල කියන්නෙත් නෑ. නමුත් අදවෙනවිට තේරුම් අරං ඉන්නවා ඒ ඇත්ත කියල.

මෙික හිංදි චිත්‍රපටියක් නෙමෙි. පත්තරේක ගිය තීරු කතාවක්වත්, සුජීව ප්‍රසන්න ආරච්චිගේ නවකතාවක්වත් නෙමෙි.

මං එහෙම කිව්වෙ අපි ඒ කතාවක් කියවන කොට හිතට දැනෙනවා මෙික ඇත්තම කතාවක් වගේ.  නමුත් නව කතාවක්නෙ නැත්තං කෙටි කතාවක්නෙ කියල හිතෙනකොට අපි ඒක අල්ලල දානව.

හිතට වදින කතාවක්නං කියවල ඉවරවෙලා ස්මරණය කරනකොට ටික ටික වැටහෙන්න ගන්නවා ඒක අකුරු අමුනල ලිව්ව,  කෙනෙක්ගෙ හිතකට ගෝචර වෙච්චි කාරණාවක් විතරයිනෙ කියල.

සමහර ඇත්ත කතා අපි යථාර්ථයක් විදියට පිලිගන්නෙත් නෑනෙ. අර කතා ගොඩට ලැජ්ජ නැතුව ඒවත් ඇදල දානව. ඉතින් මාත් පිළිගත්තෙ නෑ.

ඒක මං හිතුවෙත් ඔිගොල්ලො හරි වෙන ඈයො හරි හිතන පෘතග්ජන මිනිහෙක් විදිහට.

මට එයා කිව්ව කතා එකක්වත් සාධාරණීකරණය කරන්න බෑ.හැම එකක්ම අසාධාරණයි. මං හැමතිස්සෙම කිව්වා නවකතා ඇදගෙන දඟලන්නෙපා කියල. එවා සත්තයි කිය කිය පලිසක්කර දෙද්දිත් මං කිව්වෙ සිංදු කවි කතා කියන්න එපා ,ජීවිතේ ගැන කියන්න කියල.

නමුත් කොහොමහරි ඒකෙ අන්තිම ප්‍රථිපලය වුනේ අපි දෙපැත්තට වුනු එක.

එදා වාරණ පංසලේදි මං පොරොන්දුවුනේ ආයෙ කවදාවත් ගෑණුලමයෙක් එක්ක යාලුවෙන්නෙත් නෑ,බඳින්නෙත් නෑ කියල නෙමෙි. මං එදා ඉල්ලුවෙි  මං ආදරය කරන කෙනා මට ලබාදෙන්න බුදුහාමුදුරුවනේ කියල. මොකද රසනි මා ඉදිරියෙන් ඇවිත් හිටගත්තු නිසා. ඒ නූනත් මං එයාට ආදරේ කරපු තරමට මට හදවතින්  එහෙම පොරොන්දුවක් වෙන්න බෑ.

රසනිගේ හිත අස්සෙ හැංගෙන්න කොච්චර උත්සාහ කලත් එයා ඒ හිතේ තිබුනු පුංචි ඉඩත් වැහුවෙ හරි දරුණු විදියට. එයා එයාගෙන් විතරක් නෙමෙි මගෙනුත් පළිගත්තා. හමුදාවෙ කොල්ලෙක් හමුදාවෙම කෙල්ලෙක් එක්ක යාලුවුනාම ඒ සමාජය ඔවුන් දිහා බලන්නෙ වපර ඇහෙන්. ඒක වරදක් කියන්නත් බෑ. වරදක් නොවෙන්නෙත් නෑ. මං පළවෙනියෙන්ම කලේ කාටහරි  ඒ වපර ඇහෙන් බලන්න ඔිනනම් ඒ බැලීම අපි දෙන්නට අදාල කර නොගන්න. ඒ හිඩැස් වහල දාන්න. රසනිට උත්සාහ කරනව කියල දැනගෙන උන්න කීප දෙනාටත්, පස්සෙ දැනගත්තු අනෙක් අයටත් එහෙම බලන්න කවදාවත් මං වැඩ සිද්ද කලේ නෑ. ඒ රසනිට තිබ්බ ගෞරවය. ඩියුටි කරන බංකරේට ගියත් මීටරේ දුර අනිවාරයෙන් තියාගත්තා. කවදාවත් කලුවරක කතාබස් කරල නෑ. කලත් තුන්වෙනියෙක් ඉන්න තැනක විතරයි. ඒ අවුරුදු එකහමාරටම රසනි නිවාඩු ඉන්නැද්දි මං නිවාඩු ගියේ අවස්තා දෙකකදි නැතිනං තුනකදි විතරයි. ඒත් රසනි නිවාඩු ඉවරවෙලා එන්න කිට්ටුවම දවසක මිසක් එකට නෙමෙි.මොකද මං එයාට ආදරේ තරමට ගොඩක් ගෞරව කලා. එයා දිහා කව්රුවත් වැරදියට බලනවට මං කැමති උනේනෑ.

මට එයා වාරණ පන්සලේදි හමුවුනේ අර අවස්තා දෙක තුනෙන් අන්තිම එකේදි දවසක.ඒ කිව්වෙ එයා නිවාඩු ඉවර වෙන කිට්ටුව මං නිවාඩු ගිය අවස්ථා දෙක තුනෙන් අන්තිම එකේදි දවසක. මගේ කාලෙකින් හමුවුනේ නැති යාලුවෙක් නිවාඩු ආව නිස ඌව හම්බවෙන්නත් අපි තාම ආතල් එකේ ජීවත්වෙන තනිකඩ පොඩි කොල්ලො නිසාත් පෝය දවසක් කිට්ටුවෙන් සෙට්වුනු නිසාත් නංගිව බලන්න මස්සිනාලගෙ ගෙදරින් එන්න සැලසුම් කරල තිබුන නිසාත් ඒ නිවාඩුව මං රසනි නිවාඩු ඉවරවෙලා එන්න දින තුනකට කලින් නිවාඩු ගියා. ඒත් අපි දෙන්න කවදාවත් අත්වැල් අල්ලං එකට නිවාඩු ආවෙ ගියේ නෑ. ඒ අපි එදා හිටපු සමාජ තත්ත්වය නිසා.

නමුත් ඒක දෛවෝපගත හමුවීමක් වගේම සංසාරගත වෙන්වීමක් වුන අමුතු ආකාරයේ නිවාඩුවක් වූ නිසා අදටත් මං ඉන්නෙ හරි දුකෙන්.

ගම්පහ අස්ගිරියෙදි අපි නිදහසේ හමුවෙලා කතාකලා හැමදෙයක් ගැනම.

අවුරුදු එකහමාරක් තිස්සෙ කතාකරපුවා එදා එක දවසෙ කතාකලා. එයා ගොඩක් දේවල් කිව්වා.මං පිළිනොගත්තා හෝ පිලිගත්තා හෝ අහං හිටියා.

වාරණ පන්සලේදී මං බාර වුනේ කොහොමහරි එයාව ලබාගන්න අරමුනෙන්. එයා මං ඉස්සරහින් හිටගෙන කිව්වෙ.

*රුවින් මං කියන දේ ටිකක් අහන්න.

*බෑ රසනි. මං මෙච්චර කාලයක් ඔයා කියන දේවල් ඇහුව. අද මං කියන දේ අහන්න. මං මෙි තෙල් මල් ගත්තෙ පොරොන්දුවක් වෙන්න. ඒ ආයෙ කවමදාකවත් ඔයා පස්සෙන් එන්නෙත් නෑ,කිසිම කෙල්ලෙක් එක්ක යාලුවෙන්නෙත් නෑ,කසාද බදින්නෙත් නෑ කියන පොරොන්දුව. ඔයා මගෙ ඇස් මානයෙන් පිටවෙලා ගියාම මං ගොඩක් දුක්වුනා. ඒ දුක තාමත් එහෙම්මමයි. ඔයා මෙච්චර කාලයක් කලේ මාව රිද්දෝපු එක.

*ඉතින් මං කියන දේ අහන්නකො.මට කියන්න කතාවක් තියෙනව.ඒක ඇහුවට පස්සෙ ඔයා කැමති දෙයක් කරගන්න.

*ඒ කියන්නෙ

*අනිද්දා මං යනව.නිවාඩු ඉවරයි. පුලුවන්නං හෙට හම්බවෙලා කතාකරමු. මෙිව කෑම්ප් එකේ කතාකරන්න බැරි දේවල්. එවා කිව්වෙ ටිකක් සැරෙන්.

අපි ඒ විදියට ගිවිසගෙන පහුවදා හමුවෙලා කතාකලා. මහ මෝඩ කෙල්ලො.

නමුත් අන්තිම තීරණය එයා කිව්වෙ මට තියා කිසිම කෙනෙකුට කැමති වෙන්නෙත් නෑ එයා බඳින්නෙත් නෑ කියලා. මං විශ්වාස කලේ නෑ. එයා ඉදිරිපත් කරපු අසාධාරණ තර්ක මැද මං උපරිම සාධාරනත්වය වෙනුවෙන් කතාකලා. එයා හරි බොලඳයි. කොච්චර කරුනු කාරනා පැහැදිලි කරල දෙන්න හැදුවත් පිලිනොගත්ත තැන මට තරහගිය පාර "තෝ ඔින බම්බුවක්  ගහගනින් ගොං ගෑනි, මං යනව යන්න" කියල එයාව තනියෙන්ම දාල මං එන්න ආව. මොකද එතන තිබුනු පැහැදිලි තත්ත්වය වුනේ තව අවුරුද්දක්  කතාකලත් ප්‍රථිපලය එකමයි කියල ස්ථීරවීම හා මගේ තරහම ඇවිස්සෙන විදියෙ කිසි තේරුමක් නැති දේවල් ගැන තර්ක කිරීම. මං පස්සෙ ගෙදර හොයාගෙන ගියා. අම්මල කිව්වෙත් එයා කැමතිනං අකමැත්තක් නෑ කියල. ඒත් ඒ සියලු බලාපොත්තු ආශාවන් සැලසුම් ගඟට කපපු ඉනිවාගේ ගහගෙන ගියා සලකුනක්වත් ඉතිරි නොකර. මට පුලුවන්වුනේ ඒ ගහගෙන යන ඉනිදඩු දිහා බලාගෙන තව පාරක් හූල්ල හුල්ල ඉන්න විතරයි.
අපරාදෙ මගෙ වටිනා කාලය කියල හිතුන. එදායින් අවසන් වුනු අපේ කතාව අදටත් මගේ හදවත පාර පාරා වද දෙනව. හැබැයි එයා ගැන තිබුනු තරහ ටික ටික කාලෙත් එක්ක අඩුවෙලා ගියා. එදා එයා කියපු එකක්වත්  විශ්වාස නොකලත්, අද මං ඒව විශ්වාස කරනවා. ඒ ඇය අදටත් තනිකඩව මල්ලිගාව අම්මත් එක්ක ජීවත් වෙන හිංද. දැං එයාට අවුරුදු තිස් නවයක්. එයාත් විශ්‍රාමිකයි. නමුත් ඇගේ ජීවිතය අදටත් හුදෙකලාවෙන් ගලායනව. මට දුකයි ඉවසගන්න බැරි තරම්. 

එදා අවසාන වතාවටත්  කඳවුරට ගිහින් කිව්වා තීරණය වෙනස් කරන්න කියලා. නැතිනං ආයෙ කවදාවත් මාව දකින්නවත් හම්බවෙන්නෑ කියල.කොච්චර කිව්වත්  කෙල්ලෙකුටවත් ඔබින්නැති දරදඬු ස්වභාවයෙන්ම හිටපු නිසා ඇයවත් ඇය හිටපු කඳවුරත් අතහැර දාල ඇවිත් තමා මං අද මෙි කුමාරරත්න මැරුනු මැස්ස උඩම එයා මැරුණු තැනම ඉඳගෙන ඉන්නෙ. ඒ වව්නතිව් කඳවුරේ.

 හැබැයි ඒ ආදරයෙන් පරාද වෙලා දුක ඉවස ගන්න බැරුව මරණය බලාපොරොත්තුවෙන් නෙමෙි. ආරච්චිට පිස්සු තිබුනට යද්දෙහිආරච්චිට පිස්සු නෑ. නඩුකාරයන්ගෙනුත් හමුදාවෙ ගොඩක් ඉහල නිලයන්ගෙනුත් පහල නිලයන්ගෙනුත් ආතල් ගත්තෙ ආරච්චිට පිස්සු නිසා මිසක් යද්දෙහිආරච්චිට පිස්සු නිසා නෙවෙයි. ඒවා මට පයිසයක් විතරයි. එච්චර බොලඳ නෑ. මං හිටියෙ ඉස්සරහින් එන්න පුලුවන් ඔිනෑම ප්‍රහාරයකට ඔරොත්තු දෙන්න පුලුවන් තරමෙි තල්ගස් දෙකක් ආවරණයට අරගෙන.

අසාධාරන විදියට වෙන්වෙච්චි මෝඩ කෙල්ලෙක් නිසා මං මෝඩයෙක් නොවිය යුතුයි කියන ස්ථාවරයේ මං අදටත් ඉන්නෙ.

ඉදිරියෙන් සතුරු බංකර පේලිය. පියවි ඇසට උන් කරන්නේ මොනවද යන්නේ කොහෙද කියල හොඳට පේනව.  පිටිපස්සෙන් මරණයේ සෙවනැල්ලෙන් වෙස්වලාගත්තු සතුරන් වැහිලා සැඟවිලා. උඩින්  හැමතිස්සෙම එවන මෝටාර් කාලතුවක්කු බෝම්බ. අපි හැසිරෙන්නෙ, පය ගහල ඉන්නෙ සතුරු භූමියේ.

ඒ සතුරු භූමියේ හැම බිම් අඟලක්ම අපට යුධ පිටියක්. අද මෙි මැස්ස උඩ. හෙට තව තැනක,අනිද්දා තව තැනක. සෑම දවසකම කොතැනක හෝ දෙපාර්ශ්වය අතර සටනක් ඇවිලෙනවාමයි. ඒත් මගේ හිත ඒවාට කිසිම බයක් දැක්වුවෙි නෑ. බයවුනේ ආයෙ ආයෙත් අතීත ස්මරණය නිසා විඳවන්න වෙන වෙිදනාව ගැන විතරයි.

එහෙම මාස තුනක් පමණ ඉද්දි අපි ඒ සේරම වෙන කට්ටියකට බාර දීලා සිංහපුර බළඇණි පුහුණු පාඨමාලාවට ආවෙ අතීත මතක සටහන් මඩකලපුවෙිම කඳවුර මැද්දෙ පොලවෙ ගහල සුනුවිසුනු කරල දාල කෙලත් ගහල.

ඒ වෙනකොට මා හට මුහුන දෙන්න වුනු සටන් දෙකකින් ජීවිතය බෙිරගත්තෙ අනූනවයයි තුන්කාලයි තවත් තුන්කාලකින්. ඒකෙනුත් එක්වරක් සතුරාට කොටුවෙලා ජීවග්‍රහයෙන් අහුවෙන්න ගිහින්  නැවතත් ජීවත් වෙන්න වාසනාවක් ලැබුනෙ පූරුවෙ කරපු මහා පිනකින්. ඒ වල් එස්එෆ් වන්නිනායක ප්‍රමුඛ  මගේ ආදරණීයයන්ට පිං සිදුවෙන්න.

අදටත් මා මඩකලපුවට වෛර කරන්නෙ නැවතත් මෙි මව් බිමෙි කොතැනක පය ගැසුනත් ඒ බිම පය නොගැටෙිවා කියල ප්‍රාර්ථනයකින්.ඒතරම් වෙිදනාවක් පපුවට ඇදගෙන වැටෙනවා මඩකලපුව කියන නම මතක්වුනත්.

දරුණුවටම ආදර කතා දෙකකින් පරාජය භාරගත්තු මම හිත ගලක් කර ගත්තෙ හමුදා පුහුණුවෙන් ලද පන්නරය නිසා. මෙච්චර වෙිදනා විදිද්දිත් මට ජීවිතයෙන් යන්න තරම් බොලඳ සිතුවිලි පහල වුනේ නෑ. මට ඔිනවුනේ ගෙවෙන ඊලඟ මොහොත කොහොම එකක් වෙයිද කියල බලාගන්න.

එදා මම මඩකලපුවෙන් සිංහපුර බලා එන්න සූදානමින් හිටිය වෙලාවෙත් බළසේනාවට ඇවිත් රසනිව හම්බවෙන්න ගියා. ඒ අවසාන වතාවට තීරණයේ වෙනසක් තියෙනවද කියල දැනගන්න.

