Monday, May 18, 2020
අතීතයෙන් කතාවක් 02
මං අම්මත් එක්කම ගිහින් ඒ ගල්පොත්තෙ ලිඳෙන් නාන ගමන් අම්මටම කියල ගස් ගඳ යන්න හොඳට කුනුත් අතුල්ලල නාගෙන ආව. මං නානකං අම්මත් ගල උඩට වෙලා ඉඳගෙන හිටියා. ඒ අස්සෙ අම්මා.
*පුතේ ලබන අවුරුද්දෙ සිස්සත්තෙ. දැං සෙල්ලං එහෙම ටිකක් අඩු කරල උවමනාවෙන් ඉස්කෝලෙ වැඩටික කරන්න ඔින තේරුනාද.?
*හ්ම්. ඒත් අනේ ඔිකෙන් මොනා කරන්නද අනේ.
*එහෙම කියන්නෙපා පුතේ. හොඳ ඉස්කෝලයක් හම්බුනොත් එපා කියන්නද. ඉස්සරහට එන්නෙ අපි කාටත් අමාරු කාලයක්. ඒකට ඉගෙන ගන්න තමා ඔින.
*ඉතින් ඇයි හැමදාම ඔයා කියන්නෙ ඉගෙන ගන්නම කියල. ඉතිං මං ඉස්කෝලෙ යන්නෙ මෙි.
*ඒ ගියාට මදි පුතේ. ඉගෙන ගන්න ඒව හොදට මතකෙ තියෙන්න ඔින. අනික අපිට කියල ඔයාලට බෙදල දෙන්න තරම් මහා ලොකු වත්කම් නෑනෙ මයෙ පුතේ.ඔයාලට දෙන්න පුලුහන්නෙ අධ්‍යාපනේ විතරයි. අක්කයි නංගියි කොහොම ඉගෙනගත්තත් ඔයා ඊට වැඩිය ඉගෙන ගන්න ඔින. ඔයා කොල්ලෙක්නේ. මංනං ආස දොස්තර මහත්තයෙක් වෙලා පැජරෝ එකකුත් අරං ටයිපටියකුත් දාල ආඩම්බරෙන් යනව දකින්න
*හරි මං හෙට ඉඳන් හොදට ඉගෙන ගන්නංකො. අම්මටත් වඩා.
අපේ අම්මත් ඉස්කෝලෙ එකොලහට ඉගෙන ගෙන ආන්ඩුවෙ විභාගෙ පාස්වෙලා තිබුනත් රස්සාවක් කලේ නෑ කියල තමා කියන්නෙ. කලින්නම් ගුරු පත්වීමක් උනත් ගන්න තිබුනලු. ඒත් ඒ වෙනකොට අම්ම බැඳල හිටපු හිංද ලැජ්ජ හිතුනලු. ඊට පස්සෙ සළුසල එකේ වැඩට ගිහින් සුපර්වයිසර් තනතුරටත් පත්වුනාට පස්සෙ තාත්තත් එක්ක බෑ කියල අයින් වෙලා. මට ගෙදර වැඩ එහෙම කියාදෙන්නෙ අම්මා තමා. ඒකටත් උගුර කැඩෙනකං කෑ ගහන්න ඔින ඉතින්. නැත්තං හනසු මිටියක්වත් මට පේන්න ගෙනත් තියන්න ඔින. එතකොටලු මාව මට්ටු කරන්න පුලුවන්. අම්ම ටොකු ඇන ඇන ගණිතයයි සිංහලයි කියාදෙනකොට තාත්තනං කියනව ඔන්න ඔය ලමයට ඉන්න දෙනව. ඉගෙන ගන්නවනං ඉගෙන ගනී කියල. ඒත් තාත්ත එහෙම කියන්නෙ හිතකින් නෙමෙි බොරුවට කියල මං දන්නවා. ටිකක් වෙලා යනකොට එයත් අම්ම එක්ක එකතුවෙලා ඇදෙන්ම ඉදගෙන මටම ටොකු දිදී චක්කරේ එහෙම පාඩම් කරවන කොට ඒ කරුණාව අම්මගේ සල්ලි කැටෙි කාසි වගේ අතුරු දහන් වෙලා යනව. අම්මත් ඒ කැටෙිට දාන සල්ලි එහෙම්මම ඇතිය කියල හිතුවට කවදාවත් නෑ.
අපේ තාත්ත ටිකක් අමාරු කාරය. ඒ වුනත් බය නැතුව කියන්න පුලුවන් තාත්තා කවමදාකවත් මට අතින් පාරක් ගහල නෑ. ගහන්නෙම ඉස්සරහ දොර ගාව වහලෙ ගහල තියෙන වැරනියා කෝට්ටෙන්. නැත්තං බුලත් ඉනි බාගෙන්. මොකක් හරි දඩබ්බර වැඩකුත් කරලා කුනුහරපෙකුත් කියලා අහුවෙලා අම්ම කේලම කිව්ව ගමන් ඉර්ධියෙන් වගේ ඔය වැරනියා පොල්ල තාත්තගෙ අතට වඩින්නෙ. ඒක මටයි අක්කටයි නංගිටයි තුන්දෙනාටම තැලුං දෙන්න ගෙනත් වහලෙ ගහල තිබුනට ඒකෙන් වැඩි පුරම තැලුං කෑවෙ මං. කොච්චර ලොකු වැරැද්දක් කලත් එක පාරක් ගුටි කන විදිහේ සුළු වරදක් කලත් ගනන් කරලා හරියටම පාරවල් දහයක් දෙනව. පහර දෙන්නෙම තට්ටම් දෙකටයි කකුල් දෙකටයි. ඒ පාරවල් වලට තට්ටං දෙකයි කකුල් දෙකයි දැවිල්ල අල්ලල උඩ පනිනකොට මුලු ගමම දන්නව අද මට සබ්බුව දෙන දවස කියල.
අපේ තාත්තා අම්මට අපිට වැඩිය ආදරෙයි. කවදාවත් අපේ අම්මට තාත්තා "උඹ" කියල කතා කරල නෑ. එයා කියන බරපතලම වචනෙ "තමුසෙ" කියන එක. ඒ වුනත් මාව බෙිරන්න හරි අදින්න හරි ගහන වෙලාවට මැද්දට පැන්නොත් ඉතුරු පාරවල් ටික වදින්නෙ අම්මට. මං පොඩි එකා උනත් අම්මවත් ඒ වෙලාවට ගුටිකන්න පාවල දීල පනින අවස්ථා නැතුවම නෙවෙයි. මට දෙන්නගෙන් කව්රු ගැහුවත් ගේ ඇතුලට දාල දොර වහල තමා දෙන්නෙ. නැත්තං තාත්තගෙ පහරවල් දහය කවදාවත් මට තලන්න හම්බ වෙන්නෑ. එක පාරයි තලන්න වෙන්නෙ. ඉතුරුව පස්සෙන් පන්නල අල්ල ගත්තොත් තමා. ඒ වුනත් ඒ පාරවල් ටික කවදාවත් නවය වුනෙත් නෑ. එකොලහ වුනෙත් නෑ. මං මෙදා වෙද්දි අන්තිමට තාත්තගෙන් ගුටි කෑවෙ යාලුවොත් එක්කල බෝපාගම කැලේ හිඹුටුයි බටදොඹයි කඩන්න ගිහින්. එදා හරි විනෝද දවසක්. බෝපාගම පැත්තෙන් අපේ ඉස්කොලෙට එන අපේ පංතියෙ කොල්ලෙක් කිව්වා එයාලගෙ ගෙවල්වලට උඩහින් තියෙන කැලේ හිඹුටු එහෙම වැහි වැහැලාය කියල. ඒ වෙනකොට එරමිනියා නං අපේ කැලෙත් තිබුනා. නමුත් හිඹුටුයි බටදොඹයි තිබුන්නෑ. මාත් යකඩ පැටවුනුත් ජයන්ත චන්දන අපේ ලොකු අම්මගෙ පුත්තරයො දෙන්නත් තව දෙතුන් දෙනෙකුත් එක්ක උදේම කතාවෙලා සෙල්ලං කරන්න තිප්පොලට යන විදියට පල්ලෙහාට ගිහින් ගියා බෝපාගම. ඒ ගියෙ නිකන්මත් නෙමෙයි. අම්මගෙ චීත්තෙ කොනක ගැටගහල තිබුනු රැපියල් දහයෙ කොලේකුත් හොරාට ලිහාගෙන . ඒ බඩගිනි වුනොත් පාං කන්න. මට මතක විදියට ඒ දවස්වල පාං ගෙඩියක් තුනයි දහයයි. ඊට අඩු මිසක් වැඩි නෑ. එදා අපි ඔක්කොම ඒ යාලුවත් එයාගෙ යාලුවොත් එක්ක එකකුවෙලා කැලේ ගියේ හිඹුටු කඩන්න. අම්මෝ... කැලේට රිංගපුවම තියෙන හිඹුටු කැටිය. ඒ දවස්වල අපිට වඩා මහත ඇති හිඹුටු වැල්. අපි කොනක ඉඳන් පටන් ගත්තා සෙල්ලම. තද කහ පාට රතුපාට වගේ වෙන්න ඔන්න මෙන්න ඒවගෙන් පටන් අරන් අන්තිමට අන්තිමට ලා කහ පාට වෙච්චත් කඩල ගෙනියපු මලුවල දා ගත්තා. චුට්ටක් එහෙම නෙමෙි.තනියෙන් ගෙනියන්න බැරි තරමටම කැඩුව. ඒ කඩල ඉවරවෙද්දි හොඳටම දවල් උනා. දැං හිඹුටු කැඩුව ඇති කියල කතාවෙලා ගියා ඊලඟට අපි යන පාරෙ තිබුනු බටදොඹ ගහට. අර බැරි බැරි ගාතෙ උස්සන් ආපු හිඹුටු මලු ටික එහෙම්මම බටදොඹ ගහ වටෙිට හේත්තු කරල එකා එකා නැග්ග ගහට. ඒ නැගල මුලින්ම පටන් ගත්තෙ තද කලුපාට වෙනකං ඉදිච්චි ඒව කඩන්න. අපි කඩන කඩන ඒවා බඩ කැක්කුං අල්ලනකං කෑව. ගහේ පිරිල එක සාරෙට බට දොඹ. කඩන්න කඩන්න උනනවද මංදා. පුලවන් තරම් කඩල කඩල කාල කාල ඉතුරුව දාගත්තා හිඹුටු මලුවලටම. ඒ මලුවලට කඩන බටදොඹ දාන්න එකාට පස් හය වතාවක්නං ගහෙන් බහින්න උනා. අපි අන්තිමට ගහෙන් බැස්සෙ මුලු බටදොඹ ගහම සුද්ද කරල ඉවර වුනාට පස්සෙ.
ඒ වැඩෙත් ඉවර වෙලා මලු ටිකත් එල්ලගෙන පේලියට අපි එලවල් කැලේ පැත්තෙන් කන්ද නැග්ගා. ඒත් නිකන්ම නෙමෙි. ඒ කන්ද පාමුලින් ගලායන බෝපගම් ඇල්ලෙන් ඇස් රතුවෙනකං නාල ඉවරවුනාට පස්සෙ. අපි නාල නාල ඉවර වෙනකොට අවට පරිසරය පෙනුනෙ සුදු පාටට මීදුම් බාල වගෙ. අත් එහෙම සීතලට සුදුමැලි වෙලා. ඒ තරමට නෑව. මාලුත් අල්ලනව ගේන්න එකක් තිබුනනං. ඒ හිංද එදා මාලු ටික බෙිරුනා. අපේ කන්දෙ තියෙන එක ලිඳකවත් අපි මඩකනයෙක්වත් ඉතුරු කරල නෑ. ඔක්කොම හිටියෙ අපේ ගෙවල්වල ලොකු ප්ලාස්ටික් බෝතල්වල. තාත්තට තරහ ගියාම ඔය බෝතල් ඔක්කොම ටික උස්සගෙන ගිහින් නාන පොකුනට අතාරිනව. ඒ පොකුණ ගැඹුරුයි. ලොකුයි. නිල් මානෙල් හැමදාම පිපිල තියෙන්නෙ.ඒ දවස්වල ඒක මාවත් පොව්වන තරමට ගැඹුරුයි. ඒ හිංද ඒ ලිදේ විතරයි මාලු ටික බෙිරුනේ.
ඔහොම අපි පේලියට පේලියට තෙත ඇඳුම් වලින් එන "චොර චොර" සද්දෙත් එක්ක කයිය ගගහ හිඹුටු මලුත් අරං ගෙදර එනකොට පහට විතර ඇති. එදා ඉරිදාවක් කියලයි වෙලාවයි දැනගත්තෙ මං එනකොට අම්මයි අක්කයි නංගියි රේඩියෝ එකේ වෙළඳ සේවෙ යන අම්බිගා ගීතයෙන් ගීතය අහනව. මාත් ගෙදර හිටියනං ඒක අහනව. ඊලඟට ආර්පිකෝ විනාඩියක් පමණයි වැඩ සටහන. ඊටත් පස්සෙ සිපෙට්කෝ මහත්තයා. මට ඒ වැඩ සටහන් ටික හොඳට කටපාඩම් ඒ දවස්වල. මං ගෙදර එනකොට තාත්තා සරමත් ඇඳන් පිටිපස්සෙන් උඩට උස්සගෙන අත්දෙකෙන් අල්ලගෙන ඉනට අත් තියාගෙන හිටියෙ. එයා හිටිය විදියෙන්ම මට හීංදාඩිය දැම්මා.
*ආ මෙි එන්නෙ පුංචි මහත්තයා වරෙන් වරෙන් මෙහෙ ලඟට වරෙන් කියල මාව අල්ල ගන්න පැන්නා. මං හිඹුටු මල්ලත් අතෑරල දුවන්න හැදුවට මට වඩා තාත්තා වෙිගවත්. ජයන්තයි චන්දනයි ඊට වඩා වෙිගෙන් මලුටික කරේ තියාගෙන දුවන්න ගත්තා.
*ඔය පුංචි මහත්තුරුත් යං. මං කියන්නං උන්දැලට..කියල ඒ අහිංසකයන් දෙන්නටත් තර්ජනය කලා. පස්සෙ මාවත් ඇදගෙන ගෙට ගිහින් දොරත් වහන්නෙම නැතුව අල්ලගෙන පාර දුන්නා. එදානං රෑ වෙනකං ඇඬුව. ඒ ඇඬුවෙත් අක්කත් එක්ක කුස්සිය පැත්තෙන් ගිහින් හිඹුටු මල්ලත් අරං ඇවිත් ඒවත් කකා. හිඹුටු ගොඩට දාපු බට දොඹ චුරු පැනල තිබුනෙ. ඒවනං කන්න බැරි ගානයි. එදා තමා මෙි කියන දවසට කලින් අන්තිමට ගුටි කෑව දවස.
*කියනව බලන්න දෙවරක් චක්කරේ. ඒ අම්මගෙ විධානය.
දෙවරක් එක දෙකයි
දෙවරක් දෙක හතරයි
දෙවරක් තුන හයයි
දෙවරක් හතර අටයි
දෙවරක් පහ දොලහයි
දෙවරක් හත අටයි
*මොකක් කිව්වා. ඉස්සරනං දෙවරක් පහ දහයයි.දෙවරක් පහ ගාවට හයයිනෙ. දැං ඒකත් වෙනස් වෙලාද? ඒ කියන්නෙ.තාත්ත මගෙ චක්කරේ අවධානෙන් අහන් ඉඳල අහන්නෙ.එයාටත් ඔින නැති දෙයක් නෑ. ආයෙ ඉතින් පටන් ගනිල්ලකො මුල ඉඳන්.
ඔහොම කොහොම කොහොම හරි දත කාල චක්කරේ පාඩං කරනව. අක්කටනං චක්කර ගොඩක් හොඳට කට පාඩං.මට තමයි නැත්තෙ.
ඔහොම ශිෂ්‍යත්වයක් තියෙනවද කියලවත් ගානක් නැතුව කාලෙ ගෙවිල ගියා. ශිෂ්‍යත්වය ලියන අවුරුද්දෙනං මට පනින්න දුන්නෙම නෑ. ඉස්කෝලෙ ගිහිං ආව ගමන් අම්මගෙ විධානවලට අනුකූලව කාල නාල ගෙට එනකොට අම්ම පොත්ටිකත් අරං ඇඳ උඩ. අපේ ගෙදර මෙිසයක් කියල එකක් තිබුනට මොලෝ වැඩක් නෑ. ඒකෙ පුටුව උඩින් ඉඳගත්තම මගෙ නාහෙ ගාවට මෙිසේ තියෙන්නෙ. ඒ හිංද ඉස්කෝලෙ හැම වැඩක්ම කලේ ඇඳ උඩ දාගෙන.
