Monday, May 4, 2020

අමිහිරි මතකයක්

තවත් කතාවක් කියන්නං. මෙිකත් කල්ලාර් වලින් පටන්ගත්තෙ. මම අර කලින් කතාවක කිව්වනෙ අපේ ඔිසී චාර්ජ් ශීට් අහල ප්‍රශ්ණ විසඳපු විදිය. ඒ සර් පහල තෝප්පූර් වලට මාරුවක් ගියාට පස්සෙ...(නැගෙනහිර මෙහෙයුමට යන දවස්වල) අපේ ඔිසී වෙලා ආව කපිතන් ඩබ්එම්ඩබ්එස් වන්නිනායක. සංඥා බළකායෙ කෙනෙක්නං ඒ කව්ද කියල අහන්නැති තරමට ඒ නිළධාරි ගැන දන්නව. ඒ සර් 2/ලුතිතන් කාලෙ ඉඳන් මගෙ කණ්ඩ භාර නිළධාරි, සර් ආවෙත් කිරාන් වලට. එදා ඉඳන් මං එතුමා ගැන හොදට දන්නව.හරිම හොඳයි. කොල්ලෙකුට උඹ කියල කතාකරනවනං ඒකට ලොකුම හේතුවක් යෙදෙන්නම ඔින. උපරිම තරහ යන්නම ඔින.නැතිනං කවදාවත් කාගෙවත් හිතක් රිදෙන්න කතා කලේ නෑ.
අපි ගැටලුවක් මොකක් හරි කිව්වොත් ඒකටත් සුදුසුම විසදුම සර් ගාව තිබුනා. මං මෙහෙම කියන්නංකො. අපේ යුනිට් එකේ කව්රුත් බොක්කෙන්ම ලව් කරපු චරිතයක්. තව එකක්. අපේ ඒකකයේ හිටපු නිළධාරීන් ගැනනම් කියන්න වචන නෑ. වැඩිමල් සහෝදරයො වගේ. (මෙි වෙනකොට මුහුනු පොතෙත් ඉන්නව.තාමත් කතාබහ කරනව අපි.)
හැබැයි සීඔි ඇරෙන්න. අම්මොහ්.. පට්ට සැරයි ඈ..නයි කොච්චි මොනාද..ආං ඒකටත් එක්ක අපේ සර්...😁😁😁

ඉතින් මං මෙි වෙනකොට කපිතන් වන්නිනායක සර් යටතේ මූලස්ථාන කණ්ඩයේ තමා හිටියෙ. මොකද..ඒ වෙනකොට මාව සී කණ්ඩායමෙන් එලවල අැවිත් හිටියෙ. වන්නිනායක සරුත් සී කණ්ඩායමෙි ඔිසී.නමුත් දෛවයේ සරදමකට අපි දෙන්නම ආයෙත් මුලස්ථානෙදි මූනට මූන හම්බුනා.
ඒ වුනාට සර් පස්සෙං පැන්නිලි නෑ.කිව්වදේ කිව්ව විදියට වුනානං කැටයම් චිත්‍ර වල හැඩ බලන්න ගියේනෑ. ඒ නිසා කව්රුත් සර්ට කැමතියි. අනික ඉතින් මගේ කන්ඩභාර නිළධාරිනෙ..
ඔහොම ඉන්න අතරෙදි සර් කීප වරක්ම මා අතින් කිව්වා
*ආරච්චි...
*සර්..
*මෙි කෑම්ප් එකේ බුදු මැදුරක් නෑනෙ.අපි හදමුද එකක්.
*හදමු සර්.පුලුවන් විදියට හදමු.
මාත් කිව්වා. ඔික සීඑස්එම්ට කියල අපිත් මූලික වෙලා ගාඩ්රූම් ඉස්සරහ පොඩියට ඒත් ලස්සනට බුදු මැදුරක් හැදුවා. කල්ලාර් පංසලෙන් බෝධි අංකුරයකුත් වඩම්මල පිරිත් කියල ලස්සනට ඒ කටයුතු කලා.අදටත් ඒ කඳවුරේ ඇති අපි එදා ඉදිකරපු බුදු මැදුර.
ඔහොම ඉතින් අපි අපේ මතකයකුත් ඒ කඳවුරේ ඉතුරු කරල තමා වන්නි මානුෂීට මෙහෙයුමට සම්බන්ධ වුනේ.

ඒ ඇවිත් ටික දවසක් ඉන්නකොට සර් අපේ ඔිසී විදියට ලියාපදිංචිම උනා. අපි සර් එක්ක ඔහොම රාජකාරි කරගෙන ඉන්නැද්දි ක්‍රියාන්විතයත් එක්ක අපි සින්නපරන්තන් වලට එනකං ආව.
ඒ වෙනකොට මං මාස එකහමාරකින් නිවාඩු ගිහින් තිබුනෙ නෑ. ඒ දවස්වල මරාගන්න තියෙනවනං නිවාඩු ඔිනත් නෑ. මං නිවාඩු යන්න කිට්ටු වීගෙන එද්දි පටන් ගත්තා නිළඋසස් කිරීමෙි පාඨමාලාවක්.ලා/කෝ සිට කෝප්‍රල් දක්වා නිළ උසස් කිරීමෙි පාඨමාලාව. මං කෝප්‍රල් නිළය ඒ වෙනකොට පැළඳ සිටියත් යුධමය වාතාවරණය නිසා ඒකකයේ පාඨමාලා පැවැත්වුනේ නෑ. නමුත් අපිට වඩා කණිශ්ඨයන් (වෙනත් සංඥා ඒකකවල) අපිව අභිබවා යන තොරතුරක් මත සීඔි කිව්වා මළත් කෝස් එක කරවන්න ඔින..ඒකට කට්ටිය ලෑස්ති කරවන්න කියල. මෙික ඔයාලාට නොතේරෙන්න පුලුවන්.නමුත් ඒක අපිට ගොඩක් අසාධාරණයක් වෙන සීන් එකක් නිසා තමයි සීඔි කෝස්එක කරවමු කියල කිව්වෙ.
අපිට කීවා පාඨමාලාව පටන්ගන්නව කරන්න ලෑස්ති වෙන්න කියල. අපිත් ඒ වෙනුවෙන් සූදානම් වුනා. මාස තුනක පාඨමාලාවක් දවස් විසි එකකට සම්පින්ඩනය කරලා ඒක දවස් විසි එකකින් කරල ඉවර කරන්න ඔින.ඒක හරිම අමාරු කාර්යයක්.
නියමිත දින කෝස් එක පටන් ගත්තා. මාත් නිවාඩු යන හීනය අතෑරලා ගේමට බැස්සා.
අපිට දවස් ගානක් යනකං හැම රැයකටම පැයයි පැය එකහමාරයි උපරිම නින්ද. සති දෙකක් යනකොට අපි බාගෙට මැර්ල වගේ උන්නෙ. නිදිමරලාම. ඒත් ගේම අතෑරියෙ නෑ. පාඨමාලාවෙ තියරි ප්‍රැක්ටිකල් අවසන් කරලා අපි ජංගල් ගියා. මෙි ජංගල් එකේ විශේෂත්වයක් තිබුනා. වෙනත් කෝස්වල වගේ සතුරන් විදියට උපදේශකයො ආවෙ නෑ. ඇත්තම සතුරා එක්කයි අපිට හැප්පෙන්න තිබුනෙ. අපිට තිබුනේ පලවෙනි දවස් දෙකේ චමිල් චෙල්වම්ගේ ගම ක්ලියර් කරන්න. අපි ඒකට දවස් ගානකට කෑම බීම අරං කිලෝමීටර් පහලොවක් පමණ දුරක් යන්න කකුල්වලට භාරදීලා කඳ කොටස කකුල් දෙක උඩින් කෙලින් තියා ගත්තා. එදා අපි දවල්ට දොලහ වෙද්දි කාල තමයි එක වෙනකොට පිටත් වුනේ.
ඔහොම කිලෝමීටර් පහලොවක් ඇවිත් අපි ගම්මානෙට ඇතුලු වුනා. අපේ සහයට තව තිස් දෙනෙක් දුන්නා. කණ්ඩ භාර නිළධාරි කෙනෙක්,කණ්ඩ භාර සැරයන් කෙනෙක් ආධාරක අවි, සහ අනෙකුත් උපකරණ.
අපි ගමට ඇතුල්වෙලා බොහොම සීරුවට ඇව්ද්දේ. රැය ගතකරන්නත් අපිට තැනක් හොයාගන්න වුනා. ඒ වෙනුවෙන් පාරක් අයිනෙ තිබුනු යමක් කමක් තිබුනු තැනක හිස් ගෙයක් අපි තෝරගත්තා. ඒත් එකපාරට ඇතුලුවුනේ නෑ. අනිත් ප්ලැටූන් එකේ කෝපල්ලා දෙදෙනෙක් සහ කණ්ඩ භාර සැරයන් සර්ච් පාටියට ගියා. කිසි අවුලක් නෑ. අපි ඇතුල්වුනා.
මෙි වෙනකොට හොදටම කලුවර. අපි මගත් නැවතිලා ආවෙ. සතුරා හිටපු ලයින් එකක් ක්ලියර් කරන්න.
එකපාරටම කෝපල් විජේපාල  ඉන්න තැනම නැගිටලා කිව්වා..
*කව්රුත් ඉන්න තැන්වලින් හෙලවෙන්නවත් වෙපා.නැගිටින්නවත් එපා.ඔහොම්මම ඉන්න..
කියල.
ඒ කරල එතන ඉඳන්ම කිව්වා
*සාජන් ට්‍රැපින් එකක් තියෙනව. ඉක්මනින් ටෝච් එකත් අරන් එන්න කියල.
ඒ විදියට සාජනුත් ආව.
කියනවට විස්වාස කරන්න අහුමුලු වල ට්‍රැපින් හතරයි.. හැමතැනනම බට්ටො දාල. බට්ටෙක් පෑගුනත් ට්‍රැපින් එකක් බ්ලාස්ට් වෙන්න තමා හදල තිබුනෙ. මොකද බට්ටෙක් පෑගුනොත් තුවාලවුනු කෙනා ගන්න කට්ටිය පිරෙනකොට ට්‍රැපින් එක බ්ලාස්ට් වෙන්න.
අපි ඔක්කෝගෙම හොඳ වෙලාවට ඊට කලින් වැඩෙි මාට්ටුවුනා. අපි ඉන්න තැන ඉඳල ලඟ තිබ්බ පිහිවලින් බිම හාර හාර පාරට ආව.
දෙයියන්ට ස්තුති වෙිවා... කිසිම කරදරයක් අපි කිසි කෙනෙකුට වුනේ නෑ.
අපි ඒ ඔක්කොම ක්ලියර් කරල ඒ වත්තෙමයි උන්නෙ රෑ.
පහුවදාට එලිවුනා. අපි සෙක්ෂන් තුනක් විදියට මුලු ඒරියා එකම ක්ලියර් කලා. හැම තැනම ට්‍රැපින්.බට්ටො.
ආයෙ බට්ටො ට්‍රැපින්. ඒව තවාන් දාල තිබුනෙ.
අපි එදා දවල් ගියා ලයින් එකක් ක්ලියර් කරන්න.
ඒ එද්දි මට හරියටම තැන මතක නෑ.ඇලක් තිබුනා. ඔය ඇල බන්ට් එකේ කොන්ක්‍රිට් එක උඩ අපි හිටියෙ. මෙි වෙනකොට කපිතන් වන්නිනායක ඇවිත් තිබුනා.අපිත් එක්ක කතාබහ කරල වතුරටික බාගන්න කිව්වා.සර් අපිට බොන වතුර ගෙනත් තිබුනෙ.
ඒත් එක්කම සර් පාර පැනල එන්න හදද්දිම සිරිවර්ධන අත් දෙකත් එකතු කරලම කිව්වා
*බුදු සර් අඩියක් ඉස්සරහට එන්න එපා.වාහනේම ඉන්න කියල.
සරුත් පටස්ගාල වාහනේට නැග්ග.නැගල තමා හේතුව ඇහුවෙ.
සරුත් කතාබහ කරල යන්න ගියා.
අපිට ගොඩක් මහන්සියි. අපිත් ලීවලින්ම හදාගත්තු රේක්ක සහ ලී කෑලිවලින් බිම ඇද ඇද පාර මැදට ඇවිත් පාරෙ ඉඳගත්තා. සිරිවර්ධන,ක්‍රිෂාන් කුමාර සහ ධර්මකීර්ති
වැලි ගොඩක් ලඟ ඉඳගත්තා.
අපි ඔතනට වෙලා පැය භාගයක් විතර මහන්සි ඇරියා. මගේ සෙක්ෂන් එාක් සෙක්ෂන් කමාන්ඩර් හිටියෙ මගේම බැජියෙක්. සේම් රෑන්ක්.නමුත් මට වඩා නම්බර් කිහිපයකින් සීනියර්. නම ජයසේන.
එයයි අර තුන්දෙනයි ජීපීඑස් එක ආධාරයෙන් ඉන්න තැනයි ආයෙ යන්න ඔින තැනයි ග්‍රිඩ් අංක අනුව සකසන්න වුනා. ඒ අතරෙදි ධර්ම කීර්ති හිිටියෙ පාර අයිනෙ. එයා දැක්කා බට්ටෙක් කකුල ගාවම තියෙනව. ඒත් එක්කම ට්‍රැෆින් එකක්. මිනිහ⁣ට කරගන්න දෙයක් නැතිවුනා. අරුං තුන්දෙනා තව අඩිබාගයක් පස්සට ආවොත් ට්‍රැපින් එක යනව. ඌ එයාලව අතින් නවත්තල පාර මැද්දට ගත්තා. නූලෙන් බෙිරුනා. අපි ඔහොම කොහොම හරි ආයෙ ක්ලියර් කරන්න වෙල්යායට බැස්සා. ඒ කුඹුරු ඒ වෙනකොට පීදිල තිබුනෙ. ඒත් හරි කල්පනාවෙන් මැද්දෙ අඩිය තියන්න ඔින.කුඹුරෙ බට්ටො නෑ.ඒත් ට්‍රැපින් වපුරල තිබුනා. ට්‍රැපින් වලට දාල කිබ්බෙ 60 මි.මි. මෝටාර් බෝම්බ. සහ අත්බෝම්බ.
අපි බොහොම අමාරුවෙන් ඔිපන් එකේ මැද්දක් එනකොටම එකපාරටම
දිඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩීඊඊඊඊන්න්න්න්න් ගාල සද්දයක් ඇහුනා. අපි වහාම ආරක්ෂක පියවර අනුමනගනය කලත් ට්‍රැපින් එකට අහුවුනු ධර්මකීර්ති හයියෙන් කෑගහන්න වුනා.
අපි හැකි ඉක්මනින් ධර්මකීර්තිවත් අරං පාරට ආව.
වම්අත මැනික්කටුවෙන් වෙන්වෙලා.කකුලක් දනහිසට ටිකක් පල්ලෙහායින් ගැලවිලා. ඇස්දෙකෙන්ම ලේ පෙරෙමින් තිබුනා. ඒක කොහොම උනාද කියල හිතාගන්න බෑ.ලඟ හිටියෙ කෝප්‍රල් සිරිවර්ධන. එයානං කිව්වා මොකේකට හරි නැමෙනව වගේ දැක්ක කියල.
අපිට වටපිට බලන්න අවකාශයක් ඒ වෙලාවෙ තිබුනෙ නෑ. කෝප්‍රල් ක්‍රිශාන් කුමාර අනුනවයයි තුන්කාලෙන් බෙිරිල තිබුනත් මඩවලින් නෑවිල තිබුනා.
අපි ස්ට්‍රෙචර් එකක තුවාලකරු දාගෙන 58සේමු ඉදිරි සැරහුම් මධ්‍යස්ථානයට අරගෙන ආව. ඒ වෙනකොට යුද්දෙන් තුවාලවුනු කට්ටිය චොපර්වලින් අරන් යනව.ඔය ආපු එකකටම ධර්මකීර්තිවත් දාල යැවුවට පස්සෙ තමා අපි ආවෙ.
හවස අපේ ක්‍රියාන්විතය අවසන් වුනා.
ඒ වෙනකොට අපේ යුනිට් එක ලයින් එකේ ගිහින් හිටියෙ.අපියි අර ප්ලැටූන් එකයි විතරයි මග හිටියෙ. අපි රෑම යුනිට් එකට ගෙන්වුවෙි පහුවදාට ඇරාඹන විශේෂ වැඩකට අපිව යොදවන්න. උප අණදෙන නිළධාරි තුමා කිව්ව මෙතනින් පාඨමාලාව ඉවරයි.රෑට එක්සෑම් එක තියෙනව.හෙට අති විශේෂ වැඩකුත් යෙදිල තියෙනව.ඒකට අපිව දානව කියල.
ඒ වැඩෙි තමා ජීව්තේ බෙිරගෙන ආව  සිවිල් මිනිස්සු විශ්වමඩුවලින් චෙක් කරල අපේ පාලන ප්‍රදේශයට ගන්න එක. අපේ කෝස් ප්ලැටුන්එකේ ඔක්කොගෙම නම තිබුනා.
මට හෙන අප්සට් ගියා වැඩෙිට. මෙි වෙනකොට මං මාස දෙකහමාරකට කිට්ටුයි නිවාඩු ගිහින් ඇවිත්. මං ඔික සීඑස්එම්ට කිව්වම ඒක ඔිසීට කියන්න කිව්වා.
මාත් මග රැකගෙන හිටියා කපිතන් වන්නිනායක එනකං.
රෑ එක්සෑම් එකට සර් ආව. සර් තමා පරීක්ෂක හිටියෙ. මං ඊට කලින් සර් එක්ක කතාකලා.
*සර්..
*ඔව්..
*හෙට විශ්වමඩු කේස් එකට යන්න ඉන්නෙ.මගෙ නමත් තියෙනව.
*ඔව්.යමු.මං ඉන්නෙ. ඒකට යන්න.
*ඒත් සර් පුංචි ගැටලුවක් තියෙනව.
*මොකද්ද.
*මං මාස දෙකයි දවස් දහතුනක් වෙනව නිවාඩු ගිහින් ඇවිත්.සර්ට හැකියාවක් තියේනං මට පුලුවන්නං නිවාඩුවක් දෙන්න. දරුවගෙ මූන බලල ආවොත් ඇති සර්.