ඒත් තිබුනු හිතුවක්කාර කමට මගෙ මුහුන බලගෙන ඇඬුව මිසක් එයා කිසිවිටෙකත් අදහස වෙනස් කරන්න සූදානම් වුනේ නෑ.

*අද මෙි මොහොතෙ ඉඳන් ඔයාට ආයෙ කවදාවත් මාව මුනගැහෙන්නෙ නෑ කියල සහතික වෙන්න පුලුවන් රසනි. අපි අහම්බෙන් හමුවෙලා වෙිදනාවෙන් සමුගන්න ලංවෙලා ඉන්නෙ. ආයෙ කවදාවත්ම කරුවල වැටෙනකොට මගේ හෙවනැල්ලවත් මං ආව ගිය පාරෙ හොයන්න එපා. පොත් පත්තර කියවල ගෑනු කෙල්ලො තේරුම්ගන්න බෑ කියල දැන ගෙන හිටියත් මං අද හොඳටම තේරුම් ගත්තා ඒක ඇත්තම කතාවක් කියලා.
එයා අඬනව. මටත් පරක්කුයි.

*ආයෙ කවදාහරි දවසක ඔයාගෙ තීරනේ වෙනස්වුනා කියල කඳවුරක් කඳවුරක් ගානෙ මාව හොයන්න එපා. මං මෙි හැම මතකයක්ම ඔයාගෙ දෙපාමුල තියලයි යන්නෙ. ඔයාට පාලුවක් තනිකමක් දැනුනොත් මෙි ලස්සන පරිසරය මෙි කලපුව මෙි කොටුව මෙි අහස ගැන ජීවිතේ සංසන්දනය කරල මං කියපු කතා මතක් කරගන්න.

මෙි කඳවුරේ පාරක් පාරක් ගානෙ බ්‍රෙික් නැති බයිසිකලේ ඇවිත් වෙට්ටුදාල ඔයාව තරහ ගස්සපු හැටි මතක් කරගන්න. මෙි කලපුව දිහා බලාගෙන ගිරවෙක් වගේ විහිලු කරල ඔයාව හිනාගස්ස ගස්ස කාපු හැම කෑමක් ගැනම මතක් කරන්න. මට කම්මැලි හිතුනම හෝදන්න තියෙන රෙදි ගොඩ ගොඩ ගහල ඔයාට හෝදන්න එවපු මගේ ඇඳුම් ගැන මතක් කරන්න. නැවත යුද්දෙ පටන් ගනීවි. අපි විසිරිලා යාවි. ජීවත්ව ඉන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්. මං ඔයාට කියල තියෙන ඒ මං මුහුන දීපු කතාවලින් මාව මතක් කරන්න. අර පේන කච්චෙිරියෙ වහල උඩ නැගල අරක්කු බීල හූ කිව්ව හැටි ඔයාට විහිලු කරාම තරහ ගිහින් මට කෑ ගහපු හැටි මතක් කරන්න. මං ඒ හැමතැනකම, ඔයාගෙ කන්දෙකට ඇහෙන හැම වෙඩි උන්ඩයකම මං ජීවත් වෙනව රසනි. ඔයාගෙ මුරන්ඩුකම නිසා ගොඩක් හොඳින් ලැබෙන්න තිබ්බ ලස්සන ජීවිතයක් ඔයාට නැතිවෙන්න යන්නෙ. මං ගොඩක් දුකකින් මෙි ගමන යන්නෙ. මොකද ආයෙ කවදාවත් අපි දෙන්න හමුවෙන්නෑමයි කියල දන්න නිසා. මං මෙි හැම මතකයක්ම මෙි කඳවුරේ කෑලි කෑලි වෙන්න පොලවෙ ගහල කෙලත් ගහල යන්නෙ. මං වෙනස් වෙනව. ඔයාගෙ මතකයෙන් මං හිත නිදහස් කරගන්නව. ඒ වගේම ඔයාටත් හොඳ අනාගතයකට සුභ පතනව. පුලුවන්නං ඔයා කිව්ව කෙනා එක්ක හරි ජීවත් වෙන්න බලන්න. නැත්තං මගේ මතකයන් එක්ක ජීවත් වෙන්න බලන්න. මං සෙබලෙක්.ඔයත් සෙබලියක්. මෙි එකක්වත් බැයිනං සෙබල ගතිය පපුවට අරන් මෙි හැමදෙයක්ම අමතක කරල මුකුත් නොවුනු ගානට ජීවත් වෙන්න.

