Saturday, May 16, 2020

අතීතයෙන් කතාවක් 01

අතීතයේ දවසක 01
================
අගේ ගෙදර තිබුනෙ මහ විශාල කන්දක් මැද්දෙ. කන්ද මැද්දෙ කිව්වට මුදුනෙ ඉදල මීටර් සීයක් එකසිය පනහක් වගේ දුරක් පල්ලමට වෙන්න. මෙික ලස්සන කඳුපන්තියක් කිව්වොත් තමා වඩාත්ම හරි. මමත් අක්කත් නංගිත් ඉස්කෝලෙ යන්නෙ පයින් කිලෝ මීටර් දෙකක් වගේ දුරක් මෙි කන්ද තරණය කරල මහ පාරට ඇවිත් බස්එකේ. ඉස්කෝලෙ යන දවස්වලට අපි හයහමාර වෙනකොට මෙි කන්ද මුදුනට එනවා. ඒ අපේ ගමන් මාර්ගය වැටිල තිබුනෙ මෙි හරහා නිසා. ⁣ කන්ද මුදුනට ඈතින් නැගෙනහිර දිශාවෙන් මීදුම් සේලයටත් උඩින් ඒකත් කපාගෙන අහස ඉඹින්නා වගේ ඉහලට නැගුනු සිරිපාද පද්මය පිහිටි කන්ද මෙතනට හරි ලස්සනට පේනව. නිල් පාට අහස අල්ලන්නා වගේ කෙලින් හිටගෙන ඉන්න මෙි සිරිපාද කන්ද මෙතනට දිස්වෙන්නෙ පැය කාලක් භාගයක් වගේ වෙලාවක් විතරයි. ඒ සිරිපාදයට ඉහලින් සිරිපාදයත් වන්දනා කරගෙනම නැගී එන හිරු රාජයා විහිදන ළා හිරු කිරණ පළමුවෙන්ම හාත්පස තමන්ගේ බලය විහිදුවන්න පටන් ගත්තම නිකන්ම මෙි කන්ද මීදුම් අතරේ සැඟවිලා යනව. අතරින් පතර කඳුවල එළි පෙහෙලි කර වගාකරන්න සකසපු බිම් ඇරෙන්න මෙි පලාත තනිකර කොලම කොල පාටයි. ඒ අතරින් පතර සුද්ද කරපු ඉඩම් හා වවපු ඉඩම් ⁣කලවමෙි දිස්වෙන්නෙ හරියට උඳුගොව්වො කාපු කොන්ඩෙ වැවිච්චි ඔලුවක් වගේ.අහසේ නිල් පාටත් අහස උසට පේන කඳු පන්තීන් වලින් දිස්වෙන කොල පාටත් එකතුවෙලා ඒකටම මිහිදුමෙි සුදුපාටත් එකතුවුනාම  මවන්නේ  මන නන්දනීය හරි අපූරු  දසුනක්.අපේ කන්දත් කඳුපංතියක පිහිටපු ඒ අතරින් උසම කන්ද. නැගෙන හිර පැත්ත බලපුවම තියෙන්නෙ තනිකරම කඳු. මම ඒ කාලෙ සිරීපාදෙ ගිහින් නොතිබුනත් ලක්ෂ වාරයක්නම් හිතින් සිරිපාද පද්මය වන්දනා කරන්නට ඇති.

බටහිර පැත්තෙ අහස යට තියෙන්නෙ තැනින් තැන පිහිටපු හුදෙකලා කඳු විතරයි. ඒත් පොල් වතු රබර් වතු කුඹුරු  යායවල් වලින් අනූන වූ ඒ පැත්තේ සුන්දරත්වය වඩාත් තීව්‍ර කරන්නේ අරියාදුවට බුලත් ඉනි හිටෙව්වා වගේ දිස්වෙන සන්නිවෙිදන කුළුණු රාසිය. වැහිකාලෙට  ඒ පොල්වතු රබර් වතු පාමුලින් පිහිටි කුඹුරු යායවල්වල බොර පාටට වතුර පිරිච්චහම කන්ද උඩ ඉන්න අපිට මෙිව පේන්නෙ වැව් වගේ. අත්තනගල්ලෙ පංසල,වාරණ,මාලිගාතැන්න පංසල්වල වගේම තව පොඩි පොඩි පංසල්වලත් ඉදිකල චෛත්‍ය වහන්සේලා මෙතනට හරි අලංකාරෙට පේන්නෙ කොල පාට පලසක තැනින් තැන පොරි ඇට ඉහල වගේ. අපි කුඩාකල හැමදාම ඉස්සෙල්ල ඇස් දෙක දකින්නෙ මෙි මනරම් සුන්දර දර්ශන විතරයි.  කන්දට පල්ලෙහායින් පිහිටි රක්ෂිතයේ වෙසෙන කුරුල්ලන්ගේ නාදය තමා අපිව ඇහැරවන ඒලාම් එක.
මෙි කන්ද මුදුනෙ තමා අපි සෙල්ලං කරන පිට්ටනිය තියෙන්නෙ. ඒක පිට්ටනියක්මත් නෙමෙි. ස්වාභාවිකව සෑදුන කුඩා තැනිතලාවක් වූ කන්දේ මුදුන. මෙික තනිකර මාන කැලෑවක්. ගිරා අඹ ඇටඹ පොල් අඹ කොහු අඹ යන අඹ වර්ග මෙි කන්ද පල්ලමෙි බහුලව වැවී තිබුනා. පෙතන් කජු ගස් දෙක තුනකුත් ඔය අතරෙ තිබුනත් ඒ එක ගහක කජුවල කිරි නෑ. ඔය ගහේ කජු හැදෙන කාලෙට අපි කොලු නඩෙි එක ගෙඩියක් පුහුලමක් ඉතුරු කරන්නෑ. කොහොම හරි බඩගාල ගිහින් අතු අග්ගිස්සේ පවා තියෙන කජු ගෙඩි කඩාගෙන කටින් පොත්ත ඇරල කනවා.
කිරි නැති නිසා තමයි අපි මෙි ගහටම යන්නෙ.
දවසක් මමත් තව දෙතුන් දෙනෙකුත් ඔය කජුගහේ ගෙඩි කකා ඉන්නැද්දි අපේ නඩෙිට අලුතින් එකතුවුනු උපුල් සෙල්ලම් කරන්න ආවා. අපි හිටියෙ කිරි නැති ගහේ පෙතං කජු එක සාක්කුවකත් අනිත් ගස්වලින් අහුලපු කජු ඇට අනිත් සාක්කුවෙත් පුරෝගෙන.
ලඟට ආපු උපුල්.
*මොනාද බං කන්නෙ.
*කජු
*අඩෙි ඔිවගෙ කිරි බං.වණවෙයි..
*මෙි බලහංකො. මෙිවයෙ කෝ කිරි.අපිනම් කටින් හපල කන්නෙ.
*අඩෙි මටත් එකක් දියංකො බං.
වෙන එකෙක් උපුලට කජු ඇටයක් දෙන්න කලින් මං ඉස්සරවුනා.
මං ටක් ගාල කිරි නැති කජු වෙනුවට කිරි තියෙන කජු ඇටයක් ඒවා තිබුනු සාක්කුවෙන් ඇදල උපුල්ට දුන්නා. එයත් හිනාවෙලා එහෙම ඒක අරං හක්කට තියල අල්ලපුවම කටෙන් එකයි කිරි. ඒ කිරි ගෑවිලා දැවිල්ල අල්ලල උපුල් අඬද්දි අපි බිම පෙරලි පෙරලි හිනාවුනා.
අඹ වාරෙට උදේ බිං එළිය වැටෙන්නත් කලින්ම මං කරන්නෙ ලොකු සිලි සිලි මල්ලකුත් කිහිලි ගන්නගෙන ගිරා අඹ අහුලන්න යන එක. උදේට ගස් යටට යද්දි අඹ සීසීකඩ වැටිල තියෙනව. මුලක  ඉඳන් අඹ අහුලගෙන අහුලගෙන ගිහින් ගෙනියන මල්ල පුරෝගන්නව. ඊට පස්සෙ එතැන ඉඳගෙනම  පුලුවන් තරමක් කාල කාල ඉතුරු වෙන ටික තමා ගෙදර ගේන්නෙ. නංගිට දෙන්නෙ ඇටඹ සයිස් එකේ පොඩි ගිරා අඹ. අක්කට ටිකක් ලොකු ඒව. අම්මට හොඳම ඒව දෙනව. නංගි මට කලින් ඉස්සර වෙච්චි දවසට මට ලැබෙන්නෙත් ඇටඹ සයිස් අඹ. ඇටඹනං කොච්චර ඉදි ඉදී ගස්යට වැටිල ගියත් අපි කන්නෑ. අනිත් ගස්වල අඹ ⁣වැටිල නොතිබ්බොත් විතරක් ඒ ඇටඹ ගස්යට කරක් ගහනව.

අපේ කොලු නඩෙිත් හරිම දාංගලයක් විසයක් තිබුනු කොට්ඨාශයක්. අපේ කන්දට වම් පැත්තෙන් තියෙනවා තවත් කන්දක්. ඒක අපේ කන්දට වඩා ටිකක් විතර පොඩියි. ඒකට කියන්නෙ එලවල්කැලේ කියල. ඒ කන්දෙ මුදුනෙ තියෙන ගේ යි මිදුලයි ලස්සනට අපේ කන්ද මුදුනට පේනවා. ඒ ගෙදර ඉන්නෙ යකඩ පවුල. ඒ ගෙදර නැන්දට ගමෙි කව්රුත් කියන්නෙ යකඩි කියල. මයෙ අප්පේ බලන්ඩෙපැයි එයාට යකඩි කිව්වම එන කේන්තියක්. මාත් කම්මැලි කමක් එහෙම දැනුනොත් කරන්නේ කන්ද උඩට නැගලා යටිගිරියෙන් "යකඩියෝ" කියල දෙතුන් පාරක් කෑ ගහන එක. ඒක ඇහුනද කියල හරියටම දැන ගන්නෙ "යකඩි" මිදුලට ඇවිත් මගේ ජාතිය අමතන්නට පටන් ගත්තම. එයා එක දිගටම බැනල බැනල කට රිදෙනකොට නවත්තනව. මං ආයෙත් යටි ගිරියෙන්ම "යකඩියේහ්හ්" කියල කෑ ගහනව. මෙයා ආයෙ පටන් ගන්නව. ඔහොම බැනල බැනල ඇති වුනාම එයත් නවත්තනව.මාත් නවත්තනව. හැබැයි දවසක් දෙකක් යනකං යකඩ නැන්දට අහුවුනොත් ඉවරයි. ඊට පස්සෙ ආයෙ කිසිම අවුලක් නෑ. මාත් එක්ක අපේ සෙට් එකේ හිටියෙත් යකඩ පැටව්මයි. සුද්දා, මහත්තයා, කියන්නෙ ඒ දෙන්නා. තව හිටියා අපිත් එක්ක උපාලි,උපුල්,නිමල්,හේමන්ත,චමින්ද  කියල කොල්ලො රෑනක්ම. අපි එක වයස් මට්ටමෙි අය. සුද්දානං ටිකක් බාලයි අවුරුද්දක් විතර.
අපි කරන්නෙ ඉස්කෝලෙ නැති දවස්වලට උදේම කැලේ පනින එක. ඒ කැලේ තියෙන්නෙ අපෙ ගෙවල්වලට පල්ලෙහායින්. ඒක රක්ෂිතයක්. ලොකු ගල්, පල්ලං වලින් නිර්මිත මෙි කැලේ ගොඩක් උස ගස් තියෙනව. අපි වැඩිපුරම කරන්නෙ හොරා පොලිස් සෙල්ලම. හොරු අල්ලපුවම නඩු තීන්දු දෙන්නෙ අපේ තිප්පොලේ තියෙන මහා විශාලෙට වැඩුනු හොර ගහක්. ඒකට පත්වෙන්නත් හේතුව තමා මෙයාට තිබුනු විශාලත්වය. ඒ කොච්චර නඩු ඇහුවත් හැබැයි අපිට වාසි වෙන විදියට තමා තීන්දු හැම එකක්ම ලැබුනෙ.
උදේ කැ⁣ලේට පැන්නම ආයෙ එන්නෙ හොඳටම බඩගින්නෙ හෙම්බත්ම වෙලා ගියාට පස්සෙ තමා. මෙි කැලේ තිබුනා බිම ඉඳන්ම අතු විහිදිච්චි ලොකු විශාල කොස් ගහක්. ඔය ගහේ තුන්සිය හැටපස් දවසෙම ගෙඩි තිබුනා. මෙිකෙ වැල ගෙඩියක් අපි නොකෑවනං ඒ කලාතුරකින්ම තමා. යකඩ පැටවු ඇඳන් ඉන්න සරම අඹුඩෙ ගහගෙනත් කොට කලිසං ඇඳන් ඉන්න අපි ඒව පිටිනුත් ඔය කොස් ගහේ අත්තක් අත්තක් ගානෙ බඩ ගගා හැම ගෙඩියකටම තට්ටු කරල බලනව ඉදිලද කියල. "බොග් බොග්" සද්දෙ ඇහෙන ගෙඩියට ගහේ සීසීකඩ ඉන්න එවුන් සේරම බඩගාගෙන බඩගාගෙන ඇවිත් වට වෙනව. ඊට පස්සෙ ගෙඩිය ගහේ තියෙද්දිම බරු  ගහල එක වැල මදුලක් නෑරම කනවා. ඒ තමා අපේ පියතම විනෝදාංශෙ. අත්වල ගෑවෙන කොහොල්ලෑ බිම උලල උලල පස් ගාගන්නව. එතකොට ඇලෙන්නෑ. ඒව සුද්ද කරගන්නෙ කීයට හරි ගෙදර ගියාම.
මෙහෙම සෙල්ලම් කරන්න කැලෑ වැදුනම වෙලාව යනව තේරෙන්නෑ. ඔය අතරෙ අපි රණ්ඩුත් වෙනවා. හොදට ගහගන්නව. බිම පෙරලි පෙරලි ගහගන්නව. පොර කනව. එක කෙලියයි සමහර දවස්වලට. හැබැයි අපි කොච්චර රන්ඩුවෙලා ගෙදර ගියත් ටික වෙලාවයි. ආයෙ කව්රු හරි නඩෙි එකෙක් හූ දෙකක් කිව්ව ගමන් පිට්ටනියෙ. අපි කොච්චර රණ්ඩු වෙලා අඬාගෙන ගෙදර ගියත් බරපතලම දෙයක් ඇරෙන්න කවමදාකවත් අපේ වැඩිහිටියො ඒව හගිස්සවන්න ආවෙ නෑ.  ඇයි අපේ එකාට ගැහුවෙ? මොකටද තොපි රන්ඩු වුනේ? තෝ කොහොමද අපේ එකාට ගහන්නෙ? කියල එකක් නෑ, අඬාගෙන ගෙදර ගියොත් උන්දැලගෙනුත් තව පාරවල් දෙක තුනක් එකතුවෙනව ඇරෙන්න. අපි කව්රු උනත් රණ්ඩුවෙලා කොච්චර අඬ අඬ ගෙදර ගියත් මගට ගිහින් අඬපු පාර පේන්නැතිවෙන්න මූන හොදගෙන තමා ගෙදර යන්නෙ.
ඒ නිසා අපිට නඩුත් අඩුයි. සමහර දාට අපි ගෙදර යන්නෙ කාගෙ හරි තාත්ත කෙනෙක් වැඩි හිටියෙක් එක පාරටම පොල්ලකුත් අරං අපේ තිප්පොලට පැනල හතර අතේම වැනුවට පස්සෙ තමා. ඒ එන්නෙ කව්ද,කාගෙ දරුවද අදාල නෑ, අහුවුනු අහුවුනු එකාට ගහනව. ගගහ එලෝනව. අපි ⁣ඉරගල වැටෙන්න ඔන්න මෙන්න කියල සෙල්ලමෙිත් අනන්තෙටම ගිහින් බොහෝ දවස්වල ගෙදර ආවෙ ඔහොම තමා.
අපේ දවසක් කැලේ සෙල්ලං කර කර ඉන්නකොට ටිකක් ඈතට ඈතට යන්න සිද්දවුනා. ඒ හැංගුනු එකෙක් හොයන්න.   ඒ හැංගුනු එකාත් හොයාගෙන ඔහොම ටික දුරක් යද්දි අපිට හම්බුනා හෙලක්. විශාල ගල්කුළු කීපයකින් සෑදුනු ඒ හෙල පුංචි අපට නං හෙන ලොකු එකක්.
ඒ වෙනකොට ටිකක් හවස් වෙලත් තිබ්බ නිසා අපි ඒ හෙල හොදට නිරීක්ෂණය කරල මං සලකුනුත් තියාගෙන ආව පහුවදාට යන්න. අපි කතාවෙලා හිටියෙ හෙට උදේම අපි කට්ටියම කෙලින්ම මෙතනට එමු කියල.
පහුවදාට එලිවුනා. අපි එකා දෙන්නා හෙලට කිට්ටුව ඇති පාරෙ එකතුවුනා. කට්ටියම ආවට පස්සෙ අපි හෙලට ගිහින් බහින්න පුලුවන්ද බලල එහෙම වැඩෙිට ලෑස්තිවුනා. ප්‍රධාන අරමුන පලමුව මෙි හෙල පල්ලෙහාටත් උඩහටත් තරණය කිරීම. අපි හොදට බලල බලල පලමුව දෙන්නෙක් බැස්සා. ඒ බැස්සෙ මායි උපුලයි. ඔිනම දේකට පලවෙනියෙන්ම කරගහන්නෙ අපි දෙන්නම තමා. වැඩෙිනං සුපිරියටම කැපෙනව. එච්චර අමාරු නෑ. අල්ලන්න ගල් මැද්දෙ හිඩැස්වල සරුවට වැවුනු ඇට්ටෙිරියා පදුරු තියෙනව. ගලුත් තියෙනව. අපි කිසි අමාරුවක් නැතුව පලවෙනි ටික බැස්සත් මැද හරියෙ ඉඳල පල්ලෙහාට බහින්න ටිකක් අමාරුයි. ඒක තනිකරම පල්ලම තිබුනෙ. ඒත් මායි උපුලුයි කල්පනාවෙන් කොහොම  හරි පරිස්සමට ඉතිරි හරියත් බැස්සා.  අපිට පස්සෙන් අනික් උන් ටික එන්න පටන් ගත්තා. ඒත් කිසි අවුලක් නෑ. අපි ඔය විදියට එදා පස් වතාවක්නං උඩහටයි පල්ලෙහාටය් බඩගාන්න ඇති. ඒත් අතපය රිදුනා ඇරෙන්න හීරීමක්වත් උනේ නෑ. දැන් ඒ හෙල දකිද්දි හිතෙනව "යකෝ මෙි පොඩි හෙලෙන් පල්ලෙහාට බහින්න අපි ඒ කාලෙ කාපු වහක්" කියල.
මං මෙි වෙද්දි ශිෂ්‍යත්ව විභාගයවත් ලියල තිබුනෙ නෑ. ඒත් අපි ඒ හෙල උඩහටයි පල්ලෙහාටයි තරණය කලේ හමුදා පුහුනුවක් ලබන විදියට. අපි ඔක්කොම එතන සර්ලා. ආමන්ත්‍රනය කලේ නම කියල අගට "සර්" කෑල්ල දාල.
අපි ඒ දවස්වල කතාකරපු ඉංග්‍රීසි සමහර ගොඩක්  වචන මෙි වෙනකල් මට ඩික්ෂණරියකින්වත් කවදාවත් හමුවෙලා නෑ. කනට ඇහිල පත්තරේකින්වත් දැකල නෑ. ඒත් අපි ඉංග්‍රීසිනම් කතා කලා. එදා අපේ සෙල්ලම ඉවරවුනේ ඉරගලත් වැටුනයින් පස්සෙ. බඩගින්න නිවුවෙ කැලේට ඇරුණු ජනවසමෙ පොල් ගස්වල කුරුම්බ. පොඩි පොඩි ගස්වලට නැගල කුරුම්බ කඩල බිම දාල හයිය ලී උලකින් ඇනල හරි පෙත්තට හිටින්න කපපු බුලත් ඉන්නක මුලක හරි ඇනල කොහොමහරි හිල් කරල වතුර ටික බොනව. බීල කෝම්බෙ ගලක ගහල පලල අතේ ඇගිලි වලින් ලොඳය හූරගෙන කනව. එදා මං සෙල්ලං කරල කරල ගෙදර එනකොට  කරුවල වැටිල. තිබුනෙ. ඒ එනකොට අම්ම නෑ. මාව හොයන්න ගිහින්. ජයසේන මාමයි නැන්දයි අපේ අම්මයි උපුල්ගෙ අම්ම නෝනහාමි නැන්දයි කෑ ගගහ ⁣අපිව හොයල.ඒත් අපි දුරින් හිටපු හිංද කතාකරනව ඇහුන්නෑ. මං ගෙදරට ඇවිත් විනාඩි දහයක් විතර යනකොට අම්මා ආව.
"කොහොද යකෝ තෝ ගියෙ??
*සෙල්ලං කරන්නනෙ.
*බලපිය දැං වෙලාව කීයද කියල. හනේ අම්මේ ඉර පායන්ඩත් කලින් ගෙදරින් ගිය එකා නේද මෙි දෙයියනේ.. කියල ඔලුව උස්සල අම්ම නිකට උරහිස්සෙ වැද්දුවා. හිටපියකො අද මහඑකා එනකං තොට... කියලත් කිව්වා.
අම්ම එහෙම කියන්නෙ හොදටම තරහ ගියාම. මාත් හිමින් සීරුවෙ ගෙට යනවත් එක්කම අම්මා ඉස්සරහ දොර වැහුවා. කලින්ම කුස්සියෙ දොර වහල තිබුනෙ. එකපාරටම කුස්සියට ගියපු අම්මා.. හිටපිය තොට කියල හනස්සකුත් අරගෙන පැනල මගේ අතින් අල්ලගත්තා. එදා ගුටි කෑව හනසු තුන හතරක් කැඩෙන්නම. ඒ වෙනකොට අතේ තිබ්බ හනස්ස කැඩිල ආයෙත් එකක් ගන්න නැවිච්ච වෙලාවෙ මගෙ අත පොඩ්ඩක් බුරුල් වෙලා මං අම්මගෙ අත ගසා දාල අඬාගෙන දොරත් ඇරගෙන එලියට පැන්නා. අම්ම මාව අල්ල ගන්න කොච්චර දැගලුවත් බැරිවුනා.
ටිකක් තරහ නිමුනම අම්මා මාව ගෙට ගන්න කොච්චර දැගලුවත් මං ගෙට ආවෙ අම්ම පානටත් වැඳල ගහන්නැ කියල පොරොන්දු උනාටත් පස්සෙ.
*හා දැං වරෙං ගෙට ආයෙ ගහන්නෑ.
*කොහොමද ගෙට එන්නෙ තමුසෙ ගහනවනෙ මං අඬ අඬ කිව්වා.
*ගහන්නෑ බූරුවො වරෙං ගෙට..
*බෑ ගහනව..
*ගහන්නෑ කිව්වනෙ. දැං කීපාරක් කිව්වද. එනවා ගෙට.
*ගහන්නැත්තං මොකටද අතේ හනස්සක්.
අම්මා ඒ වනවිට අතේ තිබ්බ හනස්සත් මා දිහාත් මාරුවෙන් මාරුවට බලල හනස්ස අල්ලල විසිකලා.
*හා ඔන්න හනස්සත් වීසිකරා. දැං එනව ගෙට.
*හා පොරොන්දු වෙන්ඩ හේනං ගහන්නෑ කියල.
*හරි පොරොන්දු උනා.දැං වරෙන්.
*බෑ ඔය කිව්වට තමුසෙ ලඟට ආවම මට ගහනව.
*ගහන්නෑ කිව්වනෙ.⁣යකෝ වරෙං ගෙට. මට මොකෝ. ඔහොම හිටපං. කරුවෙලේ මොකෙක් හරි ඇවිත් ඇදං ගියාම හරි.
*යකෝ බය කරන්ඩෙපා රෙද්ද. තව බයත් කරනවනෙ.
*බය නෙමෙි. තොට තේරෙයි ඇදං ගියාම.
මං බයට චුට්ටක් ගේ කිට්ටුවට ආවට අම්ම ලඟටම ගියේනැ.
*ගහන්නෙම නැද්ද.
*නෑ නෑ ගහන්නෑ හරකෝ..වරෙං ගෙට.
තෝ තාම නෑවෙත් නෑ නේද. පල ගිහිං නාල වරෙන්  තනියම.
කුප්පිලාම්පුවෙන් එළිය විහිදෙන පැල්පතක අපිට අද කාලෙ  වගේ නාන කාමර  තිබුන්නැතත් ගල්පොත්තක මුදුනෙ ස්වාභාවිකව හැදිච්ච ලිඳේ තුන්සිය හැටපස් දවසෙම කොයිවෙලාවෙත් සීතලට වතුරටික තිබුනා.
අපි නාන්නෙ මෙි ලිදෙන්.
*ඉතින් එන්නෙ කෝමද ඔයා ගහන්නෑ කියල වදින්න හෙනං.
*යකෝ පැටව් හදල මදිවට මං උන්ට වදින්නත් ඔිනද ගෙට ගන්න.මෙන්න මෙහෙ වරෙන්.
*කව්ද කිව්වෙ මට වදින්ඩ කියල. මං කිව්වෙ පානට වදින්ඩ කියල.
අම්ම පාන තියෙන පැත්තට චුට්ටක් හැඩවෙලා හැරිල
*හරි ඔින්න වැන්ද. දැං ගෙට ඇවිත් ගිහින් නාගෙන වරෙන්.
*මට පුලුවන්ද යකෝ තනියම නාන්ඩ යන්න. මං ආයෙත් නාහෙන් අඬන්න පටන් ගත්තා.
*එහෙනං මොකටද මෙච්චර වෙලා නැටුවෙ.
*ඒ නැටුවට ඉතිං ගෙදර ආවනෙ අප්පා.
මටනං බෑ නාන්ඩ තනියම යන්ඩ.නාන්ඩ ඔන්නං අම්මත් යං.
*මං එන්නෑ මට බෑ.
*එහෙනං මං නාන්නෑ කියනවත් එක්කම මට තාත්තා ඈතින් උගුර පාදන හඬ ඇහුනා. අම්මට අහුවෙලා ගුටියක් කෑවත් අරයට අහුවුනොත් දහයක් ගහල මිසක්  අතාරින්නෑ. ඒ නිසා මං හිමීට හිමීට අම්ම ගාවට කිට්ටු කලා.
*බලපිය තොගෙ ගඳ. නටල නටල මෙතන.තනිකර ගස් ගඳ එන්නෙ මුගෙ  කියල මාවත් අතින් ඇදගෙන බාල්දියට සබන් පෙට්ටියත් දාගෙන ලිදට ගියා.

(මතු සම්බන්ධයි)
රුවින් පමුදිත යද්දෙහිආරච්චි
2020.05.16

No comments:

Post a Comment