මං කවදාවත් එහෙම නිවාඩුවත් ඉල්ලල ගිහින් නෑ. අත්‍යවශ්‍යම කරුනක් හැරුනුකොට. ගැටලුවකුත් නැතුව නිවාඩුවක් යුධ හමුදා ජීවිතේ ඉල්ලපු පලවෙනි වතාව.
*ඒත් ආරච්චි දැං කට්ටියගෙ නම් යවල ඉවරයි.අනික අනිත් අය ලයින් එකේ ඉන්නෙ.ලයින් එකෙන් කව්රුවත් ගන්නත් බෑ.ඔයාට අඩුම එක්කෙනෙක් ගෙන්නගන්නකං හරි මෙිකට යන්න වෙනව.
මට අවුල් ගියා.ඒත් මුකුත්ම කීවෙ නෑ. මං හා කියල සද්ද නැතුව හිත හදාගත්තා.
*සර්..එාහනං පුලුවන් වෙලාවක  ඉක්මනින් දෙන්නකො.කමක් නෑ මං ඉන්නං.
සර්ටත් අප්සට් වැඩෙිට.මොකද සර් වුනත් දන්නවනෙ තත්තෙ. ⁣බැරිවෙලාවක්වත් මං නිවාඩුවකුත් ඉල්ලල යන්න නොදී තියාගෙන මට මොනව හරි උනොත් ඒක කාට උනත් දරාගන්න අමාරුයිනෙ. මෙිව ඉතිහාසෙ නොවෙච්චි දේවල් නෙමෙිනෙ..
*හරි.ආරච්චි යන්නකො.බලමු මොනාහරි කරන්න.
 අපි  එක්සෑම් එකත් ලියල ඉවර වෙලා කාල බීල නිදාගත්තා. එදා අපිට ෆුල් ඔිෆ් එකක් දීල තුබුනෙ.
රෑ එකොලහට විතර සීඑස්එම් පනිවිඩයක් එවල තිබුනා මට ඇවිත් හම්බ වෙන්න කියල.
මාත් ගියා.
*මචං.උඹ දැන්ම නිවාඩුවක් දාහං.සර් නිදාගන්න කලින් අත්සන් කරගන්න. හෙට උදේම වාහනයකුත් 4 සිග්නල් එකට යනව කිව්වා. උඹට එ්කෙම ගිහෑකි.
මටත් උන් හිටිතැන් අමතක උනා. හිසේ මල් කැකුලු දහසක් පීදුනා.පාය බාගයක් යනකොට නිවාඩුව අත්සනටත් දැම්මා.මමමයි සර් ගාවට අත්සනට අරන් ගියෙ.
*එස්කියුස්මී සර්..
*අහ්..ආරච්චි..ගේන්ඩ ගේන්ඩ.
*සර්.එතකොට හෙට මං වෙනුවට.
*ආ..නිවාඩු ගිහින් දෙන්නෙක් ආව.ඒ එක්කෙනෙක් සීඔි ගන්න කිව්වා.
ඔන්න බලන්න යාලුවනේ ආරච්චිගෙ වාසනාව රෑ දොලහට මෝරපු හැටි.
මං පාන්දරම නැගිටල ලෑස්තිවෙලා නිවාඩු යන්න වාහනේ නැගල ගෙදර එන්න ආව.
ඔහොම නිට්ටඹුවට එනකොට පාන්දර එකයි.
ඒ වෙලාවට එන්න බස් නෑ.එහෙ ඉඳන් කිලෝමීටර් නවයක් දහයක් තියෙනව අපේ ගෙදරට. වාහනයක් තියා බලු බල්ලෙක් පාරෙ නෑ. මගෙ ඒ වෙනකොට වීල් එකක් තිබුනත් ඒක ගෙන්න ගන්න කව්රුත් හිටියෙත් නෑ කිටවත් කරදර කලෙත් නෑ.  ඔය සම්පූර්ණ දුර මං ගෙදරට එනකංම පයින්ම ආව.
ඇවිත් නාල කාල නිදාගෙන පහුවදා දවල් එකට විතර ඇහැරිලා ආයෙ දවල්ටත් කාල ආයෙ නිදාගෙන හතට විතර නැගිට්ටා. මෙි වෙනකොට දවස් ගානක් සැපට නිදිමරල හිටියෙ.
මමත් ආයෙ මඩක්කුවට හාල් හුංඩු දෙකක වගේ බත් චුට්ටක් දාගෙන පීනන ගානට කරවල හොදිත් ඇබින්දක් දාගෙන සමන්කුමාර රාමවික්‍රමගේ අයියගේ  කයිය අහන්න ඉඳගත්තා ටීවී එක ඉස්සරහින්.
මම ටීවී එක ඉස්සරහට එනකොට විනාඩි දහයක් විතර ගිහින් .ඒත් එක්කම ආයෙ නිවෙිදකයා ප්‍රවෘත්ති කියන්න ගත්තා.