රෝෂිනීට කියන්න මං ඉපදෙන කිසිම ආත්මෙක සතෙක්වත් වෙලා මගෙ ඉස්සරහට එන්න එපා කිව්ව කියල.

අහම්බෙකින් හරි අපි දෙන්නා මහපාරකදි හරි හම්බුනොත් අදුරන්නෑ වගෙ යමු. ඔයාට බුදු සරණයි.

මං ඇස්දෙකට කඳුලු පුරෝගෙන කියපු ඒ හැම එකක්ම එයා අඬ අඬා අහන් හිටියා. කව්ද කියන්නෙ ආදරණීය පිරිමියෙක් ලඟ ගෑනියෙක්ගෙ හිත වෙඬරු වගේ උනු වෙනව කියල. ඒව මහ පිස්සු කතා.

මෙිකට නොකියපු තව නමක් තිබුනා. ඒ කෝපල් වරියක්.  එයා තමා අපේ භූමිකාවට ගොඩක් අකුල් හෙලුවෙ. නමුත් එයාටවත් වෛර කරල වැඩක් නෑ. තමන්ගෙ ජීවිතේ තීරණ ගැන්මෙි අයිතිය තියෙන්නෙ තමාට මිසක් පිටස්තරයෙකුට නෙවෙයි. ඒක රසනිගෙ වරදක් මිසක් අරයගෙ වරදක් නෙවෙයි.

රසනි මට හරියටම අදින් වසර දෙකහමාරකට විතර පෙර එක් දවසක් නිදහසේ කොළඹදි හමුවුනා.
*රසනි. හායි කොහොමද ජීවිතේ
මං එයාව දැක්කෙ එයා මාවත් දකින්න කලින්.
*රුවින්???
*යේස් ඌ තමා. අර පිස්සෙක් වගේ තමුසෙ පස්සෙන් ඇවිත් නන්නත්තාර වෙලා ජිල්මාට් ලෝකයක් පෙන්නුවම විසිවෙලා ගියෙ. ආං ඌ.
*ඔයාට කොහොමද.මොකද මෙි ක්ලැචස් වලින්.
*ඒ මගේ හැටි.ඒව අහන්නෙපා.මං හිතුවෙ මැරෙයි කියල. ඒත් තමුසෙ තව පාරක් හරි හම්බ වෙන්න තිබ්බ අවස්ථාවක් නිසා ජීවත් වෙනව.
*අහන්නැතුව බෑනෙ.
*ඔයා බැන්දද රසනි. ඒක මං ඇහුවෙ ඉක්මනින්ම දැන ගන්න ඔින නිසා.
*නෑ. මං බැන්දෙ නෑ.මං තාම තනියෙන් ඉන්නෙ. කියල ලොකු සුසුමක් පිටකලා.
*ඒ දුක් විඳින්නෙ ඔයාගෙ කැමැත්තෙන් නිසා මං මුකුත් කියන්නෑ. මංනං  බැන්දා.
මනුස්ස කමක් නැති ගෑනියෙක් පස්සෙ ගිහින් දුක්වෙලා මොකටද කියල හිතුනා.
*ඔයා එදා මාව තේරුම්ගත්තෙත් නෑ.අද තේරුම් ගන්නෙත් නෑ රුවින්.
*කතාකරන්න එපා. කතාකරන්න එපා. ඔයාට හොඳවැඩෙි කියන්නෑ. ඒත් පව් මෝඩ ගෑනි කියලනම් කියනව. මං එදා මඩකලපුවෙන් ගියාම ජීවිතේ හරි අමුතු විදියකට ගලාගෙන ගියෙ. අහසයි පොලවයි දිහා බලාගෙන කාලයක් තිස්සෙ හූල්ල හූල්ල මං මහ පුදුම දුකක් වින්දා. දන්නවද මං ඔයාව අමතක කරන්න ඔින නිසා කරපු දේවල්. අදටත් මං ගාව තියෙන්නෙ මඩකලපුවෙන් යනකොට අරං ගිය තුවක්කුව විතරයි. අනිත් සේරම පිච්චුවා. විසිකලා. කට්ටියට බෙදාදීල අලුතෙන් ගත්තා. ඒත් බැරිතැන මං පිට පිට කෝස් දෙකක් කලා. හරියට දුක් වින්දා රසනි.

මං අහන්නෑ ඔයාත් එහෙමද කියල. එදා ඇස්දෙකෙන් වැටුනු කඳුලු වලින් එහෙම වෙන්න ඇති කියල හිතනව. දැන් මොකද ඔයා කරන්නෙ. ඇයි කොළඹ ආවෙ.
*මං රට යනව.
*කොහෙටද.
*රුමෙිනියාවෙ. හොස්පිට්ල් එකකට.
*අවුරුදු කීයකටද?
*ආයෙ එන්නෙ අවසන් හුස්ම වැටෙන්න කිට්ටුවුනාම. කියල ආයෙත් හයියෙන් හුස්මක් ගත්තා.
*මං බඩුවක් අහන්නද
*අහන්න
*ඇත්තටම මම නොබැඳ ඉඳල  අද ඔයාගෙන් අපි දැන්වත් එකතු වෙමුද කියල ඇහුවනං ඔයා මොකද කියන්නෙ.?
ඒ වෙලාවෙ ඉඳන් මෙයා කලේ පැය භාගයක් විතර අඬපු එක.
*රුවින්
*ම්ම්ම්ම්ම්ම්...
* මං අරගෑනි කියපු දේවල් විශ්වාස කලා  රුවින්. (රෝශිනී) ඔයා එහෙම නෑ කියල තේරුම් ගන්නකොට ඔයා ගොඩක් දුරගිහින්.ඔයා හොයන්න එපා කිව්ව නිසා මං හෙව්වෙ නෑ. ඒ නිසා මං නොබැඳම හිටියා. දන්නවද හැමදාම හවස්වෙද්දි මං විඳපු වෙිදනාව. මං ඇත්තටම පිස්සියෙක් වගේ හිටියෙ.
*ඇයි. හිතුන්නැද්ද සිංහපුරට කතාකරල කියන්න. අඩුම ගානෙ කෝපල් ගුණසේකරටවත් කියන්න. එයාගෙ මහත්තයා නච්චිකුඩාවලදි අනුනවයෙන් බෙිරුනෙ. ඒත් අදටත් එයා මාත් එක්ක කතාකරනව. එහෙමවත් කීවනං මං ඉගිලිලා එන්නෙ රසනි.ඉගිලිලා. රටෙි කොයි කෙලවරේ හිටියත් මට එන්න පුලුවන්. මං හිතන්නෙ අපි දෙන්නටම කොතනක හරි පටලැවිලා තිබිල තියෙනව රසනි.
දැං කෝ මස්සිනා??
*ඌ නෑ. රටෙත් නැද්ද කොහෙද.
*උඹට එදා හිතන්න තිබුනා රසනි. වෙන කව්රුවත් නෙමෙි...මං කියපු දේවල් ගැන හිතන්න තිබුනා.මං උඹට පොඩි දරුවෙකුට වගේ කියාදුන්නා.උඹ තේරුම් ගත්තෙ නෑ. දැං ඉතින් කොච්චර දේවල් කිව්වත් ආයෙ මුලට යන්න බෑනෙ. ඔයා කවද්ද යන්නෙ.
*බොහෝදුරට ලබන මාසෙ.මුල.
*හ්ම්... යන තැනක හොඳින් ඉන්න. මට කියන්න පුලුවන් එච්චිරයි. මට ආයෙ කතා නොකලට කමක් නෑ. මොනවාහරි උදව්වක් ඔිනවුනොත් සිංහල අකුරෙන් මගෙ නමින් මං එප්බී ඉන්නව. මෙසේජ් එකක් දාන්න. පරිස්සමින් ඉන්න. එච්චරයි මට කියන්න පුලුවන්.

