Wednesday, May 6, 2020
අන්ධයා
කිසිදා දැක නොමැත හිරු සඳු රුවන් තරූ
දිව රෑ වෙනස හඳුනමි ගතියකින් හුරූ
සැප සහ සතුට මගෙ ලෝකෙන් තුරන් කෙරූ
සුදු සැරයටිය වෙි දැන් පෙර ගමන් කරූ
හිමිවී අහිමිවුනු දිවි අරගලය ලදින්
ඇවිදී දෙපා බාධක ගන අඳුර මැදින්
දෙසවන් පිරෙන විට නිතරම කුරුළු නදින්
ඔබටත් වඩා මම ලෝකය දකිමි හොඳින්
නොපෙනෙන නමුදු ඇස් ඉපදුනු දිනෙහි සිට
දවසට දෙපාරක් සෙලවිය හැකිය කට
කපුගේ ජෝති මිල්ටන් ගී තණුව කට
පන දිය හැකිය වස්දඬුවෙන් දැනුදු මට
මහවැසි,අව්ව නොතකා මංතීරු වල
ඉරිදට පොලේ,හංදියෙ කඩ වීදි වල
වටිනාකමක් දෙන්නට ඔබෙ කාසි වල
පිහිටට ගනිමි තණු සුමිහිරි ගීත වල
පෝයට පංසලේ දිග පඩි නගින තැන
ඉන්නා විටදි හාමුදුරුවො කියන බණ
කන් දෙක යොමා කියවෙන දෑ හිතට ගෙන
මං සිහිකරමි හැම තිස්සෙම සසර ගැන
නැත පොදි ගසාගෙන මලු මලු මොනර කොල
පමනට යැපෙමි නිදමින් කඩ පියසි වල
සතුටත් දුකත් උරුමය මෙන් ලැබෙන කල
එතනින් එහා කිසිවක් නැත ඉතිරි කල
ඔබගෙත් මගෙත් වෙනසට ගරු නොකර යන
මිනිසුන් සහිත ලෝකෙට ඇස් ලැබෙන මෙන
පිහිටක් පතා පහනක් දැල්ලුවට මොන
වෙනසක් දකීවිද ලෝකෙට බැඳුන දන
ජීවන අරගලය පිරුනට කඳුලු වලින්
දෑසට පිහිට සැරයටියයි මෙයට කලින්
ඒකත් ඉවත ලූයෙමි ලද පුරුදු වලින්
ලෝකය දකිමි දැන් මා මගෙ මනස තුලින්
රුවින් පමුදිත යද්දෙහිආරච්චි
2020.05.06
Labels:
මගේ කවි
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment