Tuesday, June 9, 2020

නාවල්අඩි එල්පී එක

අපේ අප්සෙට් එකක් හිටියා නාවල්අඩි. තනිකරම පිස්සු ඩෑල් ටිකක්.හරියට සමයං පීදිලා වගේ. අනික කොයිවෙලාවෙත් ගුලි කාල වගේ හිනා වෙච්චි ගමන්.  පිස්සො කිව්වත් ඒකෙනුත් පෙරාපු රත්තරං ටික. ආතල් ගන්න තරමක් ගත්තෙ ඒ අපි සෙට් එක. ආතල් එකක් කොහේහරි පත්තු වෙලානං අඩුම එකෙක් දෙන්නෙක් එතන ඉන්නවම තමා. පුදුමෙ කියන්නෙ ලෙඩ්ඩු වගේ ඉන්න කෝපල්ලා අතරින් මෙිකටම හරියන කෝපල්ලා ටිකකුත් එක්කහු වෙලා හිටපු එකයි.

ඒ කාලෙ තිබ්බ ආන්ඩුව ලංකාවට පිස්සො නැව් තුනක් ගෙන්නල තියෙනව පිට දීප දේසෙ⁣කින්. ඒකෙනුත් සම්පුර්න නැවක්ම එවල තිබුන හමුදාවට යුද්දෙ කරගන්න කියල. ඒ එද්දි ඒ නැවෙි කුඹ ගහේ මුදුනෙයි බරාඳි වැටෙයි අරවැයි මෙව්වැයි එල්ලිලත් තව උස උස තැන්වලත්  ආපු උන්දැල බර ගානක් එවල තිබුනෙ අපේ ඒකකයට. ඉතින් උන් එක්ක රස්සාවක් කරන්න ගියාම රට පහක පස්න. උදේට තේ බොන වෙලාවට අහන්නෙ "කීයට කෑම දෙයිද දන්නෑ නේ බං??" 
දවල්ට කන වෙලාවට අහන්නෙ "අද තුනට තේ දෙයිද?"
"හැබෑට ප්‍රභාකරන් මැරිලද බං"
"ඇත්තට කරුණට ලමයි කීයක් විතර ඉන්නවද බං"
"තාම ජනාදිපති චන්දිරිකාමද?"  ඔිං පස්න.
මකුනෙක් ගෙම්බෙක් හරි කමහ්නෑ රසට හැපෙනවනං හරි,ආතල් එකක් ගන්න තියෙනවනං හරි.

කෑම කිව්වොත් මයෙ අප්පලට තැම්බෙනවනං කලුගල් උනත් කමහ් නෑ. තල් ගහක් තියා වල් අඹ ගහක් වත් ඉතුරු කරන්නෙත් නෑ.
ගල් කිව්වම මතක් වුනේ...

මං කසාද බැන්දනේ එක්තරා ගමකින් අනුත්තරා හුචක්කුවක්.  මයෙ අප්පේ ඒ බැඳපු අලුත් දවස්වල බලන්ඩෙපැයි මා වෙනුවෙන් තිබ්බ මෙයාගෙ ගරු සැලකිලි නම්බු නාම. මෙි අයිටමටයත් මාර ගණන් කෑල්ලක්.  හා ද  අහන දවස්වල මෙිකි ගනන් ඉස්සුව. බැන්දට පස්සෙ මං ගනන් ඉස්සුව. කොහොමත්  හිතාගෙන හිටියෙ බැන්දට පස්සෙ අල්ල ගන්න.
ඒ වුනාට හොඳක් තියෙන්නෙ මෙයාට පපඩම් එහෙම හරි රහට බදින්න පුලුවන්. බිත්තර එහෙමත් තම්බන්න පුලුවන්.ඒදවස්වල ඒවා තම්බලා පොත්ත සුද්ද කරලත් දීල අහනව"මං තැම්බුවෙ. රහයිද??"

