Monday, May 4, 2020

මඩකලපුවෙ වෙසක් තොරණ බලපු හැටි

ඔයාලා දන්නවාද ජීවත්වීමට තවත් අවස්ථාවක් ලැබීමේදී දැනෙන ෆීලින් එක කෝමද කියල.ඉන්න මං කියන්නං.

අමිහිරි මතක 01.

මෙි 2000 අවුරුද්ද.  මං එතකොට මඩකලපුවෙ තානායම් කදවුරේ රාජකාරි කලේ.
මෙි අවුරුද්දෙ වෙසක් එකට අපේ බළසේනාව විසින් වෙසක් නිර්මාණ තරඟයක් සංවිධානය කලා. මෙිකට ත්‍රිවිධ හමුදාව,පොලිසිය,එස්ටීඑෆ් එක සහභාගිවීම අනිවාර්ය වුනා. මෙි තරඟය තිබුනෙ වෙිබර් ග්‍රවුන්ඩ් එකේ. ඒක විශාල ග්‍රවුන්ඩ් එකක්.

ඉතින් අපිත් මෙිකට සහභාගි වුනා. මොකද යුධ හමුදා සාමාජිකයන්ට වෙනම නියෝගයක් දීල තිබුනා සෑම කඳවුරකින්ම හා බළසේනා කඳවුරේ පමණක් සෑම අංශයක්ම නියෝජනය වන පරිදි එක් නිර්මාණයක් අනිවාර්යයෙන් ඉදිරිපත් කල යුතුයි කියල. අපි මෙිකට හැදුවෙ අංගුලිමාල දමනය.

මෙිකට මූලිකත්වය ගත්තෙ අපේ උපකරණ ගබඩාවෙ අපි සෙට් එක. බර කරගහල ඇද්දෙ susantha bandara , Layanal Vithanage, මම සහ තව කීප දෙනෙක්. ඔයාල දන්නවද කියන්න සතුටුදායකම දේ. ඒ තමා අපිට වඩා නිර්මාණ කුසලතාවය තිබුනේ නිර්මාණාත්මක චින්තනය හොඳටම පිහිටල තිබුනෙ ක්‍රිස්තියානුවෙකුට. ඔහු නමින් සැරයන් ෆිලීෂියන්. අවශ්‍ය උපදෙස් සහ මගපෙන්වීම..අරක අරහෙම කරන්න මෙික මෙහෙම කරන්න ආදී සෑම දෙයක්ම බර තමන්ගෙ දෙවුර මත තියාගෙන තරඟය එළිදක්වන අවස්ථාව දක්වාත් එය අවසන්වන ⁣මොහොත දක්වාත් අපි පිටිපස්සෙන් හිටිය. බුද්දාගං කාරයොවුනු අපිට අමතක දේවල් ඒ ක්‍රිස්තියානි සැරයන්ට හොඳට මතක තිබුනා.හොද දැනුමකුත් තිබුනා.
ඉතිං අපිට අපි ගැනම සමහර අවස්තාවලදි ලැජ්ජාත් හිතුනා.

අපි මාස එකහමාරකට විතර කලින් තමා මෙි ගේම් එකට සූදානම් වුනේ. බුදු හාමුදුරුවොත් අංගුලිමාලත්,අංගුලි මාලගේ මෑණියනුත් අපි ජීවමාන උසට ජීවමානව ඉන්නව වගේම හැදුවා.පාප්ප පත්තර පිදුරු අපේ පරණ යුනිපෝම් ෂර්ට් කලිසම් මෙි සඳහා උපයෝගී කර ගත්තා. තාත්වික ස්වභාවික විදියටම අපි මෙි සෑම දෙයක්ම නිර්මාණය කලා.
පලවෙනි ත්‍යාගය රුපියල් දහදාහක්
දෙවන ත්‍යාගය හත්දාස් පන්සීයක්
තුන්වන ත්‍යාගය පන්දාහක්.

මෙිව නිරිමාණය කරල ග්‍රවුන්ඩ් එකටත් අරං ගිහින් අපිට වෙන් කරල තිබුන ඉඩකඩෙහි අපි හට් එකක් ගහල එතන භූමියත් නිර්මානය කලා. ඇත්තටම ලස්සනයි. අපි කෘතීම වැස්සක් හැදුව එස්ලෝන් පයිප්ප යොදාගෙන.
අංගුලිමාලගේ අම්මටත් අංගුලිමාලටත් කකුල් වලට රේසර් දාල ඒව ඇත්තටම ඇවිදින විදියට හදල තිබුනෙ. ඇවිද්ද වන්න අපි යොදාගත්තෙ නයිලෝන් ලනු.සිල්පර දෙකක ඒ දෙන්න රඳවල ඒකෙ ලී වලින් පිට පනින්නැතුව ඉස්සරහට පස්සට යන්න පුලුවන් විදියට හදල තමා කකුල් වලට රේසර් දැම්මෙ. නමුත් මෝටර් නෑ. මැෂිමකින් තමා මෙි අය දුවන්නෙ.
අපි අපේ ඇඩ්මින් ඒරියා එක කලු ඉටිරෙදිවලින් කවර් කරල ඒ අයිනෙන්ම මෙිසයක් තියල මෙිසය සම්පූර්ණයෙන් වැහෙන්න ඉටිරෙද්දකින් ආවරණය කරල ඔය මෙිසෙ යට තමා මැෂිම තිබ්බෙ. ඒ මැෂිම මමයි තව තුන්දෙනෙකුයි.. අපිට කරන්න තිබ්බෙ ඒ අනුරූ දෙක  පිටතට  නොපෙනෙන්න ඉඳගෙන ගැටගහල තියෙන නයිලොන් ලනුවෙන් විනිශ්චය මන්ඩලය ආවට පස්සෙ හිමීට හිමීට මෝටරයකින් දුවනව වගේ ලනුව බුරුල් කරන්න විතරයි.පිලිමවල බරටයි ඉස්සරහ පල්ලමක් විදියටයි හදලතිබ්බ නිසයි පිලිම දෙක ඉස්සරහට එනව. ඒක ප්‍රවෙිශමෙන් කරන්න ඔින.අපි පෙරහුරුවිමී කීපයක්ම  කරලත් තිබ්බෙ..

අපි ඒක මෙහෙම වචන වලින් කියන්න බැරි තරම් ලස්සනට නිර්මාණාත්මකව ඉදිරිපත් කලා..

දැන් මෙතන වැඩ ඉවරයි.වෙසක් දිනය උදාවුනා. අපි පුලුවන් තරම් වෙිගයෙන් වැඩ අවසන් කලා. මොකද බළසේණාධිපතිතුමා පනිවිඩයක් කියල තිබුනා කැමති කට්ටියට මඩකලපුව මංගලාරාමෙට ගිහින් ⁣මල් පහන් පූජා කරල එන්න කියල. ඒ ගමනට අපේ බස් රථයක්,ආරක්ෂක මුරයක් පවා ලබා දුන්නා.

ඔයාලා දන්නවනේ මෙි කදවුරේ කාන්තා සෙබලියනුත් ඉන්නව කියල.මං කලින් කථා කීපයකම ඒ ගැන සඳහන් කලානෙ. මාත් හෙන කැමැත්තෙන් මෙි කටයුත්තට සහභාගි වෙන්න අදහස් කලා. මොකද ගැහැණු ලමයින්ටත් යන්න අවසරය ලැබිල තිබුනු හිංද.
මං මෙි දවස්වල රසනිට බැහැල ට්‍රයි හොඳේ.
මං ටක් ගාල ආව බිලට් එකට.ගත්තා කාන්තා භඨ නිවාසෙට කෝල් එකක්.
*ගුඩු ඊවිනින් වුමෙන්ස්කෝ බිලට් සර්..
*හෙලෝ මං ආරච්චි..රසනි ඉන්නවද
*රසනි හිටියා.ඒත් දැනටනං බිලට් එකේ නෑ. කෝකටත් පොඩ්ඩක් ඉන්න බලන්න.
ආන්සර් කරපු කෙල්ල ගියා රසනි හොයන්න.එයා මගේ ඇමතුමට සම්බන්ධවුනා කොහොමහරි.
*හෙලෝ රසනි කතා කරන්නෙ..රුවින් ඇයි..
*හවස පන්සල් යන්න කිව්වලු කැමති අයට.බස් එකක් දෙනවලු.ඔයා යනවද.
*බලන්න ඔින.ඩියුටිනං බෑ.ඩියුටි නැත්තං යනව.
මං ඩියුටි බලල කියන්නද.ඩියුටි නැත්තං යනවනෙ.නේ??
*ඔි.. (මෙි කාලෙ මට මෙයා කැමැත්තෙන් හිටියත්  ගනන් උස්සන කාලෙ හොඳේ)
මං කෝල් එක කට්කරල ගාඩ්රූම් එකට ආපහු කෝල් එකක් ගත්ත මෙයා ඩියුටිද බලන්න.
අම්මට සිරි එයා ඩියුටි. දැං මොකෑ කරන්නෙ.
එයාලගෙ හිටියා සැරයන් හේමන්ති කියල කෙනෙක්.මට හෙන ආදරෙයි.පාරෙ ගියත් මං බිලට් එකේ ඉන්නවද කියල නිකන් හරි එබිල බලල  යන්නෙ.කන්නත් මොනා හරි තිබුනොත් අනිවාරයෙන්ම දීල යන්නෙ.(අන්නේකනෙ කියන්නෙ..වල්කම නෙමෙි..මට වඩා ගොඩක් වැඩිමල්.මං අක්කෙ කියලත් කතාකරන්නෙ තනියම හම්බුනාම.එයා අපේ ⁣සෙට්එකේම පෙරේරා කියල කෙනෙක් බැදල හිටියෙ)
මං එයාට කිව්වා සීන් එක.මොකද එයා තමා එදා මුරපති හිටියෙ එයාලගෙ. එයානං එවන්නං කිව්වා රසනිව පංසලට.ඒත් මෙි කෙල්ල කැමති නෑ ඩියුටි ඉද්දි පංසල් යන්න.
දැං මං නාහෙනුත් අඩනව යම යම පංසල් කියල.බෑම කිව්වා.
ඊට පස්සෙ තෝ ඔින බම්බුවක් ගහගං  මං තනියෙන් යනව පංසල් කියල මං ලෑස්තිවුනා තනියෙන් හරි පංසල් යන්න.
 මඩකලපුව පංසලේ ඒ අවුරුද්දෙ තොරණක් ඉදිකරල තිබුනා. අඩි පනහක් හැටක් විතර උස එකක්.ලස්සනට හදල තිබ්බා.