කොච්චර බරපතල විදියට ඉස්කෝලෙ වැඩ කලත් මට සෙල්ලං කරන්නත් වෙලාවක් අම්ම ඉතුරු කරල දුන්න. *අක්ක ශිෂ්‍යත්වෙට ලකුනු එකසිය දහතුනයි. කොච්චර චක්කරේ පාඩං තිබුනත් පේල්නෙ ඉතිං. ඇයි මට විතරක් මෙච්චර වද දෙන්නෙ අම්මෙ.
*ඉතින් ඔයා විතරයිනෙ මහත්තයෝ අපිට කොල්ලෙකුට කියල ඉන්නෙ. ඉතින් ඔයාට දොස්තර මහත්තයෙක් වෙන්න උගන්න ගන්න එපැයි. ඒ හිංදනෙ.
*ඉතින් සිස්සත්තෙ පේල් උනොත් දොස්තර කෙනෙක් වෙන්න බෑද?
*බෑනෙ පුතේ.ඒකට ලොකු ඉස්කෝලෙකට යන්න එපැයි.ඉතින් ලොකු ඉස්කෝලෙකට යන්නනං මෙි විබහගෙ පාස් වෙන්න එපෑයැ.
*ඉතින් අනේ මං ආමි එකටනෙ යන්නෙ.
ඒකට හොදට සෙල්ලං කරන්නෙපැයි අප්පා.
*මෙන්න මෙහෙ කට පියාගෙන දුන්නු ගනන් ටික හදපං. පංඩිතය නොවී.යන්ඩ ආමි.. පලකො නේවි.ඒ අම්ම මාව යටත්කර ගන්න විදිය. මාත් ඉතින් හනසු පාරට බයේ කොහොම හරි දෙන වැඩටික ඉවර කරනවා. ඊට පස්සෙ තමා සෙල්ලං කරන්න යන්නෙ.
ආයෙ රෑට ඉස්කෝලෙන් දෙන ගෙදර වැඩ. මං පොඩි කාලෙනං ශිෂ්‍යත්ව විභාගය දෙමව්පියන්ගෙ විභාගයක් වෙලා තිබුනෙ නෑ. තියෙන්න ඇති.ඒත් මට නෑ. කිසිම දවසක අමතර පංති ගිහින් නෑ. රෑට රෑවෙලා ටෝච් එලියෙන් හුලු අතු එලියෙන් පංති ඇරිල ගෙදර ඇවිත් නෑ. නිදි මරාගෙන පාඩම් කරල නෑ. ඒත් හොඳට සෙල්ලමුත් කලා. සෙනසුරාදට ඉරිදට නිදැල්ලෙ ඇරපු හරක වගෙ තමා. කොච්චර වැඩ තිබුනත් කොච්චර විභාග තිබුනත් උදේ ඉරපායනවත් එක්ක ගෙදරින් ගියාම ආපහු එන්නෙ ඉරගලත් වැටුනට පස්සෙ.ඒකටම හරියන කොල්ලො නඩයක් තමා මටත් හිටියෙ. යකඩ මහත්තයා එකම පන්තියෙ අවුරුදු දෙකක් . හේමන්ත දෙකක්, උපුල් සහ කපිල ත් ඒ වගෙම පේල්. මං පේල් නූනෙ කොච්චර නැටුවත් තාම විෂයකට ලකුනු ටිකක් සැරට වැටුනු හංද.. හැබැයි මට හැම විෂයකටම හොඳටම ලකුනුත් තිබ්බා. කොහෙන් පිහිටලද මංද.
ඒ වුනාට ශිෂ්‍යත්ව විභාගෙ ලියන්න යන්න සතියකට කලිනුත් හොඳට ගුටි කාල හිටියෙ. ඒ ගොනික වැල් හොයන්න කියල කැලේ වැදිල ගොම්මනත් වැටුනට පස්සෙ පෝට වැල් මිටියකුත් අරං ගෙදර ඇවිත්.
එදා අම්මගෙ කකුල පෙරලිලා.ගැලවෙච්චි ගලකට අඩිය තියල ලිස්සල. මං අම්මට මගේ පනටත් වඩා ආදරෙයි. එයාට මොනවා හරි උනොත් මට මුලු ලෝකෙම නැතිවුනා වගෙ. මට මෙික කොහොමහරි දරාගන්න බැරි උනා. ඒ දවස්වල උනත් මං හොඳට ගහකොල අඳුරනවා. ගහක කොලයක් කඩල කොලේ හැඩෙි නැතිවෙන්න ඉරල කොල කෑල්ලක් අතට දීල ගහේ නම කියන්න කිව්වොත් ඒ කොල කෑල්ල පොඩි කරල සුවඳ බලල ගහේ නම කියන්න පුලුවන් මහ කුරිරු හැකියාවක් ඒක. ඔිනම ගහක් කොලක් වැලක් සිංහල බෙිතට අවශ්‍ය පැලෑටියක් බෙහෙතකට පොත්තක් ගන්න ඔින වෙන ඔිනම ගහක් තියෙන තැන ටක්කෙටම කියන්න පුලුවන් ආං අතන තියෙන්නෙ කියල. ඒකනං මගෙ වාසනාවට පිහිටපු දෙයක්. මොකද අවුරුදු ගානක් හිටියෙම උදේ ඉදන් රෑ වෙනකං කැලේ. ඒ වගේම ගමෙි ඔිනම ගහක් තියෙන තැන් මං දන්නවා. මං විතරක් නෙමෙි අපේ නඩෙි ඔිනම එකෙක්ගෙන් ඇහුවත් කියයි. ඒ තරං.
ඉතින් මං අම්මට ගොඩක් ආදරේ හිංද අම්මගෙ කකුලට හරියන බෙිතත් ගොනිකාවැල් කියල මං දැනන් උන්නා. පස්සෙ අම්මටත් කියල ටක් ගාල හොයාගෙන එන්නං කියල ගෙදරින් ගියේ දහයට විතර.
ඒ ගිහින් කන්ද උඩට නැගල හූ දෙක කියන කොට ඒ සද්දෙ ඇහෙන හැම එකාම ඉන්න ඉන්න තැන් වලින් හූ කියන්න පටන් ගත්තා. පස්සෙ අපි ඔක්කොම එකතුවෙලා ගියා කැලේට. කැලේට රිංගපුවම පුරුදු ගතිය වෙනස් වෙන්නෑනෙ. එක පාරක් සෙල්ලං කරල යමු කියල කතාවෙලා පටන් ගත්තා සෙල්ලම. ඒක ඉවර වෙනකොට කොස් ගහේ. එදා වැලගෙඩි දෙකක් තිබුනා. දෙකම කෑව. මොකද සතියකින් විතර අපි තිප්පොලට ගිහින් තිබුන්නෑ. සමහර වැලගෙඩි කලවැද්දො උගුඩුවො වවුලො කාල. තව එකක් වඳුරො කාල. කොහොම හරි කන්න පුලුවන් තත්තෙ තිබුනෙ දෙකයි. ඒ දෙකමත් කාල බඩත් පිරුනට පස්සෙ ආයෙ එක සෙල්ලමක් කලා. ඒක ඉවරවුනාම කුරුම්බා. ඔහොම ඔහොම කරුවල කිට්ටුවෙලා ගෙදර මතක්වුනාම තමා ආව කාරනේ මතක්වුනේ. එතකොට කැලේට යන්තං කරුවලයි. බොහොම අමාරුවෙන් අපි ගොනික වැල් වෙනුවට ගහක් පතුරු ගහල ගහල පෝටා වැල් ගොන්නක්ම ගලෝගත්තා. මෙි දෙකම එක වගේ. මං හිතුවෙ අම්ම අදුරන්නැතිවෙයි කියල. අනික හිස් අතින් යන්නත් බෑනෙ. ඔය විදියට ගලෝ ගත්තු වැල් පොදියම රෝල් කරල රෝල් කරල ඒකත් උස්සගෙන ආව ගෙදර. ඒ ගෙදර එනකොට අම්ම වයින් වෙලා.
*කොහෙද බූරුවො වල් වැදුනෙ. මං මෙහෙ පපුවෙ ගිනි ඇවිලිලා බලං ඉන්නව ගෙදර එනකං. තෝ කන්ඩවත් ගෙදර ආවද. ගොනික වැල් අරං ටක්ගාල එනව කියල ගියපු එකා නේද මෙි දෙයියනේ..ඈ බොල. ඉනටත් අත්දෙක තියාගෙන අම්ම පටන් ගත්තෙ.
*ඉතින් අනේ ගොනික පල්ලෙහාමයි තිබ්බෙ.ඒකයි රෑවුනේ. ංආ මෙන්න කියල ගහයි කියන බයට ඉස්සෙල්ලම වැල්ටික අම්මට දික්කලා. ඒත් ඒව දිහාවත් බලන්නැතුව.
*තෝ පෝටවැල් කැලයක් උස්සන් ආවෙ මං හරකෙක් කියල හිතුවද.ඈ බූරුවො.
කියල පැන්න ගමන් මගෙ අතින් අල්ලගෙන කොන්දටයි පස්ස පැත්තටයි අමු අමුවෙ පහරවල් කීපයක් අතෑරියා. මාත් නිකන් හිටියෙ නෑ.
*පවු කියල ගියෙ ගොනික ගේන්න.ආයෙ කවදාවත් ගොනිකා තියා මොකවත් ගේන්නැ. ගේන්න කියන්ඩත් එපා.තාත්තටත් කියනවා මං කිව්ව කියල.
*අනේ උඹෙි චංඩි කං.මට උඹෙි ගොනිකත් එපා.උඹවත් එපා.
පලයං ගිහින් නාං වරෙන්. අද එලිවෙනකං තොට ඉස්කෝලෙ වැඩ.පලයං ඉතින් කිව්වම අහල.
කියල කොර ගගහ ගෙට ගිහින් මගෙ මඩම මඩ පාටට හැරිච්චි සුදුපාට ටවල් එක ගෙනත් මූනට දමල ගැහුව.
*පනිට්ටුවයි සබං කෑල්ලයි ලිඳ ලඟ.එතනින්ම තියල එනව තාත්තටත් නාගන්න කිව්වා.
මාත් වැඩිය සද්දෙයක් නැතුව තාත්තත් එන වෙලාව කිට්ටු හිංද හීං සැරේ ගිහින් නාගෙන ගෙට ගොඩ වුනා. ඒ එද්දි නංගි මඩක්කුවට සිරිපාදෙ වගේ හෙන බත් කන්දක් බෙදාගෙන අඩිය අගලට තල තල හිටියෙ. අක්කත් නෑඹිලියට බෙදාගෙන. ගෙදර කොච්චර පිඟන් තිබුනත් අම්ම බෙදුවොත් විතරයි පිඟන් වලට බෙදන්නෙ. ඒ දෙන්න බෙදාගත්තොත් තමා ඔිවට බෙදා ගන්නෙ.ඒ තරමට පිඟානක් අරං බෙදාගන්න තියෙන තියෙන කම්මැලි කම. ලිප ගාවට කෑම බෙදාගන්න යද්දි එතන තියෙන්නෙ ඇතිලියද්ද මුටිටියක්ද මඩක්කුවක්ද නෑඹිලියක්ද ඒ තියෙන එකට තමා බෙදාගන්නෙ. කොච්චර කිව්වත් ඉතින් මාත් එහෙම තමා. මම නං කරමූඩියටත් බෙදාගන්නව ඉතින්.
එදා රෑ දහය විතර වෙනකං නිදි කිර කිරා ගණන් හැදුව. එකක් ඉවරවෙනකොට එකක්. ඒක ඉවර වෙනකොට තව එකක්. කොහොම හරි දෙන දෙන ප්‍රශ්ණෙ නිදිමතේම හැදුවා
ඒක නැවතුනේ ඇස් දෙකෙන් බෙිරෙන නින්ද කඳුලු වලින් පිටවෙලා තාත්තත් අම්මට සැර ටිකක් දැම්මටත් පස්සෙ.
(මතු සම්බන්ධයි)
රුවින් පමුදිත යද්දෙහිආරච්චි
2020.05.16
Labels:
මගේ කතා
Subscribe to:
Post Comments (Atom)
5 වෙනි කොටස පරක්කුද මංදා.......😊😊😊
ReplyDelete