වතුර උණු කරල නිවල තමා අපි අපේ ලිදෙන් ඒ දවස්වල වතුර බිව්වෙ. අලුත් පිට ලිඳනෙ. බැඳල ඒ වැඩ කටයුතු අහක්වෙලා දින දෙකයි ගියෙ මට වතුර එකක් ගෙනත් තිබ්බා කක කකා ඉද්දි  බොන්ඩ.. මං හපන එව්වා ඌ ගිල ගිල හිටපු බව්ව උන්ඩියත් එලියට ගියා වතුර එකේ රස්නෙ ඔරොත්තු දෙන්නැතුව.

*මයෙ සුදාම්මි.. මෙි වතුර වීදුරුවට ලුනු කැටයක් දාල ගනින් ⁣මයෙ අම්මා බොන්න.නැත්තං ජිල්බෝල හොදි වගේ මෙච්චර රස්නෙන් බොන්ඩ බෑනෙ.

මයෙ අප්පලා මං මෙි මයෙ පපුවට අත තියල කියන්නෙ, ඒ වෙලාවෙ මෙිකි යද්දි මට කුනුහරපයක් නොකියවුනානං ඔවුන්දැ ලුනු මිටියක්ම දියකරනවා අර වතුර එකේ. මෝඩකම නෙමෙි. මෙිකිගෙ තිබ්බ අර ඩෝංකෙයාර් එක. ඇයි මෙි අවඩිව ගෙන්න ගන්නකොට  මගෙ ලෝකෙ පාලුවෙලා පුරුස හත්තිය හීනවෙලා දනිස් ඇට ගෙවිල බෙල්ලෙ පොට ගිහිල්ලා පපුවෙ ඇන බුරුලුවෙලා කියලනෙ හිතා ඉඳල තියෙන්නෙ. මංගල රාත්තිය අවමංගල රාත්තියක් වුනා කියල අදටත් කියනව.

අනික උයනව තියා ලිපගිනි මොලවන්නවත් දන්නෙ නෑ ඔය පරානෙ එකතු කරන් එද්දි.
එක දවසක් අපේ අම්මට කෙඳිරි ගාල කෙඳිරි ගාල බතක් උයල තිබුනා. හද්දෙයියනේ කටෙන් කටට ගල්. කටෙන් කටට ගල්. බත් උන්ඩියක් කටට දාල එක හක්කකින් එක් හපනකොට අනික් හක්කෙන් එකයි ගල්. කට්ට කාල දා ගත්ත කෙල්ල යාලු. හිත රිද්දන්ඩත් බෑනෙ හංද හා ඒ දවස්වල බැඳපු අලුතත් හංදා මං ආදරයෙන් ලඟට අරන් කිව්ව..
*වස්තුවෙ බත් නං සෝක්.
*රසයිද. මං ඉවුවෙ.
*ඒක තමා මෙි කියන්න යන්නෙ ටිකක් හිටාංකො කියනකං. මෙහෙම කන්න ගියොත් රත්තරනේ උන්ඩුකපුච්චෙ සතියෙන් පිරෙයිනෙ.
*ඉතින්..
*ඉතින් ඒකට ඔයා මෙහෙම කරන්න. ඉස්සෙල්ලා ගල්ටික ලිපේ තියන්න.ගල් තැම්බුනාට පස්සෙ හොදට බලල හාල් ටික දාන්න. දෙකම තැම්බුනාට පස්සෙ තෙම්පරාදුවක් දාල ගන්න. සරලයිනේ.
සෝක් දෙකයි එතකොට.

මං එහෙම කිව්වම මූන ඉස්සරහින් අඩියක් විතර දික් කරගෙන ගියා යන්න.
ආදරෙන් කිව්ව උනත් ලැජ්ජ හිතෙන්නැති
නැත්තං මල පයින්න ඇති.

හැබැයි ඊට පහුවදා දවල් මං දැක්ක හායි කියල හුලං කවුලුවකුත් තියාගෙන හිරමනේ උඩ වාඩිවෙලා අප්පට හාල් ගරනව. හොඳ වෙලාවට අම්ම ටවුන් ගිහින්.
මාත් ඉතින් ඔික  නොදැක්ක තාලෙට ඉස්සරහින් ඉඳගෙන කිව්වා

රස දෙන කෙම් බිමකි ඇස් කොනකට  පේන
ඇයිදෝ පලල් කරගෙන නවදැලි   හේන
නොදනිමි කියන්නට මම වැඩිදුර   පේන
සිසිලස නිසා වෙන්නැති හුලඟින්   ගේන

*හිටපිය ඉස්සරහට ගිහින් උයල දෙනකං කියල "සස්" ගාල සද්දෙකුත් එක්ක අභ්‍යවකාසයේ පියාඹා ආපු පොල් අඩලයක් "දොහ්" ගාල කොන්ද මැද්දෙත් වැදුනට පස්සෙයි මං ඔතනින් ගියෙ.

ඔිං ඔහොමයි ඒ දවස්වලත් මට ආපු තර්ජන.

ඉතින් කතාවට යමුකො. අර නැව්තුනෙන් එකක් ගියාලු පාරිලිමෙින්තුවට. අනික් නැව තමයිලු රටෙි හැමතැනම නඩු දද දදා ඒවට කතාකර කර යනව කියන්නෙ. අපේ යුනිට් එකට ආපු සෙට් එකේ හඳ පායන කාලෙට හඳේ දීප්තිය අනුව පිස්සු තත්තෙ අඩු වැඩි වෙනව. මෙිත් ඒ වගේ හඳේ දීප්තිය වැඩි දවසක වෙච්චි දෙයක්.

එදා අපි හිටියෙ සවන් දීමෙි මුරයක. සාමකාලෙ.ඒ නිසා අවුලකුත් නෑ. අපි ඒ දවස්වල ඔිකට කිව්වෙ අලි පිකට් යනව කියල. මරන්ඩ කොටිත් නෑනෙ. හිටියත් මරන්ඩත් බෑනෙ.

අපි එල්පී (Listening point) දෙකක් එකතු කරල තමා එදා දැම්මෙ. ඒව අංක අනුව පෙර සූදානං සහිතව කාටත් හොරා සිද්දවෙන දේවල්. අපි එදා හිටියෙ වාලච්චෙින මයිලංකරච්චි ගමයි නාවල්අඩි වැවයි මැද්දෙ. මෙික ඔිපන් එකක්. පල්ලෙහායින් කුඹුරු.ඉහත්තාවෙන් වැව.
අනික් පැත්තෙන් හේන්. හේන් කිව්වට බඩ ඉරිඟුයි රටකජුයි තමා තියෙන්නෙ.ඒ රටකජු ඉරිඟු ගැලවෙන කැඩෙන කාලෙ.
එදා හරී අමුතුවට උතුරු⁣ දෙසින් හමා එන ඉමිහිරි සුවදායක පවන් රැලි හාත්පස සිසාරා ගතට සිතට සුවදායක හැඟුමන් රාසියක් පුබුදු කරවමින් ගල ගලා යන ගමන් කනට කෙඳිරිලි හඩකින් යමකුත් මුමුණ මුමුණ ගියා. ඒක පණිවිඩයක්. එවල තිබුනෙ රටකජු..
"අපිව තම්බගෙන කාපියව්,අපිව තම්බගෙන කාපියව්" කියල.
බඬ ඉරිඟුත් එවල තිබුන, මාව අරං රෙද්ද ගලෝලා බූසිය අහක් කරල තම්බගෙන කාාපියව්.. කියල

ඔය රහස ඇහෙනවත් එක්කම කටෙි කෙල ටොනක්ම පිරිල ඇස් දෙකත් ලොකුවෙලා වෙිල් හතකින් කෑවෙ නෑ වගෙ මහ විසාල බඩගින්නකුත් ආව.
අපිත් ඉතින් කතාවෙලා ඒකමතිකව තීරනය කලා මෙිකට මොනව හරි කලේ නැත්තං ආසාවෙ මැරිල ගිහින් මළපෙරේතයො වෙලාවත් ඉපදෙයිද දන්නෑ කියල..

ඉතින් මෙි වැඩෙිට අපි තුන්දෙනෙක් තුවක්කු විතරක් අරගෙන හීන් සැරේ ඇදුනා අර හේන් පැත්තට. ඒ ගිහින් වැට අයිනෙන් බූට් ගලවල තියල අනිකටත් එතන ඉන්න කියල මායි ජෙනි කාපර් ජයසිංහයි ගියා රිමූ ද පීනට් කියාංවිතයට.

 අපිත් හොඳට වටපිට බලල ඇති පදමට රටකජුත් ගලෝලා අරං ගිය ග්‍රවුන්ඩ් ශීට් එකකටත් දාල ඔතාගෙන ආව පැල් කොටෙි ඇතුලට. ඇවිත් ඒකෙ තිබ්බ වතුර උනුකරන ඇලුමිනියං හට්ටියයි තව හැලියක හරි පිලිවෙලට සිරි සිරි මලුවල දාල ඔතල දාල තිබ්බ ඒවගෙන් ලුනු පැකට් එක හොයාගෙනයි එලියට ඇවිත් බූට් දෙකත් දාගෙන එන්න ආව. ඒ එද්දි දර ටිකකුත් අල්ලපු වැටකින් ගලෝගෙන තමා ආවෙ. ඔහොම ටික දුරක් එන අතරෙ ජයසිංහය කියනව.
*ඒ ආරච්චි ආරච්චි මාර සීන් එකනෙ බං.
*ඇයි
*කොයි බං මගෙ තුවක්කුව
*මං දන්නවද හු&@%$තො
මාත් එක පාරට බැලුව කෝ කියල.හැබෑ නේන්නං නෑනෙ.
*යකෝ ගොං වහන්සෙ තෝ ඒක තියල ඇ%@ දෙක වන වනා ආවෙ ඒක ගන්න තිබුන්නැද්ද මගෙන් කෝ කියල අහන්නෙ.කොහෙත්තිබ්බෙ තෝ ඒක. නෙද්දකින්  වඳ කුලප්පුවා.
*රටකජු ගලෝපු තැන.
අපි දෙන්න ආයෙ අර උස්සං ආපුව එහෙම්මම බිමට අතෑරල ගිනිමල ගත්තු කපුවො වගේ පරල වෙලා දිව්ව දිවිල්ලක් නැවත හේන බලා.
යනකොට තුවක්කුව දත් තිස් දෙකත් එලියට දාගෙන හිනාවෙවී ඉන්නව හඳ පානෙ දිලිසි දිලිසි. ලඟට ගිය ගමන්ම තුවක්කුව අපෙන් ඇහුව"තොපිට කෑමක් නං මාවත් මතක නෑනේ??"

අම්මෝ අතක්පයක් නොකැඩි ඒකත් අරගෙන එන්න ආව. ඒ වෙලාවෙ කව්රුත් හේන්වල ඔික ගන්න නොහිටියත් අපි බය වුනේ මෙික එක තත්පරයක් හරි ලඟ නැතිවුනොත් දැනෙන හැඟීම.ඒක මවිලක් මවිලක් ගානෙ බද්ද වෙච්චි හරි අමුතු බැඳීමක්.
ඒකත් රටකජ්ජක් හිංද මූට අමතක වුනා කියන්නෙ.. මං නං දවස ආරම්බ කලේ හැමදාම නිදි පැදුරෙන්ම ඔික කිස් කරල "ගුඩ්මෝනින් වස්තුවේ"  කියල.

*තොට යකෝ ඔික අමතක වුනා කියන්නෙ අර වැව්කන්ඩිය උඩට දාල ඔිකෙන්ම වෙඩි තියල උලත් තියන්ඩෝනෙ  වල් සමනලයා. මගෙ පපුව තාම ගැහෙනව.
*නෑ.බං අරං ගිය බර රෙපෝරු වුනානෙ. ඒකයි අමතකවුනේ.
මූ හිතල තියෙන්නෙ රටකජු ටික ඔතල අතට ගත්තම තුවක්කුව කියල.කාලකන්නියා.

අපි ඔිකටත් එක එක කතා කියමින් හිනාවෙවී ඇවිත් වැවෙන් වතුරත් අරගෙන රෑම රටකජු තැම්බුවා.
අපි හිටපු තැන පොඩි වලක් හාරල ඒකට දර දාන්න පුලුවන් විදියට හුලං එන පැත්තෙන් වල සමතලා කරල ඒ වල උඩින් මුට්ටිය තියල ගින්දර දාල තමා තැම්බුවෙ.
ඒ විදියට ගෙනාපු රටකජු දෙපාරකට තම්බන්න උනෙ..තම්බල කයිය ගග ගගහ ඇති වෙනකං කාල බඩත් පිරුනට පස්සෙ කෝපල් කිව්වා..
*මෙතන දැං ඉන්න බෑනෙ බං. අපි යං පාර කිට්ටුවට..
*ගිහින්
*තල්මංඩියෙ  දාගමු එල්පී එක.
*යමු.
අපිත් එතන තිබ්බ අපේ අඩි පාරවල් මකල ලිපත් ආයෙ වැලි දාල වහල  එතන දැකලවත් නෑ විදියට තිබ්බ විදියටම හදල ආව පාරට. ඇවිත් අර හට්ටියයි ලුනු එකයි තිබ්බ තැන්වලින්ම ගිහින් තියලත් ආව. ඒ ආවෙ නිකනුත් නෙමෙි... හෙට හවසට තම්බල කන්ඩ බඩ ඉරිඟු කරල් කීපයකුයි එන්න එද්දි විරිත්ත විරිත්ත හිටපු කැකිරි ගෙඩියකුත් ඇදගෙන.

දැං අපි පාර අයිනෙ තල් මංඩියෙ අයිනෙ අඳුරු පොට් එකක ග්‍රවුන් සීට් දෙකකුත් දාගෙන ඉන්නව. ඔහොම ඉද්දි පැය කාලක් යනකොට එනවා ගඳක් මයෙ අප්පලා..කාපුව සෙනිකව උගුරට එන්නෙ.  ඉවසන්නම බැරි ගඳක්. මයෙ ජීවිතේටම ආපු ඉස්තරම්ම ගඳ.
වෙන මොකුත් නෙමෙි බාගෙට වෙිලිච්චි දෙමල ගූ බෙට්ටක් ඇවිස්සිච්චි ගඳක් මෙි එන්නෙ.
අපිත් කරුවලේ අත ගග ගගා හෙව්ව කොතැනදෝ මෙික තියෙන්නෙ කියල. හම්බුනේම නෑ. දැන් මෙතන ඉන්නත් බෑ.
ආයෙ නැගිටල වෙන තැනකට ගියා. ගිහින් ග්‍රවුන් ශිට් එහෙම එලාගෙන නිදාගන්න වැටෙනකොටම ආයෙත් අර ගඳ එනව. අපි හිතුවෙ මොකක් හරි හේතුවකට ඇවිස්සිලා හුලඟත් එක්ක තමා මෙි ගඳ එන්නෙ කියල. ඒත් හෙව්ව හෙව්ව හොයාගන්නම බෑ.
අපි එක එකාගෙ කටවලුත් ඉබල බැලුව මාරුවෙන් මාරුවට..
ඒත් අච්චරටම අවුලක් තිබ්බෙත් නෑ.
දැන් මෙතනත් ඉන්න බෑ. අපි ආයෙ නැගිටල පලාතෙවත් නොසිට අලුත්ම තැනකට ගිහින් මහ පාරෙ හෙවනැල්ල වැටුනු කරුවල තැනක එලාගත්තා. අප්පේ හරි සැනසීමයි. දැන්වත් නිදාගන්නම්ය කියල එකෙක් සෙන්ට්‍රි තියල අපි පස්දෙනෙක් ඇලවුනා.
ඒ ඇලවෙනව විතරයි මතක.ඔලුව බිම තියන්න හම්බුනෙත් නෑ කැරපොත්තෙක් මූනට මූන හම්බුනු අපේ ගෙදර උන්දැ වගේ කෝපල් සෝමසිරි "ඊයායායායායායා" ගාල මහ විලාපෙයක් තියාගෙන එකපාරටම උඩ විසික්ක වෙලා ගිහින් වැටුනා තාරපාර මැද්දට "දොක්" ගාල
*යකෝ වෙි&@% බල්ලනේ..බලපියව් ගවුන්සිට් එක..
මයෙ අප්පේ කියන්නත් මහ මෙව්ව එකයි.තඩි  ගූ තලියයි ඒක මැද.

