Wednesday, June 10, 2020

ජයශාන් මල්ලිගේ අදහස

මඩකලපුව ප්‍රදේශයේ යුධ හමුදා කඳවුරක සෙබලෙකු හා සෙබළියක් අතර මීට දශක දෙකකට පමණ පෙර එක්තරා ආදර කතාවක් තිබුනා. තරුණිය තරුණයාට කැමැත්තෙන් පසු වුනත් තරුණයාට ආදරය ප්‍රකාශ කිරීමට පසුබට වෙනවා. වසර දෙකක් පමණ තරුණියට කරුණු පහදා දීමට සෙබල තරුණයා උත්සාහ කලත් සාර්ථක වන්නේ නැහැ. පසුව සෙබලාට ඈත කඳවුරකට මාරුවීමක් ලැබෙනවා. මඩකලපුව කඳවුර හැරයාමට පෙර තරුණයා අවසාන වරටත් උත්සාහ කරනවා. නමුත් තරුණිය හඬනවා හැර පිළිතුරක් ලබාදෙන්නේ නැහැ. එතනින් ඒ කතාව අවසන් වෙනවා. දශක දෙකක් පමණ එකිනෙකා පිලිබඳ කිසිම ආරංචියක් කාටවත් ලැබෙන්නේ නැහැ.

නමුත් එය අවසානය නොවේ. ඔවුන් දෙදෙනා ම යුද්ධය අවසන් කොට හමුදා සේවයෙන් විශ්‍රාම ගියා. මෑතකදී ඒ දෙදෙනා අහඹු ලෙස කොළඹදී එකිනෙකාට මුණගැහෙනවා. ඒ වනවිට තරුණයා මැදිවිය ඉක්මවීමට ආසන්න විවාහක පියෙක්. නමුත් ඇය තවමත් අවිවාහකයි. එහිදී ඔහු ඇයගෙන් ප්‍රශ්නයක් අහනවා. ඒක බොහෝම සාධාරණ ප්‍රශ්නයක්.

“ඇත්තටම මම නොබැඳ ඉඳල අද ඔයාගෙන් අපි දැන්වත් එකතු වෙමුද කියල ඇහුවනං ඔයා මොකද කියන්නෙ.?”

එදත් ඇයගේ පිළිතුර වෙන්නේ හැඩීම.

ඒ කතාව ඇසූ පසු මගේ අතින් පහත අකුරු ටික ලියවුනේ ඉබේටම.

ගිණි කැවුණු වායු රැලි හැමතැනම දුවනවැති..
කඳවුරේ අපෙ මතක රැඳුනු තැන් සොයනවැති..
අපි හෙලු සෝ සුසුම් කඳවූරේ සරණවැති..
ගිණි කැවුණු වායු රැලි ඒ සුසුම් දවනවැති..

සෙවන දුන් තල් මණ්ඩි විපයත්ව ගිලන් ඇති..
නිතර ආගිය නිසා අපි හොඳට මතක ඇති..
අපෙ රහස් අසා සිට අපට සුභ පතන්නැති..
එක් නොවුන බව අසා ගස් තවම හඬනවැති..

කඳුලු බිඳු ගලා ගොස් කලපුවට වැටෙනවැති..
ඒ කඳුලු එකතු වී කලපුවම පිරෙනවැති..
ඇවිද ගිය ගුරු පාර අප නැතිව දැවෙනවැති..
කලපුවේ කඳුලු රැලි ගුරු පාර තෙමනවැති...

බ්රේක් නැති සයිකලය අප කොහිද සොයන්නැති..
ජීවිතය පැද යන්න සවි දෙන්න සිතන්නැති..
ඔබෙ දුකට බලන්නට වෙන කෙනෙක් නොඉන්නැති..
සැලකුමක් නොලැබ අද ඔත්පලව වැතිර ඇති..

මා දැරූ ගිණි අවිය මගෙ සිතැඟි දකින්නැති..
රළු යකඩ නුඹ හටත් ගොඩක් දුක හිතෙන්නැති...
මට හොරෙන් යුධ බිමෙත් නුඹ සුසුම් හෙලන්නැති..
හෙණ ගහන වෙඩි හඬට සුසුම් හඬ වැහෙන්නැති...

අපෙ සුසුම් වායු රැලි සතුරු අවි වෙලන්නැති..
නිකුත් වෙන වෙඩි උණ්ඩ අපට මගහරින්නැති..
"වාරණ" පන්සලේ අපෙ පැතුම් වෙන්න ඇති..
මෙලෙස අද හමුවෙන්න අපේ දිවි රැකෙන්නැති..

වියපත්ය මගෙ දෑත එකල ඔබෙ සුරත රැඳි..
සවි නමුත් මගෙ දෑත අද ඔබෙන් දුරක ඇති..
පොදි බැඳන් අපෙ පැතුම් මේ භවයෙ නිමක් නැති..
සංසාරෙ ඇවිද යමු ලැබෙනතුරු අපට අපි..

එදිරිවීර සරච්චන්ද්‍ර ශූරීන්ගේ “මලගිය ඇත්තෝ” ට අනුව බොහෝ “දෙවෙන්දොරා සං” ලා “නොරිකෝ සං” ලා එදත්, අදත්, හෙටත් මළවුන් ලෙස ජීවත් වනු ඇත.

සත්‍ය සිදුවීමක් ඇසුරිනි.

© ජයශාන් ලියනගේ. 10/06/2020

මුහුනු පොතේ

No comments:

Post a Comment