Tuesday, May 26, 2020

මුතියන් කට්ටු තොවිලෙ

මෙි සිදුවීම වෙන්නෙ මුතියන්කට්ටු කඳවුරේදි  2010 වසරේ

අපි මුතියන්කට්ටු එල්ටීටීඊ කඳවුර එයාලගෙ ග්‍රහණයෙන් මුදාගෙන යුද්දෙ ඉවර උනාම  භාවිතාකලේ උසස් පාබල කණ්ඩ පුහුනූ පාසැලක් විදියට. ඔිගොල්ලන්ට මතක ඇති යුද්දෙ යන කාලෙ ලමයි හාරසීයක් විතර හිටපු ඉස්කෝලෙකට ගුවන් ප්‍රහාර එල්ල කරල ඒ ලමයි හිටපු ඉස්කෝලෙ හමුදාවෙන් අල්ලගත්තා කියල කතාවක්. ඒක ඒ කාලෙ විපක්ෂයෙනුත් සෑහෙන ප්‍රචාරයක් අරන් ගිය ප්‍රවෘත්තියක්. නමුත් ඒක එල්ටීටීඊ කඳවුරක්. පාසැලක් නෙමෙි. පාසැලක් කියන්න කිසිම සාධකයක් ඒ කඳවුරේ තිබුනෙ නෑ.අඩුම වැසිකිලියක්වත්. ඒ කිට්ටුවම තිබුන අනිත්  කඳවුර තමා  සබ්මැරීන් හදපු කොටි කඳවුර. ඒ උදයාර්කට්ටුකුලම් කඳවුර. මෙිකෙන් බට හිරට වෙන්න ටිකක් චූට්ටක් දුරින් තමා එයාලගෙ ගුවන් කඳවුර ඉරණමඩු රන වෙි එක එහෙම තිබුනෙ.

මෙික අමු මහ කැලෑවක්. එස්එෆ් LRRP ටීම් එකක් මුලතිව් පිහිටි එල්ටීටීඊ කඳවුරක නායකයන් කිහිප දෙනෙකු එලොව යැවීමට ගිය කැලෑ මාර්ගය වැටී තිබුනෙත් මෙි මුතියන්කට්ටුකුලම් වැව හරහා. ඒකත් ඔිගොල්ලන්ට මතක ඇති එයාෆෝස්ලා හෙන ගේමක් දීල විනාඩි පහක ක්‍රියාන්විතයකින් පස්සෙ ඒ එස්එෆ් ටීම් එක බෙිරගත්තෙ මුලතිව් කැලයක් අයිනෙ.ආන් ඒ ටීම් එක.

ඉතින් මං මෙි කතාව සිදුවෙන කාලෙ මෙි පුහුණු පාසැලේ 3 වැනි කඳවුරේ උපදේශකයෙක් විදියට තමා රාජකාරි කලේ. මාව මෙතෙන්ට එව්වෙ අපේ ප්‍රධාන ලිපිකරු තුමා මගේ බෙල්ල කපල. බෙල්ල කපනව කියන්නෙ පලිගැනීමක් කරාය කියන එකට අපේ සංස්කෘතික වචනය. ඒකට පොඩි පොඩි හේතු ගොඩක් බලපාන්න ඇති.

මං ඒ වෙනකොට මූලස්ථාන කණ්ඩායමෙි ප්‍රධාන ලිපිකරු විදියට රාජකාරි කලේ. අපේ මූලස්ථානෙ ප්‍රධාන ලිපිකරු තුමා නොහොත් සීසී මට වැඩ කීපයක් පවරල තිබුනා. ඒවා දවසින් දෙකෙන් ඉවර කරන්න පුලුවන් ඒව එහෙම නෙමෙයි. නමුත් උදේ වැඩෙි පවරල දවල් දෙකට තමා උත්තර ඉල්ලන්නෙ. ඒ වෙනකොට අපේ පරිගණක තිබුනෙ එකයි. ඒකත් මූලස්තාන කාර්යාලයේ. ඒකට අපිට කිට්ටු වෙන්නවත් බැහැ. ඒ තරමට ඒකෙ වැඩ. ටයිප් රයිටරයක්වත් නොතිබුනු මගේ කාර්යාලයේ ලිපි ලේඛන කටයුතු හැමදෙයක්ම මමත් අනිත් ලිපිකරුවන් හතර දෙනත් කලේ සම්පුර්ණ අතින්. හුස්ම ගන්නවත් කෑම කන්නවත් වෙලාවක් නැතුව රෑ එකොලහ දොලහ වෙනකනුත් අපි හුඟක් කැපවීමෙන් අපේ වෘත්තීය ඉටුකලා.  උදේ හයට නැගිටල ටී එකත් බීල මූන හෝදන්නෙත් නැතුව උදේ අට නවය වෙනකං ඔෆීස් එකේ. ඊට පස්සෙ ආයෙ ගිහින් පැය භාගෙන් මූන හෝදල කාල යුනිපෝම් එකත් දාගෙන නැවත ඔෆීස් එකට එන පාර ආපහු යන්නෙ හවස හතරට පහට.ඒ දවල් කෑමට. ආයෙ කාල නාල බේත් දීල ඇවිත් ඉඳගත්තම රෑ මද්දහනක් වෙනකං වැඩ. මෙික අපේ ආර්එස්එම් පවා දැනගෙන හිටියා.ඔක්කොම සීනියර්ස්ල දැනගෙන හිටිය හංද අපි කාටවත් කිසිම වචනයක් කිව්වෙත් නෑ.

 නිදහසේ වැඩ කටයුතු කරගෙන යන්න ඉඩ පහසු සැලැස්සුවත් සීසීට මාව පෙන්නන්න බැරි ගතියක් තිබුනා.  එකක් මගේ පිලිවෙල.වැඩක් බාරගත්තොත් මට බ්‍රයිට් එකට ඒක අවසන් කරන්න තියෙන්න ඔින.අනික ඩෑල්ලෙක.
මට කියන්නෙම "උඹෙි ඩෑල්ලෙක වෙනස් කරගනින් ඈ" කියල.
මාත් කියන්නෙම"ඒව ඉතින් සර් ලබා උපන් හැටි.දිරවන්නැත්තං බලන්ඩෙපා" කියල.

මගෙ තියෙන්නෙම ඩෝන්ට් කෙයාර් ඩෑල්ලෙකක්ලු. හද්දෙයියනේ ඒකට මං මැරෙන්ඩයැ. අනික ඒවගෙ අපත ඩෑල් ලොවෙත් ඉන්නව හැම තැනකම. මට හමුදාවෙ ඉද්දි කියල තර්ජන ආවෙ නැත්තෙ ඇමරිකාවෙන් විතරයි.
අනික් හැම රටකින්ම ආව. අන්තිමට ආවෙ කියුබාවෙන්. සෙද්ද.