අපි තුන්දෙනත් අපි නිදාගෙන හිටපු ග්‍රවුන් ශීට් එක අහසට දික්කරල අඟලක් නෑර නාහෙ තිය තිය පරීක්ෂා කරල කරල බැලුව අරවගේ චාන්ස් එකක් අපිටත් ඇදිලද කියල. නෑ හිතෝතුනි..අපි වාසනාවන්තයි. කෝපල් සෝමසිරියි කුමාරයයි හොදට තලි තලි ඇඟ හැමතැනම ගාගෙන. ඒක හඳපානෙ දැක්කා විතරයි
 පාර මැද ඉන්දවුනා. යටි බඩට අතගියා. ඒ කරල යටිබඩෙන් අල්ලගෙන හයියෙන් ඇතිවෙනකං හිනාවුනා.
කෝපල් සෝමසිරි ⁣ඇඳුම් ඔක්කොම ගලෝලා විසිකරල ජොකා පිටින්. කුමාරය ජොකෙක් දාලත් නෑ. අපිට දැං ඉස්මුරුත්තා වෙලා සීන් එකට.
කෝපල් සෝමසිරි අරහෙ වෙඩි තියාගන්න හදනව. කුමාරය අඬනව. අපි හිනාවෙනව.
පස්සෙ ඉතින් ඇඳුන් නැතුව එලිවෙනකං සීතලේ ඉන්නද, කෑම්ප් එක ඇතුලට යන්නද.
ආයෙ මෙි දෙන්න නැවතුනෙ වැව් බංටෙකේ. ඇවිත් අරුන්දැල දෙන්න අර රෑ මද්දහනෙ සීතලේ ගැහි ගැහී බැහැල නානව බලාගෙන ඉඳලා මායි ජෙනි ජයසිංහයයි පව්නෙ කියල කෑම්ප් එකේන් හොරාට ඇතුලට රිංගන්න පුලුවන් තැනට ගිහින් සෙන්ට්‍රියව බැලන්ස් කරල ඇතුලට ගිහින් දෙන්නට යුනිපෝම් දෙකක් අරගෙන ආව.
එදායින් එදත් කෝපල් සෝමසිරිගෙන් "හේනක්වත් පයිමුද කෝපල් " කියල ඇහුවනං අහගන්න පුලුවන් කන් පිරෙන්නම ලුනු ඇඹුල් ඇතුව.




රුවින් පමුදිත යද්දෙහිආරච්චි
2020.06.03

No comments:

Post a Comment