හවස පහට පංසල් යන්න මාත් නාලා කිට් එකත් ඉර තියල අයන් කරගෙන ඔක්කොම ලෑස්ති කරගෙන ගියා පංසල් යන්න. දන්නවනෙ ඉතින් ආමි එකේ වැඩක් අතගැහුවොත් ආයෙ ලේසියෙන් ඉක්මනක් නෑනෙ.එන එන එකා උන් උන්ට ඔින වෙලාවල් වලට තමා එන්නෙ.
කොහොම හරි ලාහට ගෙම්බො එකතු කරනව වගේ බොහොම අමාරුවෙන් කට්ටිය එකතු කරගත්තා. බැලින්නම් එදා යන්නෙ වැඩිපුරම කපල්. බැඳපු අයයි බදින්න ඉන්න අයයි.
බොහොම  අමාරුවෙන් මාත් හිත හදාගත්ත.මෙි අවුරුද්දෙ නැතත් ඊලඟ අවුරුද්දෙ හරි යනව කියල. පහයි තිහට විතර අපි පිටත් වුනා. බස්එක අදින්න ඔන්න මෙන්න කියල අවසාන මොහොතෙ අවසාන තත්පරේ මගෙ කෑල්ලත් තව එකියක් ඇදගෙන ඉක්මන් පයින් එනව දැක්කා සෙනෙහෙ යන්තරේට නගින්න පංසල් යන්න.(මෙිකිගෙ අප්පට,,,මං පුට් බෝඩ් එකට එකක කකුලක් තියාගෙන අනික බිමින් තියාගෙන හොරෙන් බල බල හිටියෙ මෙයා ඒවි වද්ද කියල.)... අම්මටසිරි මට නේද..අම්මෝ.ඉතිං ඈ...☺️☺️☺️☺️😍😍😍.ඒ පීලිං එක දැනෙන්නෙ මාගේ උගත් නූගත් මිත්‍රවර්ණි මං වගේ අසරණවුනු පොරකට විතරයි.😁😁😁😁හොඳේ. ඒත් මං ඒකිටත් ඇහෙන්න කෝපල් ඒකනායකට...කෝපල් ඒකා... ඔක්කොම හරේ...යාං...රායිට්.. කියල හයියෙන් කෑ ගැහුව මාත් නගින ගමන්ම...මුං දෙන්නට ඒක ඇහිල හයියෙන් දුවල ආව බස් එකට නගින්න.එතකොට කෝපල් ඒකනායක(බස් එකේ රියදුරා) බස් එකට නැගල හිටියෙත් නෑ. මෙයා ඔික දැකල මගේ උරහිසටත් එකක් ඇනගෙන ගිහින් වාඩිවුනා.

මං එහෙමනං ආයෙ ඔිකි ලඟින් ඉදගන්ඩ යයි. ආයෙ මොකටද නිකන් මෙි පච්ච පඩංගු ඉසකුඩිච්චියකට සෙකන්ඩ් වෙන්නෙ.මගෙ බල්ලවත් ඔිකි දිහා හැරිල බලයි සෙද්ද ආයෙ..බෑ කියල මගුලටද දන්නෑ පංසල් යන්න ආවෙ... කියල ඔිගොල්ලො හිතුවට මට එහෙම ඉන්න බැරි උනා..මං ගියා නැගපු ගමන් එයැයි ලඟට. (එයැයි මෙයාතුලගෙ ⁣ප්‍රාන්තෙමයි හරිය)

අපේ අතින් අත අල්ලගෙන  ගියෙ නෑ.කව්රුත්.මොකද එයාල ආදරවන්තයො උනත් දකින සිවිල් සමාජය දන්නෑනෙ මෙහෙම රෙද්දක්.ඉතින් අපි එකිනෙකා මීටරේ දුර පරතරය තියාගෙන ගියා පංසලට. පංසලටත් මහා දුරක් නෑ.උපරිම කිලෝ මීටර එකහමාරයි. අපි ඇතුලට ගිහින් සුද්ධ පවිත්‍රකලා.බෝධිය හේදුවා.නෑව්වා.පහන් සුවඳදුම් මල් පූජා කලා.පිරිකර පූජාකලා. ගාථා කිව්වා.අනික් අය පංසල ඇතුලෙ හිටියෙ අතින් අත අල්ලගෙන.මොකද අපේ හාමුදුරුවො දන්නව අපේ කපල් කපල් තමා  ගොඩක් ආවෙ කියල.අනික් උන් හදවත ගැඹුරින් බුර බුරා නැගෙන්නාවු සෙනෙහස් ගඟුල නැමැති උල්පතේ ආදර දිය කදම්භයන් උතුරා ගලා යද්දී ඒ ප්‍රේම දිය දහරාවෙි තෙමෙමින් එකි නෙකා  දෑඟිලි පටලාගෙන බෝධින් වහන්සේ අභියස සිට ආගම දහම සිහිකරද්දී  මං මගේ අර කේප්ප වැස්සිට පරතරය තියාගෙන  මෙහා පැත්තෙන් ගාථා එහෙම කියල හිමින් සැරේ බස් එකට ආව.(එයා කිසිම අනුකූලතාවයක් දැක්වුවෙ නෑ මං අනික් අයවගෙ එව්ව මෙව්ව කරනවට)මටනං පැය බාගයක් ගියෙ නෑ ඔය ඔක්කෝම කරන්න.

හතටත් කිට්ටුයි. ඔය අස්සෙ අයිස්ක්‍රීම් කාරයෙකුත් පුස් සයිකලයක් පැදගෙන ඇවිත් බස්එක කෙලින්ම බස්එකට වම් පැත්තෙන්  කඩෙිකට හේත්තු කරල නවත්තල තියෙනව දැක්ක.. අපි අයිස් ක්‍රීම් කනවද කියලත් කතාවෙලා හවස නිසා නිකං හිටියා. තොරණ එහා පැත්තෙ.අපිට ඉස්සරහින්ම. ඒක අටට පටන් ගන්නව.

හය හමාර වෙනකොටත් මං බස් එකේ..තනිකඩ අපි දහදෙනෙක් විතර බස් එක ඇතුලෙ හිටියා. ඒ ඉන්න අතරෙ මං බැලුවෙ පන්සල දිහා. අරය ඒවි ඒවි ඒවි කියල. මුං යකෝ කනාවට ලැබිච්චි චාන්ස් එකෙනුත්  උපරිම ගන්නනෙ හදන්නෙ. මං බැස්සා බස්එකෙන් මුං තව රෙද්දක් කරනවද යන්නැතුව ඉන්නෙ බලන්න.

*ඒ රාජා වරෙන් පංසලට ගිහින් බලන්ඩ.අද අරුං යන්නැද්ද දන්නෑ.
රාජපක්ෂය බැස්ස.
*හිටහං මාත් එනවා. තව එකෙක් බැස්සා.
මගේ යුනිට් එකේ ලා/කෝ කපිල රත්න,ඉමාම්,ලා/කෝ කුලතුංග බ්‍රිගේඩ් එකේ ල/කෝ රාජපක්ෂ(මෙි වෙන කෙනෙක්) රුවන් කුමාර බස් එකේ රියැදුරා ලා/කෝ ඒකනායක නැවතුනා.බැස්සෙ නෑ.ලා/කෝ ඒකනායක ඩ්‍රයිවින් සීට් එකේ ඉඳගෙන දකුණු පැත්තට බරවෙලා වම් අත සීට් එක උඩින් දාගෙන ඔලුව බස්එකේ ඇතුලට හරෝගෙන අපිත් එක්ක කයිය ගගහ හිටියෙ. මායි රාපක්ෂයි සත් කුමාරයි තව එකෙකුයි බස් එකෙන් බැස්සේ අරගොල්ලො පරක්කු ඇයි බලන්න.
අපි පංසල ඇතුලටත් යනකොට කට්ටිය කයිය.සමහරු තාම ගාතා කියනව.සමහරු ලව් කරනව.මාත් ගියා රසනිට යම කියන්න..

ඒත් එක්කම......

මුලු මඩකලපුවම හොල්ලමින් දෙදරවමින් මහා විශාල බෝම්බයක් පුපුරා යන හඬ ඇහුනා. කට්ටිය එක පාරටම හොල්මන් වෙලා කතා කරගන්න බැරුව ඉන්නකොට මගේ මොලේ ක්ෂණිකව වැඩ කලා.රාජත් එහෙමයි.අරුන්ට පංසලේම ඉන්න කියල අපි ආපු තුන්දෙනෙක් දිව්ව බස් එකට. මට බස් එක දැක්ක ගමන් පපුව මහ පොලොවට කඩාවැටුනා.කලුපාට දුම්වලාවකින් මුලු බස් එකම වැසී තිබුනා. බස්එක සල්ලඩියක්ම වෙලා තිබුනා. කෑලි වැදිල පසාරුවෙලා බස් බොඩිය තැනින් තැන සුදු පාටට එලියට නෙරා තිබුනා. අපි තුන්දෙනා කෑ ගහගෙන බස් එකට පැන්නා.ඒ පන අදින එකෙක් හරි ඉන්නවද බලන්න. මෙි වෙලාව, ඉතුරු වෙචිචි අපිට අවදානම් කියල හිතුන්නෑ. මං බස් එකට නැග්ග නෙමෙයි.නැග්ගවුනා. කොපල් ඒකනායක හිටපු විදියටම බස් කඳට හේත්තු වෙලා තිබුනා මං හොඳටම දැක්කා.
ඒ සැනින්ම අපේ රයිඩර් ටීම් එකේ කිහිප දෙනෙක් එතනට ආව. ඇවිත් අපිව පංසල ඇතුලට දැම්මා.අපි සිවිල් ඇදුමින් හිටපු හිංද.මට මගේ ආරණිය යාලුවනේ කේන්තිය වැඩිම කමට ටොයිලට් බරකුත් ආව.මාව වෙව්ලනව. අතේ තුවක්කුවක් තිබුනනං ටවුන් එකට මොකකින් මොකක් වේවිද කියන්න බෑ.. වෙලාවට රයිඩර්ස්ලා ආව.ඒත් එක්කම අපේ කඳවුරෙන් ආව. අපි බස් එක ලගට යන්න හැදුවට යන්න දුන්නෙම නෑ.ඒත් එක්කම තව වාහනයක් ඇවිත් අපිව දාගෙන අරං ගියා ඇතුලට. බස් එකේ ඉතුරු වුනු හයදෙනාම... කියා ගන්න බෑ සහෝදරවරුණි. උන්ගෙ ශරීරවලට වෙලා තිබ්බදේ..
අපේ හත් දෙනෙක්..වෙසක් බලන්න ආපු සිංහල සිවිල් වැසියන් 23න්  දෙනෙක්..ලමයි හතර දෙනෙකුත් ඇතුලුව..  70කට අධික පිරිසක් තුවාල.(මඩකලපුව පදිංචි)

අපි කිසිම කතා බහක් නැතුව ඇතුලට ආව.නිකන් හෝන්තු මාන්තු වෙලාවගෙ.මොන වෙසක්ද .මං පහුවදා වෙනකං පැත්ත පලාතෙ ගියෙනෑ. දවසම බුදියෑව...කේන්තිය ඉවර වෙනකං.

මං හිංද තව කොල්ලො තුන් දෙනෙකුත් රසනි හිංද කොල්ලො හතර දෙනෙකුත් බෙිරුනා.
ඒ මං ඒකි පරක්කු නිසා අරුං තුන්දෙනාවත් ඇදගෙන ආපහු පංසලට ගිය නිසා. ඒ වෙසක් සතියෙ ඉඳන්  ඉඳන් අද වෙනකොටත් මං එක දේකින් විඳවනව.අනේ මංදා ඒක කියන්න ගියොත් .....මට අදත් පැදුරයි කෝට්ටෙයි තමා...😁😁☺️☺️

රුවින් පමුදිත යද්දෙහිආරච්චි
2020.04.20

.

No comments:

Post a Comment