"අද දින පුදුකුඩිඉරුප්පු විශ්වමඩු හි පිහිටුවන ලද  සිවිල් ජනතාව භාරගන්නා ස්ථානයට එල්ල වූ  මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් යුධ හමුදාවෙි කපිතාන්වරයෙක් ඇතුලු සෙබළුන් දහනව දෙනෙක් ජීවිතක්ෂයට පත්විය. ඒ අතර කාන්තා සෙබළියන් දෙදෙනෙකද සිටින බව අප වාර්ථාකරු පැවසීය. මෙි සිද්ධියෙන් පහලොවකට වැඩි සෙබළුන් පිරිසක් තුවාල ලබා ඇතැයිද ඔවුන්ගෙන් හතර දෙනෙකු බරපතල තත්ත්වයේ පසුවෙතැයිද වැඩිදුරටත් අප වාර්ථාකරු පැවසීය."

මගේ කෑම එක අතෑරුනා.හුස්ම ගන්න අපහසුවුනා. එක පාරටම හිට්ටවුනා. වයිෆ්ටත් කෑ ගහලම පෝන් එක ගෙන්නගෙන කම්පැනියට කතාකලා. සිග්නල් නැතුව ඒක  වැඩ කලේ නෑ.ඔින මගුලක් කියල හිතාගෙන දෙවන අණදෙන නිළධාරිතුමාගේ දුරකථනයට කෝල් එකක් ගත්තා.
*ගුඩ්ඊවිනින් සර්.කෝප්‍රල් ආරච්චි සර්.
*ඔව් කියන්න ආරච්චි.
*සර් විශ්වමඩු බ්ලාස්ට් එකෙන් නැතිවුනා කිව්ව කැප්ටන් කව්ද.? මෙි දැන් ප්‍රවෘත්ති වලට කිව්වෙ.
*කැප්ටන් වන්නිනායක බං.සරුත් අඬාගෙන වගේ කිව්වා. අායෙ කිව්ව
*උඹලගෙ සීඑස්එමුත් ගියා බං.

පස්සෙ දැනගත්තා මගේම බැජියෙකුත් ඒ ගමන්ම ගිහින් කියල.

රුවින් පමුදිත යද්දෙහිආරච්චි
2020.05.02.

1 comment:

  1. මොනවා කියන්නද කියල හිතා ගන්න බැ...

    ReplyDelete