මට දැන් එයාව ලංකර ගන්න බෑ. ඊට වඩා හාත්පසින්ම වෙනස් ආදරයකින් පිස්සුවැටුනු, මං පස්සෙන් නොගිය ඒත් මගෙ පස්සෙන් ආපු කෙල්ලක් මගේ බිරිඳ වෙලා.
එයාගෙ තියෙන එකම වැරැද්ද එයාට හුස්ම වැටෙන්නෙ මාත් එක්ක රණ්ඩුවක් නැත්තං වලියක් දාගත්තම. ඒව මිනී මරාගන්න ඒව නෙමෙි. ආදරණීය රන්ඩු. නැත්තං මං බයිට් කරන්න කලින් මාව බයිට් කරන ඒව. කොටින්ම කිව්වොත් හොදි විතරක් බෙදල කෑලි ඔන්නං උඹ බෙදාගනින් කියන්නා වගෙ චූටි චූටි දේවල්. මාව ඇඟේ ගෑවුන්නැත්තං ඒකිට නින්ද යන්නෑ. ඈනුම් ඇර ඇර ඉන්නව. ඉතින් මං අදටත් රසනි ගැන මතකයෙන් පසු තැවෙන්නෙ මගෙ ජීවිතේ වටිනාම කාලයෙන් අවුරුදු දෙකක් නිස්කාරනේ කාල දාපු කෙනෙක් විදියට.

අපි ජීවිතේ හැමතිස්සෙම වටහගන්නෙ වැරදියට. අපිට ලැබිය යුතු දේවල් ලැබෙන විදිය ඉඟිවලින් කොච්චර පෙන්නුවත් අපි ඒක තේරුම් නොගෙන නොලැබෙන දෙයක්ම ප්‍රාර්ථනා කරල ඒ පස්සෙ ඇදෙනව. මටත් ඔිකමයි වුනේ. ඒක තේරුම් ගන්නකොට අවුරුදු දෙකක් නිස්කාරනේ ගෙවිල ගිහින්. ඒ නොලැබිය යුතු දෙයක් නොලැබෙන වාමයි කියල ඉඟිවලින් කොච්චර පෙන්නුවත් ඇදුනේ නොලැබෙන දේටමයි. අද යම් පසුතැවිල්ලක් හිතේ තිබුනත් ලැබිය යුතු දේ  මට ලැබිල තියෙනව. ඒකයි මං මෙි විශ්වයට අදටත් ආදරේ කරන්නෙ. නොසිතුව විදියට නොසිතූ තැනකදි සිතූ පැතූ විදියෙ දේවල් ඔිනෑවටත් වඩා එකින් එක ලැබෙන්න ගත්තම පැරණි මතකයන් අමතක වෙලා ගියා.

අදටත් මා මඩකලපුවට වෛර කරන්නෙ නැවතත් මෙි මව් බිමෙි කොතැනක පය ගැසුනත් ඒ බිම පය නොගැටෙිවා කියල ප්‍රාර්ථනයකින්.
රසනි ගැන මිහිරි මතකයන් එක්ක අදටත් හුස්ම ගන්න මට තව කියන්න කතා කිහිපයක්ම තියෙනව. ඒව කියල ඉවරවෙලා මෙික දානව කියලයි හිතාගෙන හිටියෙ.ඒව පස්සෙ දාන්නං.ආදරණීය ඔයාලගෙ දැඩි ඉල්ලීම මතයි මෙික කලින්ම දාන්න හිතුවෙ



සුදු සඳ රැසින් නැහැවෙන විට මල්     පොකුරූ
නිල්තරැ උනත් බබලයි තව දී                 රැසිරෑ
දිවියම මගේ තනිකරමින්  යන            සොඳුරූ
මගෙ මිහිරියේ මා සනසන්නේ               කව්රූ


හිනැහෙන විටදි දෙකොපුල් හැකිලෙන   අයුරූ
සිත්තම් කලෙමි පෙරදින කවියෙන්        මියුරූ
නුඹ සැතපී සිටින'යුරැ දැක හද                අඳුරූ
අවරෙන් සැලේ දෙදරායයි පෙම්               පවුරූ


කඳුලක සුසුම උණුසුම දිවියෙම            තැවරූ
සොඳුරැම සිතත් ගෙන වැතිරී ඇති         අයුරූ
දිවියම මගේ කරවා තව තව                   අඳුරූ
හදවත ඉරිතැලී ගැලවී යයි                     පතුරූ


නලලත මත තබා අවසන් සිත            සොඳුරූ
සත්සර නදින් මුමුනමි කවියක්               මියුරූ
අද වෙන්වුනත් මතුයෙදි බිඳ පෙම්         පවුරූ
අපි දිවි ගෙවමු සසරම නිම වෙනා             තුරූ

රුවින් පමුදිත යද්දෙහිආරච්චි
2020.06.08

1 comment: