Saturday, May 23, 2020

අතීතයෙන් කතාවක් 03



එදා මං ශිෂ්‍යත්වය ලියන දවස. උදේ පහට නැගිටල අම්ම ස්වදේශීය සේවෙ යන පිරිත් විකාශය දාල කුස්සියට ගිහින් හිටියෙ තේ වත්කරන්න යි මට කාල යන්න කිරිබත් උයන්නයි. අපිත් මෙි පිරිත් ආරම්භයත් එක්කම අනිවාරයෙන්ම පහට අවදිවිය යුතුයි. අනික එදා මට විශේෂ දවසක් නිසා වෙිලාසනම නැගිටල පහ හමාර වෙනකම් පිරිත් හොඳට අහගෙන ඉඳල අම්ම හදල දෙන ප්ලේන්ටියත් බීල ඉවර වෙලා එටර්නා දත්බුරුසුවට එස්ආර් ටිකකුක් මිරිකල දාගෙන දතුත් මැද මැද ලිඳ ගාවට ගිහින් හොඳට මූනත්  හෝදගෙන ආව. මං යනකොටම අම්මත් ආව මූන හෝදන්න. මාත් මගේ දුඹුරු පාට වුනු සුදු ටවල් එකෙන් මූන පිහ පිහ ඇවිත් ගෙට ගොඩවෙලා ඉස්කෝලෙ යන්න ලෑස්ති වුනා. අක්කා කලින් දවසෙ හවස මට තිබුනු හොඳම සුදු කොට කලිසමයි කමිසෙයි පොල්කටු ඉස්තිරික්කෙන් අයන් කරල නමල තියල තිබුනෙ. අක්කත් මට ඇවිත් ලෑස්තිවෙන්න උදව් කරල හොඳට විභාගෙ ලියල එන්න කිව්වා. මං කා එක්කවත් වැඩිය කතා බහක් නෑ. මොකද මං කොහොමත් දන්නවනෙ කලින්ම ශිෂ්‍යත්ව ප්‍රථිපලය. ඒ නිසා මට වැඩිය දඟලන්න උවමනාවක් තිබුනෙත් නෑ. ගිය බදාදා අම්මත් එක්ක පංසලට ගිහින් බෝධි පූජාවකුත් තියල හාමුදුරුවොත් හම්බ වෙලා කාරණාව කිව්වම අතේ ගැට ගහපු පිරිත්නූල විතරයි විශ්වාසෙකට තිබ්බෙ.
අම්මත් ඉක්මනට ඉක්මනට මූන හෝදගෙන ඇවිත් අශෝකා වීදුරුවකුත් අලු දාල මැදල කලෙන්ම වතුර එකකුත් පුරෝලා ගේ ඉස්සරහම පුවක් රීප්ප මැස්සක් උඩ සරුවට වැවිල තිබුනු සමන් පිච්ච වැලෙන් මල් කීපයකුත් කඩල නැට්ට යටට හිටින්න වතුර වීදුරුවට දාල මෙිසෙ උඩින් ගෙනත් තියල ඉතුරු ටිකත් ලහි ලහියේ ලෑස්තිවුනා. එයා ලෑස්තිවුනේ මාත් එක්ක ඉස්කෝලෙට යන්න. මං ඒකට කැමති නෑ.මොකද අද විතරක්. විභාගෙ ලියන්නෙ මමනෙ.අම්ම ලෑස්ති වෙන අතරේ මම අම්මට කලින් ලෑස්ති වෙලා පයිල් කවරෙ දාපු බෑග් එකේ සාක්කුවට පැන්සල් දෙකකුයි නංගිට හොරෙන් එයාගෙ සුවඳගහන මක්කෙකුයි දැම්ම.
දාල ඒක තාත්තගෙ ඇඳ උඩින් ගෙනත් තිබ්බා.
වෙලාව හයයි දොලහයි. අම්ම  අර සමන් පිච්ච මල් දාපු වතුර වීදුරුවත් අරන් මට කලින් ගෙයින් පිට වෙලා මගේ ඉස්සරහට එන ගමන්
*පුතේ වෙලාව හරි. එන්න දැං කිව්වා.මාත් ආව. ඒ වතුර වීදුරුවත් අරං මගේ ඉස්සරහට ආව අම්ම ඒකෙන් උගුරු දෙක තුනක් පෙව්වා. පස්සෙ අම්මටයි තාත්තටයි දණ ගහල වැන්ඳා.
තාත්ත ඔලුව අතගාන ගමන්
*රත්නත්තරේ පිහිටයි.හොදින් කලබල නැතුව පුලුවන් තරම් කල්පනා කරල විභාගෙ ලියන්ඩ ඔින ඈ. කිව්වා.
අම්මත් ඒ ටිකම තමයි කිව්වෙ.
ඒ ඔක්කෝම කෙම්පහන් ටික කරල ඉස්කෝලෙට යනකන්ම මට කිව්වෙ
*පුතේ ආයෙ අවස්ථාවක් නෑ.පුලුවන් තරං හොඳට උගන්නපුව මතක්කර කර විභාගෙ ලියන්න. හොඳ ඉස්කෝලයක් හම්බුනොත් මයෙ පුතාව මං හැමදාම ඉස්කෝ එක්ක යනව. නැත්තං ඔය ඉස්කෝලෙට ගිහින්නං අමාරුයි පුතේ ඉගෙන ගන්න. ගමෙි ඔක්කොම බලා ඉන්නෙ නටපු නැටිලි වලට පුතා පේල් වෙනකං. ඒ අයටත් පේන්න එක්ක හොඳට විභාගෙ ලියන්න ඔින ඈ.
මාත් අම්ම කියන කියන එකට හ්ම් හ්ම් ගගා ඉස්කෝලෙට යනකම්ම ගියා.
විභාගය පටන් ගන්න වෙලාවත් ආවා. ළමයි එක්ක ආව දෙමව්පියො ඔක්කොම ඉස්කෝලෙන් එළියට යවල විභාගෙත් පටන් ගත්තා. ඉස්සෙල්ල තිබුනෙ සිංහල. ඒක ලිව්වා. ඊට පස්සෙ ගණිතය. ඒකත් නියමිත වෙලාවට ලියල ඉවර කලා. මටනං පේපර් දෙකම ගිනි ගින්දර වගේ ලේසියි. එදා විභාගෙ⁣ට ඇවිත් තුබුනු ප්‍රශ්ණ අනුව හා මගෙ තිබ්බ විශ්වාසය අනුව ලංකාවෙන්ම එක වෙන කව්රුත් නෙමෙි මං. ඒකෙ ආයෙ දෙකක් නෑ.
එදා අම්ම මට ටවුන් එකේ විජේ මාමගෙ කඩෙන් කන්නත් ගොඩක් ජාති අරන් දුන්නා. කැප්රෝල් දාන තුවක්කුවකුත් අරං දුන්නා.ඒකටම කැප්රෝල් දහයෙ බණ්ඩලයකුත් අරං දුන්නා. මට විභාගෙ ඉවරවුනාට වැඩිය සතුටුයි අම්මගෙ සැළකිලි වලට. මාත් අම්ම ගානෙ හොදට බඩ පැලෙන්න කාල කාල තුවක්කුවකුත් අරගෙන හවස බස්එකේ ගෙදරත් ආව. එදා රෑ තාත්තාගෙ සම්මුඛපරීක්ෂණය.
*කොහොමද විභාගෙ.
*මටනං ලේසියි. මංතමා වැඩිම ලකුණු ගන්නෙ.ඒක මට ෂුවර්.
*හරි ඒ තමුසෙනෙ කියන්නෙ. විභාගෙ ලේසිද.අමාරුද?කියනවකො.
*ඔය ඉතින් ආයෙ අහනවනෙ.ලේසියි ලේසියි දෙයියනේ. තාත්තා මොහොතක් මා දිහා බලාගෙන ඉඳල හිනාවෙලා කිව්වා..
*පේමෝති මිනිහ ලේසියි කියනවනං ආයෙ ඒකෙ දෙකක් නෑ. පේල්. අමාරුයි කිව්වනං ටිකක් හරි හිත හදාගන්ඩ තිබුනා.
*හරි ප්‍රථිපල ආහම බලමුකෝ. තාත්තනෙ කියන්නෙ මං පේල් කියල.
*පුතානං පේල් වෙන්නෑ.ඒක මං ඉරහද පායනව වගේ දන්නව. විභාගෙට ආපු ප්‍රශ්ණ ටිකකුත් මා එක්ක කිය කිය ඒවටත් උත්තර කිය කිය ආවෙ. කිව්ව ඒවනං ඔක්කොම හරි. ඒත් ඒ විදියට ලිව්වද කිලයලනං මාත් දන්නෑ.
*ලිව්ව ලිව්ව අම්මෙි. බලන්නකො ඔන්නං. දැං ඉවරනෙ.
අපිත් එදා කාල බීල නිදාගත්තා.
මෙි වෙනකොට අපේ කොලු නඩෙිට තවත් එක්කෙනෙක් එකතුවෙලා හිටියෙ. ඒ ජයසිරි. එයා කොලු නඩෙිට වැඩිපුර එකතු නූනත් මා එක්ක නං ගොඩක් එකතු උනා. ජයසිරි නිහඬ චරිතයක් වගේම අහිංසක චරිතයක්. එයාගෙ තාත්තා විජේ මාමා. අපේ ගෙවල් වලට ටිකක් එහායින් ගෙවල් තිබුනෙ. දවස් තුන හතරක් සෙල්ලං කරන්න ආවත් වැඩිය නෑ.
මටත් ජයසිරිව හිතට ඇල්ලුව. පස්සෙ ටික ටික ජයසිරිගෙ ආශ්‍රයට මං වැටුනා. අපි දෙන්න ඉස්කෝලෙ යන්නෙ එකට.එන්නෙ එකට. අපේ යටවක කන්ද පල්ලෙහාට බැහැල පයින් ඌරාපොලට එන්න පාරක් තිබුනා. ඒක වැටිල  තිබුනෙ කැලේ මැදින්.  දවල්ටත් ටිකක් කරුවලයි. යන්න තියෙන්නෙත් සොහොනක් උඩින්. යක්කු හොල්මන් බූතයො ගැන විශ්වාසයක් පුංචි දවස්වලම හිතේ තිබුනත් කනත්ත උඩින් යද්දි අපි දෙන්න බයවුනේ නෑ  දෙන්නෙක් ඉන්න නිසා. අපිට බස් එකේ යන්න දෙන සල්ලිවලින් ඉස්කෝලෙට ගිහින් ඇඟිලි මුරුක්කු කනව.එන්න තියෙන සල්ලි වලින් සුමනෙ නැන්දලයි කඩෙන්  සත පනහෙ නෙක්ටෝ අයිස් පැකට් අරං කකා පයින්ම එනව. ඒ එද්දි අපි ගඩා ගෙඩිත් කඩ කඩ ඒවත් කකා එන්නෙ. දං එරමිනියා රත්මල් ගෙඩි බෝවිටිය ගෙඩි තමා ගඩා ගෙඩි කිව්වට බහුලවම තියෙන්නෙ. ගෙදර එද්දි අපේ කටවල් දම්ම දම් පාටයි. කොහොම හරි තුන තුනහමාර වෙනකොට ගෙදර.
ඔහොම ඉද්දි ජයසිරි එක දවසක් මට මහ අමුතු කතාවක් කිව්වා.
*මං මෙි අවුරුද්දෙ විතරයි බං ගෙදර ඉන්නෙ.
*ඇයි ඒ.උඹ කොහෙවත් යනවද.
*ඔව්.
*කොහෙද යන්නෙ.
*මං මහණ වෙනව බං ලබන අවුරුද්දෙ.
*යකෝ උඹට පිස්සුද.මහණ වෙනව කියන්නෙ. බලහංකො අපි ලස්සනටමෙි සෙල්ලං කරල එහෙම ඉන්නෙ. උඹටත් පුලුවන්නෙ.
*නෑ බං. අම්ම තාත්ත හිටං කැමතී. මෙි  අවසාන විභාගෙ ලියල පංසලට යනව.
*හ්ම්.මටනං දුකයි බං. හිටහංකො ඉතින්.
*බෑ බං. මං ගොඩක් ආස හාමුදුරු කෙනෙක් වෙලා ඉන්න.
මං ආයෙ එතනින් එහාට මුකුත් කියන්න ගියේ නෑ.
මමත් කීයට ගෙදර ගියත් පැයකට හරි සෙල්ලං කරන්න පිට්ටනියට යනව. ඒ අම්ම ශිෂ්‍යත්වය ලියපු දවසෙ අරන් දුන්නු පිස්තෝලයත් එක්ක. ඒ දවස්වල අපි කලේම හොරා පොලිස් සෙල්ලම. හැබැයි කිසිම කෙනෙකුට මගේ පිස්තෝලෙ අල්ලන්නවත් දුන්නෑ. පනවගේ ආරක්ෂා කරගෙන හිටියෙ. කොල්ලො ඔිකට කොච්චර රන්ඩු කලත් මම නෙවෙි අල්ලන්නවත් දුන්නෙ. එක දවසක් සෙල්ලං කරද්දි මගේ පිස්තෝලෙ කැඩුනා. ඒකට ආයෙ අලුතින් එකක් ගන්න සල්ලි දෙනකං මං ඇඬුවා. අම්මත් තාත්තගෙන් ඉල්ලල මට සල්ලි දුන්නම තමා මං නිහඬවුනෙ.

එදා රෑ අපේ ගෙදර ගුණේ මාම ආව. එයාට අපි කියන්නෙ බෝස්ගුණේ මාම කියල. එයා හරියටවත් හැලි අරක්කු බොනව. බාගයක් බිව්ව ගමන් බෝස් ගාල එලියටත් දානව. ඒ හිංදම කව්රුත් කිව්වෙ බෝස් ගුණේ කියල. මෙි මාම අපිට දුරින් නෑදෑයොත් වෙනව කියල මට මතකයි අම්ම කලින් දවසකත් ඇවිත් ගියාට පස්සෙ කිව්වා. ඒ මාම අපේ දිහා ආවම අපිට ගොඩක් දුක හිතෙන දෙයක් තමා කරල යන්නෙ. ඒ අපේ තාත්තා එක්ක යන්න එන හිංද. ඒ ගියාම මාස ගානකින් තමා ආයෙ ගෙදර එන්නෙ. ගුණේ මාමා ආහම අපි හොරෙන් බිත්තියට කන් තියල අහනව එයයි තාත්තයි මොනාද කතාවෙන්නෙ කියල.
අදත් ඇවිත් තියෙන්නෙ ඒ වගේ දේකට.
*කොල්ල සිස්සත්තෙ ලිව්වද බං ඇල්බට් අයියෙ. මොකද පාස්ද කියන්නෙ.
*අනේ මංද ඌනං ලේසියි කියල කියන්නෙ. ප්‍රතිපල ආහම තමා පාස්ද නැද්ද කියල දැනගන්න වෙන්නෙ.
*අපේ කෙල්ලත්නං කිව්ව ලේසි කතාවක් බං අයියෙ. ඒත් මුං මොනාද ලිව්වෙ කියල උන්මනෙ දන්නෙ.
*ආවෙ
*ආවෙ එදා ආව එකට.මොකද කියන්නෙ යමුද
*යන්නත්නං ඔිනේ. කවද විතරද යන්නෙ.
*ලබන සතියෙ යනව. තව එකොලහක් යනව. ජයසේන මහතුං පියල් පියන්ත හේනෙ අයිය හෙම ඔක්කොම යනව.
*හ්ම් යමුකො එහෙනං. කෝකටත් මෙි පාර ටිකක් විතර වැඩ ඇදෙයි කියල හිතෙනව.
*එහෙම තමා. හැබැයි ඇල්බට්ටයියෙ මෙි පාර වැඩටික ඉවර කරලම එමු.
ගිය පාර වගේ මැද්දෙන් නැතුව.
*හ්ම්.හ්ම්.යමුකො යමුකො එහෙනං.
එහෙම කියද්දි අම්ම ගුණේ මාමට කහට එකකුයි සීනි බෝතලෙයි ගිහින් දුන්නා. එතනින් එහාට කතා වෙන එව්ව මං අහන් හිටියෙත් නෑ.
ගුනේ මාම ඇවිත් ඉන්නෙ අපේ තාත්තත් සිංහලේ යන්න එක්කහු කරගන්න.
මෙි පාරත් පොලොන්නරුලු යන්නෙ. කුඹුරු වැඩ කරන කාලෙට මුදලාලි කෙනෙක් ගුණේමාමට තමා ⁣කට්ටිය එක්කාසු කරන්න කොන්ත්‍රාත් එක පාර දෙන්නෙ. තාත්තල සිංහලේ ගියාම ආයෙ ගෙදර එන්නෙ කාලෙකින්. සමහර විට ගොයනුත් කපල කුඹුරුත් හාල වැපිරුවාටත් පස්සෙ. ගුණේමාම තමා නඩෙි නායකය. එයා කට්ටිය එක්කගෙන මුදලාලි කියන දිහාට එක්ක යනව. එතනින් තමයිලු වැඩවලට දාන්නෙ. තාත්ත සිංහලේ ගිහින් ආහම අපිට සල්ලි උතුරනව. සෙල්ලම් බඩු කෑම බීම එහෙම ඉහලම විදියට. ඒත් තාත්තා නැතුව අපිට ගොඩක් දුකයි. කොච්චර සැර වුනත් එයා ගෙදර එන වෙලාව ලං වෙනකොට අපි ඇස් දල්ලගෙන බලා ඉන්නෙ දැන් දැන් උගුර පාදන සද්දෙ ඇහෙයි කියල. ඒත් මෙහෙම ගියාම ඒ වෙලාව ලංවෙනකොට මටනං ගොඩක් දුකයි. අපිටත් වඩා අම්මට. තාත්ත ගිහින් සතියක් දෙකක් යනකොට අම්මට තාත්තගෙන් ලියුමක් එනව. අම්මත් ඒකට උත්තර ලියල දානව. කවදා හරි තාත්තා එනකං මෙහෙමම තමා.තාත්ත එන දවසට ඒ ලියුං ඔක්කොම එකතු කරල අම්ම අතටම ගෙනල්ලත් දෙනව.


ඔහොම කාලෙ ගිහින් සිංහලේ යන දවසත් ආව. එදා පාන්දර හතරහමාරට තමා තාත්ත නැගිට්ටෙ. එයා මූන හෝදන්න බාල්දියත් අරං යන සද්දෙට අපිටත් උඩ ගිහින් ඇහැරෙනව. අපේ තාත්ත විට කෑවට ගොඩක් ලස්සනයි. කලු උනත් අඩි පහයි අගල් අටක් උසයි. අත පය එහෙම වැඩ කරලම බොඩි බිල්ඩර් කෙනෙක්ගෙ වගෙ. තාත්තගෙ රස්සාව ගොවිතැන. කුඹුරු,බුලත්,ගම්මිරිස් හෙම තමා වගා කරන්නෙ. කෝපිත් ටිකක් එහෙං මෙහෙං තියෙනව. තාත්ත සිංහලේ ගියාම අම්මගෙ කරට තමා ඒ බරත් වැටෙන්නෙ. ඒ කාලෙ බුලත් කොරටුවෙ කොල කැඩුනම අපිත් එලිවෙනකංම නිදි මරනවා. ඒ  කොල විස්ස  තියල බුලත් අමුනන්න. අම්මට මෙි වැඩ හොඳට පුලුවන්. සමහර දාට තාත්ත කුලියට එහෙම ගියාම අපිත් යනව අම්ම එක්ක වතුර දාන්න. කුඹුරු කලේනං අඳේට. අම්ම ගෙදර හාල් ඉවර වෙනකොට ලොකු තඹ හැලියක වී හෝදල ලිපේ තියල තම්බල වෙිලල මෝලට අරං ගිහින් කොටාගෙන එනව. අපිත් පොඩි උනාට සමහර වැඩ අපිටත් කරන්න පුලුවන්.
තාත්තා දත් මදින්නෙ බෝම්බු කෝට්ටෙං. ඒවා ගේ ඉස්සරහ වහලෙ අස්සෙ ගහල විස්සක් විතර තියෙනව. හැමදාම උදේට දත් මදින්න එයින් එකක් තමා අරන් යන්නෙ. තාත්ත මූන⁣ හෝදගෙන ඇවිත් අම්ම කලින් දවසෙ මැදල එහෙම ලෑස්ති කරපු නාෂනල් එක ඇඳගත්තා. ඊට පස්සෙ තමා තේ බීවෙ. ඒ ඇඳුමට තාත්ත ගොඩක් ලස්සනයි. හැඩයි. එයාගෙ පාටත් එක්ක කැපිල පේනව. කොන්ඩෙ ක්‍රේල්. පොල්තෙල් අල්ලක් විතර අරං ඔලුවෙ ගාල අම්ම පීරන පනාවෙන් සිය පාරක් විතර උඩට පීරනව. පීරල පීරල උඩු රැවුලත් පීරල තමා පනාව බිම තියන්නෙ.

තාත්තා ලෑස්තිවෙලා සරමට පොකට් පොකට් තියෙන කලුපාට බෙල්ට් එකත් දාගත්තා. අම්ම හදල දුන්නු ඇඳුම් බෑගයත් අරං කරේ එල්ලගෙන යන්න ලංවෙනකොට අම්මගෙ ඇස් දෙකේ කඳුලු ගොඩායි. ඒව ලාම්පු එලියට දිලිසි දිලිසි පේනකොට අපිට අම්මටත් වඩා දුකයි. තාත්තත් මූන එල්ලගෙන වගේ ඉන්නෙ. අපිටනං තාත්ත යන්න ලෑස්ති වෙනකොට ඇඬෙනවත් එක්ක. ඒත් මොකද උදේ පාන්දර ඇඬියාව කියල බලන බැල්මට අපි කැමති නැති හිංද අපි හොරෙන් අඬන්නෙ. තාත්තා පහ මාර විතර වෙනකොට ගෙදරින් පිටවුනා. අම්මා තාත්තට දණ ගහල වැන්දා. ඒත් එක්කම අපි තුන්දෙනත් දණ ගහල වැන්දා.
*කොල්ල සිස්සත්තෙ පාස් වෙලා තිබුනොත් ලියුමක් එවන්ඩ. මං වෙලාවක් තිබ්බොත් ඇවිත් යන්ඩ එන්නං. කියල තාත්ත එලියට බහින්න ඔන්න මෙන්න කියල අම්මට කිව්වා. ආයෙ කිව්වා "සල්ලි අතන ඇති,ටිකක් පරිස්සමින්" කියල. අපි ඒ සල්ලි තියෙනව කිව්ව "අතන" කවදාවත් දැනන් හිටියෙ නෑ. අපිට කවදාවත් තාත්ත සල්ලි අහුවෙන්න තිබ්බෙ නෑ.වැරදියට හුරුවෙයි කියල.ඒත් උවමනාව කියල ඉල්ලපුවම දෙනව.දීලත් ඒ සල්ලි වලට මොකද කලේ කියලත් අහනව. එයා කියන්නෙම පොඩි උන්ට සල්ලි ඔින්නෑ කියල. සල්ලි අතට දෙන්නෙත් ඉස්කෝලෙ වැඩකට විතරයි. ඒකරන දේවල්වලට බිල් ගෙනත් දෙන්නත් ඔින. රුපියල් පහක් කඩචෝරු කන්න වියදං කරන්න අවසරය තියෙනව.ඒත් කෑව එව්වත් කියන්න ඔින. ඒ දවස්වල අපිට හිතුනෙ තාත්තා හරි ලෝබයෙක් කියල. ඇයි දෙයියනේ කැන්ටිමෙන් මාලු පාං ගෙඩියක් කෑවත් ඒකත් අහනව. කැටෙිට සල්ලි දාන්න දුන්නත් ගනන් කරල දාන්න දෙන්නෙ. යාලුවොත් එක්ක එක්කහු වෙලා කඩවල් ගානෙ ගිහින් බුල්ටෝ එකක් නෙක්ටො අයිස් පැකට් එකක් ඇඟිලි පතුරක් කන්න සල්ලි ඉල්ලුවොත් රුපියලක් දෙයි.නැත්තං දෙකක් දෙයි. එහෙම තමා අපේ තාත්තා. දවසක් මං අපේ නඩෙි කොල්ලෙක්ගෙන් රුපියල් දහයක් හොරෙන් ගත්තා. ඒක හොර කමක්මත් නෙමෙි. අපි සෙල්ලං කරන්න ආහම ඒ එනකොට ගෙවල් වලින් දෙනව සල්ලි එනකොට සීනි සීයක් තේකොල විස්සක් පරිප්පු ටිකක් එහෙම ගෙනියන්න. අපි ඒව නැති වෙනවට වච්චිල් ගහ යටින් තියල වහනව. වච්චිල් ගහ කියන්නෙ ඔට්ටුතාං සෙල්ලම කරනකොට මෙි ගහ තමා වච්චිල. හතර වටෙි දුවල දුවල හති මුනින් දාගෙන ඇවිත් මෙි ගහ අල්ලපුවම කව්රුත් අල්ලන්නෑ. ඒකයි ඒකට වච්චිල් ගහ කියන්නෙ. එදා මංජු කඩෙි යන ගමන් තමා ඇවිත් තිබුනෙ. කොහොම හරි අපි සෙල්ලං කරල ඉවරවෙලා යන්න යන කොට මං විතරක් කන්ද මුදුනෙ හිටියෙ. අනික් ඈයො ගියාම අන්තිමෙිටම තමා මායි මහත්තයයි ආවෙ. අපි හිටියෙ ලාවුලු කඩ කඩ. ඒවත් කඩාගෙන ගහ ගාවට ආවම රුපියල් දහයක් ගහ මුල. මං ඔික ඇහිඳගත්තා. ඊට පස්සෙ මායි මහත්තයයි ඒ රුපියල් දහයෙම පියසීලි නැන්දලයි කඩෙන් විස්කිරිඤ්ඤ කෑව.
එදා රෑ ගෙදර තාත්ත ආවෙ ආවෙිස වෙලා වාගෙ.
පියසීලි නැන්ද අපේ තාත්තත් එක්ක කියල දහයෙ කොලයක් අරන් ඇවිත් ඒ දහයෙම විස්කිරිඤ්ඤා කෑවය කියල. එහෙන් මංජුලාගෙ අම්ම අපේ තාත්ත එන මග රැකගෙනම ඉඳල කියල මංජුට බඩු ගේන්න දුන්නු සල්ලි රුපියල් දහයක් නැති කරගෙන ඇවිත්. ඒක ගහමුල තමා එයාට අමතක වෙලා තියෙන්නෙ,ආයෙ ගියාම තිබ්බෙ නෑ කියල.මංජුත් කියල මමයි මහත්තයයි තමා අන්තිමට ආවෙත් කියල. අපේ තාත්තට කියල ආපහු සල්ලි එපා,කොල්ල අරංනං පොඩ්ඩක් තරවටුවක් දාන්න කියල.
ඒකයි පියසීලි නැන්දයි කියපු එකට තමා මෙයාට තරහ ගිහින් තියෙන්නෙ.
ගෙදරට ගොඩවුනෙත් දුම්මල වරම අරගත්තු කපුව වගේ
*මෙහෙ වරේන් කියාගෙන
*තෝ කාගෙන්ද අද සල්ලි ගත්තෙ.
*කාගෙන්වත් නෑ. මං බයටම නෑ කිව්වා.
*තෝ ඇහින්දද කොහෙන් හරි සල්ලි??
*නෑ.
*ඇත්ත කියපං. තෝ ඇත්ත කිව්වෙ නැත්තං හමගහල පොලිසියටත් බාර දෙනව දැනගිය.
මං සද්ද නැතුව හිටියා.
*ඇත්ත කියපිය ඉතින් ගත්තද.
*නෑ.
*එහෙනං තොට කොහෙන්ද පියිසීලිගෙ කඩෙන් විස්කිරිඤ්ඤ කන්න සල්ලි.
තාත්තා පොල්ලත් අමෝරාගෙන ඇහුවම මට කලිසමෙිම චූ ගියා. කොච්චර චන්ඩියෙක් උනත් තාත්තා ගාව අසරණයි. මට එදා බෙදුවා බොරු කිව්වටත් එක්ක. දහයක් ගහලා මාව අතින් ඇදගෙනත් ගියා පොලිසියට බාර දෙන්න කියලා. මං පන බයයි ඒ දවස්වල හිරේ යන්න. පොලිසියෙන් ගුටි කන්න.උසාවි යන්න. අම්ම නැතුව නිදාගන්න.
මං විලාප තිය තියා ඇඬුව. දඟල දඟල තාත්තගෙන් අත මුදාගන්න හෙන කට්ටක් කෑවා. ඒත් බැරි උනා. කන්ද උඩටම මහ රෑම ඇදගෙන ගියා. ඒ යද්දි ඉස්සරහට තිලකෙ මාම හමුවුනා.
*කොහෙද මෙි කොල්ලට තල තලා ඇදං යන්නෙ බං ඇල්බට්ටයියෙ.
*දන්නවද මූ කරපු නොහොබිනා දේ? කියල විස්තරේ කිව්වා. මට ලැජ්ජත් එක්ක.ඒත් අඬනව. පස්සෙ තිලකෙ මාම මං ගාවට ඇවිත් දණගහ ගත්තා
මගේ අතිනුත් අල්ලගෙන ඔලුවත් අතගගා ඇහුව ඇත්තද කියල.මං කිව්ව ඔව් කියල.
*ආයෙ කරනවද මයෙ පුතා ඔය වැඩෙි
*නෑ.
*එහෙනං බුදුන් පල්ල කියල දිවුරහං
*බුදුහාමුදුරුවන් පල්ල කරන්නෑ මාමෙ.
*අන්න හොඳා. මට දැං පුලුවන් ඔයාව පොලිසි අරන් යන එකෙන් වලක්කන්න.
ඒව හොඳ වැඩ නෙමෙි පුතේ.නරක වැඩ. එහෙම පුංචි පුංචි දේවල් කරල තමා ලොකු වෙනකොට ලොකු ලොකු දේවල් කරන්නෙ.ඊට පස්සෙ තමා ඔය තාත්තා කොරන්න ගිය දේවල් වෙන්නෙ. ආයෙ කවදාවත් කරන්නෙපා මයෙ පුතේ.
අනුංගෙ දේවල් අනුංගෙමයි.ඒව එපාමයි. අපායෙත් යන වැඩනෙ ඔිව.
කිය කිය මට ලොකු කතාවක් කිව්වා. කියල කියල අන්තිමට.
*ආයෙ කොල්ල කීයටවත් ඔය වැඩ කරන්නෑ.දැං පොරොන්දුත් උනානෙ. ඔන්නොහෙ අදට ගෙදර එක්කං පලයං ඇල්බට්ටයියෙ. හැබැයි කොල්ලො ඔිං මංතමා බෙිරගත්තෙ.ආයෙ මටත් ආරංචියක්වත් ආවත් ඇති මං තමා උඹව පොලිසි අරං යන්නෙ ඈ. ඔලුවත් අතගාල අපිව ආපහු හරෝල එව්ව. හැබැයි එදා ඉඳන් අද වෙනකනුත් මට පුදුම බයක් තියෙන්නෙ අනුන්ගෙ කියන වචනෙටත්. අනුන්ගෙ දේවල් එපාම තමා.

එදා තාත්තාගේ ඒ ක්‍රියාව හරිද වැරදිද කියා  සාධාරණීකරණය කරන්නට මා නොදනිතත් තාත්තාගේ ඒ වැඩෙන් මා මගේ මුලු ජීවිතයටම ඉගෙන ගත්තු පාඩමක් අදටත් පපුවෙි දරා සිටිමි.



රුවින් පමුදිත යද්දෙහිආරච්චි
2020.05.23

No comments:

Post a Comment