ටයිප් රයිටරයක්වත් කම්පියුටරයක්වත් නැතුව දවසකට පෑනක් ඉවරවෙනකං අපි ලියුං හදනව. ලියුම් මැසේජ් කවරින් ලෙටර් වාර්ථා සැකසීම රාජකාරි නියෝගය අපේ තුවාල වෙච්චි මියගිය අයට ඉක්මනින් සාධාරනයක් ඉටුකරන්න මූලික පරීක්ෂණ උසාවි නිගමන (හමුදා) පිටපත් පවා ලිව්වෙ ඇඟිලි වල දිය පට්ට එනකං අතින්. අපේ වැඩ කිරීමෙි වෙිගවත් බවට උන්දැ වැඩියම බය වෙලා හිටිය කියල බය නැතුව ඔින තැනක කියන්න පුලුවන්.  ඊට අමතරව මං වෛද්‍ය සහායකයෙක් විදියටත් මෙි අස්සෙ කටයුතු කලා. උනට,කොන්දෙ අමාරුවට,කකුලෙ අතේ පයේ වගේම හිසේ ඇම්මට අරකට මෙිකට අරකෙ අමාරුවට බෙිත් ගන්න එන අයට බෙිත් දෙන්න යන්නත් ඔින.ඒ අස්සෙ මෙි වැඩත් කරන්න ඔින. මං අවුරුද්දක මෙඩිකල් කෝස් එකක් කරල ඒකෙනුත් එකසිය අසූවකින් "එක" වෙලා හිටියෙ. (උසස් පෙළ සමත් වෙලා තිබ්බනං මගේ දෛවය මීට වඩා ගොඩක් වෙනස් වෙන්න තිබුනා ඒ කෝස් එකෙන්.)
ඉතින් කොච්චර වැඩ තිබුනත් කොච්චර වැඩ කලත් ඔය අස්සෙ මං පැල්මයිරා වලිනුත් සන්තර්පනය වෙන එක අතෑරල තිබුන්නෑ.. ලීටර් එකහමාරේ ස්ප්‍රයිට් බෝතලේකට පැල්මයිරා ස්ප්‍රීතු (තල් අරක්කු.මෙිව එල්ටිටිඊ එකෙන් අත්අඩංගුවට ගත්තු ස්කාගාරයකින් අල්ල ගත්තෙ.මෙිව ගඳ සුවඳින් තොරයි.) එකක්ම දාගෙන ඒකත් මගේ මෙිසෙ යටින් තියාගෙන තොල ගග ගගා තමා වැඩ කරන්නෙ.
ඔිව ටිකක් යූස් කරල ඉන්න වෙලාවක බෑ කියන්න බැරි වැඩකට පුදුකුඩිඉරුප්පු අපේ කම්පැනියකට ගිහින් එන්න  අපේ අණදෙන නිළධාරි තුමාගෙ බයික් එක අරන් ගිහින් ඒක පාරෙ බුදියං හිටපු පඩත්තල එලුවෙක්ගෙ හැප්පිලා මං ගුවන් ගතවෙලා කකුලකුත් අතකුත් ලෙලි ගහගෙන බයිකලෙත් කඩාගෙන කිලෝ මීටර් පහක් විතර කොර ගග ගගහ බයිසිකලෙත් තල්ලු කරං පයින් ඇවිල්ල මංම දැවිල්ලට හූ කියද්දි මංම බෙිතුත් දාගෙන බැනුනත් අහල සීඔි තුමාටත් මූන මුලිච්චි කරන්නැතුව, චුට්ටක් සේප් එකේ ඉද්දි  සීසී ඇවිත් මගෙන් විස්තර වගයක් ඉල්ලුව. ඊයෙ හවස තමා මට කිව්වෙ ලිපියකින්, මෙික දින තුනක් තුල ලබා දෙන්න කියල. ඒත් පහුවදාම ඉල්ලනව.මං බෑ කිව්වා.
පස්සෙ ඒකට කේස් එකක් ගිහින් වචන හුවමාරුවක් ⁣එහෙමත් වෙලා ගිහින් ඒක සීඔිට රිපෝර්ට් කරල.
මට කැඳවීමක් සීඔිගෙන්.
*මොකද්ද තමුසෙට රාජකාරි කරන්න තියෙන්න අපහසු තාවය.මොකද්ද මෙි සී සී කියන්නෙ. .

මං  සම්පූර්ණ විස්තරේ මුල ඉඳන් අගටම  කිව්වා. සර්ට තේරුනා වැඩෙි අසාදාරනයි කියල. සීසීම කට වරද්දගෙන කියල තේරුනා.අනික සීසී ඉල්ලපු විස්තරේ සීඔිවත් දන්නෑ. පස්සෙ සීසීට අම්බානක බැන්න.ඒකෙ ප්‍රතිපලය උනේ මෙයා උප අනි තුමත් එක්ක ඩීල් එකක් ගහල මාව මුතියන්කට්ටුවලට ට්‍රාන්ස්ෆර් කිරීම.

මට නේද දෙයියො නෙමෙි දේව මන්ඩලේම වල්ගා තරු දල්ලගෙන ඇවිත් ආසිරිවාද කරනව වගේ හැඟීමක් ඇතිවුනේ.මොකද මට කෙලවියන් කියල මාව යවපු හැම තැනක්ම මට ලොවෙත් හරිගියා ඇරෙන්න අද වෙනකංවත් කෙලවුනේනං නෑ. ඒ යවපු හැම තැනකම කට්ටියත් අදුරගෙන නිලදාරින්වත් අදුරගෙන එවුන්දැලටත් ජීවිතේ එපා කරවල ආතල් එකේ ඉදල ආයෙ කොහෙන් කොහෙන් හරි කැරකිලා යුනිට් එකට ආවත්, ඒ ඇවිත් මොන තරාතිරමක කෙනෙක් එක්ක පාරට බැස්සත් "අඩෝ ආරච්චියා.. තෝ කොහෑ යකෝ මෙහෙ.. වරෙන් වරෙන් අඩෝ..තෝ දැක්ක කල් හු%@$&තෝ" කියල ආමන්ත්‍රනය කරන්න හමුදාවෙ ඇතුලෙත් ඔිනෑවටත් වඩා කට්ටිය මට ඉන්නව. ඒකම මදිද..පාරක් අයිනෙ වැටිල හිටියත් ඇඩ්‍රස් එක කියල බරබාගෙක පටෝලා හරි ඉන්න තැනකට යවන්න.නැත්තං ඉන්න තැනකට අරං යන්න.

මයෙ අප්පේ කියලවත් නිම කරගන්න බැරි සතුටක්. දෙන දෙයියො ආයෙත් පාරක් හොම්බටම ඇන ඇන "ගනු,ගනු" කියල දුන්නු චාන්ස් එක. මට පත්වීමෙි ලිපිය ගහල අතට දුන්නම අඩු ගානෙ ආර්එස්එම්ටවත් කිව්වෙ නෑ යනව කියල,හවසම අකුලගෙන ගිහින් නැවතුනේ අර කලින් කිව්ව ස්කූල් එකේ. මොකද ඔික කිය කිය ඉන්න ගියානං මට එතනින් ගැලවෙන්න බැරිවෙනව. ඒ හිංද සද්ද නැතුවම ආව.
ඇවිත් දවස් දෙකයි සීඔි දැනගෙන. දැන් හෝ ගාල මෙසේජ් එවනව ස්කූල් එකට ආපහු මාව එවන්න කියල. මං නෙමෙි ගියෙ. සීඔි විසිට් එකක් ආව ඉරිද ස්කූල් එකට අපේ ප්ලැටූන් එකේ කට්ටිය බලන්න.(සතියකට සැරයක් ඉහල නියෝග මත ඉරිදා අනිවාරයෙන්ම අනි තුමා හෝ උප අනිතුමා පැමිනිය යුතුයි)ඒ ආපු වෙලාවෙ මං නිදහසේ සාධාරනව පැහැදිලිව පැයක් තිස්සෙ සර්ට සීසී මට ඊට කලිනුත්  කියපු කරපුව පවා කියල අන්තිමෙිට ඉල්ලීමක් කලා "සර් මාව ආයෙ ගෙන්නන්න එපා සර්" කියල.සීඔි ලුතිතන් කාලෙ ඉඳලම මාව දන්නව. අනේ අපේ සීඔිත් බුදු වෙන්ඩ ඔිනෙ, ආයෙ කිසිම දවසක මාව එවන්ඩ කියල ලියුං ආවෙිත් නෑ. ඒ වෙනුවට සීසීගෙන් එක්ස්පනේසන් කෝල් කලා කියල ඇජුටන් දවසක් කිව්වා.

ඉතින්  මුතියන් කට්ටු  ඉන්න අතරේ සීනීයර් කෝපල් වෙලා හිටියෙ මං. හරි ක්ලාක් කෙනෙක්වත් නොහිටපු කඳවුරේ මං ඒ වැඩයි,මාක් ෂීට් වැඩයි,පුහුනු රාජකාරියි ඔක්කොම පිලිවෙලකට ලස්සනට කරගෙන ගියා. මෙිකට ස්කූල් එකේ ප්‍රධාන උපදේශක තුමා සෑහෙන්න මා කෙරේ පැහැදිලා හිටියෙ. මොන දහදුරා වැඩෙි කලත් මං පිලිවෙලට තමා ඒකත් කරන්නෙ.

 මෙි කාලෙ කැලේ මැද්දෙ තිබු අපේ ස්කූල් එකේ මැලේරියාව හැදුනු කෙනෙක් හමුවුනා. මං සික් රිපෝර්ට් එක බලපුවම තමා දැනගත්තෙ. ඒකත් අල්ලපු කඳවුරේ මෙඩිකල් ඔන්ලිට කියල නැවත තහවුරු කරගෙන සීඅයිට (CHIEF INSTRUCTER) කිව්වම වහාම එයාව යුනිට් එකට යවල සතිය ගානෙ මුලු කෝස් එකටම මැලේරියාව වලකන බෙිත් දෙන්න ඒව අරං ගෙනාව.ඒව පෙති දෙකක් සතියකට දෙනව එක්කෙනෙකුට මැලේරියාවෙන් වැලකෙන්න. මෙිවා අමු තිත්තයි. හිස්බඩ බිව්වොත් වමනෙත් යනව.
මෙි කඳවුරේ හිටියා ඔක්කොම හයසීයක් විතර. ඔහොම ඉන්න අතරේ එක දවසක් හෝදල වැලේ දාපු මගේ අලුත්ම යුනිෆෝම් එකක් නැතිවුනා. කමහ් නෑ නැති එකෙක්නෙ ගත්තෙ කියල හිත ගත්තා. ආයෙ දවසක් මගෙ කම්බෑට් ටීෂර්ට් එකක්. බූට් දෙක, අන්තිමෙිට නෙට් එක.
අනික්ව ඉවසගෙන හිටියත් නෙට් එක උස්සපු එකටනම් මට මලපැන්නා. මෙි කැලේ මැද්දෙ හවස හය වෙනකොට මාර මදුරුවො කැටියක් ඉන්නෙ. මෙිව හොරෙන් අරන් නෙමෙි.කව්රු හරි නොකිය අරගෙන. මං කිව්ව කිව්ව ගෙනත් තියපියව් කියල.ගත්තු එකෙක්වත් ඇහුවෙම නෑ. ඔය කාලෙ මගේ දත්බෙිත් සිග්නල් එකත් එන්න එන්නම දවසගානෙ වෙිගයෙන් කෙට්ටුවුනා. සබන් කෑල්ල දියවුනා. ඒත් සද්ද නැතුව හිටියා. ඒත් දරාගන්න බැරි විදියට එද්දි මට මල පැන්න. උපායක් කල්පනා කලා.
දත්බෙිත් එකටයි සබන් වලටයි ක්ෂණික පිලියමකින් බෙිත් කලා.

එදා මං ඔෆීස් එකට ගියෙ මැලේරියාවෙන් වැලකෙන පෙති පහක් විතරයි සිග්නල් එකයි සාක්කුවෙ දාගෙන. ඒ ගිහින් කාටවත් පේන්නැතිවෙන්න පෙති ටික හොඳට කුඩු කරල කූරටෙිකින් ඔක්කොම ටික සිග්නල් එක ඇතුලට දාල කලවං කරල මූඩිය වැහුව. මෙි බෙිත් මාරම තිත්තයි. ඒ තිත්ත දවසකටවත් කටෙන් යන්නෑ. මෙි තිත්ත හින්දම බෙිත් දුන්නට කොල්ලො බොන්නෙත් හෙන අකමැත්තෙන්.ගොඩක් කරන්නෙ බොන විදියට අරං හොරෙන් විසි කරන එක. ඒ හිංද පෙති දෙන දවසට නිලදාරියෙකුත් ඉස්සරහ තියාගෙන තමා පොවන්නෙ. ඒ තරමට තිත්තයි.
මාත් වෙන සිග්නල් එකක් කැන්ටිමෙන් අරන් අරක සද්ද නැතුව තැනින් ගිහින් තිබ්බා. පහුවදා පාන්දර පහයි හතලිස් පහට හොරා මාට්ටු. ඒ අපේම එකෙක්. ඌ සද්ද නැතුව උ⁣ගේ එක වගේ මගේ එක අරං බුරුසුවට තලියක්ම මිරිකගෙන මූන හෝදන්න ටැංකිය ගාවට ඇවිත් දත්බුරුසුවත් තෙමාගෙන දෙපාරයි ඇවරිය දිගේ අහට්ට මෙහට්ට කලේ... ඔික්: ඔික්:😊😊😊😁😁😁

*මොකෑ උට්ටො වමනෙ දාන්නෙ.හිටලද තොට.😁😁😁. මං ඇහුවෙ.

*නෑ කෝපල් අද මගේ සිග්නල් එක මාර තිත්තයිනෙ. කටින් එකයි කෙල මුගෙ.

*ඈ බොල ගස්ගෝනො. ඒ තොගේ එකද මගේ එකද. අන්න පස්සෙ තමා ඌටත් මීටර් වුනේ උනේ මොකද්ද වෙලාතියෙන්නෙ කියල.

එයා වැඩිවයසින් මල්වර වෙච්චි ගෑනු දැරිවියක් වගේ ලැජ්ජාවෙන් බිම බලාගත්තා. ආයෙ කවදාවත් මගේ සිග්නල් එක කෙට්ටු උනේවත් සබන් එක දියවුනේවත් නෑ.
ඒත් අනික්වා නැතිවුනු එකට මට මල පැනල හිටියෙ.
ඒ මදිවට අනික් කට්ටියගෙනුත් හැමදාම කම්ප්ලෙන් අරක නැතිවෙලා මෙික නැතිවෙලා කියල..

මං දවසක් දීල තිබ්බ මුලු පාඨමාලාවටම ගත්තුව හොරෙන් හරි වෙනත් මාර්ගයකින් හරි ඒව අයිතිකාරයන්ට ලැබෙන්ඩ සලස්සන්න කියල. ඒත් කිසි කෙනෙක් ගනන් ගත්තෙ නෑ. ඒ අස්සෙත් තව උපදේශකයෙක්ගෙ බූට් දෙකක් ආගිය අතක් නෑ.
ඒකටත් මං හොඳ සෙල්ලමක් සෙට් කරන්න ප්ලෑන් කරා.
මෙි ස්කූල් එකේ අය නාන්නෙ වැවෙන්.වැවට යනපාරෙ තියෙනව පුල්ලෙයාර් කෝවිලක්. ඒක පොඩී. ඒවුනත් අපි මලක් හදුන්කුරක් එහෙම දිනපතා හවසට මෙතන පත්තු කරනව. නිවාඩු ගිහින් එන අය දුම්මල තුන්නූරු අරව මෙිව ගෙනත් මෙතනින් තියල තියෙන්නෙ. මොකද අපි නිවාඩු දවස්වලට බුදු බැදුරෙ මල් පහන් පූජ කරල මෙතනත් පහනක් කාරිය දල්වන හිංද.

 මම ප්ලෑන් කලේ ගණදෙවි නුවණක් එක්ක.
මං ඒ නුවණ පහල වෙච්චි ගමන්ම කුස්සියට ගිහින් ගත්තා පොල් ගෙඩියක් මුඩ්ඩ පිටින්ම.අරගෙන කුස්සියෙන්ම කහකුඩු ටිකකුත් අරං හොඳට පොල් ගෙඩිය සුද්දකරල හෝදල කෝවිලෙන් ගෙනත් තියල තුන්නූරුත් ගාල කපුරු පෙති කීපයකුත් උඩින් තියල ප්‍රචාරයක් යැව්වා හෙට හවස හතරට කෝවිලේ පූජාවක් තියෙනව පුලුවන් කට්ටියට සහභාගි වෙන්න කියල. සමහරු අහනව පූජාව මොකද්ද කියල.මං කිව්ව නැතිවුනු බඩු ගත්තු අයට පලි ගහන්න යන්නෙ කියල.

මාත් පහුවදා තුනට විතර ඇඟත් හෝදගෙන ඇඳට එලන සුදු බෙඩ්ශීට් එකත් ඇඳගෙන ප්ලැටූන්වලින්  කොඩි මහන්න ගෙනාපු රතු රෙදි කෑලි දෙකකුත් අරං එකක් බෙඩ්ෂීට් එකට උඩින් නමල කපුව වගේ ඇඳගත්තා. අනික ඔලුවෙ ජටාවක් වගේ බැඳගත්තා.
දැං මං තෙල් මල් හදුන්කූරු එහෙම අරගෙන ගියා කෝවිලට. මෙිකට හවස පීටී යන්නැති සහ බඩු නැති වෙච්චි උපදේශකයන්ටත් අසනීප පිට හිටපු  කෝස් එකේ  සෙබලුන්ටත් සහභාගි වෙන්න කිව්වා. මං අපේ සීඅයි දැනුවත් කරල තිබුනෙ කලින්ම කෝවිලේ පූජාවක් කරනව කියල. මගේ ආවතේවකරු තමා 5 ගැමුණු හේවා බළඇණියෙ කෝපල් ගුණරත්න බංඩා.
සීඅයි මෙිජර් ටීඩී ක්‍රිෂාන්.

මං ගිහින් ආපු කොල්ලො දම්මල අතුගාවල පිලිමෙ අපි නාන්නැති තැනකින් වැවට දාල හෝදවල තැන්පත් කරල පහන් තුනක් දල්වල කබලට පොල්කටු අඟුරුත් ගෙන්නගෙන මල් එහෙම තියල ඔක්කොම කෙම් පහන් ටික කරල ආපු කට්ටියට  පන්සිල් දීල මාත් පන්සිල් ගත්තා.


 පස්සෙ දුම්මල සාම්බ්‍රානි දුමත් ඇල්ලුව. දැං මං කපුව  උනත් මං දන්න තෝත්තරයක්වත් ස්ත්‍රෝත්තරයකවත් නෑ දෙයි හාංදුන්නේ😁😁. ඒ කියල ගේම අතාරින්නද. නැතිවෙච්ච ලැබෙනවද. නෑනෙ. කට්ටියත් ටිකක් දුරින් ඉන්දෙව්වෙ මෙික ඇත්තක් වගේම කරන්ඩ ඔින හිංද. මොකද ස්තෝත්‍ර වලින් අහුවෙන්ඩ පුලුවන් නැත්තං😁😁😁.

දැං මං පටන්ගත්තා මුලින්ම අහසට බිමට දියට නායක සියලු දෙවි දේවතාවන් දෙයියෝ බුදුවන්ඩ කියල හිමින්... කියන දෙයක් අනික් අයට නොතේරෙන ගානෙන්.
 ඊලඟට  ටී පනස් හයේ පලවෙනි පාඩමින් පටන් අරන් පස්වෙනි පාඩමින් ඉවර කලා.
චෙක්සේප්ටි සිලෙක්ටර් ඔිපන්ද ටූ පූච් රිමූ ද මැගසින් ඉන්ටුද පූච් සේප්ටි ඩවුන් කොක්ගන් කොක් රිලීස් පෙස්ටිගර් සේප්ටි අප් එම්ටි මැගසීන් ලුක් ඉන් චෙක්ආප්.මැගසින් පිලිං සයට් සෙටින් ලෝඩින් අන්ලෝඩින් ඇන් මේක් සේප් හීමීට තාලෙට කියෝගෙන කියෝගෙන යන අතරෙ මැදින් ටිකක් හයියෙන් දෙමලෙන් වචන කීපයකුත්  දැම්මා.

ඊටපස්සෙ.
වෙන්නිලවෙි වෙන්නිලවෙි වානතවිටුටුවා..නෙජිකුල උලදලාම් කාදිල සොලිඩවා.උන්පේර සොල්ලුම් රෝජාප්පූ..කාට්ටිල් ආඩුම් තනියාග උන්පාට්ටු මට්ටුමි තුනියාග..ඔිම් ශ්‍රී හරහරාං ඔිම්.නමෝ .බගවතී ගවුරි පන්දාරක්ෂ ලෝක වසීකාරි අයියම් කිලියන් අරවින්ද් කල්යානං නාරයන් දේවී විරූලස්මී විරූඩ ලක්ෂ්මි මොගිත්තු නෙරෙක් සිවාහ:ද්‍රතරාස්ට විරූඩ විරූපාක්ස වෛස්‍රමන වෙසමුනි දැඩිමුන්ඩ අයියනායක මල්ලිනායක කතරගම දේවේන්ද්‍ර දෙයියෝ මෛත්‍රි බුදුන්දැක නිවන් දකින්ඩ...ගැත්තාටත් ගැත්තාගෙ පරපුරටත් සියලු ලෙඩරෝග කරදර බාදා මැඩ අන්තරායකර පස්න දුරුකර කල්පයක් ආයු ලැබදෙන්ඩා..
චූට්ටක් හයියෙන් කියල තාලෙට චුට්ටක් අඩියත් තියන ගමන් කවි දෙකකුත් කිව්වා.

වාතෙන් පිතෙන් එන ගෙඩියයි සෙං ගෙඩිය
ගාතෙත් අතෙත් එන ගෙඩියයි විස ගෙඩිය
මාගෙත් සිතෙන්නං ඉවසන්නට බැරිය
නැන්දම්මගෙ බාල කෙල්ල එල ගෙඩිය..

දේන දේන අවී උතමචාර අවී
පේලි පේලි හිටා.... පාන කොකාාාං  කැටී
පෙසෙක තියා අවී නට් පෝසන් සිටීඊඊං
අයියනායක දෙවී මගෙ රංවල දෙවී


ඔිම් හ්රීං හර හරමා ඔිම් ස්රීන් ග්ලිපින්ඩෝ ස්ලිදරින් හපල්පප් ඒස්වාහ: පොහ්: ගාල ගැහුව ඉස්සරහ තිබ්බ ගලේ පොල් ගෙඩිය.😁😁😁😊😊😊

ආයෙ වැඳගෙන හයියෙන්.

අයිනායක සිරි විස්නු දේව කතරගම දේවමන්⁣ඩලෙත් රංවල දේව සුමනසමන් දේවමන්ඩලෙත් සම්බුද්ද සාසනයත් රැකෙන රටත් හතරකොනේ සිට කල්පයක් රකින්ඩ පොරොන්දු දුන්නාවූ
ද්‍රතරාස්ට විරූඩ විරූපාක්ස වෛස්‍රමණ දේවමන්ඩලෙත් ඇස් ඇරී ගැත්තාගෙත් ගැත්තාගේ හිතවතුන්ගෙත් මෙතෙක් මෙි කදවුරේ නැතිවුනාවු සෑම සියලු බඩු බාන්ඩ පැය විසිහතරෙන් දෙපාමුලට ලැබෙන්ඩ සලස්වා මෛත්‍රි බුදුන් දැක නිවන්දකින්ඩ ඒ පිනත් හේතු කර මෙි පිනත් හේතුකර  බුදු පසේබුදු මහරහත් යන කිනම් හෝ බෝදියකින් නිවන් සැප වදාරත්වා හයි.... කියා මෙසේ ඉල්ලා සිටිම්හ.

 ඔන්න සුද්දයි නිවාරනයි. නැතිවෙච්චි දේවල් පැය විසි හතරෙන් නැතිවුනු කට්ටියට ලැබුන්නැත්තං කියන්ඩෝනෙ
මෙි අතක් ⁣හරි පයක් හරි කැඩිල වණවෙන්ඩ තමා කලේ. හැමදාමත් මෙිව හොය හොය ඉන්ඩ  බෑනෙ. යමක් නැති වෙච්චි අය ඒව ලැබිච්ච ගමන් මාව දැනුවත් කරන්ඩ. කමා කරවන්ඩ. නැත්තං මෙික දිගටම බලපානව. කියල ලෙක්චර් එකකුත් දීල මං සියලු දෙවියන්ගෙන් වෙනම වැඳල සමාවත් අරගෙන ඉවර උනාට පස්සෙ  කයියක් ගහගෙන එන්න ආව.

අපි උපදේශක කෝපල්ලා රෑට කන්න යන්නෙ එකටමයි. ඒක අපේ සම්මුතියක්. එතන ටීවී රූම් එකේ තමා අදහස් හුවමාරු කර ගන්නෙ.හෙට දවසෙ පුහුණු සැලසුම්. ලෙක්චර් තියෙන කට්ටියට අමතක වෙච්චි දේවල් එහෙම තියෙනවනං මෙතනින් තමා මතක් කරගන්නෙ.මතක් කරල දෙන්නෙ. උපක්‍රම අඩුපාඩු කතා කරගන්නෙ. අවශ්‍ය උපදෙස් දෙන්නෙ.

අපි හතට කෑමට ගියාම නවයට විතර තමා එන්නෙ.
ඒ එද්දි මං දැක්කා කලු ටියුලිප් එකක යමක් දාල කනුවක මොකක් හරි එල්ලල තියෙනව.
ඒ මගේ නැතිවෙච්චි නෙට් එක. පහුවදා උදේ එලියෙ වැලේ මගේ යුනිපෝම් එක තිබුනා. ටීෂර්ට් එකනං හම්බුනේම නෑ. මගේ පරන බූට් දෙක වෙනුවට අලුත්ම බූට් දෙකක් දවසකට විතර පස්සෙ ඇඳ උඩම තිබුන.

හුඟක් කට්ටියට නැතිවෙච්චි දේවල් අඩු වැඩි වශයෙන් එක එක ආකාරයෙන් ලැබුනා. ඒකට මට තෑන්ක් යූ ගොඩක් හම්බුනා😊😊😁. මං මාස නවයක් ඒ කඳවුරේ හිටියා. එතකං ආයෙ කිසිම දෙයක් නැතිවුනෙත් නෑ. පූජා තිබ්බෙත් නෑ.
හැබැයි කෝපල් ආරච්චි වෙනුවට උපදේශක ඈයො  " කෝපල් කපු" නමත් නිළධාරින් "කෝපල් කපු උන්නැහේ" කියලත් ආමන්ත්‍රනය කරන්නනං පටන් ගත්තා.

අතක් පයක් කැඩුන වගේද හිතෝතුනි කකුලක් එහෙම කැඩුනොත්😊😊😊.


රුවින් පමුදිත යද්දෙහිආරච්චි
2020.05.26

3 comments:

  1. "කෝපල් කපූ " කපු උන්නැහේට ගැලපෙන තනතුර......බ්ලොග් එකකට " ඇඩික් " වෙච්ච ගතියක් තියනවා....ආන්න ඒ බ්ලොග් එක ලියන කෙනාට වස් කවියක් කියවා ගන්න ඕනා මේ " ඇඩික්ශන් " එකෙන් ගලවලා දෙන්න කියලා....ඇහැක් නේ ?? කපූ ට...

    ReplyDelete
  2. Dan kale thowil natana unta wada hondaine Arachchi kapuwa

    ReplyDelete
  3. අර ස්තෝත්තර ටික නං පංකාදුයි....

    ReplyDelete